වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

භද්‍ර කාල ක්‍රියාවක්‌ සඳහා

පූජ්‍ය ගම්පහ සිරිසීවලී හිමි

බුද්ධ ශාසනික ප්‍රතිපදාවක යෙදෙන බුද්ධ ශ්‍රාවකයාගේ එකම අභිප්‍රාය වන්නේ භද්‍රකාල ක්‍රියාවක්‌ය. හෙවත් යහපත් වූ පසුතැවිලි නොවූ මරණයක්‌ය. ඒ සඳහා දහම් කරුණු රාශියක්‌ අංගුත්තර නිකායේ ඡක්‌ක නිපාතයේ සාරණි වග්ගයේ භද්දක සූත්‍රය මගින් හෙළිදරව් කර ඇත. 

ශාක්‍යමුනිපුත්ත මහාසාරිපුත්ත මහතෙරුන් වහන්සේ භික්‌ෂු සංඝයා අරබයා මෙසේ පැවැසූහ. 

- යම් භික්‌ෂුවක්‌ යහපත් වූ (භද්‍රවූ) මරණයක්‌ කැමැති නම්,

- යම් භික්‌ෂුවක්‌ යහපත් වූ (භද්‍රවූ) කාලක්‍රියාවක්‌ කැමැති නම්

පහත සඳහන් ඇබැබ්හිවීම්වලින් මිදිය යුතුය.

ඉධාවුසො භික්‌ඛු :-

1. කම්මාරාමෝ හෝති ; කම්මරතො, කම්මාරාමතං අනුයුත්තො

2. භස්‌සාරාමෝ හෝති ; භස්‌සරතො, භස්‌සාරාමතං අනුයුත්තො

3. නිද්දාරාමෝ හෝති ; නිද්දාරතො, නිද්දාරාමතං අනුයුත්තො

4. සංඝනිකාරාමෝ හෝති ; සංඝග්ගරතො, සංඝග්ග නිකාරාමතං අනුයුත්තො

5. පපඤ්චරාමෝ හෝති ; පපඤ්චරතො පපඤ්චරාමතං අනුයුත්තො

සරල අදහස ; 

යම් භික්‌ෂුවක්‌, 

1. යම් කර්මාන්තයේ යෙදුනෙක්‌ වෙයිද; කර්මාන්තයේ ඇලුනෙක්‌ වෙයිද? එහිම නිරන්තරව නියුක්‌තව සිටීද;

2. යමෙක්‌ දොඩමළු වූයේද, දොඩමළු බවේ ඇලුනේ වෙයිද; එහිම නිරන්තරව නියුක්‌තව වාසය කරන්නේ වෙයිද

3. යමෙක්‌ (නොකල්හි) නිදයිද, නින්දෙහි ඇලුනෙ වෙයිද නිරන්තරවම නිදනසුලු වෙයිද

4. යමෙක්‌ සාමූහිකව කල්ලි ගැසී සිටීද, පිරිස්‌ පිරිවරා සිටීමට ඇලුනේ වෙයිද නිරන්තරවම පිරිස්‌ සමගවම නියුක්‌තව සිටීද

5. යමෙක්‌ තණ්‌හා, මාන, දිට්‌ඨි ආදී ප්‍රපංචවලින් යුක්‌ත වේද, ඒ ප්‍රපංච ධර්ම සඳහාම ඇලුනේ වෙයිද, ප්‍රපංච ධර්ම වර්ධනය සඳහාම නියුක්‌තව සිටීද

මෙම ධර්මතා යමෙක්‌ තුළ විද්‍යමාන වේ නම් භද්‍රවූ යහපත්වූ මරණයක්‌ අපේක්‌ෂා කළ නොහැක. භද්‍රවූ යහපත්වූ කාලක්‍රියාවක්‌ අපේක්‌ෂා කළ නොහැක.

මෙම ධර්මතා අංගුත්තර නිකායේ සාරණි වග්ගයේ අනුතප්ප සූත්‍රයේද විස්‌තර කර ඇත.

- යම් භික්‌ෂුවක්‌ පසුතැවිලි නොවී භද්‍රවූ - යහපත් වූ මරණයක්‌ කැමැති නම්,

- යම් භික්‌ෂුවක්‌ පසුතැවිලි නොවී භද්‍රවූ - යහපත්වූ කාලක්‍රියාවක්‌ කැමැති නම්

ඉහත සූත්‍ර දේශනාවේ කරුණුද මේ සූත්‍රයට අදාළ වේ. සත්වයාගේ කර්මය විසින් ඉරණම තීරණය කරනු ඇත. එහෙත් ඉරණම සත්වයාට වෙනස්‌ කළ හැක. නොතැවී - භද්‍රවූ යහපත් කාල ක්‍රියාවක්‌ සඳහාම ප්‍රතිපදාව ජීවිතයට සම්බන්ධ කර ගත යුතුය. උතුම් මිනිස්‌ බව ලැබූ නුවණැත්තා බුද්ධෝත්පාද කාලයේ භද්‍රවූ මරණයක්‌ නොතැවී සිදුවිය හැකි මරණයක්‌- යහපත් මරණයක්‌ සඳහා අඩිතාලම තමා විසින්ම දමාගත යුතුය.

ආර්ය මාර්ගය වඩන 'සේකයා' බොහෝ විට තමාගේ අනවබෝධය නිසා ආර්ය මාර්ගයෙන් පිරිහේ. සූත්‍රපිටකයේ බොහෝ දේශනාවල සේක පරිහානීය ධර්ම යෝගාවචරයාගේ පිරිහීමට හේතු කරුණු විටින් විට පැහැදිලි කර දී ඇත. එය විශේෂයෙන් අපගේ අවධානයට යොමුවිය යුතුය.

අංගුත්තර නිකායේ සේක අපරිහානීය සූත්‍රයේ ශ්‍රාවක අවධානය සඳහා බොහෝ කරුණු දැක්‌වේ.

'භික්‌ඛවේ ධම්මා සේඛස්‌ස භික්‌ඛුනො පරිහානිය සංවත්තති'

'මහණෙනි, භික්‌ෂුවකගේ පිරිහීමට අදාළ කරුණු මෙසේ වේ.

1. කම්මාරාමතා - බොහෝ කර්මාන්තයේ නියෑළීම

2. භස්‌සාරාමතා - කතා කර කර සිටීම, දොඩමළු බව

3. නිද්දාරාමතා - නිතර නිදන සුළු බව

4. සංඝනිකාරාමතා - ජනශීලිබව, ජනයා අතර ගැවසීම

5. ඉන්ද්‍රියෙසු අගුත්තද්වාරතා - ඉන්ද්‍රීය අසංවරය, නොහික්‌මුණු බව 

6. භොජනේ අමත්තඤ්ඤතා - පමණ දැන නොවැළඳීම

අංගුත්තර නිකාය ග්‍රන්ථයේ 'සේක පරිහානීය' සූත්‍රය මගින් මෙම කරුණුද අවධාරණය කර ඇත.

යෝගාවචරයා මොනම හේතුවක්‌ නිසාවත් ආර්ය ප්‍රතිපදාවේදී මන්දොත්සාහී නොවිය යුතුය. හැම පැත්තෙන්ම සවිමත් විය යුතුය. පරිහානීය ධර්ම වටහා ගැනීමේ එළඹ සිටි සිහිය තිබිය යුතුය. දහම් කරුණු එළිදැක්‌වීමේදී සූත්‍ර පිටකයේ බොහෝ කරුණු ඉතාමත් කෙටියෙන් ඔබ වෙත ඉදිරිපත් කිරීමට උත්සාහ කළේ අසද්ධර්ම ප්‍රවාහයට අසුවුණොත් කවදා කොහොම නම් සසරින් ගොඩවීමේ ඇති ඉඩකඩ ඩඉතාමත් අල්පවන නිසාය.

අංගුත්තර නිකායේ 'ජම්බුදීපපෙයපාල' සූත්‍රයේ සම්බුද්ධෝත්පාද කාලයේත්, මනුෂ්‍යතම භාවයේත්, සද්ධර්මයේත්, ක්‌ෂණ සම්පත්තියේත් වටිනාකම ඉතාමත්ම පැහැදිලිව ළගන්නා සුළුව බුදුපියාණන් වහන්සේ ගෙනහැර දක්‌වති. එම සූත්‍රයේ සරළ අදහස මෙසේය.

1. මහණෙනි, දඹදිව වූ ආරාම, රමණීය වූ වන, රමණීය වූ බිම්, රමණීය වූ පොකුණු වැව් ගංගා අල්පමාත්‍ර වේ. ස්‌වල්පයකි. නමුත් á

වනදුර්ග, ගිරිදුර්ග, උස්‌ මිටි තැන්, බිඳී ගිය තැන්, කටු කොහොලින් යුතු තැන් විෂම තැන් බහුලය. බොහෝය.

2. මහණෙනි, මිනිසුන් වශයෙන් උපදිනා සත්වයෝ ඉතා අල්පවෙති. නරකය, තිරිසන්, ප්‍රේත, අසුර ආදී මෙන්ම වෙනත් භූමිවල උපදින සත්වයෝ ඉතා බොහෝය.

3. මහණෙනි, සම්බුදුවරු පහළවන මධ්‍ය දේශයේ උපදින මනුෂ්‍යයෝ අල්පවෙති. ප්‍රත්‍යන්ත ජනපදවල උපදින සත්වයෝ බොහෝ වෙති.

4. මහණෙනි, මිනිසුන් අතර නුවණ ඇත්තෝ අල්පය. නුවණ නැත්තෝ බොහෝය. ප්‍රඥවන්තයෝ අල්ප වෙති. මෝඩයෝ බොහෝ වෙති. සුභාෂිත අය අල්පය. දුර්භාෂිතය අය වැඩිය. මන්ද බුද්ධිකයෝ බොහෝ වෙති. බුද්ධිමතුන් අල්පය.

5. මහණෙනි, ආර්ය ප්‍රඥවන්තයෝ අල්ප වෙති. අනාර්යයෝ, දුප්‍රඥයෝ බොහෝ වෙති. අවිද්‍යා අඳුරේ සිටින අය බොහෝය. විද්‍යා ලෝකය ලැබූ අය අල්පය.

6. මහණෙනි, අග්‍රවූ භෝජන ලබන අය අඩුය. අග්‍රවූ භෝජන නොලබන අය බොහෝය.

7. දෙව් ලොවින් චුතව මිනිසත් බව ලබන අය ඉතා අඩුය. දෙව් ලොවින් චුතව සතර අපාගත වන අය ඉතා වැඩිය.

8. මහණෙනි, මිනිසත්බවෙන් චුතව දෙව්ලොව උපදින අය අල්පය. මිනිසත් බවෙන් චුතව නරකාදී අපාගතවන අය බොහෝය. ඉතා වැඩිය.

9. මහණෙනි, නරකයෙන්, තිරිසන් ගතියෙන්, ප්‍රේත ගතියෙන් දුගති බවෙන් මිදී නැවත මිනිසත බවට පැමිණෙන අය ඉතාම අල්පය. නැවත නැවත දුගතියටම යන අය ඉතාම බුහලය.

10. මහණෙනි, තථාගතයන් වහන්සේ දකින අය ඉතාම අල්පය. නොදකින අය ඉතා බොහෝය.

11. මහණෙනි, තථාගත චතුරාර්ය සත්‍ය ධර්මය අසන්නට ලැබෙන අය ඉතාම අල්පය. නොලබන අය ඉතා බොහෝය.

12. මහණෙනි, තථාගත ධර්මය තේරුම් ගන්නා අය ඉතා අල්පය. තථාගත ධර්මය තේරුම් නොගන්නා අය ඉතා බොහෝය.

13. මහණෙනි, තථාගත ධර්මය පිළිපදින අය ඉතා අල්පය. තථාගත ධර්මය නොපිළිපදින අය ඉතා බොහෝය.

14. මහණෙනි, මහත් වීර්යයෙන් මාර්ගය වඩන අය ඉතා අල්පය. වීර්යයෙන් මාර්ගය නොවඩන අය ඉතා බොහෝය.

15. මහණෙනි, තථාගත ධර්මය අවබෝධ කරගන්නා අය අඩුය. තථාගත ධර්මය අවබෝධ නොකරගන්නා අය ඉතා බොහෝය.

16. මහණෙනි, මාර්ගඵල අවබෝධ කරන අය ඉතා අල්පය. මාර්ගඵල අවබෝධ නොකරන අය ඉතා බොහෝය.

මේ දේශනාවෙන් තුන්ලෝ ධාතුන්හි වෙසෙන බහුවිධ සත්ව වර්ගයාගෙන් මිනිස්‌ බවට ලබා සසරින් එතරවන අයගේ අල්පමාත්‍ර බව වටහාගත හැක. එමෙන්ම මිනිසත් බව ලබන අය ඉතාම අඩු බවයි පැහැදිලි වන්නේ. බුද්ධිමත් ප්‍රබුද්ධ බෞද්ධයන්ගේ සතිය වඩ වඩාත් තියුණු කළ යුතු මොහොතකි මේ එළැඹ ඇත්තේ. මිනිසත් බවේ වටිනාකම ඔබ මා අවබෝධ කටයුතුය. අද අදම නොපමාව සසර බිය දැක නැවත නැවතත් සසරට නොයාමට නම් ආර්ය ශ්‍රාවක භාවය තහවුරු කරගත යුතුය. ඒ සඳහා සියලුම සුදුසුකම් නොඅඩුව මදි පුංචිකමකින් තොරව ලැබී ඇත. ඒ බව සිහිකටයුතුය.

කොසොල් මහ රජතුමාට ගෞතමයන් වහන්සේ පුද්ගලයන් හතර දෙනෙක්‌ ගැන දේශනා කරති. 

1. අඳුරෙන් අඳුරට යන අය - දුගතියෙන් දුගතියට යන අය - 

2. අඳුරෙන් ආලෝකයට එන අය - දුගතියෙන් සුගතියට එන අය

3. එළියෙන් අඳුරට යන අය - සුගතියෙන් දුගතියට යන අය

4. ආලෝකයෙන් ආලෝකය කරා යන අය. මේ සුගතියෙන් නිවන් දකින අය. ශක්‌ති ප්‍රමාණයෙන් හැකියාව මත ධර්මානුකූලව ජීවිතය ගත කිරීමට ඉටා ගනිමු. ප්‍රතිපත්තිමය වශයෙන් ලොක ධර්මයන් අතහැරීමත් සසරින් එතර වීමේ උත්තම අභිමතාර්ථය මත යෝගාවචරය ජීවිතය ගත කරමු. ධර්ම මාර්ය කිසිසේත් තමාගේ අයහපත පිණිස නොව යහපත සඳහාම හේතුවනවා ඇත. ප්‍රතිඵලය නියත වශයෙන් සාර්ථක බව උතුමෝ පෙන්වා දෙති.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X