වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සෝමා භික්ෂුණිය හමුවට පැමිණි මාරයා

පසුගිය පොහෝ දිනයේ දී අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ බුදුරජාණන් වහන්සේ සිරිපතුලෙහි ගල් පතුරක් වැදීමෙන් හටගත් වේදනාව නිසා හුදකලාව වැඩහුන් අවස්ථාවේ පාපී මාරයා පැමිණ බුදුරජාණන් වහන්සේගේ විවේකය පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවක් පිළිබඳ කරුණු ඇතුළත් මාර සංයුත්තයට අයත් ‘සකලික’ සූත්‍රය විමසා බැලීමටයි. අද දින අපගේ අවධානය යොමුවන්නේ සංයුත්ත නිකායේ භික්ඛුණී සංයුත්තයට අයත් ‘සෝමා’ සූත්‍රය විමසා බැලීමටයි.එහි ඇතුළත් වන්නේ පාපී මාරයා සෝමා භික්ෂුණිය හමුවට පැමිණි අවස්ථාවකි.
එක් සමයක අපගේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයෙහි වැඩවසන සමයේ සෝමා භික්ෂුණිය පෙරවරු කාලයේ පිඬු පිණිස සැවැත් නුවර හැසිර පස්වරු කාලයේ පිණ්ඩපාතයෙන් වැළකී දිවා විවේකය පිණිස අන්ධ වනයට වැඩම කොට ගසක් මුල වැඩසිට සමාධි සුවයෙන් කල් ගෙවූ සේක. එකල සෝමා භික්ෂුණිය අන්ධ වනයෙහි හුදකලාව වැඩ සිටින බව දැනගත් පාපී මාරයා සෝමා භික්ෂුණියට බිය ඇති කරනු පිණිස ලොමු දැහැගනු පිණිස සමාධියෙන් වළක්වනු පිණිස අන්ධ වනයට පැමිණ සෝමා භික්ෂුණියට ඇසෙනු පිණිස මෙසේ කීය.
යං තං ඉසිහි පත්තබ්බං, ඨානං දුරභිසම්භවං,
න තං ද්වංගුලපඤ්ඤාය, සක්කා පප්පොතුමිත්ථියා’ ති.
ඉසිවරුන් විසින් ලැබිය යුතු දුර්ලභ වූ යම් ඒ පදවියක් වේද, එය දෑඟුල් නුවණ ඇති ස්ත්‍රිය විසින් නොලැබිය හැක.
මෙය ඇසූ සෝමා භික්ෂුණිය මෙසේ කියන මොහු මනුෂ්‍යයෙක් ද අමනුෂ්‍යයෙක්දැයි විමසනුයේ මේ වෙන කිසිවෙකු නොව පාපී වූ මාරයාමයැයි හඳුනාගත්සේක. ඔහු පැමිණ ඇත්තේ බිය ඇති කරනු පිණිස ලොමු දැහැගනු පිණිස සමාධියෙන් වළක්වනු පිණිස බව දැන තමන්ට ඒ කිසිවක් පාපී මාරයා විසින් කළ නොහැකි බව දැන, තමන් ගෞතම බුද්ධ ශාසනයෙහි කළයුතු සියල්ල කොට නිමකළ අර්හත් උත්තමාවියක් බව පාපී මාරයාට හඟවමින් මෙසේ පිළිතුරු දුන්සේක.
ත්ථිභාවො කිං කයිරා, විත්තම්හි සුසමාහිතෙ
ඤාණම්හි වත්තමානම්හි, සම්මා ධම්මං විපස්සතො.
සිත මැනවින් සමාධිගත වූ කල්හි, නුවණ පවත්නා කල්හි මනා කොට දහම් දක්නා අයට ස්ත්‍රී භාවය කුමක් කරත් ද?
යස්ස නුන සියා එවං, ඉත්ථාහං පුරිසොති වා
කිඤ්චි වා පන අඤ්ඤස්මි, තං මාරො චත්තුමරහතී’ති
මම ස්ත්‍රියෙක්මි’යි හෝ මම පුරුෂයෙක්මි’යි හෝ අන් කිසිවෙක් වෙමියි හෝ යමෙකුට මෙසේ අදහස් වන්නේ ද ඔබ ඔහුට මෙය කියන්න. ඔහු ඔබේ විෂයයට හසුවන්නේ ය.
මෙය ඇසූ පාපී මාරයා තමාගේ වසඟයට කිසිසේත් සෝමා භික්ෂුණිය හසු නොවන බව දැන ලජ්ජාවට පත්ව දොම්නස්ව එහිම අතුරුදන්ව ඇත.
අථ ඛො මාරො පාපිමා ‘ජානාති මං සොමා භික්ඛුනී’ ති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරාධායීති.
භාරතීය උපදේශ සාහිත්‍ය කෘති අතර හිතෝපදේශය, පංචචන්ත්‍රය, ප්‍රත්‍යශතකය වැනි කෘතිවල ස්ත්‍රියට හිමිකර දී ඇත්තේ එතරම් සුබදායී තත්ත්වයක් නම් නොවේ. බමුණු සමාජය ස්ත්‍රිය දෙස බලා ඇත්තේ චපල ගති පැවතුම් ඇති වහා වරදෙහි බැඳෙන, විශ්වාස නොකොට පහත් අදහස් ඇති තැනැත්තියක් ලෙසය. ඇතැම් විට බමුණන් ස්ත්‍රිය පිළිබඳ දක්වා ඇත්තේ පිළිකුල් සහගත හැඟීමකි. එපමණක් නොව බ්‍රාහ්මණ සමාජය තුළ ස්ත්‍රිය තනිව නොහැසිරිය යුතු බව දක්වමින් තහංචි ද පනවා ඇත.
පිතා රක්ෂති කෞමාරේ – භාතා රක්ෂති යෞවනේ
ස්ථවිරේ පුත්‍රා රක්ෂන්ති - ස්ත්‍රී ස්වතන්ත්‍රමර්හති
ස්ත්‍රිය කුඩා කල පියා යටතේ ද, විවාහයෙන් පසු ස්වාමියා යටතේ ද වයස්ගත වූ කල්හි වැඩිමහල් පුතා යටතේ ද විසිය යුතු ය. ස්වතන්ත්‍රව හෙවත් තමාගේ හිතැඟි පරිදි කටයුතු නොකළ යුතු ය. යනුවෙන් ස්ත්‍රියට ස්වාධීනව කටයුතු කිරීමට ඇති අයිතිය නැති කරමින් කටයුතු කොට ඇත. බමුණන් යාගහෝම පවත්වන අවස්ථාවන්ට හා ස්ථානයන්ට ස්ත්‍රියට ඇතුල්වීම තහනම් විය. ස්ත්‍රියට මෙවැනි තහංචි පනවා ඇය කෙරෙහි අවිශ්වාසයෙන් මෙන්ම ආදර ගෞරව රහිතව ගත කළ බමුණන්ගේ විවාහ ජීවිතය ද අසාර්ථක වන්නට ඇතැයි යන්න සිතිය හැක. මේ කරුණු විමසා බලන විට පෙනී යන්නේ බමුණන් ස්ත්‍රීන් කෙරෙහි ඇතැම් අවස්ථාවල ද්වේෂ සහගතව ද කටයුතු කොට ඇති බවයි. ඒ බව පහත සඳහන් ප්‍රත්‍ය ශතක ශ්ලෝකවලින් පැහැදිලි වෙයි.
ඖදුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණාච කාකයෝඞ
මත්ස්‍ය පාදං ජලේ පශ්‍යෙත් – නාරි චිත්තං න විශ්වසේත් (ප්‍රත්‍ය ශතකය 16 වන ශ්ලෝකය)
(දිඹුල් ගසේ මල් ද, සුදු කපුටන් ද, ජලයෙහි ඇති මත්ස්‍ය පිය සටහන් ද, යමෙක් දුටුවේ යැයි කිව හොත් එය පිළිගන්න. එහෙත් ස්ත්‍රයගේ සිත විශ්වාස නොකට යුතු ය.)
මෙයින් පෙනී යන්නේ බ්‍රාහ්මණ සමාජය තුළ ස්ත්‍රියට හිමිව තිබූ අවිශ්වාසවන්ත බවයි. සම්මත ලෝකයේ අසම්මත දෙයක් හෙවත් අස්වාභාවික දෙයක් යමෙක් පැවසුවහොත් එය ද පිළිගන්නා ලෙස සලකන බමුණන් කිසි දිනක ස්ත්‍රියකගේ සිත විශ්වාස නොකරන ලෙස උපදෙස් දෙයි. එහෙත් එය එසේ නොවේ. විශ්වාස කළ යුතු ස්ත්‍රීන් කොතෙකුත් සමාජයේ ඇත. ඒ අතර බමුණන්ගේ ඉහත මතයට අනුව කටයුතු කරන ස්ත්‍රීන්ද සිටිය හැක. මෙම බමුණු මතයට අනුව කටයුතු කළහොත් කිසිදා විවාහ දිවිය සාර්ථක කරගත නොහැක. ස්වාමියාට නිතරම ස්ත්‍රිය පිළිබඳ සැකයෙන් හා අවිශ්වාසයෙන් කටයුතු කරන්නට වුවහොත් එය දෙදෙනා අතර ගොඩ නැගෙන සුහදතාවයට හා පවුලේ දියුණුවට මහත් බාධාවක් වෙයි.
දර්ශනං චිත්ත වෛකල්‍යං - ස්පර්ෂණං ධන නාශනං
ශයනං මරණං කුර්යාත් - ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාක්ෂසී ( ප්‍රත්‍ය ශතකය 35 වන ශ්ලෝකය)
(ස්ත්‍රිය දැකීමෙන් සිත විකල් වීම ද ස්පර්ශ කිරීමෙන් ධන හානිය ද එක්ව සයනය කිරීමෙන් මරණය ද වන්නේ ය. එබැවින් ස්ත්‍රිය ඇසට පෙනෙන රාක්ෂියකි)
ස්ත්‍රියගේ බුද්ධිය පිළිබඳව ද බමුණන් දක්වා ඇත්තේ පහත් ආකල්පයකි. ස්ත්‍රිය යනු සමාජය හරිහැටි නොදකින යමක් නිසි අයුරින් තේරුම් ගැනීමට අපහසු, බුද්ධිහීන තැනැත්තියක් ලෙස සලකා ඇත.
ආත්ම බුද්ධිර් සුඛං දේති – ගුරු බුද්ධිර් විශේෂතෝ
ස්ත්‍රී බුද්ධිර් විනාශාය බහු - බුද්ධීර් මරණං භවේත් (ප්‍රත්‍ය ශතකය 43 වන ශ්ලෝකය)
(තමාගේ බුද්ධිය මෙහෙයවා කළ දෙයින් සැප ගෙනදෙන්නේ ය. ගුරුවරයාගේ දැනුමෙන් කළ දෙයින් විශේෂයක් වන්නේ ය. ස්ත්‍රියගේ දැනුමෙන් කළ දෙයින් විනාශය ළඟා වන්නේ ය. බොහෝ දෙනාගේ දැනුමෙන් කළ දෙයින් මරණය වන්නේය.)
ඉහත සඳහන් බ්‍රාහ්මණ මතවලින් පැහැදිලි වන්නේ භාරතීය සමාජය තුළ ස්ත්‍රිය ඉතා පහත් තත්වයෙහිලා සලකා ඇති බවයි. එදා සෝමා භික්ෂුණිය හමුවට පැමිණි මාරයාද උත්සාහ දරා ඇත්තේ මෙම බ්‍රාහ්මණ මත ඉස්මතු කරමින් සෝමා භික්ෂුණිය මානසික වශයෙන් පහත තත්ත්වයට ඇද දැමීමටයි. එහෙත් සියලු කෙලෙසුන් නසා ප්‍රඥාවෙන් ඉහළම ඉස්තරයට ළඟා වී සිටි සෝමා භික්ෂුණිය මාරයාට ලබා දෙන්නේ අපූර්ව පිළිතුරකි. එනම් සිත මැනවින් සමාධිගත වූ කල්හි, නුවණ පවත්නා කල්හි මනා කොට දහම දක්නා අයට ස්ත්‍රීභාවය කුමක් කරත් ද? යන්නයි. මෙයින් පැහැදිලි වන්නේ ස්ත්‍රිය, කායික ශක්තියෙන් පුරුෂයාට ස්වභාවයෙන්ම දෙවැනි වූවාට ප්‍රඥාවෙන් පුරුෂයා සමව සිටින බවයි. ඇතැම් අවස්ථාවල පුරුෂයා ද ඉක්මවා ගිය අවස්ථාවන් කුණ්ඩලකේශි වැනි කතාවස්තු වලින් පැහැදිලි වෙයි. සෝමා භික්ෂුණියගේ මෙම ප්‍රඥාගෝචර පිළිතුරින් පාපී මාරයා ලජ්ජාවට පත්ව එහිම අතුරුදහන්ව ඇත.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X