වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

දානය ප්‍රගුණ කරන්න ඉල්ලීම් අඩු කරන්න

ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

කොපමණ නැති වුවත්, කොපමණ අඩුපාඩුකම් තිබුණත් අපහසුම අවස්ථාවක විනා කිසිවෙකුගෙනුත් නොඉල්ලිය යුතු ය. හැකිතාක් දුරට ඉල්ලීම අඩුකළ යුතු ය. ඔබ මෙසේ නුවණින් කල්පනා කරන්න. ගුණවත් සහ නැණවත් දෙමාපියෝ දරුවන්ට දියයුතු දේ සහ දියයුතු අවස්ථාව ඉතාමත් හොඳින් දනිති. දරුවන් නමුත් නිතරම ඉල්ලන්නේ නම් වරෙක දෙමාපියන්ට එපාවෙයි.
දානය පිළිබඳව, සදහම් සිතිවිල්ලක් ඔබට ඉදිරිපත් කරමි. දානය උතුම් මංගල කරුණක් මෙන්ම යමක් නිතර ඉල්ලීමද අප්‍රසන්න කරුණකි. බෝධිසත්ව උතුමන් මෙන්ම අපද දානය පුරුදු කළ යුතු ය. අප යමක් මේ ජීවිතයේ ලබා ඇත්නම් එය සසරෙහි පුරුදු කරන ලද දානයේ ඵල විපාකවල බලපෑමක් ලෙසද මෙනෙහි කළ යුතු ය. අපට යමක් ලබන්නට තරම් අවස්ථාව නොලැබී ඇත්තේ ද දන්දීම පුරුදු නොකරන ලද නිසා ය.
අපට පින් හෝ යහපත් කර්මයක් තිබේනම් සියල්ල නිතැතින්ම ලැබේවි යනුවෙන් පවසා වීර්යයෙන් සහ නුවණින් යුතුව කටයුතු නොකොට අලසව සිටින්නට යැයි මින් අදහස් නොකෙරේ. පින මතුකරන්නට ද උත්සාහයෙන්ද වීර්යයෙන්ද නුවණින්ද කටයුතු කළ යුතු ය. මම ඔබට මෙසේ ආරාධනා කරමි. ඔබට යමක් ලැබී ඇත්නම්, එනම් ධනවත් නම්, අඩුම තරමේ කාගෙන්වත් නො ඉල්ලා තමන්ගේ සහ පවුලේ කටයුතු කරගැනීමට තරම් ධනයක් තිබේ නම් මෙසේ සිතන්න. “අපට යමක් ලැබුණේ නම් ලැබූදේ ආරක්ෂා කර ගෙන හෝ වැඩි දියුණු කරගෙන සිටිමින් යම් සැපතක් ලබන්නට හැකියාව සැලසෙන්නේ සසරෙහි දන්දී තිබෙන නිසායි. බොහෝ අයකුට උදව් උපකාර කොට ඇති නිසායි. ඒ නිසා මේ ජීවිතයෙත් දන් දෙනවා, හැකි අයුරින්ම අන් අයට උදව් උපකාර කරනවා” ඔබට යමක් අවශ්‍ය පරිදි නැතිනම්, එනම් අඩු පාඩු බොහෝම නම්, අඩුම තරමේ ජීවත්වන්නට තමන්ගේම කියා ගෙයක් දොරක් නැතිනම්, එදාවේල පිරිමසා ගන්නේ අපහසුවෙන් නම් මෙසේ සිතන්න. “අපට යමක් නොලැබුණේ සසරෙහි දානය පුරුදු නොකරන ලද නිසයි. යමක් උපයාගන්නට උත්සාහයෙන්ද, වීර්යයෙන්ද කල්පනාකාරීව ද කටයුතු කරනවා. මම දුප්පත් වුවත් අනුන්ගේ දෙයක් සොරකම් කරන්නේ නැහැ. මම උත්සාහයෙන් කටයුතු කොට ලද දෙයින් සතුටු වෙනවා. මට හැකි අයුරින් තවත් කෙනෙකුට යමක් දෙනවා. උදව් වෙනවා. අඩුම තරමේ ශ්‍රම දානයක් ලෙස ශ්‍රමයෙන් හෝ උදව් වෙනවා.” මම මෙසේ විස්තර කොට සඳහන් කළේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ සංයුක්ත නිකායේ, සුඛිත සහ දුග්ගත සූත්‍ර දෙක අනුසාරයෙනුයි.
ධනවත් හෝ යමක් තිබෙන අය දන්දෙන විට පරිවාර සම්පත්තිය හෙවත් පිරිවර එකතුවෙයි. කීර්ති, ගුණ, ප්‍රශංසා පැතිරෙයි. ලෙඩදුක් වැනි ස්වාභාවික විපතකදී පවා බොහෝ අයගේ පිහිට සහ උපකාරය ලැබෙයි. ලැබූ අය ඒවා නිසා සතුටුවෙන විට අපමණ පී‍්‍රතියක් හටගනී. දුප්පත් හෝ ආර්ථික වශයෙන් අඩුපාඩුකම් තිබෙන අය සොරකම්, වංචා නොකොට දුසිරිත්වල නොයෙදී ධාර්මිකව ජීවත්වන විට ධනය ඇති අයගෙන් ලැබෙයි. රැකියාව කරන තැනද, ගෙදරක වැඩකට ගියද, ගමේ පළාතේ අහිංසකව සිටියද අන් අයගේ කරුණාවට ලක්වෙයි. බොහෝ උදව් උපකාර ලැබෙයි. ඉගෙනීමට හැකියාවන් ඇති දුප්පත් දරුවන්ට උදව් උපකාර කිරීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙති.
කොපමණ නැති වුවත්, කොපමණ අඩුපාඩුකම් තිබුණත් අපහසුම අවස්ථාවක විනා කිසිවෙකුගෙනුත් නොඉල්ලිය යුතු ය. හැකිතාක් දුරට ඉල්ලීම අඩුකළ යුතු ය. ඔබ මෙසේ නුවණින් කල්පනා කරන්න. ගුණවත් සහ නැණවත් දෙමාපියෝ දරුවන්ට දියයුතු දේ සහ දියයුතු අවස්ථාව ඉතාමත් හොඳින් දනිති. දරුවන් නමුත් නිතරම ඉල්ලන්නේ නම් වරෙක දෙමාපියන්ට එපාවෙයි. ස්වාමිපුරුෂයෙක් සහ බිරිඳක් අතරද සොහොයුරු සොහොයුරියන් අතරද හිතවතුන් අතරද අසල්වැසියන් අතරද එසේමය. පැවිදි පක්ෂය සහ දායකයන් අතරද එසේමය. පැවිදි පක්ෂය වුවද නිතර නොයෙක් දේ ඉල්ලා දායක ඇත්තනට කරදර කරන්නේ නම්, එහි හටගන්නේ කළකිරීමකි. එපාවීමකි. කොපමණ උගත්කමක් පැවැතිය ද,රූපයක් තිබුණද, තනතුරු තිබුණද ඉල්ලූ විට පහත් බවට ඇද වැටෙයි. පින් දහම් සහ සමාජ සේවා කටයුතු සඳහා යම් යෝජනා ඉදිරිපත් කළ හැකිය. එනමුත් කරදරයක් වන ආකාරයට ඉල්ලීම නම් නොකළ යුතු ය.
ඔබ මෙවැනි අදහස් සමාජයේ අසා තිබේද? “ඒ අය නම් කවදාවත් තියෙනවා කියා හෝ ඇතියි” කියලා නම් කියන්නේ නැහැ. කට ඇරියොත් කියන්නේ නැහැයි කියලා. නැත්නම් “මදියි” කියලා. ඔය මිනිස්සු නම් කවදාවත් සතුටු වෙන්නෙත් නැහැ. සතුටු කරන්නත් බැහැ. ඔබ දුප්පත් වුවත් ධාර්මික නම්, සිල්වත් නම් එම ගුණය කෙතරම් අගනේද? උත්සාහයෙන්, වීර්යයෙන් යුතුව නැඟී සිටීමට ධාර්මිකව කටයුතු කරන්න. “යථාලාභ සන්තුට්ඨි” හෙවත් ලද දෙයින් සතුටු වන්න.
අට්ඨිසේන ජාතකයෙහි සඳහන් පරිදි බෝධිසත්ව උතුමෝ කිසිවක් කිසිදා නොඉල්ලූහ. දිනක් රජතුමා මෙසේ බෝධිසත්වයන්ගෙන් ප්‍රශ්න කළහ. මා නොහඳුනනා බොහෝ දෙනා මා වෙත පැමිණ බොහෝ දේ ඉල්ලති. කැමැති දෙයක් ඉල්ලන්නට යැයි මා ඔබවහන්සේට පවසා තිබුණත් කිසිවක් නො ඉල්ලන්නේ කවර හේතු නිසා දැයි ප්‍රශ්න කළේ ය. බෝධිසත්වයෝ මෙසේ පිළිතුරු දෙති. “ඉල්ලන තැනැත්තා අපි‍්‍රය වෙයි. ඉල්ලූ විට නොදෙන තැනැත්තාද එසේම අපි‍්‍රය වෙයි. මේ නිසා අප දෙදෙනා අතර අමනාපයක් ඇති නොවේවායි සිතා මම ඔබතුමාගෙන් කිසිවක් නොඉල්ලුවෙමියි” පැවසූහ. මණිකණ්ඨ ජාතකයට අනුව තාපසයෙක් වෙතට නිතර පැමිණීමට පුරුදු වී සිටි නාගයෙක් සිටියේ ය. මෙම නාගයාගේ ගෙලෙහි මාණික්‍යයක් තිබුණි. දිනක් තාපසතුමා එම මාණික්‍ය නාගයාගෙන් ඉල්ලීය. ඊට පසුවදා පටන් නාගයා තාපසතුමා වෙතට නොපැමිණියේ ය.
කෙසේ වෙතත්, යම් කෙනෙක් යමක් ඉල්ලූවේද හැකි අයුරකින් දීම කළ යුතු ය. ඉල්ලන ලද තැනැත්තා හෝ තැනැත්තිය මනසින් ඉතාමත් පීඩාවකට පත්ව එම ඉල්ලීම කළ හැකිය. නැතිබැරිකමට යැයි පවසා ලජ්ජාව යටපත් කරගෙන යමක් ඉල්ලා සිටිය හැකිය. සද්පුරුෂයෝ එවැනි අවස්ථාවල පිහිට වෙති. පරිත්‍යාගය පුරුදු කිරීම පිණිස ඉල්ලන්නා කෙරේ ඔබට මෙසේ සිතිය හැකිය. “මේ ඉල්ලන අය මගේ අම්මා වී සිටියා නම්, පියාණන් වී සිටියා නම්, සොහොයුරා හෝ සොහොයුරිය වී සිටියා නම්, දුවෙක් හෝ පුතෙක් වී සිටියා නම් මට කුමක්ද සිතෙන්නේ?” මෙවැනි සිතිවිලි ඔබගේ සිත මෘදු බවට පත්කොට දානය, පරිත්‍යාගය කෙරේ නැඹුරු කරනු ඇත.
වර්තමාන පරිසරයෙහි විවිධ ආකාරයෙන් පෙනී සිටිමින් ඉල්ලාගෙන පැමිණෙන අය සිටිති. මේ අය අතර මත්වතුරට, මත් ද්‍රව්‍යයන්ට සහ විවිධ දුරාචාරයන්ට පුරුදු වූ අයද සිටිති. මෙවැනි අවස්ථාවල නිර්ලෝභී පරිත්‍යාගී චේතනාව මෙන්ම නුවණ ඇතිවම ක්‍රියා කළ යුතු ය. සුදුසුම අයකුට සහ සුදුසුම ස්ථානයකට දීම මේ නිසා වැදගත් ය.
දානයේ දී ධර්ම දානයද උතුම්ම දානයකි. බුදුදහමට අනුව තමා පන්සිල් සුරකිමින් අන් අයද පන්සිල් සුරකින්නට ආදර්ශයෙන්ම පෙළඹවීම ධර්ම දානය ආරම්භ කිරීමකි. මීළඟට දාන, සීල, භාවනා ප්‍රතිපත්තීන්හි ඇති වටිනාකමද උතුම්බවද ආධ්‍යාත්මික සුවයද අවබෝධ කොට දිය හැකිය. එමෙන්ම “ඒහි පස්සිකෝ” නම් දහම් ආරාධනය අනුව මේ ධර්මය වෙතට අවුත් නුවණින් පරීක්ෂා කොට බලන්නට යැයි ආරාධනා කළ හැකිය. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයට කිසිවෙකුත් බලයෙන් හෝ වංචාවෙන් හෝ රවටා සමීප කළ නොහැකිය. එමෙන්ම බලයෙන්ද අවබෝධ කළ නොහැකිය. මෙම ධර්මය අවබෝධ කළ හැකි වන්නේ අන්ධ භක්තියෙන් තොරව තමා විසින්ම නුවණින් පරීක්ෂාකොට බැලීමෙන් අනතුරුවමය. එම උතුම් දහම ප්‍රකාශ කිරීමෙන් හෝ ධර්මය වෙතට කැඳවාගෙන යාමෙන් හෝ දහම් පොත පත ලිවීමෙන් හෝ ප්‍රකාශයට පත් කිරීමෙන් හෝ ධර්ම දානය සම්පූර්ණ කළ හැකිය.
අභය දානය යම් මනුෂ්‍යයෙකුට හෝ සතෙකුට ජීවිතය රැක ගන්නට උපකාරීවීමයි. එසේත් නැතිනම් මරණයෙන් ගලවා ගැනීමයි. වර්තමානයේ බොහෝ දෙනා ගවයන්ට අභය දානය දෙති. කිසිදු සත්වයෙකුට හිංසාවක් හෝ පීඩාවක් නොකොට මරණයට පත් නොකොට අභය දානය දිය යුතුවන්නේ ය. මනුෂ්‍යයන් පමණක් නොව සියලුම සත්වයෝ තම ජීවිතවලට පි‍්‍රය කරන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් “සබ්බප්‍රාණ භූත හිතානුකම්පී” සියලු සත්වයන් කෙරේ හිතානුකම්පී වන්න යනුවෙනි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X