වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මහත් ඵල මහත් ආනිසංස ආයෝජනය

අප කවුරැත් දන්නවා යම් දෙයක් ලබන්නට නම් අප යමක් ආයෝජනය කළ යුතුයි. අද අපට ලැබී ඇති සියළු දේ පෙර අප කළ ආයෝජනයන්ගේ ප්‍රතිඵලයි. සිතන්න ඔබට යම් සුළු කාලයකට හෝ මහා අනර්ඝ වස්තුව ඇති තැනකට යන්න ලැබුනාය කියා, එහි දී ඔබ කුමක් කරයිද...? වඩා වටිනාම සියළු වස්තුව මෙහි රැගෙන එන්නට ඔබ නිසැකවම කටයුතු කරනු ඇත. 
අද ඔබ ඉපදී සිටින මේ බුද්ධෝත්පාද කාලය ද වටිනාකම කියා නිම කල නොහැකි කාලයකි. මෙහි ඔබ සිටින්නේ ඉතා ටික කාලයකි. මිනිස් ලොව වසර හැටක් හැත්තෑවක් යනු දිව්‍ය වර්ෂ හා සැසදීමේ දී ඉතා අල්ප කාලයකි. ඔබට ලැබුන මේ අනර්ඝ අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගන්නට ඔබට හැකි වුවහොත්, එය ඔබ මතු භවය වෙනුවෙන් කරන අතිශ්‍යය වටිනාකමින් යුත් ආයෝජනයකි. ඒ සඳහා බහුල වශයෙන් කුසල් රැස් කරන්නට පින් රැස් කරන්නට වඩා පහසුම ක්‍රම කිහිපයකි.

1. අනිත්‍ය නිතර මෙනෙහි කරන්න. - එය කුසල් අතර අග්‍රතම කුසලයයි.
2. මෛත්‍රිය පුරැදු පුහුණු කරන්න. - එය පින් අතර අග්‍රතම පිනයි.
3. ලැබෙන සෑම අවස්ථාවකම දේවානුස්සතිය වඩන්න. - එය දිව්‍ය සම්පත් සඳහා මාර්ගයයි.
4. ලැබෙන සෑම අවස්ථාවකම විවිධ දේ දන් දෙන්න. - එය අනේක විධ දිව්‍ය සම්පත් සඳහා මාර්ගයයි.
5. ඔබ 100% හොඳ පුද්ගලයකු නොවේ. ඔබ 100% නරක පුද්ගලයකු ද නොවේ. නමුත් ඔබ ඔබේ හොඳ වැඩි කර ගැනීමටත් නරක අඩු කර ගැනීමටත් උත්සාහවත් වන්න.
6. මරණය ඔබට දුකක් නොව මරණය ඔබට සැපක් ලෙස සිතන්න.

මේ බුද්ධෝත්පාද කාලයේ රැස් කරන පිනත් කුසලයත් අති දීර්ඝ දිව්‍ය සම්පත් සඳහා පමණක් නොව මතු බුදුවරයන් වහන්සේලාගෙන් දහම් ඇසීමටත් පාරමී සම්පූර්ණ කර ගැනීමටත් සතර අපා විපතින් මිඳීමටත් මාර්ග ඵල අවබෝධයටත් නිසැකවම හේතු වේ. ඔබේ උත්සාහයට නිසැක සැප ඵල විපාක නියතයි.

බුද්ධෝත්පාද කාලයක කරන මහත් ඵල මහත් ආනිසංස ආයෝජනයේ අප්‍රමාණ වූ ලාභය ගැන ඔබට පහත උදාහරණයම සෑහේයැයි සිතමි.

බුදුවරැන් ලොව පහල නොවන අබුද්ධෝත්පාද කාලයක මිනිස් ලොව ඉපිද බුද්ධ ධර්මය නොදැන දහස් ගනන් ජනයාට දන් දී පින් රැස් කල එක් පින්වන්තයෙක් දිව්‍ය ලෝකයේ පහල වී ගෞතම බුදුන් වහන්සේ ලොව පහල ව එම දිව්‍ය ලෝකයට වැඩම කර දහම් දෙසීමට සූදානම් වන විට මෙම දෙවියාද පැමිණ බුදුන්වහන්සේ සමීපයේ ම හිද ධර්මය ශ්‍රවනයට සුදානම් වුවත් පසුව පැමිණි දෙවිවරැන්ගේ ආයු වර්ණ බල තේජසින් ඔහුට වඩා වැඩි වූයෙන් මේ දෙවියා ක්‍රමයෙන් ගව් ගනනාවක් පිටුපසට යන්නට සිදු විය. නමුත් පසුව පැමිණි දෙවිවරැන් මේ දෙවියා තරම් දන් දී නොතිබුණි. ඔවුන්ගෙන් සමහරක් දන් දී තිබුණේ මහ සඟරැවනට එක් බත් හැන්දක් පමණි. තවත් සමහරක් බුදුන්වහන්සේ සරණ ගිය සැදැහැවතුන්ය. තවත් සමහරක් පිරිසිදු සිතින් සිල් රැක්ක අයයි. එසේ ස්වල්පයක් දන් දීමෙන් සහ සැදැහැ සිතින් සිල් රැකීම මහත් ඵල මහත් ආනිසංස ගෙන දීමට හේතු වූයේ එම දන් පිළිගන්වන ලද්දේ සහ  සැදැහැ සිතින් සිල් රැකීම බුද්ධොත්පාද කාලයක සිදු වීමයි.
by Daham Vila
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X