වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

කෝපයේ පාපය කාටද?

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ 
නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ආර්ය මාර්ගය නමැති සෘජු මාර්ගයක් තිබෙනවා. භය නැති තැන නමැති දිශාවටයි ඒ මාර්ගය වැටී තිබෙන්නේ. ඒ වගේම කිසි ශබ්දයක් නැති රථයක් තිබෙනවා. ඒ රථය කැරකෙන්නේ දහම් රෝද වලින්. ඒ රථයේ වාඩිවෙන ආසනය තමයි ලජ්ජා භය දෙක. ඒ රථය සරසා තිබෙන්නේ සිහිය නමැති සැරසිල්ලෙන්. සම්මා දිට්ඨිය පෙරටු කරගත් අධ්‍යාත්මික බලයෙන් යුතු ශ්‍රී සද්ධර්මය තමයි ඒ රථයේ රියදුරු. යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට මෙවැනි රථයක් තිබෙනවානම්, ඔහුට ඒ රථයෙන් අමා නිවනට ළං වෙන්න පුළුවනි. (සංයුක්ත නිකාය 1, අවිජරා සූත්‍රය)තථාගතයන් වහන්සේ මෙසේ වදාළේ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි.
ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ දුක්ඛිත සසරින් එතෙර වීමටයි උත්සුක විය යුත්තේ. කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරයිද, ඔහු බිය රහිත මාවතේ ගමන් කරන්නෙක් වෙයි. අද අප ජීවත්වන මේ සමාජය තුළ නොයෙකුත් නින්දා අපහාස, දුක් පීඩාවලට බඳුන්වීමට බොහෝ දෙනෙකුට සිදුවෙනවා. ඒ වගේම සමහර විට නිරපරාදේ හේතු රහිතව නින්දා අපහාස විඳින්නටත් කෙනෙකුට සිදුවන්න පුළුවන්. එවැනි අවස්ථාවක කෙනෙක් කලබලව කෝප වුණොත්, එයින් පාඩුව සිදුවෙන්නේ තමාටම යි. කෝප වීමෙන් තමාට පාඩුවක් සිදුවන බව අඥාන පුද්ගලයා නොදනී. ශ්‍රී සද්ධර්මය තුළින් තම ජීවිතය සකස් කරගත් නුවණැත්තා ලෝකයාගෙන් ලැබෙන නින්දා අපහාස ඉදිරියේ කෝප නොවේ. ඒ නිසා සත්‍යයෙන් වේවා අසත්‍යයෙන් වේවා තමාව වෙත එන චෝදනා, නින්දා අපහාස, ඉවසන්න නුවණැති අය ලෙස අප සිත ශක්තිමත් කරගන්න ඕනි. ඇත්තෙන්ම නිකරුණේ නින්දා අපහාස විඳින්නට සිදුවූයේ් අද කාලයේ ජීවත් වන අපට පමණක් නොවේ. අතීතයේත් බොහෝ ගුණැති උතුමන්ට එහෙම සිදු වුණා.
නමුත් හුදෙකලා විවේකයෙහි ඇලුණු සිංහරාජයෙකු බඳු වූ රේවත රහතන් වහන්සේ උපාසකයින්හට කිසිවක් නොදොඩා භාවනාවෙහි ඇලී නිහඬව වැඩ සිටියා. ඒ අවස්ථාවේ අතුල උපාසක තෙමේ “මුන්වහන්සේ අප කෙරෙහි කිසි අනුකම්පාවක් නොමැතිව දහම් පදයක් නොදොඩා නිහඬව වැඩ සිටින්නේ යැයි” කිපී එතැනින් නැඟිට යන්න ගියා.
ඉන්පසුව අතුල උපාසක ඇතුළු පන්සියයක් පිරිස සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත ගොස් වන්දනා කොට එකත්පස්ව හිඳ ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් “පින්වත් උපාසකවරුනි, කුමක් නිසා මෙහි ආවෙහි දැයි” ඇසූ කල්හි අතුල උපාසක කියනුයේ “ස්වාමිනි, සාරිපුත්තයන් වහන්ස, අප දහම් පදයක් ඇසීමට රේවත ස්වාමින් වහන්සේ වෙත ගියා. උන්වහන්සේ අප හා කිසි කථාවක් කළේ නැහැ. මට ඇති වූ කෝපය නිසා මම එතැනින් පිට වී ඔබ වහන්සේ සොයාගෙනයි මේ පැමිණියේ. ස්වාමිනි අප කෙරෙහි අනුකම්පාවෙන් අප හට ධර්මය දේශනා කරන සේක්වා’. ඒ අවස්ථාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එසේනම් හොඳයි උපාසකවරුනි, කියා දිගු වේලාවක් ගැඹුරු ධර්ම දේශනාවක් වදාළා. එවිට අතුල උපාසකතුමා සිතනුයේ “මුන්වහන්සේ ගැඹුරු ධර්මය බොහෝ කොට දේශනා කරන්නාහ. ඔය ඉතා ගැඹුරු ධර්මය වටහා ගැනීමට පහසු නොවේ. මේ බණෙන් අපට ඇති වැඩේ මොකක්දැයි” සිතා සාරිපුත්ත ස්වාමින් වහන්සේ කෙරෙහි ද කිපී උපාසක පිරිස රැගෙන එතැනින් පිටව ගියා.
ඉන්පසු අතුල උපාසක ඇතුළු පිරිස ආනන්ද ස්වාමින් වහන්සේ වෙත පැමිණියා. ආනන්ද ස්වාමින් වහන්සේ ද ඔවුන්ගෙන් අසනුයේ “පින්වත් උපාසකවරුනි, කුමක් පිණිස මෙහි ආවේද?” එවිට අතුල උපාසක කියන්නේ “ස්වාමිනි ආනන්දයන් වහන්ස, අප ධර්මය ඇසීමට රේවත ස්වාමින් වහන්සේ වෙත ගියා. උන්වහන්සේ අපට වචනයක්වත් දේශනා කළේ නැහැ. එයින් සිත් අමනාපව අප එතැනින් නැඟී සාරිපුත්ත ස්වාමින් වහන්සේ වෙත ගියා. උන්වහන්සේ අප හට ඉතා දිගු වේලාවක් ගැඹුරු ධර්මය බොහෝ කොට දේශනා කළා. අපට ඒ ධර්මය නො තේරෙයි. අපේ තරම නොසලකා ගැඹුරු ධර්මය බොහෝ කොට දේශනා කිිරීම නිසා සිත් අසතුටුව නොතේරෙන ධර්මයෙන් ඇති වැඩේ කිමැයි සිතා ස්වාමිනි, අප ඔබ වහන්සේ වෙත පැමිණියා. ආනන්දයන් වහන්ස, අපගේ තරම බලා අපහට තේරුම් ගතහැකි දේශනාවක් අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා”යි කියා සිටියා. ඒ මොහොතේ “හොඳයි උපාසකවරුනි”, කියා ආනන්ද ස්වාමින් වහන්සේ විසින් පහසුවෙන් තේරුම් ගතහැකි නො ගැඹුරු ධර්මයක් දිග් නො ගස්වා කෙටියෙන් වදාළා. එයට ද කිපුණු අතුල උපාසක තෙමේ “කුඩා දරුවන්ට සෑහෙන තරමේ සුළු බණක් යන්තමින් දේශනා කළේ යැයි” ආනන්ද ස්වාමින් වහන්සේ කෙරෙහි කිපී එතැනින් පිටත්ව බුදුජාණන් වහන්සේ වෙත පැමිණියා.
බුදුරජාණන් වහන්සේ මේ සම්පූර්ණ විස්තරය අතුල උපාසකගෙන් අසා දැනගෙන මෙසේ වදාළා.
පෝරාණමේතං අතුල - නේතං අජ්ජනතාමිව

නින්දන්ති තුණ්භිමාසීනං - නින්දන්ති බහුභාණිනං
මිතභාණීම්පි නින්දන්ති – නත්ථි ලෝකේ අනින්දිතෝ

පින්වත් අතුල, මේක අද පමණක් සිදු වූ දෙයක් නොවේ. ඈත අතීතයේ සිට ඔය ආකාරයම යි. නිශ්ශබ්දව සිටින විටත් බණිනවා, වැඩිපුර කථාකළත් බනිනවා. ප්‍රමාණයකට කථා කළත් බණිනවා. මේ ලෝකයේ නින්දා නො ලබපු කෙනෙක් නැහැ.
න චාහු න ච භවිස්සති – න චේතරහි විජ්ජති

ඒකන්තං නින්දිතෝ පෝසෝ - ඒකන්තං වා පසංසිතෝ

තනිකරම නින්දා පමණක් ලැබූ කෙනෙක් හෝ, ප්‍රශංසා පමණක් ලැබූ කෙනෙක් අතීතයේ සිටියෙත් නැහැ. අනාගතයේ ඇතිවෙන්නෙත් නැහැ. දැන් වර්තමානයේ දැක ගන්නටත් නැහැ.
යඤ්චේ විඤ්ඤු පසංසන්ති – අනුවිච්ච සුවේ සුවේ

අඡිච්ද්දවුත්තිං මේධාවිං - පඤ්ඤාසීලසමාහිතං

බුද්ධිමත් උදවිය යම් කෙනෙකුට ප්‍රශංසා කරනවා නම්, ඔහුගේ පිරිසුදු ජීවිත පැවැත්ම, බුද්ධිමත් බව, සිල්වත් බව, සමාධිිමත් බව, ප්‍රඥාවන්ත බව ආදිය හොඳට විමසා කරුණු දැනගෙනමයි කළ යුත්තේ.
නෙක්ඛං ජම්බෝනදස්සේව - කෝ තං නින්දිතුමරහති

දේවා’පි නං පසංසන්ති – බ්‍රහ්මුතා’පි පසංසිතෝ

එබඳු කෙනෙක් බබළන්නේ දඹරන් රුවක් වගේ. එහෙම කෙනෙකුට නින්දා කරන්නට කවුද සුදුසු? ඔහුට දෙවියොත් ප්‍රශංසා කරනවා. බ්‍රහ්මයා පවා ප්‍රශංසා කරනවා.
අතුල උපාසක විසින් අරණ්‍යවාසී භික්ෂූන් අතරින් අග්‍ර වූ රේවත ස්වාමින් වහන්සේටත්, ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටත්, ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්වාමින් වහන්සේ හටත් නින්දා කළේ සැබවින්ම සහේතුකවයි.
ඇතැම් කෙනෙක් ඉවසන විට එය මෝඩකමක් හෝ නිවටකමක්ය කියා සමහරු සිතනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ “ඛන්තී පරමං තපෝ තිකික්ඛා” එනම් ඉවසීම වනාහි උතුම්ම තපස වේ යනුවෙනිි. සංයුක්ත නිකායේ වේපචිත්ත සූත්‍රයේ මේ ආකාරයට සඳහන් වෙයි. මොහු මේ ඉවසන්නේ මට බයෙන්ය කියා කෙනෙක් හිතුවත් කමක් නැහැ. නැතත් කමක් නැහැ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නැහැ.
සංයුක්ත නිකායේ සක්ක සංයුත්තයේ “සුභාසිත ජය” සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. “යමෙක් කිපියහුට පෙරළා කිපෙයිද, ඒ කෝපයෙන් පාපය වන්නේ ඔහුටමය. කිපුන තැනැත්තාට පෙරලා නො කිපෙන්නේ දිනීමට දුෂ්කර වූ යුද්ධය දිනීමටය.”
ඒනිසා ලෝකයෙන් ලැබෙන නින්දා, අපහාස ඉදිරියේ නොසැලී සත්පුරුෂයන් විසින් වර්ණනා කොට වදාළ උත්තම ගුණයන් වූ ඉවසීම ඇතිකර ගැනීමට බුද්ධිමත් වූ අපත් අධිෂ්ඨාන කර ගනිමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පහන් සිතින් දන්දෙමු

ශ්‍රාස්ත්‍රපති, 
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

අප යම් දානයක් දෙනවිට හෝ වෙනත් යමක් පූජා කරන විට ඒ දානයේ ආනිශංස පියවරෙන් පියවර ඉදිරියට යන ආකාරය බුදුරජාණන් වහන්සේ වදාළා, අප යමක් සිල්වන්තයෙකුට දෙනවානම් එහි ආනිශංස වැඩියි. ඒ වගේම දුස්සීලයෙකුට දෙන දානයෙන් ආනිශංස නැතිවා නොවේ.
දිනක් වච්චගොත්ත නම් පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ මුණගැසී ගරු සැලකිළි දක්වා අසනවා “ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ වදාරා තිබේද? මටම දන් දෙන්න. අනෙක් ශාස්තෘන් වහන්සේලාට දන් දෙන්න එපා. මගේ ශ්‍රාවකයන්ටම දන් දෙන්න. අනෙක් ශ්‍රාවකයන්ට දෙන්න එපා. මට පමණක් දෙන දානයේ මහත්ඵල මහානිශංස ලැබෙනවා, අනෙක් අයට දෙන දානයේ මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ. මගේ ශ්‍රාවකයන්ට දෙන දානයේ මහත්ඵල මහානිංශස ලැබෙනවා අනෙක් ආගම්වල අයට දෙන දානයෙහි මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ කියා. එසේ නොමැතිනම් එය අභූතයෙන් චෝදනා කිරීමක්ද?
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාළා බ්‍රාහ්මණය, යම් කෙනෙක් මේ ආකාරයට කියනවානම් එය භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක්. බ්‍රාහ්මණය, දන් දීමට කැමැති කෙනෙක් වෙනත් පුද්ගලයෙකු විසින් වළක්වනු ලබනවානම්, ඒ වළක්වන්නා තුන්දෙනෙකුට අනතුරක් කළා වෙනවා. ඒ

* දායකයාගේ පිනට අනතුරක් කිරීම (ඒ දානය වළක්වන්නා විසින් ඒ පින නැතිකර දමනවා.)
* ප්‍රතිග්‍රාහකයාට (දානය පිළිගන්නාට) ලැබෙන්න තිබෙන දේ (ලාභය) නැතිකර දැමීම.
* ඒ දෙකටම වැඩිය භයානක දේ තමන් විනාශ කර ගත් පුද්ගලයෙක් බවට පත්වීම.
අප දන්නවා අනුන් දෙන දානයක් තව අයෙකු වළක්වනවානම් එය කරුණාවෙන්, මෛත්‍රියෙන් කරන දෙයක් නොවේ. දෙන පුද්ගලයා ගැන හෝ ලබන්නා ගැන අනිවාර්යයෙන් ඊර්ෂ්‍යාවක් ඇතිවිය යුතුයි. ඒ දීමනාව වළක්වන විටම ඔහුගේ අධ්‍යාත්මය පිරිහෙනවා. සිත කෙලෙසෙනවා. ද්වේෂයෙන්, ලෝභයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පළිගැනීමෙන්, කුහකකමින් සිත පුරෝගෙන තමන්ගේ අභ්‍යන්තරය විනාශ කරගත් කෙනෙක් වෙනවා.
දුසිල්වතාටත් දන් දෙමුද?
අපි සිතමු ,යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුට යමක් දෙනවිට එය වැළැක්වීමේ චේතනාවෙන් කියනවානම් මෙයාගේ හැටි ඔයා දන්නේ නැහැ. මේ කරන්නේ විශාල බොරුවක් . මොනවත් දෙන්න එපා කියා එය හොඳ දෙයක් නොවේ. සොරෙකුට හරි දෙනවානම් ඒ දීමනාව තුළ දෙන පුද්ගලයාට පිනක් රැස්වෙනවා. යමක් ලබන්නා සිල්වන්ත වන තරමට ආනිශංස වැඩිබව ඇත්තයි. නමුත් නරක පුද්ගලයෙකුට හෝ හොඳ සිතින් යමක් දෙනවානම් ඒ හොඳ සිත ඇතිකර ගත් පුද්ගලයාගේ ශක්තිය වැඩිවෙනවා.
අද සමාජයේ අප දකිනවා පාරඅයිනේ, බස්නැවතුම්පළ, බස්රථවල සිඟමන් යදින අය සිටිනවා. ඔවුන් දෙස බලා යම් කෙනෙකුට අනුකම්පාවක් ඇතිවෙනවා අනේ මේ පුද්ගලයා සසරේදී නම් කිසිදු දානයක් දුන් කෙනෙක් නොවේ. ඒකයි මේ ලෙස අනෙක් අයගෙන් යදින්නේ කියා සිතා පිරිසුදු චේතනාවෙන් යමක් දීමේදී ඒ අසල සිටින තවත් පුද්ගලයෙක් කියනවා මේ වගේ මිනිස්සුන්ට දන් දෙන්න හොඳ නැහැ. මත්ද්‍රව්‍ය බොන පුද්ගලයෙක් වගේ. අප දෙන නිසයි මේ මිනිස්සු අතපය තියාගෙන හිඟා කන්නේ කියා දෙන දේ වළක්වන්නට හදනවා. එසේ නොකර අප සිතන්න ඕන මේ දේ ලබන පුද්ගලයා මේ මුදලෙන් සුරාව පානය කළත්, වෙනත් මත්ද්‍රව්‍යය භාවිත කළත්, වෙනත් වැරැදි වැඩකට යෙදවූවත් එය මට අදාල කාරණයක් නොවේ. අප සිතන්න ඕන මට මේ පිනක් කර ගන්න ළඟටම ආපු අවස්ථාවක්. හැමදාම මට මෙසේ සල්ලි දෙන්න හැකියාවක් නොතිබෙන්න පුළුවන්. ඒ වගේම දෙන්න කෙනෙක් නො ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මට යමක් දෙන්න හැකියාව තිබියදීත්, දෙන්න කෙනෙක් සිටිද්දීත් මෙය ලබාදීම තමයි හොඳම අවස්ථාව කියා.
සැබෑ අතහැරීම
අප දන්නවා ආනිශංස වැඩිවෙන්න නම් යමක් ලබන්නාත් ඒ දේ දෙන්නාත් සිල්වත් වීම අවශ්‍යයි. මෙහිදී යමක් ලබන්නා දුස්සීලයි කියා දැනගත්විට දෙන පුද්ගලයා තවත් හොඳින් සිල්වත් වී එය ලබා දෙනවානම් එහි විශාල ආනිශංසයක් රැස්වෙනවා. යමක් ලබන්නා සිල්වන්තයි කියා දැනගත්විට දෙදෙනාගේම සිතේ කරුණාව මෛත්‍රීය පෙරදැරි වෙනවා.එය ස්වභාවයෙන්ම වෙන අතර එයට වීර්යයක් ඇතිකරගත යුතු නැහැ. නමුත් ලබන්නා දුස්සීලයි කියා දැන දැනත් ඒ දුස්සීල මිනිසා කෙරෙහි කරුණාවක්, මෛත්‍රියක් උපදවාගන්න පුළුවන්නම් එතැනයි අතහැරීමේ උපයෝගිතාව වැඩි. එය සැබෑ අතහැරීමක්. අමාරුකම්, බාධක, සිතිලිවිලි නරක අතට හැරීගෙන එද්දී ඒවා මැඩපවත්වාගෙන හොඳ අතට හරවා ගැනීම විශාල දක්ෂකමක්. සිත පැහැදුණු අවස්ථාවක යමක් අතහරිනවා කියන එක අරුමයක් නොවේ. එය කිරීම පහසුයි. අමාරු අවස්ථාවේ අතහැරීමයි දක්ෂකම වන්නේ.
උග්ග ගෘහපතියාගේ අතහැරීම
දිනක් උග්ග ගෘහපතියා ස්වාමින් වහන්සේ පිරිසක් මුණගැසී කියනවා ස්වාමිනි, මම දන් දෙන්න ඉතා කැමැතියි. දිනක් මම දානයක් දීමට සූදානම් කොට පන්සල් ගානේ ගොස් ස්වාමින් වහන්සේට ආරාධනා කළා. ඒ අවස්ථාවේ මට හිතවත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඇවිත් කියනවා ගෘහපතිතුමනි, ඔබ අසවල් පන්සලේ ස්වාමින් වහන්සේට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ ඉතාමත් සිල්වන්ත හිමිනමක්. උන්වහන්සේට දානය පූජා කිරීම ඔබගේ භාග්‍යයක්. ඒ වගේම ගෘහපතිතුමනි, ඔබ එහා පන්සලේ හාමුදුරුවන්ට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ සකෘදාගාමි මාර්ගඵලලාභියෙක්. උන්වහන්සේට දෙන දානයත් අපතේ යාමක් නැහැ. ගෘහපතිතුමනි දකුණු ප්‍රදේශයේ පන්සලේ ස්වාමින් වහන්සේට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ දානය මහත්ඵලයි මහානිශංසයි. ඒ වගේම ඔබ අර ඈත තිබෙන පන්සලේ ස්වාමින් වහන්සේටත් දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ නම් දුස්සීලයි. උන්වහන්සේට දෙන දානයේ නම් ඔබට කිසිදු පිනක් රැස්නොවේ කියා කිව්වා. ඉතින් මේක විශ්වාසවන්ත ආරංචියක්. දෙවියන් විසින් කියු පණිවුඩයක්. මේ ගෘහපතියා කියනවා ස්වාමිනි, මේ භික්ෂුව දුස්සීලයි කියල දැන දැනත් මම මගේ සිත රැක ගත්තා. මගේ සිතේ කිසිදු ද්වේෂයක්, කෝපයක් හටගත්තේ නැහැ. රහතන් වහන්සේට දානය පූජා කරද්දී මගේ සිතේ යම් මෛත්‍රියක් තිබුණාද? ඒ ආකාරයෙන්ම දුස්සීල භික්ෂුවට දානය පූජා කරද්දී මගේ සිතේ මෛත්‍රිය තිබුණා කියා මේ ගෘහපතිතුමා කියා සිටියා.
ඉතින් ඔබ සිතන්න ඔබ යමක් දෙනවානම් ඒ ලබන්නා කෙරෙහි ඔබේ සිතේ ද්වේශයක්, අකැමැත්තක් හට ගන්නේ ඇයි. ඔහු දුස්සීල නිසා. අප දන්නවා දුස්සීල කෙනෙකුට යමක් දුන් විට තමන්ට ලැබෙන ආනිශංස අඩු බව. එසේ නොමැතිව අනේ මේ දුස්සීල පුද්ගලයාට පවු කරන්න භයක් නැහැනේ කියා ඔහු ගැන අනුකම්පාවෙන් නොවේ. මේ දුස්සීල පුද්ගලයාට නොදී මේ දානය සිල්වත් කෙනෙකුට දුන්නානම් මට පින වැඩියිනේ කියා අපේ සිතට යම් කෝපයක් ඉස්මතු වෙනවා. එතැන බැඳීමක්, ආශාවක් තිබෙන්නේ. යමක් ලබන්නා දුස්සීලයි කිය කියා දැන දැනත් ඒ ඇතිවන පටිඝය තරහව, මානය, ක්ලේශය මැඬපවත්වන්න පුළුවන්නම් එයයි මහත්ඵල වෙන්නේ. එතැනයි නියමාකාරයෙන් කෙලෙස් හැකිළෙන්නේ.
නියම අතහැරීම
අප ආනිශංස පැත්ත බලාගෙනම දුන්නානම් නොදැනීම සංසාරය දිගු වෙනවා. දන් දුන් නිසා භවබෝග සම්පත් ලැබුණත් ඒ සමඟම කෙලෙස් වැඩිවෙනවා. ඒ නිසා සැබෑ අතහැරීම පදනම් කරගෙන යමක් දුස්සීල කෙනෙකුට හෝ දන් දෙනවානම් එය තමයි නියම අතහැරීම. ඒ නිසා සිල්වන්තයෙකුට වුවත් අතහැරීමේ අභිලාශයෙන් කර්මඵල දැනගෙන දන් දෙනවානම්, ඒ අතහැරීමත් ඉතා හොඳ අතහැරීමක්.
ඒ නිසා අප කම්පාවෙන්න හොඳ නැහැ අපරාදේ මම මේ මනුස්සයාට මේ දේ දුන්නේ. මට නොදී ඉන්න තිබුණායි යමක් දුන් පසු සිතන්න එපා. ඒ වගේම කෙනෙක් දැන දැනම දුස්සීල කෙනෙකුට යමක් දෙනවානම් ඒ දේත් වළක්වන්න එපා. සීලවන්ත හෝ දුස්සීල හෝ මොනයම් කෙනෙකුට දන් දීමක් කරනවිට වළක්වනවානම් එය පාපයක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, යම් කෙනෙක් මඩ ගොඩක, ජරා වළක ඉන්න සතුන් කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් කෑම කාලා පිගාන සෝදා මේ ඉඳුල් වතුර විසි කරද්දී සිතුවොත් මේ පුංචි ඉඳුල් කෑලි කාලා පුංචි සතෙකු හරි සුවපත් වේවා කියා එයත් එක් දානයක්. ඒ අනුව අපට එදිනෙදා තුන්වේලක් දානය දෙන්න පුළුවන්. අපේ නිවසේ තිබෙන ඉඳුල් සෝදන බේසමට හෝ හොඳ චේතනාවෙන් ඉඳුල් සෝදා දමනවානම් ඒ ඉඳුල් ගසාගෙන ගොස් යම් වළකට හෝ තැනකට ඒ ජලය රැස් වෙනවා. එතැන සිටින කුඩා ජීවින්ට එය ආහාරයක්. ඒ හැඟීමෙන් අවබෝධයෙන් යුතුව යම් කෙනෙක් කටයුතු කරනවා නම් නියම අතහැරීම එයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කළ හැකි උතුම් දානය

මහනුවර මල්වතුමහා විහාරවාසී, 
පුරාවිද්‍යා විශේෂවේදී 
ශාස්ත්‍රපති 
මැදමහනුවර ධම්මසිරි හිමි

සියලු දන්දීම් අතර ධර්ම දානයම උතුම් වන බව, විශිෂ්ඨ වන බව සම්බුදු දහමේ ඉගැන්වේ. ඒ අප විසින් සිතින්, වචනයෙන්, කයින් රැස්කර ගනු ලබන කුසල කර්මයන් ධර්මය ශ්‍රවණය කිරීමෙන්ම රැස් කරගන්නා නිසාය. බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙර සිටම යම් යම් දානයන්, පුණ්‍ය කටයුතු, ව්‍රත සමාදන් වීම සිදු විය. එහෙත් ඒවා කුසල කර්ම වූයේ නැත. බුද්ධ ශාසනයක් නැතිවද ‘පින්’ කර ගත හැකිය.
යම් තාපසවරුන්ගෙන්, ආගමික නායකයන්ගෙන් අසා, දැන ඉගෙන පින් රැස් කිරීමට පුළුවන.එහෙත් කුසල් රැස් කරන්නට නම් සම්මා සම්බුදු ශාසනයක් මුණ ගැසී, සම්මා සම්බුදුවරයෙකුගෙන් හෝ, ඒ ශාසනය තුළ නිවන් මඟ පාදා ගත් ආර්ය ශ්‍රාවකයකුගෙන් හෝ මාර්ගඵල අත්පත් කර ගන්නට පිළිවෙත් පුරන ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ධර්මය අසා දැන ගත යුතු වේ.

‘සුනාථ ධාරෙථ චරාථ ධම්මේ’
මෙහි ‘ධාරෙථ’ යනු ධාරණය කර ගැනීමය. ‘චරාථ’ යනු ක්‍රියාත්මක කිරීමය. ධාරණයටත්, ක්‍රියාවටත් පෙර ශ්‍රවණය කළ යුතු ය. ‘සුනාථ’ නම් ශ්‍රවණයයි. ශ්‍රවණය කිරීමකින් තොරව ස්වයංභූඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නේ සම්මා සම්බුදුවරයාණන් වහන්සේ නමක් පමණි.
ධර්ම දේශනය කිරීම ධර්මය ප්‍රදානය කිරීම යැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් පුළුල්ව ගත් කල කණ්ඩායමකට, විශාල පිරිසකට ආදී ලෙස දන්නා අය ලවා ධර්මය දේශනා කරවීම, ධර්මය දන්නා අය ලවා ලියවා ප්‍රසිද්ධ කිරීම, පොත්, පුවත්පත්, ධර්ම පත්‍රිකා බෙදාදීම, පරිගණක උපාංග භාවිතයෙන් ධර්මය ලොව පුරා ප්‍රචාරය කිරීම, තමන් විසින් ධර්මය ලියනු ලැබීම, බෙදා හදා ගැනීමට සැලැස්වීම ආදියද ධර්ම දානයට අයත් ය.
වතුපිටි, ආවාස, වැසිකිළි, කැසිකිළි තනවා පූජා කිරීම මහා කුසල් රැස්වෙන දානමය පින්කම් බව ධර්මයෙහි ඉගැන්වේ. එහෙත් ඒ සියල්ල අභිබවා ඉහළින්ම තබා ඇත්තේ, ධර්ම දානයයි.
සාංඝික දාන පිරිනමන්නට, වස්ත්‍ර පූජා කරන්නට ආහාර පූජා කරන්නට, දුගී මගීන්ට ආනිශංස දැන පිහිට වෙන්නට බලපාන්නේ ධර්මය අසා, කියවා ඉගෙනගෙන තිබීමය. ඒ අනුව වචනයකින් වුවද සත්පුරුෂ ධර්මය ප්‍රචාරය කිරීම පින් රැස්වන දෙයකි. ථූපාරාමය, මිරිසවැටිය, ලෝවාමහා ප්‍රාසාදය, රුවන්වැලි මහ සෑය ආදී බොහෝ වෙහෙර විහාර තනවා සම්බුද්ධ ශාසනයට පූජාකොට මහා පින්කම් කළ දුටුගැමුණු මහරජතුමා ඒ සියලු දානයන් පරදවා ධර්ම දානයම උතුම් වන බව භික්ෂූන්වහන්සේගෙන් අසා දැන ලෝවාමහා ප්‍රාසාදය වෙත පැමිණ ආසනයක් තනවා එහි හිඳ මහා මංගල සූත්‍රයෙන් බණ කියන්නට සූදානම් වූ බවත්, එසේ වුවද රජුට එක ගාථා පදයක් හෝ කියන්නට නොහැකි වූ බවත් අටුවාවේ කියැවේ. ඒ අවස්ථාවේ බණ කීමෙන් මෙන්ම, බණ පොත් ලියා බෙදා දීමෙන්, ධර්මය දන්නා අයලවා දේශනා කරවීමෙන් ධර්මදානමය පින්කම කරගත හැකි බවට භික්ෂූන් වහන්සේ රජුට අනුශාසනා කළහ. ඒ අනුව රජු, ගම් දහයකට එක ආරාමය බැගින් කරවා, භික්ෂූන් වහන්සේ වඩා හිඳුවා, සිව්පසය ලැබෙන්නට සලස්වා ධර්මය දේශනා කිරීමට අවකාශය සැලසූ බවද, ධර්මය ලියවා ප්‍රසිද්ධ කළ බව ද එහි විස්තර කැරේ.
‘අකනිටා බඹලොව‘ සම්බුදු දහමේ කියැවෙන්නකි. මහ පොළොවේ සිට අකනිටා බඹලොව දක්වා අහස්කුස පුරවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේට සිව් පසයෙන් දන් දෙනවාට වඩා එක ගාථා පදයකින් ධර්මය දේශනා කිරීමෙන් කුසල් රැස්වන බව ද ධර්ම සාහිත්‍යයේ විස්තර කැරේ.
ධර්ම දේශනයක් සඳහා ආරාධනා කරන අයට, බණ පදයක් ශ්‍රවණය කළ අයට, බණ පද දෙකක් ශ්‍රවණය කළ අයට ආදී ලෙස වෙන් වෙන් වශයෙන් ආනිශංස ලැබෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
ආලවක යක්ෂයා බුදුරදුන් වෙත පැමිණ ප්‍රඥාව ලබන්නේ කෙසේදැයි විමසූ අවස්ථාවේ උන්වහන්සේ පෙන්වා දුන්නේ ‘ශ්‍රවණය කරන්නෝ ප්‍රඥාව ලබති’ යනුවෙනි. ප්‍රඥාව නම් ඇතිවන නැතිවන ස්වභාවය අවබෝධ කර ගැනීමය. චතුරාර්ය සත්‍ය, හේතුඵල ධර්මය වුවද අවබෝධ කර ගැනීමට ප්‍රඥාව ලබන්නේ ධර්ම කියවා අසා දැන ඉගෙන ගැනීමෙනි.
එහි පළමු සාක්ෂිය ලැබුණේ බරණැස ඉසිපතනයෙනි. බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා දේශනාකොට වදාළ ප්‍රථම ධර්ම දේශනාව, දම්සක් පැවතුම් සූත්‍රය ශ්‍රවණය කිරීමෙනි, සෝවාන් ඵලයට පත්වූ පළමු ශ්‍රාවකයන් වහන්සේ පහළ වන්නේ. එදා බුදු සව්වන් දේශනාකොට වදාළ ධර්ම දේශනා අසා මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදුණු බ්‍රාහ්මණයින්ගේ ප්‍රමාණය අප්‍රමාණය. තෘෂ්ණාව අත්හැර නිවන් පසක් කළෝ අප්‍රමාණය. ධර්මය අසා සිත පහදා ගත්තෝ, ධර්මානුකූලව දිවි මඟ සාර්ථක කර ගත්තෝ අප්‍රමාණය.
ඇඟිලි දහස සම්පූර්ණ කරන්නට බුදු හිමියන් පසුපස දිව යමින් ‘නවතිනු මහණ’ යි ගුගුළ අංගුලිමාලට ‘මම නැවතී සිටිමි, නුඹ නවතින්න’යි බුදු හිමියන් ප්‍රකාශ කළවිට අංගුලිමාල වැන්නත් සිතන්නට පටන් ගත්තේ ද ශ්‍රවණය කිරීමෙනි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිපිටක ධර්මය පුරාම අන්තර්ගත වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය ඈ ධර්ම කරුණු පිළිබඳවය. ධර්මදානයක් නම් ඒ දේශනාවන් තුළ එම ධර්ම කරුණු අන්තර්ගත විය යුතු ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳව යම් පහදාදීමක් විය යුතු ය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ධර්ම කරුණු විස්තර විය යුතුය. ඉහළ ආනිශංස ලැබෙන්නේ එවැනි ධර්ම දානයක් කළ අයටය. රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන් විසින් රචිත කෙලෙස් 150 නැමැති දහම් ග්‍රන්ථයේ සඳහන් ලෙස ධර්ම දානයෙන් වුවද සිත කෙලෙසීමට, අපවිත්‍ර වීමට පුළුවන. ඒ දහම් දානය කරන ගිහි පුද්ගලයකු හෝ වේවා පැවිදි පුද්ගලයකු හෝ වේවා කීර්තිය, ප්‍රශංසාව, නම්බුනාම, ලාබය අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ධර්ම දානය කිරීමෙන්ය. දහම් දානය වුවද පරිෂ්කාර, ගරු බුහුමන් අපේක්ෂාවෙන් නොකළ යුතු ය. එවැනි අරමුණකින් දහම් දානය කරන්නාට නියම ආනිශංස හිමි වන්නේ නැත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

යහපත් ක්‍රියාවක අයහපත් චේතනාව

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

මනස සැහැල්ලුවෙන් තැන්පත්ව තබා ගැනීමට උත්සාහ කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මනස සැහැල්ලුවෙන් තබාගැනීමට නොහැකිකම නිසා පුද්ගල ගැටලු සහ සමාජ ගැටලු ඇතිවන බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුද්ගලික වශයෙන් ඇති වන ගැටලු නිසා සිත කය වචනය හසුරුවන්න යෑමෙන් සමාජයට අප විසින් කෙතරම් ප්‍රමාණයක ගැටලු ඇතිකරනවාද?
යනුවෙන් සිතා බැලුව හොත් එම ප්‍රමාණය විශාලයි. කිසියම් පුද්ගලයෙකු තමන් වැඩ කටයුතු කරනවා නම්,හොඳින් සිතල හොඳින් කල්පනා කරල එම කටයුත්ත කළ යුතුයි.භික්ෂූන් වහන්සේලාට වදාරා ඇත්තේද, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යනුවෙන්. භික්ෂූන් වහන්සේලා අමතමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේද, මහණෙනි චේතනාවම මම කර්මය හැටියට දක්වනවා.
තමන් කරනු ලැබුවා වූ කර්මය යහපත් දෙයක්ද, අයහපත් දෙයක්ද යනුවෙන් තීරණය කිරීම සිදුවන්නේ තමන්ගේ සිතිවිල්ල මතයි. මිනිසා සිතින් සිතාම කටයුතු කරයි. යමෙකු යමක් කරනවා නම්,එම කරන ක්‍රියාව කියන වචනය සිතන සිතිවිල්ල පවා සිතින් සිතාම සිද්ධ කරන බවයි. සිතින් ලබාගන්නාවූ අවසරය මත ක්‍රියාවක් කරන නිසා මහණෙනි, චේතනාවම කර්මය හැටියට දකිනවා.මනුෂ්‍යයෙකු හැටියට සමාජයට යම් යම් දේ ක්‍රියාත්මක කරන විට මූලික වශයෙන් සිත, කය වචනය යන තුන් දොර මෙහෙයවමින් සිදුකරනු ලබයි.
කයෙන්, වචනයෙන් යමක් සිදු කළත් ,තමන් කරනු ලබන ක්‍රියාව කළ යුතුද? නොකළ යුතුද? යන්න තමාට අවසරය ලබාදෙන්නේ තමාගේම සිතයි. කිසියම් වූ පුද්ගලයෙක් කිසියම් දෙයක් කළ විට එහි ප්‍රතිඵලය යහපත් හෝ අයහපත් විය හැකියි. සමාජයට පෙනෙන දේ යහපත හෝ අයහපත ලෙස තීරණය කරයි. කිසියම් පුද්ගලයෙකු කිසියම් දෙයක් කරන විට එය අයහපත් දෙයක් ලෙස සමාජයට පෙනෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවක එම ක්‍රියාවම යහපත් දෙයක් ලෙස සමාජයට සිතෙන්න පුළුවන්. සමහර අයෙකුට එම ක්‍රියාව හොඳ දෙයකුත් නොවන නරක දෙයකුත් නොවන ලෙස පෙනිය හැකියි. කිසියම් අයෙකු සමාජයට ක්‍රියාවක් කළ විට ප්‍රතිඵලයක් පෙනෙන්න තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ සමාජයට පෙනෙන ප්‍රතිඵලය වෙනත් එකක්. පුද්ගලයාට එහි අර්ථය සිත සුව පිණිස පවතින්නේ ඔහුගේ සිතිවිල්ල මත බවයි.
කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණ කතාබහක් තවත් අයෙකුට හෝ ආයතනයක ප්‍රධානියාට හෝ කියනවා නම්,එම කීම කේලමක් බවට පත්වෙනවාද? නැද්ද? එය අකුසලයක්ද, කුසලයක්ද බවට පත්වන්නේ කියන පුද්ගලයාගේ සිතිවිල්ල මතයි. එම පුද්ගලයා ඇත්ත ප්‍රකාශ කළත් ඔහු එම ඇත්ත ප්‍රකාශ කරන්නේ ආයතන ප්‍රධානියා සමඟ බිඳවීමේ අදහසින් විය හැකියි. එම දෙදෙනා අතර ගැටුමක් ඇතිකිරීමේ අදහසින් ඔවුන් බිඳවීමේ චේතනාව ඔහු තුළ පවති. ආයතන ප්‍රධානියාත් සමඟ ගැටුමක් ඇති කිරීමෙන් ඔහුට ලාභයක් ඇති වෙනවා වෙන්න පුළුවන්. එම ලාභය හෝ වාසිය ලබාගැනීමේ චේතනාව වෙනත් චේතනාවක් වෙයි. එම දෙදෙනා බිඳවීීමේ චේතනාව වෙනත් එකක් වෙයි. වෙනත් චේතනාවක් සිත තුළ තබාගෙන එම දෙදෙනා බිඳවීමේ අදහසින් ප්‍රකාශ කරනු ලැබුෙවි බොරුවක් නොවිය හැකියි. දෙදෙනෙකු බිඳවීමේ චේතනාවෙන් තවත් අයෙකු යම් කිසි ස්ථානයක සිදුවුණ සිද්ධියක් ප්‍රකාශ කිරීම කේලමක් බවට පත්වෙයි. අප අපගේ ජීවිතය තුළ අපගේ කටින් කෙතරම් ප්‍රකාශ ප්‍රමාණයක් ප්‍රකාශ කර ඇතිද?එම ප්‍රකාශ තමන් කුමන චේතනාවෙන් කළාද? කියන කාරණාව දන්නේ තමන් පමණයි. කිසියම් තැනැත්තෙකු හෝ තැනැත්තියක කිසියම් ක්‍රියාවක් කළාට පසුව සමාජයට එහි ප්‍රතිඵලය දකින්නට ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. ඇතැම් අවස්ථාවල එයින් සමාජයට ලැබෙන ප්‍රතිඵලය යහපත් දෙයක් විය හැකියි. පුද්ගලයෙකු යහපත් චේතනාවෙන් යහපත් ක්‍රියාවක් කරනවා විය හැකියි. ඒ වගේම යහපත් චේතනාවෙන් අයහපත් ක්‍රියා කරනවා විය හැකියි. අයහපත් ෙචිතනා පෙරදැරිව යහපත් වැඩ කරනවා වෙන්නත් පුළුවන්. අයහපත් චේතනා පෙරදැරිව අයහපත් වැඩද කළ හැකියි. මිනිසුන් යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා කරන බවයි.යහපත් ෙචිතනාවෙන් යහපත් වැඩද අයහපත් චේතනාවෙන් අයහපත් වැඩ කරන බවට කොටස් දෙකකට අප විසින් බෙදනු ලබයි.
යහපත් චේතනාවෙන් යහපත් ක්‍රියාවක් කිරීම එතරම් ගැටලු සහගත නොවෙයි. අයහපත් චේතනාවෙන් අයහපත් ක්‍රියාවක් කිරීම එතරම් ගැටලු සහගත නොවෙයි. අයහපත් චේතනාවෙන් යහපත් වැඩ කරන අවස්ථාද නැතුවා නොවෙයි. වේතනාව අයහපත් වුවත් , එම ක්‍රියාව සමාජයට යහපත් ක්‍රියාවක් ලෙස දක්නට ලැබෙයි. රට තුළ මාර්ග හැදීම යහපත් ක්‍රියාවක්. මිනිසුන්ට නිදහසේ ඉඩකඩ ඇතිව ලස්සන පරිසරයක ගමන් කළ හැකියි. පාර හැදීමට කොන්ත්‍රාත් බාරගන්න පුද්ගලයා තමන් ලබාගත් කොන්ත්‍රාත් සියල්ලම තමාගේ ඥාතීන්ටම ලබාදෙයි. බුදුරජාණන් වහන්සේ ඥාතීන්ට සැළකිය යුතු බවට දේශනා කළ බව සත්‍ය වුවත්,ඥාතීන්ට සැළකීම යහපත් කාරණාවක් වුවත්, පොදු මහජනතාවගේ පොදු කටයුත්තක් කිරීමට තිබෙන මුදලින් තමන්ගේ ඥාතීන්ට සැළකීම වැරැදියි. ඔහුගේ පුද්ගලික ධනයෙන් ඥාතීන්ට සැළකීම යහපත් ක්‍රියාවක්.
එම කටයුත්ත කරන අවස්ථාවෙහි තමන්ට කොමිස් මුදලක් ලැබෙයි. එම කොමිස් මුදල ලබාගැනීම ඔහුට අකුසලයක් නොවෙයි. ඔහු කොමිස් මුදලෙහි ප්‍රමාණයට අනුව කටයුත්ත අවසන් කර කටයුත්ත සඳහා ලබාදී ඇති මුදල තමාගේ කොමිස් එකට ලබාගෙන එම මුදල පරිහරණය කිරීම අකුසල ක්‍රියාවක් වෙයි. රට තුළ පවතින සම්මත ක්‍රමයට අනුව තමාට හිමි විය යුතු මුදල ලබාගැනීම අකුසලයක් නොවුනත් ,ඔහුගේ චේතනාව වෙනත් ආකාරයට මුදල් ලබාගෙනත් තමන් එම පාර හැදූ බවටද ඔහු විසින්ම ප්‍රකාශ කරයි. එසේ පාර හැදුවත්, සමාජයට පාරක් හැදී තිබෙන නිසා එය යහපත් වැඩක් වෙයි. නමුත් ඔහු යහපත් ක්‍රියාව සිදුකරනු ලැබුවේද, අයහපත් චේතනාවෙන්. සමාජයට යහපත් කටයුත්තක් කළත් ඔහු අකුසලයක් සිදුකර ගනී. එම පුද්ගලයා කරනු ලැබූ ක්‍රියාවේ චේතනාව අයහපත් නිසා ඔහුට අකුසලයක් සිදුවුණා.
මෙම සමාජය තුළ ඇතැම් පුද්ගලයන් අයහපත් චේතනාවන් තබාගෙන සමාජයට යහපත් වැඩ කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන අවස්ථා තිබෙනවා.
කිසියම් දරුවෙක් එම දරුවාගේ අම්මා සමඟ ඉතාමත් තරහෙන් සිටියා.කුඩා කල සිටම දරුවාට ආහාර පාන ,බේත් හේත් , ඇඳුම් පැලඳුම් හා එයට අමරතර සියලු වැඩ කටයුතු කරදෙමින් අම්මා සහ තාත්තා දරුවෙකුට සිවු පසයෙන් සළකනවා. අම්මා තාත්තා දුක් මහන්සියෙන් හම්බ කළ මුදලින් දරුවන්ට නොමිලයේම සිවිපසය ලබාදෙන බව දරුවන්ද දැනගත යුතුයි. කෑම බීම, බේත් හේත් ලබාදෙමින් දුක සැප බලන අම්මා තාත්තා සමඟ ඇතැම් දරුවන් රණ්ඩු සරුවල් ඇති කරගනු ලබන අවස්ථා නැතිවා නොවෙයි. අම්මා ගහන බවට එම දරුවා අම්මාට චෝදනා කරයි.වර්තමාන සමාජ පරිසරය තුළ දරුවෙකු ලොකු මහත් වෙන විට බයක් දනෙන බවත් සමාජය තුළ සිදුවන සිදූවීම් රූපවාහිනිය ගුවන්විදුලිය බලන විට දරුවන් හැදීමට විශාල බයක් තිබෙන නිසා දරුවාට දඩුවම් කර හෝ යහපත් ලෙස හඳාගත යුතු බවට අම්මා ප්‍රකාශ කරයි.දරුවා යහපත්ව හඳාගත යුතුබවට එම අම්මා තුළ පවතින චේතනාව අයහපත් නැහැ. සංසාර කර්මයට අනුව කර්මානුරෑපිව තමන්ට ලැබුණ දරුවා යහපත්ව හඳාගත යුතුයි. සංසාරය පුරා ලේ ඥාතීත්වය අනුව දරුවෙකු අම්මාගේ කුස පිළිසිඳ ගනී.සංසාරය කිසියම් සම්බන්ධයක් අනුව දරුවෙකු ලැබෙයි.තමාට ලැබී තිබෙන ඥාතීන් ගිය ආත්මවල සිටි ඥාතීන් විය හැකියි. ලබන ආත්මය තුළත් දැන් ලැබී සිටින ඥාතීන්ම සිටිය හැකියි. එවැනි ආකාරයට සංසාර සම්බන්ධයක් මත ලැබෙන දරුවා යහපත් ලෙස හඳාගත යුතු චේතනාව අයහපත් චේතනාවක් නොවෙයි. තමාගේ හොඳම මිත්‍රයා දවසේ තුන් වේලටම මතකයට නැඟෙනවා සේම තමාගේ හොඳම හතුරාද දවසේ තුන් වේලටම මතක් විය හැකියි. හතුරුකමත් සංසාර සම්බන්ධයක් ලෙස පැමිණෙයි. මිතුරුකමත් සසර සම්බන්ධයක් වෙයි.සමහර දරුවන් එම කාරණාව තේරුම් ගන්නේ නැහැ.
මට මවු පදවිය ලැබුණ දිනේ
ඔබේ අගේ දැනුනා අම්මේ

යනුවෙන් ඇතැම් දූවරුන්ට අම්මාගේ අගය දැනෙන්නේද ඇයට දියණියක් ලැබුණ දවසටයි. ඇතැම් දියණිවරුන්ට එලෙසවත් තේරෙන්නේ නැහැ. අම්මා තාත්තා හතුරෙක් ලෙස සිතයි. තමාගේ ලේ ඥාතිවරුන්ට එලෙස සැළකීම එතරම් හොඳ නැහැ.තමන්ගේ දරුවා ලොකු මහත් වෙනකොට වැරැදි ආශ්‍රයට යන නිසා නිතරම තරවටු කරමින් හැම දෙයටම එපා කියන බව අම්මාවරුන් පවසයි. අම්මාගේ චේතනාව යහපත් උදාර ෙචිතනාවක් දරුවාට ගුටිගහන විට දරුවාට රිදෙයි. දරුවා හදාගැනීමේ චේතනාව යහපත් වුණත් කරන ක්‍රියාව අයහපත් ක්‍රියාවක් වෙයි.දරුවෙකුට සැම විටම තරවටු කරනවා නම්, එය අම්මාගේ අයහපත් ගතිගුණයක්. අම්මාගේ සිතිව්ල්ල කෙතරම් යහපත් වුවත්,කරන ක්‍රියාව හොඳ දෙයක් නොවන නිසා එවැනි ක්‍රියා අතහැර දැමිය යුතුයි. දරුවාට එපා කියනවාට වඩා දරුවා කළ යුතු නොකළ යුතු දේ පහදා දිය යුතුයි.දරුවා කළ යුතු දේ පහදා දීමට අම්මාද ටිකක් සිතිය යුතුයි. දරුවාට යමක් කිරීමට එපා කියන්න අම්මාට උගත්කමක්,බුද්ධිමත්කමත් ,තැන්පත්කමක් අවශ්‍ය නැතත් දරුවා කළ යුතු දේ පහදා දීමට අම්මා බුද්ධිමත් විය යුතුයි. දරුවා හුරු කළ යුත්තේ කුමන දිශාවටද සිතා දරුවාට එම පැත්තෙහි දේ ආශාවෙන් කිරීමට දරුවා හුරු කළ යුතුයි. එසේ සිතන අම්මාවරුන් අපගේ සමාජයට අවශ්‍ය වුවත්,එවැනි අම්මාවාරුන් අඩුවීම අවාසනාවක්.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උපතට හේතුවන මරණාසන්න සිත

කඩවත සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්ය 
ශාස්ත්‍රවේදී, 
පයාගල නන්ද හිමි

"චේතනා සූත්‍රයට අනුව මතු උපතකට උපකාරවන සිතක් සකස්වීමට සිතේ ක්‍රියාකාරීත්වය තුන් අයුරකින් බලපායි. චේතනාව, කල්පනාව, සැඟව පවතින කර්මය යනුවෙනි. මේ අවස්ථා තුනෙන් එකක් හෝ ඇතිවිට විඤ්ඤාණය පිහිටයි. උපතක් සිදුවෙයි. හදිසි මරණයකදී සිහිසුන්ව මියෙන විට චේතනාව හෝ කල්පනාව ඇති නොවේ. අනුසය නැතිනම් සැඟව පවතින කර්ම ශක්තිය මුල් වී අලුත් භවයක උපත සිදු වේ"
මරණාසන්න මොහොත මතු උපතට බලපාන්නේ කෙසේදැ’යි දැන ගැනීමට බොහෝ දෙනා කැමැතිය. කිට්ටු සෙනෙහෙබර ඥාතියෙකු මිය ගිය විට ඔහු හෝ ඇය හැසිරුණු ආකාරය අනුව සමහරු නොයෙක් අදහස් දරති. මේ අදහස් ඇතැම්විට ජන සමාජයේ විශ්වාස හා පිළිගැනීම් ඇසුරෙන් ඇතිවීමට පිළිවන. එසේ නැතිනම් ආගමික ඉගැන්වීම් පදනම් කරගෙන ජන සමාජය තුළ පැතිරීමටද හැකිය. බෞද්ධයන් අතර ද තමන් ඇසූ අන්දමට මේ පිළිබඳ මතිමතාන්තර ගොඩනඟාගත් අයද සිටිති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අන්දමට මේ කරුණු සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් පැහැදිලි කිරීම මෙහි අරමුණයි.
යහපත් ලෙස ජීවත් නොවූ අයෙකු මියයන මොහොතේ හ¾ඩමින් වැළපෙමින් කෑගසමින් හැසිරෙතොත් අවට සිටින අය ඔහු අපායේ ගිනිදැල් දැක, යමපල්ලන් දැක බිය වී එසේ හැසිරෙන බව පවසති. වටපිටාවේ වෙසෙන්නෝ මෙසේ මරණයට පෙරම ඔහු අපායට යවති.අනෙක් පැත්ත ගැන ද පොදු ජනයා තුළ පවතින්නේ මෙවැනිම අදහස් ය. ගුණ යහපත්කමින් ජීවත් වූ උපාසිකාවක මිය යන මොහොතේ අත් දෙක එකතු කරගෙන වන්දනා කරන ඉරියව්වෙන් මිය ගියහොත් ඇය නිසැකවම දෙව්ලොව යන බව පවසති.

මෙහිදී අප හමුවේ මතුවන ප්‍රශ්නාර්ථයක්ද වෙයි. සීලාදි ගුණ වැඩූ මවු කෙනෙකු අවසාන කාලයේ දැඩි සේ ගිලන්ව සිහිසුන්ව දින ගණනක් එක් තැන්ව හිඳිමින් මිය යාමට පුළුවන. එවැනි චරිතවත් සිල්වත් ගුණවත් ජීවිතයක් ගතකළ මවක් සිහිසුන්ව මිය ගියහොත් නිරයට යතැයි අපි කෙසේ කියමුද? ගුණ යහපත්කමින් ජීවත් වූ අයෙකු සිහිමුළා වී කලුරිය කළ පමණින්ම ඔහුගේ මතු භවය දුගතිගාමි වේ යැයි කිව හැකිද? අපි බොහෝවිට දහම නිවැරැදිව තේරුම් නොගෙන වරදවා කියන බණ අසා වැරැදි විශ්වාස තුළ සිටිමු. මරණාසන්ත සිත පිළිබඳවත් ඒ අනුව මතු උපත සකස්වන අන්දම ගැනත් දෙසූ විස්තර විවරණ සූත්‍ර ධර්මවල සඳහන් වෙයි. ඒ අතර සංයුත්ත නිකායේ සංචේතනා සූත්‍රයද වැදගත් ය.
සංයුත්ත නිකායෙම එන චේතනා සූත්‍රයෙන් සිහිසුන්ව මරණයට පත්වීම, සිහිමුළා වී කලුරිය කිරීම, හදිසි අනතුරකින් අභාවයට පත්වීම වැනි අවස්ථාවකදී කෙනෙකුගෙ සිත සකස්වන අන්දම ගැන නිවැරැදි දැනුමක් ඇතිකර ගත හැක.
චේතනා සූත්‍රයට අනුව මතු උපතකට උපකාරවන සිතක් සකස්වීමට සිතේ ක්‍රියාකාරීත්වය තුන් අයුරකින් බලපායි. චේතනාව කල්පනාව සැඟව පවතින කර්මය, යනුවෙනි. මේ අවස්ථා තුනෙන් එකක් හෝ ඇතිවිට විඤ්ඤාණය පිහිටයි. උපතක් සිදුවෙයි. හදිසි මරණයකදී සිහිසුන්ව මියෙන විට චේතනාව හෝ කල්පනාව ඇති නොවේ. අනුසය නැතිනම් සැඟව පවතින කර්ම ශක්තිය මුල් වී අලුත් භවයක උපත සිදු වේ.

චේතනාව උපතට මුල්වන අන්දම

චේතනාව, කර්මය බවත් සංඛාර යන්නෙන් අදහස් කරන්නේත් චේතනාව ම බවත් ඔබ හොඳින් දනියි. ඇතැම් අය චේතනාව හැටියට තේරුම්ගෙන ඇත්තේ සිතේ ක්‍රියාකාරීත්වයයි. මෙවැනි නිදසුනකින් චේතනාව මුල් වී කර්ම සිදුවන අන්දම විස්තර කළ අවස්ථාවක් ගැන විමසා බලමු.
“ඔබ විහාරයට වන්දනාවට යන විට ඔබ යන මාර්ගයේ කුඩා පණුවන් ඔබේ පයට පෑගී මරණයට පත්විය හැකිය. ඒ සතුන් මරණයට පත්වුණේ ඔබගේ පයට පෑගී වුවද එයින් ඔබට පවක් සිදු නොවේ. මක් නිසාද ඔබේ චේතනාව වන්දනාවට පන්සලට යෑම මිස සතුන් මැරීම නොවන හෙයිනි. එහෙයින් චේතනාවක් නො තිබූ හෙයින් ඔබට ප්‍රාණඝාතය සිදු නොවේ.” මෙයට සමාන කතාවක් ධම්ම පදට්ඨ කතාවේ ද එයි.
“පාලිත හිමියන් සක්මන් මළුවේ සක්මන් කරනවිට උන්වහන්සේගේ පයට පෑගි කුඩා පණුවන් මරණයට පත් වේ. මේ ගැන භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට දන්වති. එවිට උන්වහන්සේ පාලිත රහත් භික්ෂුවක් බවත් දෙනෙත් අන්ධ හෙයින් කුඩා පණුවන් තම දෙපයින් මරණයට පත් කිරීමේ අදහස් නොවූ බවත් පවසති.” (ධම්මපදට්ඨ කතා)
කෙසේ නමුත් මෙවැනි අදහස් මුල්කරගෙන යමක් කරන විට හෝ කියන විට සිතක් පහළ වේ නම් එය කර්මයකි යන අදහස ඇතිවීම වැළැක්විය නොහැක. අප කරන හැම ක්‍රියාවකටම හැම වචනයකටම සිත සම්බන්ධය. සිතීමකින් තොරව කිසිවක් කළ නොහැක. නිරායාසයෙන් මෙන් සිදුවන දෙයට ද සිතේ සම්බන්ධය පවතියි. ඒ හැරුණුවිට සිතා කල්පනා කොට කරන බොහෝ දේ එදිනෙදා ජීවිතයෙදී අපට මුණ ගැසෙයි. චේතනාව සිතා මතා කරන දෙය නම් මේ සියල්ල කර්ම ගණයට වැටෙයි. එසේ වූ විට කෙනෙකු ජීවිත කාලය තුළ මොනතරම් කර්ම රැස්කරත්ද? සාමාන්‍යය ජීවිතයෙදී කෙනෙකු යහපත් දෙයට වඩා අයහපත් දෙය කළ හැකිය. එසේ වූ විට සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෙකු මහත් සේ කරන අතර ඒ සියල්ලටම විපාක දුන්නොත් සසරින් මිදීමක් සිදු නොවේ.
භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව මෙසේවදාළහ. මහණෙනි, යමෙක් සත්වයා කරන සියලු කර්මවලට විපාක වින්ද යුතු යැයි කියත් නම් එය මම නොපිළිගනිමි. යමෙක් වින්ද යුතු කර්මවලට විපාක වින්ද යුතු යයි කියත් නම් එය මම පිළිගනිමි. සියලු කර්මවලට විපාක විඳීමට සිදුවුවහොත් බ්‍රහ්ම චරිය වාසය නිෂ්ඵල වෙයි. (අංගු.නි. ලොණඵල වග්ග)
මෙයින් අදහස් කරන්නෙ උතුම් බඹසර හැසිරීමෙන් ලද යුතු නිවන් පසක් කරගැනීම, පුද්ගලයෙකු කරන සියලු කර්මවලට විපාකදීමට සිදුවුවහොත් ඉඩක් නොලැබෙන බවයි.

කෙබඳු කර්මවලට විපාක ලැබේද?

“මහණෙනි, මම රැස් කරන ලද චේතනාත්මක කර්මවලට විපාක වින්ද යුතු බව වදාරමි. සංචේතනාත්මක කර්ම විපාක විඳීමෙන් තොරව අවසන් කළ නොහැක. කළ රැස්කළ සංචේතනික කර්මවලට විපාක නොවිඳ දුක් අවසන් කිරීමක් නොවේ. (අංගු. නිකාය)
සංචේතනාත්මක කර්මවලට මිස මැරෙන මොහොතේ දකින පෙනෙන දෙයට අනුව උපතක් සිදු නොවන බව මේ දේශනාවට අනුව හොඳින්ම පැහැදිලි විය යුතු යි. සංචේතනාත්මක කර්මය යනු චේතනා සහිත කර්මයයි. චේතනා සූත්‍රයේ පළමුවන අවස්ථාව ලෙස සැලකෙන ‘චේතෙති’ යනුවෙන් එය සඳහන් වෙයි.

නැවත නැවත සිතීමයි.

යම් අකුසල් අරමුණක් මුල් වී එය කර්මයක් වන අන්දම දෛනික ජීවිත රටාව තුළින් මෙසේ තේරුම් ගත යුතුයි. චේතනාවේ මූලික ස්වරූපය ලක්ෂණය නැවත නැවත සිතීමයි. අභිසංස්කරණය කිරීමයි. යළි යළි සිතීම නිසා අවට ලෝකය ගැන වැරැදි ලෙස සිතීමට පෙළඹෙයි. දහමේ විපල්ලාස නමින් සඳහන් වන්නේ මේ ලෙස ලොව වරදවා තේරුම් ගැනීමයි. නිදසුනකින් මේ කරුණු මෙසේ තේරුම් කරගත හැකි යි.
දෙදෙනෙකු එක සමාන අභූත අයුතු චෝදනාවකට මුහුණපාති. තමන් නොකළ වරදකට අනුන් විසින් චෝදනා නගනවිට සිතේ සසලවීමක්, කෝපයක් ඇති වෙයි. එක සමාන ගැටලුවට දෙදෙනෙකු ප්‍රතිචාර දක්වන අන්දම කෙසේ විය හැකිද?
ඒ තැනැත්තාට මෙවැනි අභූත චෝදනාවක් කළවිට ඔහු නිහඬව සිතයි. මේ වරද මා ළඟ නැහැ. ඒත් මගෙන් පළිගන්න තමයි මෙවැනි දේ කරන්නෙ. මේවාට මං කලබල වෙලා ඔහු සමඟ එකට එක කරන්න ගියොත් මේ චෝදනාවල කෙළවරක් නැති වෙයි. ඒ වගේම මා මේ වරද නොකළත් සමහරවිට සමාජය මේ ගැන කතාබහ කරන්න පුළුවන්. ඒ සියල්ලට වඩා සිතේ සැනසීමක් නැතිවෙන්න පුළුවන්. මෙසේ සිතමින් ඔහු තුළ උපන් ගැටලු සහගත සිතිවිලි වැඩිදුර ගෙන නොයයි. මිනිසුන්ගේ හැටි ඔහොම තමයි යනුවෙන් සිතා ඔහු සිතේ හටගත් අමනාපය එතැනින් නවතයි
බී නමැත්තා මේ ගැන කණ වැටුණු වහාම කලබලවෙයි. අතනට මෙතනට දුරකථනයෙන් කතා කරමින් දන්න කියන අයට මේ ගැන කියයි. ඔවුන්ද මේ ගැන කියන දෙයින් ගැටෙන සිත තවත් දැඩි කරගනියි. ගෙදර පැමිණි පසුත් සිදුවන්නේ කෝප සිත වැඩෙන දෙය මිස සිත නිවන දෙය නොවේ. මේ අන්දමට සිත තුළ සිතිවිලි ක්‍රියාත්මක වීම නිසා තමාට වීමට ගිය හානිය දෙගුණ තෙගුණ වීමටද බැරි නැත. නිවන් මගින් ඈත්ව මෙසේ සිතිවිලි දිග් ගැසීම තුළ වැඩෙන්නේ අකුසල් සිතිවිලියි. සමහර විට නොසිතූ සිදුවීමක් දක්වා මේ අන්දමට සිත තුළ සකස් කරගත් සිතිවිලි පැතිර යාමට පුළුවන. මෙවැනි මානසික ස්වභාවයක් නිතරම දුක පිණිස පවතියි. එවැනි සිතිවිලිවල වැඩීමක් සංචේතනික තත්ත්වයට පත් වී මරණාසන්න සිතට යොමු වී උපතකටද බලපායි.
ඒ නමැත්තා කී අන්දමට මුල් සිතිවිල්ල අභිසංස්කරණය නො කරත් නම් ඔහුගේ සිත තුළ කර්ම බලවේගයක් ඒ නිමිති කරගෙන ඇති නොවේ.
ද්වේශය මුල් කරගත් සිදුවීම යළි යළිත් සිතීමේ ප්‍රතිඵලය මෙලොව මානසික අස්වැසිල්ල නැතිවීමත් පරලොව දුක් විපාක සඳහා සිත සකස් වී එයට අනුකූල තැනක විඤ්ඤාණය පිහිටීමත්ය.
කුසලාරම්මණයත් මුල්වීමෙන් සැප විපාක සඳහා සිත සකස් වන්නේ මේ අන්දමටයි. මෙසේ අකුසල් සිතිවිලි රැස්වුණත් කුසල් සිතිවිලි රැස් වුණත් සිදුවන්නේ එකම ප්‍රතිඵලයයි. ඒ කර්ම රැස්වීමයි. සසර දිගුවීමයි. එහෙයින් සිතක කර්ම ඇතිවන සැටිත් ඒ සඳහා නැවත නැවත ගැටුමට ලක් වූ නිමිත්ත පත් වූ පරිදි දැකිය යුතු යි. එවිට අපවටා ලෝකය වැරැදි ලෙස හඳුනා ගනියි. මමත්වය මුල් කරගනිමින් අවට ලෝකය වැරැදි ලෙස දකින තුරු අපට ගැළවීමක් නොමැත. නිදහස්ව නිවහල්ව ජීවත්වීමට නම් චේතනාව ඒ සැටියෙන්ම හඳුනාගත යුතුයි. චේතනාව ක්‍රියා කරන අන්දම දැකීමෙන් අපට වහල් බවෙන් මිදිය හැකිය. විදසුන් වඩන යෝගියා සිහි නුවණින් මේ තතු දැක නිවහල් මානසිකත්වයකට හිමිකම් කියයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දන් දීමයි අනුසස් ලැබීමයි අත් හැරීමයි නිරාමිස සතුටයි

රත්මලානේ ශ්‍රී රත්නාරාමය
බොරලැස්ගමුවේ සිරි සෝනුත්තර විහාරය යන 
උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත 
කොළඹ නව තොටමුණේ 
ප්‍රධාන අධිකරණ සංඝ නායක
සූරියගොඩ සිරිධම්ම නා හිමි

දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්.
දේවතා සංයුත්තය පිළිබඳව විමසිලි ඇසින් බලන විට බොහෝම මාතෘකා ඔස්සේ අදහස් ඉදිරිපත් කරන්නට පුළුවන්. දානය හෝ පරිත්‍යාගය පිළිබඳව දෙවිවරුන් විසින් විවිධ මති මතාන්තර අදහස් දැරු බව පෙනෙන්නට තිබෙනවා.
දේවතා සංයුත්තයේ දානය පිළිබඳව විශේෂයෙන් සඳහන් වන සූත්‍ර අතර ආදිත්ත, කිංදද, වනරෝප, ජේතවන, සාධු සහ මච්ඡරි නමින් සූත්‍ර දේශනා සඳහන් වෙයි. මේ අතරින් මච්ඡරි සූත්‍ර දෙකක් තිබෙයි. එක් මච්ඡරි සූත්‍රයක් සතුල්ලපකායික වර්ගයටත්, අනෙක් මච්ඡරි සූත්‍රය ආදිත්ත වර්ගයටත් අයත්. නමුත් මේ සූත්‍ර දෙකෙන්ම පැහැදිලි කරන කාරණා දෙපැත්තට විහිදුන කාරණා නොවෙයි. ඒ දෙවර්ගයේදීම දෙවිවරුන් විසින් අසා ඇත්තේ දානය පිළිබඳවයි.
අද අප මේ සූත්‍ර අතරින් මච්ඡරි සූත්‍රය ගැන පැහැදිලි කරමු. මච්ඡරී යනු මසුරුකමයි. ඒ මසුරුකම මුල් කරගෙන දානය පිළිබඳ අදහස් මෙම සූත්‍රයේ ඇතුළත්. ඒ වගේම මච්ඡරි සූත්‍රයේ දන් දිය යුත්තේ කවුද? කියා සාකච්ඡා කරනවා.

දෙවැනි මච්ජරී සූත්‍රයේදී සාකච්ඡාවට භාජනය වන්නේ දෙන්නාගේ සහ නො දෙන්නාගේ වෙනසයි. මේ සියල්ලම අපට ඉතාමත් වැදගත් මෙන්ම ඉතාමත් ප්‍රයෝජනවත් කරුණුයි.
මච්ඡරි සූත්‍රයේ දාන ආනිසංස බොහෝ විස්තර කොට තිබෙනවා. සතුල්ලපකායික දෙවි දේවතාවන් විසින් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ සිටියදී මුළු ජේතවනය ඒකාලෝකමත් කරගෙන පැමිණ මෙසේ විමසා සිටියා.
නිදුකාණන් වහන්ස, මසුරුකමත්, ප්‍රමාදයත් නිසා ඇතැම් අය දන් දෙන්නේ නැහැ. පින් කැමැති දානඵල දන්නා අය, දාන ආනිශංස දන්නා අය දන් දිය යුතු වෙනවා. මේ දේවතාවාගේ දානය පිළිබඳව ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ මසුරුකම සහ ප්‍රමාදය නිසා දන් නො දෙන්නා පිළිබඳවයි. නමුත් පින් කැමැති දානයේ ආනිශංස දන්නා අය දන් දීමට මැළි වන්නේ නැහැ. අප දන්නවා වර්තමානයේ ඇතැම් අය ශ්‍රද්ධාව මුල්කරගෙන වගේම දානයේ අනුසස් දැනගෙනත් දන් දෙනවා. ඇතැම් අය දන් දෙන්නේ තමන්ගේ චිත්ත සන්තානයේ ඇති ලෝභය, ද්වේෂය, මෝහය යටපත් කිරීමටයි. මෙය දානය පිළිබඳව ඇති ධර්මානුස්වභාවය යි.
නමුත් අද සමාජයේ ඇතැම් අය දන් දෙනුයේ අවබෝධයකින් නොවෙයි. විවිධ භය නිසා, මළගිය අය නිසා, ඔවුන්ගෙන් සිදුවන කරදර නිසා දන් දීමට පෙළෙඹනවා. එසේ නොමැතිව ශ්‍රද්ධාවෙන් දන් දෙන අයට ඒ පිළිබඳව හොඳ අවබෝධයෙන් මඟ පෙන්වන සූත්‍රයක් තමයි මච්ඡරි සූත්‍රය.
තවත් එක් දේවතාවෙක් බුදුරජාණන් වහන්සේ අභියස දී මෙසේ ප්‍රකාශ කළා. ස්වාමිනි නිදුකාණන් වහන්ස , මසුරා, දැඩි ලෝභයා යම් කටයුත්තකට බියෙන් දන් නොදෙයි. එයම ඔහුට භය පිණිස පවතිනවා. මසුරු තැනැත්තා ඒ නිසාම මෙලොවත්, පරලොවත් දුක් විඳියි. දුක බාලයා ස්පර්ෂ කරයි. ඒ නිසාම මසුරුකම හැරදා එය මැඬලීම පිණිස දන් දිය යුතුයි. ඒ වගේම නිදුකාණන් වහන්ස, මියයන සත්ත්වයාට පරලොවදී පිහිට පිණිස පවතින්නේ පිනයි. ඒ නිසා පින් කර ගන්නට ඕන. පින් කිරීමට නම් දන් දීම අවශ්‍ය යැයි ඒ දෙවියා බුදුරජාණන් වහන්සේ අභියසදී ප්‍රකාශ කළා.
මේ පින පිළිබඳව අර්ථ දක්වන තැන්වලදී බුදුරජාණන් වහන්සේ වදාළා ගිහි අයට ද, දෙවියන්ටද, පැවිදි උතුමන්ටද පින අවශ්‍යයි. පින අනුවයි මේ සියලු දෙනාගේම බැබළීම සිදුවන්නේ. පින පරලොවදී සත්ත්වයාට පිහිට පිණිස පවතියි කියා.
තව දේවතාවෙක් පවසනවා යමෙක් සමඟ ගමනක් යන කෙනෙකුට ලැබුණ දේ බෙදා ගන්නාක් මෙන් ටිකක් ඇති කල්හිත් දන් දෙනවා නම් ඒ අය මළවුන් අතර නොමැරී සිටිනවා යැයි කියා සිටියා.
අප දන්නවා ඇතැම් අයට විශාල ලෙස මිල මුදල් තිබෙනවා. ඇතැම් අයට ටිකක් තිබෙනවා. ටිකක් තිබෙන කෙනෙක් ශ්‍රද්ධාව නමැති ධනය මුල්කරගෙන දන් දෙනවානම් ඒ තැනැත්තා මළවුන් අතර, නො මළ කෙනෙක්. ඇතැම් අය ටිකක් ඇති විටත් දන් දෙනවා. ඇතැම් අය බොහෝ තිබියදීත් දන් නොදේ. නමුත් සුළුවෙන් තිබියදී හෝ ශ්‍රද්ධාව නමැති ධනය මුල්කරගෙන දන් දෙනවා නම් එය දෙලොව යහපතට හේතු වෙනවා.
තවත් දේවතාවෙක් ප්‍රකාශ කරනවා අසද්පුරුෂයෝ ස්වල්පයක් ඇති කල්හී දුෂ්කර වූ දානය දෙන සද්පුරුෂයා අනුගමනය කරන්නේ නැහැ. ස්වල්පයක් ඇති කල්හිත් දීම නැමැති දුෂ්කර, සුචරිත ක්‍රියාව පුරුදු කළ යුතු බවයි මේ දේවතාවා කියන්නේ. ඒ දේවතාවා තවදුරටත් කියා සිටියා මේ සමාජයේ ටිකක් තිබෙන සද්පුරුෂයෝ ඉන්නවා ඒ වගේම ඉන්නවා ටිකක් තිබෙන අසද්පුරුෂයෝ. එයින් ටිකක් තිබෙන සද්පුරුෂයෝ දීම නමැති ඒ සුචරිත ක්‍රියාව ප්‍රගුණ කිරීම නිසා සුගතියේ ඉපදෙනවා .
ස්වාමිනි, සද්පුරුෂයාගේ ධර්මය පිරීම ඉතා අමාරුයි. එය ඉදිරියට ගෙන යාම, ව්‍යාප්ත කිරීම ඉතා අමාරුයි. අද සමාජයේ වුවත් හොඳ කරන අය අඩුයි. ඒ අය කරන ක්‍රියාවන්ද අසන්න ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා සද්පුරුෂයාගේ ධර්මය පිරීම අසීරු බවයි මේ දේවතාවා කියන්නෙ. අප දන්නවා බෝසතාණන් වහන්සේ දසපාරමිතා පුරන අවදියේ ඒ පාරමිතා පිරුවේ පහසුතා ලබාගෙන නොවේ. බොහෝම දුෂ්කරතා මැද දස පාරමිතා, දස උප පාරමිතා, දස පරමත්ත පාරමිතා පුරා සම්මා සම්බුද්ධත්වයට පත්වුණේ. ඒ නිසා අප තේරුම් ගන්න ඕන සද්පුරුෂයාගේත් අසද්පුරුෂයාගේත් වෙනස්කම් පවතිනවා. සද්පුරුෂයා මෙලොවින් පරලොව යනවිට සුගතියට යනවා. අසද්පුරුෂයා නිරයට යනවා කියන කාරණයයි මේ දේවතාවා ප්‍රකාශ කරන්නේ. මේ ආකාරයට දානය පිළිබඳව විවිධ අදහස් දෙවිවරුන් විසින් ප්‍රකාශ කර සිටියා.
ඒ දෙවි පිරිස පසෙකින් සිටි විට එක් දෙවියෙක් ඉදිරියට පැමිණ කියන්නේ ස්වාමිනි නිදුකාණන් වහන්ස, අප ප්‍රකාශ කළ ප්‍රකාශ වලින් වඩාත් වැදගත් නිවරැදි සාධු ධර්මය, සුභාෂිත ප්‍රකාශය කිව්වේ කවුද?
ඒ අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වදාළා දේවේන්ද්‍රය, ඔබ සියලු දෙනාගේම කියමන් ඉතාමත්ම සුභාෂිතයි. ඒ වගේම මාගේ ප්‍රකාශයත් අසන්න. දේවේන්ද්‍රය, යමෙක් දුකසේ ජීවත්වෙමින් ධර්මානුකූලව හැසිරේ ද? අඹු දරුවන් පෝෂණය කර, ටිකක් තිබියදීත් දන් දෙයිද? ලක්ෂ ගණන් වියදම් කොට සිය ගණන් යාග කරන්නාගේ දීම ඔහුගේ දානයෙන් සියයෙන් පංගුවක් නො වටී කියායි. එහිදී භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කළේ දුකසේ ජීවත්වෙමින් ධර්මානුකූලව හැසිරෙමින්, අඹුදරුවන් පෝෂණය කරමින්, ධනය ටිකක් තිබියදීත් දන් දෙනවා නම් ඒ දන් දීම අධාර්මිකව හරිහම්බ කර දන් දෙන පුද්ගලයාට වඩා වටිනවා කියන කාරණය බුදුරජාණන් වහන්සේ දෙවියන් අරභයා වදාළා.
මේ දේ අද සමාජයටත් වැදගත් වෙනවා. දෙන දේ ධාර්මිකව, සිල්වත්ව උපයාගෙන එය ශ්‍රද්ධාවෙන් දීම ඉතා හොඳ බව මෙයින් අවධාරණය කරන්නේ.එනිසා ටිකක් හරි දෙන දේ ශ්‍රද්ධාවෙන් දෙන්න. දෙන්නම් වාලේ දෙන්න එපා. දෙන ටික හෝ තේරුම් අරගෙන දෙන්න. මම දෙන මේ පරිත්‍යාගය මාගේ චිත්ත සන්තානයේ ප්‍රසාදය පිණිස හේතුවේවා කියා දෙන්න. ආශාව සංසිඳීමටත්, මුලාව බැහැර කිරීම සඳහාත් කියන හොඳ සිතිවිලි ඇතිකරගෙන දන්දීම කළයුතු වෙනවා.
දන් දෙනවිට දහඩිය මහන්සියෙන් සොයා ගත් දෙයකින් දන් දීම වටිනවා. කෙසේ නමුත් දානයක් දීමේදී වඩා අර්ථවත් වන්නේ කර්මය, කර්මඵල දැනගෙන දීමයි. දැහැමින් දුන් දෙයි වටිනාකම වැඩියි. අධාර්මිකව හම්බ කරන දේ කෝටි ගණන් දුන්නත් එය මහත්ඵල මහානිසංස නොවෙයි. ඉහත කී දෙය දෙවි දේවතාවන් අරමුණු කරගෙන භාග්‍යවතුන් වහන්සේ වදාළද එය අද සමාජයටත් ඉතා වැදගත්. අකාලික මුනි දහම එසේමයි. එනිසා ටිකක් දන් දුන්නත් චේතනාව බලවත්නම් එය මහත්ඵල මහානිසංස යි. ඇතැම් කෙනෙක් විෂම පැවැත්මෙන් යුතුව අනුන් තලා පෙළා ශෝක කරවා හැඬු කඳුළු ඇතිකරවා දන් දෙනවා. එය මහත්ඵල මහානිශංස වන්නේ නැහැ. ඒ නිසා දේවතා සංයුත්තයේ මච්ඡරි සූත්‍රය අපේ ජීවිතවලට ඉතාමත් වැදගත් වෙනවා.
දන් දෙන්නේ කෙසේද කියන කාරණය මෙන්ම දන් දිය යුත්තේ කටද? කියන දෙයත් මච්ඡරි සූත්‍රයෙන් ඉතාමත් මැනවින් පැහැදිලි වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X