වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මහා සෑයට ජීවිත පූජාව කරන්නේ කෙසේද?

ඔබටත් දරැපල නැතිද?

ඔබටත් අමුනුෂ්ය ලෝකයේ ප්‍රශ්ණ ඇත්ද?

ඔබටත් අණවින කොඩිවින කරදර තිබේද?

ඔබට ලෙඩදුක් කරදර වැඩිද?

මෙන්න බෞද්ධ පිළිසරණ...

මේ ලෝකයේ දීර්ඝායුෂ මෙන්ම අල්පායුෂ බුදුරජාණන් වහන්සේ්ලා පහළ වන සේක. දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බෙදීමක් සිදුනොවේ. බුද්ධ ශරීරයම එකම ධාතුන් වහන්සේ නමක් ලෙස ඉතිරිවේ. එය “ඒකඝනවීම” ලෙස හැඳින්වේ. අටවිසි බුදුරජාණන් වහන්සේ අතරින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ බෙදුණ අතර එම ධාතුන් වහන්සේ මුං පියලි, කඩ සහල් සහ අබ ඇට ප්‍රමාණයට බෙදිණ. මේ තුන් ලෝකයේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ එකම තැන පිහිටා ඇත්තේ රුවන්වැලි මහා සෑයේ යි. බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අඩු නිසා උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් මිනිසුන්ටත්, දෙවියන්ටත් වැඳ පුදාගෙන සුගති සැප සලසා ගැනීම පිණිසයි ධාතුන් වහන්සේ ඉතිරිවෙන්නේ. ඒ නිසා රුවන්වැලි සෑය වැනි උතුම් ස්ථානවල ධාතුන් වහන්සේ වඳින, පුදන, සත්කාර කරන චිත්තප්‍රසාදයෙන් පසුවෙන අයට දෙව්ලොව උපත් හිමි වනබව සඳහන් වේ.
එසේනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රන්වැලි මහා සෑයට හෝ වෙනත් ධාතුන් වහන්සේ තැන්පත් ස්තූපවලට වඳින, පුදන, ගෞරව උපහාර කරන පිරිස දෙව්ලොව යති. අමාමහ නිවනට පින් පිරෙන පුණ්ය කර්ම ගැන සඳහන් “නිදිකණ්ඩ” සූත්‍රයේ දැක්වෙන්නේ දාගැබ් වන්දනා කරනවානම්, නිවන පිණිස පින් පිරෙන බවයි. ඒ වගේම ථේරාපදානයක “ධාතු පූජික” නම් රහතන් වහන්සේගේ විස්තරයක් සඳහන් වන පරිදි උන්වහන්සේ අරහත්වයට පත් වූ පසු ජීවිතය ආපස්සට බැලූ කල දකින්නේ ධාතුන් වහන්සේ වන්දනා කළ පින් බලයෙනුයි උන්වහන්සේ අරහත්වයට පත්වී ඇත්තේ. එනිසා අමා නිවන සොයාගෙන යන කෙනෙක් සිටීනම් රුවන්වැලි මහා සෑය වගේ උතුම් ස්ථාන වන්දනා කරමින් නිවන තුළ සිත පිහිටුවා ගැනීමමයි වටින්නේ.

අද කාලයේ බොහෝ දෙනෙකු විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳී. ඒ අතර අමනුස්සයන්ගෙන් වෙන කරදර විශේෂයි.
යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ වගේම අණවින, කොඩිවිණ, හදි හූනියම් ආදී දෝස වලින් දුක් විඳී.

මිනිසුන්ට එන මේ දුක් කරදර පීඩා වලින් ගැලවීමට අපහසුය. ඊට අමතරව යන්ත්‍ර, තන්ත්‍ර, මන්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවන් කරන මිනිසුන් අහිංසක මිනිසුන් නොමඟ යවති. මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය සම්පූර්ණ භූමිය වටා පැතිරී තිබෙන අතර එහි රහතන් වහන්සේ බොහෝ සේ වන්දනා කළ ස්ථානයි. ඒ වගේම රහතන් වහන්සේ පිරිත් දේශනාකළ, සාධුකාර දුන් තැන්. රුවන්වැලි මහා සෑ මළුව කියන්නේ අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයක් නොවේ. යම් කෙනෙකුට අමනුෂ්‍යය ප්‍රශ්නයක් තිබේනම් අණවින කොඩිවින දෝෂ තිබේනම් ඒ අයට රුවන්වැලි සෑය ඇසුරෙන් ඒ දෝෂ මඟහරවා ගත හැකියි. එසේ පිහිට ලබාගත් අය සිටින අතර ඒ සඳහා කළයුතු වත්පිළිවෙත් ද තිබේ. එසේ කරදර තිබේනම් ඔබ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර බුදුගුණ, රතන සූත්‍රය ආදිය සජ්ඣායනා කොට සෑය වටා තුන්වතාවක් ප්‍රදක්ෂිණා කරන්න. ඉන්පසු මහා සෑයේ පාදමේ නළල තබා වන්දනා කරන්න. මහා සෑය භාග්‍යවතුන් වහන්සේ ලෙස සිතා උන්වහන්සේගේ සිරිපා කමළ වන්දනා කරමියි යන චිත්තප්‍රසාදයෙන් යුතුව බුද්ධ වන්දනාව කළ හැකියි. රතන සූත්‍රය, ආටානාටිය තුන් වතාවක් හෝ සජ්ඣායනයෙන් පසු නැවත භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන ආකාරයට මහා සෑය වඳින්න.
ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රත්නමාලි මහා සෑයට නමස්කාර වේවා.
මාගේ ජීවිතය ධාතුන් වහන්සේ තැන්පත් මහා සෑයට පූජා කරමි. පූජා වේවා.
ඒ සෑයේ අනුහසින් මාගේ දොස් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් පාදමේ නළල තබාගෙන අධිෂ්ඨාන කළයුතු වේ.
නැවත මෙත්සිත පතුරන සූත්‍ර සජ්ඣායනා කර දෙවියන්ට පින් දෙන්න.
මේ ආකාරයට පැයකට අධික වෙලාවක් සෑ මළුවේ ගත කිරීමෙන් ඔබට බොහෝ සෙත සැලසේ..
ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ අනුභාවයෙන්, ඔබට සෙත් වෙනවාමයි.
ඒ වගේම යම් කරදරයකදී ඉවසීම දුර්වල පුද්ගලයන් මානසිකව ඇද වැටේ.
එවැනි අයත් පෙර කී පිළිවෙලටම පාදමේ නළල තබා වන්දනා කරන්න.
පෙර ජීවත් වූ මිනිසුන් ගේ චාරිත්‍රයක් ලෙස පොල් ගෙඩිය ප්‍රාණය ලෙස සිතා මහා සෑයට ප්‍රාණ පූජාව ලෙස පොල් පූජා කර තිබේ. ඉන්පසු ජීවිත පූජාව කෙරේ. මේ ආකාරයට බොහෝ දෙනා සුවපත් වී තිබේ. සැදැහැවතුන් ආරක්ෂා කරන දේව මණ්ඩලයක් තිබෙන අතර ඔවුන් ”සෙන්පති දෙවිවරු” ය. දෙවියන්, මිනිස් ලොව දෙස බලනවිට මුලින්ම පෙනෙන්නේ රුවන්වැලි මහා සෑයයි. ආටානාටියේ සඳහන් වන “ඉන්ද්රෝ සෝමෝ වරුණෝච” කියන ගාථාව හත් වතාවක්වත් සජ්ඣායනා කිරීම උතුම්.
එසේ කියනවිට දෙවියන්ට එය දැනේ. එය බලය බවට පත්වේ. මෙබඳු පිරිස බෞද්ධ කොඩි, හැරයටි, ඖෂධ මහා සෑයට පූජා කිරීමෙන් ධාතුන් වහන්සේගෙන් පිහිට ලබාගත හැකියි. රතන සූත්‍රය, ධජග්ගය ආටානාටිය ආදී පිරිත් කියමින් සෑ මළුවේ වැඩි වෙලාවක් ගත කිරීම සුදුසුයි. ඒ වගේම ලෙඩ දුක් වැඩි අය ඖෂධ පූජාවක් මහා සෑයට පූජා කරමින් වන්දනා කිරීම සුදුසුයි. ජීවිත පූජාව හතර පස් දෙනා එකතුව කිරීම අපහසුයි එය තනිව තනිවම අවංකව කළයුතු වේ. අද කාලයේ තිබෙන වටපිටාවත් සමඟ බොහෝ තරුණ පිරිස කාමයට ඇබ්බැහිවීමක් තිබෙන අතර එයින් ගැලවීමට අවශ්‍යතාවයක් තිබුණත් ගැලවීමට නොහැකිව සිටී. දුරකතන සහ පරිගණක භාවිතය නිසා නොමඟ ගිය පිරිසට යහමඟට ඒමට අපහසුයි. ඒ වගේ අය මහාසෑය අනිවාර්යයෙන්ම වැඳ ජීවිතය පූජා කළයුතු වේ. පළමු අවස්ථාවේ සුවයක් නැත්නම් දෙවැනි වතාවේදීත්, තුන්වැනි වතාවේදීත් මහසෑය වන්දනා කළයුතුයි. මේ ආකාරයට රුවන්වැලි මහා සෑයම ඇසුරු කරගෙන ඒ ප්‍රශ්නය විසඳා ගත හැකියි. අප දන්නවා පොඩි දරුවන් ලෙඩ වුණාම වැඩිහිටියන් කියනවා ඇස්වහ, කටවහ දෝෂ කියා. ඒ වාගේ අවස්ථාවලදී ධජග්ග පිරිත සුදුසුයි. රෝගාතුර අයෙක් වෙනුවෙන් මහාසෑය වන්දනා කරද්දී බොජ්ඣංග පිරිත සුදුසුයි.
ඒ වගේම දරුවන් බලාපොරොත්තුව සිටින අයටත් මහාසෑයෙන් පිළිසරණක් ලබාගත හැකියි. පෙර කී පිළිවෙලට වන්දනා කොට දෙදෙනාගේම ජීවිත මහා සෑයට පූජා කරමින් අංගුලිමාල පිරිත විසි එක් වතාවත් හෝ සජ්ඣායනා කිරීමත් දම්සක්පැවතුම් සූත්‍රය සජ්ඣායන කර පින්වත් දරුවෙකු ප්‍රාර්ථනා කළ යුතු වේ. පැන් පාත්‍රයක් මහා සෑයට පූජා කර පිරිත් කියා අවසානයේ මහාසෑයෙන් අවසර ගෙන පැන් පාත්‍රය දින කිහිපයක් මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරමින් ඒ පැන් පානය කළ යුතුයි. ඒ වත්පිළිවෙත් කරන අතර අභයදාන පින්කම් ද කළ හැකියි. එනිසා ලංකා ධරණීතලයේ සැදැහැවන්ත ශ්‍රාවකයා පුළුවන් හැම අවස්ථාවකම මාස හයකට වතාවක් හෝ අවුරුද්දට වතාවක් හෝ මහාසෑය අනිවාර්යෙන් වන්දනා කළයුතු වේ. අනිවාර්යෙන් ජීවිත පූජාව කළයුතුයි. එයින් විශාල ශක්තියක් ලැබේ.
මේ ආකාරයට මහාසෑය පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් ඇතිකරගත් පසු තමන්ගේ නිවසේ බුදුපහන දල්වා තමන්ට පිහිට ලබාගත හැකිය. එසේනම් අප නොදන්නාකම නිසාම අප අසලම ලොකු සම්පතක්, වස්තුවක් තබාගෙනයි විවිධ අරමුණුවල සිර වී සිටින්නේ. රුවන්වැලි සෑයට ඒ ආකාරයෙන් පූජාවක් කිරීමේ වාසිය තමන්ට පැමිණ තිබෙන දෝෂ දුරුවීමත් අප්‍රකටව ඇති දෝෂ ඉස්මතු නොවීමත්ය. ඒ වගේම ඒ දෝෂවලින් පිහිටක් ගන්න තමන්ට යම් මාර්ගයක් හෝ සැකසෙති. මේ අකාරයට තමන්ගේ නිවසේ ප්‍රශ්නවලදී, විවාහ ජීවිත ගැටළුවලදී, ඉඩකඩම් ප්‍රශ්නවලදී භූමි ප්‍රශ්නවලදී මහා සෑයේ පිහිට ලබාගත හැකිය.
කර්මදෝෂයක් හැරුණ විට සාමාන්‍ය දෝෂවලින් හටගන්නා ලෙඩදුක් කරදර පීඩා තිබේනම් රුවන්වැලි සෑයේ වැඩසිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය රහතන් වහන්සේගේ අධිෂ්ඨානය සිහි කරන්න.
බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ වැඩසිටි බිම, රහතන් වහන්සේ මහාසෑය වන්දනා කළ පින, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන්, රහතන් වහන්සේගේ, දෙවියන්ගේ සෘර්ධියෙන්, ගොඩනැඟුන මහා සෑය ගැන සිහිකරමින් වතාවත් කරනවිට ඒ ධාතුන් වහන්සේට වඳින පුදන පිනයි, පිරිත් ආදියේ බලයයි එකතු වේ. තිස්පැයේම දෙවියන් වන්දනා කරන යම් තැනක් තිබේනම් ඒ මහා සෑයයි.
ඕනෑම වෙලාවක එතැන දෙවි කෙනෙක් සිටී.
ඒ දෙවියන්ගේ බැල්ම ලැබෙන අතර අප වැඩි කාලයක් මළුවේ වන්දනා කිරීමෙන් සමහර විට දෙවිවරුන් මොහුගේ ඉෂ්ඨකාමී දෙවියෙකු සම්බන්ධ කර ප්‍රශ්න සංසිඳවීමට උපකාර කරති.
එනිසා තෙරුවන් සිහිකොට වන්දනා කර ජීවිතය පූජා කරමින් අපට පිහිටක් ලබාගත හැකියි.

අපට තිබෙන මහා සම්පතක් වන මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සැමට පිහිට පිළිසරණ සැලසේවා.

පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෝකයේ සියල්ල කර්මයට අනුව ම සිදුවන්නේ ද?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

සාමාන්‍යයෙන් සමාජයක ජීවත්වන විට පුද්ගලයා, පුද්ගලයාට සාපේක්ෂ ලෝකය වශයෙන් කාරණා දෙකක් පවතී. ලෝකය තුළ යම්, යම් සිදුවීම් සිදුවන අතර එම සිදුවීම්වල ස්වභාවය පුද්ගලයාගේ ජීවිතයට බලපායි. ඇතැම් අවස්ථාවල පුද්ගල ජීවිතයේ සිදුවන යම් යම් සිද්ධි ලෝකයට බලපාන සහ බලනොපාන සිදුවීම් වශයෙන් හඳුනාගත හැකි ය. ලෝකයේ සිදුවන සියල්ල කර්මයෙන් සිදුවන්නේ ද? වශයෙන් පුද්ගල සංකල්ප හා පුද්ගල සංසිද්ධි පිළිබඳවත්, ලෝක සංසිද්ධි පිළිබඳවත් වෙන් වෙන් වශයෙන් කල්පනා කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව, උන්වහන්සේ දේශනා කළ දේශනා පාඨවලට අනුව පුද්ගලයා ආශ්‍රිත සංසිද්ධි සියල්ල කර්මයෙන් සිදුවෙනවාය යන කාරණාව චුල්ලකම්ම විභංග සූත්‍රය වැනි සූත්‍රවල දක්වා ඇත. කම්මං සත්තේ විභජති යදිධං හීනප්පනීතිතාය යන පාඨය එම සූත්‍රයෙහි සඳහන් වේ. කර්මය සත්ත්වයා උසස්, පහත් ලෙස වෙනස් කරන බව එහි අර්ථය වේ. කර්මයට අනුව සත්ත්වයා වෙනස් වනවාය යන අදහස බුදුදහමේ අන්තර්ගත කාරණාවක් වේ. කම්ම යන වචනයෙහි විවිධ අර්ථ පවතී. කම්ම යන පාලි වචනය සිංහලයෙහි කර්මය වශයෙන් ද, සිංහල කට වහරට අනුව කරුමය වශයෙන් ද ව්‍යාවහාර වේ.

පාලියෙහි සඳහන් කම්ම යන වචනයට වඩා, වෙනස් අර්ථයක් ජනවහරෙහි ව්‍යාවහාර වන කරුමය යන වචනය ට අර්ථ දිය හැකි ය. සියල්ල කර්මයෙන් සිදුවනවා ද? යන ගැටලුවක දී කම්ම,කර්ම, කරුම යන වචන වෙන් වෙන් වශයෙන් තේරුම් කර ගත යුතු ය. පාලියෙහි කම්ම යන වචනය ක්‍රියාව යන අදහසින් ද යොදා ගැනේ. එසේම තමන් කළ ක්‍රියාවන් කම්ම වශයෙන් ද බෙදේ. මනස සම්බන්ධ ක්‍රියා මනෝ කම්ම වශයෙන් ද, කය සම්බන්ධ ක්‍රියා කාය කම්ම වශයෙන් ද, වචනය සම්බන්ධ ක්‍රියා වචී කම්ම වශයෙන් තවත් එක් අර්ථයක් ලෙස සඳහන් කළ හැකි ය. ඒ වගේම පෙර සංසාරයෙහි මේ භවයෙහි ඉපදීමට පෙර මිනිසා විසින් කරන ලද යහපත් , අයහපත් ක්‍රියාවලට ද කම්ම යන වචනය භාවිත වේ.
මේ අනුව එහි සඳහන් අර්ථ නිවැරැදිව නිශ්චය කරගැනීමකින් තොරව, සියල්ල කර්මයෙන් සිදුවනවාය යන කාරණය පැහැදිලි කරගැනීම අපහසු වේ. මූලික සූත්‍ර ධර්මවල කර්මය ප්‍රබල බලවේගයක්ය යන කාරණාව පැහැදිලි වේ. කර්මය මිනිසා පසුපස ලුහුබැඳ එනවාය යන අදහස බුදු දහමේ අන්තර්ගත වේ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ යනුවෙන් වසල සූත්‍රයෙහි සඳහන් කරුණු අනුව මිනිසාගේ උසස් පහත් බව තීරණය වීමට ඔහු විසින් කරනු ලබන වර්තමාන ක්‍රියා කලාපය බලපානු ලබන බව ය. කම්මං සත්තේ විභජති යදිධං හීනප්පනීතිතාය යන පාඨයෙහි අර්ථයට අනුව පෙර සංසාරයේ මිනිසාගේ පින් පව් අනුව මෙලොව ජීවිතයේ යම් යම් තීන්දු තීරණ ලැබෙන බව ය. ඒ අනුව මිනිසා අඩු ආයුෂ භුක්ති විඳින්නේත් , වැඩි ආයුෂ භුක්ති විඳින්නේත්,මිනිසා පැහැපත් වන්නේත්, දුර්වර්ණ වන්නේත්, මිනිසා රෝගී පුද්ගලයකු වන්නේත් ,මිනිසා නිරෝගී පුද්ගලයකු වන්නේත්, කර්මය නිසා ය. මිනිසා උසස් කුලවල උප්පත්තිය ලබන්නේත්, පහත් කුලවල උප්පත්තිය ලබන්නේත් කර්මය නිසා ය. පෙර සංසාරයේ කරන ලද පින් පව් මෙහි කර්මය වශයෙන් හඳුන්වා ඇත.
පෙර සංසාරයේ කළ අකුසල ක්‍රියා පිළිබඳ පමණක් කට වහරේ භාවිත වන කරුමය යන වචනයෙහි අර්ථ ගැන්වී ඇත. පුණ්‍ය ක්‍රියා පිළිබඳ හැඳින්වීමට කරුමය යන වචනය භාවිත නොවේ. ඒ සඳහා වාසනාව යන වචනය භාවිත වේ. කම්ම පලෝපජීවී සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ උත්සාහය සහ කර්ම ශක්තිය අනුව, මිනිසාගේ ජීවිතය තීරණය වන ආකාරය පැහැදිලි කර ඇත. ඔහු හෝ ඇය පෙර සංසාරයේ පුණ්‍ය මහිමය නිසා හෝ පාප තත්ත්වය නිසා හෝ ලබන කිසියම් ශක්ති විශේෂයක් මෙහිදී කර්මය වශයෙන් දක්වා ඇත. ඇතැම් පුද්ගලයකු කර්මය අනුව දියුණු වේ. ඇතැම් පුද්ගලයකු උත්සාහය අනුව දියුණු වේ. ඇතැම් පුද්ගලයකු කර්මයත් , උත්සාහයත් දෙකම බලපෑමෙන් දියුණු වේ. ඇතැම් පුද්ගලයකුට කර්ම ශක්තිය හා උත්සාහයේ ශක්තියක් ද නැත. මේ ආකාරයට බෙදා දක්වා ඇත. මුල් බුදුසමයේ සඳහන් සූත්‍ර ධර්මවලට අනුව සියල්ල කර්මයෙන් සිදුවනවාය යන කාරණාව පැහැදිලි වේ.
මේ කාරණය වඩාත් පැහැදිලිව තේරුම් ගැනීම සඳහා අටුවා පොත්වල නියාම ධර්ම වශයෙන් ධර්ම කොටසක් විග්‍රහ කර ඇත. බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම , සෘතු නියාම, කම්ම නියාම වශයෙන් සඳහන් වේ. මෙම තත්ත්වය විග්‍රහ කිරීෙමි දී කර්මය නිසා නොව බීජයට අනුව එම තත්ත්වය සිදුවන බව විග්‍රහ කරනු ලබයි.
දොඩම් ඇටයක් පැළ කළ විට දොඩම් ගහක් හැදෙන්නේ කර්මය නිසා නොව බීජයට අනුව බව ඇතැමුන් ප්‍රකාශ කර යි. වැහි කාලයට නාය යන්නේ කර්මයට අනුව නොව සෘතු විපර්යාසය අනුව වන බව ය. මිනිසුන්ගේ සිතිවිලිවලට අනුව ක්‍රියා කළ විට උසස් පහත් වන්නේ චිත්ත නියාමය අනුව බවය.
මේ ආකාරයෙන් අටුවා පොත්වල විග්‍රහ කර ඇත. මේ අනුව සියල්ල කර්මයට අනුව සිදු නොවන බව මේ විග්‍රහයෙන් කිසි විට විග්‍රහ වන්නේ නැත. එය විමසා බැලිය යුතු ය. බුදු දහමේ කම්ම යන වචනය විග්‍රහ කරනු ලබන්නේ සිදුවීමක් සිදුවුවාට පසුව ය. කිසියම් සිදුවීමක් සිදුවූවාට පසු එය වෙනස් කළ නොහැකිවන්නේ එම කාරණාව සිදු වී අවසන් බැවිණි. සිදූ වී අවසන් වූ අතීත ක්‍රියාවක් සම්බන්ධව එය ඔහුගේ කර්මය අනුව සිදුවූ බවට භාවිත වේ.
කර්මය මිනිසා පසු පස එනවාය යන බුදුදහමේ සඳහන් කාරණාව මේ අනුව විමසා බලන විට පැහැදිලි වේ. යහපත් ක්‍රියාවත් , අයහපත් ක්‍රියාවත් කර්මය වේ. එම කර්මයම උත්සාහය වේ. ඇතැමුන්ට උත්සාහ කීරීමට නො සිතෙන්නේ ද, කර්මය නිසා ය. එනිසා මිනිසා ඉදිරියට ගෙන යන මිනිසාගේ ජීවිතය වෙනස් කරන උදාර ශක්ති විශේෂය කර්මය ලෙස බණ පොතේ සඳහන් වේ.
ලෝකයේ පුද්ගලයාට බලපාන සියල්ල සිදුවන එකම හේතුව කර්මය ලෙසට නිශ්චය කර තේරුම් ගැනීමේ වැදගත්කම පවතින්නේ එම හේතුව නිසා ය.

අවබෝධයෙන් පින්කම් කළ යුත්තේ කෙසේද

ත්‍රිපිටකාචාර්ය, 
අභිධර්ම විශාරද, 
ධර්මකීර්ති ශ්‍රී 
දිගන සුගතවංස හිමි

" යමෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවඳ මල්, පලතුරු, භෝජන වැනි පූජාවන් සිදුකරන්නේ නම්, මල් ආදියෙහි නෙළීමේ පටන්, පූජාසනය දක්වා පියවරෙන් පියවරට සිහි නුවණින් එම කුසලය සිදු කළ යුතුයි. කුඩා මල් බඳුනක් පූජා කළත් ඒ වෙනුවෙන් යෙදූ සිත බලවත් බැවින් කල්ප ගණන් ලෞකික සුගති සම්පත් ලැබේ."
තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ අරිහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට කොට වෙසක් මංගල්‍යය අරමුණු කොට ගෙන ඔබ කළ යුතු වෙසක් සැරසිල්ල කෙසේ විය යුතු ද? බුදුදහම සංකේතවත් කරමින් සිදුකරන ආමිස පූජාවන් අභිභවා ප්‍රතිපත්ති පූජාවෙන් ඔබගේ වෙසක් සැරසිල්ල අවබෝධයෙන් කළ යුතු නොවේ ද? අහේතුක, ද්විහේතුක උප්පත්තීන්ට වඩා ත්‍රිහේතුක ප්‍රතිසන්ධිලාභි ඔබ ජාතප්‍රඥාවෙන් යුතු ය. එහෙයින් කළ යුතු කුසල් අවබෝධයෙන් කළ හැකි ය. ඔබගේ පින්කමෙහි පූර්වචේතනාවත් - මුඤ්චන චේතනාවත්, අපරචේතනාවත් යන චිත්තසම්පත්තිය අකුසලයන්ට ග්‍රහණය වීමට ඉඩ නොදෙන්න. ත්‍රිවිධ කුසල මූලයන්ගෙන් ස්වයංපෝෂිත වන්න. එසේ වූයේ නම්, එය මහත්ඵල මහත්ආනිසංස ලැබෙන වටිනා කුසලයකි.

මේවෙසක් සමයේ බාල, මහලු තරාතිරම් භේදයක් නොමැතිව ඕනෑම අයෙකුගේ සිත්සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පිනවන්නේ ය. අති ඉෂ්ටාරම්මණ සහිත අරමුණු මේ වෙසක් සමයේ අසන්ට දකින්ට ලැබේ. එහෙත් ඒ හේතුවෙන් උපදින සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත කුසල් නොපිරිහෙලා අඛණ්ඩව පවත්වා ගැනීමට නම් ඔබ කරන පින්කමෙහි ආනිසංස හොඳින් දැනගෙන සිටිය යුතු යි. යමෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවඳ මල්, පලතුරු, භෝජන වැනි පූජාවන් සිදුකරන්නේ නම්, මල් ආදියෙහි නෙළීමේ පටන්, පූජාසනය දක්වා පියවරෙන් පියවරට සිහිනුවණින් එම කුසලය සිදු කළ යුතුයි. කුඩා මල් බඳුනක් පූජා කළත් ඒ වෙනුවෙන් යෙදූ සිත බලවත් බැවින් කල්ප ගණන් ලෞකික සුගති සම්පත් ලැබේ. එමෙන් ම එම කුසල් සිත් විදර්ශනා කරමින් ඇති කරගන්නා අවබෝධය ලෝකෝත්තර සැපය පිණිස ම ය. ලෞකික ආනිසංස සේ ම ලෝකෝත්තර මගඵල පිණිස වඩන කුසලය ඒකාන්තයෙන් පාරමිතාවක් වේ. එ බැවින් නුවණ වැඩෙන කුසලයක් සේ අවබෝධයෙන් ම කළ යුතු යි. කෙසේ නම් පාරමිතාවක් වන්නේ ද යත්, තමන්ට වඩා උසස් ගුණ ඇති උත්තමයන් උදෙසා කරන පූජාව පූජාබුද්ධියෙන් යුක්තව සිදු කිරීම දාන පාරමිතාවයි. තමන් සීලයක පිහිටා එම පූජාව සිදු කරන කල්හි සීල පාරමිතාවයි. ලෝභාදී අකුසල් යටපත් කරමින් පින්කමෙහි යෙදීම නෙක්ඛම්ම පාරමිතාවයි. කම්ඵල අදහා සිදුකිරීම ප්‍රඥා පාරමිතාවයි. උත්සාහයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් කුසල්සිත රැකගනිමින් පින්කමෙහි යෙදීම වීරිය පාරමිතාවයි. අවු, වැසි, මැසි මදුරු රෝගාබාධ ඉවසා දරාගෙන පින්කමෙහි යෙදීම ඛන්ති පාරමිතාවයි. තමන් කරන පින්කමෙන් ලැබෙන ආනිසංස හොඳින් විශ්වාස ඇතිව කිරීම සත්‍ය පාරමිතාවයි. කෙසේ හෝ මම පින්කම කළයුතු යැයි අධිෂ්ඨාන පූර්වාංගම සිත අධිෂ්ඨාන පාරමිතාවයි. පූජාව ලබන පක්ෂය කෙරෙහිත්, පූජාව දැක අනුමෝදන් වන්නවුන් කෙරෙහිත් පිහිටුවාගත් අසීමිත මෛත්‍රිය මෙත්තා පාරමිතාවයි. තමන් කළ කුසලය කෙරෙහි ඇලීමක්, ගැටීමක් නොමැතිව තත්‍රමජ්ඣත්තතා ගුණය වැඩෙන ආකාරයෙන් මධ්‍යස්ථාකාර සිතක් පවත්වාගැනීම උපේක්ඛා පාරමිතාවයි.
තව ද, පින්කමක් කිරීමේ දී උපදින ශ්‍රද්ධා ආදී පඤ්ච ඉන්ද්‍රිය ධර්මයන් සමබරව පවත්වාගත යුතු ය. කෙසේද යත්, යමෙක් බුදුරජාණන් වහන්සේට ආහාර පූජාවක් සිදු කරන්නේ නම්, පළමුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, එම පූජාවෙන් ජනිත වන ආනිසංස කෙරෙහිත් ඔබ තුළ ඇති විශ්වාසය ශ්‍රද්ධාවයි. එම කුසලය සමග නූපන් අකුසල් නූපදවා ගැනීමෙහිත්, උපන් අකුසල් ප්‍රහාණය කිරීමෙහිත් ලා වූ උත්සාහය හා නූපන් කුසල් උපදවා ගැනීමෙහිත්, උපන් කුසල් බලවත් කරගැනීමෙහිත් ලා වූ උත්සාහය වීර්යයයි. පූජාවේ මුල පටන් අග දක්වා පියවරෙන් පියවර බලපවත්නා අවධානය සතියයි. පින්කම සිදුකරන කාලය පුරාවට උපදින කාය, වාග්, මනෝ කර්ම සියල්ලක් ම අකුසල් ශක්තීන් තදංග වශයෙන් යටපත් කරමින් සන්තානයෙහි ඇතිවන ඒකාග්‍රතාවය සමාධියයි. කර්මඵල අදහාගෙන අවබෝධයෙන් යුක්තව පින්කමෙහි යෙදීම ප්‍රඥාවයි.
යමෙක් සිදු කරන ආමිස පූජාවක දී එය සකසුරුවම් ව කිරීම,තවත් කෙනෙකුට එහි හිඩැසක්, අඩුවක් පිරවීමට නො වන සේ කිරීම සක්කච්චකාරී ගුණයයි. කැප – අකැප යනාදීන් නුවණින් සලකා බලා පින්කමෙහි නිරතවීම ගුණය සාතච්ඡා කාරී ගුණයයි. සිදුකරන කුසල් පිළිබඳ සෑහීමකට පත් නොවී මට මදිය යන හැඟීමෙන් යුක්තව නැවත නැවත කුසල් රැස් කිරීම අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසු ගුණයයි. කෙලෙස් තවන වීර්යය ඇතිව පටන්ගත් විර්යයෙන් ම නිමාව දක්වා කුසල් සිදුකිරීමේ ප්‍රයත්නය අප්පටිවානිතා ච පධානස්මිං ගුණයයි. පින්කමෙහි ඇති වටිනාකම හොඳින් අවබෝධ කරගෙන තමන් ම සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත කුසල් වැඩෙන ආකාරයෙන් ම යෙදීම සයංකාර ගුණයයි. අන් අය කරන කුසල් දැක නුවණින් සිත පහදාගෙන අනුමෝදන් වීම පරංකාර ගුණයයි. සියතින් ම තම පින්කම කිරීම සාහත්ථික ගුණයයි. තවත් කෙනෙකු ලවා කරවීමේ කුසලය ආණත්තික නම් වේ. නුවණ වැඩෙන ආකාරයෙන් පින්කමෙහි යෙදීම සම්පජ්ඤ්ඤ ගුණයයි. යමෙක් නුවණින් තොරව සිදුකරයි නම් එය අසම්පජ්ඤ්ඤයි. ආණත්තික – අසම්පජඤ්ඤ වශයෙන් මුක්තව සිදුකරන්නා වූ කුසලය මහත්ඵල මහානිසංස ගෙන දේ.
සෘතු, භෝජන, පුද්ගල යන ත්‍රිවිධ සප්පාය සහිත, කල්‍යාණමිත්‍රයන් වාසය කරන පතිරූපදේසවාසී ගුණයත්, අතීතයේ කළ පින් ඇති පුබ්බේ ච කතපුඤ්ඤතා ගුණයත් සහිත ඤාණවන්ත තෙමේ ආත්ම සන්තානය දමනය කරගනු වස් සුදුසු කල්හි සිදු කරන තම පින්කම සියතින් චිත්තප්‍රසාදය ඇතිව, තම ගුණ උසස් කිරීම් – අන් අය ද හෙළා දැකීම් ආදියෙන් තොරව සියතින් සිදුකරන කුසලය නම් තම ආත්මය ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන නිවන් අවබෝධය පිණිස ම හේතු උපනිශ්‍රය වන්නේ ය.
“ආනන්දයනි මේ සාසනයෙහි යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් ආමිසා දී කිසිවකින් සිදු කරන පූජාව මෙන් නොව, ධම්මානුධම්මපටිපන්නව ගරුකටයුතු මාර්ගයට පිළිපන් ව ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදේ නම්, එම ප්‍රතිපත්ති තථාගතයන් වහන්සේට දක්වන්නා වූ, නියමාකාර වූ පරම වූ ගරුබුහුමන් දැක්වූවා වන්නේ ය. මෙසේ ලෞකික ප්‍රාර්ථනා ඇතිව සිදු කරන කුසලයන්ට වඩා කම්මක්ඛයගාමී වූ සොතාපත්ති අංගයන් පිරිවරාගත් ප්‍රතිපත්ති මාර්ගය පුරණය සියලු බුදුන් වහන්සේලාගේ දහම් අනුසාසනාවයි. ඇගයීමයි. එනම් ඒකායන නිර්වාණ මාර්ගය පෙන්වාදෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, මාර්ගය වැඩීමට හේතු වන පූර්වභාග පටිපදා විදර්ශනා ප්‍රතිසංයුක්ත ධර්මශ්‍රවණය, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් ප්‍රගුණ කරන යෝනිසො මනසිකාරය, නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අධිගමනය පිණිස වැඩිය යුතු සමථ – විදර්ශනා පිළිවෙත හෙවත්ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යන සෝතාපත්ත්‍යංග වැඩෙන ආකාරයට ඔබ වෙසක් සමයෙහි දී ආමිස පූජා අභිභවා ප්‍රතිපත්තියෙහි යෙදේ නම් එය ජීවමාන බුදුන් වහන්සේ සිටියා නම් සාදුකාර නංවමින් අනුමෝදන් වන අග්‍රගණ්‍ය පූජාව වනු ඒකාන්ත ය. මෙසේ අබෝධයෙන් පින් කරන්නට වෙර වඩත්වා!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කුසලයට බාධා කිරීමේ විපාක


ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.

ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව

පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.

එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.

"ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි."

"ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා කුසල විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි" යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·

ඇතැම් අය අන්‍යයන් කුසල් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ කුසලයට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.

ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.

ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද "භද්දිය" කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක "ලකුණ්‌ඨක භද්දිය" නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.

පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වපුරන දේ අනුව ලැබෙන අස්වැන්න

දකුණු කළුතර 
ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ 
විහාරාධිපති 
මහාචාර්ය 
නෙලුවේ සුමනවංස හිමි

ලෝක ක්‍රියාකාරිත්වය පිළිබඳව විමර්ශනශීලිව බලන්නෙකුට සියල්ලම කර්මයෙන් සිදු නොවන බව තේරුම් ගැනීමට පුළුවන. හිරු සඳු උදාවීම අව්ව .වැස්ස ඇතිවීම, ගංගා ,ඇලදොළ පහළට ගලා බැසීමාදියට කර්මයේ බලපෑමක් නොමැත. ඒ ඒ තැනැත්තාට පෞද්ගලිකව බලපාන දේ සඳහා කර්මයේ බලපෑමක් ඇති වුවද ලෝක ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානුයේ සෙසු නියාම ධර්මයන්ය.
කර්මය යනු සිතා මතා කරන, කියන හා සිතන දේය. ඒ අනුව සිත, කය, වචනය යන තුන්දොරින් සිදුකරන හැම කි‍්‍රයාවක්ම කර්ම සංඛ්‍යාවට ඇතුළත් වේ.
සමස්ත විශ්වයම සකස් වී ඇත්තේ හේතුඵල රටාව අනුවය. එය නිවැරදිව වටහා නොගත් ශාස්තෘවරුන් සියල්ල සිදුවන්නේ කර්මය අනුව යැයි වැරදි මතයක් සමාජගත කර තිබේ. ‘පුබ්බේකතහේතුවාද’ යැයි පාලි මූලාශ්‍රයන්හි සඳහන් වන මෙයින්, බුද්ධ කාලය වන විටද ‘සියල්ල පෙර කර්මයෙන් සිදුවන්නේය යන ඉගැන්වීම භාරතය පුරා ව්‍යාප්තව තිබිණ. මෙම අදහස සත්‍ය නොවන බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ ලෝක ක්‍රියාකාරිත්වය සිදුවන්නේ නියාම ධර්ම පහක් යටතේ බව පෙන්වා දුන්හ. එනම් උතුනියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම හා කම්ම නියාමයයි. ශීත, උෂ්ණාදී දේශගුණික විපර්යාස නිසා ඒ , ඒ කාලයන්හි විවිධ මල්ඵල ඇතිවීම උතු නියාමයයි. බීජය අනුව අංකුර ඵල ඇතිවීම බීජ නියාමයයි. සිතක් ඇතිව, පැවතී නැතිව යාම චිත්ත නියාමයයි. ගංගා පහළට බැසයාම සුර්යයා නැගෙනහිරෙන් උදාවීමාදිය ධම්මතා නියාමයයි. තම තමන් විසින් කළ කී දෑ අනුව සැප දුක් ආදිය ලැබීම කර්ම නියාම නම් වේ. සියල්ල කර්මයෙන් සිදුවන්නේ නම් මිනිසාට හැම දෙයක්ම සිදුවන තෙක් බලා සිටිනවා හැරෙන්නට කළ යුතු යමක් නොමැත. .
චුල්ලකම්මවිභංග සූත්‍රයේදී සුභ මානවක විසින් දිගු ආයුෂ ලැබීම, කෙටි ආයුෂ ලැබීම, බහු ආබාධ, අල්පාබාධ, දුප්පත් පොහොසත්, අල්පේශාක්‍ය මහේශාක්‍යාදි ප්‍රභේද මානව සමාජය තුළ ප්‍රකට වන්නේ ඒ ඒ තැනැත්තා විසින් ඊට සරිලන දෑ සිදුකර ඇති හෙයිනැයි පෙන්වා දී තිබේ. මුගලන් තෙරුන් සොරුන්ගෙන් දඬුවම් ලැබීම, චක්ඛු පාල තෙරුන්ගේ ඇස් අන්ධවීම, පූතිගත්තතිස්ස හිමි රෝගී වීම සිදුව ඇත්තේ එසේ වීමට අවශ්‍ය දේ ඔවුන් විසින් සිදුකර තිබීම හේතුවෙනි.
ලෝක ක්‍රියාකාරිත්වය පිළිබඳව විමර්ශනශීලිව බලන්නෙකුට සියල්ලම කර්මයෙන් සිදු නොවන බව තේරුම් ගැනීමට පුළුවන. හිරු සඳු උදාවීම අව්ව .වැස්ස ඇතිවීම, ගංගා ,ඇලදොළ පහළට ගලා බැසීමාදියට කර්මයේ බලපෑමක් නොමැත. ඒ ඒ තැනැත්තාට පෞද්ගලිකව බලපාන දේ සඳහා කර්මයේ බලපෑමක් ඇති වුවද ලෝක ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානුයේ සෙසු නියාම ධර්මයන්ය. ඒ ඒ උදවිය ඒ ඒ කර්මයන් සිදුකර ඇති හෙයින් ඒවා අනුව ක්‍රියාත්මක වීමට ලෝකයට හැකියාවක් නොමැත.
කර්මය පිළිබඳ බුදුරදුන්ගේ පැහැදිලි කිරීම තමා සාදා ගනු ලබනුයේ තමාම විසින්ය. තමා තමාගේ ක්‍රියාවන්ම දායාද වශයෙන් ලබන්නේය. තමා තැනෙන්නාවු සන්දර්භය නම් තමාම කරන කර්මයෝය. තමාගේ ඥාතීන් වන්නේ තමා විසින් කරනු ලබන ක්‍රියාවන්ය. කර්මයන්ය. තමා කරන්නේ හොඳ වු ක්‍රියාවක්ද නරක වු ක්‍රියාවක්ද තමා එයට හිමිකරුවා වන්නේය, යන්නයි. පුද්ගලයා දිගු සසර ගමනක නියැලී සිටින්නේ කර්මය නිසා විපාකයත්, විපාකයන් නිසා නැවත නැවත කර්ම රැස් කිරීමත් කර්ම විපාක නිසා පුනර්භවයක් සිදුවන හෙයිනි.
බෞද්ධ ඉගැන්වීම්හි අවධාරණය කර ඇත්තේ යමක් සිදුකොට ශෝකවීමට සිදුවේද, යම් දෙයක විපාකය කඳුළින් ගෙවීමට සිදුවේද එවැන්නක් නොකරන ලෙසය. යමක් සිදුකොට පසුතැවීමට පත් නොවේද යමක විපාකය සතුටු සිතින් විඳීමට හැක්කේද එවැන්නක් කරන ලෙසය. තමාට අයහපත පිණිස පවත්නා දේ නොකිරීමට සෑම දෙනෙකු විසින්ම වගබලා ගත යුත්තේය. අස්වැන්න ලැබෙන්නේ වපුරන දේ අනුවය. විපාක ලැබෙන්නේද කර්මයට සමාන වන පරිද්දෙනි. ඒ වපුරන ප්‍රමාණය සිය දහස් ගුණයකින් වර්ධනය වී අස්වැන්න ලැබෙන්නා සේ කළ කී දෑහි ප්‍රමාණයට වඩා විපාක ලැබෙන්නේය. එක් එළුදෙනකගේ හිස සිඳි කාන්තාවකට එම එළු දෙනගේ ඇඟ තිබු රෝම ගණණට හිස සිඳ මරණයට පත්වීමට සිදුවිය. එක් භවයක තම අන්ධ දෙමාපියන් රවටා, කැළයට ගොස් දඬුමුගුරුවලින් පහරදීම නිසා මුගලන් තෙරුනට එතැන් සිට අන්තිම ආත්මය දක්වාම සොරුන්ගෙන් පහරකෑමට සිදු විය. වියතක් පමණ වස්ත්‍රයකින් දියබෙරලිය මලකින් බුදුරදුන් පිදූ උදවිය දිව්‍යලෝකයන්හි මහානුභාව සම්පන්න යස ඉසුරින් පිරි දේවතාවුන්, දිව්‍යාංගනාවන් බවට පත්වූයේද ඒ අනුවය.
කර්මයෙන් සියල්ල සිදු නොවුවද කර්මය මිනිසාගේ උපතේ සිට මරණය දක්වාත් ඉන් ඔබ්බටත් ප්‍රබල බලපෑමක් සිදුකරයි. කර්මයේ බලපෑමෙන් ඈත්වීමට පුද්ගලයෙකුට හැකියාවක් නොලැබෙන බව පැහැදිලිය. පෙර භවයන්හි අප රැස්කරගත් දේ අනුව මේ භවය ලැබී තිබේ. එය ජනක කර්මයයි. උපන් මොහොතේ සිට සැප සම්පත්, හෝ දුක්විපත් ආදිය ලැබෙන්නේ උපත්ථම්භක කර්මය අනුවය. කුසල ජනක කර්මයකින් උපන් අයට අතරමගදී පීඩාකාරි තත්වයන් ඇතිවීම මෙන්ම අකුශල ජනක කර්මයකින් උපන් අයට අතරමගදී සැප විපාක උදාවන්නේ උපපීඩක කර්මයේ බලපෑම හේතුවෙනි. ජනක කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවී යාමෙන් පුද්ගලයා මරණයට පත් වේ. ඒ උපඝාතක කර්ම ලෙස දක්වා තිබේ.
අප විසින් රැස්කරනු ලබන කර්මයන් විපාක දීමට යොමු වන පිළිවෙළක් තිබේ. මරණාසන්න අවස්ථාවේදී මෙලොවදී පහළ වන අන්තිම සිත වන චුති සිතට අරමුණු වන්නේ තම ජීවිත කාලය තුළ සිදුකරන ලද බරපතලම කර්මයයි. එය ‘ගරුකකර්ම ලෙස නම් කර තිබේ. එවන් බරපතල කුසල හෝ අකුසල කර්මයක් සිදුකර නොමැතිවිටක ‘ආසන්න කර්මය’ චුති සිතට අරමුණු වේ. එනම් මරණාසන්නයේදී කළ කර්මයයි. එවැන්නකුදු නොමැත්තේ නම් ජීවිත කාලයේ නිරතුරුව පුරුදු පුහුණු කළ කර්මය ඉදිරිපත් වී ඒ අනුව ප්‍රතිසන්ධිය ලැබේ. එය නම් කර ඇත්තේ ආචිණ්ණ කර්ම යනුවෙනි. නිතර නිතර සිදුකළ කර්මයකුදු නොමැති විටෙක “කටත්තා කර්මය’ චුති සිතට අරමුණු වේ. නම් කළ පමණින්, අවධානයකින් තොරව සිදුකරගත් කර්මයන්ය. මුලින් සඳහන් කර්ම නොමැති විටෙක අතගැසීමක්, මල් වට්ටියකට අත ගැසීමක්, සුළු හොරකමක් වැනි දේ කටත්වා කර්මයට ඇතුළත් වේ.
කර්මය විපාක දෙන කාලය අනුව සිවුවැදෑරුම් වේ. අප විසින් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාවක කොටසක් මෙලොවදීම විපාක ලැබේ. දිට්ඨධම්මවේදනීය කර්ම ලෙස දක්වා ඇත්තේ එයයි. යහපත් දේ සිදුකරන්නවුනට යහපත් ප්‍රතිඵල ද අයහපත් දේ කරන්නවුනට අයහපත් ප්‍රතිඵලද ඒ අනුව මේ භවයේදීම ලැබේ. පුද්ගලයාගේ මරණයත් සමඟම විපාක ලැබෙන කර්ම තිබේ. ඒවා උපපජ්ජවේදනීය ලෙස නම්කර තිබේ. ආනන්තරීය පාපකර්ම කළවුන් මරණින් පසු දුගතිවල උපත ලබන්නේද ධ්‍යාන වැඩූ උදවිය මරණින් මතු බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ උපපජ්ජවේදනීය කර්මයේ විපාක වශයෙනි. කළ මොහොතේ සිට සසර ගමනේ කෙළවර දක්වා දිගින් දිගටම නැවත නැවතම විපාක දෙන කර්ම තිබේ. එය අපරාපරිය වේදනීය කර්ම නම් වේ. හැම කෙනෙකුටම පාහේ ජීවිත කාලය තුළ හොඳ මෙන්ම නරකද දිගින් දිගට ලැබෙනුයේ ඒ අනුවය. ශීතලට අසුවී උණ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම, ගල්බොරළු පෑගීම , මැසි මදුරු උවදුරු වන හැමදේම කර්මයෙන් සිදුවන්නේ නොවේ. සෙසු නියාම ධර්මයන්ගෙන් සිදුවන බලපෑම්වලටද මිනිසාට මුහුණ දීමට සිදුවේ. සියල්ල පෙර කර්මයෙන් සිදුවේය යන පුබ්බේකතහේතුවාදය ද සියල්ල ඊශ්වරගේ හෝ බ්‍රහ්මන්ගේ කැමැත්ත පරිදි සිදුවේය යන ඉස්සරනිම්මාණවාදය ද සියල්ල සිදුවන්නේ ඉබේටය .හේතුවක් ප්‍රත්‍යයක් නොමැතිව යන අහේතුඅප්පච්චයවාදය ද බුදුදහමේ ප්‍රතිප කර ඇත. සියල්ල සිදුවන්නේ පඤ්චනියාම ධර්මයන්ට යටත්ව හේතුඵල රටාව අනුවය. ඒ අනුව සියල්ලට හේතු වන කරුණු පිළිබඳ නිවැරැදි වැටහීමක් ලබාගැනීම සම්මාදිට්ඨිය සේම සම්මාඤාණය ද වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කුසලතාවයන් වර්ධනය කරන සංසාරික පුහුණුව

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 

ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි

කෙතරම් දේශනයන් ශ්‍රවණය කරනු ලැබුවත්, එම කරුණු වටහා ගැනීමට නොහැකිවන බාධකය මාන්නාධික බවයි. නෙළුම් කොළය මත ජලය නොරැඳෙන්නාසේ ද පිරුණු බඳුනකට වතුර වත්කළාට ඵලක් නැතුවා සේද මාන්නාධික මනස ක්‍රියාකරයි.
සෙන් කතාවකට අනුව සෙන් ගුරුවරයෙකුගේ ඥානය පිළිබඳව බටහිර ලෝකය පුරා ප්‍රචලිත වීමත් සමඟම බටහිර මහා පඬිවරයෙකු සෙන් ගුරුතුමා සොයා පැමිණෙයි. ආසියාතික මැද පෙරදිග මහ ගුරුතුමන්ලා අප තරම් දාර්ශනිකයන් වෙන්නේ කොහොමද? මම ඔහු දණගස්වා එන්නම් යනුවෙන් බටහිර පඬිවරයාද ප්‍රකාශ කරයි. ගුරුතුමා විසින් සාදන ලද තේ භාජනය රැගෙන බටහිර පඬිවරයා ඉදිරියට පැමිණෙන සෙන් ගුරුතුමා භාජනය පිරෙන තෙක් තේ වත්කරයි. භාජනය පිරී ඉතිරී පීරිසියෙන් ඉවතට හැලී යන තෙක් තේ වක්කරමින් සිටින අවස්ථාවෙහි ඔබ මහා බුද්ධිමත් උගත් පඬිවරයෙකු බවට මම සිතාගෙන සිටියාට ඔබ තේ ටිකක් වත්කරගන්න දන්නේ නැහැනෙ. තේ දෝරගලමින් අපතේ යන ආකාරය තේරෙන්නේ නැද්ද? ඔබත් සමඟ කතා කිරීමත් එවැනි ඵලක් නැති කාර්යයක්.ඔබතුමා මෙම ස්ථානයට පැමිණුනේම ඔබතුමා බොහෝ දේ දන්නවා කියා සිතාගෙන.අදට තේ ටිකක් පානය කරමින් ගිහින් වෙනත් දවසක පැමිණෙන්න. යනුවෙන් මාන්නාධික පුද්ගලයාට කෙතරම් පැහැදිලි කිරීම් සිදුකළත්, දේශනයන් ශ්‍රවණය කළත් ,ඇති ඵලක් නැහැ.සියලු දේ අපතේ යයි. අපේ රටේ මිනිසුන් බණ අසන තරමට ඔවුන් නිවැරැදි නොවීමට මාන්නාධික බවත් එක් හේතුවක්.
අප ඉගෙන ගෙන තිබෙන කාරණා තරමට අප වෙනස් නොවෙන්න එවැනි හේතු බලපානවා. තණ්හා මාන දිට්ඨි යන සංයෝජන රහත් වෙන තුරු පැවතුණත් අඩුම වශයෙන් ඔබ අනතිමානි පුද්ගලයෙකුවත් විය යුතුයි.ඔබ කතා කරන්න. මම අසාගෙන සිටින්නම්. වරදක් වූ විට සමාවන්න යනුවෙන් ප්‍රකාශ කරන්න , ලස්සන දෙයක් ලස්සන බව අගය කරන්න ඔබගේ මාන්නය අඩුකර ගත යුතුයි. ඔබගේ මාන්නය අඩු නොවන තාක් ඔබ නිවැරැදි පුද්ගලයෙකු වන්නේ නැහැ.

සැකය හෙවත් ශ්‍රද්ධාව නොමැතිකම හතරවන කාරණාවයි. අතීතයේ මිනිසුන් අප තරම් ධර්ම දේශනා ශ්‍රවණය නොකළත්, ඔවුන් ළඟ ශ්‍රද්ධාව තිබුණා. වර්තමානය වන විට ශ්‍රද්ධාව නැතිව ධර්මය ශ්‍රවණය කරන නිසාම ධර්මය අවබෝධ වන්නේ නැහැ. සැකය තබාගෙන ධර්මය ශ්‍රවණය කළාට ඇති ඵලක් නැහැ.ධර්මය වැටහීමට ශ්‍රද්ධාව තිබිය යුතුයි. ශ්‍රද්ධාව ඔබ බහුශ්‍රැතයෙකු බවට පත්කරයි. ශ්‍රද්ධාව ඔබට බොහෝ කාරණා වටහා දෙයි.පැරැණි මිනිසුන් ශ්‍රද්ධාවන්තයන් වූ නිසාම ඔවුන් ධාර්මික මිනිසුන් වුණා. බහුශ්‍රැතවීමට පවතින බාධාවන් ලෙස දේශකයාට ද්වේෂ කිරීමත්, දේශනයට ද්වේෂ කිරීමත්, මාන්නාධිකබවත්, ශ්‍රද්ධාව නොමැතිකමත් , කර්ම විපාක බලවත්වීමත් දැක්විය හැකියි.
බහුශ්‍රැත වීම යනු කටපාඩම් ඇති පුද්ගලයෙකු නොවෙයි. එවැනි පිරිස් බුදු සමය තුළ ඕනෑතරම් සිටි බව සඳහන් වෙයි. සුත්‍ර,විනය,අභිධර්ම දැන ගත්තත්, අභ්‍යන්තරයෙහි පැවතුණ හිස් බව නිසාම ත්‍රිපිටකධාරී හිස් භික්ෂුව යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඇතැම් භික්ෂූන්වහන්සේලාට ආමන්ත්‍රණය කරනු ලැබුවා. මහා ප්‍රඥාවන්තයන් අතර අගතනතුරු ලැබිය යුත්තේ ආනන්ද හාමුදුරුවන් වුවත්, කට පාඩම් තිබෙන, දැනුම තිබෙන, මතක තිබෙන, භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු ලබද්දි, සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අගතනතුර ලැබුවා. ආනන්ද හාමුදුරුවන් සූත්‍ර පිටකයත් ,අසූහාර දහසක් ධර්මස්කන්ධයත් මතකයෙහි රඳවා සිටියත්, එම සැම තත්ත්වයක්ම උන්වහන්සේගේ අවබෝධය බවට පත්ව තිබුණේ නැහැ.වචන දෙකක් ශ්‍රවණය කළ සැරියුත් මහතෙරුන් වහන්සේට අසුහාර දහසක් ධර්මස්කන්ධයම අවබෝධ වුණා. යේ ධම්මා හේතුªපභවා තේසං හේතු තථාගතෝ ආහ. යන ගාම්භීර පද පේළි දෙක ශ්‍රවණය වූ විට සෝතාපන්න වුණා.අවබෝධය යනු දැනුම නොවන බව අවබෝධ කර ගත යුතුයි. එතැනට ගමන් කිරීමට සංසාරික පුහුණුවක් තිබීම අවශ්‍ය වෙයි. සිප්පංච හෙවත් හැකියාවන් දියුණු කරගැනීම අවශ්‍ය වෙයි. පුද්ගලයෙකු බහුශ්‍රැත වූ පමණින් එම පුද්ගලයාට හෝ එම පුද්ගලයාගෙන් සමාජයට හෝ ලැබිය යුතු උපරිම ඵලය ලැබෙන්නේ නැහැ. දැනුම වගේම කුසලතාවයත් තිබීම අවශ්‍යයි. පසේ බුදුරජාණන් වහන්සේත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේත්් අතර වෙනස අපට දැනෙන්නේද එවැනි ආකාරයටයි. පසේ බුදුරජාණන් වහන්සේට හොඳ අවබෝධයක් තිබුණත්,හැකියාවන් අඩුයි. සංසාරයේ පුහුණුවෙලා නොතිබුණ නිසාම අනෙකාට සන්නිවේදනය කිරීමේ දුර්වලතා පැවතුණ බව එයින් වැටහෙයි. එම නිසා දැනුම වගේම ඔබගේ විෂය පථයට අදාළ වන කුසලතා හෙවත් හැකියාවන් ඔබ තුළ උපරිමයෙන් දියුණු කරගත යුතුයි. යමි හැකියාවක් ඔහු සතුව පවතී නම්, එයම ඔහුගේ දැනුම වැඩි කරගැනීමට උපකාරී වෙයි. එයම පෙරළා ඔහුගේ ආකල්ප පැත්ත වර්ධනය කරගැනීමට උපකාර වෙයි.කිසියම් හැකියාවක් නොමැති පුද්ගලයෙකු එය දියුණු කළේ නැත්නම්, තමන්ට නොහැකිය යන මනෝභාවයන් තමා තුළ ගොඩනැඟෙයි. එම හීනමානය භයානක තත්ත්වයක්.එම හීනමානයෙන් පටන් ගෙන ඊර්ෂ්‍යාව බවට ප්‍රක්ෂේපණය වීමට පටන් ගනී. අනෙකාගේ ජීවිතවලට බලපෑම් එල්ල කරයි. නොහැකියාව පුද්ගලයෙකු තුළ නොවැඩිය යුතුයි. ගායනයද , නර්තනයද, යන්න වැදගත් නැතත් කුමක් හෝ හැකියාවක් වර්ධනය කර ගත යුතුයි. සංසාරය පුරා පුහුණුකළ දේ ඔබ සංසාරයෙන් රැගෙන පැමිණි විවිධ කුසලතාවයන් වෙයි. තමන් අඛණ්ඩව පුහුණු කරන දේ තමාගේ විඤ්ඤාණ දහරාවට එකතු වෙයි. පුබ්බේච කත පුඤ්ඤතා මතුවීමට නම්, පතිරූප දේශ වාසෝච තිබිය යුතුයි. නිවැරැදි පරිසරය ගොඩනැඟුන විගස එය අවදි වෙයි.දරුවන් තුළ පවතින කුසලතාවයන් මතු කිරීමට අම්මා තාත්තා ගුරුවරයා දක්ෂ විය යුතුයි. ගෙදර බුදුන් අම්මා යනුවෙන් කටට පැමිණි විගස ප්‍රකාශ නොකළ යුතුයි. එසේ ආමන්ත්‍රණය කිරීම සෑම දෙනාටම ප්‍රායෝගික නැහැ. මහපොළොෙවි පය ගසාගෙන සිටින නිවැරැදි අම්මා තාත්තා විය යුතුයි. දෙමව්පියන් තුළ කුසලතා වර්ධනය කරගන්නා අතර දරුවන් තුළද කුසලතා වර්ධනය කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතුයි.
විනයෝච සුසික්ඛිතෝ හෙවත් ආකල්ප හොඳින් වර්ධනය කර ගත යුතුයි. මෙත්තා හෙවත් මෛත්‍රිය පදනම විය යුතුයි. අනෙකාට මෙත් වැඩිවීමට නම්,තමා තමාට මිත්‍රශීලී විය යුතුයි. තමා තමාට ආදරය කරමින් වටිනාකමක් දිය යුතුයි. තමාගේ ජීවිතයට අර්ථයක් දිය යුතුයි. අපගේ ජීවිතයට නිරෝගිකම ලබාදීම සුවපත්භාවය ලබාදීම කළ යුතුයි .තමන් සාර්ථක නම්, අනෙකාට සුවපත්භාවය ප්‍රාර්ථනා කළ හැකියි.
සෙසු ලෝකයාට මෙත්තා දියුණු කිරීමට තමන් මෙත් සිත දියුණු කරගෙන අනෙක් පිරිස තමන්ගේ මට්ටමට ගැනීමට මිතුරු සිතින් ජීවත් විය යුතුයි. කරුණාවන්තකම දියුණු කරගත යුතුයි. කරුණාවන්තකම ප්‍රායෝගිකව නිවස තුළින් දියුණු කළ යුතුයි.නිවස තුළ ලස්සන වචන පාවිච්චි කිරීමට,වැඩිහිටියන්ට කාරුණිකව සැලකීමට ඉගැන්වීමත් සිදුකිරීම ක්‍රියාත්මක කරුණාවයි. ක්‍රියාත්මක කරුණාව දරුවන් තුළ වර්ධනය කළ යුතුවා සේම අප තුළද වර්ධනය කර ගත යුතුයි., තමන්ට වඩා කරුණාවන්ත සිතක් නැත්නම්, කවදාවත් අනෙකාට උපකාර කළ නොහැකියි.තමා තුළ කරුණාවන්තකම ගොඩනැඟීමත් සමඟ අනෙකාගේ සියලු දුර්වලකම් සහ ප්‍රබලකම් උහුලාගත හැකි වෙයි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X