වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

චෛත්‍ය හදන්න කියලා කව්ද කිව්වේ?

දැන් චෛත්‍ය හදන්න කියලා කව්ද කිව්වේ? බුදුහාමුදුරුවෝ කිව්වද එහෙම?

නෑ නේ?? අපිත් බෞද්ධ තමා ඒත් අපි නං අහලා නෑ එහෙම එකක්...

🟢
උපතින් බෞද්ධ වෙලත්, ඔයාලා නොදන්නවා වුනාට, චෛත්‍ය හදන්න කියලා බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා.. පරිනිබ්බාණ සූත්‍රයේත්, ථූපාරහ කියන සූත්‍රයේත් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා චෛත්‍ය, එහෙම නැත්නම් ස්ථූප හදන්න කියලා..
🔴
මොනවද දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ එකේ???
--------------------------------------------------------
🟢
ආනන්දයෙනි, ස්ථූප තනවා පිදීමට සුදුසු මේ සිව් දෙනෙකි. ඒ කවර සිව් දෙනෙක් ද යත්;
(1). තථාගත අරහත් සම්මා සම්බුදුහු ස්ථූප තනවා පිදීමට සුදුසු ය.
(2). පසේ බුදු රජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති.
(3). තථාගතයන්ගේ ශ්‍රාවක තෙමේ ස්ථූප තනවා පිදීමට සුදුසු ය.
(4). සක්විති රජු ස්ථූප තනවා පිදීමට සුදුසු ය.
------------------------------------------------------------------------
🔴
හදන්න සුදුසුයි කියලනේ තියෙන්නේ.. හදන්න කියලා නෑ නේ..
🟢
හදන්න කියලත් ඒ සූත්රයේම තියෙනවා.. මේ බලන්න..
---------------------------------------------------------------------
ආනන්දයෙනි, සක්විති රජුගේ සිරුර කෙරෙහි යම් සේ පිළිපදිත් ද, තථාගතයන්ගේ සිරුර කෙරෙහි ද, එසේ ම පිළිපැද්ද යුත්තේ ය. ""සිව්මංසලෙහි තථාගතයන්ගේ ස්ථූපයක් කළ යුත්තේ ය.
යම් කෙනෙක් එහි මල් හෝ සුවඳ හෝ සුණු හෝ තැන්පත් කරන්නාහු ද, සකසා වන්දනා කරන්නාහු ද, සිත හෝ පහදවා ගන්නාහු ද, එය ඔවුන් හට බොහෝ කල් හිතසුව පිණිස වන්නේ ය.
---------------------------------------------------------------------
🔴
එහෙමද?? .. ඒත් ඉතින් මොකක් නිසාද චෛත්‍ය හදන්නේ? ඕවා හැදුවා කියලා දිව්‍යලෝකේ යන්න පුලුවන් ද? නිවන් දකින්න පුලුවන් ද?? ඕක නිකන් ගඩොල් ගොඩක් නේ..? බුදුහාමුදුරුවෝ එහෙම කොහෙවත් කියලා නෑ නේ??
🟢
ඒකත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා..
ඔව්.. දිව්‍ය ලෝකේ යන්නත් පුලුවන්, නිවන් දකින්නත් පුලුවන්.. පරිනිබ්බාණ සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ ඒ ගැන දේශනා කලා..
---------------------------------------------------------------------
ආනන්දයෙනි, කවර කරුණක් නිසා තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙත් ද?
මේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ස්ථූපය යැයි ආනන්දයෙනි, බොහෝ ජනයෝ සිත පහදවා ගනිති. ඔවුහු එහි සිත පහදවාගෙන කය බිඳී මරණින් මතු සුගති සංඛ්යාත දෙව්ලොවෙහි උපදිති. ආනන්දයෙනි, මේ කරුණ නිසාවෙන් තථාගත අරහත් සම්මා සම්බුදුරජහු ස්ථූප තනවා පිදීමට සුදුසු වෙති...
---------------------------------------------------------------------
🔴
හරි ඉතින් චෛත්‍ය හදලා දිව්‍යලෝකේ යන්න පුලුවන් උනාට නිවන් දකින්න පුලුවන් ද? චෛත්‍ය හදලා නිවන් දැකපු අය ඉන්නවාද?
🟢
ස්ථූපයක් හදපු පිනෙන් නිවන් දකින්න පුලුවන්.. එහෙම රහතන් වහන්සේලා හුගාක් හිටියා.. ඛුද්දක නිකායේ, අපදාන පාළිය කියන කොටසේ ඒ විස්තර තියෙනවා.. "පුලින ථූපිය" කියන මහ රහතන් වහන්සේ නාරද කියලා තරුණයෙක්ව ඉන්න කාලේ වැලි වලින් ස්ථූපයක් හදලා ඒ පිනෙන් තමයි නිවන් දකින්නේ... ඊලගට පිළින්දවච්ච මහරහතන් වහන්සේත් පෙර ජිවිතයක චෛත්තියක් හදලා ඒ පිනෙන් තමයි නිවන් දකින්නේ.. එතකොට නාගසමාල,පභංකර, සුධා පිණ්ඩිය, සපරිවාරිය, උපවාන,කච්චායන කියන රහතන් වහන්සේලා අරහත්වයට පත්වෙන්න කර ගත්ත පින තමයි ස්ථූප හදන එක, ඒ ස්ථූප වලට පුද සත්කාර කරන එක..
🔴
එහෙමද? දැන් ඔය සූත්‍රයේම කියනවා නේ රහතන් වහන්සේලාගේ ස්ථූප හදන්න කියලා..
ඉතින් බුදුහාමුදුරුවන්ගේ කාලේ රහතන් වහන්සේගේ චෛත්‍ය හදන්න එපැයි.. එහෙම හදලා නැ නේ??
🟢
ඇයි නැත්තේ.. බුදුරජාණන් වහන්සේගේ කාලෙම රහතන් වහන්සේලාගේ ස්ථූප හදලා තියෙනවා..
"භාහිය දාරුචීරිය" කියන රහතන් වහන්සේගේ දේහය ආදාහනය කරලා ස්ථූපයක් හදන්න කියලා බුදුරජාණන් වහන්සේම වදාලා.. ඛුද්දක නිකායේ "බාහිය සූත්‍රයේ" මේ විස්තරේ තියෙනවා..
🔴
එහෙමද..අපි ඕවා දැනන් හිටියේ නෑ නේ..
හරි.. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා චෛත්‍ය හදන්න කියලා.. ෙචෙත්‍ය හැදුවම දිව්‍යලෝකේ යන්නත් පුලුවන්, නිවන් දකින්නත් පුලුවන්.. ඒ ඔක්කොම හරි.. ඒත් ඇයි මේ හැම තැනම චෛත්‍ය හදන්නේ.???
එකක් හැදුවනං ඉවරයි නේ.. බුදුහාමුදුරුවෝ කියලා නෑ නේ චෛත්‍ය ගොඩක් හදන්න කියලා??
🟢
ඇත්තටම එක ස්ථූපයක් විතරක් හදපු බුද්ධ සාසනයත් තිබ්බා.. ඒත් අපේ බුදුරජාණන් වහන්සේ අනුසාසනා කලා, දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස බොහෝ ස්ථූප හදන්න කියලා..
ඒකට හේතුවක් තියෙනවා..
අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ ඉතා කෙටියි.. අවුරුදු 80යි..
හැබැයි මීට පෙර බුදුරජාණන් වහන්සේලාගේ ආයුෂ ඉතා දිගයි..
කාශ්‍රප බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20,000ක් වෙනවා..
වෙස්සභූ බුදුරජාණන් වහන්සේගේ කලේ ආයුෂ 60,000 ක්..
ඉතින් ඒ කාල වල බුද්ධ සාසනය බොහෝ ප්රදේශවල පැතිරෙනවා..බොහෝ පිරිස් ධර්මය අවබෝධ කරනවා..
ඒ අවුරුදු දීර්ඝ කාලය ඇතුලේ ධර්මයෙන් ප්රයෝජනය ලබා ගන්න අය ප්රයෝජනය ගෙන අවසන් වෙනවා...
ඒ නිසාම හැමතැනම බුදුරජාණන් වහන්සේගේ ස්ථූප තනවන්නේ නෑ.. තනවන්නේ එකම එක ස්ථූපයක් විතරයි.
කාෂ්යප බුදුරජාණන් වහන්සේගේ ශ්රී දේහය ඒකඝන බවට පත්වෙලා ඒ ශ්‍රී දේහය තැන්පත් කරලා, එකම එක රත්තරං සෑයක් හදනවා.. ඒ බව අපේ බුදුරජාණන් වහන්සේ "ඝටිකාර" සුත්‍රයේ වදාලා..
හැබැයි අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුෂ ඉතා කෙටියි..ඒ කාලේ පරම ආයුෂ 120යි.
ඒක නිසා බොහෝ ප්‍රදේශවල ධර්මය ව්‍යාප්ත වුනේ නෑ.. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් තව බොහෝ පිරිසක් හිටියා ධර්මය අවබෝධ කරන්න පුලුවන් අය.. අන්න ඒ හේතුව නිසාම අපේ බුදුරජාණන් වහන්සේ පිරිණිවන් පෑවම ශ්‍රී දේහය කාෂ්යප බුදුරජාණන් වහන්සේගේ වගේ තනි දේහයක් බවට පත් වෙන්නේ නෑ.. දාතූන් වහන්සේලා තැන්පත් කරලා එක ස්ථූපයක් විතරක් හදන්නේ නෑ..
අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්ම ඉර්ධියක් කරනවා තමන්ගේ දේහයේ සියලු අස්ථි, කුඩා ධාතුන් වහන්සේලා බවට විසිරෙන්න කියලා.. එහෙම කරන්නේ.. ගමක් ගමක් ගානේ ඒ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා ස්ථූප හදලා අහිංසක මිනිස්සුන්ට පින් රැස් කරගැනීමේ අදහසින්.. පිං කරගෙන සසර දුකින් නිදහස් වීමේ අදහසින්..
අන්න ඒකයි අදටත් ලංකාව පුරා ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ස්ථූප ඉදිකරන්නේ..
අශෝක රජතුමා ස්ථූප 840000 ක් හදනවා ඉන්දියාවේ.. ලංකාවේ රජවරු පවා ගමක් ගමක් ගානේ ස්ථූප ඉදිකලා.. අපේ අවාසනාවට අද ඒවගේ සලකුණක් වත් නෑ..
දැන් බලන්න රුවන්වැලි සෑය, ජේතවනාරාමය,මිරිසසැටිය, ථූපාරාමය හදලා තියෙන්නේ එකකට එකක් පේන දුරින්.. ඒ කලේ රජවරුවත්, මිනිස්සුවත් බැන බැන හිටියේ නැ. හැම තැනම චෛත්‍ය හදනවා කියලා.. ශ්‍රද්ධාවෙන් ඒවා හැදුවා.. වන්දනා කලා.. ඒක නිසාම ඒ කාලේ අපේ රට හුගාක් දියුණු රටක් වුනා..
🔴
ඉතින් ඔය හැම චෛත්‍යයකටම ඔච්චර ධාතුන් වහන්සේලා කොහෙන්ද?
🟢
බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කලානේ ධාතුන් වහ්න්සේලා විසිරෙන්න කියලා.. එතකොට ලලාඨ ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ ලා දෙනම, ග්‍රීවා ධාතුන් වහන්සේ, සතර දන්ත ධාතුන් වහන්සේලා හැරෙන්න්ට අනෙක් සියලු අස්ථි කොටස් කුඩා ධාතූන් වහන්සේලා විදියට වෙන් වුනා..
මුං පියලි ප්‍රමාණයේ නැලි 5ක්,
කඩ සහල් ප්‍රමාණයේ නැලි 5ක්
සහ අබ ඇට ප්‍රමාණයේ න් නැළි 6ක්
විදියටයි මේ ධාතුන් වහන්සේලා වෙන් වුනේ..
ඔය නැළි 16න් නැළි 2 ක ප්‍රමාණයක් රුවන්වැලි සෑයේ වැඩ ඉන්නවා.. එතකොට ඉතුරු නැලි 14 ධාතුන් වහන්සේලා කොච්චර ඇත්ද?
අපි නිකමට හිතමු නැළියක් කියන්නේ හාල් මනින හුණ්ඩු හතරක් කියලා.. ඒ හතරකට අබ ඇට දැම්මොත් අබ ඇට කොච්චර තියෙයි ද කියලා හිතන්නවත් පුලුවන් ද?

හුණ්ඩු 4ක අබ ඇට 1000ක් තිබ්බත් 6 ක තියෙනවා 6000ක්.. එතකොට කඩසහල් ප්‍රමාණයේ සහ මුං පියලි ප්‍රමාණයේ ඒවත් කොයි තරම් ඇත්ද? ඔබට ඒ ගාන හිතා ගන්නවත් බෑ..
ඇත්තටම දැන් ස්ථූපවල තියෙන ධාතුන් වහන්සේලා ප්‍රමාණය බැලුවොත් ඊට වඩා සිය ගුණයක විතර ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් කොහේ හරි සැගවිලා ඇති..
🔴
බලන් ගියාම, උපතින් බෞද්ධ උනත් අපි බුද්ධ සාසනේ ගැන මෙලෝ දෙයක් දැනන් ඉදලා නෑ නේ..
ඇත්තටම ඔය විස්තර අපි කලින් අහලා තිබ්බේ නෑ.. පුදුම හිතෙනවා අහනකොට.. මිනිස්සු කාගේ හරි බොරුවක් අහලා කොයිතරම් නං පව් පුරව ගන්නවද?
🟢
ඔව්.. මිනිස්සු නොදන්නා කම නිසාම පව් පුරව ගන්නවා.. හැබැයි එහෙම කියලා විපාක වල අඩුවක් නෑ... නොදැන කරන පවේ විපාක වැඩියි.. කවුරුත් කියන ඒවා අහන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ මොකක් ද කියලා හොයලා බලන්න..
🔴
ඔව්.. ඔබ හරි.. නමට විතරක් බෞද්ධ කියලා කියන අය කියන ඒවා අහලා මං ආයේත් පව් කර ගන්නේ නෑ.. උපතින් බෞද්ධයෙක් හැටියට මං බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකක් ද කියලා හොයලා බලනවා.. රටේ කොහේ හරි හැදෙන ස්ථූපයකට මං උපස්ථාන කරනවා.. ඒ පිනෙන් මං දවසක සසර දුකින් නිදහස් වෙනවා..


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මී පැණි පූජාවේ අනුසස්.

 මධුපිණ්ඩික ස්ථවිරාවදානය....

◾
අල්ප ශබ්ද ඇති, නිරාකූල වූ මහවනයෙහි දී ඍෂීන්ට ශ්‍රේෂ්ඨ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් වැනි වූ නිවී ගිය ආත්මභාව ඇති අතිශ්‍රේෂ්ඨ වූ උත්තම ආජානීයයකු වැනි ඕසධී තරුව මෙන් බබලන්නා වූ දිව්‍යයසමූහයා විසින් නමස්කාර කරන ලද සිද්ධාර්‍ථ බුදුරජානන් වහන්සේ දැක මට මහත් ප්‍රීතියක් වීය. එකෙණෙහි නුවණ ද උපන්නේ ය.
◾
සමාධියෙන් නැගී සිටි ඒ බුදුරජානන් වහන්සේට මී පැණි දානයක් දී ඒ බුදුරජානන් වහන්සේගේ ශ්‍රීපාද යුග්මය ද වැඳ නැගෙනහිර දෙසට මුහුණ ලා ගියෙමි.
◾
සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභව කරන) භෝජනයෙහි ද නෙළුඹුපැනි වැගිරේ. මී වැසි ද වැස්සේ ය. පූර්ව කර්මයාගේ මේ විපාකය යි.
◾
මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් මීපැණි දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාකයයි.
◾
මෙයින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිවු සක්විති රජකෙනෙන් වූහ.
◾
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
*************************************
මී පැණි පූජාව ඉහළ අග්‍රගන්‍ය පූජාවක්. අතීතයේ අත්ථදස්සී නමින් බුදුන් වහන්සේ නමක් ලොවේ පහළ ව විශාල සඟ පිරිසක් පිරිවරාගෙන මහ මඟ වැඩම කළා. මෙය දුටු එක්තරා උතුමෙක් (ගෞතම බුද්ධ ශාසනයේ මෝඝ රාජ රහතන් වහන්සේ) අත්ථදස්සී බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට අසිරිමත් ස්තූති පූජාවක් සිදු කළා. චිත්ත ප්‍රසාදයෙන් සිදු කළ මෙම පූජාව ‘සංසාර ගමන සුවපත් ව ගමන් කරන්නට ලැබේවා’ පැතුමෙන් ගොටුවක් සකසා එයට මී පැණි යොදා පූජා කරනු ලැබුවා.
මී පැණි පූජාව පිළිගත් අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ අහසේ ම වැඩ සිට දේශනාවක් සිදු කළා. තථාගතයන් වහන්සේට, මහා සංඝයාට චිත්ත ප්‍රසාදයෙන් ස්තූති පූජාව ද, මී පැණි පූජාව ද සිදු කිරීමෙන් මේ තැනැත්තා කිසිම දවසක දුර්ගතියකට පත් වුණේ නැහැ. දුගී දුප්පත් අසරණ වුණේ නැහැ. අන්ධයෙක්, බිහිරෙක්, ගොළුවෙක්, මන්ද බුද්ධිකයෙක් වුණේ නැහැ. මේ තැනැත්තා මී පැණි පූජා කිරීමේ පිනෙන් වාර දාහතරක් දෙව් ලොව සක්‍ර භවනේ ද, වාර අටසියයක් පොළොවට රජකම ද, වාර පන්සියයක් සක්විති රජකම ද, ප්‍රදේශයේ කුඩා රාජ්‍ය ගම්වල නායකත්වය ද ලැබුවා. මනුස්ස සම්පත්, දිව්‍ය සම්පත්, විඳ අනාගතයේ පහළ වන ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි, මෝඝ රාජ නම් රහතන් වහන්සේ නමක් වන බව ද, ත්‍රිවිද්යාවෙන් අග තැන්පත් ව ශාන්ත ලක්ෂණ නිවනට පත් වන බව ද එදා අත්ථදස්සී බුදුන් වහන්සේ වදාළා. එසේනම්, මී පැණි පූජාව කෙතරම් ඉහළ පූජාවක් ද යනු සිතන්න.
🌼
..පිරිසුදු සිත ඉතා වැදගත්..
🌼
පරිනිර්වාණයට පත් වුණු ලොව්තුරා බුදුන් වහන්සේ නමකට හෝ ජීවමාන බුදුන් වහන්සේ නමකට මී පැණි පූජාව සිදු කිරීමෙන් සංසාර ගමන කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ.
සෑම දෙනාම උක් පැණි පූජාවක්, මී පැණි පූජාවක්, කිතුල් පැණි පූජාවක් වැනි මිහිරි දෙයක් පූජා කළ යුතු යි. එය සිත, ගත නිවා සනසන පූජාවක් වෙනවා. ඒ පූජාව ම සංසාර ගමන සුවපත් වීමට හේතු වනවා. කවදාකවත් දුකකට පත් වන්නේ නැහැ. එලෙස කල්පනාවෙන් මේ ලොවුතුරා බුදු කෙනෙකුට කරන පූජාවක් යනුවෙන් සිතාගෙන ගෞරවයෙන්, ප්‍රණීතයෙන් පූජා කළ යුතු යි.

‘අධිවාසේ තුනොභන්තෙ මධුපාණිතං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං’

යනුවෙන් පූජාකළ යුතු යි. මී පැණි ‘මධුපාණිතං’ යනුවෙන් හඳුන්වනවා. එය බොහොම වාසනාවන්ත, ප්‍රණීතම පූජාවක්.
තමන්ගේ ජීවිතයට මිහිරි දෙය ලබන්න, ප්‍රණීත දෙයක් ලබන්න, හේතු භූත වන්නේ ප්‍රණීත දෙයක් පූජා කිරීමයි. එය මී පැණි පූජාවෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. බුද්ධාදී උතුමන්ට මෙවැනි පූජාවක් සිදු කිරීම කෙතරම් අගේ ඇති වටිනා පූජාවක් වෙනවා ද? ගෞතම බුදුරජාණන් වහන්සේට වනාන්තරයේ සිටි වඳුරෙකුත් මී පැණි පූජාවක් සිදු කළා. එය ඒ සතාට වුව ද කෙතරම් සැප විපාක වන්නට ඇති ද? ඒ නිසා මී පැණි පූජා කිරීම තිරිසන් ගත සතාට වුව ද තමාගේ සිත අනුව විපාක වැඩි වෙයි. සිත පිරිසුදු නම් එහි ආනිසංස වැඩි වෙයි. මේ ගැන කල්පනාවෙන් කවුරු වුණත් පිනක් මහත්ඵල මහානිසංස දායක වීමෙන් හේතු සාධක කල්පනා කර බැලිය යුතු යි.
🌼
..පූජාවේ පින මහත්ඵල වීමට..
🌼
අලෝභ (තණ්හාව නැහැ) ද්වේෂ (තරහ, වෛර, ක්රෝධ නැති මෛත්රීය) අමෝහ චේතනා (මෝඩකම නොහොත් මෝහය නැති බව) පූජාවක දී හෝ වන්දනාවක දී පහළ වූවා නම්, පින බොහොම මහත්ඵල වෙයි. එහෙම නම්, අත්ථදස්සී බුදුරජාණන් වහන්සේට මී පැණි පූජාව කළේ අලෝභ, අද්වේෂ අමෝහ චේතනාවන් මුල් කරගෙනයි. මේ චේතනා ඉතාම පිරිසුදුව තම සිතෙහි පහළ වුණොත්, ඒ අනුසාරයෙන් චෛතසික ධර්ම රාශියක් පහළ ව සිත ප්‍රබෝධමත් ව චෛතසිකයත් පිරිසුදු වෙයි.
පිනට නිග්‍රහ කරන්න එපා, අනුන් කරන පින්කම් හෙළා දකින්න එපා. පින්කම්වල සිත පහදවා ගෙන අතහිත යොමු කරන්න. සාධු නාද නඟන්න පුරුදු වන්න. තමන් ද ඒ පින්වල යෙදිය යුතු යි. ලොව්තුරා බුදුවරු ලොවේ සැමදා නැහැ. බුද්ධ ශාසනයත් අපට ලැබුණේ අපේ පිනට යි. ඒ තමාගේ ගුණ ධර්ම දියුණුවෙන් කරන පින්කම්වල විපාක අනේක ජාතික සංසාරයේ සත සහශ්‍රයන් හි ලැබෙනවා. කවදාකවත් දුකක්, පීඩාවක් නැහැ. ආයු වර්ණ, සැප, බල, ඥාන, භෝග සම්පත්, පරිවාර සම්පත්, සුගති සම්පත් ආදී සියලුම සම්පත් ගෙන දීමට සමත් වෙනවා. පූජාවෝ, වන්දනාවෝ සාර්ථක වන්නේ පූජාව නිසා නොවෙයි. සිතේ පැහැදීම නිස යි. එය අග්‍ර ගණ්‍යය පූජාවක්, වන්දනාවක් බවට පත් වෙනවා.
🌸
..දුප්පත්කම දුරලීමට - සම්පත් උදා කර ගැනීමට..
🌸
මේ ගැන සිතා කල්පනාවෙන් කවුරුත් ගුණ ධර්ම දියුණුවෙන්, සීල, සමාධි ප්‍රඥාවෙන් අපේ පින මහත්ඵල මහත් ආනිසංස කර ගන්න. කිසිම දෙයකින් අඩු පාඩුවක් කරදරයක් වන්නේ ම නැහැ. සිත දියුණු කළ විට කෙතරම් වටිනවා ද? ලොවේ කවර තැනක උපන්නත් එවැනි සැනසුමක් ලබන්නට බැහැ. ලංකාවේ උපන් අයට ඕන වේලාවක, ඕනෑ තරම් පින් දහම් කළ හැකි යි. ලොවේ අන් අය එලෙස නැහැ. කෙනෙකුට යමක් පරිත්‍යාග කිරීමට, කරුණා, මෛත්‍රීය උපදවා ගැනීමට පුළුවන්. නමුත් පන්සිල් රැකීමක්, පොහොය අටසිල් රැකීමක්, බණ ඇසීමක්, භාවනාවක් නැහැ. ඒ අනුව අප කෙතරම් ම වාසනාවන්ත ද? දුගී දුප්පත්කම තුරන් කරන්නට, සියලු සැප සම්පත් උදාපත් කරගන්න, දුක් කරදර කම්කටොළු යටපත් කරගන්නට හේතු වන්නේ පින යි. ජීවිතය වාසනාවන්ත වන්න, ජීවිතය ආලෝකවත් වන්න හේතු වන්නේ පිනයි. ,
එබැවින් හැමදෙනාම උතුම් බුද්ධ ශාසනය පවතින මේ මොහොතේ අප්‍රමාදීව පින් දහම් කරමින් දෙලොව හිත සුව පිණිස කටයුතු සම්පාදනය කර ගනිත්වා !

උපුටා ගතිමි.තෙරුවන් සරණයි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කාලය අපතේ යවන්න එපා පින් පුරවා ගන්න මේ හොඳම කාලයයි

මහමෙව්නාව භාවනා අසපුවාසී

ඇසළ පෝයෙන් ආරම්භ වන වස්සාන කාලය බුදුරජාණන් වහන්සේගේ ගිහි, පැවිදි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට තමන්ගේ ජීවිතයේ දහම් දැනුම වගේම ගුණ ධර්මත් දියුණූු කර ගන්නට අවස්ථාව උදාවන කාලයක්. එළඹෙන පින්බර වස් තුන් මාසය පුරාවට පැවිදි, ගිහි ශ්‍රාවකයන් ලෙස ගුණ දහම් පුරුදු කරගන්නේ කොහොම ද? ඒ පිළිබඳ සාකච්ඡාවකි මේ

පින්වත් ස්වාමින් වහන්ස, අතීතයේ සිටි අපේ සංඝ පීතෘන් වහන්සේ වස් කාලයෙන් ප්‍රයෝජන ගෙන තිබෙන්නේ කොහොම ද?

භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේට වස් සමාදන්වීම පැනවීමට කලින් අරහත්වයට පත්වූ සඟ පිරිසට වඩා වස් පැනවීමෙන් පසු අරහත්වයට පත් වූ සඟ පිරිස වේගයෙන් වැඩි වුණා. චාරිකාවේ වඩිමින් සිටින භික්ෂූන් වහන්සේ තුන් මාසයක් එකම ස්ථානයක වැඩවාසය කරද්දී තමන් වහන්සේට ලැබුණු විවේක සුවයෙන් සීල, සමාධි, ප්‍රඥා වේගයෙන් දියුණූු කර ගන්නට උපකාරයක් වී තිබෙනවා. එනිසා පෙරට වඩා බොහෝ රහතන් වහන්සේ බිහි වූ කාලයක් ලෙස මෙම උතුම් වස්සාන කාලය සඳහන් වෙනවා. අද වුවත් භික්ෂූන් වහන්සේ මෙම වස් කාලය තමන් වහන්සේගේ ජීවිතයේ විශේෂ කාලවකවානුවක් ලෙස සලකනවා.

ඈත අතීතයේ වැඩසිටි ඒ මහා පින් තිබුණූ වීරෝධාර අපේ උතුම් සඟ පරපුර තමන් වහන්සේ වස් සමාදන් වීමට පෙර අධිෂ්ඨාන ඇති කර ගන්නවා මේ වස් තුªන් මාසය අවසන් වීමට පෙර මම කෙලෙස් නසනවා කියා.

අතීතයේ සිටි ඒ උත්තමයන් වහන්සේට තිබුණ පිනක් වගේම තමා තුළ තිබෙන අසාමාන්‍ය වීර්යය, ධර්ම මාර්ගය පුරුදු කර ගැනීම උදෙසා තමන්ට මාර්ගඵල උතුමන්ගෙන් ලැබුණූ මාර්ග උපදේශය ආදී කරුණු ඒ සඳහා මූලික වෙන්න ඇති. ඒ වස් තුන් මාසය ඇතුළේ බොහෝ භික්ෂූන් වහන්සේ වීර්ය කර කෙලෙස් නසා තිබෙනවා. එ නිසාම එදා උපාසක, උපාසිකාවෝ පවා වස්තුන් මාසය ඇතුළත විශේෂ ගුණ දහම් දියුණු කර ගන්නට උත්සහ කර තිබෙනවා.

ස්වාමින් වහන්ස, ගිහි ශ්‍රාවක අපි මේ වස් සමයේ කටයුතු කළ යුත්තේ කෙසේද?

බුද්ධ කාලයේ උපාසක උපාසිකාවන් වස් කාලයේ තමන් සමාදන් වූ සිල්පදවලට අමතරව අධි සීලයෙහි හික්මී තිබෙනවා. වස් තුන් මාසයේ ම උපෝසථ අෂ්ඨාංග සීලය. දස සීලය ආදිය සමාදන් වී තිබෙනවා. එහෙම පහසුවක් නැති උපාසක උපාසිකාවෝ වස් තුන් මාසය පුරාවට උතුම් බ්‍රහ්මචාරී සීලය සමාදන්ව පංචසීලය රකිනවා.

ඒ වගේම අපට අතීත ඉතිහාසයේ කතා පුවත් ආදිය අධ්‍යයනය කරනවිට තේරෙනවා මේ වස් කාලයේ උපාසක උපාසිකාවෝ තමන්ගේ ජීවිතයේ එක ගුණයක් හෝ දියුණු කිරීමේ වේගය වැඩි කර ගන්නට යොදාගෙන තිබෙන බව.

උපාසක උපාසිකාවන්ගේ වගකීම කෙසේ විය යුතුද?

වර්තමානයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකාවන් වුවත් කටයුතු කළ යුත්තේ ඒ ආකාරයට ම යි. මේ කාලයේ භික්ෂූන් වහන්සේ උදෙසා සිවුපසයෙන් උපස්ථාන කරන්න, ආවාස තනන්න. දානමාන කටයුතු ගැන සොයා බලන්න. මේ ආදී පින්කම්වලට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතයට පින වැඩි කර ගන්නට අවස්ථාව තිබෙනවා.

ඒ වගේම ඔබ තමන්ගේ පෞද්ගලික ජීවිතයේ දීත් ඇති කර ගත යුතු යහපත් සිතිවිලි තිබෙනවා. වර්තමානයේ කාර්යබහුල ඔබට මේ වගේ අධිෂ්ඨානයක් ඇතිකර ගන්නට පුලුවනි.

“මම මේ තුන් මාසය පුරවාට “සමාදන් වූ පංචසීලය පළුදු නොකර ගෙන රැක ගන්නවා“ කියා ඇතැමකුට සිතෙන්න පුලුවන්. ඒක බොහෝම වටිනා සිතිවිල්ලක්. ඒ වගේම තව කෙනකුට සිතෙන්නට පුලුවන් “මම මේ කාලය පුරාවට ම මෛත්‍රිය පුරුදු කරනවා”

බුද්ධානුස්සති භාවනාවට සිත අලවා වාසය කරනවා වෙන්න පුලුවන්. මේ මොන ආකාරයෙන් හෝ තමගේ ජීවිතේ මේ කාලය තුළ විශේෂ ගුණ ධර්මයක් දියුණු කර ගන්න උත්සාහවන්ත වෙන්න. නුවණ තිබෙන බුද්ධිමත් ශ්‍රාවකයකුට එය කළ හැකි දෙයක්. එවිට මේ තුන් මාසය ගෙවී අවසන් වන විට ඔබගේ ජීවිතයට අසාමාන්‍ය පිනක් රැස් කර ගන්නට අවස්ථාව තිබෙනවා.

ඔබ ඉතාම කාර්යබහුල යි. බොහෝ බැඳීම්, වගකීම් යුතුකම්වලට සිර වී පීඩාකාරි ජීවිතයක් ගත කරන්නේ. එනිසාම මේ තුන් මාසය දරුවන්ටත් ආදර්ශයක් වෙන ආකාරයට ගත කරන්නට පුලුවන් නම් එය ප්‍රයෝජනවත් වේවි.

ඇසළ පෝය ආරම්භයත් සමඟ නිවසේ සියලු දෙනාගේ එකඟත්වයෙන් පහසු වෙලාවක් තෝරාගෙන නිවසේ දිනපතා ම බුද්ධ වන්දනාව කරන්න බලන්න. එය කො තරම් සුන්දර තීරණයක් ද? අපේ කාලය කො තරම් නිකරුණේ ගෙවා දමනවා ද? රූපවාහිනිය ඉදිරියේ, ස්මාට් දුරකතනය ඉදිරියේ, පරිසරය නරඹන්න ආදිය කියමින් අපේ කාලය කෙතරම් අපතේ යනවා ද? ඒ වෙනුවට මේ වස් තුන් මාසය තුළ යම් කළමණාකරණයක් ඇතිව ගත කරන්න පුලුවන් නම් ඒක ජීවිතයට කෙතරම් ආශ්වාදයක් ගෙන දෙනවා ද?

වර්තමානයේ ජීවත් වන අපගේ කාර්යබහුලත්වයත් සමඟ කාලය සීමිත යි. ඒත් මේ වස් කාලයේ පින් පුරවා ගන්නට කැමැති නම් කළ යුතු කුමක් ද?

ඒක ඇත්ත. වර්තමානයේ ඔබ බොහෝම කාර්යබහුලයි. වස් තුන් මාසයක් එළඹුණත් ඔබට ඒ වෙනුවෙන් ලොකු කාලයක් වෙන් කර ගන්නට අපහසු වෙන්න පුළුවන්. නමුත් ඔබට පුලුවන් ඔබ වෙනුවෙන්, ඔබගේ යහපත වෙනුවෙන් දවසේ පැය විසිහතරෙන් සුළු කාලයක් වෙන් කර ගන්න. ඒ සඳහා වුවමනා වන්නේ අධිෂ්ඨානය හා කැපවීම යි.

පවුලේ සියලුම දෙනා තෙරුවන් සරණ පිහිටා ඇත්නම් මේ දේ කරන්න ඉතා ලෙහෙසියි. ඔබ හෝ ඔබගේ පවුලේ සියලුම දෙනා බොහෝ ගුණධර්ම අතරින් එක ගුණ ධර්මයක් සමාදන් වෙන්න. ඒ ගුණය රැකීමට තදබල අධිෂ්ඨානයකට එන්න. දිවි හිමියෙන් එය රකින්න.

ඔබ අතින් නිතර නිතර කඩවන සිල් පදය කෙරෙහි බලවත් අවධානය යොමු කර එය රකින්නට උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට මුදලක් හෝ කාලය අවශ්‍ය වන්නේ නැහැ. සමහර විට ඔබ විහිළුවට හෝ අන් අය සිනා ගැස්සීමට හෝ, මාන්නය උදෙසා හෝ බොරු කියනවා කියා සිතන්න. එය මේ වස් කාලයේ දී අත හැර දමන්න. එක බොරුවක්වත් කියන්න එපා. හොඳ කල්පනාවෙන් එය ආරක්ෂා කරන්න. වස් තුන් මාසය අවසන දී ඔබට වැටහේවි. ඒ දින අනූව කෙ තරම් සැහැල්ලු ද කියලා. වස් කාලය අවසන් වුවත් ඔබ බොරු නො කියන්න පුරුදු වෙලා සිටීවි.

ඒ වගේම ඔබට සමීපව යම් විහාරස්ථානයක්, තිබෙනවා නම් මේ වස් තුන් මාසය ඔබට විශේෂ සිතිවිල්ලක් ඇති කර ගන්න පුලුවන්. අපි මේ කාලය තුළදී දිනපතා හෝ පුලුවන් සෑම දිනක ම බෝධින් වහන්සේ සමීපයට ගොස් බෝ මළුව අමදිනවා. බෝධින් වහන්සේට විශේෂ කොට උපස්ථාන කරනවා. නැති නම් සෑ රජාණන් වහන්සේට උපස්ථාන කරනවා කියා අධිෂ්ඨානයකට එනවා. ඉන්පසුව ඒ දෙස හැරී බලන විට කෙ තරම් සතුටක් ඔබට ඉතිරි වී තිබේ ද?

වස් කාලයේ දී භික්ෂූන් වහන්සේ විහාරස්ථාන මට්ටමින් නොයෙක් පින්කම් සූදානම් කරනවා. එසේ සූදානම් කරන්නේ සැදැහැවතුන්ට අනුග්‍රහය පිණිසයි.

එනිසාම මේ වස් තුන් මාසය පුරාවට ම භික්ෂූන් වහන්සේ තම තමන්ගේ පුණ්‍යභූමිවල පින්කම් සූදානම් කරනවා. එයින් ප්‍රයෝජන ගන්න. මේ ගෙවී යන්නේ ගිහි අපට පින් පුරවා ගන්න තිබෙන කාලයක්.

මේ වස් තුන් මාසය ඔබගේ ජීවිතයේ වටිනාම කාලය බවට පත්කර ගන්න දක්ෂ වෙන්න. ලෝකයේ රහතන් වහන්සේ වැඩිපුරම බිහි වූ කාලය මෙයයි. ගුණධර්ම පුරණ උත්තමයන්ගේ ගුණ ධර්ම වැඩී ගිය කාලය යි. එනිසා ඔබ මෙනෙහි කරන්න මමත් මේ බුදු සසුනේ ශ්‍රාවකයෙක්. එනිසා මමත් ගුණ ධර්ම පුරුදු කරන්න උත්සාහ කරනවා කියා සිතිවිල්ලක් ඇති කර ගෙන ඔබට ශක්ති පමණින් පුලුවන් ආකාරයට කැමැති ගුණ ධර්මයක් පුරන්නට පටන් ගන්න. ඉදිරියට එළඹෙන ඒ මාස තුන ඔබට පින් පිරෙන ගුණ ධර්මත් වැඩෙන වටිනා කාල වකවානුවක් වේවි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ධ ර් ම දානය නි ර් වා න දානයකි

බණ කියන අයගේද අසන අයගේද බණ කියා නිමවන තෙක් කයින් කෙරෙන අකුසල් වලින් තොරව කය සංවරව පවතී. වචනයෙන් කෙරෙන අකුසල් වලින් තොරව වචනය සංවරව පවතී. එසේ කය වචන දෙක සංවර වීමෙන් සීලය සම්පූර්ණ වේ. දේශනා කරන ධර්මයට සිත නැඹුරුව පවතින හෙයින් කාමච්ඡන්ද, ථීන මිද්ධ, ව්යාපාද, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා නීවරණ ධර්මයන් යටපත් වීමෙන් සමාධිය සම්පූර්ණ වේ. ධර්මය අවබෝධ වීමේදී ප්‍රඥාව පහළ වේ. මෙසේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන් තුන් වැදෑරුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය එකවර සම්පූර්ණ වීමෙන් මාර්ග ඵල අවබෝධය වේ. එවිට නිර්වාණය ප්රත්යක්ෂ වේ. එහෙයින් ධර්ම දානය දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් එවලේම විපාක ලබා දිය හැකි දානයකි. බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසීමෙනුත් සිය ගණන් දහස් ගණන් එකවර මාර්ග ඵල අවබෝධ කොට නිවන් දුටු බව ත්රිපිටකයෙහි නොයෙක් තැන සදහන්ව ඇත.


යම් කිසි විදියකින් මෙලොව එබඳු විපාකයක් ලබා ගැනීමට නොහැකි වූයේද මේ මහා භද්රකල්පයට එක් තිස් කල්පයකින් මත්තෙහි ලෝ පහල වූ සිඛී නම් බුදුරජාණන් වහන්සේගෙන් මොහොතක් බණ ඇසූ මිගලුද්දක නම් වැදි පුත්රයා සතර අපා දුකින් මුදා කල්ප තිස් එකක් මුළුල්ලෙහි සදිව්ය ලෝකයෙහිත් මනුෂ්ය ලෝකයෙහිත් අප්රමාණ වූ සම්පත්තියට පමුණුවා කෙළවර ලෝකෝත්තර සැපත වූ නිර්වාණයටත් පමුණුවා ලුවාක්මෙන් අප්රමාණ වූ සුගති සංඛ්යාත ලෞකික සම්පත්තියටත් කෙළවර නිර්වාණ සංඛ්යාත ලෝකෝත්තර සම්පත්තියටත් පමුණුවා ලීමෙහි ධර්ම දානය සමත් වෙයි.

පෙර බුදුවරයන් වහන්සේලාගේ ධර්ම දානය හේතු කොට ගෙන පසු බුදුවරයන් වහන්සේලාද පසේ බුදුවරයන් වහන්සේලාද රහතන් වහන්සේලා ද ලෝකයෙහි පහළ වූහ. ඒ කාරණයෙනුත් ධර්ම දානය ශ්‍රේෂ්ඨ වේ. සත්වයකුට ලැබිය හැකි උසස්ම තැන වූ සම්මා සම්බුද්ධ බෝධිය පවා අත් කරදෙනුයේ ධර්ම දානය විසිනි. ඒ හේතුවෙනුත් ධර්ම දානය අග්‍රය.

නව කපපං සුත ධමමං
අට්ඨ කපපං ච යාචිතො
එක කපපං අනුමොදනතුං
දෙසිතො ච අසංඛයො

ධර්මය ඇසීමෙන් නව කල්පයක් ද ධර්මය දේශනාවට ආරාධනා කිරීමෙන් අට කල්පයක් ද එහි පින් අනුමෝදන් වීමෙන් එක් කල්පයක් ද ධර්ම දේශනා කිරීමෙන් කල්ප අසංඛ්යයක් ද සුගතියෙහි සැප ලැබෙන බව එයින් කියවේ. අටුවාවෙහි එසේ කීවද ධර්ම දානයෙහි ආනිසංස සීමාකර කිව නොහැකි වන්නේමය.

සදධමම දේශනා කාලෙ
සාධු සාධුති හාසනො
මුඛතො වායතෙ ගනෙධා
උපපලංව යථොදකෙ

ධර්ම දේශනා කරන කාලයෙහි ධර්මාලම්බන ප්‍රීතියෙන් සාධු ! සාධු !! යැයි කීමෙන් උප නූපන් ජාතියෙහි කටින් මහනෙල් මල් සුවඳ හමන්නේය යනු එහි අදහසය. ධර්ම ශ්රවණය කරන්නාට එසේ නම් ධර්මය දේශනා කරන්නාට කෙබඳු විපාක ලැබිය යුතු දැයි සලකා ගත යුතුය. ධර්ම දානයෙහි ආනිශංස පක්ෂය මෙතෙකැයි සීමා කර නොහැකිය.

ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්‍රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .

සක්වල ගැබ සිට භවාග්‍රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්‍රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්‍රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්‍රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.

අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්‍ර වේ, ශ්‍රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.

එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් කැඳ සරලුවකුදු බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. මේ කරුණින්ද ධර්ම දානමය පිංකම ම සියලු දන් පරදවන බව දත යුතු ය. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැම්පත් සැරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වැස්සේ දියබිඳු ප්‍රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දාන ම ය පින ම සියලු දාන ම ය පිංකම් වලට වඩා  ශ්‍රේෂ්ඨ වන බව අග්‍ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය

එබැවින මා පින්වත් කළණ මිතුරු මිතුරියනේ.
බුදු රජාණන්වහන්සේ ම දේශනා කරන්නෙ ධර්මදානයේ ඵල විපාක මෙච්චරය කියන්න බැහැ යන වගයි.

වරක් බුදුරජාණන්වහන්සේ දේශනා කරනව “ධම්මං විනා නත්ථි පිතාච මාතා” කියල. ධර්මය ඉක්මවා ගිය මවෙක් පියෙක් නොමැත කියලයි කියන්නෙ.

ඊලගට “ ධම්මෝෂධ සමං නත්ථි - ඒතං පිවත භික්ඛවෝ ” කියල කියනව. ඒ කියන්නෙ ධර්මය හා සමාන ඔසුවක් නැත, එය පානය කරව් කියල.

ඊලගට “සබ්බ දානං ධම්ම දානං ජිනාති ”
ධර්ම දානය හා සමකල හැකි කිසිද දානයක් නෑ කියල කියනව. මේ සියල්ලෙන්ම ධර්මය කොතරම් අපිට වැදගත්ද කියල ඔබට හිතෙනව ඇති.

ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව තියෙනව.

1. බොහෝ දෙනාට ප්‍රිය වීම (බහුනො ජනස්ස පියො හොති)

2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)

3. කීර් තිය පැතිරීම (කල්යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)

4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)

5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ධර්ම දානය කරන ක්‍රම කිහිපයක්ම තියෙනව. මේ බලන්න.

1. ධර්ම දේශනා කිරීම

2. ධර්ම දේශනා කරවීම හා ධර්ම පූජා පැවැත්වීම

3. දහම් පොත් පත් සඟරා මුද්‍රණය කර බෙදා හැරීම

4. ධර්මය ඉගැන්වීම

5. පිරිස් වලට බණපොත් කියවීම

6. අන්‍යයන් ශීලයෙහි ගුණයෙහි පිහිටුවීම

7. දරුවන්ට ධර් මය උගන්වා ධර්ම දේශකයන් කරවීම

8. ධර්ම දේශක භික්ෂූන්ට දහම් පොත් පත්, තෙල් පහන්, බෙහෙත්, වාහන, මුද්දර, ගමන්පහසු, විජිනි පත් හා සිවුපසය ආදිය සැපයීම

9. ධර්මය ඉගෙන ගන්නා භික්ෂූන්ට දහම් පොත් පත් තීන්ත පෑන් කඩදාසි තෙල් පහන් හා සිව්පස දීම

10. ඉරුදින දහම් පාසල් පිහිටුවීම, පවත්වාගෙන යාම, ධර්මය ඉගෙන ගන්නා ළමයින්ට තෑගි බෝග දී උනන්දු කරවීම, ඇඳුම් පැළඳුම් පොත් පත් දීම

11. ධර්ම දේශකයන් වහන්සේලාට අවශ්‍ය වියදම් දීම,

12. ධර්ම ශාලා කරවීම, සැරසීම, ඒවාට පහන් පැදුරු ආදිය සැපයීම

13. ධර්මාසන කරවීම හා ඒවාට ඇතිරිලි, උඩු වියන් බුමුතුරුණු, පාවාඩ පූජා කිරීම

14. ධර්ම දේශකයන් වහන්සේලාගේ පා සේදීම, පය පිස දැමීම, වියන් ඇල්ලීම, පාවාඩ දැමීම

15. පිරිස් වන්දනා, පූජා, ධර්ම සජ්ක්ධායනාදි විවිධ පින්කම් වල යෙදවීම

මේ ආදී ධර්ම දානයට උපකාරී වන ලොකු කුඩා සියලු කටයුතු කිරීම ධර්ම දානමය කුසල් ලැබීමට හේතුවන බව සැලකිය යුතුයි. ධර්ම දේශනා කිරීමට භික්ෂූන් වහන්සේ නමක් වඩින විට තමන්ගේ අත්ලේන්සුව හෝ තුවාය හෝ පාවාඩයක් හැටියට එලා සමහර ශ්රද්ධාවන්ත උපාසක උපාසිකාවෝ ධර්ම දානමය කුසල් සිදු කර ගනිති. ධර්ම දේශකයන් වහන්සේ දැක නැගිටීම ද වැඳීම ද සාදුකාර දීම ද කුසල් බව සිතට ගත යුතුය. සද්ධර්මාලංකාරයෙහි මෛත්‍රී බුදුන් දකින්නන් දැක්වෙන තැන මෙසේ සඳහන්වේ. ‘බණ කියන ගෙයි පහන් දැල්වූවෝ දකිනි’.

‘බණ කියන්නන් ආචාර උපචාරයෙන් වඩා ගෙනවුත් සකස් කොට බණ පැවැත්වූවෝ දකිති. විජිනිපත් දුන්නෝ ද දකිති. බණ පොත ලියවූවෝ දකිති. තමන් ලියවූ පොත අකුරු ගණනින් චක්‍රවර්තී සම්පත් ආදි වූ සැපත් ලදින් සුවපත් වූවෝ මෛත්‍රී බුදුන් දකින්නාහුමය. තවද ආමිස ධර්ම දානාදියෙන් සංඝයා වහන්සේට සත්කාර කළාහු දකිත්මය.

පින්වත් යහලුවනේ ධර්ම දානය අට මහ කුසල්වලට අයිතියි. අට මහ කුසල් කියන්නෙ දැනට කරන්න පුලුවන් බලගතුම පින්කම් අටක්. මෙන්න ඒ අට.

1. කඨින සිවුරක් පූජා කිරීම

2. අටපිරිකර පූජාකිරීම

3. ආවාස ගෙයක් තනවා සඟසතුකර පූජා කිරීම

4. බුදුපාමොක් මහ සඟනට සඟ සතු කර දන්දීම.

5. බුද්ධ ධර්ම දානය සිදුකිරීම.

6. සඟ සතු කර හෝ බුද්ධ පූජා වශයෙන් කෙත් වතු පිදීම

7. බුදු පිළිම සෑදවීම, චෛත්ය විහාරගෙවල් මුලසුන් ආදිය සෑදවීම

8. වැසිකිළි තනවා සඟසතු කර පිදීම.

යන මේ පිංකම් අට අටමහා කුසල් නම් වේ. මේ පින්කම් වල ආනිසංස කියල නිම කරන්න බැහැ. කල්ප කෝටි ගණන් විපාක දෙන පින්කම් මේව. ඒ විතරක් නෙවෙයි. පංච ආනන්තරයි පාපකර්ම හැර ( මව මැරීම, පියා මැරීම, රහතුන් මැරිම, බුදුන්ගේ ඇගේ ලේ සෙලවීම, සංඝභේදය) අනිත් සියලු පව් යටපත් කරන්න තරම් මේ පින්කම් බලවත්.

කෙටියෙන් ගත්කල.
ධර්ම දානයේ අනුහසින්.
කල්පයක් මුළුල්ලේ වසින වැස්සේ වැහි බිංදු ගණන කීමට තරම් තියුණු නුවණ ලැබීම හා නිවන් සුව විද ගැනීමේ වාසනාව ලැබේ.

සියලූම යහපත වේවා.
නිවන් මඟ පිණිසම වේවා.
සුඛී හෝතූ...


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X