වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පින සහ නිවන

රූපී බ්‍රහ්ම ලෝක කරා එළඹෙන මාර්ගය මතු නොව, අරූපී බ්‍රහ්ම ලෝක වෙත යන ධ්‍යාන සමාපත්ති මාර්ගයද බෝසතුන් මෙලොවට පැමිණෙන විට ද පැවැතිණි. කිසිවකුගේ මඟ පෙන්වීමකින් තොරවම බෝසතුන් කුඩා අවදියේ වප් මඟුල් බිමේදී ප්‍රථම ධ්‍යානයට සමවැදී කල් ගෙවූ පුවත බුදුහු මැඳුම් සඟියේ “මහා සච්චක” සූත්‍රයේදි වදාරති.
ලාභ උපදවන මඟ එකෙකි. නිවන් මඟ අනෙකකි. මෙය වූ කලී බුදුරදුන්ගේ ප්‍රකට දේශනාවකි. එය “අඤ්ඤා හි ලාභුපනිසා –අඤ්ඤා නිබ්බාණගාමිනී” යනුවෙන් දක්වා ඇත. මේ අතුරෙන් පළමු මඟ පුණ්‍ය මාර්ගයයි. දෙවැන්න එනම් නිවන් මඟ යනු කුසල මාර්ගයයි. බෝධිසත්වයන් වහන්සේ මෙලොව බිහිවීමට පෙර තුසිත දෙව්ලොවෙහි වැඩ සිටියහ.එහි දෙවියන් සිටින බව ප්‍රකට කරුණකි. අසිත තවුසා බෝසත් උපත දැන ගත්තේ දෙව් ලොවදී දෙවියන්ගෙනි. බෝසත් උපත සිදු වූයේ රජ පවුලකය. ඒ වන විට මිනිස් ලොව රජවරුන්, ත්‍රිවේද පාරප්‍රාප්ත බමුණන්, සිටුවරුන්, ගෘහපතියන් ඇතුළු මිනිසුන් සිටි බව පැහැදිලිය. අභිනිෂ්ක්‍රමණයේදී බෝ සතුන්ට තවුස් පිරිකර පිරිනැමුයේ, “සහම්පති” මහා බ්‍රහ්මයාය. මෙකී කරුණු අනුව බුදුවරයෙකුගේ සම්ප්‍රාප්තියක් නැතත්, බුද්ධ ශාසනයකින් තොරවත්, මිනිසුන්, දෙවියන්, බඹුන් ලෝ තලයන්හි ජීවත්ව සිටි බවත්, මිනිස් ලොවම දිව්‍ය ලෝකවලට ,බ්‍රහ්ම තලවලට යන්නට මඟ සැලසී තිබුණු බවත් පැහැදිලිය. ඒ එසේ නම් බුදුවරයකු ලොව පහළ වනුයේ සත්වයන් එකී ලෝකවලට යවන්නට විය නො හැකිය.
රූපී බ්‍රහ්ම ලෝක කරා එළඹෙන මාර්ගය මතු නොව, අරූපී බ්‍රහ්ම ලෝක වෙත යන ධ්‍යාන සමාපත්ති මාර්ගයද බෝසතුන් මෙලොවට පැමිණෙන විට ද පැවැතිණි. කිසිවකුගේ මඟ පෙන්වීමකින් තොරවම බෝසතුන් කුඩා අවදියේ වප් මඟුල් බිමේදී ප්‍රථම ධ්‍යානයට සමවැදී කල් ගෙවූ පුවත බුදුහු මැඳුම් සඟියේ “මහා සච්චක” සූත්‍රයේදි වදාරති. පසු කලෙක ‘ආලාර කාලාම” ‘උද්දකරාමපුත්‍ර’ ආදීන් වෙතින් අට වැනි සමාපත්තිය දක්වා බෝසතුන් තම සිත දියුණු කර ගත් බව ප්‍රකටය. මේ ධ්‍යානවලින් සෑහීමකට පත් නොවු බෝසත්තුමා ඒ හැම අතැහැර “කිං කුසලගවේසී” (කුසල් කවරේ දැයි විමසමින්, පිටත්ව ගියේ මේ වන විටද බුද්ධ ශාසනය පහළ වී නැති බව අප මතක තබා ගත යුතුය. මා මෙයින් කීමට උත්සාහ කරන්නේ, ඉහත සඳහන් තත්ත්වයන්ට පත්වීමට බුදුවරයකු හෝ බුදුසමයක අවශ්‍යතාවයක් නොවන බව කීමටයි.

නිවන් මඟ පැහැදිලි කිරීම

බුදුවරයකුගේ පහළ වීම සිදුවනුයේ නිවන් මඟ පැහැදිලි කිරීම උදෙසාමය. බුදුන් වහන්සේගේ පින් කිරීමට උපදෙස් දීම වූ කලී අතිරේක කටයුත්තකි. එය වනාහී දස අකුසල් රැස් කරමින් සතර අපාය පුරවන ජනතාවට සැප විඳින මඟ කියා දෙමින් ඔවුන් පිනට යොමු කර වීමෙකි. ආර්යභාවයට පත් නොවූ අය කුමන ලොවක සිටියත් ආයු කෙළවර නැවත අපායන් කරා එන බව, “අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ” පුග්ග ල” සූත්‍රයේ දැක්වේ.
පින් රැස් කිරීම වනාහී ‘පුඤ්ඤාභිසංඛාර’නමින් හැඳින්වේ.මෙයින් සුගතිගාමී විය හැකිය. ඒ සුගතිය නම් කුමක්ද? මිනිස්ලොව දිව්‍ය ලෝක සය හා රූපී බඹතල දහසය යන මේවාය. පින් රැස් කොට යා හැකි මෙයින් අන්‍ය වූ සුගතියක් නැත.”අපුඤ්ඤාභි සංඛාර” යනු පව් රැස් කිරීමයි. මෙය සතර අපායට යන මඟයි. “ආනෙඤ්ජ “යනු කම්පා නොවන, නො සෙල්වෙන යන අර්ථ ඇති පදයකි. “ආනෙඤජාභිසංඛාර” රැස් කිරිමෙන් අරූපී සිව් බඹතල වෙත යා හැකිය. මෙකී සංඛාර’ වර්ග තුනෙන් ‘අපුඤ්ඤාභිසංඛාර’ හැර ඉතිරි දෙකම පින් රැස් කිරීම්ය. පින් රැස්කොට එයින් නිවන් ලද හැකි බවක් මෙයින් කියැවේද? කොහෙත්ම නැත. මේ “සංඛාරයන්” උපදිනුයේ කොතැනින්ද? කුමන හේතුවකින්ද? “අවිජ්ජා පච්චයා සංඛාරා” අවිජ්ජාව නිසා සංඛාර හට ගනී.ඒ එසේ නම් “අවිද්‍යාවෙන් නිවන උපදී “දැයි සිතා බැලීම වටී.නිවන් මග යන බෞද්ධයකුට මේ ටික සිතා ගත නොහැකි නම්, එය මහා ම කරුමයකි. ඊට වඩා ඒ ගැන කියන්නට දෙයක් නැත.
ඉහත සඳහන් කරුණු විශ්වාසයට ගැනීමට තරම් ප්‍රමාණවත් නො වන්නේ යැයි සිතන කෙනෙකුට අංගුත්තර නිකායේ “දුතිය කම්ම” සූත්‍රය විමසා බැලීම වටී. එහි මෙසේ දැක්වේ. “තිදොරින් පව් රැස් කරන්නෝ ඊට ගැළපෙන තැන්හි උපදිත්, එහි ඒකාන්ත දුක් විඳිති. තිදොරින් පින් රැස් කරන්නෝ සුගතියෙහි උපදිත්, එහි ඒකාන්ත සැප විඳිත්. තිදොරින් පව් පින් දෙකම රැස් කරන්නෝ ඊට ගැළපෙන තන්හි උපදිත්. පව් පින්වලින් තොර, ක්‍රියාවන් කර්මය ක්ෂය කිරීම පිණිස පවතී. “කම්මක්ඛයො නිබ්බාණ” කර්මය ක්ෂය කිරීම වනාහි “නිවන”යි.
අවසාන වශයෙන් ඔබේ විශේෂ අවධානය යොමු කරවිය යුතු සූත්‍ර ධර්මයක් “සංයුක්ත නිකායේ” එයි. එය “පරිවීමංසක” සූත්‍රයයි. පහත දැක්වෙන බුදුරදුන්ගේ ශ්‍රී මුඛ පාඨය ඔබට නො තෙරේ නම් පාලි ශබ්දකෝෂවල පිහිට ලබාගන්න. නැතිනම් පාලිය මැනවින් දන්නා අයකුගේ සහාය ලබා ගන්න. සූත්‍ර පාඨය මෙසේය.
“අවිජ්ජාගතොයං භික්ඛවෙ පුරිසපුග්ගලො පුඤ්ඤං චෙ සංඛාරං අභිසංඛරොති, පුඤ්ඤොප ගං හොති විඤ්ඤාණං, අපුඤ්ඤං චෙසංඛාරං අභිසංඛරොති, ආනෙඤ්ජොපගං හොති විඤ්ඤාණං, ආනෙඤජං චෙසංකාරං අභිසංඛරොති , ආනෙඤ්ජොපගං හොති විඤ්ඤාණං”

අවිද්‍යාව දුරු කිරීම

“මහණෙනි” අවිද්‍යාවෙන් යුතු මිනිසා ඉඳින් (යම් විදියකින්) පින් රැස් කෙරේද? ඔහුගේ විඤ්ඤාණය (සිත ඒ අනුව යයි. ඉඳින් ඔහු පව් රැස් කෙරේද? ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි. ඉඳින් ඔහු අරූපාවචර පින් රැස් කෙරේද? ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි”
“යාතොච ඛො භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජා පහීණා හොති, විජ්ජා උප්පන්නා, සො අවිජ්ජා විරාගා, විජ්ජුප්පාදා නෙව පුඤ්ඤාභි සංඛාරං අභිසංඛරොති, න අපුඤ්ඤාභිසංඛාරං අභිසංඛරොති, න ආනෙඤ්ජාභිසංඛාරං අභිසංඛරොති”
“මහණෙනි, යම් අවස්ථාවක පටන් භික්ෂුවකගේ අවිද්‍යාව ප්‍රහීණ වීද? විද්‍යාව ඉපදුනේද? එවක් පටන් ඔහු අවිද්‍යාව දුරු කිරීමෙන් විද්‍යාව උපදවා ගැනීමෙන් පින් රැස් නො කරයි. පව්ද රැස් නොකරයි. අරූපාවචර පින්ද රැස් නොකරයි”
මෙතැන් පටන් මේ සූත්‍රයේ භික්ෂුවක් නිවන දක්වා ගමන් කරන ගමන් මඟ බුදුරජාණන් වහන්සේ ඉතා කදිමට විවරණය කෙරෙති. නිවන් පසක් කිරීමට උත්සාහ දරන පිරිස් අතරේ භික්ෂුවට විශේෂ තැනක් හිමිවේ. ගිහියකු පැවිද්ද ලබන්නේම “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡිකරණත්ථාය පබ්බජ්ජං දෙථ මෙ භන්තෙ” කියාය. කුඩා කල මෙහි අර්ථ නො වැටහුනත්, පසු කලෙක හෝ භික්ෂුවකට මෙය තේරුම් යා යුතුය. පැවිද්දේ අර්ථය පැහැදිලි වන කරුණක් “සංයුත්ත නිකායේ “බ්‍රාහ්මණ සංයුත්ත”යේ එයි. එහි දී එක් දෙවියෙක් භික්ෂුව යනු කවරෙක් දැයි බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරයි. ඊට පිළිතුරු සපයන බුදුහු මෙසේ වදාරති.
“යො’ධ පුඤ්ඤංච පාපංච – බාහිත්වා බ්‍රහ්මචරියවා 
සංඛාය ලොකෙ චරති – ස වෙ භික්ඛූති වුච්චති”
”මේ ශාසනයෙහි යමෙක් පිනද පවද බැහැර කොට, බ්‍රහ්මචාරි ව වෙසෙමින්, නුවණින් විමසා බලා ලොව හැසිරේ නම් ඒකාන්තයෙන් ඔහුට භික්ෂුව යැයි කියනු ලැබේ”.
“පුඤ්ඤ පාප පහීණස්ස –නත්ථි ජාගරතො භයං” පින් පව් දෙකම දුරු කොට, නිදි වරා කෙලෙස් දුරු කරන්නාට සසර බිය නැතැ”යි පැහැදිලි කරනුයේද “නිවන් මඟ“යි ලෝභ, දෝස, මෝහ අකුසල මුල් බව දනිමු. අලෝභ,අදෝස, අමෝහ, අකුසලයන්ට ප්‍රතිපක්ෂය. එනම් ඒවා කුසල පක්ෂයේය. යමකු අකුසල් දුරුවන ලෙසින් , කුසල්, වැඩෙන අයුරින් තම සිතින් – කයින්, වචනයෙන් සිදු කරන සෑම ක්‍රියාවක්ම ඉටු කිරීමට වග බලා ගන්නේ නම් කුසල් මඟ“ යනු එයයි. “නිවන් මඟ” එයින්ම හෙළි වේ.

පින් ලැබෙන බෝධි පූජා තබමු මෙසේ...

හොරණ රාජකීය ජාතික පාසලේ ආචාර්ය ශාස්‌ත්‍රපති 
පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

උඳුවප් පොහොය සිරිලක වාසී අපට ඉතා වැදගත් වන්නේ බෝධි ආගමනය නිසාය. අනුරාධපුර යුගයේ දෙවනපෑතිස්‌ රජ දවස සිදුවූ මහින්දාගමනයෙන් අනතුරුව බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවිය. අනුලා නම් රාජ මහේෂිකාවගේ සසුන්ගත වීමේ අභිලාෂය නිසා ඊට සුදුසු ලෙස මිහිඳු තෙරුන්ගේ නැගණිය වූ සංඝමිත්තා තෙරණිය වැඩමවා ගැනීමට ඉන්දියාවේ ධර්මාශෝක රජු වෙත පණිවිඩ යෑවුණි. අරිට්‌ඨ කුමරුන් ඇතුළු දූත පිරිස එම කාර්ය ඉටුකළහ. ඒ සමගම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවද ලක්‌දිවට වැඩම කරවන ලදී. අනතුරුව බෝධීන් වහන්සේ මුල්කොට නව සංස්‌කෘතික ලක්‍ෂණ රාශියක්‌ද මෙරට ඇතිවිය. 

බෝධි වන්දනයට දිගු ඉතිහාසයක්‌ ඇත. බුද්ධ කාලයට පෙර සිටම වෘක්‍ෂ වන්දනාව පැවතිණි. විවිධ අරමුණු බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා වෘක්‍ෂයන්ට වන්දනාමාන සිදුවිය. ඉන්දියාව පමණක්‌ නොව මිසරය, බැබිලෝනියාව (ඉරාකය), මෙසපොතේනියානු ශිෂ්ටාචාරය (ඉරානය), ආසියාතික රටවලද වෘක්‍ෂ වන්දනාව පැවතිණි. බෝධි සත්ත්වයන් වහන්සේ බුද්ධත්වය සඳහා යන ගමනේදීද, සුජාතාව කිරිපිඬු පූජා පවත්වන්නේද වෘක්‍ෂ වන්දනාවට ගිය ගමනකදීය. වෘක්‍ෂයන්ට අධිගෘහිත දෙවි දේවතාවුන් ඇතැයි යන විශ්වාසයෙන් මෙම පූජා පවත්වා ඇත. ඇසතු, නුග, ඇටඹ, නා ආදී වෘක්‍ෂ වන්දනාවට පාත්‍ර වී ඇත. 

බෝධි සත්ත්වයන් වහන්සේ ඇසතු බෝධි මූලයේ දී සියලු කෙළෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ. බුදු බව ලැබ දෙවන සතියේ දී තමන්ගේ බුද්ධත්වය සඳහා සෙවණ ලබාදී උපකාර කළ බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පුද පූජා පැවැත්වූහ. කළගුණ සැලකීම මෙන්ම බෝධි වන්දනාවට මුල් අඩිතාලම වැටෙන්නේද මෙයිනි. පසුව සැවැත්නුවර ආනන්ද බෝධිය රෝපණය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධීන් වහන්සේට පූජා පැවැත්වීම ආරම්භ විය. එය බුද්ධ නියමයෙන් සිදු වූවක්‌ බැවින් බුදුරජාණන් වහන්සේට කරන පූජාව බෝධීන් වහන්සේට සිදු කිරීමේ වරදක්‌ නැති බව පෙනේ. 

අප බුද්ධ පූජා තබන චෛත්‍ය තුනකි. ශාරීරික, පාරිභෝගික, උද්දේසික වශයෙනි. මෙයින් පාරිභෝගික චෛත්‍ය ගණයට බෝධීන් වහන්සේ අයත් වේ. එනිසා බෝධි පූජාව බුද්ධ පූජාවක්‌ම විය යුතුය.

සංඝමිත්තා ආගමනයෙන් අනතුරුව ලක්‌දිව ඒ වන විට පැවති වෘක්‍ෂ වන්දනා වෙනුවට බෝධි වන්දනය ස්‌ථාපිත විය. දෙවන පෑතිස්‌ රජු පළමු බෝධි පූජාව තබා ඇත්තේ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව පිළිගැනීමට මහා පෙරහැරක්‌ද සංවිධානය කරමිනි. රාජකීයන් මෙන්ම සෙසු ජනතාවද ශ්‍රද්ධා ගෞරවයෙන් එකල බෝධි පූජා පවත්වා ඇත. මහාවංශයට අනුව "සිනාත පූජාව" නමින් බොහෝ රජවරු බෝධි පූජා පවත්වා ඇත. එමෙන්ම බෞද්ධ ජීවිතය හා බැඳි බෝධි පූජාව මහා පරිමාණ වශයෙන් මෙන්ම කුඩා කණ්‌ඩායම් වශයෙන්ද විහාරස්‌ථාන කේන්ද්‍ර කොටගෙනද බෝධි පූජා පින්කම වර්ධනය විය. මේ සඳහා මල්, ගිලන්පස, චතුමධුර, පහන් ආදී පූජා මෙන්ම ධජ, පතාක පූජාද, ශබ්ද, නෘත්‍ය පූජාද කාලීන වශයෙන් වර්ධනය වන්නට විය. නූතනය වන විට ඉතා ජනප්‍රිය අංගයක්‌ ලෙස බෝධි පූජාව සඳහන් කළ හැකිය. "බෝධි" යන වචනය රජවරුන්ගේ පටන් නම්වලට එකතු වීමෙන්, ග්‍රාම නාම බිහිවීමෙන්ද අපගේ සංස්‌කෘතියට බද්ධ වී ඇති අයුරු ප්‍රකටව පෙනේ.

බෝධි පූජා තැබීමේ සැබෑ අරුත බෝධි වන්දනා ගාථාවෙන්ම පෙනේ. 

යස්‌සමූලේ නිසින්නෝව 

සබ්බාරි විජයං අකා

පත්තෝ සබ්බඤ්ªතං සත්ථා

වන්දේ තං බෝධි පාද පං. 

(මහා බෝධිවංසය) 

"බුදුරජාණන් වහන්සේ යම් මූලයක හිඳ සියලු කෙලෙස්‌ සතුරන් ජයගත්තේද, උතුම් බුද්ධත්වයට පත්වූයේද ඒ බෝධීන් වහන්සේ වඳිමි" මෙයින් අප බෝධි වන්දනාව සිදු කරන්නේ බුද්ධත්වය සඳහා උපකාර වූ බැවිනි.

තවද 

ඉමේ ඒතේ මහා බෝධී 

ලෝක නාථේන පූජිතා

අහං පිතේ නමස්‌සාමී... 

බෝධි රාජා නමත්ථුතේ

"ඒ මහා බෝධිය ලෝක නාථයාණන් වහන්සේ විසින් පූජා කරන ලදී. මමද ඒ බෝධිය වන්දනා කරමි. බෝධිරාජයාණන් වහන්සේට නමස්‌කාර වේවා" යන ගාථාවෙන්ද ප්‍රකට වන්නේ බුදුරදුන් පූජා පැවැත්වූ බැවින් මමද එම බෝධිය වඳින බවයි.

බෝධි වන්දනය වෘක්‍ෂ වන්දනයක්‌ පමණක්‌ම නොවේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ වස්‌තුවකි. එබැවින් බෝධි වන්දනය කළ යුත්තේ පාරිභෝගික චෛත්‍ය වන්දනාවක්‌ ලෙස සළකා බුද්ධ පූජාව තැබීමක්‌ ලෙසිනි. බෝධීන් වහන්සේ බුදුවරයන් ඇති කල්හිත්, පිරිනිවි කල්හිත් වන්දනීය චෛත්‍යයක්‌ වන බව බුදු හිමියෝ ආනන්ද තෙරුන්ට දේශනා කළහ. ඒ අනුව අටවිසි බුදුරජාණන් වහන්සේලා විසින් පරිභෝග කරන ලද විවිධ බෝධි වෘක්‍ෂ පිළිබඳ සඳහන් වේ. ඊට අමතරව බුදුවරු පහළ වන "බෝධි මණ්‌ඩල" නම් ස්‌ථානයක්‌ දඹදිව මධ්‍ය දේශයේ නේරඤ්ජා ගඟට නුදුරේ පවතින බවත් එය විශේෂ ස්‌ථානයක්‌ බව කාලිංග බෝධි ජාතකයේ විස්‌තර වේ. තවද බෝධි සත්ත්වයන් උපත ලබන දිනයේම උපත ලබන බෝධීන් වහන්සේද විශේෂ වෘක්‍ෂයක්‌ බවට පත්වේ.

ලාංකේය ජනතාව අද වන විට ඉතා සමීපව ඇසුරු කරන බෝධි චෛත්‍ය සේම වන්දනා මාන පූජා පවත්වමින් විවිධ ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට උනන්දු වේ. එමෙන්ම කෙනකුට පැමිණෙන අපල ග්‍රහදොස්‌ දුරුකර ගැනීම සඳහා ද මේ සඳහා යොමු වේ. එහි වරදක්‌ නැත. වරද ඇත්තේ බෝධි පූජාව තබන ක්‍රමවේදයේය. එබැවින් මෙම කරුණු ඔබට ඉතා වැදගත් වනු ඇත.

යම් ප්‍රාර්ථනාවක්‌ ඉටුකර ගැනීම සඳහා බෝධි පූජා තබනවා නම් හෝ පින් සිදු කර ගැනීම සඳහා වන්දනාමාන කරනවා නම් හෝ තබන පූජාව නිසි පරිදි තැබීම වඩාම හොඳය. ඔබ මේ සඳහා නිවසේ සිටම මනාව සූදානම් විය යුතුය. ගිලන්පස සාදා ගැනීමේ දී, මල් නෙලා ගැනීමේ සිටම ඉතා ශ්‍රද්ධාවෙන් කළ යුතුය. පිරිසිදුව කළ යුතුය. සුදුවතින් සැරසී විහාරස්‌ථානයට පිවිස ජීවමාන බුදුරදුන් වන්දනාමාන කරන පූජා පවත්වන දෑ ඇති කර ගැනීම හොඳය. තථාගතයන් වහන්සේට උපස්‌ථාන කරන අදහසින් ගෞරවයෙන් බෝමළුව, විහාර මන්දිරය පිරිසිදු කරන්න. මල් ආසන පිරිසිදු කර පිරිසිදු පැන් බඳුනක්‌ මුලින්ම පූජා කිරීම හොඳයි. අනතුරුව මල්, ගිලන්පස ආදී පූජා තබන ද්‍රව්‍ය පිරිසිදුව ශ්‍රද්ධාවෙන් යුතුව ගෞරව බහුමානයෙන් සකසා ගන්න. විහාර මන්දිරයට පළමුව ගිලන්පස පූජා කරන්න. චෛත්‍ය ස්‌ථානයක්‌ ඇත්නම් ඊටද පූජා පවත්වා බෝධීන් වහන්සේ ළඟ පූජා ද්‍රව්‍ය තබා පහන්, සුවඳ දුම් ආදිය පූජා කරන්න. බෝධීන් වහන්සේ නෑවීම පූජාවට පෙර සිදු කිරීම වඩා හොඳය. ඉතිපිසෝ... ගාථාව කියමින්, සිහි කරමින් මෙම පූජා තැන්පත් කරන්න. තම දකුණු අත බෝධීන් වහන්සේ දෙසට සිටින සේ පැදකුණු කළ යුතුය. වටා ගමන් කළ යුතුය. සියලු පූජා තබා ස්‌වාමීන් වහන්සේ කෙනකු ලවා හෝ තමාම වන්දනා කළ යුත්තේ අනතුරුවය. තෙරුවන් වන්දනාකොට බුද්ධ පූජාව පවත්වා බෝධි වන්දනා ගාථා කියා බෝධීන් වහන්සේට පූජා පවත්වා කරණීය මෙත්ත සූත්‍රය සඡ්Cධායනා කරන්න. තුන් සූත්‍රය කියවීමද ඉතා ගුණදායකයි. අනතුරුව මෛත්‍රී භාවනාව කරන්න. ඉන්පසු දෙවියන්ට පින්දී. මියගිය ඥතීන්ට පින් දෙන්න. තමාගේ දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම පවුලේ සියලු දෙනාම සිහිකර පින් දෙන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. සැමගේ දියුණුව, සමගිය නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. 

විශේෂයෙන් ඔබ බෝධි පූජා තබන විට පවුලේ සියලු දෙනාම සහභාගි වීම ඉතාම වැඩදායකයි. දරුවන් සමග එකතුව මෙවැනි දේ කිරීමෙන් ඔවුන්ට ආශිර්වාදයක්‌ මෙන්ම ඉදිරි අනාගත පැවැත්මට ඔබ කරන්නේ මහඟු සේවයකි. "යහපතෙහි පිහිටුවීම" යන මාපිය යුතුකම ඉටු වන්නේ එවිටය. එනිසා දරුවන්ට මේවා මනාව කියාදී දැනුවත් භාවය ඇතිකර ශ්‍රද්ධාවන්තයකු බවට පත්කරවීමද මහඟු පිනකි. 

දැන් ඔබ බෝධි පූජා පවත්වා අවසන් වී නැගිට යැම සුදුසු නොවේ. ඔබේ අවශ්‍යතාව වෙනුවෙන් මල් ආසනවල තැන්පත් කළ සියලු දෑ ඉවත් කරන්න. ගිලන්පස මෙන්ම මල්ද ඉවත් කරන්න. ඒවා ආසනවල තබා යැමෙන් මල් පරවී සුවඳ වෙනුවට දුඟඳ හමනු ඇත. ඒවා ඉවත් කර මල් ඉවත් කරන බෝමලුවෙන් පිටත ස්‌ථානයකට දමන්න. නැවත පෙර තිබූ පරිදි ආසන ආදිය පිරිසිදු කරන්න. ඒ ඒ භාජන, මල් වට්‌ටි නියමිත ස්‌ථානයේ තැබීම කළ යුත්තකි. තමන් රැගෙන ආ හඳුන්කූරු පෙට්‌ටි, තෙල් බෝතල්, මල්, කවර ආදිය ආපසු රැගෙන යැම වඩා හොඳය. ඒවා විහාරස්‌ථානයේ දැමීමෙන් භූමිය අපවිත්‍ර වීමට හේතුවන බැවිනි. විහාරස්‌ථාන භූමිය පවිත්‍රව තබා ගැනීම අප සැමගේම වගකීමකි. එමෙන්ම විශේෂ ශ්‍රමදාන අවස්‌ථාවන්ට සම්බන්ධ වී විහාරස්‌ථාන භූමිය එළි පෙහෙළි කිරීමද පින් වැඩෙන හා අපල දුරු කරවන පිංකමකි.

මේ ආකාරයට ඉතා ශ්‍රද්ධා ගෞරවයෙන් බෝධි පූජා, බුද්ධ පූජා පවත්වා අපල කරදර ආදිය නැති වන්නට හෝ යහපත් පැතුමන් ඉටුවන්නට ඔබ කරන ප්‍රාර්ථනාව ඉතා ඉක්‌මනින් මුදුන්පත් වනවා ඇත. ඕනෑවට එපාවට කරන්නන් වාලේ නොකර අවබෝධයෙන් පින් කිරීමෙන් නිති යහපත උදාවනු ඇත. 

ඔබ බුද්ධ පූජා, බෝධි පූජා පවත්වන විට පින්කම් රැසක්‌ වෙන වෙනම සිදු කරන අතර ඒවාට විශේෂ වූ ආනිශංසද ලද හැකිය. 

බෝමළුව, විහාර මළුව ආදිය ඇමදීම වෙනම පිංකමකි. එයින් නිරෝගී බව, ලස්‌සන, කායික මානසික සුවය ලැබෙනවා පමණක්‌ නොව එවැනි පින්කම් කොට දෙව් මිනිස්‌ භව ලබාගත් අයද නිවන් අවබෝධ කරගත් අය බොහෝ සිටිති. මල්, ගිලන්පස, පහන් ආදී පූජා පැවැත්වීමෙන්ද වෙනම ආනිශංස ලද හැකිය. බුද්ධ වන්දනාව, බෝධි වන්දනය තුළ විශිෂ්ට ආනිශංස ලැබේ. භාවනාවෙන් සිත පවිත්‍ර වන අතර එය නිර්වාණාවබෝධය සඳහා මහත් උපකාරයක්‌ වන කුසලයකි. තවද විහාරස්‌ථානයේ භික්‍ෂුන් වහන්සේලා දැකීම, වන්දනා කිරීම තුළින් මහත් පිනක්‌ සිදුවන බවත්, එය බෞද්ධයකුගේ නොපිරිහීම පිණිස පවතින්නක්‌ බව බුදු පියාණෝ මහානාම ශාක්‍යයන්ට දේශනා කළහ. මේ අනුව දස පුණ්‍ය ක්‍රියා ගණයට අයත්වන දාන, ශීල, භාවනා, පත්තිදාන (පින්දීම), පත්නානුමෝදනා (පින් අනුමෝදන් වීම), වෙය්‍යාවච්ච (වතාවත් කිරීම), අපචායන (පිදිය යුත්තන් පිදීම), දේශනා (ධර්මය කියාදීම), සුති (දහම් ශ්‍රවණය), දිට්‌ඨිජු (යහපත් දැකීම) යන පින්කම් රැසක්‌ සිදු කරගත හැකි බැවින් මනා අවබෝධයෙන් හා පිළිවෙත් ගරුකව පූජා තබන්නට අදිටන් කර ගනිමු.

නිවන් දැකීමට කළ යුත්තේ පින්ද? කුසල්ද?

වැල්ලවායේ සුමනබොධි හිමි

'ඒතං සන්තං ඒතං පණීතං යදිදං සරීබ සංඛාර සමතෝ සබ්බූපධි පටිනිස්‌සග්ගෝ තණ්‌හක්‌ඛයෝ නිරෝධෝ නිරීබානං' යම් මේ සියලු සංස්‌කාර සමථයට පත්වුනාවූ සියලු උපධීන් බැහැර වුනාවූ තණ්‌හාව ක්‌ෂ්ය වුනා වූ නිරෝධය වූ නිවනක්‌ වෙයිද එය ශාන්තය එය ප්‍රනීතය.'

නිවන් දැකීම පිණිස පින් කළ යුතුද? කුසල් කළ යුතුද? යන මේ ගැටලුව නිවැරදි විසඳුමක්‌ ලැබීමකින් තොරව සමාජ කතාබහට ලක්‌වන්නකි. කෙනෙකු පින් කළහොත් සසරෙහි ඇවිදින්නට වන්නේය එබැවින් පින් නොකර කුසල් කල යුතුය යෑයි පවසයි. එසේ පවසන්නේ කවර පදනමක සිටදැයි ඔවුන්ගේ ස්‌ථාවරක්‌ නොපෙනේ. එබැවින් පින කුමක්‌ද? කුසලය කුමක්‌ද? ඒවා නිවනට කෙසේ බලපාන්නේ යෑයිද විමසා බලා තීරණයකට පැමිණිය යුතුය. එබැවින් ඒ සඳහා මෙසේ උත්සාහ දරමු. අපද නිවනට පත්නොවී ඇති බැවින් නුවණින් විමසා බලා පිළිගන්න.

පින නම් කවරේද? 'හදයං පුනාතීති පුඤ්ඤං ' - 'හදවත පවිත්‍ර කෙරෙයි යනුයෙන් පින නම් වේ.' යනු සන්නයයි. (පුන + ණා + ති ) බොහෝ විට දේශකයන් මෙන්ම අවිධිමත් පොත් ලියන්නන්ද 'හදයං පුනාතීති පුඤ්ඤං' යන්න 'හදවත පිනවයි' යන අර්ථයෙන් 'පින නම් වේ' යනුවෙන් වරදවා දක්‌වයි. ඉහත යෙදෙන 'පුන' ධාතුව පවිත්‍ර අර්ථයෙහි යෙදෙයි. පිනවීම අර්ථයෙහි යෙදෙන්නේ 'පීණ' ධාතුවයි. එය ව්‍යාකරණයේදී (පීණ + ණෙ + ති) යනුවෙන් සන්ධි වේ. එසේ අර්ථ දැක්‌වීම වරදවා ගැනීම නිසා සෙසු සියල්ල වරදවාගෙන ඇත. එබැවින්ම බුදු දහම දැනගැනීමට පාලි භාෂාව උගත යුතු බව ද පවසන්නෙමු.

එසේ පිනෙන් හදවත පිරිසිදු කරන්නේ කෙසේද? මෙසේ ගනිමු. පුණ්‍ය ක්‍රියා දසයෙකි. දාන, සීල, භාවනා, පින් දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම, වැඩිහිටියන් පිදීම, ධර්ම දේශනා කිරීම, ධර්ම ශ්‍රවනය කිරීම, සම්‍යයක්‌ දෘෂ්ටියට පැමිණීම ඒවා වේ. මේ දස පුණ්‍ය ක්‍රියා තුළ හැසිරෙන කල හදවත නොහොත් සිත කෙලෙසුන්ගෙන් පවිත්‍ර වේ. ඒ පුණ්‍ය ක්‍රියා කළ යුත්තේ කුසල් සිත්වලින් වීමයි. කුසල් සිත්වල යෙදෙන්නේ කුසල චෛතසිකයෝම බැවින් ඒ කුසල සිතින් කටයුතු කරන කල සිත අකුසලයන්ගෙන් පවිත්‍ර වී ඇත. එසේ අකුසල් සිත් හෝ චෛතසික නොමැතිවීම සිතෙහි පවිත්‍රභාවයයි. එසේ කෙලෙසුන්ගෙන් පවිත්‍ර වන කල ස්‌වභාවයෙන්ම සිත පිනා යයි. එය එකවරම සිදුවන ක්‍රියා දෙකකි. එනම් පහනක්‌ දල්වන කල ආලෝකය පැතිරීමත් අඳුර දුරුවීමත් එකවිට සිදුවන්නා සේ හදවත පිරිසිදු වන විටම පිනා යාමද සිදුවේ. 

නමුදු පිනායන සැමතැනම හදවත පිරිසිදු වන්නේ නැත. ලෝභ මූලික අකුසල සිතක්‌ ගත්කල එහි සොමනස්‌සය යෙදෙන අවස්‌ථා ඇත. එසේ සොමනස්‌සය යෙදෙනවිට සිත පිනා යයි. නමුදු එතැනදී සිත ලෝභයෙන් අපවිත්‍ර වී ඇත. එබැවින්ද පින යනු හදවත පිනවන්නක්‌ නොව පවිත්‍ර කරන්නකි. 

දැන් කුසලය යනු කුමක්‌දැයි විමසමු. 'කුච්äතේ පාපකේ ධම්මේ සලයන්ති චලයන්ති කම්පෙන්ති විධංසෙන්තීති කුසලා' ළාමක වූ පාප ධර්මයන් සොලවයි, චලනය කරයි, කම්පා කරයි, විනාශ කරයි යන අරුතින් කුසල නම් වේ. එනම් ලාමක වූ ලෝභාදී වූ අකුසලයෝ දුරුකරයි නම් ඒ කුසලයෝ වේ.

ඒ කුසලයෝ දසයකි. ප්‍රණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම, දැඩි ලෝභය දුරුකිරීම, ව්‍යාපාදය දුරුකිරීම, මිත්‍යාදෘෂ්ටියෙන් මිදීම යනු ඒවා වේ. මේ කුසලයන් තුල හැසිරෙන කල සිත අකුසලයන්ගෙන් මිදෙන බැවින් සිත පවිත්රර වේ. එබැවින් පින හා කුසලය ගත්කල දෙකෙහිම සමාන ක්‍රියාවන් දක්‌නට ඇත.

එසේම මේ කුසලයන් තුළ හැසිරිය යුත්තේද ඉහත දක්‌වන ලද කුසල සිත්වලින්ම වේ. එබැවින් පින් කිරීමද කුසල් කිරීමද යන දෙකම කළ යුත්තේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල් සිත් වලින්ම වේ. ඒ අනුව ගත්කල කුසලයන්ගේද පුණ්‍ය ක්‍රියාවන්ගේද ප්‍රභවය එකකි. එනම් අලෝභ අදෝස අමෝහ යන කුසල මූලයෝම වේ. මේ කුසල මූලයන්ගෙන් තොරව පින් හෝ කුසල් කළ නොහැක. එබැවින් යමෙකු පින් කමක්‌ කළේද කුසල ක්‍රියාවක්‌ කළේද ඔහුට ඇතිවන්නේ කුසල මූල ජවන් වීථිම වේ.

තවද කුසල කර්මයක්‌ ගත්කල ඒ හරහා පිංකමක්‌ සිදුවීම ඒකාන්තය. ඒ මෙසේයි. 

ඔබ ප්‍රාණඝාතයෙන් වලකිනවා යනු සීලමය පින්කමයි. සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකීම, බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන මේ සියලු කුසල්හි හැසිරීම යනු සීලමය පිංකම් සිදුකිරීමයි. දැඩි ලෝභය දුරුකිරීම් නම් වූ කුසලය තුළ හැසිරෙන්නේ නම් දානය නැමැති පිංකම සිදු කළා වේ. ව්‍යාපාදය දුරුකරන්නේ නම් මෛත්‍රී භාවනාව කළා වේ. මිත්‍යාදෘෂ්ටිය දුරුකරයි නම් සම්‍යක්‌ දෘෂ්ටියට පැමිණීම නම් වූ පිංකම සිදුකළා වේ. ඒ අනුව කුසල කර්මයක්‌ සිදුකිරීම යනු එකාන්තවම පින්කමක්‌ සිදුකළා යන්නයි. එබැවින් පිංකම යනු කුසලය තුළ අඩංගු වුවකි.

නමුදු පින් කමක්‌ ගත්කල එය කුසලයක්‌ වීමටද නොවීමටද හැක. ඒ පින්කම් සිදුකරන අදහස විවිධ වන බැවිනි. එනම් ඔබට භවභෝග සම්පත්ති පතා දන් දිය හැක. එවිට එය දානමය පුණ්‍ය කර්මයකි. නමුදු එය ලෝභය දුරුකිරීමක්‌ නොවන බැවින් කුසලයක්‌ නොවේ. සීලය රකියි නම් එය පින්කමක්‌ සේම කුසලයක්‌ද වේ. නමුදු දිව්‍ය මනුෂ්‍ය සම්පත්තීන් පතා සිල් රකියි නම් එය හීන වූ තෘෂ්ණාවෙන් කෙලෙසුනා වූ දුර්වල කුසලයකි. භාවනාවද එසේමය. එසේම සෙසු පින්දීම, පින් අනුමෝදන් වීම, වතාවත් කිරීම.... යනාදි වූ පින්කම් ද තෘෂ්ණා ආදියෙන් කෙලෙසී ඇතිනම් හා සම්‍යක්‌ දෘෂ්ටිය නොයෙදී ඇතිනම් ඒවා පින්කම් පමණක්‌ වේ. නමුදු දුර්වලව හෝ කුසලයක්‌ ඇත. එබැවින් පින්කමක්‌ සිදුකිරීම යනු පිරිසිදු කුසලයක්‌ වීමට හා නොවීමටද පුළුවන.

එබැවින් පිනට වඩා කුසලය ඉදිරියෙන් සිටි.

දැන් නිවන් පිණිස කළ යුත්තේ කුමක්‌දැයි සොයා බලමු.

'එකායනෝ අයං භික්‌ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවානං සමතික්‌කමාය දුක්‌ඛ දෝමනස්‌සානං අත්ථංගමාය ඤායස්‌ස අධිගමාය නිබ්බානස්‌ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්‌ඨානා' මහණෙනි යම් මේ සතර සතිපට්‌ඨානයක්‌ වෙයිද එය සත්වයින්ගේ විසුද්ධිය පිණිස සෝක පරිදේවයන්ගේ ඉක්‌මවීම පිණිස දුක්‌ඛ දෝමනස්‌සයන්ගේ අවසානය පිණිස ඤායයාගේ අධිගමය පිණිස නිවන සාක්‌ෂාත් කිරීම පිණිස එකම එක මාර්ගය වන්නේය.'

ඒ අනුව නිවන් සාක්‌ෂාත් කිරීම පිණිස කළ යුත්තේ සතිපට්‌ඨානය වැඩීමයි. සතිපට්‌ඨානය වැඩිම යනු කයෙහි කය අනුව බැලීමත්, වේදනාවෙහි වේදනාව අනුව බැලීමත්, සිතෙහි සිත අනුව බැලීමත්, චෛතසික ධර්මයන්හි චෛතසික ධර්ම අනුව බැලීමත් යන සතරයි. එසේ ඒ සතරක්‌ වූ සතිපට්‌ඨාන වැඩීමට නම් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි සෙසු අංග වඩා සිටිය යුතුය. එනම් සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම යන සෙසු අංග හය එකාන්තව වඩා සිටීම අනිවාර්ය වේ. නොමැතිව එකහෙලාම සතිපට්‌ඨානය වැඩිය නොහැකිය. සෙසු අංග තිබුනේද සතිපට්‌ඨානය අත්‍යවශ්‍ය අංගය වන බැවින්ම එයම ඒකායන මාර්ගය කොට දක්‌වයි.

මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීම ගත්කල ඒ තුල කුසල කර්මයෝ මෙන්ම පුණ්‍ය ක්‍රියාවෝද අඩංගු වන්නේමය. ඒ මෙසේයි. 

සම්මා දිට්‌ඨිය ගත්කල ඒ තුල මිත්‍ය දෘෂ්ටියෙන් මිදිම නම් වූ කුසලයද, සම්‍යක්‌ දෘෂ්ටියට පැමිණීම යන පුණ්‍ය ක්‍රියාවද අඩංගු වන්නේමය. එනම් මෙහි සම්මා දිට්‌ඨිය යනු චතු සච්ච සම්මා දිට්‌ඨියයි. ඒ තුළ කුසල නම් වුද පින් නම් වුද දසවස්‌තුක සම්මා දිට්‌ඨිය අඩංගු වන්නේමය. එබැවින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි වූ සම්මා දිට්‌ඨිය වඩන්නේ නම් ඒ හරහා කුසලයද පිනද සිදුවී හමාරය.

සම්මා සංකප්ප වැඩීමේදී නෙක්‌ඛම්ම සංකප්පය තුලින් ලෝභය දුරුකිරීමේ කුසලයද දානමය පිනද සිදුවේ. එසේම අව්‍යාපාද සංකප්පය තුලින් ව්‍යාපාදය දුරුකිරීමේ කුසලයද භාවනා පිනද සිදුවේ. අවිහිංසා සංකප්පය එයටම සහයෝග වේ. 

සම්මා වාචා තුලින් බොරු කීමෙන් වැලකීම, කේලාම් කීමෙන් වැලකීම, සිත් රිදවන වචනයෙන් වැලකීම, නිෂ්පල කතාවන්ගෙන් වැලකීම යන කුසලයෝ ද සීලමය පිනද සිදුවේ.

සම්මා කම්මන්ත තුලින් ප්‍රාණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැලකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම යන කුසලයෝද සීලමය පිනද සිදුවේ.

සම්මා ආජීව නම් වූ දැහැමි දිවි පැවැත්ම ඒ කුසලයන්ටද පින්වලටද සහයෝගය දක්‌වයි. එසේම කුසලක්‍රියා හා පුණ්‍ය කර්මයෝ නිසාද දිවිය ධර්මානුකූල වේ. සම්මා වායාම හරහා අකුසල් දුරුකිරීම හා නූපදවීම තුලින් කුසල කර්ම මෙන්ම පුණ්‍ය ක්‍රියා ද සිදුවේ. කුසල් ඉපිදවීම හා දියුණු කිරීම හරහාද එසේමය.

මේ අනුව ගත්කල පෙනෙන්නේ, පින යනු කුසලය තුළ අඩංගු වූවකි. කුසලය යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ අඩංගු වුවකි. එබැවින් නිවන් පසක්‌ කරනු කැමති තැනැත්තා කළ යුත්තේ පින්කම් කිරීමවත් කුසල් රැස්‌ කිරීමවත් නොව ඒ උතුම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඩීමය යන්නයි.

එබැවින් ඔබ දුක්‌ විඳින්නෙක්‌ නම් ඔබට දුකින් මිදීමට අවැසි නම් අන් කිසිවක්‌ නොකොට ආර්ය අෂ්ඨාංගික මාර්ගය වඩන්න. තෙරුවන් සරණයි...!
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X