වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මහත් ඵල මහත් ආනිසංස ආයෝජනය

අප කවුරැත් දන්නවා යම් දෙයක් ලබන්නට නම් අප යමක් ආයෝජනය කළ යුතුයි. අද අපට ලැබී ඇති සියළු දේ පෙර අප කළ ආයෝජනයන්ගේ ප්‍රතිඵලයි. සිතන්න ඔබට යම් සුළු කාලයකට හෝ මහා අනර්ඝ වස්තුව ඇති තැනකට යන්න ලැබුනාය කියා, එහි දී ඔබ කුමක් කරයිද...? වඩා වටිනාම සියළු වස්තුව මෙහි රැගෙන එන්නට ඔබ නිසැකවම කටයුතු කරනු ඇත. 
අද ඔබ ඉපදී සිටින මේ බුද්ධෝත්පාද කාලය ද වටිනාකම කියා නිම කල නොහැකි කාලයකි. මෙහි ඔබ සිටින්නේ ඉතා ටික කාලයකි. මිනිස් ලොව වසර හැටක් හැත්තෑවක් යනු දිව්‍ය වර්ෂ හා සැසදීමේ දී ඉතා අල්ප කාලයකි. ඔබට ලැබුන මේ අනර්ඝ අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගන්නට ඔබට හැකි වුවහොත්, එය ඔබ මතු භවය වෙනුවෙන් කරන අතිශ්‍යය වටිනාකමින් යුත් ආයෝජනයකි. ඒ සඳහා බහුල වශයෙන් කුසල් රැස් කරන්නට පින් රැස් කරන්නට වඩා පහසුම ක්‍රම කිහිපයකි.

1. අනිත්‍ය නිතර මෙනෙහි කරන්න. - එය කුසල් අතර අග්‍රතම කුසලයයි.
2. මෛත්‍රිය පුරැදු පුහුණු කරන්න. - එය පින් අතර අග්‍රතම පිනයි.
3. ලැබෙන සෑම අවස්ථාවකම දේවානුස්සතිය වඩන්න. - එය දිව්‍ය සම්පත් සඳහා මාර්ගයයි.
4. ලැබෙන සෑම අවස්ථාවකම විවිධ දේ දන් දෙන්න. - එය අනේක විධ දිව්‍ය සම්පත් සඳහා මාර්ගයයි.
5. ඔබ 100% හොඳ පුද්ගලයකු නොවේ. ඔබ 100% නරක පුද්ගලයකු ද නොවේ. නමුත් ඔබ ඔබේ හොඳ වැඩි කර ගැනීමටත් නරක අඩු කර ගැනීමටත් උත්සාහවත් වන්න.
6. මරණය ඔබට දුකක් නොව මරණය ඔබට සැපක් ලෙස සිතන්න.

මේ බුද්ධෝත්පාද කාලයේ රැස් කරන පිනත් කුසලයත් අති දීර්ඝ දිව්‍ය සම්පත් සඳහා පමණක් නොව මතු බුදුවරයන් වහන්සේලාගෙන් දහම් ඇසීමටත් පාරමී සම්පූර්ණ කර ගැනීමටත් සතර අපා විපතින් මිඳීමටත් මාර්ග ඵල අවබෝධයටත් නිසැකවම හේතු වේ. ඔබේ උත්සාහයට නිසැක සැප ඵල විපාක නියතයි.

බුද්ධෝත්පාද කාලයක කරන මහත් ඵල මහත් ආනිසංස ආයෝජනයේ අප්‍රමාණ වූ ලාභය ගැන ඔබට පහත උදාහරණයම සෑහේයැයි සිතමි.

බුදුවරැන් ලොව පහල නොවන අබුද්ධෝත්පාද කාලයක මිනිස් ලොව ඉපිද බුද්ධ ධර්මය නොදැන දහස් ගනන් ජනයාට දන් දී පින් රැස් කල එක් පින්වන්තයෙක් දිව්‍ය ලෝකයේ පහල වී ගෞතම බුදුන් වහන්සේ ලොව පහල ව එම දිව්‍ය ලෝකයට වැඩම කර දහම් දෙසීමට සූදානම් වන විට මෙම දෙවියාද පැමිණ බුදුන්වහන්සේ සමීපයේ ම හිද ධර්මය ශ්‍රවනයට සුදානම් වුවත් පසුව පැමිණි දෙවිවරැන්ගේ ආයු වර්ණ බල තේජසින් ඔහුට වඩා වැඩි වූයෙන් මේ දෙවියා ක්‍රමයෙන් ගව් ගනනාවක් පිටුපසට යන්නට සිදු විය. නමුත් පසුව පැමිණි දෙවිවරැන් මේ දෙවියා තරම් දන් දී නොතිබුණි. ඔවුන්ගෙන් සමහරක් දන් දී තිබුණේ මහ සඟරැවනට එක් බත් හැන්දක් පමණි. තවත් සමහරක් බුදුන්වහන්සේ සරණ ගිය සැදැහැවතුන්ය. තවත් සමහරක් පිරිසිදු සිතින් සිල් රැක්ක අයයි. එසේ ස්වල්පයක් දන් දීමෙන් සහ සැදැහැ සිතින් සිල් රැකීම මහත් ඵල මහත් ආනිසංස ගෙන දීමට හේතු වූයේ එම දන් පිළිගන්වන ලද්දේ සහ  සැදැහැ සිතින් සිල් රැකීම බුද්ධොත්පාද කාලයක සිදු වීමයි.
by Daham Vila

සඟ සතුකොට දන්දීම

මේ සම්බන්ධයෙන් ඇතැම් දෙනාගේ විවිධ දුරැමතයන් ඇත. විශේෂයෙන් සඟ සතුකොට දන්දීමට උපසම්පන්න සංඝයා වහන්සේලා සතර නමක් හෝ පස් නමක් අවශ්‍යය යන්න ඉන් ප්‍රධාන තැනක් ගනී. සැබැවින්ම එදා මහනවූ සාමණේර හිමි නමකට වුව සඟ සතුකොට දන්දීමට හැකිය. අවශ්‍ය වන්නේ දානය දෙන තැනැත්තාගේ සිත් හි පහලවන්නා වූ චේතනාවය. අතීතයේ පහල වී සිටියා වූත් වර්තමානයේ සිටින්නා වූත් අනාගතයේ පහලවන්නා වූත් සංඟයා වෙනුවෙන් දන් පිළිගැන්වීම සඟ සතුකොට දන්දීම වේ. එපමණක් නොව ඔබ පිළිගන්වන සියළු පූජාවන් අතීත වර්තමාන අනාගත සංඝයා අරමුණු කර (සඟ සතුකොට ) පිළිගැන්වීමෙන් මහත්ඵල මහත් ආනිසංස ගෙන දීමට හේතු වේ. ඔබ කිසියම් අවස්ථාවක සංඝයා වහන්සේ නමක් හෝ කිහිප නමක්, විහාරස්ථානයක්, ආරණ්‍යයක් හෝ වෙනත් එවන් කරැණක් අරමුණු කරගෙන දන්දීම සිදු කරයිද එය පෞද්ගලික දානයක් බවට පත් වේ. මේ නිසා සෑම විටම දන් පිළිගැන්වීමේ දී එවන් තේරීමක් සිද්ධ කර මා මේ දානය පූජා කරන්නේ අහවල් සංඝයා වහන්සේටය, මේ විහාරටය, මේ ආරණ්‍යයටය කියා සිත්හි අදහසක් ඇති නොකරගෙන, තුන්කල්හි සංඝයා වෙනුවෙන් ඒ දෙය පූජා කරන්න. එය මහත්ඵල මහත් ආනිසංස ගෙන දේ.

සඟ සතුකොට දන්දීම පිළිබඳව ඇති යම් යම් දුරැමත දුරැකොට ගෙන නිවැරදිව මහත්ඵල මහත් ආනිසංස ගෙන දෙන ආකාරයෙන් දන්දීමට සියල්ලෝටම හැකි වෙත්වා!
by Daham Vila

නිවැරැදිව අනුමෝදන් කළ යුතු පින


මිනිස්භවයක උපන් පමණිනුත් හැමෝටම පින් කරන්න බැහැ. ඒ සඳහා සසර පුරා පින්කරලා පුරුද්ද තියෙන්න ඕනෑ. ප්‍රේත, යක්‍ෂ, ලෝකවල ඉඳලා පෙර කළ පව්වලට විපාක විඳලා යාන්තමින් මිනිස් ලොවට ගොඩවුණු අයට මිනිස් සිරුරක් තිබුණට සංසාර පුරුදු අත් අරින්න බෑ

පැනය – පින යනු කුමක්ද?
පිළිතුර – පින පිළිබඳ නොයෙකුත් මත සමාජයේ පවතිනවා. පිනායාම හෙවත් තාවකාලික සතුට පින යැයි සමහරු සිතනවා. එසේනම් මත්වතුර බොන බේබද්දාත් පිනායන කෙනකු නිසා පින්වතකු විය යුතු යි.
සමහරු හිතන්නේ පින යනු උදේට දීලා හවසට යළි ගත හැකි දෙයක් කියලා කෙනෙකුට දුන් දෙයක් ගැන පසු තැවෙනවා නම් ලෝභ සිතින් එය ආපසු ඉල්ලනවා නම් අපිරිසුදු සිතිවිලි පහළවීමෙන් පිනක් සිදුවන්නේ නෑ.
බුදුදහම අනුව ‘පුඤ්ඤං භික්ඛවෙ සුඛස්සේතං අධිවචනං’ - පින යනු සැපයට කියන පර්යාය වදනක්. එසේත් නැත්නම් ‘සුඛෝ පුඤ්ඤස්ස වුච්ච කුමේ’ පින් කිරීම සැපයට හේතුවක්.
සුක්ක ධම්ම යන පිරිසුදු කර්ම නොහොත් පිනයි. තණ්හ කච්ච යනු පාප කර්මයයි. පින හරියට අප සමඟ එන සෙවණැල්ල වගෙයි. පාපය යනු ගොනු පසු පස එන කරත්ත රෝදය වගෙයි.
චිත්තං පුනාතිතී පුඤ්ඤං, යන තැන පුනාති කියන්නේ පෙළීම හෙවත් පිරිසුදු කිරීමයි. හරියට කුල්ලෙන් වී පොළනවා වගේ මිනිස් සිත තුළ කෙලෙස් මල ඉවත් කරලා හොඳ දේ පමණක් ඉතිරි කරන්නේ පිනයි.
සසල සිත තුළ කසළ මිස කුසල නැතැයි කියමනක් තියෙනවානෙ. රති, හාස, ක්‍රෝධ, භය, ජුගුප්සා යන කසළ උපදින විටම ගෙන එනවා. මේවා පොළා දමා පිරිසුදු විය යුතුයි. එවිට සිත තුළ ලෝභ, දෝෂ, මෝහ, දුරු වී අලෝභ, අදෝස, අමෝහ නැගිටිනවා. එසේ පිරිසුදු වීමයි පින කියන්නේ.
අපිරිසුදු සිත්වල පින පහළ වන්නේ නෑ. ඒ නිසා සිත, කය, වචන යන තුන් සිත පහදවාගෙන තමයි පින් කරන්න ඕනෑ. පූර්ව චේතනාව, මුඤ්ඤන චේතනාව හා අපර චේතනාව පිරිසුදු විය යුතුයි. පුනාති කියන්නේ සිත පින වීම නොව පිරිසුදු කිරීම බව දැන් පැහැදිලියි නේද?
පැනය – හැමෝටම පින්කම් කළ හැකි ද?
පිළිතුර – බැහැ. ඒ වාසනාව තිබෙන්නේ මිනිසාට පමණයි. යක්කුන්ට, ප්‍රේතයන්ට, භූතයන්ට පින්කම් කරන්න බැහැ. දෙවිවරු වුණත් ජීවත්වන්නේ අප කරන පින් අනුමෝදන් වීමෙන්. අප ඔවුන්ට පින් අනුමෝදන් කළ යුතුයි.
මිනිස්භවයක උපන් පමණිනුත් හැමෝටම පින් කරන්න බැහැ. ඒ සඳහා සසර පුරා පින්කරලා පුරුද්ද තියෙන්න ඕනෑ. ප්‍රේත, යක්‍ෂ, ලෝකවල ඉඳලා පෙර කළ පව්වලට විපාක විඳලා යාන්තමින් මිනිස් ලොවට ගොඩවුණු අයට මිනිස් සිරුරක් තිබුණට සංසාර පුරුදු අත් අරින්න බෑ. ඔවුන් තිරිසනුන් හා සමානයි. ඔවුන්ට ධර්මය, පන්සල, දානය, පිරිත, පූජාව, මහා සංඝරත්නය පෙන්නන්න බැහැ.
සමහරු ලෝකයාට පේන්න තම ධනය, බලය, මහන්තත්ත්වය පෙන්වන්න මහා පරිමාණයෙන් පින්කම් කළත් හද තුළ පිරිසුදු බව නැහැ.
මෙයින් පෙනෙන්නේ සිසිල් ජලය කෙතරම් උණුසුම් කළත් යළි සිසිල් වන සේම, කූඩැල්ලන් මෙට්ටය මත රැඳවිය නොහැකිසේම පවට පුරුදු වූ ඇත්තා පව තුළම ගැලෙන බවයි. එලෙසව පින් පුරුදු තැනැත්තා ද පින දියුණු කරනවා.
පැනය – පින්දුන්නාට මියගිය හැමෝටම ඒවා අනුමෝදන් විය හැකිද?
පිළිතුර – බැහැ. ඊට සුදුසු වාතාවරණයක ඔවුන් සිටිය යුතුයි. අටමහා නරකයේ වැටුණු අයට කොහොමටත් පින් අනුමෝදන් වන්නට බැහැ. ඒ තරම්ම දරුණු විපාක ලැබෙන ස්ථානයක් නිසයි.
අටමහා නරකය නම් සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරොෂ්ටය, තාපය, ප්‍රතාපය හා අවීචියයි. මෙහි වැටුණොත් දුක් විඳලාම තමයි ගොඩ එන්න පුළුවන්. ඉන් පසුව ඔන්න පින් අනුමෝදන් වෙන්න පුළුවන්.
හැබැයි ඒ වෙන විට ඥාතීන්ට ඒ අයට පින් දෙන්න මතකයක් නැහැ. ආයුෂ පරතරය නිසා මතකනේ බිම්බිසාර රජතුමාගේ සොළොස් මහා සිහින?
කල්පාන්තරයක් නිරාදුක් විඳලා පින් පතන නෑයන්ගේ විලාපය හා විලාසය දැන සිහිනෙන් බිය වූ එතුමා, බුදුරජාණන් වහන්සේ හමුවී හේතුව විමසුවා. පින් අනුමෝදන් කිරීමේ වැඩපිළිවෙළ ඇරඹුණේ එදා බිම්බිසාර රජු කළ පින්කමෙන් පසුවයි.
මියගිය අයට පින් දෙන්න ඕනෑ ගෙදර අයමයි. සමීප ඥාතීන්ටයි නැතිනම් බලවත් භූතාත්ම ගෙදර අයගෙන් පළිගන්නවා. බඩු මුට්ටු කුඩු පට්ටම් කරනවා. සිරුරු තුළට ඇතුළු වී කරදර කරනවා. එසේ කිරීමට ඝන සිරුරු මවා ගැනීමට භූතයන්ට පුළුවන්.
එසේ බලවත් නොවූ අයගේ සිරුරු ඉතා සියුම්. ඒ අයට කිසිවක් අල්ලන්න බැහැ. අහුවන්නේ නෑ. ඒ නිසා හූල්ල හූල්ලා ගෙදරට ශාප කරනවා. එතකොට ගෙදර සාමාජිකයන් අතර ප්‍රශ්න ඇතිවෙනවා. සමගිය බිඳෙනවා. ඒ නිසා කවුරු පින් ගත්තත් නැතත් අවශ්‍ය වේලාවට පින් කරලා අනුමෝදන් කළ යුතුයි.
පැනය - ප්‍රේත ලෝකවල අයටත් පින් අනුමෝදන් වීමට නොහැකිද?
පිළිතුර – භයානක ප්‍රේත ලෝක හතරක් ගැන බණ පොතේ දක්වනවා. නිජ්ඣාමතන්හික, කුප්පිපාසක, පරදත්තුපජීවී, පංශුපිසාච යන ප්‍රේත ලෝකවල උපදින ආත්මවලින් පින් ගැනීමේ වාසනාව ඇත්තේ පරදත්තුපජීවි ලොව අයට පමණයි.
පර, දත්ත, උප, ජීවි යන වදනින්ම පේනවා. ඔවුන් අනුන්ගේ දෙයින් යැපෙන බව. අන් ලෝකවල අයගේ පාපය බරපතළ නිසා පින් ගන්න බැහැ.
නිජ්ඣාමතන්හික ප්‍රේත ලොව අය නිතරම නොනිමෙන ගින්නකින් දැවි දැවී ඉන්නවා. කුප්පිපාසක ලොවේ අයට බඩගිනි වුණොත් පිපාසිත වුණත් කිසිවක් කන්න බොන්න බැහැ.
එවැනි ප්‍රේතයකු වරක් ආනන්ද හාමුදුරුවන් පිණ්ඩපාතේ යද්දී විලක් ළඟ ගල් පොත්තක් පලාගෙන මතු වූ බව බණ පොතේ තියෙනවා.
මිනිස් ලෝකයේත් අපමණ ප්‍රේත ගති ඇති අය ඉන්නවා. ශරීරාංග විකෘතිවෙලා පුදුම කර්මයක් විඳවන්නේ හොඳ දෙයින් හොඳ විපාකත් නරක දෙයින් නරක විපාකත් ලැබෙනවා. දෙවියෝ නොවෙයි එසේ කරන්නේ. තමා කළ කර්මයන්මයි.එය විශ්ව දහමයි.
යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං
අස්වැන්න ලැබෙන්නේ වපුල ජුවට අනුවයි.
අන්තිම ප්‍රේත ලෝකය තමයි පංශුපිසාචය එම ප්‍රේතයන් ජීවත් වන්නේ පස් කුණුගොඩවල් ඇසුරෙන් අපේ ගෙවල් ගෙබිම වුණත් අපිරිසුදු නම් මොවුන්ට පුළුවන් එහි ලැගුම් ගන්නට. එවිට මිනිසුන් පිරිහෙනවා. ඒ නිසා පරිසර පවිත්‍රතාව වැදගත්.
පැනය – පින් අනුමෝදන් වන්න බැරිවුණොත් ඒවා අපතේ යනවාද?
පිළිතුර – නැහැ. පින්කළ තැනැත්තා තුළම පවතිනවා අනුමෝදන් විය හැකි අප එසේ කරාවි. අනික් අය අදාළ පරිසරයට ආවාම අනුමෝදන් වේවි. හරියට දුරකථනයට එන කෙටි පණිවුඩ වගේ.
අපට එය ලබාගත නොහැකි පරිසරයක හිටියොත් එම පරිසරයෙන් මිදුණු වහාම සංඥාව ලැබෙනවා වගෙයි.
පැනය – මිය ගිය ඇත්තකුට පින් දීමේ දී අනෙක් මිය ගිය අයත් සිහිකළොත් ප්‍රධානකෙනාට පින් අඩුවෙනවා කියන මතය සත්‍යයද?
පිළිතුර – එය සහමුලින්ම වැරැදියි. පිනක් ප්‍රධාන අරමුණක් ඇතිවත් නැතිවත් කරන්න පුළුවනි. ඊට කලාවක් හෝ වෙලාවක් නැහැ. අනිකුත් මියගිය අය සිහිකළා කියලා ප්‍රධාන ඥාතියාට පින් අඩුවන්නේ නෑ පින පිනමයි.
උදාහරණයක් ලෙස එක දැල්වෙන පහනකින් නව පහන් සියයක් හෝ දහසක් දල්වන්න පුළුවන්. ඒත් මුල් පහනේ දීප්තිය අඩුවන්නේ නෑ.
පැනය – පිනෙන් කර්මය වෙනස් කරන්න පුළුවන්ද?
පිළිතුර - මොකද බැරි. කුඩා බඳුනක් ඊට වඩා ලොකු බඳුනකින් වසන්න පුළුවන් වගේ සමහර පාප කර්ම ලොකු පුණ්‍ය කර්ම බලයෙන් යටපත් කරන්න පුළුවන්.
ඕනෑම පාපී පුද්ගලයෙකුට තම වැරැදි තේරුම්ගෙන හදාගන්න පුළුවන්.
පාපයෙන් මිදුණු තැනැත්තා අඳුරු වලා ගැබින් මිදුණු සඳමඬල සේ බබළයි.
ඔබ තවත් ඉන්නේ පාපයේ ගැලී නම් ඉන් මිදී කුසලය හෙවත් පින බලවත් කරගෙන සඳ මඩලක් සේ බැබළෙන්නට සිතට ගන්න.

කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ 
කථිකාචාර්ය මාලඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති දර්ශනපති, 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි
සටහන 
පුෂ්පානාත් ජයසිරි මල්ලිකාරච්චි

සසර පුරා සැප ගෙන දෙන වස්ත්‍ර දානය


දානයෙහි අනුසස් පිළිබඳව බෞද්ධ ජනතාව පැහැදිලිව කරුණු දනිති. දානයන් අතර මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ වස්ත්‍ර දානය හා එහි ආනිසංස පිළිබඳවය. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා සතු වස්ත්‍රයක් කර්මඵල සලකා දීම හෙවත් පූජා කිරීම වස්ත්‍ර දාන නම් වේ. මෙසේ සලකා සිදු කරන වස්ත්‍ර දානය සසර පුරා සැප විපාක උදාකරයි.
“වස්ත්‍ර” යනු මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන්ගෙන් ප්‍රධාන එකකි. දානය අතර කඨින වස්ත්‍ර පූජාව අටමහ පින්කම් අතර පළමුවැන්න වේ. එමෙන්ම චීවර දානය සිව්පසයෙහි පළමුවැන්න ද වේ. සීතෝෂ්ණ නැසීම පිණිස, මැසි,මදුරු අව්, සුළඟ සර්ප ආදීන්ගේ ස්පර්ශය නැසීම පිණිස විලිබිය රඳවා සංවරය පිණිස වස්ත්‍ර භාවිතය අවශ්‍ය කරන බව සියලු දෙනා දන්නා කරුණු අතර වේ. මෙම අවශ්‍යතා සපිරෙන පරිදි යමෙක් සිල්වත් කෙනෙකුට හෝ දුසිල්වත් කෙනෙකුට යම් වස්ත්‍ර පූජාවක් සිදු කරයි ද, එය ඔහුට සසර පුරා පින් වැඩෙන මහඟු පුණ්‍ය කර්මයකි.
වස්ත්‍ර පූජාවක් සිදු නොකර කෘතපුණ්‍යානුභාවයේ දේව භවයක ඉපිද දේව සම්පත් ලැබුවද වස්ත්‍ර අහිමිව යා හැකි බව බෞද්ධ සාහිත්‍යයේ දෙවියන් පිළිබඳ කතා පුවත් විමසීමෙන් පැහැදිලි වේ. අතීතයේ පටන් සැදැහැති බෞද්ධයෝ මිය ගිය ඤාතීන් උදෙසා සිදු කරන දානමය පින්කම් අවස්ථාවකදී එයටම වස්ත්‍ර පූජාවක් ද එකතු කරති. එලෙස සිදු කරනුයේ ඉහත කරුණු සැලකිල්ලට ගෙන බව පැහැදිලි වේ.
වස්ත්‍ර පිදීමේ ආනිසංස අපදාන පාලියේ ස්ථවිරස්ථවීරී අපදානයන්හි දැකිය හැකිය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පෙර භවයක බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝයාට ද වස්ත්‍ර අටක් පුදා ඵලානිසංස අටක් ලැබූ බව අපදානපාලිය තුළ දක්වා ඇත.
තමන්ගේ අතීත චරිතය ප්‍රකාශ කරන්නාවූ උන්වහන්සේ වස්ත්‍ර දානයේ ඵලානිශංසයක් වෙන වෙනම ප්‍රකාශ කළහ. ඒ අනුව උන්වහන්සේට උපන් සෑම භවයකදීම රන්වන් සිරුරක් ද, රජස් රහිත සිරුරක් ද, රැස් විහිදෙන සිරුරක් ද, ප්‍රතාපවත් සිරුරක් ද, සිනිඳු සිරුරක් ද හිමි වූහ. තවද භවයෙහි සැරිසරන උන්වහන්සේගේ හිස මත සුදු පැහැය ඇත්තාවූද, කහ පැහැය ඇත්තාවූ ද, රතු පැහැය ඇත්තාවූ ද ලක්‍ෂ ගණන් වස්ත්‍ර දැරූහ. එසේම උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් වී දේවතාවන්ට පි‍්‍රයමනාප පුද්ගලයන් අතුරෙන් අගතනතුරට ද පත් වූහ.
එසේම උප්පලදායිකා මෙහෙණ තමන් පෙර භවයකදී කරන ලද වස්ත්‍ර දානය ආනිසංස පිළිබඳව මෙසේ අපදානපාලියේ දක්වා ඇත. ‘මම ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති මහණකුගේ පාත්‍රය’ ගෙන උතුම් අහරින් පුරවා දහසක් අගනා වස්ත්‍රයක් පූජා කළෙමි.
ඒ පින්කමෙන් මිනිස් කය හැරපියා තව්තිසා දෙව් ලොව ගියෙමි. දහසක් දෙව් රජුන්ට මෙහෙසි බව කළෙමි. දහසක් සක්විති රජවරුන්ට මෙහෙසි බව කළෙමි. මාගේ පැහැය උපුලකට බඳු වෙයි. අභිරූප වූ දැකුම්කලු වූ සර්වාංග සම්පන්න අභිජාත වූ සෝභාවන් ස්ත්‍රියක් වීමි.
ශාසනයේ පැවිදිව සත්වැනි රාත්‍රියට නොපැමිණ චතුස්සත්‍යාවබෝධයට පැමිණියෙමි. යනුවෙන් දක්වා ඇත. එසේම මහාප්‍රජාපතී ගෝතමී පටාචාරා ආදී ස්ථවිරී අපදානයන්හි වස්ත්‍ර පූජාවක් හා ලැබූ ඵලානිසංසයන් ගැන විස්තර දක්වා ඇත.
එමෙන්ම ඒතදස්ස තෙරුන් වහන්සේ පෙර භවයක දී තමා සතු එකම වස්ත්‍රය පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පුදා ආනිසංස අටක් ලැබූ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. උන්වහන්සේ සිදු කළ එකම වස්ත්‍ර දානයේ ආනිසංස බලයෙන් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොගියහ. ශක්‍රදේවේන්ද්‍රව සතිස් වරක් ද, සක්විති රජව තෙතිස් වරක් ද, ප්‍රදේශ රාජ්‍යව මෙතෙකැයි ගිණිය නොහැකි වාර ගණනක් ද ඉපදුනහ. මිනිස් ලොවෙහි හා දෙව්ලොවෙහි පමණක් සැරි සැරූ උන්වහන්සේ රූප සම්පත්තිය ද මැඬලිය නොහැකි ප්‍රතාපවත් සිරුරු සම්පත්තිය ද ගිණිය නොහැකි අපමණ වූ වස්ත්‍ර සම්පත්තිය ද සිත් වූ පරිදි ලැබූහ.
සසර පුරාවට සැප විපාක උදාකරවන වස්ත්‍ර දානයට අතීතයේ මෙන්ම අදද සැදැහැති බොහෝ බෞද්ධයෝ මහත් අභිරුචියක් දක්වති. ජීවිතයේ කවරම හෝ අවස්ථාවකදී තමාට වඩා සීලයෙන් ගුණයෙන් උසස් පැවතුම් ඇති උතුමෙකුට වස්ත්‍රයක් පිදීමට ලැබීම පින් කැමති බෞද්ධයෝ මහත් භාග්‍යයක් කොට සලකති. ඒ අනුව භික්‍ෂූන් වහන්සේලා උදෙසා චීවර දානය ද, සිල්වත් උපාසක උපාසිකාවන් උදෙසා සිල් රෙදිද පූජා කරති.
දුගී මගී යාචක ආදීන් උදෙසා ද ඇඳුම් පැලඳුම් ලබාදෙති. වස්ත්‍ර දානයේ දී වඩාත් ආනිශංස දායක වන්නේ බොහෝ දෙනෙකුට සැදැහැ සිත් ඇති කරවන වස්ත්‍ර පිදීමෙන් ය. ඒ ආකාරයෙන් බැලූ විට මහත්ඵල මහානිසංස උදාකරවන චීවර දානය හැරුණු කොට වස්ත්‍ර පිදීම වඩාත් ආනිසංස දායක වන බව පැහැදිලි වේ.

පොල්ගස්ඕවිට, 
අම්බලන්ගොඩ, 
ශ්‍රී සුධර්මාරාම විහාරවාසී, 
දේවාලේගම ඤාණරතන හිමි
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X