වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සොඳුරු මරණය

කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන 
අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත උඩුහාවර ආනන්ද හිමි
ජීවිතය අවසානයේ සුන්දර මරණයකට පත්වීම සෑම බෞද්ධයකුගේම අපේක්ෂාවයි. එබැවින් විවිධ පුණ්‍ය කර්ම හා කුශල කර්ම සිදුකොට අවසානයේ සිහිනුවණින් යුක්තව මරණයට පත්වීම උදෙසා ප්‍රාර්ථනාවක් ඇතිකරගනී. මරණය දුකක් වශයෙන් දක්වන බුදුසමය එය සුන්දර එකක් බවට පත්කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙයි. සුන්දර මරණයකට අවශ්‍ය පදනම සකසා ගන්නා අයුරු පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් අංගුත්තර තික නිපාතයේ ඇතුළත් වේ. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි අනේපිඬු සිටුතුමා අමතා උන්වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“ගෘහපතිය! සිත නොරැකුණොත් කායික ක්‍රියාද නොරැකුණේ වෙයි. වාචසික ක්‍රියාද නොරැකුණේ වෙයි මානසික ක්‍රියාද නොරැකුණේවෙයි. කායික වාචසික හා මානසික වශයෙන් අනාරක්ෂිත වූ හෙයින් පුද්ගලයාගේ කායික ක්‍රියාද වාචසික ක්‍රියාද මානසික ක්‍රියාද කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් වූයේ වෙයි. මෙසේ කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් වීම නිසා පුද්ගලයාගේ කායික වාචසික හා මානසික චර්යා අපිරිසුදු වේ. මෙසේ අපිරිසුදු කායකර්ම අපිරිසුදු වචී කර්ම හා අපිරිසුදු මනෝ කර්ම නිසා ඔහුගේ මරණය යහපත් නොවේ කලක්‍රියාව යහපත් නොවෙයි.
ගෘහපතිය! රැකුණොත් කායික ක්‍රියාද රැකුණේ වෙයි. වාචසික ක්‍රියාද රැකුණේ වෙයි. මානසික ක්‍රියාද රැකුණේ වෙයි. කායික වාචසික හා මානසික වශයෙන් ආරක්ෂිත වූ හෙයින් පුද්ගලයාගේ කායිකක්‍රියාද වාචසික ක්‍රියාද මානසික ක්‍රියාද කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් නොවෙයි. එසේ කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් නොවීම නිසා එම කායික වාචසික හා මානසික චර්යා පිරිසුදු වේ. මෙසේ කායික වාචසික හා මානසික වශයෙන් පිරිසුදු හෙයින් ඔහුගේ මරණය යහපත් එකක් වෙයි කාලක්‍රියාවද සුන්දර වෙයි.”
අනාරක්ෂිත වූ සිත
අනේපිඬු සිටුතුමා අමතා දේශනා කළ මෙම අනුශාසනාවෙන් පෙන්වා දෙන්නේ සිත අනාරක්ෂිත වූ කල්හි පුද්ගල චර්යාවන් කෙලෙස් ධර්මයන්ගෙන් තෙත්වන අතර එමගින් පුද්ගලයා අපිරිසුදු වන බවයි. අපිරිසුදු චර්යාවන්ගෙන් යුක්ත පුද්ගලයාගේ මරණය හා කාලක්‍රියාව යහපත් නොවේ.
මැනවින් සෙවිලි නොකරන ලද ගෙහි, වර්ෂාව හේතුවෙන් එහි පරාල මෙන්ම බිත්තිද තෙත් බවට පත්වී නොබෝ දිනකින්ම දිරාපත් වන්නේ යම් සේද, සිත අනාරක්ෂිත වූ කල්හි පුද්ගල චර්යාවන් ද අපිරිසුදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සොඳුරු මරණයකට හෝ කලුරිය කිරීමකට ඔහු හෝ ඇය හිමිකම් නොකියයි. එහෙත් මැනවින් සෙවිලි කරන ලද නිවසට කොතරම් වැසි වැටුණද එහි වහලයට, පරාලවලට හෝ බිත්තිවලට හානියක් සිදු නොවේ. ඒවා දිරාපත් නොවී තවදුරටත් ආරක්ෂා වෙයි. එමෙන්ම සිත ආරක්ෂාකරගත් කල්හි කායික, වාචසික හා මානසික චර්යා යහපත් වේ. තිදොර සංවර වූයේ කෙලෙස් ධර්මයන්ගෙන් අපිරිසුදු නොවේ. ත්‍රිවිධද්වාරයෙන්ම පිරිසුදු හෙයින් වරදක්, පාපයක්, අකුශලයක් සිදු නොවෙන නිසා මරණය මෙන්ම මරණින් මතු ජීවිතය ද සුන්දර එකක් බවට පත් වේ.
බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුවරයා අමතා කළ මෙම දේශනයේ විශේෂ වැදගත්කමක් තිබේ. ඒ අනුව පුද්ගල චර්යාවන් කෙරෙහි මනස ප්‍රධාන වශයෙන් බලපාන බව මෙයින් පැහැදිලි වේ. මනස ආරක්ෂා කරගත්විට පුද්ගල චර්යා යහපත් වේ. මනස දූෂණය වූ විට පුද්ගල චර්යා අයහපත් වේ. බාහිරින් බැලූ විට ඉතා සංක්ෂිප්ත සූත්‍රයක් වුවද විවරණය කළ විට එය අතිශය පුළුල් දේශනයකි. සිත ආරක්ෂා කිරීම යනුවෙන් අදහස් වන්නේ සිත තුළ පවතින ත්‍රිවිධ අකුසල චේතනා වර්ධනය වීමට ඉඩ නොතැබීමයි. ඒ සඳහා මානසික අවධානය හෙවත් සිය අත්‍යවශ්‍ය වේ. සිහිනුවණින් (සතිසම්පජඤ්ඤ) යුක්තව වාසය කිරීමෙන් අකුසල චේතනාවලට සිත ආක්‍රමණය කිරීමට තිබෙන ඉඩ ප්‍රස්ථා අහිමි වේ. සතර සතිපට්ඨාන යටතේ සිහිය පිහිටුවීම යනුවෙන් අදහස් වන්නේ මෙකී මානසික අභ්‍යාසය නිතර ප්‍රගුණ කිරීමයි.
සිහි නුවණ නොමැති විට කෙලෙස් ධර්ම විසින් සිත ආක්‍රමණය කරනු ලැබේ. අවසානයේ දී එම කෙලෙස් ධර්මයන්ගේ බලපෑමට යටත්වන කායික, වාචසික හා මානසික චර්යා පුද්ගලයාට මෙන්ම සමාජයටත් හානිකර වේ.
දස වැදෑරුම් අකුසල චර්යා
සිත කෙලෙස් ධර්මවලින් ආරක්ෂා වන විට පුද්ගල චර්යාවට අයත් දස වැදෑරුම් අකුසල චර්යාවන්ගේ පැවැත්මට ඉඩක් නොලැබේ. දස වැදෑරුම් අකුශල චර්යාවන්ගේ පැවැත්මට උපකාරී වන්නේ සිතේ ඇතිවන ලෝහ දෝස මෝහාදී අකුසල චේතනාවන්ය. අකුසල චේතනා වෙනුවට කුසල චේතනා වර්ධනය වීමෙන් පුද්ගලයා දස වැදෑරුම් කුසලසහගත චර්යාවන්ගෙන් යුක්ත වේ. ශීලය යනුවෙන් අදහස් කරන්නේ මෙකී චර්යාවන්ගෙන් කායික හා වාචසික අංශයේ සංවරයයි. එහෙත් මානසික අංශයේ සංවරකම ඇතිවන්නේ සිහි නුවණ දියුණු කිරීමෙන්ය. මෙම දෙඅංශයේම සංවරබව සිත ආරක්ෂා කිරීමෙන් සිදු වේ. ශීලය මගින් සිදුවන්නේ බාහිර සංවරය පමණි. එහෙත් සිත පිරිසුදු කරනතාක් ශීලය පූර්ණත්වයට පත් නොවේ. එයට හේතුව පුද්ගල චරියාවට බලපාන අකුසල සහගත මානසික ස්වාභාවයන්, චිත්තවේග, මානසික දුර්වලතා සිතෙන් ඉවත් නොවී පවතින හෙයින් ඒවා නැවත නැවතත් ඉස්මතු වී තිදොරින් ක්‍රියාත්මක වන හෙයිනි. අකුසල සහගත මනෝභාවයන්ගෙන් සිත ආරක්ෂා කරගන්නා තෙක් පුද්ගල චර්යා මුළුමනින්ම පිරිසුදු නොවේ. අභ්‍යන්තර පාරිශුද්ධත්වය වර්ධනය වූ පමණටම බාහිර චර්යාවද යහපත් වේ. මනස පිරිසුදු වීමත් සමඟම නිරායාසයෙන්ම චර්යාවද පිරිසුදු වේ. විමුක්තිය සාක්ෂාත් කළ උත්තමයෝ පූර්ණ මානසික පාරිශුද්ධත්වයෙන් යුක්ත හෙයින් එම උතුමන්ගේ චර්යාව ප්‍රකටය. විවෘතය. කිලිටිවලින් තොරය. පටු ආකල්පවලින් කිලිටි වී නොමැත. එම උතුමෝ සදාචාරමය වශයෙන් පරමාදර්ශීහු වෙති.
ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය
ගිහි හෝ පැවිදි සෑම කෙනෙක්ම ශික්ෂාපද රැකිය යුත්තේ මෙකී අර්ථය මැනවින් වටහාගෙනය. අභ්‍යන්තර පාරිශුද්ධත්වය වර්ධනය කරගන්නා තරමටම ශික්ෂාපද රැකීමත් නිරායාසයෙන්ම සිදුවේ. අභ්‍යන්තර පාරිශුද්ධත්වය කෙරෙහි අවධානය යොමු නොකර හුදෙක් ශික්ෂාපද වල මතුපිට අර්ථය පමණක් සළකා ඒවා සමාදන්වීම අර්ථවත් නොවේ. සෑම ශික්ෂාපදයකම ධර්මමය උපයෝගීතාවක් තිබේ. ඒ සියල්ල ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඉලක්කකොට පවතී. ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් තොරව කොතෙක් ශික්ෂා පද ආරක්ෂා කළ ද එය භාජනයක් යටිකුරු කොට ජලය පිරවීමක් හා සමානය. ශික්ෂාපදයන්හි ධර්මමය උපයෝගීතාව වටහාගත් විට අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීම, තමා සිල්වතෙකුයැයි අන් අයට ඒත්තු ගැන්වීම එමගින් ලාභ ප්‍රයෝජන අපේක්ෂා කිරීම ආදී පටු ආකල්පවලින් තොරව ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයම පරමාදර්ශය කොටගෙන ක්‍රියාත්මක වේ. අනේපිඬු සිටුවරයා අමතා කළ මෙම දේශනයෙන් පැහැදිලි වන තවත් වැදගත් කරුණක් වන්නේ පුද්ගල චර්යාව හා මනස අතර පවතින සම්බන්ධතාවයි. මනස දූෂිත වන විට චර්යාව දූෂිත වේ. මනස පිරිසුදු වන විට චර්යාව පිරිසුදු වේ. සදාචාරමය වශයෙන් යහපත් පුද්ගලයෙකු නිර්මාණය කළ හැක්කේ ඔහුගේ හෝ ඇයගේ මනස පිරිසුදු කිරීමෙන්ය. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කළේ මෙතරම් ශික්ෂාපද ප්‍රමාණයක් තමන්ට ආරක්ෂා කළ නොහැකි හෙයින් උපැවිදි වීමට අවශ්‍ය බවයි. මෙම අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව අමතා දේශනාකොට වදාළේ එසේ නම් සිත පමණක් ආරක්ෂා කරගන්නා ලෙසයි. ඉහතින් දැක්වූ පරිදි සිත කෙලෙස් ධර්මයන්ගේ බලපෑමෙන් නිදහස් කරගත් විට නිරායාසයෙන්ම කායික වාචසික හා මානසික චර්යා පිරිසුදු වන බව පැහැදිලිය. යමක් රැක ගැනීමෙන් මහත් අර්ථයක් අත්පත්කර ගනීද ඒ සියලු ලාභයන්ට වඩා සිත රැකගැනීමෙන් ලැබෙන අර්ථය මහත් බව බුදුරදුන් වදාළේ එබැවිනි. මරණය සුන්දර වන්නේ එයට පෙර හා එයින් පසු ජීවිතය යහපත් වන්නේ නම් පමණි.
වර්තමාන ජීවිතය අසාර්ථක කරගත් අයෙකුට සාර්ථක සුන්දර මරණයක් හිමි නොවන අතර මරණින් පසුව දුගතිය හිමිවේ. ගිහි වුවද පැවිදි වුවද සුන්දර මරණයක් අපේක්ෂා කරන්නේ නම් අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත වන්නේ තම චර්යාව අපිරිසුදු කරගෙන මානසික දුර්වලතා අකුසල චේතනා ආදියෙන් සිත රැක ගැනීමයි.

සම්බුදු දහමේ ඵල ලබන්නෝ

බුදු දහමේ පදනම ලෝක සත්‍යයයි. ලොව පවත්නා ස්වභාවය ඉදිරිපත් කිරීම බුදු දහමෙන් සිදුකෙරේ. ඒ බව නගර සූත්‍රයෙන් පැහැදිලි කෙරෙයි. මහ පොළොව යට වැළලී තිබුණු නගරයක්, අනාවරණය කරගත් තොරතුරුවලට අනුව, කැණීම් කර මතු කර ගත්තා සේ, මිථ්‍යාවෙන්, බොරුවෙන් වැසී පැවතුන ලෝකයට සත්‍යය හෙළි කළ බව මේ සූත්‍රයෙන් හෙළි කරයි. සත්‍යය අනාවරණය කර ගැනීමට බොහෝ දෙනා අකැමැතිය.
මිථ්‍යාවේ ඇලී ගැලී තාවකාලිකව ලබන ආස්වාදය ඔවුනට සැපතකි. ලෝක සත්‍යය ලොවට අනාවරණය කරන බුදු දහම , සත්වයාට මෙලොව ජීවිතය සුවපත් කරගැනීමටත් පරලොව ජීවිතය යහපත් කර ගැනීමට හා සසර දුකින් එතෙරවීමටත් මග කියයි. බුදුරජාණන් වහන්සේට ධර්ම දේශනා කිරීමට නිශ්චිත වෙලාවක් තිබුණේ නැත. එමෙන්ම පෙර සූදානමක් ඇතිව, වෙලාවක් නියම කරගෙන දහම් ඇසූ බවකුත් නොපෙනේ. “මූණ්ඩරාජ” රජු තම දේවියගේ අකල් මරණයෙන් ශෝකයට පත්ව සිටි බැවින්, රජතුමාට තම ශෝකය දුරු කර ගැනීම පිණිස දෙන ලද උපදෙස් ඇතුළත් වන්නේ “ශෝක සල්ල හරණ” සූත්‍රයටයි. අනේපිඬු සිටුතුමා සියල්ල ප්‍රාර්ථනා කර ලැබිය හැකි දැයි? ඇති කරගත් සැකය දුරලීමට දේශනා කළ කරුණු ඇතුළත් වන්නේ “පංච ඉට්ඨ ධම්ම” සූත්‍රයයි. බුදුහු “භේසකලා වනයට” වැඩම කළ බව ආරංචි වූ කාලාම වැසී බමුණෝ, උන්වහන්සේ වෙත පැමිණ, ඉදිරිපත් කරන ලද ගැටලුවට ලබාදෙන ලද උපදේශණය, “කාලාම සූත්‍රයෙන් පැහැදිලි කෙරෙයි,”වාසෙට්ඨ” හා “භාරද්වාජ” බමුණු තරුණයින් දෙදෙනා අතර, ශ්‍රේෂ්ඨ බමුණෙක් වීමට වුවමනා සුදුසුකම් පිළිබඳ මතවාදය, නිරාකරණය කරලීම සඳහා කළ අනුශාසනය, “වාසෙට්ඨ” සූත්‍රයයි.මේ නිදසුන් කීපයකි. මේවා කල්වේලා ඇතිව සූදානම් වී කරන ලද දේශනා නොවේ.අවස්ථානුකූලව කරන ලද දේශනාවන්ය.
බුදුරදුන් දම් දෙසූ අවස්ථා සතරක්
බුද්ධ දේශනා හොඳින් පිරික්සීමේදී, උන්වහන්සේ ධර්ම දේශනා කළ අවස්ථා හතරක් හමුවේ. ඒවා අත්තජ්ඣාසය, පරජ්ඣාසය,අට්ඨුප්පත්තික හා පුච්ඡාවසිත යනුවෙන් දැක්වෙයි. වෙනත් කෙනෙකුගේ ඉල්ලීමක් හෝ ආරාධනාවක් නැතිව තමන් වහන්සේම සිතා, ඉදිරිපත් කරන ලද දේශනා පළමුවැන්නට ඇතුළත් වේ. සූත්‍ර පිටකයේ බොහෝ සූත්‍ර අත්තජ්ඣාසය දේශනාවන්ය. එයිනුත් බහුතරය භික්ෂූන් වහන්සේ උදෙසා කරන ලද දේශනාවන්ය. අංගුත්තර නිකායේ සාමගාමක, නීවරණ අස්සජාණීය, සප්පුරිසදාන වැනි සූත්‍ර නිදසුන් කීපයකි. තවත් කෙනෙකුගේ හෝ පිරිසකගේ ඉල්ලීමක් නිසා කරන ලද දේශනා, පරජ්ඣාසය දේශනා නම් වේ. “වේළුද්වාර”, “සෝක සල්ලහරණ”, “කාලාම” වැනි සූත්‍ර ඊට නිදසන් ලෙස දැක්විය හැක. ඇතැම් උදවිය බුදු හාමුදුරුවන් වහන්සේ වෙත පැමිණ, යම් යම් ප්‍රශ්න ඉදිරිපත් කළ අවස්ථා තිබුණි. මහා මංගල සූත්‍රය,ආලවක සූත්‍රය එවැනි අවස්ථාවන් පෙන්වන සූත්‍ර දේශනාවන්ය. ඒවා “පුච්ඡාවසිත”දේශනා යනුවෙන් දැක්වෙයි. මේ අතර යම්’ සිදුවීම් මුල්කරගෙන කළ දේශනාද බුද්ධ දේශනා තුළ හමුවෙයි. සිඟාලෝවාද සුත්‍රය, රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වැනි සූත්‍ර ඊට නිදසුන් ලෙස දැක්විය හැකිය.මෙයින් පැහැදලි වන්නේ, උන්වහන්සේ දහම් දෙසන්නට කෙනෙකු තමන් වෙත එනතුරු, සූදානම්ව බලා සිටි කෙනෙකු නොවන බවයි.අනෙක් අතට උන්වහන්සේ වෙතට පැමිණි පිරිසද, බෞද්ධයෝ නොවෙති. බ්‍රාහ්මණ.අචේලක , පරිබ්‍රාජක, නිගණ්ඨ ආදි වෙනත් වෙනත් ආගමිකයන්ය. ඔවුන් බුදුරජාණන් වහන්සේ සොයා පැමිණියේ, තමන්ට ජීවිතයේ මුහුණපෑමට සිදුවූ ගැටලුවලට පිළිගත හැකි විසඳුමක් ලබා ගැනීමේ අටියෙනි. මෙයින් පැහැදිලි වෙන ප්‍රධාන කරුණු දෙකකි. එනම්
සියලු මිනිසුන් සඳහා කරන ලද දේශනාවකි
1.බුද්ධ දේශනාව සියලු මිනිසුන් සඳහා කරන ලද දේශනාවක් මිස, එක් ජන කොටසකට කරන ලද්දක් නොවන බව.
2.එය පුද්ගල ගැටලු නිරාකරණය කර ගැනීම පිණිස කරන ලද්දක් වීම
ධර්මය උපදේශණ මාර්ගයකි. කෙනෙකුට උපදේශණයක් වූවමනා වන්නේ ගැටලුවක් මතුවූ විට, ඒ ගැටලුව සාර්ථකව නිරාකරණය කර ගැනීමටයි. තමන් මුහුණ දී සිටි ගැටලුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඊට බුදුරදුන්ගෙන් ලද විසඳුමට, මොන තරම් සතුටුවූයේද? යන්න ගැටලුව ඉදිරිපත් කළවුන් අවසානයේදී ද දක්වන ලද ප්‍රතිචාරවලින් මොනවට පැහැදලි වෙයි. එය සූත්‍රදේශනාවල මෙසේ දැක්වෙයි”. “යටිකුරු කොට තබන ලද දෙයක් උඩුකුරු කොට දැක්වූවා සේ,ආවරණයට කොට තැබූ යමක් නිරාවරණය කොට පෙන්වූවාසේ, මග සොයා ගත නොහැකිව මංමුළා වූ අයෙකුට, මග පෙන්වූවා සේ අන්ධකාරයේ සිටියෙකුට පහනක් දල්වා ආලෝකය ලබා දුන්නාසේ, ඔබ වහන්සේගේ දේශනාව ඉතා පැහැදිලි වූයේ යැයි” ඔවුහු කියා සිටියහ. එපමණක්ද නොව තමන්ට තෙරුවන් සරණ ගොස් උපාසක භාවය ලැබීමටද ඔවුහු අවසර ඉල්ලා ඇති බව සූත්‍රවල ඇතුළත් මේ පාඨයෙන් පැහැදිලි වෙයි”. එතෙ මයං භගවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසංඝඤ්ච, උපාසකං නො භවං ගොතමො ධාරෙතු, අජ්ජ තග්ගෙ පාණූපෙතං සරණං ගතෙ”
දෙවර්ගයක ප්‍රතිලාභ
ධර්මය අසා අවබෝධ කරගෙන, ඒ අනුව කටයුතු කරන්නෙකුට ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙවර්ගයක ප්‍රතිලාභ අත්කර ගත හැකිය. ජීවත්වන හැම දෙනාම සැපයට කැමැත්තෝ වෙති. ඉඳුරන් පිනවීම තුළින් ඒ සැපය විඳ ගනිති. හැම දෙනාම සැප බලාපොරොත්තු වුවත්, හැමෝටම සැප ලැබීමට නුපුළුවන. සැපය නැති තැන ඇත්තේ දුකය. තමන්ට වුවමනා සැප ළඟා කර ගැනීම පිණිස මිනිස්සු නොයෙක් දේ කරති. මද්‍යසාරවලට ඇතැම්හු යොමුවෙති. තවකෙක් සැප ලැබන උදවියට එරෙහි වෙති. හොර මැරකම් කිරීමට සමහරු පෙලඹෙති. තවකෙක් මත්කුඩු ජාවාරම වැනි සමාජ විරෝධි වැඩවල යෙදෙති. මේ හැම දේකින්ම ඔවුන් සැප අපේක්ෂා කරති. බොහෝ විට ඒ තුලින් ලබන තාවකාලික සැපයෙන් සෑහීමකට පත්වෙති. යළි දුකට පත්වෙති. එවිට වෙනත් මගක් අනුගමනය කරති. මේ අතර සමහරු දෙවි දේවතාවන් වැනි නොපෙනෙන බලවේග කෙරෙහි විශ්වාසය ඇතිකරගෙන, පුද පුජා හා යාඥා කිරීමෙන් සැප ළඟාකර ගැනීමටද පෙළඹෙති. බෞද්ධ ඉගැන්වීමට අනුව ආයාචනා කිරීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් සැප ළඟාකර ගත නොහැකිය.අලසකමෙන් තොරවීම, වීර්යයෙන් යුතුව කටයුතු කිරිම,අධාර්මික නොවී දැහැමිව හා අසාහසිකව කටයුතු කිරීමෙන් ධනය උපයා ගැනීම පිළිබඳව මග පෙන්වා තිබේ. වත්මන් ලෝකයේ මිනිස්සු සුඛ විහරණය සඳහා ධන සම්පත් රැස් කිරීමට වෙහෙසෙති. ධනය කොපමණ වුවත් රැස් කිරීමට බුදු සමයෙහි බාධාවක් නැත. කෝටි ගණන් වස්තුව ඇති ධනවත් ඇතැම් උදවියට හිතේ සැනසිල්ලක් නැත. එනිසාම ජීවිත පවා නැති කරගත් අවස්ථා තිබේ. එහෙයින් පෙනෙන්නේ සැපය ඇත්තේ හිතේ මිසක වස්තු තුළ නොවන බවයි. දැහැමිව හා අසාහසිකව ධනය උපයාගත යුතු යැයි දහමේ දක්වන්නේ ඒ සතුට ඇති කරලීමටයි. ධනය උපයාගත් පමණට කෙනෙකුගේ ආර්ථිකය සවිමත් නොවේ.උපයන ලද වස්තුව විය පැහැදම් කිරිමේදී, කොටසක් පරිභෝජනයද, දෙකොටක් ආයෝජනයටද, ඉතිරි කොටස ඉතිරි කිරීමටද බුදු දහමෙන් මග කියයි. මෙය ලොව පිළිගත් ප්‍රශස්ත අර්ථ ක්‍රමයකි.ආදායමට සරිලන ක්‍රමයට වියදම සැලසුම් නොකළොත් ණයකරුවෙකු වීමට සිදුවේ. ණය බරෙන් යුක්තවීම දුකකි. හිතට කරදරයකි.මේ ක්‍රමය අනුගමනය කොට තම ආර්ථිකය ශක්තිමත් කරගත් පුද්ගලයින් මෙන්ම රටවල්ද ලොව තිබේ. පවුලේ සිට රාජ්‍යත්වය දක්වා ඒ පරාසය තුළ පවතින, ඕනෑම ආයතනයකට, සංවිධානයකට දියුණුව කරා යා හැක්කේ, උපයන ධන සම්පත් මනා ලෙස කළමනාකරණය කළහොත් පමණි. ආයතනයක ප්‍රධානියා බුද්ධිමතකු විය යුතුයි. අධි පරිභෝජනයට නැඹරු වූ නාස්තිකරුවෙකු ද නොවිය යුතුයි. ආයතනය සතු සම්පත් ගැන මනා අවබෝධයක් ඇතිව, ඒවා නිසිලෙස හැසිරවීමට හා ආයෝජන ප්‍රවර්ධනය කෙරෙන නව උපාය මාර්ග හඳුනා ගැනීමටද සමත්, ප්‍රඥාවකින් ද යුක්ත විය යුතුය.ලොව දියුණු යැයි සම්මත රටවල් ඒ මට්ටමට පැමිණ ඇත්තේ, දහමේ ඉගැන්වෙන මේ කරුණු සියල්ලම නැතත් කීපයක් හෝ අනුගමනය කරන නිසයි.
දුකෙන් අත් මිදීම
අප හැමෝම බියෙන් සැකෙන් තොරව, නිදහසේ ජීවත්වීමට කැමති වෙමු. අනෙක් අයගේ තර්ජන ගර්ජන වලට මුහුණපෑමට සිදුවේ නම් මෙය සැපතට බාධාවකි. බියෙන් තොරව නිදහසේ ජීවත්වීම බෞද්ධයින්ට පමණක් නොව, ලොව වසන හැම මිනිසෙකුටම මෙන්ම සත්වයෙකුටම සැපයකි. ඒ සැපය උරුම කර ගත හැක්කේ තමන් උපමාවට ගෙන හැම දෙනාම ජීවත්වීමට කැමැතිබව තේරුම් ගෙන, එකෙක් තවකෙනකුගේ ජීවිත විනාශ කිරීමෙන් වැළකී සිටීමට ක්‍රියා කිරිමෙනි. අපි දුක පිළිකුල් කරමු. එහෙත් නොයෙක් අවස්ථාවලදි දුකට පත්වෙමු. මුහුණ දෙන දුක්ඛිත අවස්ථාවන්ගෙන් අත්මිදීමට උත්සාහ කළ ද එය තාවකාලික අත්මිදීමකි. යම් කෙනෙකුට සදාකාලිකව දුකෙන් අත්මිදීමට හැකිවන්නේ දුක් උපදවන හේතු අවබෝධ කරගෙන, ඒවා නැතිකර දැමීමෙනි. මේ බව නොදන්නා බොහෝදෙනා තම තමන්ට රිසි නොයෙක් විකල්ප ක්‍රම අනුගමනය කොට යළි යළිත් දුකටම වැටෙති. දුක දිනන මග පැහැදිලි කර ඇත්තේ ධර්මය තුළිනි. ඒ සඳහා ධර්මය දැන අවබෝධ කරගත යුතුය. දහම තේරුම් නොගත් තැනැත්තා අශ්‍රැතවත් පුථජ්ජන නමින් හඳුන්වයි. ඔහු ඇතිවන සියලු සංස්කාර වෙනස්වෙන බව හෝ වෙනස්වෙමින් පැවති නැතිවන බව නොදනී. එනිසාම තමාට රිසි පරිදි සියල්ල පවත්වා ගත යුතු බව විශ්වාස කරයි. එනිසාම බොහෝ අවස්ථාවන්වලදී ඔහු දුකට වේදනාවට හා පසුතැවීමට පත්වෙයි. ශ්‍රැතවත් පුථප්ජනයා දුක්මුසු අවස්ථාවකදී වුවද කම්පාවට පත්නොවන්නේ, ඔහු ඒ තත්වය පිළිබද මනා අවබෝධයකින් පසුවන නිසයි. ඔහු හැම විටම සතුටින් සිටී. සැපෙන් සිටී.මේ දහමෙන් ලද හැකි උසස් ප්‍රතිලාභයයි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X