වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පාවහන් පූජා කිරීමේ ආනිසංස

පින්වතුනේ මේ දූෂිත පෘතග්ජන සමාජය තුළ යම් කිසි කෙනෙක්ගේ ජීවිතය බුදු රජාණන් වහන්සේගේ ධර්මය වෙත යොමු වුණොත් ඒක තමයි එයා එයාගේ ජීවිතයේ ලබන ලොකුම ලාභය. එවැනි අයගේ ජීවිතය පින්බරයි. පින්වත් අය තමයි මේ සමාජය ලස්සන කරන්නේ. ඒ අයගේ ජීවිතය නිවනට යොමු වෙච්ච එකක්. ඒ අය සසරින් එතෙර වෙනවා වෙනවාමයි. පින්වතුනි ඒ සඳහා අපට පුදුම විදියට උපකාර කරන්නේ කල්‍යාණ මිත්‍රයන්. ඒ තමයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මය තමන්ගේ ජීවිතයෙන් පුරුදු කරමින් ඒ උතුම් ධර්මය අපිට කියා දෙන ඒ රහතන් වහන්සේලා ප්‍රධාන බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක ආර්ය මහා සංඝරත්නය ( සිව්වනක් පිරිසම අයිතියි) ඒ අතරින් පින්වතුනි රහතන් වහන්සේලා ප්‍රධාන පැවිදි ශ්‍රාවක පිරිස විශේෂයි. ඉතින් අපිට පිං සිද්ධ කර ගන්න උන් වහන්සේලා පින්කෙත වෙනවනේ. ඒ වගේම අපි උන්වහන්සේලාට නොයෙක් දේවල් පූජා කරනවනේ ඉතින් අපි පින්කම් වලදී විශේෂයෙන් ම පාවහන් පූජා කරනවා. ඒ වගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමකට පාවහන් සඟලක් පූජා කරලා නිවනට ගිය කෙනෙක් ගැන පුංචි බණ කතාවක් තමයි කියල දෙන්න යන්නේ.
පින්වතුනි මේ සිද්ධිය සිද්ධ වුණේ කල්ප අනූඑකකට කලින් ඈත අතීතයේ. ඒ කාලේ වාසනාවන්ත කාලයක් හේතුව තමයි බුදු කෙනෙක් පහළ වෙලා ලෝකයට කෙළෙස් සංසිඳවන විශේෂ නුවණ ලබා දෙන ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ ව ඒ වගේම පිරිනිවන් පාන්නට උපකාරී වන සන්දිට්ඨික ආදී අනන්ත ගුණ ඇති ලස්සන ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් වැඩ සිටියා. ඉතින් උන්වහන්සේට හිටියා " චන්දන" කියලා පුත් රුවනක්. ඒ කියන්නේ ශ්‍රාවකයන් වහන්සේ නමක්. මේ චන්දන කියන ස්වාමීන් වහන්සේට එක්තරා කෙනෙක් දවසක් දා සෙරෙප්පු දෙකක් ගෙනල්ලා පූජා කෙරුවා. නිකං ම නෙවෙයි පූජා කෙරුවේ. හොඳට හිත පහදවා ගෙන. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි සිත පහදවා ගත්තේ. බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය සුපටිපන්නයි. ඒ කියන්නේ උන් වහන්සේලා රාග ද්වේශ මෝහ නැති කරපු උදවිය සහ රාග ද්වේශ මෝහ නැති කරමින් ඉන්න උතුමන්. ඊළඟට උන්වහන්සේලා උජුපටිපන්නයි. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන නිවන් මගට බැස ගත් උතුමන්. ඊළඟට උන්වහන්සේලා ඤායපටිපන්නයි. ඒ කියන්නේ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස ජීවිතය කැප කළ පිරිසකි. ඊළඟට සාමීචිපටිපන්නයි. පින්වතුනේ මේ ගුණයෙන් තමයි ගිහි පැවිදි ශ්‍රාවක පිරිස එකිනෙකාට සංග්‍රහ කර ගන්නේ. ඒ පැවිදි උතුමන් බුදු රජාණන් වහන්සේගේ ධර්මය බෙදා දෙනවා. ගිහි ඇත්තන් උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරනවා. මේ පිළිබඳව සඳහන් වන ලස්සන සූත්‍රයක් තියෙනවා ( ගිහිසාමීචිපටිපදා) කියලා අංගුත්තර නිකායේ ඒ උතුම් සූත්‍රය කියවලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ ගුණ නිසාම උන්වහන්සේලා ආහුනෙය්‍ය පාහුනෙය්‍ය දක්ඛිනෙය්‍ය අංජලිකරණීය ආදී ගුණයෙන් යුක්තයි කියලා සිතේ බලවත් ප්‍රසාදයෙන් තමයි සෙරෙප්පු දෙක පූජා කළේ. ඊටපස්සේ පින්වතුනි මෙයා ප්‍රාර්ථනාවක් සමගින් සෙරෙප්පු දෙකට කථා කළා මෙහෙම " එම්බා මිරිවැඩි සඟල උඹ මාව මේ ඉපදෙමින් මැරෙමින් සතර අපාය නිවස කරගෙන අනන්ත දුක් විඳිමින් අවසානයක් නොදැක යන මේ සන්සාරයෙන් එතෙර කරවපන්" කියලා.
පින්වතුනි එදා ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලයේදී ස්වාමීන් වහන්සේ නමකට පාවහන් සඟලක් පූජා කරලා මරණින් පසු දෙව්ලොව ඉපදුනා. ඊටපස්සේ ගෞතම බුද්ධ ශාසනය තෙක් අපායේ ගියේ නෑ දෙව් ලොවින් මිනිස් ලොවට මනුස්ස ලෝකයෙන් දෙව් ලොවට ආදී වශයෙන් සුගතියේම ඉපදුනා. මනුස්ස ලෝකයේ සක්විති රජකම පවා ලැබුණා. ඉතින් ඒ විදියට සංසාරේ බොහෝ සැප සම්පත් විඳිමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දඹදිව ඉපදිලා බුදු බණ අහල මහණ වෙලා උතුම් අරහත්වයට පත් වුණා. උන්වහන්සේ තමයි" උපාහනදායක" මහරහතන් වහන්සේ. සාදු සාදු උන්වහන්සේට නමස්කාර වේවා. පින්වතුනේ දවසක් දා උන්වහන්සේ සමාධියට සමවැදී පුබ්බේනිවාස කියන ඥානයෙන් බැලුවා තමන්ට රහත් වෙන්නට පෙර කරපු පින්කම මොකක්ද කියලා එතකොට තමයි දැක්කේ කල්ප අනූ එකකට කලින් තමන් කරපු මෙම පාවහන් පූජාමය පිංකම. බලන්න පින්වතුනි පිනමයි ජීවිතයේ සැප ගෙන දෙන්නේ. පිනමයි සසරින් එතෙර වීමට පසුබිම සකස් කරන්නෙත්. එනිසා ඔබටත් බොහෝ පින් කරගෙන ඉක්මනින් සසරින් එතෙර වීමේ වාසනාව උදා වේවා. තෙරුවන් සරණයි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X