වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

කුසලයට බාධා කිරීමේ විපාක


ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.

ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව

පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.

එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.

"ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි."

"ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා කුසල විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි" යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·

ඇතැම් අය අන්‍යයන් කුසල් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ කුසලයට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.

ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.

ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද "භද්දිය" කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක "ලකුණ්‌ඨක භද්දිය" නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.

පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වපුරන දේ අනුව ලැබෙන අස්වැන්න

දකුණු කළුතර 
ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ 
විහාරාධිපති 
මහාචාර්ය 
නෙලුවේ සුමනවංස හිමි

ලෝක ක්‍රියාකාරිත්වය පිළිබඳව විමර්ශනශීලිව බලන්නෙකුට සියල්ලම කර්මයෙන් සිදු නොවන බව තේරුම් ගැනීමට පුළුවන. හිරු සඳු උදාවීම අව්ව .වැස්ස ඇතිවීම, ගංගා ,ඇලදොළ පහළට ගලා බැසීමාදියට කර්මයේ බලපෑමක් නොමැත. ඒ ඒ තැනැත්තාට පෞද්ගලිකව බලපාන දේ සඳහා කර්මයේ බලපෑමක් ඇති වුවද ලෝක ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානුයේ සෙසු නියාම ධර්මයන්ය.
කර්මය යනු සිතා මතා කරන, කියන හා සිතන දේය. ඒ අනුව සිත, කය, වචනය යන තුන්දොරින් සිදුකරන හැම කි‍්‍රයාවක්ම කර්ම සංඛ්‍යාවට ඇතුළත් වේ.
සමස්ත විශ්වයම සකස් වී ඇත්තේ හේතුඵල රටාව අනුවය. එය නිවැරදිව වටහා නොගත් ශාස්තෘවරුන් සියල්ල සිදුවන්නේ කර්මය අනුව යැයි වැරදි මතයක් සමාජගත කර තිබේ. ‘පුබ්බේකතහේතුවාද’ යැයි පාලි මූලාශ්‍රයන්හි සඳහන් වන මෙයින්, බුද්ධ කාලය වන විටද ‘සියල්ල පෙර කර්මයෙන් සිදුවන්නේය යන ඉගැන්වීම භාරතය පුරා ව්‍යාප්තව තිබිණ. මෙම අදහස සත්‍ය නොවන බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ ලෝක ක්‍රියාකාරිත්වය සිදුවන්නේ නියාම ධර්ම පහක් යටතේ බව පෙන්වා දුන්හ. එනම් උතුනියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම හා කම්ම නියාමයයි. ශීත, උෂ්ණාදී දේශගුණික විපර්යාස නිසා ඒ , ඒ කාලයන්හි විවිධ මල්ඵල ඇතිවීම උතු නියාමයයි. බීජය අනුව අංකුර ඵල ඇතිවීම බීජ නියාමයයි. සිතක් ඇතිව, පැවතී නැතිව යාම චිත්ත නියාමයයි. ගංගා පහළට බැසයාම සුර්යයා නැගෙනහිරෙන් උදාවීමාදිය ධම්මතා නියාමයයි. තම තමන් විසින් කළ කී දෑ අනුව සැප දුක් ආදිය ලැබීම කර්ම නියාම නම් වේ. සියල්ල කර්මයෙන් සිදුවන්නේ නම් මිනිසාට හැම දෙයක්ම සිදුවන තෙක් බලා සිටිනවා හැරෙන්නට කළ යුතු යමක් නොමැත. .
චුල්ලකම්මවිභංග සූත්‍රයේදී සුභ මානවක විසින් දිගු ආයුෂ ලැබීම, කෙටි ආයුෂ ලැබීම, බහු ආබාධ, අල්පාබාධ, දුප්පත් පොහොසත්, අල්පේශාක්‍ය මහේශාක්‍යාදි ප්‍රභේද මානව සමාජය තුළ ප්‍රකට වන්නේ ඒ ඒ තැනැත්තා විසින් ඊට සරිලන දෑ සිදුකර ඇති හෙයිනැයි පෙන්වා දී තිබේ. මුගලන් තෙරුන් සොරුන්ගෙන් දඬුවම් ලැබීම, චක්ඛු පාල තෙරුන්ගේ ඇස් අන්ධවීම, පූතිගත්තතිස්ස හිමි රෝගී වීම සිදුව ඇත්තේ එසේ වීමට අවශ්‍ය දේ ඔවුන් විසින් සිදුකර තිබීම හේතුවෙනි.
ලෝක ක්‍රියාකාරිත්වය පිළිබඳව විමර්ශනශීලිව බලන්නෙකුට සියල්ලම කර්මයෙන් සිදු නොවන බව තේරුම් ගැනීමට පුළුවන. හිරු සඳු උදාවීම අව්ව .වැස්ස ඇතිවීම, ගංගා ,ඇලදොළ පහළට ගලා බැසීමාදියට කර්මයේ බලපෑමක් නොමැත. ඒ ඒ තැනැත්තාට පෞද්ගලිකව බලපාන දේ සඳහා කර්මයේ බලපෑමක් ඇති වුවද ලෝක ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානුයේ සෙසු නියාම ධර්මයන්ය. ඒ ඒ උදවිය ඒ ඒ කර්මයන් සිදුකර ඇති හෙයින් ඒවා අනුව ක්‍රියාත්මක වීමට ලෝකයට හැකියාවක් නොමැත.
කර්මය පිළිබඳ බුදුරදුන්ගේ පැහැදිලි කිරීම තමා සාදා ගනු ලබනුයේ තමාම විසින්ය. තමා තමාගේ ක්‍රියාවන්ම දායාද වශයෙන් ලබන්නේය. තමා තැනෙන්නාවු සන්දර්භය නම් තමාම කරන කර්මයෝය. තමාගේ ඥාතීන් වන්නේ තමා විසින් කරනු ලබන ක්‍රියාවන්ය. කර්මයන්ය. තමා කරන්නේ හොඳ වු ක්‍රියාවක්ද නරක වු ක්‍රියාවක්ද තමා එයට හිමිකරුවා වන්නේය, යන්නයි. පුද්ගලයා දිගු සසර ගමනක නියැලී සිටින්නේ කර්මය නිසා විපාකයත්, විපාකයන් නිසා නැවත නැවත කර්ම රැස් කිරීමත් කර්ම විපාක නිසා පුනර්භවයක් සිදුවන හෙයිනි.
බෞද්ධ ඉගැන්වීම්හි අවධාරණය කර ඇත්තේ යමක් සිදුකොට ශෝකවීමට සිදුවේද, යම් දෙයක විපාකය කඳුළින් ගෙවීමට සිදුවේද එවැන්නක් නොකරන ලෙසය. යමක් සිදුකොට පසුතැවීමට පත් නොවේද යමක විපාකය සතුටු සිතින් විඳීමට හැක්කේද එවැන්නක් කරන ලෙසය. තමාට අයහපත පිණිස පවත්නා දේ නොකිරීමට සෑම දෙනෙකු විසින්ම වගබලා ගත යුත්තේය. අස්වැන්න ලැබෙන්නේ වපුරන දේ අනුවය. විපාක ලැබෙන්නේද කර්මයට සමාන වන පරිද්දෙනි. ඒ වපුරන ප්‍රමාණය සිය දහස් ගුණයකින් වර්ධනය වී අස්වැන්න ලැබෙන්නා සේ කළ කී දෑහි ප්‍රමාණයට වඩා විපාක ලැබෙන්නේය. එක් එළුදෙනකගේ හිස සිඳි කාන්තාවකට එම එළු දෙනගේ ඇඟ තිබු රෝම ගණණට හිස සිඳ මරණයට පත්වීමට සිදුවිය. එක් භවයක තම අන්ධ දෙමාපියන් රවටා, කැළයට ගොස් දඬුමුගුරුවලින් පහරදීම නිසා මුගලන් තෙරුනට එතැන් සිට අන්තිම ආත්මය දක්වාම සොරුන්ගෙන් පහරකෑමට සිදු විය. වියතක් පමණ වස්ත්‍රයකින් දියබෙරලිය මලකින් බුදුරදුන් පිදූ උදවිය දිව්‍යලෝකයන්හි මහානුභාව සම්පන්න යස ඉසුරින් පිරි දේවතාවුන්, දිව්‍යාංගනාවන් බවට පත්වූයේද ඒ අනුවය.
කර්මයෙන් සියල්ල සිදු නොවුවද කර්මය මිනිසාගේ උපතේ සිට මරණය දක්වාත් ඉන් ඔබ්බටත් ප්‍රබල බලපෑමක් සිදුකරයි. කර්මයේ බලපෑමෙන් ඈත්වීමට පුද්ගලයෙකුට හැකියාවක් නොලැබෙන බව පැහැදිලිය. පෙර භවයන්හි අප රැස්කරගත් දේ අනුව මේ භවය ලැබී තිබේ. එය ජනක කර්මයයි. උපන් මොහොතේ සිට සැප සම්පත්, හෝ දුක්විපත් ආදිය ලැබෙන්නේ උපත්ථම්භක කර්මය අනුවය. කුසල ජනක කර්මයකින් උපන් අයට අතරමගදී පීඩාකාරි තත්වයන් ඇතිවීම මෙන්ම අකුශල ජනක කර්මයකින් උපන් අයට අතරමගදී සැප විපාක උදාවන්නේ උපපීඩක කර්මයේ බලපෑම හේතුවෙනි. ජනක කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවී යාමෙන් පුද්ගලයා මරණයට පත් වේ. ඒ උපඝාතක කර්ම ලෙස දක්වා තිබේ.
අප විසින් රැස්කරනු ලබන කර්මයන් විපාක දීමට යොමු වන පිළිවෙළක් තිබේ. මරණාසන්න අවස්ථාවේදී මෙලොවදී පහළ වන අන්තිම සිත වන චුති සිතට අරමුණු වන්නේ තම ජීවිත කාලය තුළ සිදුකරන ලද බරපතලම කර්මයයි. එය ‘ගරුකකර්ම ලෙස නම් කර තිබේ. එවන් බරපතල කුසල හෝ අකුසල කර්මයක් සිදුකර නොමැතිවිටක ‘ආසන්න කර්මය’ චුති සිතට අරමුණු වේ. එනම් මරණාසන්නයේදී කළ කර්මයයි. එවැන්නකුදු නොමැත්තේ නම් ජීවිත කාලයේ නිරතුරුව පුරුදු පුහුණු කළ කර්මය ඉදිරිපත් වී ඒ අනුව ප්‍රතිසන්ධිය ලැබේ. එය නම් කර ඇත්තේ ආචිණ්ණ කර්ම යනුවෙනි. නිතර නිතර සිදුකළ කර්මයකුදු නොමැති විටෙක “කටත්තා කර්මය’ චුති සිතට අරමුණු වේ. නම් කළ පමණින්, අවධානයකින් තොරව සිදුකරගත් කර්මයන්ය. මුලින් සඳහන් කර්ම නොමැති විටෙක අතගැසීමක්, මල් වට්ටියකට අත ගැසීමක්, සුළු හොරකමක් වැනි දේ කටත්වා කර්මයට ඇතුළත් වේ.
කර්මය විපාක දෙන කාලය අනුව සිවුවැදෑරුම් වේ. අප විසින් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාවක කොටසක් මෙලොවදීම විපාක ලැබේ. දිට්ඨධම්මවේදනීය කර්ම ලෙස දක්වා ඇත්තේ එයයි. යහපත් දේ සිදුකරන්නවුනට යහපත් ප්‍රතිඵල ද අයහපත් දේ කරන්නවුනට අයහපත් ප්‍රතිඵලද ඒ අනුව මේ භවයේදීම ලැබේ. පුද්ගලයාගේ මරණයත් සමඟම විපාක ලැබෙන කර්ම තිබේ. ඒවා උපපජ්ජවේදනීය ලෙස නම්කර තිබේ. ආනන්තරීය පාපකර්ම කළවුන් මරණින් පසු දුගතිවල උපත ලබන්නේද ධ්‍යාන වැඩූ උදවිය මරණින් මතු බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ උපපජ්ජවේදනීය කර්මයේ විපාක වශයෙනි. කළ මොහොතේ සිට සසර ගමනේ කෙළවර දක්වා දිගින් දිගටම නැවත නැවතම විපාක දෙන කර්ම තිබේ. එය අපරාපරිය වේදනීය කර්ම නම් වේ. හැම කෙනෙකුටම පාහේ ජීවිත කාලය තුළ හොඳ මෙන්ම නරකද දිගින් දිගට ලැබෙනුයේ ඒ අනුවය. ශීතලට අසුවී උණ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම, ගල්බොරළු පෑගීම , මැසි මදුරු උවදුරු වන හැමදේම කර්මයෙන් සිදුවන්නේ නොවේ. සෙසු නියාම ධර්මයන්ගෙන් සිදුවන බලපෑම්වලටද මිනිසාට මුහුණ දීමට සිදුවේ. සියල්ල පෙර කර්මයෙන් සිදුවේය යන පුබ්බේකතහේතුවාදය ද සියල්ල ඊශ්වරගේ හෝ බ්‍රහ්මන්ගේ කැමැත්ත පරිදි සිදුවේය යන ඉස්සරනිම්මාණවාදය ද සියල්ල සිදුවන්නේ ඉබේටය .හේතුවක් ප්‍රත්‍යයක් නොමැතිව යන අහේතුඅප්පච්චයවාදය ද බුදුදහමේ ප්‍රතිප කර ඇත. සියල්ල සිදුවන්නේ පඤ්චනියාම ධර්මයන්ට යටත්ව හේතුඵල රටාව අනුවය. ඒ අනුව සියල්ලට හේතු වන කරුණු පිළිබඳ නිවැරැදි වැටහීමක් ලබාගැනීම සම්මාදිට්ඨිය සේම සම්මාඤාණය ද වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කුසලතාවයන් වර්ධනය කරන සංසාරික පුහුණුව

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 

ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි

කෙතරම් දේශනයන් ශ්‍රවණය කරනු ලැබුවත්, එම කරුණු වටහා ගැනීමට නොහැකිවන බාධකය මාන්නාධික බවයි. නෙළුම් කොළය මත ජලය නොරැඳෙන්නාසේ ද පිරුණු බඳුනකට වතුර වත්කළාට ඵලක් නැතුවා සේද මාන්නාධික මනස ක්‍රියාකරයි.
සෙන් කතාවකට අනුව සෙන් ගුරුවරයෙකුගේ ඥානය පිළිබඳව බටහිර ලෝකය පුරා ප්‍රචලිත වීමත් සමඟම බටහිර මහා පඬිවරයෙකු සෙන් ගුරුතුමා සොයා පැමිණෙයි. ආසියාතික මැද පෙරදිග මහ ගුරුතුමන්ලා අප තරම් දාර්ශනිකයන් වෙන්නේ කොහොමද? මම ඔහු දණගස්වා එන්නම් යනුවෙන් බටහිර පඬිවරයාද ප්‍රකාශ කරයි. ගුරුතුමා විසින් සාදන ලද තේ භාජනය රැගෙන බටහිර පඬිවරයා ඉදිරියට පැමිණෙන සෙන් ගුරුතුමා භාජනය පිරෙන තෙක් තේ වත්කරයි. භාජනය පිරී ඉතිරී පීරිසියෙන් ඉවතට හැලී යන තෙක් තේ වක්කරමින් සිටින අවස්ථාවෙහි ඔබ මහා බුද්ධිමත් උගත් පඬිවරයෙකු බවට මම සිතාගෙන සිටියාට ඔබ තේ ටිකක් වත්කරගන්න දන්නේ නැහැනෙ. තේ දෝරගලමින් අපතේ යන ආකාරය තේරෙන්නේ නැද්ද? ඔබත් සමඟ කතා කිරීමත් එවැනි ඵලක් නැති කාර්යයක්.ඔබතුමා මෙම ස්ථානයට පැමිණුනේම ඔබතුමා බොහෝ දේ දන්නවා කියා සිතාගෙන.අදට තේ ටිකක් පානය කරමින් ගිහින් වෙනත් දවසක පැමිණෙන්න. යනුවෙන් මාන්නාධික පුද්ගලයාට කෙතරම් පැහැදිලි කිරීම් සිදුකළත්, දේශනයන් ශ්‍රවණය කළත් ,ඇති ඵලක් නැහැ.සියලු දේ අපතේ යයි. අපේ රටේ මිනිසුන් බණ අසන තරමට ඔවුන් නිවැරැදි නොවීමට මාන්නාධික බවත් එක් හේතුවක්.
අප ඉගෙන ගෙන තිබෙන කාරණා තරමට අප වෙනස් නොවෙන්න එවැනි හේතු බලපානවා. තණ්හා මාන දිට්ඨි යන සංයෝජන රහත් වෙන තුරු පැවතුණත් අඩුම වශයෙන් ඔබ අනතිමානි පුද්ගලයෙකුවත් විය යුතුයි.ඔබ කතා කරන්න. මම අසාගෙන සිටින්නම්. වරදක් වූ විට සමාවන්න යනුවෙන් ප්‍රකාශ කරන්න , ලස්සන දෙයක් ලස්සන බව අගය කරන්න ඔබගේ මාන්නය අඩුකර ගත යුතුයි. ඔබගේ මාන්නය අඩු නොවන තාක් ඔබ නිවැරැදි පුද්ගලයෙකු වන්නේ නැහැ.

සැකය හෙවත් ශ්‍රද්ධාව නොමැතිකම හතරවන කාරණාවයි. අතීතයේ මිනිසුන් අප තරම් ධර්ම දේශනා ශ්‍රවණය නොකළත්, ඔවුන් ළඟ ශ්‍රද්ධාව තිබුණා. වර්තමානය වන විට ශ්‍රද්ධාව නැතිව ධර්මය ශ්‍රවණය කරන නිසාම ධර්මය අවබෝධ වන්නේ නැහැ. සැකය තබාගෙන ධර්මය ශ්‍රවණය කළාට ඇති ඵලක් නැහැ.ධර්මය වැටහීමට ශ්‍රද්ධාව තිබිය යුතුයි. ශ්‍රද්ධාව ඔබ බහුශ්‍රැතයෙකු බවට පත්කරයි. ශ්‍රද්ධාව ඔබට බොහෝ කාරණා වටහා දෙයි.පැරැණි මිනිසුන් ශ්‍රද්ධාවන්තයන් වූ නිසාම ඔවුන් ධාර්මික මිනිසුන් වුණා. බහුශ්‍රැතවීමට පවතින බාධාවන් ලෙස දේශකයාට ද්වේෂ කිරීමත්, දේශනයට ද්වේෂ කිරීමත්, මාන්නාධිකබවත්, ශ්‍රද්ධාව නොමැතිකමත් , කර්ම විපාක බලවත්වීමත් දැක්විය හැකියි.
බහුශ්‍රැත වීම යනු කටපාඩම් ඇති පුද්ගලයෙකු නොවෙයි. එවැනි පිරිස් බුදු සමය තුළ ඕනෑතරම් සිටි බව සඳහන් වෙයි. සුත්‍ර,විනය,අභිධර්ම දැන ගත්තත්, අභ්‍යන්තරයෙහි පැවතුණ හිස් බව නිසාම ත්‍රිපිටකධාරී හිස් භික්ෂුව යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඇතැම් භික්ෂූන්වහන්සේලාට ආමන්ත්‍රණය කරනු ලැබුවා. මහා ප්‍රඥාවන්තයන් අතර අගතනතුරු ලැබිය යුත්තේ ආනන්ද හාමුදුරුවන් වුවත්, කට පාඩම් තිබෙන, දැනුම තිබෙන, මතක තිබෙන, භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු ලබද්දි, සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අගතනතුර ලැබුවා. ආනන්ද හාමුදුරුවන් සූත්‍ර පිටකයත් ,අසූහාර දහසක් ධර්මස්කන්ධයත් මතකයෙහි රඳවා සිටියත්, එම සැම තත්ත්වයක්ම උන්වහන්සේගේ අවබෝධය බවට පත්ව තිබුණේ නැහැ.වචන දෙකක් ශ්‍රවණය කළ සැරියුත් මහතෙරුන් වහන්සේට අසුහාර දහසක් ධර්මස්කන්ධයම අවබෝධ වුණා. යේ ධම්මා හේතුªපභවා තේසං හේතු තථාගතෝ ආහ. යන ගාම්භීර පද පේළි දෙක ශ්‍රවණය වූ විට සෝතාපන්න වුණා.අවබෝධය යනු දැනුම නොවන බව අවබෝධ කර ගත යුතුයි. එතැනට ගමන් කිරීමට සංසාරික පුහුණුවක් තිබීම අවශ්‍ය වෙයි. සිප්පංච හෙවත් හැකියාවන් දියුණු කරගැනීම අවශ්‍ය වෙයි. පුද්ගලයෙකු බහුශ්‍රැත වූ පමණින් එම පුද්ගලයාට හෝ එම පුද්ගලයාගෙන් සමාජයට හෝ ලැබිය යුතු උපරිම ඵලය ලැබෙන්නේ නැහැ. දැනුම වගේම කුසලතාවයත් තිබීම අවශ්‍යයි. පසේ බුදුරජාණන් වහන්සේත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේත්් අතර වෙනස අපට දැනෙන්නේද එවැනි ආකාරයටයි. පසේ බුදුරජාණන් වහන්සේට හොඳ අවබෝධයක් තිබුණත්,හැකියාවන් අඩුයි. සංසාරයේ පුහුණුවෙලා නොතිබුණ නිසාම අනෙකාට සන්නිවේදනය කිරීමේ දුර්වලතා පැවතුණ බව එයින් වැටහෙයි. එම නිසා දැනුම වගේම ඔබගේ විෂය පථයට අදාළ වන කුසලතා හෙවත් හැකියාවන් ඔබ තුළ උපරිමයෙන් දියුණු කරගත යුතුයි. යමි හැකියාවක් ඔහු සතුව පවතී නම්, එයම ඔහුගේ දැනුම වැඩි කරගැනීමට උපකාරී වෙයි. එයම පෙරළා ඔහුගේ ආකල්ප පැත්ත වර්ධනය කරගැනීමට උපකාර වෙයි.කිසියම් හැකියාවක් නොමැති පුද්ගලයෙකු එය දියුණු කළේ නැත්නම්, තමන්ට නොහැකිය යන මනෝභාවයන් තමා තුළ ගොඩනැඟෙයි. එම හීනමානය භයානක තත්ත්වයක්.එම හීනමානයෙන් පටන් ගෙන ඊර්ෂ්‍යාව බවට ප්‍රක්ෂේපණය වීමට පටන් ගනී. අනෙකාගේ ජීවිතවලට බලපෑම් එල්ල කරයි. නොහැකියාව පුද්ගලයෙකු තුළ නොවැඩිය යුතුයි. ගායනයද , නර්තනයද, යන්න වැදගත් නැතත් කුමක් හෝ හැකියාවක් වර්ධනය කර ගත යුතුයි. සංසාරය පුරා පුහුණුකළ දේ ඔබ සංසාරයෙන් රැගෙන පැමිණි විවිධ කුසලතාවයන් වෙයි. තමන් අඛණ්ඩව පුහුණු කරන දේ තමාගේ විඤ්ඤාණ දහරාවට එකතු වෙයි. පුබ්බේච කත පුඤ්ඤතා මතුවීමට නම්, පතිරූප දේශ වාසෝච තිබිය යුතුයි. නිවැරැදි පරිසරය ගොඩනැඟුන විගස එය අවදි වෙයි.දරුවන් තුළ පවතින කුසලතාවයන් මතු කිරීමට අම්මා තාත්තා ගුරුවරයා දක්ෂ විය යුතුයි. ගෙදර බුදුන් අම්මා යනුවෙන් කටට පැමිණි විගස ප්‍රකාශ නොකළ යුතුයි. එසේ ආමන්ත්‍රණය කිරීම සෑම දෙනාටම ප්‍රායෝගික නැහැ. මහපොළොෙවි පය ගසාගෙන සිටින නිවැරැදි අම්මා තාත්තා විය යුතුයි. දෙමව්පියන් තුළ කුසලතා වර්ධනය කරගන්නා අතර දරුවන් තුළද කුසලතා වර්ධනය කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතුයි.
විනයෝච සුසික්ඛිතෝ හෙවත් ආකල්ප හොඳින් වර්ධනය කර ගත යුතුයි. මෙත්තා හෙවත් මෛත්‍රිය පදනම විය යුතුයි. අනෙකාට මෙත් වැඩිවීමට නම්,තමා තමාට මිත්‍රශීලී විය යුතුයි. තමා තමාට ආදරය කරමින් වටිනාකමක් දිය යුතුයි. තමාගේ ජීවිතයට අර්ථයක් දිය යුතුයි. අපගේ ජීවිතයට නිරෝගිකම ලබාදීම සුවපත්භාවය ලබාදීම කළ යුතුයි .තමන් සාර්ථක නම්, අනෙකාට සුවපත්භාවය ප්‍රාර්ථනා කළ හැකියි.
සෙසු ලෝකයාට මෙත්තා දියුණු කිරීමට තමන් මෙත් සිත දියුණු කරගෙන අනෙක් පිරිස තමන්ගේ මට්ටමට ගැනීමට මිතුරු සිතින් ජීවත් විය යුතුයි. කරුණාවන්තකම දියුණු කරගත යුතුයි. කරුණාවන්තකම ප්‍රායෝගිකව නිවස තුළින් දියුණු කළ යුතුයි.නිවස තුළ ලස්සන වචන පාවිච්චි කිරීමට,වැඩිහිටියන්ට කාරුණිකව සැලකීමට ඉගැන්වීමත් සිදුකිරීම ක්‍රියාත්මක කරුණාවයි. ක්‍රියාත්මක කරුණාව දරුවන් තුළ වර්ධනය කළ යුතුවා සේම අප තුළද වර්ධනය කර ගත යුතුයි., තමන්ට වඩා කරුණාවන්ත සිතක් නැත්නම්, කවදාවත් අනෙකාට උපකාර කළ නොහැකියි.තමා තුළ කරුණාවන්තකම ගොඩනැඟීමත් සමඟ අනෙකාගේ සියලු දුර්වලකම් සහ ප්‍රබලකම් උහුලාගත හැකි වෙයි.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X