වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

වපුරන දේ අනුව ලැබෙන අස්වැන්න

දකුණු කළුතර 
ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ 
විහාරාධිපති 
මහාචාර්ය 
නෙලුවේ සුමනවංස හිමි

ලෝක ක්‍රියාකාරිත්වය පිළිබඳව විමර්ශනශීලිව බලන්නෙකුට සියල්ලම කර්මයෙන් සිදු නොවන බව තේරුම් ගැනීමට පුළුවන. හිරු සඳු උදාවීම අව්ව .වැස්ස ඇතිවීම, ගංගා ,ඇලදොළ පහළට ගලා බැසීමාදියට කර්මයේ බලපෑමක් නොමැත. ඒ ඒ තැනැත්තාට පෞද්ගලිකව බලපාන දේ සඳහා කර්මයේ බලපෑමක් ඇති වුවද ලෝක ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානුයේ සෙසු නියාම ධර්මයන්ය.
කර්මය යනු සිතා මතා කරන, කියන හා සිතන දේය. ඒ අනුව සිත, කය, වචනය යන තුන්දොරින් සිදුකරන හැම කි‍්‍රයාවක්ම කර්ම සංඛ්‍යාවට ඇතුළත් වේ.
සමස්ත විශ්වයම සකස් වී ඇත්තේ හේතුඵල රටාව අනුවය. එය නිවැරදිව වටහා නොගත් ශාස්තෘවරුන් සියල්ල සිදුවන්නේ කර්මය අනුව යැයි වැරදි මතයක් සමාජගත කර තිබේ. ‘පුබ්බේකතහේතුවාද’ යැයි පාලි මූලාශ්‍රයන්හි සඳහන් වන මෙයින්, බුද්ධ කාලය වන විටද ‘සියල්ල පෙර කර්මයෙන් සිදුවන්නේය යන ඉගැන්වීම භාරතය පුරා ව්‍යාප්තව තිබිණ. මෙම අදහස සත්‍ය නොවන බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ ලෝක ක්‍රියාකාරිත්වය සිදුවන්නේ නියාම ධර්ම පහක් යටතේ බව පෙන්වා දුන්හ. එනම් උතුනියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම හා කම්ම නියාමයයි. ශීත, උෂ්ණාදී දේශගුණික විපර්යාස නිසා ඒ , ඒ කාලයන්හි විවිධ මල්ඵල ඇතිවීම උතු නියාමයයි. බීජය අනුව අංකුර ඵල ඇතිවීම බීජ නියාමයයි. සිතක් ඇතිව, පැවතී නැතිව යාම චිත්ත නියාමයයි. ගංගා පහළට බැසයාම සුර්යයා නැගෙනහිරෙන් උදාවීමාදිය ධම්මතා නියාමයයි. තම තමන් විසින් කළ කී දෑ අනුව සැප දුක් ආදිය ලැබීම කර්ම නියාම නම් වේ. සියල්ල කර්මයෙන් සිදුවන්නේ නම් මිනිසාට හැම දෙයක්ම සිදුවන තෙක් බලා සිටිනවා හැරෙන්නට කළ යුතු යමක් නොමැත. .
චුල්ලකම්මවිභංග සූත්‍රයේදී සුභ මානවක විසින් දිගු ආයුෂ ලැබීම, කෙටි ආයුෂ ලැබීම, බහු ආබාධ, අල්පාබාධ, දුප්පත් පොහොසත්, අල්පේශාක්‍ය මහේශාක්‍යාදි ප්‍රභේද මානව සමාජය තුළ ප්‍රකට වන්නේ ඒ ඒ තැනැත්තා විසින් ඊට සරිලන දෑ සිදුකර ඇති හෙයිනැයි පෙන්වා දී තිබේ. මුගලන් තෙරුන් සොරුන්ගෙන් දඬුවම් ලැබීම, චක්ඛු පාල තෙරුන්ගේ ඇස් අන්ධවීම, පූතිගත්තතිස්ස හිමි රෝගී වීම සිදුව ඇත්තේ එසේ වීමට අවශ්‍ය දේ ඔවුන් විසින් සිදුකර තිබීම හේතුවෙනි.
ලෝක ක්‍රියාකාරිත්වය පිළිබඳව විමර්ශනශීලිව බලන්නෙකුට සියල්ලම කර්මයෙන් සිදු නොවන බව තේරුම් ගැනීමට පුළුවන. හිරු සඳු උදාවීම අව්ව .වැස්ස ඇතිවීම, ගංගා ,ඇලදොළ පහළට ගලා බැසීමාදියට කර්මයේ බලපෑමක් නොමැත. ඒ ඒ තැනැත්තාට පෞද්ගලිකව බලපාන දේ සඳහා කර්මයේ බලපෑමක් ඇති වුවද ලෝක ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානුයේ සෙසු නියාම ධර්මයන්ය. ඒ ඒ උදවිය ඒ ඒ කර්මයන් සිදුකර ඇති හෙයින් ඒවා අනුව ක්‍රියාත්මක වීමට ලෝකයට හැකියාවක් නොමැත.
කර්මය පිළිබඳ බුදුරදුන්ගේ පැහැදිලි කිරීම තමා සාදා ගනු ලබනුයේ තමාම විසින්ය. තමා තමාගේ ක්‍රියාවන්ම දායාද වශයෙන් ලබන්නේය. තමා තැනෙන්නාවු සන්දර්භය නම් තමාම කරන කර්මයෝය. තමාගේ ඥාතීන් වන්නේ තමා විසින් කරනු ලබන ක්‍රියාවන්ය. කර්මයන්ය. තමා කරන්නේ හොඳ වු ක්‍රියාවක්ද නරක වු ක්‍රියාවක්ද තමා එයට හිමිකරුවා වන්නේය, යන්නයි. පුද්ගලයා දිගු සසර ගමනක නියැලී සිටින්නේ කර්මය නිසා විපාකයත්, විපාකයන් නිසා නැවත නැවත කර්ම රැස් කිරීමත් කර්ම විපාක නිසා පුනර්භවයක් සිදුවන හෙයිනි.
බෞද්ධ ඉගැන්වීම්හි අවධාරණය කර ඇත්තේ යමක් සිදුකොට ශෝකවීමට සිදුවේද, යම් දෙයක විපාකය කඳුළින් ගෙවීමට සිදුවේද එවැන්නක් නොකරන ලෙසය. යමක් සිදුකොට පසුතැවීමට පත් නොවේද යමක විපාකය සතුටු සිතින් විඳීමට හැක්කේද එවැන්නක් කරන ලෙසය. තමාට අයහපත පිණිස පවත්නා දේ නොකිරීමට සෑම දෙනෙකු විසින්ම වගබලා ගත යුත්තේය. අස්වැන්න ලැබෙන්නේ වපුරන දේ අනුවය. විපාක ලැබෙන්නේද කර්මයට සමාන වන පරිද්දෙනි. ඒ වපුරන ප්‍රමාණය සිය දහස් ගුණයකින් වර්ධනය වී අස්වැන්න ලැබෙන්නා සේ කළ කී දෑහි ප්‍රමාණයට වඩා විපාක ලැබෙන්නේය. එක් එළුදෙනකගේ හිස සිඳි කාන්තාවකට එම එළු දෙනගේ ඇඟ තිබු රෝම ගණණට හිස සිඳ මරණයට පත්වීමට සිදුවිය. එක් භවයක තම අන්ධ දෙමාපියන් රවටා, කැළයට ගොස් දඬුමුගුරුවලින් පහරදීම නිසා මුගලන් තෙරුනට එතැන් සිට අන්තිම ආත්මය දක්වාම සොරුන්ගෙන් පහරකෑමට සිදු විය. වියතක් පමණ වස්ත්‍රයකින් දියබෙරලිය මලකින් බුදුරදුන් පිදූ උදවිය දිව්‍යලෝකයන්හි මහානුභාව සම්පන්න යස ඉසුරින් පිරි දේවතාවුන්, දිව්‍යාංගනාවන් බවට පත්වූයේද ඒ අනුවය.
කර්මයෙන් සියල්ල සිදු නොවුවද කර්මය මිනිසාගේ උපතේ සිට මරණය දක්වාත් ඉන් ඔබ්බටත් ප්‍රබල බලපෑමක් සිදුකරයි. කර්මයේ බලපෑමෙන් ඈත්වීමට පුද්ගලයෙකුට හැකියාවක් නොලැබෙන බව පැහැදිලිය. පෙර භවයන්හි අප රැස්කරගත් දේ අනුව මේ භවය ලැබී තිබේ. එය ජනක කර්මයයි. උපන් මොහොතේ සිට සැප සම්පත්, හෝ දුක්විපත් ආදිය ලැබෙන්නේ උපත්ථම්භක කර්මය අනුවය. කුසල ජනක කර්මයකින් උපන් අයට අතරමගදී පීඩාකාරි තත්වයන් ඇතිවීම මෙන්ම අකුශල ජනක කර්මයකින් උපන් අයට අතරමගදී සැප විපාක උදාවන්නේ උපපීඩක කර්මයේ බලපෑම හේතුවෙනි. ජනක කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවී යාමෙන් පුද්ගලයා මරණයට පත් වේ. ඒ උපඝාතක කර්ම ලෙස දක්වා තිබේ.
අප විසින් රැස්කරනු ලබන කර්මයන් විපාක දීමට යොමු වන පිළිවෙළක් තිබේ. මරණාසන්න අවස්ථාවේදී මෙලොවදී පහළ වන අන්තිම සිත වන චුති සිතට අරමුණු වන්නේ තම ජීවිත කාලය තුළ සිදුකරන ලද බරපතලම කර්මයයි. එය ‘ගරුකකර්ම ලෙස නම් කර තිබේ. එවන් බරපතල කුසල හෝ අකුසල කර්මයක් සිදුකර නොමැතිවිටක ‘ආසන්න කර්මය’ චුති සිතට අරමුණු වේ. එනම් මරණාසන්නයේදී කළ කර්මයයි. එවැන්නකුදු නොමැත්තේ නම් ජීවිත කාලයේ නිරතුරුව පුරුදු පුහුණු කළ කර්මය ඉදිරිපත් වී ඒ අනුව ප්‍රතිසන්ධිය ලැබේ. එය නම් කර ඇත්තේ ආචිණ්ණ කර්ම යනුවෙනි. නිතර නිතර සිදුකළ කර්මයකුදු නොමැති විටෙක “කටත්තා කර්මය’ චුති සිතට අරමුණු වේ. නම් කළ පමණින්, අවධානයකින් තොරව සිදුකරගත් කර්මයන්ය. මුලින් සඳහන් කර්ම නොමැති විටෙක අතගැසීමක්, මල් වට්ටියකට අත ගැසීමක්, සුළු හොරකමක් වැනි දේ කටත්වා කර්මයට ඇතුළත් වේ.
කර්මය විපාක දෙන කාලය අනුව සිවුවැදෑරුම් වේ. අප විසින් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාවක කොටසක් මෙලොවදීම විපාක ලැබේ. දිට්ඨධම්මවේදනීය කර්ම ලෙස දක්වා ඇත්තේ එයයි. යහපත් දේ සිදුකරන්නවුනට යහපත් ප්‍රතිඵල ද අයහපත් දේ කරන්නවුනට අයහපත් ප්‍රතිඵලද ඒ අනුව මේ භවයේදීම ලැබේ. පුද්ගලයාගේ මරණයත් සමඟම විපාක ලැබෙන කර්ම තිබේ. ඒවා උපපජ්ජවේදනීය ලෙස නම්කර තිබේ. ආනන්තරීය පාපකර්ම කළවුන් මරණින් පසු දුගතිවල උපත ලබන්නේද ධ්‍යාන වැඩූ උදවිය මරණින් මතු බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ උපපජ්ජවේදනීය කර්මයේ විපාක වශයෙනි. කළ මොහොතේ සිට සසර ගමනේ කෙළවර දක්වා දිගින් දිගටම නැවත නැවතම විපාක දෙන කර්ම තිබේ. එය අපරාපරිය වේදනීය කර්ම නම් වේ. හැම කෙනෙකුටම පාහේ ජීවිත කාලය තුළ හොඳ මෙන්ම නරකද දිගින් දිගට ලැබෙනුයේ ඒ අනුවය. ශීතලට අසුවී උණ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම, ගල්බොරළු පෑගීම , මැසි මදුරු උවදුරු වන හැමදේම කර්මයෙන් සිදුවන්නේ නොවේ. සෙසු නියාම ධර්මයන්ගෙන් සිදුවන බලපෑම්වලටද මිනිසාට මුහුණ දීමට සිදුවේ. සියල්ල පෙර කර්මයෙන් සිදුවේය යන පුබ්බේකතහේතුවාදය ද සියල්ල ඊශ්වරගේ හෝ බ්‍රහ්මන්ගේ කැමැත්ත පරිදි සිදුවේය යන ඉස්සරනිම්මාණවාදය ද සියල්ල සිදුවන්නේ ඉබේටය .හේතුවක් ප්‍රත්‍යයක් නොමැතිව යන අහේතුඅප්පච්චයවාදය ද බුදුදහමේ ප්‍රතිප කර ඇත. සියල්ල සිදුවන්නේ පඤ්චනියාම ධර්මයන්ට යටත්ව හේතුඵල රටාව අනුවය. ඒ අනුව සියල්ලට හේතු වන කරුණු පිළිබඳ නිවැරැදි වැටහීමක් ලබාගැනීම සම්මාදිට්ඨිය සේම සම්මාඤාණය ද වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X