වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි

මිය ගිය ඥාතීන් වෙනුවෙන් බෞද්ධ සම්ප්‍රදාය තුළ පින් පෙත් අනුමෝදන් කිරීමේ සිරිතක් තිබෙනවා. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනු ලබන්නේ ඇයි? යනුවෙන් යමි පුද්ගලයකු ප්‍රශ්නයක් නැගුව හොත් ‍ඒ සඳහා නිවැරැදි පිළිතුරක් අපේ බෞද්ධ සමාජය තුළ තිබෙනවාද? යන ප්‍රශ්නය නැගෙනවා.
ඥාතීන්ට, ඥාතීන් නොවන පිරිසට අසල්වාසීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නේ තුනුරුවන් පිළිබඳව විශ්වාසයක් තිබෙන පිරිස . තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් නැති අය තුනුරුවන්ගේ පිහිටයි කියා කියු පමණින් එම තැනැත්තාට පිහිටක් ලැබෙන්නේ නැහැ. තුනුරුවන්ගේ පිහිටයි කියල ආශිර්වාද කරන පුද්ගලයාටත් තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් හෝ තුනුරුවන් කවුද?කියා නොදන්නාකම නිසයි. තුනුරුවන් පිළිබඳව නොදන්නා තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් නැති පුද්ගලයකු තුනුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කළාට එයාට එය වචනයක් පමණයි.
තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් වැටහීමක් නැති නිසා එය වචනයක් මිස අදහසක් නැහැ.අප කතා කරන විට සමහර පිරිස් අදහසත් සමඟ වචන ප්‍රකාශ කරනවා. සමහර පිරිස අදහස් නැති වචන ප්‍රකාශ කරනවා. ඇතැමි පුද්ගලයන් පැය ගණන් කතා කළාට අදහස් නැති හිස් වචන පමණයි. තුනුරුවන් පිළිබඳ වැටහීමක් හැඟීමක් තිබෙන පිරිසට තුනුරුවන්ගේ සත්‍ය පිළිබඳව වැටහීමක් තිබෙනවා. දෙවියන්ගේ රැකවරණයි කියන වචනය අප කියන්න පුුරුදු වී සිටිනවා. තුනුරුවන්ගේ පිහිටයි දෙවනුව දෙවි රැකවරණයි කියල කියන්න පුරුදු වෙලා තිබින්නේ හින්දු සංස්කෘතියෙන් දෙවියන් පිළිගනු ලබන නිසා එම ආභාෂය තුළින් අපට එය උගන්වා තිබෙන නිසයි.
පොළොන්නරු යුගය තුළ අපට ලැබුණ අදහසක්. අනුරාධපුර යුගය තුළ බුදුදහම පැමිණිලා තිබෙනවා.පළමු කොටම බුදුපියාණන් වහන්සේ පිළිබඳ දැනුමක් අපට ලැබී තිබුණා. දෙවියන්ගේ රැකවරණයත් සමඟ අපට පැමිණෙන්නේ ඇස්වහ කටවහ දෝෂ සහ නවග්‍රහ අපල පැමිණෙනවාය කියන බෞද්ධ සමාජය තුළ පවතින විශ්වාසයන් පිළිබඳවයි. දෙවි රැකවරණයි කියලා කියනවා.දෙවි රැකවරණයි කියා කියන අතර තුර සෙසු පිරිසටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. සෙතක් වේවා කියමින් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳ වැටහීමකුත් ඇතිවෙන මෛත්‍රී සහගත චින්තනයකුත් තිබිය යුතුයි.
මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවාය කියන උදාරතම ඉගැන්වීම බුදුදහම තුළ පමණක් තිබෙන කාරණාවක්.මිය පරලොව ගිය තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුයි කියන අදහස ලෝකය තුළ දැනට තිබෙන කිසිම ආගමක දක්නට නොලැබෙන අතර බුදුදහම තුළ පමණක් දක්නට ලැබෙන කාරණාවක.් දාර්ශනිකයන්ගේ දාර්ශනික අදහස් නිසා ලෝකය දියුණු වුණා. මිය පරලොව ගිය ඥාතීන්ට පින් දීම බුදු දහමේ හැර වෙන දර්ශනයක නැහැ. මියගිය ඥාතීන්ට පින් දීම ලෝකය තුළ කිසිම ආගමක දර්ශනයක නැති බුදුදහම සහ බෞද්ධ දර්ශනය තුළ පමණක් මියගිය ඥාතීන්ට පින් දීම සිදුකරනු ලබනවා.
මිය පරලොව ගිය ඥතීන්ට පින් අනුමෝදන් කළ යුත්තේ කුමන හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේ මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතු බවට දේශනා කර තිබෙනවාද? යන ප්‍රශ්නයට පිළිතුර සොයා ගත යුතුයි. තමන්ගේ නමින් නැසී මිය පරලොව ගිය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පැහැදිළිව දේශනා කළා. බෞද්ධ සමිප්‍රදාය තුළ මිය ගිය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරන්නේ මැරුණ පුද්ගලයාට තිබෙන බිය හෙවත් චකිතය හෝ මැරුණ පුද්ගලයා අපට හානි කරයි කියන අදහස නිසා නොවෙයි. අපගේ ඥාතියෙක් අපත් සමඟ අමනාපෙන් සිටින කාලය තුළ මරණයට පත් වුවහොත් එම පුද්ගලයා අපට කරදරයක් කරාවි යන බියත් එම අදහසත් බෞද්ධ සමාජය තුළ පවතියි. බෞද්ධ සමාජය තුළ සිටින අයට බියක් තිබුණාට බුද්ධාගම තුළ සිටින පිරිසට එවැනි බියක් තිබෙන්න ක්‍රමයක් නැහැ. මිය ගිය ඥාතිවරයා නිවන් දකින්න පෙර මෙම සංසාරය තුළ අපට නැවත හමුවන නිසා අප මිය ගිය ඥාතීන්ට පින් අනුමොදන් කළ යුතුයි.
අද මරණයට පත්වුණ ඔබගේ ඥාතිවරයා නිවන් දැකීමට පෙර යන මෙම සංසාර ගමන තුළ නැවත ඔබට හමුවෙනවා.නැවත ඔබට එම පුද්ගලයා හමුවන විට එම ඥාතියා පැවැති ඥාති සම්බන්ධතාවෙන්ම සිටිනවාද? වෙනත් ක්‍රමයකට සිටිනවාද කියා කියන්න බැහැ. ස්වාමිපුරුෂයා ලෙස මියගිය විට නැවත සංසාරය තුළ තමන්ගේ පුත්‍රයා ලෙස,තමන්ගේ අසල්වාසීයා ලෙස, තමන්ගේ පියා ලෙස හමුවිය හැකි වුවත් එම පුද්ගලයා මෙවැනි ආකාරයෙන් හමුවිය හැකි බවට අපට කිව නොහැකියි.තමන්ගේ දරුවන් ලෙස තමන්ගේ ස්වාමිපුරුෂයා ලෙස සිටිය පිරිස පිළිබඳව බණ කතා සාහිත්‍ය තුළ සඳහන් වෙලා තිබෙනවා.
හතුරෙකුටවත් වරදක් නොකළ යුතු බවට බුදු දහම උගන්වනු ලබන්නේත් , ඔබ වරදක් කරනවාය කියා කියන්නේත් ඔබ සමාජයට වරදක් දෙනවාය කියන කාරණාවයි. සිත කය වචනය තුන් දොරින් ඔබ වරදක් කරනවාය කියලා කියන්නේ ඔබ සමාජයට වරදක් කරනවාය යන කාරණාවයි. දුන් දෙය ලැබෙන බව බුදුදහම තුළ තිබෙන ප්‍රධාන ඉගැන්වීමයි. සමාජයට ලබාදුන්න යහපත් දෙයත් අයහපත් දෙයත් යන දෙකම තමාට ලැබෙනවා.
තමන් දෙන යහපත් දෙය පමණක් ලැබෙන බව ඇතැමි බෞද්ධ පිරිස් සිතාගෙන සිටියත් අයහපත් දෙයක් දුන්න හොත් අයහපත් දෙයක් ලැබෙනවා. සතුරෙකුටවත් වරදක් නොකළ යුතු බව ප්‍රකාශ කරනු ලබන්නේත් තමන්ගේ හතුරා වුණත් තමන් වරදක් කළ හොත් එම පුදුද්ගලයා හෝ තැනැත්තිය දරුවන් ලෙස හෝ බිරිඳ ලෙස හෝ ස්වාමියා ලෙස සංසාරය පුරා පැමිණිය හැකි නිසයි. සෑම බෞද්ධයකු තුළම පවතින විශ්වාසයක් ලෙසද ථෙරවාදී බුදුදහම තුළ මිනිසා පිළිබඳව තිබෙන විශ්වාසය ලෙසද වර්තමානය තුළ ජීවත් වන සෑම පුද්ගලයකුම මතු සංසාරයේ කවදා හෝ දවසක තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණිලා සංසාර ගමන නිම කරනවාය යන අදහසයි .
අප ගමන් කරනු ලබන්නේත් එම විශ්වාසය මතයි. බුද්ධත්වය තුන් තරා බෝධියෙන් එක බෝධියක් මෙම සංසාරය තුළ ගමන් කරන පුද්ගලයා බුද්ධත්වයට පැමිණිය හැකියි. එවැනි ප්‍රාර්ථනාවන් තිබෙන පිරිස් මෙම සංසාරය තුළ අපට හමුවෙනවා.අප යන මේ සංසාර ගමන තුළ පසේ බුද්ධත්වය පතාගෙන යන පිරිස සිටිය හැකියි. මහරහත් තත්වය ප්‍රාර්ථනා කරන පිරිසක්ද සිටිය හැකියි. මෙම අවස්ථා තුන බෝධි යනුවෙන් හඳුන්වනවා.
සංසාරය තුළ මෙම බෝධි ප්‍රාර්ථනා කරගෙන සිටින පිරිස සිටිනවා. මේ පිළිබඳව වග විභාගයක් අවබෝධයක් නැති පිරිසක්ද සිටිනවා. පුද්ගලයා සංසාරය තුළ පතාගෙන යන ගමනේ අවසානය එම තත්වයයි. මෙම සමාජය තුළ ජීවත් වන විට විවිධ පිරිස් හමුවෙනවා. අපේ ඥාතිවරයෙක් මරණයට පත් වුණාට පසුව එම ඥාතිවරයා වෙනුවෙන් ලොව ජීවත් වන බෞද්ධ පිරිසට කළ හැකි පිළියම් බුදුදහම උගන්වනවා. මවු කුසට පැමිණීමත් මිය යාමත් පිළිබඳව බුදු දහම තුළ පැහැදිළිව දක්වා තිබෙනවා.
පුද්ගලයකු මරණයට පත් වුණාට පසුව එම මරණයට පත් වූ පුද්ගලයා නිමිති කරගෙන ඔහු වෙනුවෙන් යහපත් දේ කළයුතු බව .මරණයට පත්වූ පුද්ගලයා නැවත නැවත භවයන් තුළ අපට හමුවන නිසා මේ භවයේදී එම තැනැත්තා වෙනුවෙන් අප කළ යුතු යුතුකම් කොටස අප කළ යුතුයි. පුද්ගලයකු වෙනුවෙන් තමන් කළ යුතු යුතුකම් කොටස ඉටු කළා නම් තමන්ට එම පුද්ගලයාගේ මුහුණ බලා අව්‍යාජ සිනහවක් දැක්විය හැකියි. කුහක කමට කුඩුකේඩුකමට යුතුකම් නොකළ පුද්ගලයාට අව්‍යාජ සිනහවක් දැක්විය නොහැකියි. තමන්ගේ සිදුවුණ අඩුපාඩුව මුහුණ තුළ දක්නට ලැබෙනවා.
අප සිනහ වුණ පමණට සෑම සිනහවක්ම අව්‍යාජ නැහැ. පිනැති සංසාරය තුළ අපත් සමඟ එකට ජීවත් වන පිරිස මරණයට පත් වුණාට පසුව මරණයට පත්වු පිරිස වෙනුවෙන් තමන්ගේ යුතුකම් කොටස තමන් සිදුකළ යුතු බවට බුදුපියාණන් වහන්සේ දේශනා කළ කාරණාවක්. සමාජය සැම විටම අනෙකා මට කළ දේ මොනවාද? යන ප්‍රශ්නය අසමින් සිටිනවා මිස අනෙකා කළ යුතු යුතුකම් ඉටු කළාද ? නැද්ද ? කියා සොයා බැලීම එම තැනැත්තා සතු කාර්යයක් මිස තමා සතු කාර්යයක් නොවෙයි.
මම මගේ යුතුකම් කොටස ඉටු කළාද? යන්න සොයා බැලීම බෞද්ධයකුට අයත් කොටස පමණයි. අනෙකා පිළිබඳව සොයා බැලීම බෞද්ධයකුට අයත් කාරණාවක් නොවෙයි. අම්මාට තාත්තාට ගුරුවරුන්ට තම දරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සිත කය වචනය පිළිබඳව සොයා බැලුවාට එහි වරදක් නැහැ.
අනෙකාගේ අඩුපාඩු සොයා බැලීම බෞද්ධයෙකුට කිසිවිටෙකවත් අයත් නොවන කාරණාවක්. තවත් පුද්ගලයකුගේ සිත කය වචනය පිළිබඳව අඩුපාඩුවක් සොයන්න තවත් පුද්ගලයෙකුට අයිතියක් නැහැ.

මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුයි


බෞද්ධයන් ලෙස අනුන්ගේ අඩුපාඩු සෙවීමට කිසිම අයිතියක් අපට නැහැ. පරච්ත්ත විජාණන ඤාණය නැති වුණත් තව පුද්ගලයෙකු පිළිබඳව සඳහන් කරමින් ඔහුගේ සිත එතරම් හොඳ නැති බව ප්‍රකාශ කරන්නට යෙදෙන අවස්ථා තිබෙනවා. එම පුද්ගලයාගේ කට නිවැරැදි නැහැ, යනුවෙන් ප්‍රකාශ කළද, එය තමන්ට අදාල කාරණාවක් නොවෙයි. එය නිවැරැදි නැති නමි එම තත්වය බලපානු ලබන්නේද ඔහුටයි.
බෞද්ධයකු වශයෙන් කටයුතු කිරීෙමීදී කළ යුතු වන්නේ තමා නිවැරැදිද? නැද්ද? යන්න තමා පිළිබඳව සොයා බැලීම පමණයි. රහස් පොලිසිය අනෙක් පිරිස් පිළිබඳව සොයා බලනවා. වෙනත් පිරිසකගේ සිත කය වචනය පිළිබඳව සොයා බැලීමට රහස් පොලිසියට වැටුපක් ගෙවනවා. වැටුපක්වත් නොලබන අයෙක් අනුන් පිළිබඳව සොයා බලමින් අකුසල් රැස්කර ගත යුතු නැහැ.අපේ ඤාාතිවරයා වෙනුවෙන් පින්කමි කරමින් පින් අනුමෝදන් කරනු ලබන්නේ එම පුද්ගලයා මෙම සංසාරය තුළ හමුවන නිසයි.
බෞද්ධ සමාජය තුළ මැරුණ පුද්ගලයන්ට පින් පෙත් අනුමෝදන් කරනවාය කියමින් කරනු ලබන්නේ මළවුන් ඇදහීමක් ද? යන ප්‍රශ්නය නැගෙනවා.මළවුන් ඇදහීම යන කාරණාවත් අපට විසඳාගත යුතුව තිබෙන ප්‍රශ්නයක් .මළවුන් ඇදහීම එක කාරණාවක් . මිය පරලොව ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කරනවාය යන කාරණය වෙනම ක්‍රියාවක්. මළවුන් අදහන මිනිසා මැරුණ පුද්ගලයා අදහන්නේ මැරුණ පුද්ගලයාට තිබෙන බිය නිසා. මැරුණ පුද්ගලයා තමන්ට යමි වරදක් කරයි යන බිය ඔහුට දැනෙන නිසා.
මිය පරලොව ගිය තමන්ගේ ඤාතීන්ට පින් අනුමෝදන් කිරීම බුදුදහම තුළ සඳහන් කර තිබෙන කාරණාවක්. මළවුන් ඇදහීම පිළිබදව බුදු දහම තුළ උගන්වා නැහැ. ලෝකයේ තිබෙන බොහෝ ආගම් තුළ මළවුන් ඇදහීම මූලාරම්භයේ සිටම තිබෙනවා. පුද්ගලයෙකු මරණයට පත් වූ විට තිබෙන බියයි. අපත් සමඟ එකට ජීවත් වුණ පුද්ගලයෙකු මරණයට පත්වුණාට පසුව තිබෙන බිය. ආදී කාලය තුළ මිනිසකුට මරණයක් සිදු වූ විට කුමක් සිදුවුණාද? යනුවෙන් තේරුම් ගත නොහැකියි. හොඳට සිටි පුද්ගලයා එකපාරටම කතාබහ කරන්නේ නැතිව ශරීරය පණ නැතිව ගියවිට එම මිනිය ගෙදර තනිකර දමා ඔවුන් එම පරිසරයෙන් පිටව යනවා. වනගතව ජීවත් වුණ ප්‍රාථමික සමාජ තුළ නිවාස එතරමි විශාල ලෙස සාදා නොතිබුණ නිසාත් මිනියට තිබුණ බිය නිසාත් එම මිනිය ගෙදර තනිකර දමා යාමට ඔවුන් පෙළඹුණා.
මිනිසාගේ නොතේරුම්කම නිසා මෙලෙස කාලයක් ගත වුණාට පසුව මරණයට පත් වූණ පුද්ගලයා වෙනුවෙන් අප නිවස හැර යාම අවශ්‍ය නැති බව වැටහීමත් සමඟ මරණයට පත් වුණ පුද්ගලයා හොඳට රෙදි වලින් ඔතා කනත්තට ගිහින් දමන්න පටන් ගත්තා. මළමිනි සැම තැනම දැමූවිට සුනඛයන් හිවලුන් වැනි සතුන් එම මිනිය 
ආහාරයට ගන්න පටන් ගත් නිසාම කනත්ත යන කොටස වෙන් කරගෙන මරණයට රෙදි කැබලි ඔතා ගෙනවිත් දැමුවා.බුදුපියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පාංශුකූල රෙදි තුළින් සිවුර සකස් කරගැනීමට අනුදැන වදළා.මිනිය ඔතා තිබෙන වස්ත්‍රය ඉවත් කර හොඳින් සෝදා පවිත්‍ර කරගෙන ගස්වල පොතු තම්බා එම ගසේ පොතුවල පැහැය අනුව සිවුර සකස් කරගත්තා. කාලය ගත වීමත් සමඟ ශිෂ්ට සම්පන්න මිනිසා සිතන්න පෙළඹුණා.ගඳ ගසමින් ඉවත දමනවාට වඩා හතර රියනක වළ දැමීම නිවැරැදි බව අවබෝධ වුණා. වර්තමානය වන විට තාක්ෂණික දියුණුවත් සමඟම කනත්ත තුළ වළ නොදමා මිනිය පුච්චා අවසන් වූ ඇට කැබලි ගෙනවිත් සොහොන් කොත් බඳිනවා. සිහි කිරීම වශයෙන් ඤාතීන් පින්කම් කරනවා.බුද්ධාගම තුළ මළවුන් ඇදහීමක් පිළිබඳව කියවෙන්නේ නැහැ. සෑම සියලු දෙනාටම හතර වර්ගයේ ඤාතීන් සිටින බව බුද්ධාගම තුළ සඳහන් වෙනවා. හතර වර්ගයේ ඤාතීන් පිළිබඳව අප තුළ අවබෝධයක් තිබිය යුතුයි. වර්තමානයේ බොහෝ දෙනෙකුට හතර වර්ගයේ ඤාතීන් මතක නැහැ.
වර්තමාන සමාජයට ඇතැමි කාරණා පිළිබඳව සංස්කෘතික දැනුම අඩුයි.සිංහල සංස්කෘතිය පිළිබඳ දැනුම අඩු බවක් දක්නට ලැබෙනවා. සිංහල සංස්කෘතික බුද්ධාගම කුමක්ද? කියන්න දැනුම අඩුයි. දරුවෙකු හදලා වඩලා ශාසනයට පූජා කළහොත් හතර වර්ගයක් ඤාතීන් නිවන් දකින බව ප්‍රකාශ කරනවා.තමන්ගේ අමිමාගේ මවිපාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට, තමන්ගේ අමිමාගේ පිය පාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට, තමන්ගේ තාත්තාගේ මවි පාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට, තමන්ගේ තාත්තාගේ පිය පාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට යන පිරිසයි ඈතට ගිය පිරිස මරණයට පත්ව සිටියත් මෑතක සිටින පිරිස තවමත් ජීවත්ව සිටිනවා. ඈත සිටි නෑදෑයන්ට පින් අනුමෝදන් කිරීමත් බෞද්ධ සම්ප්‍රදායක්.එම පිරිස මරණයට පත්ව සිටින නිසා එම පිරිස වෙනුවෙන් අප යුතුකම් කළ යුතුයි. මෑතක සිටින ඤාතීන් සමඟ සමඟියෙන් සිටීමත් බෞද්ධ සම්ප්‍රදායක් .සමහර පිරිසට ඤාතීන් හොඳ නැති බව ප්‍රකාශ කළත් ඔවුන් සංසාරය පුරා බොහෝ අවස්ථාවල අපත් සමඟ එකට සිටි පිරිස්.ලේ ඤාතීන් ලෙස ඔවුන් හඳුන්වනවා.
ලේ ඤාතීන්ගේ බාහිර හැඩහුරුව සමාන බවක් දක්වනවා. සමහර ලෙඩ රෝගත් එක වගෙයි. ජාන තුළින් එන බව වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රකාශ වෙනවා. සංසාර පවුල් ප්‍රවේණියට අනුව එම රෝග වැළඳීෙමි ප්‍රවණතාවක් තිබෙනවා. කර්ම රෝග නමින් බණ පොතේ සඳහන් වෙනවා. ඤාතිත්වය තුළින් ප්‍රවේණියෙන් එන රෝග කර්ම රෝග ලෙස හඳුන්වනවා.මිය පරලොව ගිය ඤාතීන් අතර , ඤාතීන් වෙනුවෙන් පින් පෙත් අනුමෝදන් කිරීම මෙලොව ජීවත් වන පුද්ගලයාගේ මානසික සුවයට හේතු වෙනවා. ඔහු වෙනුවෙන් තමන් යුතුකම් ඉටුකළාය කියා තමන් මානසික සුවයට හේතු වෙනවා.එම පිරිස නැවතත් සංසාරය පුරා හමුවන විට තමන් කිසියමි සුහදත්වයකින් බැඳෙනවා.තමා තමාගේ යුතුකම් ප්‍රමාණය අනෙක් පිරිස වෙනුවෙන් කරපු පිරිසට පමණක් එම සුහදත්ව ඇතිවෙනවා. තමන්ට හරියට හතුරන් වැඩි බව ඇතැමි පුද්ගලයන් ප්‍රකාශ කරනවා.එයා සමාජයට හතුරුකමි ලබල දී ඇති බව අප වටහා ගත යුතුයි. පෙර සංසාරය පුරා හතුරුකම් ලබල දුන්න නිසා අද එම පුද්ගලයා හතුරුකම් ලබනවා. වර්තමානය තුළ හතුරුකම් නොකර සිටිය යුතුයි. හතුරටත් මෛත්‍රිය දැක්විය යුතුයි. හතුරට මෛත්‍ර්ිය කළාට පසුව හතුරුකම එතනින් අවසන් වෙනවා.හතුරාට හතුරුකම් කිරීම තුළින් නැවතත් සංසාරය තුළ මිය පරලොව ගිය පුද්ගලයකුට පින් අනුමෝදන් කරන්නේ එම පුද්ගලයාට තිබෙන බියට නොවෙයි. ඔහු සංසාරය පුරා නැවත හමු වන නිසයි. මෙලොව ජීවත් වන ඤාතීන්ට සෙත් ශාන්ති ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න තමන් පංචශිලය ආරක්ෂා කරන තුනුරුවන් විශ්වාස කරන ් තුනුරුවන් පිළිබඳ දැනුමක් තිබෙන පුද්ගලයෙකු විය යුතුයි

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලොවෙහි විස්මිත දායාදයන්ගේ අතුරුදහන් වීම

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

දීඝ නිකායෙහි පාඨික වර්ගයට අයත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලෝක උප්පත්ති කතාවෙහි සත්වයා, ප්‍රීතිය අනුභව කරගෙන, ශරීරයෙන් හටගත්තා වූ ප්‍රභාෂ්වර බව පොළොවෙහි ඇති වූ රස ඕජාව එනම් රස පොළොව, භූමි පප්පටකය, බදාලතාව, ඇල් සහල් ආදී වූ සත්වයෝ පරිභෝග කළ සියලු දේම, මේ සත්වයන් තුළ හටගත් ලාමක අකුසල් ධර්මයෝ නිසාම විනාශ වූ ආකාරය නිකිණි පුර පසළොස්වක පෝදා සිට අප කතා කරමින් පැමිණි අතර, අද අප ආහාරය නිසා ඇතිවන්නා වූ රස තෘෂ්ණාව හේතුවෙන් සත්වයා තුළ හටගත්තා වූ අකුසල ධර්මයෝ ගැන කතා කරමු.
වාසෙට්ඨයෙනි, ඒ කාලයේ එම සත්වයෝ නැවතත් එක තැනකට එක් රැස්වෙලා ඒ අය මෙහෙම කතා කරන්නට වුණා. බලන්න, මහා ඛේදයක් එනම් අපට මහා විපතක් සිද්ධ වෙලා සත්වයන්ගේ සිත්වල මලානික බවක් ඇති වෙන්නට පටන් ගත්තා.

ලාමක අකුසල ධර්ම පහළවීම

පෙර අප සිතින් ප්‍රීතිය අනුභව කරගෙන, අපේම ශරීරයෙන් හටගත්ත ප්‍රභාෂ්වර බවින් යුක්තව ශෝභන වස්ත්‍රාභරණ ඇතිව බොහෝ කාලයක් වාසය කළා. ඒ ආකාරයෙන් ජීවත් වූ අපට බොහෝ කාලයක් ඇවෑමෙන් රස පොළොවෙහි දියෙහි පැතිරීගෙන යන රස ඕජාව ඇති වුණා. එය ඉතාම පැහැපත් හා සුවඳවත් ඒ වගේ ම රසවත් බව අපට මතකයි. එදා අප ඒ රස පොළොව අත්වලින් පිඬු කොට එනම් කෑලි බවට කඩා අප ආහාරයට ගත්තා. රස පොළොව ආහාරයට ගැනීමත් සමඟ අපගේ ශරීරයේ තිබූ ප්‍රභාෂ්වර බව බබළන ස්වභාවය නැතිව යන්නට පටන් ගත්තා. අපට මතකයි, එය අතුරුදහන් වුණාට පසුව සඳු හිරු පායාගෙන ආවා. ප්‍රකට වුණා. සඳු හිරු ආරම්භයත් සමඟ නැකත් තාරකාවෝ පහළ වුණා. නැකැත් තාරකාවෝ පහළ වූ පසු රාත්‍රිය හා දහවල ආරම්භ වුණා. රාත්‍රිය හා දවල් ආරම්භයත් සමඟ මාස, පක්ෂ, ඍතු ආදී වශයෙන් කාලය සකස් වුණා. එදා ඒ අප පොළොව පරිභෝග කරමින් වළඳමින් ආහාර කොටගෙන බොහෝ කාලයක් ජීවත්ව සිටියා.

ඒ අතර ලාමක අකුසල් දහම් පහළ වීමම රස පොළොව අතුරුදහන් වුණා. රස පොළොව අතුරුදහන් වූවාට පසුව භූමි පප්පටකය පහළ වුණා මතකයි. අප ඒ භූමි පප්පටකය පරිභෝග කරමින් කාලයක් ජීවත් වුණා. අන්න ඒ කාලයේ දී නැවතත් ලාමක අකුසල් ධර්ම අපගේ සිත්වල පහළවීම භූමි පප්පටක අතුරුදහන් වුණා. එය අතුරුදහන් වූවාට පසුව ඉතාම රසවත් සුවඳවත් බදාලතාව පහළ වූ අතර එය පරිභව කරමින් ජීවත්වන අතර නැවතත් ලාමක අකුසල ධර්ම සිත්වල පහළවීම නිසා බදාලතාවත් අතුරුදහන් වූවා. එයත් අතුරුදහන් වූවාට පසුව නොසාන ලද බිමෙහි කුඩු නැති දහයියා නැති පැසුණු පිරිසුදු සුවඳැති සහල්ම විශේෂයක් පහළ වුණා. අප එයත් පරිභෝග කරමින් බොහෝ කාලයක් ජීවත් වන අතර, අප තුළ ලාමක අකුසල් දහම් පහළ වීම නිසා අර ඇල් සහල්වල කුඩුයි සහල වසාගෙන දහයියාත් බැදෙන්නට පටන් ගන්නා ලදී. පරිභෝගය සඳහා පෙර දින සවස කපා ගත් පසු දින උදයේ යළි එතැන ඇල් සහල් වැවුණේ නැහැ. වැවුණ ද ඉතා අඩුවෙනි. වාසෙට්ඨයෙනි, එවිටය ඒ සත්ව පිරිස තෘෂ්ණාවේ ගැඹුරට යමින් ඇල් සහල් බෙදා ගන්නට, සීමා තබන්නට පටන් අර ගත්තා. එලෙසම තෘෂ්ණාවේ ගැඹුරට ක්‍රමයෙන් මේ සත්වයෝ යන්නට පටන් අරගෙනයි තියෙන්නේ.

සොරකමේ ඇරඹුම

වාසෙට්ඨයෙනි, එකල්හි ආශාවන්ගෙන් පිරුණු, එනම් ලෝල එක්තරා සත්වයෙක් තමන්ට බෙදා වෙන්කර දෙන ලද කොටස රැක ගනිමින් එනම් තමාගේ කොටස තබාගෙන තමන්ට නොදෙන ලද කොටසක් පරිභෝගය සඳහා හොරෙන් එනම් අන් අයකුගේ කොටසක් ගෙන යෑමට සූදානම් වන විටම අන්‍යයන් ඔහු අල්ලා ගන්නා ලදී. නුඹ නුඹගේ කොටස රැකගෙන තමන්ට නොදුන් කොටසක්ගෙන පරිභෝග කිරීම ඒකාන්තයෙන් ම ලාමක එනම් ඉතාම වැරැදි ක්‍රියාවක් නුඹ කළා, මින් පසු එසේ නොකරන්නයැයි ඔහුට අවවාද කළා.
වාසෙට්ඨයෙනි ඒ සත්ව තෙම එසේය බවත්ති කියා අවවාද දුන් අයට පිළිවදන් දුන්නා. එනම් වරද පිළිගත්තද, දෙවෙනිවරත් ඒ සත්වයා තමන්ගේ කොටස රැකගන්න, තමාට නොදුන් තවත් එක්තරා කොටසක් පරිභෝගය සඳහා සූදානම් වූවා. දෙවැනිවර ද නුඹ ලාමක ඉතාම වැරැදි දෙයක් කළා යළිත් මෙවැනි ක්‍රියාවක් නොකරන ලෙස අන්‍යයන් දැඩිව අවවාද කළා. එනමුත් අර සත්වයා තමන්ගේ කොටස රැකගෙන තමන්ට නොදුන් තවත් අන්‍යයකුගේ කොටසක් ගෙන පරිභෝග කරනවා. මෙය ලාමක පහත් ක්‍රියාවක් යළිත් මෙබන්දක් කරන්න එපා යැයි තුන්වන වතාවටත් අවවාද කළා. එපමණක් නොව කෙනෙක් අතින්, ගලකින්, දණ්ඩයකින් පහර දුන්නා. එතැන් පටන් සොරකම සකස් වෙනවා. බොරුකීම, ගැරහුම, දඬුවම් කිරීම ආරම්භ වෙනවා.
ලෝක උප්පත්ති කතාව විමසා බලන අපට මනුෂ්‍යයන්ගේ රස තෘෂ්ණාවෙන් ආරම්භ වූ කතාවෙන් සත්වයන් ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මුසපත්ව වර්ගයා බෝවීම ආරම්භ කරමින් අනතුරුව ආහාරයෙන් ඇතිකර ගන්නා වූ රස තෘෂ්ණාවෙන් සොරකමත්, බොරුවත්, පහරදීමත්, දඬුවම්දීමත් ආරම්භවන ආකාරය ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. මේ සියල්ලටම මුල නම් තෘෂ්ණාව බවත් රස

තෘෂ්ණාව බවත් ඉතාම හොඳින් පැහැදිලියි.

වර්තමානයේ දී පවා බොහෝ ගැටලුවලට බොහෝ විපත්වලට හේතුව මේ තෘෂ්ණාව බවම ඉතාම පැහැදිලියි. මේ තෘෂ්ණාව වර්තමානයේ අප රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් හඳුන්වනවා. මේ තණ්හාව ආරම්භයේ දී කෙසේ සකස් වූයේ දැයි මේ ලෝකෝප්පත්ති කතාවෙන් දැන් අපට පැහැදිලියි. ආහාරය නිසාම සත්වයෝ මේ තෘෂ්ණාවට මඟ සාදාගෙන ඇති බව මෙහි දී මේ කතාවෙන් පැහැදිලියි. එහෙත් කාමරාගය හෙවත් පරිදාහය හටගත්තේ සත්වයන්ගේ ස්ත්‍රී – පුරුෂ භේදය ඇතිවීමෙන් අනතුරුවයි. එහෙම නම් තෘෂ්ණාව එක් ආකාරයකින් කාම තෘෂ්ණාව හැටියට රාගය හැටියට පැන නැගුණු අතර අනික් ආකාරයෙන් දිවේ හටගත් රස තෘෂ්ණාව හැටියටත් ඒ නිසා ම සොරකමත්, ගැරහීමත්, බොරුකීමත්, දඬුවම්ලබාදීමත්, ආරම්භවන බව පැහැදිලියි.
බුදුරජාණන් වහන්සේ නැවතත් මෙසේ අනුශාසනා කරනවා. වාසෙට්ඨයෙනි, ඉක්බිති ඒ සත්වයෝ නැවතත් රැස්වෙනවා. එසේ රැස්වෙලා මේ ආකාරයට කතා කරනවා. මහත්
වූ විපතක් අපට වෙලා තියෙනවා. යම් කෙනෙකු කෙරෙහි සොරකම පැන නගිනවාද? ගැරහුම් ඇති කරනවාද, බොරු කියනවාද? දඬුවම්දීම ඇති වෙනවාද? එම සත්වයන් කෙරෙහි එසේ වූ ලාමක අකුසල ධර්ම කෙනෙක් සකස් වෙනවා ද, යමෙක් අපගෙන් දොස් නැගිය යුත්තාට මොනවට දොස් නගන්නේද? ගැරහිය යුත්තාට මොනවට ගරහන්නේ ද? නෙරපිය යුත්තාට මොනවට නෙරපන්නේ ද? කියා තීරණය ගැනීම සඳහා එක් සත්වයකු සම්මත කරගන්නේ නම් ඉතාම හොඳයි. අප ඔහුගේ සේවය වෙනුවෙන් අපගේ ඇල් සහල් කොටසෙන් කොටසක් දෙමුයි. මේ එක් රැස් වූ පිරිස කතා කර ගත්තා.
එනම් යම් කෙනෙක් සොරකම් කරන විට එය සොරකමක් කියා තීරණය කරන්නත් බොරු කියන අය බොරු කිව්වා යැයි තීරණය කරන්නත්, කාටද දඬුවම් කළ යුත්තේ කියා තීරණය කරන්නත් අපට කෙනෙක් අවශ්‍යයයි. අන්න ඒ අය විසින් ගරහන අය ගැරහිය යුතු අය ලෙස ද, නෙරපිය යුත්තා නෙරපිය යුත්තා හැටියට දක්වන්න අවස්ථාව, අයිතිය ඇති නායකත්වයක් අපට අවශ්‍යයයි. අප ඔහුට ඔහුගේ සේවය වෙනුවෙන් ඇල් සහල් කොටස බැගින් ලබා දෙමු කියන අදහසයි.

මහා සම්මත රජු...

රජ පරපුරේ ආරම්භය

මෙසේ කතා කරගත්ත මේ සත්වයෝ ඒ අය අතරින් හැමට වඩා රූප සම්පන්නවත්, දැකුම්කළුවූත්, වඩා සිත් පහදන සුළු වූත් තේජසක් තියෙන පුද්ගලයා වෙතට ගොස් නුඹ මෙහි එන්න. දොස් නැගිය යුත්තාට නිසි පරිදි දොස් නගන්න. ගැරහිය යුත්තාට ගරහන්න, නෙරපිය යුත්තා නෙරපන්න, අප වනා හි ඔබට හැල් සහල් කොටස බැගින් දෙන්නමියි කීවා. එසේ යැයි කියා ඒ සත්ව තෙම පිළිවදන් දී නායකත්වය භාරගත්තේ ය.
වාසෙට්ඨයෙනි, මහජනයා විසින් සම්මතකොටගෙන පුද්ගලයෙකුට බලයක් ලබාදීමෙන් මහා සම්මත කියන අදහස ඇති වුණා. රාජ්‍යයත්වයේ ආරම්භය එතනයි. වාසෙට්ඨයෙනි, කුඹුරුවල හෙවත්
ක්ෂත්‍රීයවලට අධිපති යන අදහසින් ක්ෂත්‍රීය යැයි දෙවැනි වර හඳුන්වනු ලැබුවා. දැහැමින් අන්‍යයන් සුවපත් කෙරේ, සතුටු කෙරේ, යන අදහසින් රජයැයි කියා තෙවැනි වරටත් නම ඇති වුණා. පළමුව සම්මත කියා ද දෙවනුව
ක්ෂත්‍රීය කියා ද තුන්වනුව රජු කියා ද නම පැවතුණා.
මෙන්න මේ ආකාරයට තමයි පැරණි ලෝකය තුළ කුල සම්මතය ඇතිවුණේ. ඒ ආකාරයෙන් විස්තර කරලා බුදුරජාණන් වහන්සේ නැවතත් වදාළා. ‘ඒ නිසා පින්වත් වාසෙට්ඨයෙනි, මෙලොවත් පරලොවත් ජනයාට ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි’.
- දීපා පෙරේරා

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කුසල් යනු මොනවාද?

ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

සබ්බ පාපස්‌ස අකරනං කුසලස්‌ස උපසම්පදා
සචිත්ත පරිදොaදපනං ඒතං බුද්ධාන සාසනං

සියලු පව් නොකරන්න. කුලසයෙහි යෙදෙන්න. තම සිත දමනය කරන්න. එය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි. පාපය නම් අපායාදී දුගතීන්හි දුක්‌විඳීමට සිදුවන ක්‍රියාය. සිත, කය වචනයෙන් එබඳු පාප ක්‍රියාවන්ගෙන් වැලකිය යුතුය. පාපයෙන් වැළකීම පමණක්‌ නිවනට හේතු නොවේ. නිවනට හේතුවන්නේ කුසල් කිරීමයි. කුසලයෙහි යෙදීමයි. සමහර දෙනා පාපයෙන් වැළකී සිටින අතර කුසල් නොකරයි. මේ දෙකම සිදුවිය යුතුය. බුදුසමය අක්‍රීයව අවබෝධ කළ හැක්‌කක්‌ නොවේ. සක්‍රීයව කළ යුත්තකි. එබැවින් කුසල් කිරීමට නම් කුසලය යනු කුමක්‌දැයි පළමුව හඳුනාගත යුතුය.
කුසල ක්‍රියා බොහොමයක්‌ ත්‍රිපිටකය තුළින් හඳුනාගත හැකිය. එබඳු ක්‍රියාවන් මොනවාදැයි කිහිපයක්‌ පමණක්‌ හඳුනා ගනිමු. අ.නි. පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ කුසල උපදවන පින් උපදවන කරුණු අටක්‌ දක්‌වා ඇත. එනම් ආර්ය ශ්‍රාවකයා විසින් තථාගත බුදුරජාණන් වහන්සේ සරණ යැම. මෙය කුසල උපදවන පින් උපදවන සැප ගෙන දෙන අග්‍ර රූපාදී සම්පත් හිමිවන සැප විපාක ඇති ස්‌වර්ගාදියෙහි උපතට හේතුවන පළමු කරුණයි. මෙයින් පින් කුසල් උපදවයි. පුඤ්ඤාභිසන්දති කුසාභිසන්දති. එමෙන්ම උතුම්ම ධම්මරත්නය සරණ යැම, උතුම් සංඝරත්නය සරණ යැම, පළමු කාරණා තුනයි. එමෙන්ම මහා දාන පහක්‌ දිය යුතුය. එනම් ප්‍රාණ ඝාතයෙන් වැලකී අප්‍රමාණ සත්වයන්ට අභය අවෙරය නිදුක්‌බව දයාවදී ඊට හිමිකාරයෙන් වීම හා සත්ව ඝාතනයෙන් වැළකී මහණ බමුණන් සඳහා මහා දානය දීමයි. එපමණක්‌ද නොව සොරකමින් වැළකී, කාමයෙහි වරදවා හැසිරමෙන් වැලකී බොරු කීමෙන් වැළකී, මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකී මහා දන් දිය යුතුය. දානය කුසලයක්‌ වන්නේ එවිටය. මෙම කරුණු අට කුසල උපදවන සැප විපාක ලබාදෙන ක්‍රියාවන් ලෙස දක්‌වා ඇත. මෙයින් පෙන්වා දෙන්නේ පංචසීලය නොකඩා දන්දිය යුතු බවයි. පංචසීලය බිඳිමින් දෙන දානය උසස්‌ ඵල සහිත කුසලයක්‌ නොවන බව මෙමගින් අවබෝධ කරගත යුතුය.
අ.නි. කුසල සූත්‍රයේ දැක්‌වෙන්නේ කුසල නම් කතමඤ්ච භික්‌ඛවේ කුසලං පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී ආදී ලෙස දැක්‌වෙන්නේ කුසල නම් ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකීම, බොරුකීමෙන් වැලකීම, කේලම් කීමෙන් වැළකීම, පරුෂ වචනයෙන් වැළකීම, අභිද්‍යාව හෙවත් අන්සතු වස්‌තුවෙහි ලෝභ නොකිරීම, ව්‍යාපාදය හෙවත් තහරවෙන් වැළකීම හා සම්මා දිට්‌ඨිය ආදියයි. මෙම සූත්‍රයට අනුව කය, වචනය, සිත යන තුන්දොරින් කරන යහපත් ක්‍රියා කුසල වන අතර අයහපත් ක්‍රියා අකුසල නම් වේ. ඒ අනුව තිදොර සංවර කිරීම කුසලයට අයත් වේ. එමෙන්ම ස.නි.පබ්බතූපම සූත්‍රයේදී කොසොල් රජතුමා දේශනා කරන්නේ ජරාවෙන් හා මරණයෙන් පීඩාවට පත්වන සත්වයා විසින් පින් කුසල් කළ යුතු බවයි. එම පින් කුසල් නම් ධම්චරියා සමචරියා හෙවත් දස කුසල්ය. දස කුසල නම් ඉහතින් සඳහන් කළ කුසල්ය. තවද අ.නි.චුන්ද සූත්‍රයේ දැක්‌වෙන්නේ මිනිසාගේ පිරිසිදු බව ඇතිකරන්නේ දස කුසල බවයි. ආර්ය ධර්මයේ ආර්ය විනයේ පිරිසිදු වන ධර්මය නම් දස කුසල්ය. තවද ම.නි. වේරඤ්ජන සූත්‍රයෙ දැක්‌වෙන්නේ දස අකුසල හෙවත් අධම්මචරියා විෂමචරියා කිරීමෙන් මරණින් පසු සැපයෙන් තොරවූ නපුරු ගති ඇති, විසව වැටෙන,අපාය නිරයාදියෙහි උපත ලැබීමට සිදුවන බවත්, දස කුසල් කිරීමෙන් මනා ගති ස්‌වභාව ඇති ස්‌වර්ගයේ උපත ලැබීමටත් හේතුවන බවයි. මේ අනුව දස කුසල් වැඩිය යුතුය. වර්ධනය කළ යුතුය. එය දෙලොව යහපතටම හේතුවන අතර නිවන සඳහා විශේෂයෙන් හේතුවේ.
ස.නි. අකුසල ධම්ම සූත්‍රයේ දැක්‌වෙන ආකාරයට අකුසල නම් මිච්ඡා දිට්‌ඨි, මිච්ඡා සංකප්ප, මිච්ඡා වාචා, මිච්ඡා කම්මන්ත, මිච්ඡා ආජීව, මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි යන අනාර්ය අෂ්ටාංගික මාර්ගයයි. කුසල නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුත්තකි. සීල, සමාධි, ප්‍රඥ ලෙස මෙය වැඩිය යුතුය. අරි අටඟි මඟ දම්සක්‌ පැවතුම් සූත්‍රයේ දැක්‌වෙන්නේ දුක්‌ඛ නිරෝධ ආර්ය සත්‍යය ලෙසය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීමෙන් තණ්‌හාවන්ගේ ඉතිරි නොමැතිව දුරුකිරීමක්‌, අතහැරීමක්‌ ඉතිරි නොකොට අත්හැරීමක්‌ මිදීමක්‌ ආලය නොකිරීමක්‌ ඇද්ද එම මාර්ගාංග අට දුක්‌ දුරුකරන ප්‍රතිපදාව වන්නේය. තථාගතයන් වහන්සේට පෙර නොඇසූ ධර්මයෙහි අවබෝධය ලැබෙන්නේ දුක්‌ඛගාමිණි පටිපදාඅරිය සච්චං භාවේතබ්බන්ති මේදුක්‌ඛ ගාමිණී ප්‍රතිපදා ආර්ය සත්‍යයවැඩිය යුතුය යනුවෙනි. එනිසා නිර්වාණාවබෝධය සඳහා මග වර්ධනය කළ යුතුය. වර්ධනය නොකරන්නක්‌ ඉබේ වර්ධනය නොවේ. මෙම වැඩීම වර්ධනය කිරීම මනාව තේරුම් ගෙන ක්‍රියාකළ යුතුය. මෙයින්ද කුසලය යනු වැඩිය යුත්කක්‌ බව පැහැදිලි වේ.
ස.නි. අපාර සූත්‍රයට අනුව කණ්‌හං ධම්මං විප්පහාය සුකකං භාවේථ පණ්‌ඩිතෝ පණ්‌ඩිතයා අකුසල් අතහැර කුසල් වඩන්නේය. කුසල් නම් කවරක්‌ද යත් සප්ත බොජCධංග ධර්මයෝය. සති ධම්මවිචය, විරිය පීති පස්‌දද්ධි, සමාධි, උපේක්‌ඛායන බොඡ්ධංග ධර්මයෝය. බොCධංග නම් අවබෝධය පිණිස පවත්නා ධර්මයෝය. කුමක්‌ අවබෝධය පිණිසද? අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. උතුම් චතුරාර්ය සත්‍යය දැනුම පිණිස, අවබෝධය පිණිස නිවන පිණිස පවතින්නේය. මෙයද වැඩිය යුත්තකි. භාවිත කළ යුත්තකි. භාවිතා බහුලීකතා යනුවෙන් දැක්‌වෙන මෙම ධර්මයන් වැඩීමෙන් නිර්වාණාවබෝධය කළ හැකි බව දැක්‌වේ. තවද ස.නි. කුසල සූත්‍රයට අනුව පෙන්වා දෙන්නේ මහණෙනි යම් දහමක්‌ කුසල වෙයිද එය අප්‍රමාදීබව මූලිකකොට ඇත්තේය. අප්‍රමාදයෙහි ඇතුළත් වූවෝය. අප්‍රමාදවී බව එයට අග්‍රවේය යනුවෙනි. ඒ අනුව අප්‍රමාදීව සප්ත බොජජධංග වඩන්න. එය වැඩිය යුත්තේ විවේකයෙන් යුතුව විරාගයෙන් යුතුව, තණ්‌හාව දුරුකිරීම පිණිස, නිවන කෙළවර කොටය. මෙය වැඩිය යුත්තක්‌ මෙන්ම නිවන් පිණිස හේතුවන්නකි.
ස.නි. කුසලරාසි සූත්‍රයට අනුව කුසල් රැස නම් කියන්නෙක්‌ සතර සතිපට්‌ඨානය කියන්නේය. කුසල් රැස නම් කායානුපස්‌සනාව, වේදනානුපස්‌සනාව,, චිත්තානුපස්‌සනා හා ධම්මානුපස්‌සනාවයි. මෙම සතිපට්‌ඨාන වැඩීමෙන් ලැබෙන්නේ මොනවාද? ආතාපිසම්පජාතෝ සමිතා විනෙයHලෝකේ අභිජCධා දොමනස්‌සං. කෙලෙස්‌ තවන වීර්යය ඇතිව මනා දැනුමෙන් යුතුව, සිහියෙන් යුතුව ලෝකය කෙරෙහි දැඩි ලෝභය හා දොම්නස දුරුකොට වානය කරන්නේය. මෙය කුසල් රැසකි. කේවලෝ අයං භික්‌ඛවේ කුසලරාසී. මෙම කුසලය වැඩිය යුත්තකි. තව ද අකුසල රාසි නම් පංච නීවරණ ධර්මයෝය. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්‌කුච්ච, විචිකිච්ඡා යනුයි. ඒවා අකුසල්ය. අකුසල් යටපත් කළහැක්‌කේ කුසලය වැඩීමෙනි. එනම් සතර සතිපට්‌ඨානයයි. එයින් ලබන ඵලය නම් නිර්වාණාවබෝධයයි.
අ.නි. අකුසල සමාපත්ති සූත්‍රයට අනුව අකුසල නම් කුසලයෙහි සද්ධාව,හිරි, ඔතප්, වීරිය, පඤ්ඤා නැති බවයි. කුසලය නම් කුසල් කිරීමෙහි සද්ධාව ඇතිබව, කුසලයට ඇති ලැඡ්ජාව, කුසලයෙහි බිය ඇති බව, කුසලයෙහි වීර්ය ඇති බව, කුසලයෙහි ප්‍රඥ ඇති බවයි. මෙසේ ඇතිකළ අකුසල් දුරුකළ හැකිය. කුසලය උපදවා ගත හැකිය. මෙම කරුණු පහ වැදගත් වන්නේ නිවන් අවබෝධය සඳහාය. එනිසා මෙය වැඩිය යුත්තකි.
ම.නි. සේවිතාසේවිතබ්බ සූත්‍රයේ දැක්‌වෙන ආකාරයට සේවනය කළ යුතු හා සේවනය නොකළ යුතු ධර්ම රාශියක්‌ ඉගැන්වේ. යමක්‌ සෙවීමෙන් කුසල වැඩේ නම් එය සෙවිය යුතුය. එබඳු සේවනය කළයුතු දේ නම් කයින් කරන ප්‍රාණ ඝාතයෙන් වැලකීම, සොරකමින් වැළකීම, කාමයේ මිසහරසින් වැළකීමයි හා කායික කුසල් සිදුකිරීමයි. වචනයේ කුසල් වැඩෙන වචන කිව යුතුය. බොරු නොකියා සත්‍ය කීම, කේලම් නොකියා සමගිය පිණිස කතාකිරීම, පරුෂ වචන නොකියා මිහිරි වචන කීම, සම්පප්‍රලාප නොකියා අර්ථවත් වචනකීම යනාදියයි. තවද සිතින් කුසල් වැඩෙන සිතිවිලි සිතිය යුතුය. එනම් අනුන් අයත් දෙය තමාට අයත් වේවායි නොසිතීම, ව්‍යාපාදය බැහැරකොට මෛත්‍රිය කිරීම, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව සම්මා දිට්‌ඨිය ඇතිකර ගැනීමයි. තවද ඇසින් අකුසල් වැඩෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ෂ සෙවිය යුතුය. එමෙන්ම අකුසල වැඩෙන චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලන්පස, ගම, නියම්ගම, නගරය, පුද්ගලයන් සේනය නොකළ යුතුය. කුසල් වැඩෙන චීවර, පිණ්‌ඩපාත, සේවනය, ගිලන්පස, ගම, නියම්ගම, නගරය, පුද්ගලයා සේවනය කළයුතුය. මෙම ධර්ම කරුණු විස්‌තර වශයෙන් දැන කුසලයෙහි යෙදෙන බ්‍රාහ්මණ, ක්‌ෂත්‍රීය, වෛශ්‍ය, ක්‌ෂුද්‍ර යන ඕනෑම කෙනකුට දීර්ඝ කාලයක්‌ හිත සුව සැප පිණිස පවතින්නේය.
ඉහත සඳහන් වන ආකාරයට කුසල යනුවෙන් සූත්‍ර ගණනාවකම දැක්‌වෙන්නේ තම තමන් තුළ ඇතිකරගනු ලබන දක්‌ෂතාවන්ය. එය සිත, කය, වචනයෙන් සිදුකරන යහපත් ක්‍රියාය. තවද යමක්‌ කිරීමෙන් නිවන් පිණිස හේතුවේ නම් එය කුසල ගණයට ඇතුළත් වේ. මේ අනුව සත්තිස්‌ බෝධිපාක්‌ෂික ධර්ම වන සතර සතිපට්‌ඨාන, සතර සම්‍යක්‌ ප්‍රධාන වීර්යය, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංචබල, සප්ත බොඡ්ධංග, ආර්ය අෂ්ටාංගි මාර්ගය වැඩීම කුසල් වේ. මෙම ධර්ම සම්මා වායාම, සති යන්නෙහි පිහිටා වැඩිය යුතුය. බුද්ධ ශ්‍රාවකයන් වන භික්‌ෂු - භික්‌ෂුණී, උපාසක - උපාසිකාවන් ලෙස මෙම උතුම් කුසලයෙහි අප්‍රමාදීවීමට බුදුහු අනුශාසනා කළහ.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අකුසලය බැහැර කර කුසලය සම්පාදනය කර ගනිමු

ලොවෙහි පුද්ගලයින් නොයෙකුත් ආකාරයට වර්ගීකරණය කළහැක. ඒ ඒ අයගේ හැකියාවන්, දැනුම, තරාතිරම, රැකියාව ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් අනුව සිදුකෙරෙන වර්ගීකරණයන්ට අනුව ඒ ඒ පුද්ගලයා, ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ කුමන මට්ටමක සිටින්නේද? යන්න තීරණය කළ හැක. ඒ ඒ වර්ගීකරණයන් අතර පුද්ගලයන් ඉහළ තලයකට එසවෙන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ නිවැරදි භාවිතය හේතුවෙනි.
ධර්ම මාර්ගය යනු ලෞකික දියුණුව පමණක් නොව තම සංසාරික ජීවිතයම නිවැරදි කරන උතුම්ම භාවිතයයි. එම ධර්මය තමන් කොපමණකින් භාවිතා කර ඇත්ද? යන්න විමසා බැලීම, නිබඳව කළ යුත්තකි. අප මහා සර්වඥෝත්තමයාණන් වහන්සේ ධර්ම මාර්ගය භාවිතා කරන ඇත්තන්ගේ භාවිතාව අනුව කුමන මට්ටමක සිටින්නේද? යන්න දැන ගැනීම සඳහා තම අනුගාමිකයින් වර්ගීකරණයකට ලක් කළ එක් වටිනා අවස්ථාවක් අංගුත්තර නිකායේ සත්වන නිපාතයේ දෙවන පන්නාසකයේ මහා වග්ගයේ ධම්ඤ්ඤු නම් සූත්‍ර ධර්මයේ අවසන් භාගයේ සඳහන්ව ඇත. සාමාන්‍ය පුද්ගල වර්ගීකරණයන් අතර සුවිශේෂීම හා උතුම්ම වර්ගීකරණයක් ලෙස මෙම වර්ගීකරණයන් ගත යුතු වන්නේ ලොවෙහි උතුම්ම සැනසීමේ මාර්ගයේ තමන් කුමන මට්ටමක සිටිනවාද? යන්න තේරුම් ගත හැකි බැවිනි.
ඒ ඒ පුද්ගලයාගේ මානසික දියුණුව අනුව ධර්මය තුළ ක්‍රියාත්මක වන ආකාරය තීරණය වේ. එබැවින් මෙම වර්ගීකරණයට අනුව තමන්ගේ රුචිකත්වයන් සත්‍යවාදීව විමසා බැලීමෙන් තමන් ධර්මය තුළ සැබෑවටම කුමන මට්ටමකට අයත් දැයි තමන්ටම තීරණය කර ගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ මෙම පුද්ගල වර්ගීකරණය දේශනා කර ඇත්තේ පහත සඳහන් ආකාරයට ඒ ඒ කරුණින් පුද්ගලයා පැසසිය යුතු බවටත්, ගැරහිය යුතු බවටත් පත්වන බව අවධාරණය කරමිනි.
1. මූලිකව පුද්ගලයන් දෙදෙනෙකු විද්‍යාමාන වේ. ආර්යයන් දක්නට කැමති පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. ආර්යයන් දක්නට අකැමැති පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
2. ආර්යයන් දක්නට කැමති පුද්ගලයන් දෙදෙනෙකු වේ. සදහම් අසනු කැමති පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. සදහම් අසනු අකැමැති පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
3. සදහම් අසනු කැමතිි පුද්ගලයන් දෙදෙනෙකු වේ. යොමු කළ කන් ඇතිව ධර්මය අසන පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. යොමු නොකළ කන් ඇතිව ධර්මය අසන පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
4. යොමුකළ කන් ඇතිව ධර්මය අසන පුද්ගලයන් දෙදෙනෙකු වේ. අසා එම ධර්මය ධාරණය කරන පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. අසා එම ධර්මය ධාරණය නොකරන පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
5. අසා එම ධර්මය ධාරණය කරන පුද්ගලයන් දෙදෙනකු වේ. ධාරණය කරන ලද ධර්මයේ අර්ථය පිරික්සන පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. ධාරණය කරන ලද ධර්මයේ අර්ථය නොපිරික්සන පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතුවේ.
6. ධාරණය කරන ලද ධර්මයේ අර්ථය පිරික්සන පුද්ගලයන් දෙදෙනෙකු වේ. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන් පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට නොපිළිපන් පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
7. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන් පුද්ගලයන් දෙදෙනෙකු වේ. ආත්මහිත සඳහා පිළිපන් පරහිත සඳහා පිළිපන් පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. ආත්මහිත සඳහා පිළිපන් පරහිත සඳහා නොපිළිපන් පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
මෙම උතුම් බුදු වදන් තුළින් අපට අනාවරණය කර ගත හැකි කරුණු බොහොමයකි. පිළිවෙලින් මෙම අවස්ථා හත දෙස බලන විට පෙනී යන්නේ පියවරින් පියවර වඩාත් යහපත් පුද්ගලයකු වර්ගීකරණයට බඳුන් වන බවයි. හත්වන පියවරේ පළමු පුද්ගලයා, කිසිදු කරුණකින් ගැරහීමකට ලක් නොවන අතර පළමු පියවරේ දෙවැන්නා, ඉන් පහත සඳහන් සියලු කරුණුවලින්ද ගැරහීමට ලක්වන බව පැහැදිලිවේ. මන්ද යත් ආර්යයන් දැකීමට හෝ අකමැති තැනැත්තා ධර්ම ශ්‍රවණය, කන් යොමා ධර්මය ශ්‍රවණය කිරීම්, ආදී ඉන් පසු ඇති කිසිදු පියවරකට කැමති නොවන බැවිනි.
කරණීයමෙත්ත සූත්‍රයේදී නිවන් අවබෝධ කිරීම සඳහා තමන් තුළ වර්ධනය කර ගත යුතු කරුණු රාශියක් හෙළිදරව් වන අතර නිවන් දැකීම සඳහා නොකළ යුතු දෙය ලෙස සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක් කාරණාවක් පමණි. එනම් ‘න ච කුද්ධං සමාචරේ කිංචියේන විඤ්ඤුපරේ උපවදෙයු්‍යං’ නුවණැත්තන් විසින් උපවාදයට ලක් කරන කිසිවක් නොකළ යුතුයි යන්නයි. ලොවෙහි පහළවූ නුවණැත්තන් අතර පරම වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. එසේනම් බුදුපියාණන් වහන්සේගේ උපවාදයට ලක්වන කිසිවක් අප විසින් නොකළ යුතුව ඇත. ඒ ඒ පුද්ගලයන්ට ඇතිවන රුචි අරුචිකම්ද, ඒ ඒ තැනැත්තන්ගේ තුළ ක්‍රියාත්මක වන කෙලෙස් තත්ත්වයන් මත රඳා පවතී. අකුසල් වැඩිවන විට සිහිය නැතිවන බැවින් සංසුන් නොවන බැවින් අඩුම තරමින් ධර්මය ශ්‍රවණය හෝ සිදු නොවන බව පැහැදිලි වේ.
මෙම වර්ගීකරණය තුළ තමන් සිටින්නේ කුමන තැනකද? යන්න ඉතා සත්‍යවාදීව තමන් තුළින්ම විමසා බලා භාග්‍යවතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වූ මට්ටමත් තමන්ගේ වර්තමාන තත්ත්වයත් සංසන්දනය කර අභිවෘද්ධියක් ඇති කර ගැනීමට කටයුතු කළ යුතු ය. සියලු දේ සිදුවීමට මූලික වන්නේ පුද්ගලයකුගේ සන්තානගතව, ඒ දේ සිදුකිරීමට ඇති අවබෝධාත්මක කැමැත්ත හා එම කැමැත්තට චිත්ත අභ්‍යන්තරයෙන්ම ඇතිවන බලයයි. එම අවශ්‍යතාවයන් කිසිවක් ඉබේ ඇතිවන්නේ නැත. එම කුසලයන් තමන් තුළ වර්ධනය කර ගත යුතු වේ. ක්‍රියාත්මක භාවයට යන්නේ වර්ධනය වී ඇති ප්‍රමාණය මතයි.
කුසල් අකුසල් යනු සිතක ඇතිවන චිත්ත බලවේගයි. යම් සිද්ධියකට අනුකූලවන කුසල හා අකුසල වේගයන් දෙකක් ආසන්න කාල පරාසයන් තුළ සිතක නැඟෙන විට ක්‍රියාත්මක බවට යන්නේ වඩාත් ප්‍රබල චිත්ත වේගයයි. කුසලය පිළිබඳ නොදන්නා, නුවණ නොමැති, සමහර පුද්ගලයින්ට කුසල් නූපදින අතර නුවණැති, කුසලය පිළිබඳ දන්නා, අයට ද කුසල් ඉපදුනද විටෙක ක්‍රියාත්මක බවට නොයන අවස්ථා ඇත්තේ ඉහත සඳහන් කළ ආකාරයට එම කුසල වේගය ප්‍රබල නොවන බැවිනි. උපදින අකුසල අභිබවා ක්‍රියාත්මක වීමට නම් උපදින කුසල බලය අකුසල බලයට වඩා ප්‍රබල විය යුතු ය. ඉහත හත් වැන්නේ පළමුවන පුද්ගලයා මට්ටමට ක්‍රියාත්මක වන පුද්ගලයා බොහෝ කුසල වේගයන් සහිත පුද්ගලයකු බව ඉතා පැහැදිලිය. එතුමා ආත්ම හිතකාමී, පරහිතකාමී පමණක් නොව එම තත්ත්වයට පැමිණ ඇත්තේ ධර්මය අසා, ධාරණය කර, අර්ථයන් විමසා දැන, එම ප්‍රතිපත්තිය තුළ පවා සිටිමිනි.
කුසලය යනු අකුසල නැතහොත් ලෝභ, ද්වේෂ, මෝහ, අභිබවා යාමට පුද්ගලයකු තුළ ඇති හැකියාවයි. එම කුසල අර්ථ දැක්වීමට අනුව ඉහත කාරණාවන් පහත ආකාරයට පැහැදිලි කර ගත හැක.
1. පස්කම් සැපයට ඇති ඇලීම අභිබවා, හැරදමා, ආර්යයන් දැකීමට කැමැත්ත උපදවා ගැනීමට කුසලයක් හැකියාවක් නොමැති පුද්ගලයා.
2. කල්‍යාණ මිත්‍රයින් දැක, ආශ්‍රය කළද බණ ඇසීමට කුසලයක් ඡන්දයක් උපදවා ගත නොහැකි පුද්ගලයා.
3. බණ ඇසුවද, කන් යොමා අවධාරණයෙන් බණ ඇසීමට හැකියාවක් කුසලයක් නොමැති තැනැත්තා.
4. කන් යොමා අවධාරණයෙන් බණ ඇසුවද, ධාරණය කර ගැනීමට කුසලතාවයක් නොමැති තැනැත්තා
5. ධාරණය කර ගත්තද, අර්ථය විමසීමට හැකියාවක් නොමැති තැනැත්තා
6. අර්ථය විමසුවද, ප්‍රතිපත්තියට පැමිණීමට ශක්තියක් හැකියාවක් නොමැති පුද්ගලයා
7. ප්‍රතිපත්තියට පැමිණ ආත්ම හිතකාමී වුවද, පරහිතකාමී වීමට හැකියාවක් නොමැති තැනැත්තා
ශක්තියක්, කුසලයක්, හැකියාවක් නොමැතිවීම අකුසලයක්ම වේ. එනම් ලෝභ, ද්වේෂ, මෝහ අතහැර නිවන් දැකීමට ඇති හැකියාවේ අඩුවයි. බුදුන් වහන්සේ එක් මොහොතකට හෝ අකුසලය අනුමත කළේ නැත. හිස ගිනි ගත්තකු එම ගින්න නිවා ගැනීමට, ඇඳුමට ගිනි ගත්තකු එම ගින්න නිවීමට වෙහෙස වනවාට වැඩි වේගයකින් කුසලය සම්පාදනය කර ගත යුතු බව අවධාරණය කළහ. කුසලය අකුසලය හඳුනා ගෙන කුසල් සම්පාදනය කර ගැනීමට, කුසල් අකුසල් හඳුනාගත හැකි තවත් පැතිකඩක් මෙම ධර්ම කරුණු තුළින් පැහැදිලි වේ. මෙම කරුණු දෙස විමසිල්ලෙන් බලා තමන්ගේ තත්ත්වය නොහැකියාව ප්‍රවේශමෙන් අවබෝධ කරගත් පසු එම නොහැකියාව අභිබවායාමට තම චිත්ත ශක්තිය වර්ධනය කර ගත යුතු ය. එය නැති කුසලයන් ඇති කර ගැනීමයි. බොහෝ විට අප සිත තිබෙන කුසලයේ රැඳී සිටියත් නැති කුසල් ඇතිකර ගැනීමට උත්සාහවත් නොවෙයි. විමසිලිමත් නොවෙයි. එසේ වර්ධනය කර ගත හැක්කේ නිවැරදි මෙනෙහි කිරීම තුළිනි.
යමක් කිරීමෙන් ඇතිවන ප්‍රතිලාභයන් දැන හා එය නොකිරීමෙන් සිදුවන පාඩු දැන, එම ප්‍රතිලාභ හා පාඩු පිළිබඳ යමෙක් මෙනෙහි කරන්නේ නම් එම තැනැත්තාගේ සිත එම දෙය කිරීමට යොමු වේ. එම ක්‍රියාව කිරීමට ඇති බලය වැඩිවේ. එබැවින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සබ්බාසව සූත්‍රය ආදී සූත්‍ර ධර්මවලදී නුවණැත්තා මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී, දැන මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි, යන්න දේශනා කරන්නට යෙදුණි. මෙනෙහි කළ යුතු දේ, නොකළ යුතුදේ කුමක්ද ? යන්න ධර්මය ගවේෂණය කරන්නාට පහසුවෙන් හමුවේ. නමුත් බොහෝ දෙනා මෙම ධර්මයන් මෙනෙහි කිරීම අතපසු කරයි. එබැවින් දැනගත් ධර්මයන් මෙනෙහි කිරීම ඉතා වැදගත් වේ. මෙනෙහි කිරීම යනු කට පාඩම් කිරීම නොවේ. හැඟීමක් චේතනාවක් ඇතිවන ආකාරයට විමසා බැලීමයි. එවිට එයට අදාළ කුසල හැඟීම වර්ධනය වේ.
තව දුරටත් මෙනෙහි කරන්නාට එය ක්‍රියාත්මක වන තත්ත්වයට වර්ධනය වේ.
උදාරහණයක් ලෙස ඉහත එක් පියවරක රැඳී සිටින්නකු ඊට වැඩි වර්ධනයක් ඇති කර ගැනීමට කළ යුත්ත විමසා බැලීම වඩා වැදගත් වේ. කන් යොමා අවධාරණයෙන් බණ ඇසුවද, ධාරණය කර ගැනීමට කුසලතාවයක් නොමැති තුන්වැනි පියවරේ පුද්ගලයා, බණ අසා ධාරණය කර ගැනීමේ ආනිශංසයන් හා එසේ අසා ධාරණය නොකිරීමේ නිශ්ඵල බවත් හොඳින් දැන ගත යුතු ය. නුවණැත්තන්ගෙන් හෝ අසා දැන ගත යුතු ය. එසේ දැන ගෙන පමණක් සෑහීමකට පත් නොවී දැනගත් දේ මෙනෙහිකළ යුතු ය. එනම් අසා ධාරණය නොකිරීම කිසිදු ඵලයක් නොවන බවත්, ධාරණය නොකර මනසින් දැක අවබෝධ කර ගැනීමට කිසි දිනක සිදු නොවන බවත්, කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට නොගැනීමක් බවත්, බහුශ්‍රැතයකුවීමට අවකාශ නොලැබෙන බවත්, ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවකයකු නොවී ධර්මය අවබෝධ කළ නොහැකි බවත්, ආදී වශයෙන් කරුණු දැන මෙනෙහි කරන්නාට එම අසන ධර්මයන් ධාරණය කර ගැනීමට සිත් උපදිනවා පමණක් නොව නැවත නැවත මෙනෙහි කිරීමෙන් ක්‍රියාත්මක බවටද පත්වෙනු ඇත. මෙසේ යම් පියවරක ඉන් ඉදිරියට යා නොහැකිව රැඳී සිටින්නවුන් වැරදි අවබෝධයක් නිසා හෝ නොදන්නාකමක් නිසා හෝ එසේ රැඳී සිටීනම් බුදුන් වහන්සේගේ උපවාදයට ලක්වන පුද්ගලයකු බවට පත් නොවී, නිවැරදි කරුණු සොයා බලා නිවැරදි මෙනෙහි කිරීම් කර තම අභිවෘද්ධිය ඇති කර ගෙන උතුම් ධර්මයේ සාන්දෘෂ්ඨික බව අත් දැකිය යුතු ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පෙර පින් කරන ලද බව

ගා / නාගොඩ, කැප්පිටියාගොඩ,
ශ්‍රී සුදර්ශනාරාමාධිපති 
කැප්පිටියාගොඩ කල්‍යාණවංස හිමි

බෞද්ධයා ඉතාම ආදරයෙන් පරිහරණය කරනු ලබන බෞද්ධ සූත්‍ර ධර්මයෙකි. ‘මහා මංගල සූත්‍රය’ ඒ සූත්‍ර නාමයෙන්ම ඒ සූත්‍රය අපට පෙන්වා දෙන යහපත් මාර්ගය පැහැදිලිය ‘අය’ යනු සැපතයි.
පී‍්‍රතියයි, වාසනාවයි, ජයග්‍රහණයයි. ඒ වූ හිතකර අර්ථයෙන් ගෙන දෙන අය යන වචනයට, අප යන උපසර්ග පාදය එක් වූ විට, අප අය අපාය යන පදය සෑදේ. එයින් ගැනෙන අර්ථය සැපයෙන් තොර වූ පී‍්‍රතියෙන් තොර වූ, වාසනාවෙන් තොර වූ ජයග්‍රහණයෙන් තොර වූ ස්ථානය යන්නයි. ඒ වූ අපායට යන පාර, මාවත, මාර්ගය වළහන්නේ නූයි මංගල වේ යයි මංගල යන වචනය විග්‍රහයේදී පැහැදිලි කැරේ. ඒ වාක්‍යය ‘අපාය මං ගලතී මංගලං’ යනුවෙනි. ඒවූ මංගල කරුණු හෙවත් මෙලොව හා පරලොව යහපත, වැඩ සලසන කරුණු ඇතුළත් මංගල සූත්‍රය’ සම්මා සම්බුදු රජාණන්වහන්සේ වෙතින් දේශනා කරුනෙන් ඒ සමාජගත ප්‍රශ්නයෙකට පිළිතුරෙක් ලෙසිනි. ඒ ප්‍රස්තූතය මෙසේ ය.
පෙරැ දඹදිව අයෙකුට ප්‍රශ්නයක් ඇති විය. ඒ මංගල යනු මොනවාද යන්නයි. මේ ප්‍රශ්නය පිළිබඳව සලකා බැලූ අයෙක් මංගල යනුවෙන් යමක් නොවේ. ඇසෙන් දකින දෙය මංගල යයි කීහ. ඒ අර්ථය පිළිනොගත් අයෙක් නෑ! නෑ!! නෑ!!! මංගල කියන්නේ ඇහෙන් දකින දෙය නොවෙයි! කනෙන් අහන දෙය යයි ඊට පටහැනි දෙයක් කීය. මේ අර්ථ දෙකම පිළිගැනීමට අකමැති වූ අයෙක් නෑ ! නෑ !! මංගල කියන්නේ ඇහින් දකින දේවත්, කනෙන් අසන දේවත් නෙවෙයි. සිහි කිරීමෙන් ලබන දේයි’ කීහ. මේ අනුව මංගල යනු මොනවාදයයි හඳුනාගැනීමේදී ඒකීය මතයෙක් ඉදිරිපත් නොවූයෙන්, ඒ වාදයෙකට පෙරැළිණි. ඒ වාදය සමාජයේ නොයෙකුත් දෙනා අතරත, දිට්ඨ මංගල, සුත මංගල මුත මංගල ලෙස පැති රූ කෝලාහල තත්ත්වයකට පත් විය. ඒ තත්ත්වය පැතිරගියේ මිනිසුන් අතර පමණෙක් නම් නොවේ. දෙවියන් අතර ද ඒ කෝලාහලය පැතිර ගියේ ය. ඔවුනට ද ඒ පිළිබඳව ඒ කීය මතයකට එල්බ ගත නොහැකිවිය. එහෙයින් හැම දෙන එකතුව ඒ ප්‍රශ්නයට දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියන් වෙත යොමු කැරිණි. එහෙත් ශක්‍ර දෙවියන්ටද මේ පිළිබඳ ස්ථිර වචනයෙක් ඉදිරිපත් කිරීමට නොහැකි විය. එහෙත් හේ මංගල යනු කිමෙක්ද යන පැනයට නියම පිළිතුරෙක් හැබෑ පිළිතුරෙක් දීමට සුදුසුකම් ඇති, ඉතා ගැඹුරෙන්ම පිළිතුරු සැපයිය හැකි අයෙකු දැන සිටියේ ය. ඒ මිනිස් ලොව, දඹදිව, සැවැත්පුර දෙව්රම් වැඩ වසන තථාගතයන් වහන්සේ ය. ඒ දැනැම දූත දෙවියෙකු අමතා ජේතවනාරාමයට ගොස් මේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට කටයුතු සම්පාදනය කෙළේ ය.ශක්‍ර නියමයෙන් දෙව්රමට පත් ඒ දූත දෙවියා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ගඳ කිළියට ගොස්, වැඳ එකත්පස්ව සිට විමසන්නට පැමිණි ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළේ ය. බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රශ්නයට පිළිතුරු සැපැයූ සේක. ඒ මහ මංගල සූත්‍රයයි.
මේ ලියවෙල්ලෙහි ඉහතින් සමස්ත මහා මංගල සූත්‍රය පිළිබඳව ම ඔබ අවධානය යොමු කැර ගත්තත්, මගේ මුඛ්‍යය අදහස එම සූත්‍රය ගැන සපුරාම සාකච්ඡා කිරීම නොවේ! එහි අඩංගු පස්වැනි මංගල කාරණය හෙවත් ‘පුබ්බේච කත පුඤ්ඤතා’ යන පදය පිළිබඳව අවධානය යොමු කැර ගැනීමටයි. ඒ ‘පුබ්බේච කත පුඤ්ඤතා’ යන පදයට අර්ථ ප්‍රකාශ වෙන්නේ ‘පෙර කරන ලද පින් ඇති බව‘යි යන්නයි. ඒ නිවැරැදි මැ අර්ථ කීවෙකි. එහෙත් මේ අර්ථ ගැන්වීමෙහි ඇතුළත් ‘පෙරැ’ යන පදය විෂයයෙහි බොහෝ දෙනා අර්ථ ගන්වා ගන්නේ ‘පෙරැ ආත්මයෙහි’ යනුවෙනි ඒ එසේ වීමට කිසි යුක්තියෙක් නැති. මක් නිසා ද යත් පෙර යන පදයෙන් කෙසේවත් ආත්මය යන්නෙන් ගම්‍යය මාන නොකැරෙන නිසාය. ඒ පදකැටියට අර්ථ ගන්වා ගැනීමේදී පෙර ආත්මයෙහි කරන ලද පින් ඇති බව සපුරාම ඉවත් කළ නොහැක. එහෙත් ඒ පෙර ආත්මයටම පමණෙක් භාරදිය හැකි තත්ත්වයෙක් නොවේ. පෙරැ යනු අතීතයයි. ඒ අතීතයට පෙරැ ආත්මයටම අයිති නිසා මක් නිසාද යත් අතීතය යන පදයට ඉහත ඉක්ම ගිය. සෑම මොහොතෙක්ම අයිති වෙන නිසා ය. ඒ අනුව පෙරැ කරන ලද පින් ඇති බව ඉහාත්මයට ම අයිති නැත. ඊයේ කරන ලද පිනත් ඇතුළත් යැ ඒ ඊයේ කරන ලද පිනක් මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිසවේ. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
බෞද්ධයාගේ අවසාන ප්‍රාර්ථනය නිර්වානයයි. හෙවත් වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීමයි. ඒ තෙක් ගත කරන ජීවිතය ලෞකිකය. ඒ ලෞකික ජීවිතය අරබයා කුසලාකුසල බලපායි. එහෙයින් ලෞකික ජීවිතයේ ආලෝකය ලබා ගැනීමට අකුසල යන්ගෙන් ඉවත්වීම වාගේම කුසලයන්ට සමීපවීම අත්‍යවශ්‍යයය. එයින් අකුසල ආදීනව සිතා ඒ අකුසලයන් වෙතින් ඉවත්විය යුත්තේ ඒ නිසා ය. කුසල් ආනිසංස දායකය. ඒ නිසාම කුසලයන් වෙත සමීප විය යුතු ය. මේ දෙයාකාර තත්ත්වයන් චරණයට සත්වයාට නිදහස බුද්ධ ධර්මයෙන් සහිතක කෙරෙයි. ඒ,
‘යාදිසං වපතේ බීජං - තා දිසං හරතේ ඵලං
කල්‍යාණකාරී කල්‍යාණං - පාපකාරීච පාපකං” යන ගාථා වෙනුදු පැහැදිලිය. ඒ ගාථාවේ අර්ථය ‘වපුරන්නේ යම් ආකාර බිජුවටත් ද, ඊට අනුරූ අස්වැන්නෙක් ඇරැගනී. එසේම යහපත් දෙයක් කළහොත් යහපතක්ද, පාපකාරී දෙයක් කළහොත් අයහපතෙක් ද සිදුවේ යන්නයි. ඒ අනුව යායුතු කුමන පාරෙකැදැයි තීරණ තීන්දු ගැනීමේ අයිතිය සත්වයාට බුදු දහමින් ලබාදී ඇත. විභාගයෙකට පෙනී සිටින අයෙකුට අසමත් වීමේ අයිතියද ඇත. එහෙත් අසමත් වීමට විභාගයකට පෙනී සිටිමේ ඇති හරය ඵලය කුමක්ද? හැකි උත්සාහයෙන් ජය ලැබීමට සමත් වීමට සැරැසීම ඉතා ඤාණවන්ත අනුගමන කළයුතු පිළිවෙළයි.
ඓහලෞකික – පාර ලෞකික අවසන් යහපත් පරමාර්ථය කුසලතාවයෙහි පිහිටීමයි. (කුසලස්ස උපසම්පදා) මෙහි දැක්වෙන කුසල යනු කුමක්ද යනු විමසීම වටී. ඒ පිළිබඳව ඇති විග්‍රහය ‘කූච්ඡිතේ පාපකේ ධම්මේ චලති ඡින්දති විද්ධ්වංසේ’තී ති කුසලං’ යන්නයි. එහි අර්ථය පහත් පව් දහම් සොලවාද කපාද, විනාශ කරා ද ඒ කුසලයි. ‘කු’ යනු පහන් පව් ධර්මයි. ‘සල’ යනු සෙලවීමයි. කැපීමයි. විනාශ කිරීමයි. ඒ අනුව ඒ කිරීම් විධි තුනෙකි. ඒ තදංග, විස්සම්භන, සමුච්ඡේද වශයෙනි. ඒ ලෝකෝත්තර තත්ත්වයේදී කුසලාකුසල සියලු කර්මයන් තුරන් කළ යුතු ය. ඒ එසේ වනතාක් අප වෙතින් විය යුතු කුසලතාහි පිහිටීමයි. ඒ එකවරැ කැරැ ගත නොහැක. ඒ ලෝකෝත්තර පෞරුෂය ඇතිකර ගැනීමට පරියත්ති. (ධර්මය දැනීම) පටිපත්ති (ධර්මය පිළිපැදීම) පටිවේධ, එයින් සරුඵල ලබා ගැනීම ලෙස උපළිවෙල ලෙසින් බුදු දහමෙහි නිර්දේශිතය. එයමැ තවදුර ලිහිල්කර ධර්මය විෂයයෙහි සුනාථ (අසව්) ධාරේථ (ධරව්) චරාථ (සැරිසරව්) යන්න නිර්දේශිතව ඇත. ඒම අද ලෞකික පෞර්ෂය ද කොටස් තුනෙකට අන්තර්ගත කොට ඇත. ඒ දැනුම (විජානන) ආකල්ප (ආවේදන) කුසලතා (මනෝ චාලක) ලෙසය. එවිට පෞරුෂය ගොඩනැඟේ. එවිට පෞරුෂය වනාහී දැනුම, ආකල්ප, කුසලතා හි එකතුවයි.
දැනුම, ආකල්ප, කුසලතා - පෞරුෂය
මෙම අප ව්‍යවහාරයට ගළපද්දී පෞරුෂය යනු පළපුරුද්දයි. එය එකවර ගොඩ නැගීමට, නොහැකිය. ඒ පිණිස දැන පුරුද්ද, දැක පුරුද්ද කළ පුරුද්ද පියවර තුනෙන් හුරුකර පළපුරුද්දේ රැඳවිය යුතු ය.
මේ අනුව පෙර ආත්මයේ රැස් කැරැගත් පින්කම් ද ප්‍රතික්ෂේප නොකර හෙට වෙනුවෙන් ඊයේ රැස් කැරැ ගත් කුසලතා, පෞරුෂය, පළපුරුද්ද පුබ්බේච කත පුඤ්ඤතා හෙවත් පෙරැ කරන ලද පින් ඇති බව යයි සඳහනු කැමැත්තෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X