වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

චෛත්‍යය පිරිසිදු කිරීමේ ආනිසංස


පහංකර හිමි පෙර ජිවිතයක දැව කාර්මිකයෙකු ලෙස සිටි මෙතුමා කැලේ යන විට පියුමතුර බුදු සමිඳුගේ ධාතු නිදන් කොට සාදා ඇති චෛත්‍යයෙහි කැලේ වැවී වන ග්‍රහණයට හසුව තිබෙනවා දැක පිරිසිදු කොට අට වරක් චෛත්‍යයට වැඳ පිටුනොපා ගිය කුසලයෙන් තව්තිසා දෙව්ලොව ඉපදුනි. මහා රන් විමනක් ද පහල වුනි. තුන්සිය වතාවක් සක් දෙවිඳු වී උපන්නේ ය. විසිපස් වතාවක් සක්විති රජවිය. මනුලොව දී මේ විපාක ලැබුනා හ.

මහත් භෝග සම්පත් හැම විට ම ලැබීම.වනයට ගියේ ද, ඒ වනය තමාට පිහිට ලෙස පැවතී ම.වනයේ කණු, කටු ආදිය මාර්ගයෙන් ඉවත් වීම.කුෂ්ඨ රෝගය ද, ගණ්ඩ, කිලෙස, මීමැස්මොර, විතච්ජිකා නම් කුෂ්ඨ රෝගය ද, දද, කැසිලි ආදිය ද නො වීම.ස්වල්ප මාත්‍ර ද පිළිකාවක් ශරීරයේ හට නො ගැනීම.රන්පැහැපත් සිරුරක් ලැබීම.අකමැති දෑ බැහැර වේ. කැමති දෑ එළඹේ.සිත එකඟ වේ. මනාව සමාධි වේ.කල්ප ලක්ෂයක් තුළ දුගතියට නො වැටෙයි.

අවසානයේ ශාන්ත නිවන් සුව ලැබීමට ද මේ පින උපනිශ්‍රය වී ඇතිබව 336 වන අපදානයේ දැක්වේ.

චෛත්‍ය එළිකිරීමේ අනුසස්

බුදුරදුන් කල විසූ මහ රහතන් වහන්සේලාගෙන් කෙනෙකු වන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කපෙක මිනිස් ලොව ඉපිද වන කාර්මිකයෙක් වූහ. දිනක් ඒ වන කාර්මිකයා වනයෙහි ඇවිදිනුයේ කිසිවකුට ලංවිය නොහෙන තරමට වලින් වැසුණු චෛත්‍යයක් දුටුවේය. එය පදුමුත්තර බුදුරදුන්ගේ චෛත්‍යයකි. එය දැක වන කාර්මිකයා චෛත්‍යය කෙරෙහි ගරු සිත් උපදවා බුදුගුණ දන්නා වූ මාහට මේ චෛත්‍යය එළි නො කොට අනිත් කටයුත්තක යෙදීම නුසුදුසු යයි සිතා තමා ගිය කාරිය නවත්වා අකුල් කපා ගස්වැල් කපා ඉවත් කොට සෑය අවට තණ ඉවත් කොට බිම පිරිසිදු කොට අට තැනක හිඳ චෛත්‍යය වැඳ නික්ම ගියේය. ඔහු ඒ පිනෙන් මරණින් පසු තව්තිසා දෙව්ලොව උපන්නේ ය. ඔහුට එහි සැට යොදුන් උස තිස් යොදුන් පලළ රන් විමනක් පහළ විය. ඔහු කල්ප ලක්ෂයක් ඒ පිනෙන් දෙව් මිනිස් ලොව දෙගතියෙහි අනේකාකාරයෙන් සැප විඳ අන්තිම වර මිනිස් ලොව ඉපද අප බුදුසස්නෙහි පැවිදිව සව්කෙලෙසුන් නසා රහත් විය. පහංකර යනු ඒ රහතන් වහන්සේගේ නම විය. උන්වහන්සේ විසින් ඒ පිනෙන් අතීතයේ ලත් ඵල මෙසේ ප්‍රකාශ කර තිබේ.

කුට්ඨං ගණ්ඩො කිලාසොච අපමාරො විතච්ඡිකා

දද්දු කච්ඡුච මෙ නත්ථි සොධනාය ඉදං ඵලං

කුෂ්ඨ ගඩු සුදු කබර අපස්මාර අතුල් පතුල් පැලීමේ රෝගය දද ඇඟ කැසීමද යන මේ රෝග මට නැත. මෙය චෛත්‍ය එළි කිරීමේ ඵලය ය.

අඤ්ඤම්පි මෙ අච්ඡරියං බුද්ධථූපස්ස සොධනෙ

නාභිජානාමි මෙ කායෙ ජාතං පිළක බින්දුකං

බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මාගේ කයෙහි තල කැලැල් හටගත් බවක් නො දනිමි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

ද්වෙ භවෙ සංසරාමි දෙවත්තෙ අථ මානුසෙ

බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි ම සැරිසරමි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

සුවණ්ණවණ්ණො සබ්බත්ථ සප්පහාසො භාවාමහං

බුද්ධස්තූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශ්චර්යයක් නම් මම සෑම භවයක ම රන්වන් ශරීර ඇත්තෙමි. ප්‍රහාවත් වෙමි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

අමනාපං විවජ්ජති මනාපං උපතිට්ඨති

බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් අමනාප අප්‍රිය දෑ මා කෙරෙන් බැහැර වෙයි. ප්‍රියමනාප දෑ මා කරා එළඹෙයි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

විසුද්ධං හොති මෙ චිත්තං එකග්ගං සුසමාහිතං

බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මාගේ සිත පිරිසිදු වෙයි. එකඟ වෙයි. මැනවින් සන්සිඳුනේ වෙයි.

අඤ්ඤ්ම්පි මෙ අච්ඡරියං බුද්ධථූපම්හි සෝධිතෙ

එකාසනෙ නිසීදිත්වා අරහත්ටමපාපුණි

බුද්ධස්තූපය පිරිසිදු කිරීමේ අනිකුදු ආශ්චර්යයක් නම් මම ඒකාසනයෙහි හිඳ අර්හත්වයට පැමිණියෙමි. මේ ගාථාවෙන් දැක්වෙන්නේ භාවනාවට හිඳගත් පළමුවන වාරයේදීම සියලු කෙලෙසුන් නසා රහත් වූ බවය.

සතසහස්සිතො කප්පෙ යං කම්මමකරිං තදා

දුග්ගතිං නාභිජානාමි සොධනාය ඉදං ඵලං

(පහංකරත්ථෙරාපදානයෙනි)

ප්‍රතිසංස්කරණයේ අනුසස්

අලුත් දාගැබක් ප්‍රතිමා මන්දිරයක් දහම් හලක් සංඝාවාසයක් කිරීම බොහෝ වියදම් කළ යුතු වෙහෙසිය යුතු කාර්යයකි. දැනට ඇත්තා වූ ඒ පුණ්‍යභූමීන් විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීම බෞද්ධයන්ගේ යුතුකමෙකි. එය සැමදෙනාට ම අයත් වැඩකි. එබැවින් වන්දනාවට යන බෞද්ධයන් ඒ පුණ්‍යස්ථාන නැවත නැවත සංස්කරණය කොට ආරක්ෂා කිරීමට ද උත්සාහවත් විය යුතුය. චෛත්‍යාදිය සංස්කරණය කිරීම මහඟු පිනකි.

මෙයින් සිව් අනූවන කපෙහි සිද්ධාර්ථ තථාගතයන් වහන්සේ ගේ චෛත්‍යයෙහි පැළී තිබූ තැන් බදාම ලා සංස්කරණය කළ සැදැහැවතෙක් ඒ පිනෙන් සිව් අනූ කපක් දෙව් මිනිස් සැප විඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සියළු කෙලෙසුන් නසා රහත්ව සංසාරය කෙළවර කළේය. බදාම පිඬක් ලෑමේ පිනෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ “සුධාපිණ්ඩිය” යන නමින් ද හඳුන්වන ලදහ. තව ද මෙයින් දෙ අනූ වන කපෙහි බුදු වූ ඵුස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහවනයෙහි ඇතුන් විසින් පලුදු කරන ලදුව ගස් වැවී ජරාපත් වී තිබිණ. එක් සැදැහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඬුම් බිඳුම්වලට බදාම ගා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිනෙන් ඒ සැදැහැවතා ද දෙ අනූ කපක් මුළුල්ලෙහි අපමණ දෙව් මිනිස් සැප විඳ අප බුද්ධශාසනයේ පැවිදිව රහත්ව දුක් කෙළවර කළේය. ඒ රහතන් වහන්සේ ඛණ්ඩඵුල්ලියත්ථෙර යන නමින් හඳුන්වන ලදහ. උන්වහන්සේ ගේ ප්‍රකාශනයක් මෙසේය.

ද්වෙ නවුතෙ ඉතො කල්පෙ යං කම්මකරිං තදා,

දුග්ගතිං නාභිජානාමි සුධාපිණ්ඩස්සිදං ඵලං.

(අපදාන පාලියෙනි)
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X