වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

අපි සිල් සමාදන් වෙමු

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම මහා විහාරාධිපති 
පූජ්‍ය නාලන්දේ විමලවංශ හිමි

සැදැහවත් උවසු උවැසියෝ සිල් සමාදන් වෙති. වෙසක්‌ පොසොන් වැනි පොහෝ දින වල සිල් සමාදන් වීමට විශේෂ උනන්දුවක්‌ දක්‌වති. සංවිධානාත්මක සිල් වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට මෙකල බොහෝ විහාරස්‌ථාන වල කටයුතු යොදති. රජයේ මෙන්ම පෞද්ගලික ආයතන , පාසැල්, පෞද්ගලික උපකාරක පන්ති වල පවා සිල් වැඩ සටහන් සංවිධානය කරති. මේවා සංවිධානය කිරීමේ දී පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීම නොව, හුදෙක්‌ පිං සලකා , නිවනම අරමුණු කර ගෙන කටයුතු කිරීමෙන් බලාපොරොත්තු යහපත් පරමාර්ථ ඉටු කර ගත හැකි ය. සිල් සමාදන් වීමේ දී අනුගමනය කළ යුතු උපදෙස්‌ බිඳක්‌ මෙමගින් පෙන්වා දීමට අදහස්‌ කළෙමි.



මූලික සූදානම

සිල් සමාදන් වීමට අදහස්‌ කරන ඔබ ඒ සඳහා පෙර සූදානමක්‌ තිබිය යුතුය. නිවසෙහිදී වුව ද සිල් සමාදන් වීම වරදක්‌ නොවේ.නිවස තුළ ඒ සඳහා සුදුසු පරිසරයක්‌ තිබිය යුතුය. ඇතැම් දෙනා නිස්‌කලංක පරිසරයක්‌ තිබෙන ස්‌ථාන සොයාගෙන යති. එහෙත් ඇතැම් විට එවැනි ස්‌ථාන නිවසටත් වඩා නොසන්සුන් පරිසරයක්‌ ඇති ස්‌ථාන වෙයි. බොහෝ දෙනා තම ගමෙහි විහාරස්‌ථානයට නොගොස්‌ පිටස්‌තර ස්‌ථාන වලට ගොස්‌ සිල් සමාදන් වෙති. එයට ද හේතු තිබේ. 

ගමේ පන්සලෙහි නවීන පහසුකම් නැත. ක්‍රමානුකූල සිල් වැඩ සටහනක්‌ ක්‍රියාත්මක වන්නේ නැත. පොත් පත් පත්‍රිකා , සී. ඩී. තැටි මුදලට හෝ නොමිළයේ බෙදා දෙන්නේ ද නැත. ආහාර පාන උසස්‌ අන්දමින් නැත. අඩු තරමින් පානීය ජල බෝතලයක්‌ වත් ලැබෙන්නේ ද නැත. කනට මිහිර ලබා දෙන ශබ්ද වාහිනී පද්ධතියක්‌ ද නැත. ගමේ පන්සලේ විය පත් හිමියන්ගෙන් මධුර මනෝහර ගායනා, දේශනා ඇසෙන්නේ ද නැත. තමන් ප්‍රසිද්ධ ස්‌ථානයකට ගොස්‌ සිල් සමාදන් වනවාය කියන ආත්ම අභිමානය ඇති වන්නේ ද නැත. ඇතැම් දෙනා ගමෙහි අසල්වාසීන් සමග එකට හිඳ කටයුතු කිරීමට කැමැත්තක්‌ ද නැත. එය මදි පුංචි කමක්‌ වශයෙන් සළකති. සුප්‍රසිද්ධ ස්‌ථාන වලට පහසුකම් සැපයීමට අනුග්‍රාහකයන් සිටිති. එහෙත් ගමට එවැනි අනුග්‍රාහකයන් නැත. මෙවන් හේතුන් නිසා ඇතැම් දෙනා පහසුකම් සහිත වෙනත් ස්‌ථාන සොයා යති. වරදවා තේරුම් නොගත යුතුය. ඇතැම් උවසු උවැසියෝ යහපත් ප්‍රතිඵල ලබා ගැනීමේ පරම අධ්‍යාශයෙන් සුදුසු තැන් සොයා යති.

සිල් සමාදන් වීම යනු දවස පුරා කවි ගාථා ගයමින්, දේශනා ශ්‍රවණය කරමින් ගත කිරීම බවට ඇතැම් දෙනා තුළ වැරදි වැටහීමක්‌ ඇත. තිදොර සංවර කර ගනිමින් තමන් පොරොන්දු වූ සිල් පද අට නොබිදෙන පරිදි හොඳින් ආරක්‌ෂා කර ගනිමින් උපෝසථ දිනය ගත කරන්නේ නම් එයද හොඳටම ප්‍රමාණවත්ය. මහාමායා දේවිය ඇසළ පොහෝ දින පෙහෙවස්‌ සමාදන්ව මාළිගාවෙහි ගත කළ බව බුද්ධ චරිතයෙහි දක්‌වා ඇත. කෙසේ වෙතත් සිල් සමාදන් වීමට යාමට පෙර අවශ්‍ය කලමනා සූදානම් කර ගත යුතුය.බොහෝ දෙනා ඔසවාගෙන යාමට පවා අපහසු බඩු මල්ලක්‌ සූදානම් කර ගනිති. එදිනෙදා ජීවිතයේ අවශ්‍ය හැම දෙයක්‌ම එතුළ පුරවා ගනියි. සැබවින්ම අපේ බඩු මල්ල සැහැල්ලු වූ තරමට හිත ද සැහැල්ලු වනවා ඇත. එබැවින් අත්‍යවශ්‍ය දෙය පමණක්‌ රැගෙන යාමට අමතක නොකරන්න. ජංගම දුරකථනය අත්‍යවශ්‍ය භාණ්‌ඩයක්‌ වුව ද එය ඇතැම්විට බාධාවක්‌ බවට පත් වෙයි. එය රැගෙන ගියත් ක්‍රියා විරහිත කර තැබීම වඩා සුදුසු ය. එය වරින්වර නාද වීම අන් අයට විශාල බාධාවකි. සිල් සමාදන්ව සිටින කාලය තුළ අනවශ්‍ය සම්බන්ධතා පැවැත්වීම මූලික ප්‍රතිපත්ති වලට බාධාවකි. උදෑසන මූලික කෘත්‍යයන් කර හොඳින් පිරිසිදුවී , පිරිසිදු චාම් ඇදුමක්‌ ඇඳ ගැනීම වඩාත් සුදුසු ය. විහාරස්‌ථානයකට යන්නේ නම් උදෑසන හයට ප්‍රථම යායුතු ය. 

විහාරස්‌ථානයකට ගිය පසු 

විහාරස්‌ථානයට ගොස්‌ පළමුව කළ යුත්තේ රැගෙන ගිය භාණ්‌ඩ සුදුසු තැනක තැන්පත් කර, ස්‌ථානය සුද්ධ පවිත්‍ර තිබීම යි. බුදු ගෙය, බෝමළුව , චෛත්‍යය මළුව, ධර්ම ශාලාව ඇමදිය යුතුය. අවශ්‍යතාවය සොයා බලා පිරිසිදු කිරීමේ කටයුතු කළ යුතු ය. මේවා වත් පිළිවෙත් පිරීම වශයෙන් සැළකෙයි. ' වත්තං න පරිපූරෙන්ති - න සීලං පරිපූරති ' යනුවෙන් සඳහන් ආකාරයට වත් නොපුරන්නේa නම් සීලය සම්පූර්ණ වන්නේ නැත. ඇතැම් උපාසක උපාසිකාවෝ මේවා කිසිවක්‌ නොකර, සියල්ලටම පළමු මල් පහන් පිදීමටත් , වන්දනා කිරීමටත් ඉදිරිපත් වන අවස්‌ථා දැකිය හැක.

සිල් සමාදන් වීම - සියලුම දෙනා එකම සීලයක්‌ සමාදන් වීම බෙහෙවින් වැදගත් වෙයි. ඇතැම් විහාරස්‌ථාන වල එක පිරිසක්‌ අට සිල් සමාදන් වන අතර, තව පිරිසක්‌ නවාංග උපෝසථ සීලය සමාදන් වෙති. තව පිරිසක්‌ දස සීලය සමාදන් වෙති. තව පිරිසක්‌ පන් සිල් සමාදන් වෙති.ඒ අනුව සිල් දෙන ස්‌වාමීන් වහන්සේට හතර වතාවක්‌ සිල් දීමට සිදු වෙයි. එය මහත් හිරිහැරයක්‌ වන අතර, තම තමන් උසස්‌ සිල්වතුන් බව ප්‍රකාශ කිරීමට අවස්‌ථාවක්‌ කර ගැනීම ද උචිත නොවේ.

සාමූහිකත්වය

සිල් සමාදන් වන ස්‌ථානයේ කරනු ලබන කටයුතු වල දී සාමූහිකත්වය බොහෝ වැදගත් වෙයි. ඇතැම් දෙනා තනි තනිව තැන් තැන් වල වන්දනා කිරීම, භාවනා කිරීම වැනි කටයුතු වල යෙදී සිටිති. එහෙත් වැදගත් වන්නේ සාමූහිකව සියලු දෙනා එකම අවස්‌ථාවක, එකට එක්‌ව වන්දනාමාන කිරීමයි. ගිලන්පස ගැනීමේ දීත් ඇතැම් දෙනා තනි තනිවම ඒවා ගන්න අයුරු දැක ඇත. එය නොසුදුසු ය. තැන් තැන්වල කල්ලි වශයෙන් ධර්ම සාකච්ඡා හෝ කුමන සාකච්ඡාවක්‌ වුව ද සුදුසු නැත.

සිල් සමාදන්වී කළ යුතු කාර්යය

සිල් සමාදන් වූ පසු ගත කරන්නේ උසස්‌ ජීවිතයකි. තම තමන් සමාදන් වූ සීලය හොඳින් ආරක්‌ෂා කළ යුතුය. තමන් හෝ අනුන් රැවටීම සඳහා සිල් සමාදන් වීම සුදුසු නැත. සැදැහැවතුන් තමන් සරණ ගිය උතුම් තිසරණය ගැන හැම මොහොතකම සිහිය තිබිය යුතු ය. එසේම උතුම් තිසරණය ගැන බලවත් ශ්‍රද්ධාවක්‌ තිබිය යුතු ය. තමන් සමාදන් වූ සීලය හොඳින් ආරක්‌ෂා කර ගත යුතුය. සිල් රැකීම උතුම් පිංකමකි. සීල සුගන්ධයට සමාන සුගන්ධයක්‌ නැත.

'සග්ගාරෝහණ සෝපානං 
අඤ්ඤං සීල සමංකුතෝ
ද්වාරංවා පන නිබ්බාණං 
නගරස්‌ස පවේසනේ '

ස්‌වර්ගයට යාමට සීලය වැනි වෙනත් හිනිමගක්‌ නැත. නිර්වාණය නමැති නගරයට ඇතුල් වීමට සීලය හැර වෙනත් දොරටුවක්‌ කොයින්ද ? යනුවෙන් දේශනා කර ඇත. එසේම සීලය නමැති ආභරණයෙන් සැරසුනා වූ පිංවතා , මුතු මැණික්‌ යෙදූ ආභරණ වලින් සැරසුනා වූ රජ වරුන්ට ද වඩා වටින්නේ ය. සිල්වත් පිංවතාට දුන්නා වූ ස්‌වල්ප දෙයක්‌ තුළින් ද මහත් ඵල මහා ආනිසංස ලැබෙයි. එබැවින් සිල්වත් පිංවතා පූජා සත්කාරවලට බදුන් වෙයි. තව ද මිනිස්‌ ලොව මිනිස්‌ සැපත් , දෙව් ලොව දෙව් සැපත් සිල්වත් පිංවතාට පිංවතියට හිග නොවේ. අතිශයින් ශාන්ත වූ නිර්වාණ සම්පත්තියක්‌ ඇත්තේ ද සිල්වතාගේ සිත එම නිවන කරාම ගමන් කරන්නේ ය. (අසංඛෙය සූත්‍රය) 

සිල්වත් පුද්ගලයා ප්‍රාණ ඝාතයෙන් , සොරකමින් , කාම මිත්‍යාචාරයෙන් , බොරු කීමෙන් , සුරා පානයෙන් වළකියි. අප්‍රමාදීව උත්සාහයෙන් කටයුතු කරයි. ඒ නිසා මහත් සැප සම්පත් ලබයි. එසේම සිල්වතාගේ කීර්ති නාමය දසත පැතිරෙයි. හෙතෙම රජමැති ප්‍රභූන් හමුවට ගිය විට විසාරදව තේජස්‌ සහිතව සිටියි. හෙතෙම මනා සිහි නුවණින් යුතුව මිය යයි.එසේම මරණින් මතු යහපත් ආත්මයක උපදියි. (දී.නි. මහාපරිනිබ්බාන සූත්‍රය) , මෙසේ සීලයෙහි ආනිසංස රැසක්‌ම බුදු රජාණන් වහන්සේ විසින් යම් යම් සූත්‍රවලදී පෙන්වා වදාළහ.කෙටියෙන් සඳහන් කරන්නේ නම් සීලය වනාහී සකල ලෞකික ලෝකෝත්තර සම්පත් උදා කරන්නේ ය. 

සිල්වත් වීම නම් කුමක්‌ද ? 

පොහොය උපෝසථ සමාදානය යනු බිම බලාගෙන ගමන් කිරීමත් හෙමින් ගමන් කිරීමත්, බියපත් වූ විලාශයෙන් සිටීමත්, කිසිවකු සමග කථා බස්‌ නොකර සිටීමත් බවට ඇතැම් දෙනා විශ්වාශ කරති. එවැනි බාහිර සංවරය ද අත්‍යවශ්‍ය දෙයකි. එහෙත් සිල් සමාදන් වීම යනු කායික වාචසික මෙන්ම මානසික වරදින් මිදීමයි. ඇතැම් දෙනා කායික වරදෙන් මිදෙති. එහෙත් වාචසික වරදෙහි බැඳෙති. ඇතැම් විට මෙම දෙකෙන්ම මිඳී මානසිකව වරදෙහි බැඳෙති. ඊර්ෂ්‍යාව ,වෛරය, ක්‍රෝධය, ද්වේෂය , මදය, මානය , රාගය, මෝහය වැනි නරක සිතිවිලි ඇත්නම් හෙතෙම සිල්වතකු වශයෙන් සැළකිය නොහැක. සිල්වතාගෙන් තමන්ට හෝ සමාජයට වරදක්‌ සිදු නොවේ. සිල් සමාදන් වීම මගින් තම තමන්ගේ ජීවිතය පාලනය කර ගත හැකි ය. වැරදිවලින් මිඳීමේ පහසුම මග නම් සිල්වත් වීමයි. 

සිල් යනු කුමක්‌ද ? 

ගෘහස්‌ථ ජීවිතයක්‌ ගත කරන පිංවතුන්ගේ නිත්‍ය සීලය පංච සීලයයි. වඩා උසස්‌ සීලයක්‌ ආරක්‌ෂා කිරීමට අදහස්‌ කරන්නේ නම් අටසිල් රැකිය යුතුය. එසේ නැතහොත් නවාංග උපෝසථ සීලය, දස සීලය, පැවිදි පිරිසට නම් සාමණේර සීලය, කෝටියක්‌ සංවර සීලය සහිත උපසම්පදා සීලය ආරක්‌ෂා කළ හැකි ය. අට සිල් යනු ගිහි පිංවතුන්ගේ උපෝසථ සීලයයි. එබැවින් අඩු තරමින් පොහොය දිනයෙ වත් අට සිල් සමාදන් විය යුතුය. පන්සිල්වලට අමතරව තවත් සිල් පද තුනක්‌ එක්‌ වීම අටසිල්වල විශේෂ ලක්‌ෂණයකි. අටසිල් සමාදන්වන පිංවත්හු එදින බ්‍රහ්මචාරී ජීවිතයක්‌ ගත කරති. විකාලයෙහි ආහාර නොගනිතිs. සුඛෝපභෝගී ඇඳ පුටු පරිහරණය නොකරතිs. සුවඳ විලවුන් පාවිච්චි නොකරතිs. නැටුම්, ගැයුම්, වාදන, විසුලු දසුන් නැරඹීම නොකරතිs.

සිල් සමාදන් වූ දිනයෙහි නොකළ යුතු කථා 

අට සිල් සමාදන් වූ දිනයෙහි නොකළ යුතු කථා තිස්‌ දෙකක්‌ ඇත. මේවා දැනගෙන සිල් සමාදන් වීම ප්‍රයෝජනවත් ය. එම කථා තිස්‌ දෙක නම්, 1. දේශ පාලන කථා 2. සොරුන් ගැන කථා 3. මැති ඇමැති වරුන් ගැන කථා 4. පිරිස්‌ ගැන කථා 5. හොල්මන් ගැන කථා 6. යුද්ධ ගැන කථා 7. ක්‍රීඩා ගැන කථා 8 . ආහාර පාන ගැන කථා 9. ඇඳුම් පැළඳුම් ගැන කථා 10. ඇඟ පළදින මල් මාලා ගැන කථා 11. සුවඳ විළවුන් ගැන කථා 12. ඤාතීන් ගැන කථා 13. යාන වාහන ගැන කථා 14. ගමෙහි සිදුවන දෙය ගැන කථා 15. නියම් ගමෙහි සිදුවන දෙය ගැන කථා 16. නගරයෙහි සිදුවන දෙය ගැන කථා 17. ජනපද වල සිදුවන දෙය ගැන කථා 18. කාන්තාවන් ගැන කථා 19. පුරුෂයින් ගැන කථා 20. සුරා වර්ග ගැන කථා 21. මග තොටේ සිදුවන දෙය ගැන කථා 22. නාන තොටේ සිදුවන දෙය ගැන කථා 23. මියගිය උදවිය ගැන කථා 24. ඕපදූප කථා 25. ලෝකය ගැන කියන බාහිර මත වාද ගැන කථා 26. මුහුද ගැන කියවෙන මත වාද ගැන කථා 27. වෙනස්‌ නොවන දේවල් ඇත ආදී මත වාද ගැන කථා 28. මරණින් මතු කිසිවක්‌ නැත ආදී දේවල් ගැන කථා 29. ගේ දොර ඉඩකඩම් දියුණු කර ගැනීම ගැන කථා 30. අනුන්ගේ සහ තමන්ගේ ධන හානි පිළිබඳ කථා 31. පංච කාම සැප ගැන කථා 

32. සිරුරට දුක්‌ දීමෙන් නිවන් ලැබිය හැකිය යන ආදී කථා. 

මෙම තිස්‌ දෙක පිළිබඳ සිතන විට සිල් සමාදන් වූ දිනයෙහි කිසිවක්‌ කථා නොකර සිටින තරමට සීලය හොඳින් රැකිය හැකි බව සිතිය හැක. එසේ වුව ද සිල් දිනයෙහි කළ යුතු කථාවන් කිහිපයක්‌ ද ඇත. ඒවාද දැනගෙන සිටීම ප්‍රයෝජනවත් ය. 

සිල් දිනයෙහි කළ යුතු කථා

1. අල්පේච්ඡ ජීවිතයෙහි වටිනාකම ගැන 2. ලද දෙයින් සතුටුවීම ගැන 3. හුදෙකලා වාසයෙහි වටිනාකම ගැන 4. විවේකයෙන් බණ භාවනා කිරීම ගැන 5. අකුසල් ඉවත් කර කුසල ධර්ම දියුණු කර ගැනීම ගැන 6. සිල් ආරක්‌ෂා කිරීම ගැන 7. සමාධිය ඇති කර ගැනීම ගැන 8. ප්‍රඥාව ඇති කර ගැනීම ගැන 9. නිවන ගැන 10. විමුක්‌ති ඤාණ දර්ශනය ගැන යන මෙම කරුණු පිළිබඳ කථා කිරීමෙහි වරදක්‌ නැත. 

භාවනා

දාන , සීල, භාවනා යනුවෙන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඇත. සිල් දිනයෙහි මෙම පිංකම් තුනම කර ගත හැකි ය. එසේම බොහෝ දෙනා භාවනා කිරීමට රුචියක්‌ දක්‌වති. භාවනා කිරීම මගින් සිත සමාධිගත කර ගත හැකිය. අවුල් ජාලයක පැටලී තිබෙන සිතකට කිසියම් සැහැල්ලුවක්‌ ලබා ගත හැකිය. සිතෙහි ඒකාග්‍රතාවය ඇති වන්නේ නම් අප එදිනෙදා කරන කටයුතු නිවැරදිව, ක්‍රමානුකුලව කර ගැනීමට හැකි ය. එබැවින් ඔබ රජයේ රැකියා කරන්නෙක්‌, ගොවියෙක්‌, කම්කරුවෙක්‌, ගෘහනියක්‌ එසේ නැතහොත් ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්‌ කුමන තරාතිරමක කෙනෙක්‌ වුවද භාවනා කිරීමෙන් එම කටයුතු සාර්ථකව කර ගත හැකි පරිදි චිත්ත ඒකාග්‍රතාවය ඇති කර ගත හැකි ය. එහෙයින් සිල් සමාදන් වූ දිනයේ කිසියම් භාවනාවක්‌ කරන්නේ නම් එය ද ප්‍රයෝජනවත් වනු ඇත. ඒ සඳහා සරළ භාවනාවක්‌ කළ හැකි ය. මෛත්‍රී භාවනාව හෝ බුදු ගුණ මෙනෙහි කරමින් කරන බුද්ධානුස්‌සති භාවනාව කිරීම කාටත් පහසු ය. 

බුද්ධානුස්‌සති භාවනාව 

සැදැහැවතා විසින් නිරතුරුවම තමන් සරණ ගිය බුදු රජාණන් වහන්සේ ගැන මෙනෙහි කළ යුතු ය. බුදු ගුණ වශයෙන් මෙනෙහි කළ යුතු ය. බුදු හිමියන් ගැන සාදර ගෞරවය ඇති කර ගත යුතු ය. නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ භගවා... ගාථාව සිහින් හඬින් කියන්න. ඉන් පසු අර්ථ වශයෙන් මෙනෙහි කරන්න. ' මාගේ බුදු රජාණන් වහන්සේ සිය කෙළෙසුන් කෙරෙන් දුරු වූ සේක... රහසින්වත් පව් නොකළ සේක... සියලු පාපයන්ගෙන් මිදුන සේක... ලෝවාසීන්ගේ ආමිෂ පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක... මෙසේ අනන්ත ගුණයෙන් යුතු බුදු රජාණන් වහන්සේ 'අරහං ' වන සේක... අරහං වන සේක... අරහං වන සේක... බුදු රුව හිතේ මවා ගනිමින්, නව අරහාදී බුදු ගුණ සිහිපත් කරමින් මෙම සරල භාවනාව කළ හැකි ය. 

වන්දනා කිරීම 

වැඳුම් පිදුම් කිරීමට සුදුසු උතුමන්ට වන්දනා කිරීම ගරු කිරීම. යටහත් බව දැක්‌වීම. අවනත බව දැක්‌වීම වන්දනා කිරීම වෙයි. එය දස පුණ්‍ය ක්‍රියාවන්ගෙන් 'අපචායන' කුසලයට අයත් වෙයි. කාය වන්දනාව, වචී වන්දනාව, මනෝ වන්දනාව යනුවෙන් වන්දනා ක්‍රම තුනක්‌ තිබෙන බව තථාගතයන් වහන්සේ දේශනා කර ඇත. මනෝ වන්දනාව නම් සිතින් පමණක්‌ වන්දනා කිරීමයි. එනම්, 'නමස්‌කාර වේවා, නමස්‌කාර කරමි' ආදී වශයෙන් සිතීමයි. 'නමෝතස්‌ස භගවතෝ...' ආදී වශයෙන් ප්‍රකාශ කරමින් කරන වැඳීම වචී වන්දනාවයි. කයින් වන්දනා කරන ක්‍රම කිහිපයක්‌ ඇත. සිටගෙන සිටිමින් පපුව කෙලින් දෙඅත් එක්‌ කොට වැඳීම, එසේ කරමින් ශරීරයත් ඉදිරියට නැමීම, දෙඅත් එක්‌ කොට නළල මත තබාගෙන වැඳීම, දෙඅත් හිස මත තබාගෙන වැඳීම, එක්‌ දණක්‌ බිම තබා වැඳීම, දෙදණම බිම තබා වැඳීම, දෙදණ, දෙවැලමිට, නළල යන පසම බිම තබා වැඳීම (පසඟ පිහිටුවා) පතුල් පිරිමදිමින් වැඳීම, බිම දිගාවී වැඳීම යන ක්‍රමවලට වන්දනා කළ හැකිය. කෙසේ වන්දනා කළත් කුසල් සිදුවන්නේ වන්දනා චිත්තය ඇතිවීම මගින්ම ය. එය ඥාණ සම්ප්‍රයුත්ත සිතක්‌ නම් කුසලය බලවත් වෙයි. ඥාණ විප්‍රයුත්ත සිතක්‌ නම් දුබල කුසලයක්‌ බවට පත් වෙයි. 

ගාථා ගායනය

වන්දනා කිරීමේදී නොයෙක්‌ ගාථා කියති. මල් පහන් ආහාර පිදීමේ දී අනිවාර්ය යෙන්ම ගාථා කිව යුතුය'යි සිතති. ඒ නිසා ඇතැම් දෙනා ගාථා දන්නා අයකු සොයාගෙන ඒවා කියවා ගනිති. ගාථා බැරි නිසා ඇතැමුන් වන්දනා නොකරති. මේවා වැරදි වැටහීම් වෙයි. වැදුම් පිදුම් කිරීමේ දී ගාථා ගැයිය යුතුය'යි නීතියක්‌ නැත. ගාථා 

නොකියා වැදුම් පිදුම් කිරීමෙන් ද පිං සිදුවෙයි. වරදවා වටහා නොගත යුතුය. ගාථා කීම නිෂ්ඵල දෙයක්‌ නොවේ. තුණුරුවණෙහි ගුණ දැක්‌වෙන ගාථා කීමෙහි බොහෝ ප්‍රයෝජන ඇත. ඒවා කියන විට තුණුරුවණ කෙරෙහි ශ්‍රද්ධාව ඇති විය යුතුය. ගුණ මෙනෙහි විය යුතු ය. එබැවින් තේරුම දැනගෙන ගාථා කීම බෙහෙවින් වැදගත් වෙයි. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ කියන විට ඇති වන්නේ කාමාවචර කුසල් සිතිවිලි ය. එම සිතිවිලි අනාගතයට බොහෝ ප්‍රයෝජනවත් වෙයි. වැඩි වේලාවක්‌ තුණු රුවණෙහි ගුණ මෙනෙහි කරමින් වන්දනා කරන විට වැඩියෙන් කුසල් සිතුවිලි ඇති වෙයි. අඩු වෙලාවක්‌ වන්දනා කිරීමේ දී ඇති වන්නේ ස්‌වල්ප ප්‍රමාණයක කුසල සිතිවිලි ය. 

අවසානය 

කැමති නම් පසු දින පහන්වන තුරු සිල් සමාදන්ව සිටිය හැක. නොඑසේ නම් සවස පහ පමණ වන විට සිල් පවාරණය කළ හැක. සිල් පවාරණය කරන්නේ පන් සිල් සමාදන් වීමෙනි. භික්‌ෂූන් වහන්සේ නමක්‌ වෙතින් පන් සිල් සමාදන් විය හැකි ය. එසේ නොමැති නම් තමන්ම පන්සිල් සමාදන් විය හැකිය. භික්‌ෂුන් වහන්සේට වැඳ නමස්‌කාර කළ යුතුය. ඒ සඳහා ද ගාථා ඇත.ගාථා කියා වන්දනා කිරීමෙන් පසු උන් වහන්සේ විසින් ආශිර්වාද කරනු ඇත.

ප්‍රාර්ථනා

අවසානයෙහි ඔබට මෙසේ ප්‍රාර්ථනාවක්‌ කළ හැකි ය. මා විසින් රැස්‌ කර ගත්තා වූ සීලමය , වන්දනාමය, භාවනාමය බුද්ධ පූජාමය සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වාෘ සියලු දෙවියෝ සැපතට පත් වෙත්වාෘ අප නමින් මිය ගියා වූ සියලු ඤාතීන් මෙම පිං අනුමෝදන් වෙත්වා ඤාතීන් සියලු සැපතට පත් වෙත්වාෘ අප සියලු දෙනාට ද මෙම පිං හේතුවෙන් දුක්‌ කරදර දුරු වේවාෘ සැනසීම උදා වේවාෘ මෙලොව ජීවිත වාසනාවන්ත වේවාෘ පරලොව ජීවිතය සුගතිගාමී වේවාෘ අප සියලු දෙනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම රමණීය නිර්වානය අවබෝධය පිණිස මෙම පුණ්‍ය ධර්මයන් හේතු වේවා වාසනා වේවා...!!! සාදු...!!! සාදු...!!! සාදු...!!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අකුසලය බැහැර කර කුසලය සම්පාදනය කර ගනිමු

ලොවෙහි පුද්ගලයින් නොයෙකුත් ආකාරයට වර්ගීකරණය කළහැක. ඒ ඒ අයගේ හැකියාවන්, දැනුම, තරාතිරම, රැකියාව ආදී වශයෙන් විවිධ ක්ෂේත්‍රයන් අනුව සිදුකෙරෙන වර්ගීකරණයන්ට අනුව ඒ ඒ පුද්ගලයා, ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ කුමන මට්ටමක සිටින්නේද? යන්න තීරණය කළ හැක. ඒ ඒ වර්ගීකරණයන් අතර පුද්ගලයන් ඉහළ තලයකට එසවෙන්නේ ඒ ඒ ක්ෂේත්‍රයන් තුළ නිවැරදි භාවිතය හේතුවෙනි.
ධර්ම මාර්ගය යනු ලෞකික දියුණුව පමණක් නොව තම සංසාරික ජීවිතයම නිවැරදි කරන උතුම්ම භාවිතයයි. එම ධර්මය තමන් කොපමණකින් භාවිතා කර ඇත්ද? යන්න විමසා බැලීම, නිබඳව කළ යුත්තකි. අප මහා සර්වඥෝත්තමයාණන් වහන්සේ ධර්ම මාර්ගය භාවිතා කරන ඇත්තන්ගේ භාවිතාව අනුව කුමන මට්ටමක සිටින්නේද? යන්න දැන ගැනීම සඳහා තම අනුගාමිකයින් වර්ගීකරණයකට ලක් කළ එක් වටිනා අවස්ථාවක් අංගුත්තර නිකායේ සත්වන නිපාතයේ දෙවන පන්නාසකයේ මහා වග්ගයේ ධම්ඤ්ඤු නම් සූත්‍ර ධර්මයේ අවසන් භාගයේ සඳහන්ව ඇත. සාමාන්‍ය පුද්ගල වර්ගීකරණයන් අතර සුවිශේෂීම හා උතුම්ම වර්ගීකරණයක් ලෙස මෙම වර්ගීකරණයන් ගත යුතු වන්නේ ලොවෙහි උතුම්ම සැනසීමේ මාර්ගයේ තමන් කුමන මට්ටමක සිටිනවාද? යන්න තේරුම් ගත හැකි බැවිනි.
ඒ ඒ පුද්ගලයාගේ මානසික දියුණුව අනුව ධර්මය තුළ ක්‍රියාත්මක වන ආකාරය තීරණය වේ. එබැවින් මෙම වර්ගීකරණයට අනුව තමන්ගේ රුචිකත්වයන් සත්‍යවාදීව විමසා බැලීමෙන් තමන් ධර්මය තුළ සැබෑවටම කුමන මට්ටමකට අයත් දැයි තමන්ටම තීරණය කර ගත හැකි වේ. බුදුරජාණන් වහන්සේ මෙම පුද්ගල වර්ගීකරණය දේශනා කර ඇත්තේ පහත සඳහන් ආකාරයට ඒ ඒ කරුණින් පුද්ගලයා පැසසිය යුතු බවටත්, ගැරහිය යුතු බවටත් පත්වන බව අවධාරණය කරමිනි.
1. මූලිකව පුද්ගලයන් දෙදෙනෙකු විද්‍යාමාන වේ. ආර්යයන් දක්නට කැමති පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. ආර්යයන් දක්නට අකැමැති පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
2. ආර්යයන් දක්නට කැමති පුද්ගලයන් දෙදෙනෙකු වේ. සදහම් අසනු කැමති පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. සදහම් අසනු අකැමැති පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
3. සදහම් අසනු කැමතිි පුද්ගලයන් දෙදෙනෙකු වේ. යොමු කළ කන් ඇතිව ධර්මය අසන පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. යොමු නොකළ කන් ඇතිව ධර්මය අසන පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
4. යොමුකළ කන් ඇතිව ධර්මය අසන පුද්ගලයන් දෙදෙනෙකු වේ. අසා එම ධර්මය ධාරණය කරන පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. අසා එම ධර්මය ධාරණය නොකරන පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
5. අසා එම ධර්මය ධාරණය කරන පුද්ගලයන් දෙදෙනකු වේ. ධාරණය කරන ලද ධර්මයේ අර්ථය පිරික්සන පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. ධාරණය කරන ලද ධර්මයේ අර්ථය නොපිරික්සන පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතුවේ.
6. ධාරණය කරන ලද ධර්මයේ අර්ථය පිරික්සන පුද්ගලයන් දෙදෙනෙකු වේ. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන් පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට නොපිළිපන් පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
7. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්‍රතිපත්තියට පිළිපන් පුද්ගලයන් දෙදෙනෙකු වේ. ආත්මහිත සඳහා පිළිපන් පරහිත සඳහා පිළිපන් පුද්ගලයා එම කරුණින් පැසසිය යුතු වේ. ආත්මහිත සඳහා පිළිපන් පරහිත සඳහා නොපිළිපන් පුද්ගලයා එම කරුණින් ගැරහිය යුතු වේ.
මෙම උතුම් බුදු වදන් තුළින් අපට අනාවරණය කර ගත හැකි කරුණු බොහොමයකි. පිළිවෙලින් මෙම අවස්ථා හත දෙස බලන විට පෙනී යන්නේ පියවරින් පියවර වඩාත් යහපත් පුද්ගලයකු වර්ගීකරණයට බඳුන් වන බවයි. හත්වන පියවරේ පළමු පුද්ගලයා, කිසිදු කරුණකින් ගැරහීමකට ලක් නොවන අතර පළමු පියවරේ දෙවැන්නා, ඉන් පහත සඳහන් සියලු කරුණුවලින්ද ගැරහීමට ලක්වන බව පැහැදිලිවේ. මන්ද යත් ආර්යයන් දැකීමට හෝ අකමැති තැනැත්තා ධර්ම ශ්‍රවණය, කන් යොමා ධර්මය ශ්‍රවණය කිරීම්, ආදී ඉන් පසු ඇති කිසිදු පියවරකට කැමති නොවන බැවිනි.
කරණීයමෙත්ත සූත්‍රයේදී නිවන් අවබෝධ කිරීම සඳහා තමන් තුළ වර්ධනය කර ගත යුතු කරුණු රාශියක් හෙළිදරව් වන අතර නිවන් දැකීම සඳහා නොකළ යුතු දෙය ලෙස සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එක් කාරණාවක් පමණි. එනම් ‘න ච කුද්ධං සමාචරේ කිංචියේන විඤ්ඤුපරේ උපවදෙයු්‍යං’ නුවණැත්තන් විසින් උපවාදයට ලක් කරන කිසිවක් නොකළ යුතුයි යන්නයි. ලොවෙහි පහළවූ නුවණැත්තන් අතර පරම වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. එසේනම් බුදුපියාණන් වහන්සේගේ උපවාදයට ලක්වන කිසිවක් අප විසින් නොකළ යුතුව ඇත. ඒ ඒ පුද්ගලයන්ට ඇතිවන රුචි අරුචිකම්ද, ඒ ඒ තැනැත්තන්ගේ තුළ ක්‍රියාත්මක වන කෙලෙස් තත්ත්වයන් මත රඳා පවතී. අකුසල් වැඩිවන විට සිහිය නැතිවන බැවින් සංසුන් නොවන බැවින් අඩුම තරමින් ධර්මය ශ්‍රවණය හෝ සිදු නොවන බව පැහැදිලි වේ.
මෙම වර්ගීකරණය තුළ තමන් සිටින්නේ කුමන තැනකද? යන්න ඉතා සත්‍යවාදීව තමන් තුළින්ම විමසා බලා භාග්‍යවතුන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වූ මට්ටමත් තමන්ගේ වර්තමාන තත්ත්වයත් සංසන්දනය කර අභිවෘද්ධියක් ඇති කර ගැනීමට කටයුතු කළ යුතු ය. සියලු දේ සිදුවීමට මූලික වන්නේ පුද්ගලයකුගේ සන්තානගතව, ඒ දේ සිදුකිරීමට ඇති අවබෝධාත්මක කැමැත්ත හා එම කැමැත්තට චිත්ත අභ්‍යන්තරයෙන්ම ඇතිවන බලයයි. එම අවශ්‍යතාවයන් කිසිවක් ඉබේ ඇතිවන්නේ නැත. එම කුසලයන් තමන් තුළ වර්ධනය කර ගත යුතු වේ. ක්‍රියාත්මක භාවයට යන්නේ වර්ධනය වී ඇති ප්‍රමාණය මතයි.
කුසල් අකුසල් යනු සිතක ඇතිවන චිත්ත බලවේගයි. යම් සිද්ධියකට අනුකූලවන කුසල හා අකුසල වේගයන් දෙකක් ආසන්න කාල පරාසයන් තුළ සිතක නැඟෙන විට ක්‍රියාත්මක බවට යන්නේ වඩාත් ප්‍රබල චිත්ත වේගයයි. කුසලය පිළිබඳ නොදන්නා, නුවණ නොමැති, සමහර පුද්ගලයින්ට කුසල් නූපදින අතර නුවණැති, කුසලය පිළිබඳ දන්නා, අයට ද කුසල් ඉපදුනද විටෙක ක්‍රියාත්මක බවට නොයන අවස්ථා ඇත්තේ ඉහත සඳහන් කළ ආකාරයට එම කුසල වේගය ප්‍රබල නොවන බැවිනි. උපදින අකුසල අභිබවා ක්‍රියාත්මක වීමට නම් උපදින කුසල බලය අකුසල බලයට වඩා ප්‍රබල විය යුතු ය. ඉහත හත් වැන්නේ පළමුවන පුද්ගලයා මට්ටමට ක්‍රියාත්මක වන පුද්ගලයා බොහෝ කුසල වේගයන් සහිත පුද්ගලයකු බව ඉතා පැහැදිලිය. එතුමා ආත්ම හිතකාමී, පරහිතකාමී පමණක් නොව එම තත්ත්වයට පැමිණ ඇත්තේ ධර්මය අසා, ධාරණය කර, අර්ථයන් විමසා දැන, එම ප්‍රතිපත්තිය තුළ පවා සිටිමිනි.
කුසලය යනු අකුසල නැතහොත් ලෝභ, ද්වේෂ, මෝහ, අභිබවා යාමට පුද්ගලයකු තුළ ඇති හැකියාවයි. එම කුසල අර්ථ දැක්වීමට අනුව ඉහත කාරණාවන් පහත ආකාරයට පැහැදිලි කර ගත හැක.
1. පස්කම් සැපයට ඇති ඇලීම අභිබවා, හැරදමා, ආර්යයන් දැකීමට කැමැත්ත උපදවා ගැනීමට කුසලයක් හැකියාවක් නොමැති පුද්ගලයා.
2. කල්‍යාණ මිත්‍රයින් දැක, ආශ්‍රය කළද බණ ඇසීමට කුසලයක් ඡන්දයක් උපදවා ගත නොහැකි පුද්ගලයා.
3. බණ ඇසුවද, කන් යොමා අවධාරණයෙන් බණ ඇසීමට හැකියාවක් කුසලයක් නොමැති තැනැත්තා.
4. කන් යොමා අවධාරණයෙන් බණ ඇසුවද, ධාරණය කර ගැනීමට කුසලතාවයක් නොමැති තැනැත්තා
5. ධාරණය කර ගත්තද, අර්ථය විමසීමට හැකියාවක් නොමැති තැනැත්තා
6. අර්ථය විමසුවද, ප්‍රතිපත්තියට පැමිණීමට ශක්තියක් හැකියාවක් නොමැති පුද්ගලයා
7. ප්‍රතිපත්තියට පැමිණ ආත්ම හිතකාමී වුවද, පරහිතකාමී වීමට හැකියාවක් නොමැති තැනැත්තා
ශක්තියක්, කුසලයක්, හැකියාවක් නොමැතිවීම අකුසලයක්ම වේ. එනම් ලෝභ, ද්වේෂ, මෝහ අතහැර නිවන් දැකීමට ඇති හැකියාවේ අඩුවයි. බුදුන් වහන්සේ එක් මොහොතකට හෝ අකුසලය අනුමත කළේ නැත. හිස ගිනි ගත්තකු එම ගින්න නිවා ගැනීමට, ඇඳුමට ගිනි ගත්තකු එම ගින්න නිවීමට වෙහෙස වනවාට වැඩි වේගයකින් කුසලය සම්පාදනය කර ගත යුතු බව අවධාරණය කළහ. කුසලය අකුසලය හඳුනා ගෙන කුසල් සම්පාදනය කර ගැනීමට, කුසල් අකුසල් හඳුනාගත හැකි තවත් පැතිකඩක් මෙම ධර්ම කරුණු තුළින් පැහැදිලි වේ. මෙම කරුණු දෙස විමසිල්ලෙන් බලා තමන්ගේ තත්ත්වය නොහැකියාව ප්‍රවේශමෙන් අවබෝධ කරගත් පසු එම නොහැකියාව අභිබවායාමට තම චිත්ත ශක්තිය වර්ධනය කර ගත යුතු ය. එය නැති කුසලයන් ඇති කර ගැනීමයි. බොහෝ විට අප සිත තිබෙන කුසලයේ රැඳී සිටියත් නැති කුසල් ඇතිකර ගැනීමට උත්සාහවත් නොවෙයි. විමසිලිමත් නොවෙයි. එසේ වර්ධනය කර ගත හැක්කේ නිවැරදි මෙනෙහි කිරීම තුළිනි.
යමක් කිරීමෙන් ඇතිවන ප්‍රතිලාභයන් දැන හා එය නොකිරීමෙන් සිදුවන පාඩු දැන, එම ප්‍රතිලාභ හා පාඩු පිළිබඳ යමෙක් මෙනෙහි කරන්නේ නම් එම තැනැත්තාගේ සිත එම දෙය කිරීමට යොමු වේ. එම ක්‍රියාව කිරීමට ඇති බලය වැඩිවේ. එබැවින් සම්මා සම්බුදු පියාණන් වහන්සේ සබ්බාසව සූත්‍රය ආදී සූත්‍ර ධර්මවලදී නුවණැත්තා මෙනෙහි කළ යුතු දේ දනී, මෙනෙහි නොකළ යුතු දේ දනී, දැන මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරයි, මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකරයි, යන්න දේශනා කරන්නට යෙදුණි. මෙනෙහි කළ යුතු දේ, නොකළ යුතුදේ කුමක්ද ? යන්න ධර්මය ගවේෂණය කරන්නාට පහසුවෙන් හමුවේ. නමුත් බොහෝ දෙනා මෙම ධර්මයන් මෙනෙහි කිරීම අතපසු කරයි. එබැවින් දැනගත් ධර්මයන් මෙනෙහි කිරීම ඉතා වැදගත් වේ. මෙනෙහි කිරීම යනු කට පාඩම් කිරීම නොවේ. හැඟීමක් චේතනාවක් ඇතිවන ආකාරයට විමසා බැලීමයි. එවිට එයට අදාළ කුසල හැඟීම වර්ධනය වේ.
තව දුරටත් මෙනෙහි කරන්නාට එය ක්‍රියාත්මක වන තත්ත්වයට වර්ධනය වේ.
උදාරහණයක් ලෙස ඉහත එක් පියවරක රැඳී සිටින්නකු ඊට වැඩි වර්ධනයක් ඇති කර ගැනීමට කළ යුත්ත විමසා බැලීම වඩා වැදගත් වේ. කන් යොමා අවධාරණයෙන් බණ ඇසුවද, ධාරණය කර ගැනීමට කුසලතාවයක් නොමැති තුන්වැනි පියවරේ පුද්ගලයා, බණ අසා ධාරණය කර ගැනීමේ ආනිශංසයන් හා එසේ අසා ධාරණය නොකිරීමේ නිශ්ඵල බවත් හොඳින් දැන ගත යුතු ය. නුවණැත්තන්ගෙන් හෝ අසා දැන ගත යුතු ය. එසේ දැන ගෙන පමණක් සෑහීමකට පත් නොවී දැනගත් දේ මෙනෙහිකළ යුතු ය. එනම් අසා ධාරණය නොකිරීම කිසිදු ඵලයක් නොවන බවත්, ධාරණය නොකර මනසින් දැක අවබෝධ කර ගැනීමට කිසි දිනක සිදු නොවන බවත්, කාලය උපරිම වශයෙන් ප්‍රයෝජනයට නොගැනීමක් බවත්, බහුශ්‍රැතයකුවීමට අවකාශ නොලැබෙන බවත්, ශ්‍රැතවත් ආර්යය ශ්‍රාවකයකු නොවී ධර්මය අවබෝධ කළ නොහැකි බවත්, ආදී වශයෙන් කරුණු දැන මෙනෙහි කරන්නාට එම අසන ධර්මයන් ධාරණය කර ගැනීමට සිත් උපදිනවා පමණක් නොව නැවත නැවත මෙනෙහි කිරීමෙන් ක්‍රියාත්මක බවටද පත්වෙනු ඇත. මෙසේ යම් පියවරක ඉන් ඉදිරියට යා නොහැකිව රැඳී සිටින්නවුන් වැරදි අවබෝධයක් නිසා හෝ නොදන්නාකමක් නිසා හෝ එසේ රැඳී සිටීනම් බුදුන් වහන්සේගේ උපවාදයට ලක්වන පුද්ගලයකු බවට පත් නොවී, නිවැරදි කරුණු සොයා බලා නිවැරදි මෙනෙහි කිරීම් කර තම අභිවෘද්ධිය ඇති කර ගෙන උතුම් ධර්මයේ සාන්දෘෂ්ඨික බව අත් දැකිය යුතු ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X