වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

අභය දානය දෙමු. පර පණ නොනසමු.

අලුතෑපොල ගණේකන්ද පුරාණ 
රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ 
නූතන භාෂා අංශයේ චීන ඒකකයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය 
නැදලගමුවේ ධම්මදින්න හිමි

බොහෝ දෙනා කල්පනා කරන්නේ සතුන් මැරීමෙන් වැළකී සිටීම පමණක් ප්‍රමාණත් වේ යැයි කියාය. මේ නිසා ඇතැම් අය ආගමික හැඟීමක් නැති වුවත් වෙනත් සතෙකුගේ ජීවිතයට හානි නොකරන නමුත් තව කෙනෙක් පර පණ නසන විට ඊට අනුබල දෙති. මේ පායන කාලයේ සිඳී යන වැව් අමුණු හෝ ඇළවේලි වල මාලු අල්ලන අය දුටු විට ඇතැම් අය ඒ වටේ රැස් වී සිනහ වෙමින් එය විනෝදයක් කරගන්නා අතර අසරණ මාලුවෝ ජීවිතය රැක ගැනීම සඳහා මරුවා සමඟ සටන් කරති.
අසරණ සතෙකුගේ මරණය තමන්ගේ සතුට කරගන්නා මිනිස්සු ඒ මහා පාප කර්මයේ විපාකය කොයිතරම්ද යන්න මොහොතකට වත් කල්පනා නොකරති. අප මාලුන් අල්ලන්නේත් නෑ යැයි කියමින් මාළුන් අල්ලා අවසන් වූ විට ඒ මාලු මිලට ගෙන සතුටු සිතින් යුතුව ගෙදර යන මිනිස්සු තමන් ද ඒ මහා පාප කර්මයට හවුල් වූවා යැයි කිසිසේත් නොසිතති.
එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවසන කාලයේ ධම්මික නම් උපාසකයෙක් උපාසකයන් පන්සියයක් සමඟ බුදුරදුන් දැකීමට පැමිණියේය. එසේ පැමිණි ධම්මික උපාසකයා බුදුරදුන්ගෙන් විමසුවේ ගිහි පැවිදි දෙපිරිස අතර උසස් වූ ප්‍රතිඥාවක් ඇතිව කටයුතු කරන්නේ කෙසේද කියායි. එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
“ගහට්ඨ වත්තා පන වෝ වදාමි 
යථාකරෝ සාවකෝ සාධු හෝති 
න හේ සෝ ලධ්භා සපරිග්ගහේන
විස්සේතුං යෝ කේවලෝ භික්ඛු ධම්මෝ” 
“හොඳ යහපත් ගිහි ශ්‍රාවකයෙකු වීමට 
අවශ්‍ය ගිහිවත මම ඔබට දේශනා කරමි 
ලෞකික සැප සම්පත් විඳින ගිහියෙකු ලෙස 
ඔබට උතුම් භික්ෂු ධර්මය පිළිපැදිය නොහැකිය” 
“පානංන හානේ නච ඝානයෙය්‍ය
නචනුජඤ්ඤ හනතං පරේසං 
සබ්බේස භුතේසු නිධාය දණ්ඩං 
යේථාවරා යේච නසන්ති ලෝකේ.

ලෝකයේ තැන්පත් වූ හෝ තැතිගත් යම් සත්ත්වයෝ සිටිත් නම්, ඒ සියලුම සත්ත්වන් කෙරෙහි පහර දීම් වලින් තොරව, මෛත්‍රියෙන් යුක්තව ප්‍රාණඝාතයෙන් වළකින්නේය. ප්‍රාණඝාතය නොකරවන්නේය. ඊට අනුබල ද නොදෙන්නේය.” (ධම්මික සූත්‍රය 18-19 ගාථා)
මෙම ගාථා දෙකෙන් පැහැදිලි වන්නේ යහපත් භික්ෂුවක් වීමට පෙර මනුෂ්‍යයා යහපත් ගිහියෙකු විය යුතු බවය. මේ සඳහා පළමු කොටම ප්‍රාණඝාතයෙන් තොර ප්‍රතිපත්තියක් ගිහියා විසින් අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව මනාව පැහැදිලි වේ. මෙහිදී බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව දේශනා කොට වදාළේ මෛත්‍රියෙන් යුක්ත පුද්ගලයා තමන් ප්‍රාණඝාතය නොකරන අතර අනුන් ලවාද නොකරවන බවත්, ඊට අනුබලයක් වත් නොදෙන බවත්ය. ඊට හේතුව නම් ඒ පුද්ගලයාගේ සිතේ පවතින අප්‍රමාණ මෛත්‍රී සහගත ස්වභාවයයි.
මේ අනුව මෛත්‍රී සහගත පුද්ගලයා තම සතෙකුගේ පණ නොනසන අතරම මෙත් සිතින් යුතුව අන් සතුන්ගේ සිත් තුළ ඇති බිය ද දුරු කරයි. එනම් මරණ බිය නැති කරයි. අභය දානය යනු සතෙකුගේ සිතක තිබෙන මරණයට ඇති බිය දුරු කර බියෙන් තොරව ජීවත්වීමට ඉඩකඩ සැලැස්වීමයි. පණ ඇති සතෙකුට එබඳු සැනසීමක් ලබාදීම අපමණ කුසලයකි. එම කුසලය මෙලොව දී ම පළ දෙන මහා අනුසස් ඇති පිනකි. මේ සඳහා දක්නට ලැබෙන වර්තමාන උදාහරණ රාශියකි.
ඒ අතර අලුතෑපොල වසන එක් මාතාවකගේ සිද්ධිය මෙහිදී පළමු කොටම සඳහන් කළ හැකිය. මාතාව අප දායිකාවක් වන අතර රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතාම භයානක ලෙස අඩුවීම නිසා ඇය රෝහලේ නතර වී ප්‍රතිකාර ගත්තාය. ඇයගේ තත්වය දින කීපයක් තුළ ඉතාමත්ම නරක තත්ත්වයට පත්වූ අතර ඇය පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකි බව වෛද්‍යවරු දරුවන්ට ප්‍රකාශ කළහ.
මේ අතර කුරුණෑගල ප්‍රදේශයේ සිටින ඤාතිවරු පිරිසක් එම මාතාවට සෙත් පතා අභයදානමය පින්කමක් කිරීමට තීරණය කළහ.
ඒ අනුව ඔවුහු ගවඝාතකාගාරයකට ගොස් එදින මරා දැමීමට නියමිතව සිටි ගවයෙකු නිදහස් කළහ. මේ සඳහා ගිය වියදම ඔවුන් රැස්කර ගත්තේ මුදල් සම්මාදම් කර ගෙනය. මෙම අභයදානමය පින්කමට ඔවුහු බොහෝ දෙනෙකු දායක කරගත්හ. අවසානයේදි ගවයා මරණයෙන් නිදහස් කරගෙන එම සතාට නිරුපද්‍රිතව ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකස් කරදුන් වහාම එම මාතාවගේ පිරිහී තිබුණ සෞඛ්‍ය තත්වය ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත් වන්නට වූ අතර වෛද්‍යවරුන්ද පුදුමයට පත් කරවමින් ඇය සම්පූර්ණයෙන්ම සුවය ලැබුවාය. දැන් ඇයගේ වයස අවුරුදු 85 කි.
අභයදානයෙන් සැනසීමට පත් විශාල පිරිසක් පිළිබඳ තොරතුරු අප සතුව පවතී. ඒ අතර රථවාහන කාර්මිකයෙකු ලෙස කටයුතු කළ මා නමින් නොහඳුනන පන්වතාගේ සිද්ධිය මෙසේය.
ඔහු දිනක් තැතිගත් ස්වරූපයෙන් මා හමුවට පැමිණියේය. “මට ස්වාමින් වහන්සේට යමක් කීමට අවශ්‍යයි” ඔහු කීවේය. “කියන්න” මම කීවෙමි. “ස්වාමීන් වහන්ස මම වාහන අලුත්වැඩියාවක් සඳහා යන විට කෑගල්ලේ දී ඉතා භයානක රිය අනතුරක් දැක්කා. අප ඉදිරියෙන් පැමිණි ත්‍රි රෝද රථයක් පාලනය කරගත නොහැකිව වම්පැත්තේ ගමන් කළ බස් රථයක හැපී යට වී එහි ගමන් කළ මිනිසුන් තුන් දෙනෙකු මළ මිනි සේ එලියට ගත්තා. එදා පටන් මට රෑට නින්ද යන්නෙ නැහැ. අදට සතියක්”.
“එම අනතුර ඔබ අතින් සිදු වූ එකක් නොවෙයිනේ. ඒ නිසා ඇයි තැති ගෙන ඉන්නේ” මම ඔහුව අස් වැසීමට එසේ කීවෙමි නමුත් කුමන ආකාරයෙන් පැහැදිළි කළත් ඔහු සුවපත් නොවන බව දකින්නට ලැබුණූ අතර අවසානයේදි මා ඔහුට ප්‍රකාශ කළේ ඔබ මීගමුව දෙසට යන විට මැරීමට කූඩු කර සිටින කුකුළන් කීපදෙනෙක් ඒ විපතට පත් අය සිහිපත් කර නිදහස් කරන ලෙසයි. දින කීපයක් ගත විය. එක් දිනක් රාත්‍රි කාලයේ ඔහු මා හමුවීමට නැවත පැමිණියේය.
එවර ඔහු බොහෝ සේ තැන්පත් වී සිටියේය. ඒ වගේම ඔහු සැනසීමට පත් වූ බව ඔහුගේ මුහුණින් දිස්විය.
ස්වාමින් වහන්ස, මම එදා රාත්‍රියේම පාර ළඟ මැරීමට කූඩු කර සිටි කුකුළන් කීප දෙනෙකු ම මිලට ගෙන ළඟ දේවාලයක ප්‍රසිද්ධියේම නිදහස් කළා. ඒ සතුන් අදටත් නිිරුපද්‍රිතව ඉන්නවා. මම ඒ පිං විපතට පත්වෙච්ච අයට අනුමෝදන් කළා. ඒක මට ඉතා විශාල සහනයක්”.
මේ පුද්ගලයාගේ සිතේ තිබුණ සැනසීම ඔහුගේ වචනයෙන් මෙන්ම මුහුණින්ද මනාසේ දැක ගත හැකි විය. මේ නිසා තමන් විසින් නොකරන ලද වරදක දී වුවත් තම සිත වද දෙන අවස්ථාවලදී සැනසීම පතා අභයදානමය පින්කම් කළ හැකි බව අප අමතක නොකළ යුතුය.
සියලු සතුන් වෙත මෙත් සිත පතළ කළ බුදුරදුන්ගේ මග යමින් අපිද පරපණ නොනසමු. අභය දානය දෙමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සැදැහැති බෞද්ධකම හඳුනාගනිමු

රාජකීය පණ්ඩිත, දර්ශනපති 
මාලිම්බඩ පඤ්ඤාසාර හිමි

බෞද්ධ සැදැහැවතුන් වෙනදාට වඩා දැඩි උද්‍යෝගයෙන් යුක්තව ධර්මය ශ්‍රවණයට සහ පුණ්‍යකාමි කටයුතුවලට සහභාගි වන බවක් දක්නට ලැබීම සතුටට කරුණක්. එහෙත් මෙසේ සහභාගි වන්නන්ගෙන් කී දෙනෙක් ධර්මය පිළිපදිනවාද? ප්‍රතිපත්ති ගරුකව සිටිනවාද? යන්න ගැටලු සහගත දෙයක් බව ප්‍රකාශ කළ යුතුය.
මේ උතුම් මැදින් පුරපසළොස්වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේ රජගහනුවර සිට කිඹුල්වතට වැඩීමට ගමන ආරම්භ කරනු ලැබුවේ අද වන් උතුම් පොහොය දිනකයි. බුදුරදුන්ගේ ගමනාරම්භයට කාළුදායි හිමියන්ගේ මග සලකුණූ වර්ණනාව බෙහෙවින් හේතු විය. මෙවන් උදාර පෝය දිනයක ශ්‍රද්ධාවන්ත බෞද්ධයෙකු වන්නේ කෙසේදැයි හඳුනා ගනිමු.
ශ්‍රද්ධාවෙන් තොරව කවරෙකුට හෝ නිර්වාණය සාක්ෂාත් කරගත නොහැකිය. ශ්‍රද්ධාව යනු තුනුරුවන් කෙරෙහි ඇති කර ගන්නා සැබෑ පැහැදීමයි. තෙරුවන් කෙරෙහි පැහැදීම සඳහා උතුම් බුදුගුණ, සදහම් ගුණ හා ආර්ය සංඝරත්නයේ ගුණ දැනගත යුතුය. අපේ ශ්‍රද්ධාවන්තයින්ගෙන් කී දෙනෙකුට උතුම් බුදුගුණ නවය (9) සදහම් ගුණ හය (6) සඟ ගුණ නවය (9) වෙන් කර කියාගත හැකිද? කී දෙනෙකුට එම ගුණ විසිහතරේ (24) තේරුම් කියාගත හැකිද? සැබෑ ශ්‍රද්ධාවන්ත ජීවිතය මෙතනින් ආරම්භ කළ යුතුයි නේද? සමහරු හිතන්නේ ශ්‍රද්ධාවයි, භක්තියයි කියන්නේ දෙකම එකයි කියලා. එහෙත් ඒදෙක අතරේ පවතින්නේ විශාල වෙනසක්, භක්තිය කියන්නේ, බිය පදනම් කර ගත් හැඟීමක්, භක්තිය හඳුන්වා දී තිබෙන්නේ දේව කේන්ද්‍රීය ආගම්වලයි. එම ආගම්වල සර්වබලධාරි නිර්මාපක දෙවියෙක් ඉන්නවා. එම ආගම්වල අනුගාමිකයන්ට දෙවියන් කෙරෙහි ඇති වන්නේ භක්තියක්, එහෙත් බුදුදහම තුළ එවැනි බියමුසු හැඟීමක් ඇති කර නැහැ. කෙනෙකු තුළ පවත්නා බියමුසු හැඟීමක් පවතින්නේ නම් ඒ ද තෙරුවන් සිහිකර පලවා හැරිය හැකියි. එසේ නම් බෞද්ධයෙකු හැඳින්වීමට සුදුසුම වචනය භක්තිවන්තයා, බැතිමතා නොව ‘සැදැහැවතා” ශ්‍රද්ධාවන්තයා’ යන්නයි.
එහෙත් කෙනෙකුට ප්‍රශ්න කළ හැකියි. එසේ නම් දහම් පාසල්වල භක්ති ගීත කියන්නෙ ඇයි කියලා. වෙසක් බැති ගී, පොසොන් බැති ගී කියන්නේ ඇයි කියලා. ඔව්... එහෙම කියනවා. එය සම්පූර්ණ වැරදියි. එම ගීත තුළින් බුදුන්වහන්සේ කෙරෙහි, ධර්මය හෝ සංඝයා කෙරෙහි බියක් ඇති කරන්නේ නැහැ. ඒවායින් ඇති කරන්නේ බුද්ධාලම්භන පී‍්‍රතියක් . එසේ නම් එම ගීත බොදු ගීත හෙවත් බෞද්ධ ගීතයි.
කෙනෙකු තුළ ඇතිවන ශ්‍රද්ධාව කොටස් දෙකකට බෙදනවා.
1.අමූලිකා ශ්‍රද්ධා
2. ආකාරවති ශ්‍රද්ධා කියලා
මින් අමූලිකා ශ්‍රද්ධාව ව්‍යවහාර භාෂාව තුළ හඳුන්වන්නේ මෝඩ ශ්‍රද්ධාව කියලයි. ඉන් නිර්වාණය සාක්ෂාත් කර ගත නොහැකියි. අපගේ සමහර බෞද්ධයන්ගේ වැඩ ගැන බැලුවහම පේන්නේ ඔවුන්ට තියෙන්නෙ මේ අමුලිකා ශ්‍රද්ධාවමයි කියලා. සමහරු පින් කරන්න කියලා පන්සලට හෝ වෙනත් ආගමික ස්ථානයකට ගියාම කරගෙන එන්නෙ පව්.
ලෝකෝත්තර වු නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය වන්නේ,ආකාරවති ශ්‍රද්ධාව, තෙරුවන් පිළිබඳ හරි අවබෝධයෙන් යුක්තව ඇති කරගන්නා මේ පැහැදීම නිවන් මඟ පාදා ගැනීමට හේතු වෙනවා. මෙම අවබෝධයෙන් යුතු ප්‍රඥාගෝචර පැහැදීම නිසා තෙරුවනට සමීප වෙනවා.ඒ නිසා ධර්මය ශ්‍රවණය කරනවා ධර්මය ශ්‍රවණය කිරීමෙන් ධර්මය මතක තබා ගන්නවා. මතක තබා ගන්නා ධර්මය ජීවිතයට එක් කර ගනිමින් ධර්මානුධර්ම ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනවා. ඒ නිසා පුළුවන් වෙනවා. ධර්මාවබෝධය ලබන්න එය තමයි නිවන කියන්නේ, ශ්‍රද්ධාවෙන් තොරව ප්‍රඥාව ලබන්න බැහැ. එහෙත් ප්‍රඥාව ලැබු පසු ශ්‍රද්ධාව අවශ්‍ය වෙන්නෙත් නැහැ.
දැන් අපි බලමු බෞද්ධකම කියන්නෙ මොකක්ද කියලා. බෞද්ධකම කියන්නේ බුද්ධිමත් අවබෝධයෙන් කටයුතු කරනවා කියන එකයි. බුදුරජාණන් වහන්සේට බුද්ධ කියා කියන්නේ බුද්ධියේ යා හැකි ඉහළම ස්ථානයට ගිය,අවබෝධ කිරීමට යමක් ලෝකයේ වේද, ඒ සියල්ල ස්වකීය ඥානයෙන් ම අවබෝධ කළාය යන්නයි. එසේ නම් බෞද්ධ වු අපි කටයුතු කරන්න ඕන කොහොමද? ඉතා බුද්ධිමත්ව අවබෝධයෙන්, අර්ථවත් ලෙස නේද? එහෙත් අපේ බෞද්ධ ජනතාවගෙන් කොපමණ ප්‍රමාණයක් එසේ කටයුතු කරනවාද?
බෞද්ධ සැදැහැවතුන් වෙනදාට වඩා දැඩි උද්යෝගයෙන් යුක්තව ධර්මය ශ්‍රවණයට සහ පුණ්‍යකාමි කටයුතුවලට සහභාගි වන බවක් දක්නට ලැබීම සතුටට කරුණක්. එහෙත් මෙසේ සහභාගි වන්නන්ගෙන් කී දෙනෙක් ධර්මය පිළිපදිනවාද? ප්‍රතිපත්ති ගරුකව සිටිනවාද යන්න ගැටලු සහගත දෙයක් බව ප්‍රකාශ කළ යුතුය. නිතර පන්සිල් ඇසේ. එහෙත් ඒ එක් සිල්පදයක් හෝ ආරක්ෂා කරන්නේ කීයෙන් කීදෙනාද ඇත්තටම සිදුවන්නේ, පන්සිල් සමාදන් වීමකට වඩා පන්සිල් කීමකි. ඒ ඒ ස්ථානයේ දී පන්සිල් කියා පුරුදු ලෙස ජීවිතය ගෙවා දැමීමක් සිදු කරන බවක් පෙනේ. ධර්මය ශ්‍රවණය කරන තරමින් එක් ධර්ම දේශනයකින් එක් බණ පදයක් හෝ පිළිපැදීමට,ආරක්ෂා කිරීමට පෙළඹුණේ නම් කෙතරම් ගුණගරුක සමාජයක් බිහි කළ හැකි ද? මේ උතුම් පෝදා සැබෑ බෞද්ධ සැදැහැවතෙකු වීමට අදිටන් කරගනිමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X