වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ලෝකයේ සියල්ල කර්මයට අනුව ම සිදුවන්නේ ද?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

සාමාන්‍යයෙන් සමාජයක ජීවත්වන විට පුද්ගලයා, පුද්ගලයාට සාපේක්ෂ ලෝකය වශයෙන් කාරණා දෙකක් පවතී. ලෝකය තුළ යම්, යම් සිදුවීම් සිදුවන අතර එම සිදුවීම්වල ස්වභාවය පුද්ගලයාගේ ජීවිතයට බලපායි. ඇතැම් අවස්ථාවල පුද්ගල ජීවිතයේ සිදුවන යම් යම් සිද්ධි ලෝකයට බලපාන සහ බලනොපාන සිදුවීම් වශයෙන් හඳුනාගත හැකි ය. ලෝකයේ සිදුවන සියල්ල කර්මයෙන් සිදුවන්නේ ද? වශයෙන් පුද්ගල සංකල්ප හා පුද්ගල සංසිද්ධි පිළිබඳවත්, ලෝක සංසිද්ධි පිළිබඳවත් වෙන් වෙන් වශයෙන් කල්පනා කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව, උන්වහන්සේ දේශනා කළ දේශනා පාඨවලට අනුව පුද්ගලයා ආශ්‍රිත සංසිද්ධි සියල්ල කර්මයෙන් සිදුවෙනවාය යන කාරණාව චුල්ලකම්ම විභංග සූත්‍රය වැනි සූත්‍රවල දක්වා ඇත. කම්මං සත්තේ විභජති යදිධං හීනප්පනීතිතාය යන පාඨය එම සූත්‍රයෙහි සඳහන් වේ. කර්මය සත්ත්වයා උසස්, පහත් ලෙස වෙනස් කරන බව එහි අර්ථය වේ. කර්මයට අනුව සත්ත්වයා වෙනස් වනවාය යන අදහස බුදුදහමේ අන්තර්ගත කාරණාවක් වේ. කම්ම යන වචනයෙහි විවිධ අර්ථ පවතී. කම්ම යන පාලි වචනය සිංහලයෙහි කර්මය වශයෙන් ද, සිංහල කට වහරට අනුව කරුමය වශයෙන් ද ව්‍යාවහාර වේ.

පාලියෙහි සඳහන් කම්ම යන වචනයට වඩා, වෙනස් අර්ථයක් ජනවහරෙහි ව්‍යාවහාර වන කරුමය යන වචනය ට අර්ථ දිය හැකි ය. සියල්ල කර්මයෙන් සිදුවනවා ද? යන ගැටලුවක දී කම්ම,කර්ම, කරුම යන වචන වෙන් වෙන් වශයෙන් තේරුම් කර ගත යුතු ය. පාලියෙහි කම්ම යන වචනය ක්‍රියාව යන අදහසින් ද යොදා ගැනේ. එසේම තමන් කළ ක්‍රියාවන් කම්ම වශයෙන් ද බෙදේ. මනස සම්බන්ධ ක්‍රියා මනෝ කම්ම වශයෙන් ද, කය සම්බන්ධ ක්‍රියා කාය කම්ම වශයෙන් ද, වචනය සම්බන්ධ ක්‍රියා වචී කම්ම වශයෙන් තවත් එක් අර්ථයක් ලෙස සඳහන් කළ හැකි ය. ඒ වගේම පෙර සංසාරයෙහි මේ භවයෙහි ඉපදීමට පෙර මිනිසා විසින් කරන ලද යහපත් , අයහපත් ක්‍රියාවලට ද කම්ම යන වචනය භාවිත වේ.
මේ අනුව එහි සඳහන් අර්ථ නිවැරැදිව නිශ්චය කරගැනීමකින් තොරව, සියල්ල කර්මයෙන් සිදුවනවාය යන කාරණය පැහැදිලි කරගැනීම අපහසු වේ. මූලික සූත්‍ර ධර්මවල කර්මය ප්‍රබල බලවේගයක්ය යන කාරණාව පැහැදිලි වේ. කර්මය මිනිසා පසුපස ලුහුබැඳ එනවාය යන අදහස බුදු දහමේ අන්තර්ගත වේ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ යනුවෙන් වසල සූත්‍රයෙහි සඳහන් කරුණු අනුව මිනිසාගේ උසස් පහත් බව තීරණය වීමට ඔහු විසින් කරනු ලබන වර්තමාන ක්‍රියා කලාපය බලපානු ලබන බව ය. කම්මං සත්තේ විභජති යදිධං හීනප්පනීතිතාය යන පාඨයෙහි අර්ථයට අනුව පෙර සංසාරයේ මිනිසාගේ පින් පව් අනුව මෙලොව ජීවිතයේ යම් යම් තීන්දු තීරණ ලැබෙන බව ය. ඒ අනුව මිනිසා අඩු ආයුෂ භුක්ති විඳින්නේත් , වැඩි ආයුෂ භුක්ති විඳින්නේත්,මිනිසා පැහැපත් වන්නේත්, දුර්වර්ණ වන්නේත්, මිනිසා රෝගී පුද්ගලයකු වන්නේත් ,මිනිසා නිරෝගී පුද්ගලයකු වන්නේත්, කර්මය නිසා ය. මිනිසා උසස් කුලවල උප්පත්තිය ලබන්නේත්, පහත් කුලවල උප්පත්තිය ලබන්නේත් කර්මය නිසා ය. පෙර සංසාරයේ කරන ලද පින් පව් මෙහි කර්මය වශයෙන් හඳුන්වා ඇත.
පෙර සංසාරයේ කළ අකුසල ක්‍රියා පිළිබඳ පමණක් කට වහරේ භාවිත වන කරුමය යන වචනයෙහි අර්ථ ගැන්වී ඇත. පුණ්‍ය ක්‍රියා පිළිබඳ හැඳින්වීමට කරුමය යන වචනය භාවිත නොවේ. ඒ සඳහා වාසනාව යන වචනය භාවිත වේ. කම්ම පලෝපජීවී සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ උත්සාහය සහ කර්ම ශක්තිය අනුව, මිනිසාගේ ජීවිතය තීරණය වන ආකාරය පැහැදිලි කර ඇත. ඔහු හෝ ඇය පෙර සංසාරයේ පුණ්‍ය මහිමය නිසා හෝ පාප තත්ත්වය නිසා හෝ ලබන කිසියම් ශක්ති විශේෂයක් මෙහිදී කර්මය වශයෙන් දක්වා ඇත. ඇතැම් පුද්ගලයකු කර්මය අනුව දියුණු වේ. ඇතැම් පුද්ගලයකු උත්සාහය අනුව දියුණු වේ. ඇතැම් පුද්ගලයකු කර්මයත් , උත්සාහයත් දෙකම බලපෑමෙන් දියුණු වේ. ඇතැම් පුද්ගලයකුට කර්ම ශක්තිය හා උත්සාහයේ ශක්තියක් ද නැත. මේ ආකාරයට බෙදා දක්වා ඇත. මුල් බුදුසමයේ සඳහන් සූත්‍ර ධර්මවලට අනුව සියල්ල කර්මයෙන් සිදුවනවාය යන කාරණාව පැහැදිලි වේ.
මේ කාරණය වඩාත් පැහැදිලිව තේරුම් ගැනීම සඳහා අටුවා පොත්වල නියාම ධර්ම වශයෙන් ධර්ම කොටසක් විග්‍රහ කර ඇත. බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම , සෘතු නියාම, කම්ම නියාම වශයෙන් සඳහන් වේ. මෙම තත්ත්වය විග්‍රහ කිරීෙමි දී කර්මය නිසා නොව බීජයට අනුව එම තත්ත්වය සිදුවන බව විග්‍රහ කරනු ලබයි.
දොඩම් ඇටයක් පැළ කළ විට දොඩම් ගහක් හැදෙන්නේ කර්මය නිසා නොව බීජයට අනුව බව ඇතැමුන් ප්‍රකාශ කර යි. වැහි කාලයට නාය යන්නේ කර්මයට අනුව නොව සෘතු විපර්යාසය අනුව වන බව ය. මිනිසුන්ගේ සිතිවිලිවලට අනුව ක්‍රියා කළ විට උසස් පහත් වන්නේ චිත්ත නියාමය අනුව බවය.
මේ ආකාරයෙන් අටුවා පොත්වල විග්‍රහ කර ඇත. මේ අනුව සියල්ල කර්මයට අනුව සිදු නොවන බව මේ විග්‍රහයෙන් කිසි විට විග්‍රහ වන්නේ නැත. එය විමසා බැලිය යුතු ය. බුදු දහමේ කම්ම යන වචනය විග්‍රහ කරනු ලබන්නේ සිදුවීමක් සිදුවුවාට පසුව ය. කිසියම් සිදුවීමක් සිදුවූවාට පසු එය වෙනස් කළ නොහැකිවන්නේ එම කාරණාව සිදු වී අවසන් බැවිණි. සිදූ වී අවසන් වූ අතීත ක්‍රියාවක් සම්බන්ධව එය ඔහුගේ කර්මය අනුව සිදුවූ බවට භාවිත වේ.
කර්මය මිනිසා පසු පස එනවාය යන බුදුදහමේ සඳහන් කාරණාව මේ අනුව විමසා බලන විට පැහැදිලි වේ. යහපත් ක්‍රියාවත් , අයහපත් ක්‍රියාවත් කර්මය වේ. එම කර්මයම උත්සාහය වේ. ඇතැමුන්ට උත්සාහ කීරීමට නො සිතෙන්නේ ද, කර්මය නිසා ය. එනිසා මිනිසා ඉදිරියට ගෙන යන මිනිසාගේ ජීවිතය වෙනස් කරන උදාර ශක්ති විශේෂය කර්මය ලෙස බණ පොතේ සඳහන් වේ.
ලෝකයේ පුද්ගලයාට බලපාන සියල්ල සිදුවන එකම හේතුව කර්මය ලෙසට නිශ්චය කර තේරුම් ගැනීමේ වැදගත්කම පවතින්නේ එම හේතුව නිසා ය.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X