වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සක් දෙවිඳු

344
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය. සක් දෙවිඳුට මෙබඳු සිතක් ද විය.

“අර්හත් සම්‍යක් සම්බුද්ධවූ භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි නම් වැඩ වෙසෙත්ද?” යනුයි.

මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි වසන්නාවූ භාග්‍යවතුන් වහන්සේ සක් දෙවිඳු දුටුවේය. දැක තව්තිසා වැසි දෙවියන්ට කථා කළේය.
“නිදුකාණෙනි, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරුදිගින් වෙදික නම් පර්වත සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්‍යවතුන්වහන්සේ වැඩවෙසෙති. නිදුකාණෙනි අප අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන්වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” ඇසුවේය. ‘පින්වතුන් වහන්ස, එසේ වේවායි” තව්තිසා වැසි දෙවියෝ සක් දෙවිඳුට උත්තර දුන්හ.
345
එවිට සක් දෙවිඳු පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව, පංචසිඛය, මගධ ජනපදයෙහි රජගහනුවරට බටහිර දිගින් අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිශාවෙහිවූ වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩවෙසෙති. දරුව පංච සිඛය, අපි අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස යන්නෙමු නම් යහපත් නොවේදැයි” කීය. පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා, “පින්වතුන් වහන්ස, එසේයයි” සක් දෙවිඳුන්ට උත්තරදී බෙලුවපණ්ඩු නම් වීණාව ගෙන සක් දෙවිඳු ලඟට පැමිණියේය.
346
එවිට සක් දෙවිඳු තව්තිසා වැසි දෙවියන් විසින් පිරිවරන ලදුව, පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයා පෙරටුකොට ගෙන, ශක්තිමත් පුරුෂයෙක් අකුලන ලද අතක් යම්සේ දිග හරින්නේද, දිග හරින ලද අතක් යම්සේ අකුලන්නේද එපරිද්දෙන් තව්තිසා වැසි දෙවියන් කෙරෙහි අතුරුදහන්ව මගධ ජනපදයෙහි රජගහනුවරට බස්නාහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගම වේද ඊට උතුරු දිගින්වූ වෙදික නම් පර්වතයෙහි පහළවිය.
එකල්හි වෙදික නම් පර්වතයද, අම්බසණ්ඩ නම් බමුණු ගමද දෙවියන්ගේ ආනුභාවයෙන් වැඩියක් ආලෝකවත්විය. එකල අවට ගම්වැසි මනුෂ්‍යයෝ මෙසේකීහ “වෙදික නම් පර්වතය ගිනි ගත්තේය. අද වෙදික නම් පර්වතය සම්පූර්ණයෙන් දැල්වුනේ වේ. අද වෙදික නම් පර්වතය දිලිසෙන්නේය. කුමක් නිසා අද වෙදික පර්වතය හා අම්බසණ්ඩ නම් බමුණු ගමත් වැඩියක් හටගත් ආලෝක ඇත්තේ දැයි” සංවේගයට පැමිණියාහු හටගත් ලොම් ඩැහැගැනීම් ඇත්තෝ වූහ.
347
එවිට සක්දෙවි තෙම පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රයාට කථා කළේය. “දරුව පංචසිඛය, ධ්‍යාන ඇත්තාවූ ධ්‍යානයෙහි ඇලුනාවූ, ඊටපසුව එකඟ කළ සිත් ඇත්තාවූ තථාගතයන් වහන්සේලා ලඟට මා වැන්නෙකු විසින් පැමිණීම පහසුනැත. දරුව පංචසිඛය තොප පළමුව භාග්‍යවතුන් වහන්සේ සතුටු කරන්නෙහිද? දරුව තොප විසින් පළමුව සතුටුකරන ලද්දාවූ අර්හත් සම්‍යක් සම්බුද්ධවූ ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත පසුව අපි දැකීම පිණිස යන්නෙමු.”
“පින්වතුන් වහන්ස, එසේයයි” කියා පංචසිඛ නම් ගන්ධර්ව පුත්‍රතෙම සක් දෙවිඳුගේ වචනය සතුටින් පිළිගෙන බෙලුවපණ්ඩු වීණාව ගෙන ඉන්ද්‍රසාල ගුහාව යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ‘මෙපමණකින් භාග්‍යවතුන් වහන්සේ මට ඉතා දුරක් නොවන්නේය. ඉතා ළඟත් නොවන්නේය. ශබ්දයද ඇසෙන්නේයයි’ එක පැත්තක සිටියේය. Path to Nirvana

සිංහල ත්‍රිපිටකය Sinhala Tipitaka ඉතිරිය ->

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පොහොයට අටසිල් සමාදානය අර්ථවත් කරමු

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අපේ රටේ බොදු ජනතාව අතර ජනපි‍්‍රය බොදු සිරිතක් බවට පත්ව ඇති දෙයක් තමයි පොහොය දවස්හි අටසිල් සමාදන් වීම. නැතිනම් පෙහෙවස් සමාදන් වීම. ඉතින් මේ සිරිත අද ඊයේ ඇති වූවක් පමණක් නොවෙයි. පෙර රජදරුවන් පවා පොහොය දවස්හි අටසිල් සමාදන්වී උතුම් ප්‍රතිපත්ති පූජාවක් පවත්වා තිබෙනවා. අප මහබෝසතුන් මවුකුස පිළිසිඳ ගත්තේත් එදා මහාමායාදේවිය පෙහෙවෙස් සමාදන්ව සිටි දවසකයි.
වර්තමානයේ විශේෂයෙන් පුරපසළොස්වක පොහොය දිනයෙහි මෙම සීලසමාදානය විශේෂ වශයෙන් සිදු වෙනවා. මෙයට වසර තිහ හතළිහකට පෙර නම් සතරපෝයට මත්තෙන් අපේ රටේ උවසු උවැසියන් යම් පමණක් පිරිස් මේ අටසිල් සමාදන් වුණා. අනුරාධපුර, කතරගම කිරිවෙහෙර, මහියංගණ, මුතියංගණ ආදී මහා විහාරස්ථානයන්හි දහස් ගණනින් පුරපසළොස්වක පොහොය දිනයන්හි මේ චාරිත්‍රය අනුගමනය කරන උවසු උවැසියන් දක්නට ලැබෙනවා. ලංකාවේ සෑම විහාරස්ථානයකම පාහේ මේ විදියට සිල් සමාදන් ව දවස ගත කිරීම හොඳ බොදු සිරිතක් බවට පත්ව තිබෙනවා. සුදුවතින් හැඳගෙන අතිශය චාම් සරල පෙනුමක් ඇති කරගෙන මේ ආකාරයෙන් වෙහෙර විහාරස්ථානවල සිල් සමාදන්වී සිටින පිරිස් දකින කොටත් ඒ දකින අයට පවා මහත් ප්‍රසාදයක් සිතේ ලොකු නිවීමක් ඇති වෙනවා. මේ නිසා මේ විදියට සිල් සමාදන් වන දහස් ගණන් පිරිස්වලට ආහාර, ගිලන්පස ආදියෙන් සත්කාර කරන පිරිස් ද අපට නිතරම බහුලව දකින්නටත් ලැබෙනවා. ඉතින් උදේ පාන්දරම එනම් 6.00 ට විතර පන්සලේ හාමුදුරුවෝ විහාරමන්දිරයට හෝ විහාර මළුවට වැඩම කරවලා මේ පිරිස අටසිල් ගැන්වීමයි පළමුවෙන්ම දවසේ සිදුකරන කාර්යය බවට පත් වන්නේ. අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව මේ අටසිල් සමාදානයෙන් සිල් සමාදන් වන අය ඒ දවසේ සිල් පද අට මුවින් කියවා කුමක්ද සිතට ගන්නට ඕන කාරණය වෙලා තියෙන්නේ? ඇත්තෙන්ම මේ සිල් සමාදන් වන පිරිස නිවැරැදි තේරුමක් ඇතිව ද? මේ අටසිල් සමාදන් වී පන්සලේ දවස ගත කරන්නේ. මෙහි දී වැදගත් වන්නේ සතිය හෙවත් සිහිය පිහිටුවා ගැනීමයි. තවත් විදියකින් කියනවා නම් අප්‍රමාදයෙන් කටයුතු කිරීමයි. නිවන්මග අරමුණු කරගන්නා අය සතිය ඇතිව යි ක්‍රියා කරන්නේ. නිවන් මගට යොමු වෙනවා. කියන්නේත් සතිය පිහිටුවා ගෙන ක්‍රියා කරත්වා කියන එකයි. ඉතින් එතකොට අප සිල් සමාදන් වෙලා දවස ගත කරනවා කියන්නේ දවස සතියෙන් හෙවත් සිහියෙන් ගත කිරීමට උත්සාහ කිරීම යි. මේ කියන සතිය කුමක්ද? කියන එකයි. මෙහිදී වැදගත් වන කාරණය බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තිබෙන ‘සංඛිත්තඅට්ඨංගුපොථ සූත්‍රයෙන්’ අපට ඉතා වැදගත් වෙනවා. එහිදී බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම පෙන්වා දෙනවා අංග අටකින් යුක්ත මේ සීලයෙන් යුක්තව කල් යැවීම මහත්ඵල මහානිසංස වන බව.
එහිදී ආර්ය මාර්ගය අනුව ක්‍රියා කරන අය සිතට ගත යුතු කාරණා අටක් ඒ එක් එක් සිල් පදයක් සමාදන් වන විට සිහියට නගා ගතයුතු වෙනවා. ආර්යමාර්ගය අනුගමනය කරලා රහත් බවට පත් උතුමා දිවි ඇති තෙක් ම කවර ම ආකාරයකින්වත් සත්ව හිංසනයක, සත්ත්ව ඝාතනයක යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් දඬු මුගුරු අතට ගන්නෙත් නැහැ. අවි ආයුධ භාවිතා කරන්නේත් නැහැ. මෙත් සිතින් කල් යවනවා. පවට ඇත්තේ පුදුමාකාර ලජ්ජාවක්. හෙවත් හිරියක්. හැම විටම සියලු සතුන් කෙරෙහි දයාවෙන් කරුණාවෙනුයි පසු වන්නේ. ‘මමත් දවාලෙත් රැයෙන් රහතුන් ගත් මග ඔස්සේ යමින් ඒ ආකාරයෙන්ම කල් යවන්නටද මහ සිල් පද අටෙන් පළමු සිල්පදය මා විසින් මේ දවසේ ආරක්ෂා කළා වන්නේ සිතා සිහියෙන් දවස ගත කරනවා. එතකොට දැන් අප කාටත් වැටහෙනවා තම සිහියේ කුමන සිතිවිල්ලක් පළමුවෙන්ම තහවුරු කර ගතයුතු වෙනවා ද කියල. දැන් එහෙම වෙනකොට මම පළමු සිල්පදය රැක්කා වෙනවා.
දැන් දෙවන සිල් පදයට හැරෙමු. යමක් සොරසිතින් ගැනීමෙන් වැළකීම, ඒත් සිහිය පිහිටුවා ගන්නේ අරවිදියටමයි. රහත් බවට පත් උතුමා දිවි හිමියෙන් ම නොදුන් දේ පැහැර ගැනීමෙන් වැළකී සිටින උතුමෙක්. ඒ උතුමා දුන් දෙයක් පමණක් ගන්නේ ය. මමත් මේ දිවා රෑ ඒ ආකාරයෙන්ම සිහියෙහි පිහිටුවා ගන්නේ මට දුන් දෙයක් ගැනීමට කැමැත්තක් දක්වනවා හැර එවැනි සොර සිතක් කුමන ආකාරයකින් වත් ඇති කරගන්නේ නැහැ. මේ කරුණ සියලු ඉරියව් පටන් දෙවැනි සිල්පදය සමාදන් වන අය නිරතුරුවම රහත් උතුමන් අනුකරණය කරමින් සිහියෙහි පිහිටුවා කල් යවනවා.
තෙවන ශික්ෂාපදය කාම මිථ්‍යාචාරයෙන් වැළකීමයි. ආර්ය මාර්ගය අනුගමනය කරන ශ්‍රාවකයා කුමක්ද? සිහියට නගා ගන්නේ මෙම පෙර රහත් උතුමන් දිවි හිමියෙන් ක්‍රියා කළ ආකාරයෙන් කාමභෝගී අඹුසැමියන් ලෙස සංවාසයෙන් තොරව ඒවායින් දුරින් ම දුරු වී උතුම් බ්‍රහ්මචරියාවෙන් යුතුව, ඉන්ද්‍රිය අනුගමනයෙන් යුතුව කල් යවා සිහියෙහි මනා කොට පිහිටුවාගෙන කාලය ගත කිරීමයි. මෙය තවදුරටත් කියනවා නම් රහතන් වහන්සේ ගත් මග අනුකරණය කිරීමට ගනු ලබන උත්සාහයක් ලෙසයි සලකන්නේ.
මීළඟට සමාදන්වන අටසිල්පදය වන්නේ මුසාවාදයෙන් වැළකීමේ චර්යාව අනුගමනය කිරීම අදහස් කෙරෙන ශික්ෂාපදයයි. දිවි ඇතිතාක් රහතන් වහන්සේ විසින් ආරක්ෂා කළ මේ චරියාව පිළිබඳ අටසිල් පෙහෙවස් සමාදන් වන අය කුමක්ද? සිහියට නඟා ගතයුතු වන්නේ මෙම කාලය තුළ මම ස්ථිර වශයෙන්ම බොරු කීමෙන් වැළකෙමි. සත්‍ය පමණක් ගළපා කතා කරනවා. පාවිච්චි කරන වචන පිළිබඳ වගකීමක් ඇතිවන ස්ථිරවම නිවැරැදි වචනයෙහි පිහිටා ඕනෑම අයෙකු විසින් විශ්වාස කටයුතු කතාබහ ඇතිව ලෝකය වංචනික ලෙස කිසිවිටෙකත් රැවටීමකට ලක් නොකර ඒ උතුම් රහතන් වහන්සේ අනුකරණය කරමින් මනා ලෙස ඒ කරුණෙහි ද සිහිය පිහිටුවා පෙහෙවස් සමාදන් වෙනවා යි දිවා රාත්‍රී කාලය සිහි බුද්ධියෙන් කල්යවනවා කියන මේ අධිෂ්ඨානය ඇති කර ගැනීමයි.
පස්වන ශික්ෂාපදය ලෙස පෙහෙවස් සමාදන් වන උවසු උවැසියන් සිතට ගත යුතු වන්නේ ද, දිවිහිමියෙන් ආර්ය උත්තමයන් වහන්සේ මේ ආකාරයෙන් මදයට හා සිහිවිකල් බවටත්, සිත විසිරෙන ප්‍රමාදය කියන මේ නිවන් මඟ සම්පූර්ණයෙන් අවුරාලන මත්වතුරට, මත්ද්‍රව්‍යයට ගොදුරු නොවී එයින් දුරින් ම දුරු වී මෙම දවස් හි රාත්‍රී ‘මම සිහියෙන් යුක්තව කාලය ගත කරමි’යි යන අධිෂ්ඨානයෙන් යුතුව දවස ගත කිරීමයි. මෙයින් සිදු වන්නේ රහතන් වහන්සේ අනුගමනය කිරීමක්, මෙය මනාව දියුණුවන කුසල සිතිවිල්ලක් බවට පත් වෙනවා.
සයවෙනුව සමාදන්වන සීලය වන්නේ පෙරවරු කාලයෙහි පමණක් ආහාර ගැනීමත් පස්වරුවෙහි හෙවත් විකාලයෙහි ආහාර ගැනීමෙන් වැළකීමත්ය. මේ පිළිවෙත ද රහතන් වහන්සේ දිවිහිමියෙන් සුරැකි පිළිවෙතක් වෙනවා. උවසු උවැසියන් විසින් මෙහිදී අධිෂ්ඨානයෙන් සිහියට නඟා ගන්නේ ඒ රහතන් වහන්සේ ගත් මඟ තමන් විසින් ද අනුකරණය කරමින් මේ දිවා රාත්‍රී කාලය ගත කරනවා කියන ප්‍රතිපදාව අනුගමනය කිරීමයි.
හත්වන ප්‍රතිපදාව ලෙස සැලකෙන්නේ නැටුම් ගැයුම් වැයුම් උසුළු විසුලු දසුන් මෙන්ම මල් සුවඳවිළවුන් සිරුරෙහි ගැළවීම තවදුරටත් ඒ මඟින් තම සමේ අඩු තැන් පුරවාලමින් කාමභෝගී සාටෝප පෙනුමක් ඇති කර ගැනීමට උත්සාහ දැරීම කියන මේ සියලුම ව්‍යාජ තත්ත්වයගෙන් අත්මිදී බොහොම සරලව දිවිපවත්වා ගැනීමයි. මේ මග ද දිවිහිමියෙන් රහතන් වහන්සේ අනුගමනය කළ ගමන්මගයි. ‘මසිත ද ඒ ආකාරයෙන් උන්වහන්සේ මුළුසිතින්ම අනුකරණය කරමින් දිවා රාත්‍රී කාලය හෙවත් දවස ගතකරනවා කියන මේ අධිෂ්ඨානයෙන් ක්‍රීඩා කිරීම අදහස් කෙරෙනවා.
අටවෙනුවට පෙහෙවෙස් සමාදන් වන අය විසින් අධිෂ්ඨාන කර ගන්නා ප්‍රතිපදාව ලෙස සඳහන් වන්නේ පෙර රහතන් වහන්සේලා දිවිහිමියෙන් අනුගමනය කළ ආකාරයෙන්ම ක්‍රියා කරමින් මමත් පමණ ඉක්ම වූ උස් ආසන හා මහා ආසන භාවිත නො කර අතිශයින් සරල කිසිදු වටිනාකමක් නැති, තණ, පන්කොළ ආදියෙන් සකස් කළ පැති ඇතිරියක, සයනයක හිඳ මේ දිවා හා රාත්‍රී කාලය ගත කරන්නෙමි’. යන සිහියෙන් කල් යැවීමයි. මෙය ද ඒ ආර්ය උත්තමයන් වහන්සේ අනුකරණය කරමින් ක්‍රියා කිරීමක් වෙනවා.
මෙසේ මුල දී කියැවුණු මේ චර්යාත්මක වෙනස්කම් ඇති කර ගැනීමේ දී හැම විටම ප්‍රතිපත්තිමය වශයෙන් පුරුදු පුහුණු කර ගන්නා වෙන පැවැත්මකු යි අදහස් කර තිබෙන්නේ. මේ ප්‍රතිපත්තිමය චර්යාවන්ට යොමු වන සැදැහැති උපාසකයා හෝ උපාසිකාව මෙම සිහිය වගේම තම පැවැත්ම එක් පොහොය දිනකට පමණක් සීමා කර මාසයේ අනික් දවස් 29 හෝ 30 වෙනත් විෂම චර්යාවන්ට ගොදුරු වූවාට වරදක් නොවේ කියන අදහසක් මෙහි දී අදහස් වන්නේ නැහැ. එම උදවිය තම ජීවිතයට මේ කියන උතුම් චර්යාවන් හුරු කරගෙන අනෙකුත් දිනවල ද සරලව චාමෙට මනා සිහියෙන් යුක්තව දවස් යැවීමයි වැදගත් වන්නේ. මේ තත්ත්වය තමන්ගේ සාංසාරික පැවැත්ම නිවැරැදි කර ගැනීමටත් මහත් පිටුබලයක් වෙනවා. එවැනි අය දුසිරිතෙන් දුරු සමාජයේ නිවැරැදි ව හැම විටම ක්‍රියා කරනවා. කිසිවිටෙක මතට යොමු වන්නේත් නැහැ. කාටත් ආදර්ශයට ගත හැකි සරල ජීවිතයකට හුරු වෙනවා. මේ තත්ත්වය නිවන්මග හෙළි කර ගැනුමට කරන උත්සාහයක් බවට පත් වෙනවා. මෙය තවත් විදියකින් කියනවා නම් ගිහිගෙයින් දවසක් හෝ අභිනිෂ්ක්‍රමණය වීම නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව සපුරාගන්නට යොමු වීමක් ද වෙනවා. එය ද නිවන් මඟට යොමු වීමකි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

හොඳ - නරක විනිශ්චයෙහි බොදු පිළිවෙත

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
ඉතිහාස අධ්‍යයන අංශයේ 
මහාචාර්ය 

හඟුරන්කෙත ධීරානන්ද හිමි

හොඳ , නරක දෙක විනිශ්චය කළ හැකි දැනුමක් හා මැදි මඟක් පෙන්වන ආගම බුද්ධාගම වන අතර එම මාවතේ එබඳු වූ දැනුමක් ඇතිව ගමන් කරන පුද්ගලයා බෞද්ධ නාමයෙන් හැඳින්වීමට සුදුසුකම් ලබන්නෙකු වේ. එමෙන්ම යමෙකු බුදුරදුන්, දහම් හා සඟුන් සරණ යයිද (යො ච බුද්ධං ච ධම්මං ච සරණං ගතො) එමෙන්ම චතුරාර්ය සත්‍ය දකියි ද ඔහුම දුකින් මිදේ යැයි (චත්තාරි අරිය සච්චානී සම්මපඤ්ඤාය පස්සති) දක්වන සඳහනින් ද ඉස්මතුකොට පෙන්වනුයේ බෞද්ධයාගේ චර්යා පද්ධතිය හා පුද්ගල ශක්‍යතා ලක්ෂණයෝය. බෞද්ධයකු නම් හෙතෙම සත්‍ය සතර පිළිබඳ නිවැරැදි වැටහීමක් ලද්දකු විය යුතුය. එමෙන්ම තෙරුවන්ගේ ගුණය නිවැරැදිව හඳුනාගත යුත්තකු විය යුතුය. එබඳු පුද්ගලයකුගේ බුද්ධිමය අවකාශය ධර්මය හා බැඳෙන අතර තමා පිළිබඳව නිවැරැදිව නුවණින් දකින්නකු වන බවද එමඟින් ගම්‍ය කෙරේ.
පුද්ගලයකුගේ ශක්‍යතාවය පිළිබඳව තමා විසින් නිශ්චය කළයුතු බවත් අගැයුම ද ඉන් ලබන ඵලයද තමා සතුවන ආකාරයත් බුදුදහමින් අවධාරිතය. තමා විසින් තමා දමනය කර ගැනීම පහසු කටයුත්තක් නොවේ. (අත්තා හි කිර දුද්දම)අපහසු වුවද තමාට පිහිට තමාමය. තමාට පිළිසරණත් තමාමය.(අත්තාහි අත්තනො නාථො –අත්තාහි අත්තනො ගතිං) එබැවින් තමාගේ අඩුපාඩු බලා තමාටම චෝදනා කරගත යුතුය. (අත්තනා චොයත්තානං පටිමාසෙ අත්තමත්තනො) කවරෙකුටවත් තම සිත දමනය කිරීම අරභයා පිහිට විය නොහැකිය. (කොහි නාථො පරෙසියා) සදාතනික නිවීමක් සඳහා තමා දමනය කළ යුතුව ඇත. (අත්තානකංච සුදන්තෙන නාථං ලභති දුල්ලභං) මෙහි දමනය යනු සිත දමනය කර ගැනීම වේ. තමාගේ සිත වෙන කෙනෙකුට දමනය කළ නොහැකිය. වෙන කෙනෙකු විසින් සිත සමනය කිරීමෙන් තමාගේද සිත දමනය වේ යැයි සැලකීම මෝඩකමකි. කායික හා මානසිකත්වයේ පිරිසුදු හෝ අපිරිසුදු බව රඳා පවත්නේ තමා අතමය. අනෙකෙකුට තමා පිරිසුදු කිරීමට හෝ අපිරිසුදු කිරීමට නොහැක්කේමය. (සුද්ධි අසුද්ධී පච්චත්තං නාඤ්ඤමඤ්ඤං විසොධයේ) තමාට පිහිට තමාමය. එසේ නම් මෙහි තමා දමනය කිරීම යනු තම සිත දමනය කිරීම වන අතර දැමුණු සිත ඇති කය ද ඒ හා බැඳෙමින් දමනය වීම ස්වාභාවිකය.
කුසල, අකුසල යනු තමා විසින් කරනු ලබන යහපත හා අයහපත නැතහොත් හොඳ, නරක දෙක වේ. මේ අංශ දෙක පිළිබඳව දැනීමක් ඇත්තේ ප්‍රඥාවන්තයා ලෙසින් බුදුදහමට අනුව විවරණය කළ හැකිය. සෑම ජීවිතයකම පදනම වනුයේ තමා විසින් තිදොරින් කරනු ලබන ක්‍රියාදාමයන්ය. එම ක්‍රියාවෝ, හොඳ, නරක හෝ කුසල්,අකුසල් යැයි ප්‍රධාන වශයෙන් වර්ග කළ හැකිය.අකුසලය ගැන ඇති දැනීම කුසලය වැඩීමට රුකුලක් වේ. එමෙන්ම කුසලය පිළිබඳ ඇති දැනීම හා එහි ඵලය විපාකය වක අකුසල් නොකිරීමට හේතු වේ. කුසලා කුසල විනිශ්චයක් කිරීමට නම් පුද්ගලයකුගේ සිත දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණකි. අපගේ සිත සෑම ක්‍රියාවකටම මූලය වේ. සිත, සිතිවිලි මත ක්‍රියාත්මක වේ. එසේ ඇතිවන සිතිවිලි මත ත්‍රිවිධ ද්වාරය මඟින් කුසල අකුසල ක්‍රියාවෝ ක්‍රියාත්මක වෙති.
අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ කුසලාකුසල යනු කුමක්ද? යන්න පිළිබද ඉතා පැහැදිලි විවරණයක් වේ. බුදුරජාණන් වහන්සේ රාහුල හිමියන් අමතා ඒ අවස්ථාවේ මෙසේ දේශනා කළ සේක. “රාහුලය, මම කයින් යම් කර්මයක් කරනු කැමැත්තෙම් ද මගේ මේ කාය කර්මය තමාට දුක් පිණිස පවත්නේය. අනුන්ට දුක් පිණිස පවත්නේය. උභය පක්ෂයටම දුක් පිණිස පවත්නේය. මෙම කාය කර්මය අකුසල කාය කර්මය වේ. එය දුක් වඩන්නේය. දුක් විපාක ඇත. එමෙන්ම යම් වූ කාය කර්මයක් තමාට දුක් පිණිස නොපවතීද අනුනට දුක් පිණිස නොපවතීද උභය පක්ෂයටම දුක් පිණිස නොපවතීද මෙම කාය කර්මය කුසල්ය. සැප පිණිස පවතින්නේය. එහි සුබ විපාකයක් ඇත.” යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කර ඇති ප්‍රකාශය වන්නේද තමන් යමක් කිරීමට මත්තෙන් ඒ පිළිබඳව පූර්ව විනිශ්චයක් කළ යුතු බවකි. එහි පූර්ව විනිශ්චයට මූලික වන්නේ අන් කවරක් නොව තම සිතම බව පැහැදිලිය. සිතින් සිතා කායික හා වාචසිකව සිදුකරනු ලබන ක්‍රියාවෝ (වෙතයිත්වා කායෙන වාචා මනසා) බුදුදහමේ කර්මය යනුවෙන් හඳුන්වා දෙනු ලැබේ. සිතින් සිතා ගතින් හා වචනයෙන් ඉටු කරනු ලබන ක්‍රියාවෝ ඵල සහිතය. කර්මඵල යනු එම ක්‍රියාවන් වන අතර එහි විපාකයක්ද ගැබ්ව තිබේ.
තම ද්වාර (හිත, කය, වචනය) සංවර කර ගැනීමේ ඵලය කුමක්ද යන්නද බුදුරජාණන් වහන්සේ මෙසේ පෙන්වා වදාළහ. වචනය රැක ගත යුතුය. සිත සංවර කර ගෙන තැන්පත් කර ගත යුතුය.අකුසල් නොකළ යුතුය. (වාචානුරක්ඛී මනාස සුසංවුතො කායෙනච අකුසලං න කයිරා) මෙසේ තිදොරින් සිදුවන තුන්කර්ම පථයන් පිරිසුදු කරගත් කල්හි බුද්ධාදී උතුමන් දෙසු නිවන් මඟ සම්පූර්ණ කරන්නෙක්ද වන බව උන්වහන්සේගේ දේශනයෙන් අපට පසක් කර දී තිබේ. (එතෙතයො කර්මපථෙ විසොධයෙ ආරාධයෙ මගං ඉසිප්පවෙදීතං) මානසික හා කාය වාග් සංවරත්වයද නිවන් දැකීමට අත්‍යවශ්‍ය වන මූලයක් බව එමගින් පැහැදිලි වේ. තිදොරේ සංවරත්වය කුසල,අකුසල විනිශ්චයේ මෙන්ම සත්‍ය ගවේෂණයේ මූල පදනමක් බවද මින් පෙන්නුම් කෙරේ.
සමාජයක් තුළ සංවරත්වය සමාජ ප්‍රගමනයේ එක් මූල සාධකයක් වේ. සංසුන් මනසක් හා සංසුන් කාය, වාග් ක්‍රියාකාරිත්වයක් සමාජය තුළ වෙසෙන පුද්ගලයන් තුළ ඇති කල්හි සමාජය තුළ නිර්මාණය වන දහසකුත් ප්‍රශ්න අවමකර ගැනීමට මහත් රුකුලක් වන බව පැහැදිලිය. ශීලය යනුවෙන් පෙන්වා දෙනුයේ මෙම ශික්ෂණ මාර්ගයේ පළමු පියවරය. දැහැමි මගට පිවිසීමට නිරතුරුව හේතුවන තම කාය, වාග් සුචරිතය. පදනම් කරගත් වැරැදි පහකින් සංවරත්වයට පත්වීම පඤ්ච ශීලයෙන් අර්ථවත් කෙරේ. පඤ්චශීල ප්‍රතිපත්තිය මුල් කර ගත් ශීක්ෂණ ක්‍රමයක වැදගත්කම බුදුදහමින් පැහැදිලිව අනාවරණය කොට ඇත. නිත්‍ය ශීලය ලෙසින් පඤ්චශීලයට සුවිශේෂී වූ වැදගත්කමක් බුදුදහමින් ලබා දී ඇත. පරපණ නොනසන, නොදුන්දේ ගැනීමෙන් වළකින. කාමයේ වරදවා, නොහැසිරෙන, බොරු නොකියන හා සුරාව පානයෙන් වැළකීම මෙම ප්‍රතිපත්ති පහට අන්තර්ගතය. මෙම ශික්ෂණ පහෙන් සංසුන් වෙන්වන පුද්ගලයා තමාට මෙන්ම සමාජයටද අහිතක්වන අන්දම මෙන්ම සමාජයේ පැවැත්මට කෙතරම් බාධාකාරි ද යන්නත් වත්මන් සමාජයට අවධානය යොමු කරන විට අවබෝධ කොට ගැනීම අපහසු නොවේ. සමාජයක ප්‍රගමණය රඳා පවතින්නේ පුද්ගලයන් මත නම් පුද්ගලයන්ගේ ක්‍රියාකාරිත්වය මෙහිදී ප්‍රමුඛ වේ. ක්‍රියාකාරිත්වය යනු තමාට මෙන්ම සමාජයේ ජීවත්වන අන් පුද්ගලයන්ගේ සුබසිද්ධියට හේතුවන ක්‍රියාවන්හි නිරතවීමය. සැමට සැපතක් පතා කරන ක්‍රියාවන් සංවරත්වයක් මත කළ යුතුවන අතර අසංවරත්වය නිරතුරුව තමාට මෙන්ම අන් සැමටත් අයහපතක් මතම පවතින්නක් බව පැහැදිලිය.මේ නිසා පංචශීලය සමාජයේ ජීවත්වන පුද්ගලයන්ගේ නිත්‍ය සංවර පහ ලෙසින් දක්වා තිබෙන අතර සමාජ හා පුද්ගල අරමුණු මුදුන් පත් කර ගැනීමේ පළමු අදියර ලෙසින්ද පස් පවින් වැළකෙන සංයත බව වැදගත් කොට පෙන්වා දී තිබේ.
සමාජයක ජීවත්වන පුද්ගලයා පළමුවෙන් තමා හා ජීවත්වන පුද්ගලයන්ගේ ජීවිත පිළිබඳ වටිනාකම දැකගත යුතුය.එමෙන්ම තමා හා සමගාමීව එම පරිසරය තුළ ජීවත්වන සෑම සත්වයෙකුටම තමා මෙන්ම ජීවත්වීමේ අයිතියක් ඇති බව දැන ගත යුතු අතර ජීවත් වීමේ වටිනාකම අවබෝධ කරගත යුතුය. සමාජයක ජීවත්වන පුද්ගලයකුගේ මූලික සංකල්පය විය යුත්තේ ද මෙම කරුණුය.එසේ නොවන විට අන් කිසිම කරුණක් පිළිබඳව ඔහුට සිතීමට අවකාශයක් ඇති වේ යැයි කිව නොහැකිය. බුදු දහම තුළින් මෙම කරුණ ඉතාමත් පැහැදිලිව පෙන්වා දී ඇත. නිරතුරුව තමා පළමුවෙන් උපමා කොට අන් ජීවිත දෙස බලන්න. (අත්තානං උපමං කත්වා) යැයි උපදෙස් ලබා දෙයි. තමා විසින් තමා නසා ගන්නට හෝ අන් කෙනෙකුගෙන් නැසීමකට ලක්වීමට අකැමැතිය. එය තමාට බිය ගෙන දෙන ත්‍රාසය ඇති කරනු ලබන ක්‍රියාවකි. එසේ නම් මේ පරිසරයේ ජීවත්වන සෑම සත්වයකුම තමා නැසීයාමකට කැමැති නැති බව වටහා ගත යුතු වේ.
වෛරය, ඊර්ෂ්‍යාව,ආත්මාර්ථකාමීත්වය හා තද ආශාව වැනි නරක සිතිවිලිවලින් යුත් පුද්ගලයකුට අන් ජීවිතයක් නැසීම බරපතල කරුණක් ලෙසින් නොපෙනේ. එබඳු සිතිවිලිවලින් වෙලෙන ජීවිතය පළමුවෙන් නසා ගන්නේ තමාගේ ජීවිතය බව නොසිතයි. තම සිතට එබඳු සිතිවිලි ගලා එන විට ඉන් මිරිකී පීඩනයට පත්ව එහිම අන්ධයකු බවට පත්වී එම සිතිවිලිවලට යට වීමේ ඵලයක් ලෙසින් පුද්ගලයකු විසින් තව ජීවිතයක් විනාශ කිරීමට ඉදිරිපත් වේ. ඒ සමඟම ඔහු තමාගේ සිතට වහලකු වී තමා විසින් තම විනාශය ඇති කොට තව ජීවිතයක් විනාශ කරයි. මෙබඳු පුද්ගලයන් සමාජයට හානිකරය. සමාජයේ අන් පුද්ගලයන්ගේ ජීවිතවල වටිනාකම නොදක්නා පුද්ගලයාගෙන් සමාජයට වැඩදායි දෙයක් සිදුවේද යන්න කිව නොහැකිය.වේළුද්වාර සංයුත්තයේදී ද මේ හා සම්බන්ධ ඉතා වැදගත් දේශනයක් බුදුරජාණන් වහන්සේ කළ සේක. එනම්” තමන් ජීවත්වීමට කැමැතිය. මරණයට අකැමැතිය. සැපතට කැමැතියි. දුකට අකැමැතිය. එසේ ජීවත්වීමට කැමැති, මරණයට හා දුකට අකැමැති තමන්ගේ ජීවිතයට යම් හානි කරද්දී හිංසා කරද්දී එයට තමන් කැමැති නොවේ. තමා මෙන්ම අනෙක් අයද ජීවත්වීමට කැමැතිය. එබඳු වූ අන් අයගේ ප්‍රාණයට හානි කිරීමට තමන් ඉදිරිපත් වේද එය ඉතා නුසුදුසුය. එසේ සිතා තමාද අන්‍යයන්ගේ ප්‍රාණයට හෝ දේපළට හානි කිරීමෙන් වළකියි. අන් අය ලවා ප්‍රාණයට හෝ දේපළට හානි කරවීමෙන්ද වළකියි. එමෙන්ම ප්‍රාණයට හානි කිරීමෙන් වැළකි සිටීමේ වැදගත්කම ද අනුන්ට ප්‍රකාශ කරයි.මේ නිසා ඔවුන්ගේ කාය කර්මය තුන් ආකාරයකින් පිරිසුදු වේ” යන්නයි.
මෙම සූත්‍රයෙන්ද පැහැදිලි කරනුයේ පුද්ගල පාරිශුද්ධියට ආත්ම දමනය මෙන්ම අන් ජීවිතවල ඇති වටිනාකම අවබෝධ කර ගැනීම අතිශයින්ම වැදගත්වන බවය. පන්සිල්හි පළමු අංගය ලෙසින් පරපණ නැසීමෙන් වැළකීම දැක්වීමට හේතුවක් වනුයේද අන් කුසල මූලයනටද මෛත්‍රි සහගත සිතිවිල්ල මුල්වීම ප්‍රධාන සාධකයක් වන නිසාය.අන් පුද්ගල සැපත අගයන පුද්ගලයාට ඇතිවන සිතිවිලි මෛත්‍රි සහගතය. මධ්‍යස්ථ වූ සිතිවිලි ඇති පුද්ගලයාට අවබෝධාත්මක ඥානය වහා දියුණු කර ගැනීමට ඇති අවකාශය වැඩිය.
එමෙන්ම සමාජයක් තැති ගන්වන බියක් ගෙන දෙන ජීවිත නැසීමෙන් තොර පරිසරය සත්වයාට කෙතරම් සැනසිලිදායකද? තමාට පමණක් නොව අන් අයගේ සිතට මේ තුළින් ඇතිවන සංයමය අපමණය. සැමදෙනාටම ආදරය කරන සැමදෙන අගයන සමාජයක දැහැමි සිතිවිලි වර්ධනයට ඇති අවකාශයද වැඩිය. ඒනිසා ආත්ම සංයමට අදාළ පරපණ නැසීම පළමුවෙන් හුවා දක්වන අතර සමාජමය වශයෙන් එහි වටිනාකමද ඉතාමත් ඉහළය.සැමට මෙත්සිත් පෙරදැරිව කටයුතු කිරීම කුසල සිතිවිලි වර්ධනයටද හේතු වන අතර අකුසලය නැතිකිරීමටද හේතුකාරකයක් වේ. යහපත් සමාජයක් අපේක්ෂා කරන පුද්ගලයන් විසින් තම තමන් සුචරිතය වර්ධනයකරලීමටත්, දුශ්චරිතයෙන් වැළකීමටත් පියවර ගත යුතුවන අතර තමා සමඟ හොඳ, නරක පිළිබද විනිශ්චයකට හා සම්මුතියකට එළැඹීමෙන් සුචරිතවාදි සමාජයක් වෙත පිය නැගීම එතරම් අපහසු කරුණක් නොවනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සමාජය තුළ කරනු ලබන සෑම යහපත් වැඩක්ම කුසල්ද? පින්ද?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි

අපට සිටින ඥති සමූහයා පෙර සංසාරය තුළ සිට පැමිණෙන පිරිසක් වෙයි. අප උපදින විටම ලේ ඥාතීන් හෙවත් සහලේ නෑයන් ලෙස හතර වරිගයක ඥාතීන් රැගෙන පැමිණෙයි. අප ඉපදීමටත් පෙර සිටම අපේ ලේ ඥාතින් ඉපදිලා අවසානයි.ලෝකයේ ආගම් බහුල වශයෙන් පැවතුණද, එම කිසිම ආගමක ඥාතී සමූහයාට පින් දීමක් සිදු වන්නේ නැහැ.
ඇතැම් ආගම් තුළ මළවුන් ඇදහුවද , පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමක් වෙන ආගම් තුළ දක්නට නැහැ. පරලොව ගිය ඥාාතීන්ට පින් අනුමෝදන් කිරිම මළවුන් ඇදහීමක් නොවෙයි. අපට හමුවන ලේ ඥාතීන් මෙලොව පමණක් හමුවන පිරිසක් නොවන අතර සිංහල ඥාතීන් අතර පවතින බාහිර පෙනුමට වඩා අභ්‍යන්තර ස්වරූපය වෙනස් ස්වභායක් ගනී.අධ්‍යයනය කර බැලුවහොත් ලේ නෑයන් අතර ගැටුම් බහුල ලෙස පවතී.සිත් තුළ හදාගත් ප්‍රශ්න නොමනාපය , විරෝධතාවය,තරහව,ක්‍රෝධය,වෛරය,බද්ධ වෛරය යන තත්වයන් තුළ ඔවුන් කාලය ගෙවීම කරනු ලබයි. ඇතැමි පිරිස් ඥතීන්ගේ මුහුණ නොබලන තරමට වෛරයෙන් ජීවත් වෙයි. කවුරුන් හෝ කළ විශාල වරදක් හේතුකොට ඇතිවූ තත්වයන් නොවුනත් ඔවුන් විසින් සිත තුළ ඇතිකරගනු ලැබූ ස්වභාවය වෙයි. මෙම දෙදෙනා මේ තරම් වෛරයෙන් තරහවෙන් ජීවත් වන්නේ ඇයිද? යනුවෙන් විමසමින් හේතු විමර්ෂණය කරන විට බරපතල හේතු කාරණා දක්නට ලැබෙන්නේ නැහැ.

කර්ම ශක්තිය

පුංචි සිදුවීම් මනස තුළ තබාගැනීමෙන් අවසානයට එය විශාල ප්‍රශ්නයක් ලෙස ශරීරයට දැනීම නිසා පරම්පරාගත වෛරකාරයන් ඇතිවෙයි.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පුද්ගලයෙකුගේ පෙර සංසාරය තුළ පවතින කර්ම ශක්තිය අනුව ලේ ඥාාතීන් හමුවෙයි. මේ තරම් අම්මලා සිටියදී ඔයා ඔයාගෙම අම්මාගේ කුස තුළ දරුවෙකු ලෙස ඉපදුනේ ඇයිද? යන පුශ්නය නැඟුªවහොත් ඔබට දීමට පිළිතුරක් නැතිව යයි. පෙර සංසාර කර්ම ශක්තිය අනුව තමන්ට හමුවන පළමුවන ඥාතීයා තමාගේ අම්මායි.එය තමාට ලැබෙන්නේ පෙර සංසාරය තුළ තමා ලබා උපන් උරුම කර්මය අනුවයි. සිංහල භාෂාව තුළ කරුමේ යනුවෙන් සඳහන් වන්නේ තමන් අත්විඳින අද්දැකීම් වෙයි. බණ පොතේ සඳහන් කර්ම යන වචනයට පෙර පින යන අර්ථයද,පෙර පව යන අර්ථයද සඳහන් වෙයි.කර්ම ශක්තිය අනුව ලැබෙන ඥාතීන් ලෙස සඳහන් කළ විට ඔවුන් පෙර පිනට ලැබෙන පිරිසක් විය හැකි සේම පෙර පවට ලැබුණ ඥාතීන් පිරිසක් ද විය හැකියි. ඇතැම් ඥාතීන් අප අසුරු නිසුරු කරමින් සිටින අතර ඇතැම් ඥාතීන් දුරින් තබා ඇති අතර තවත් ඥාතීන් පිරිසක් නොදැකම සිටී. එය ඥාතීන් ගේ වරදක් බව අප සඳහන් කළත් එතනදී දක්නට ලැබෙනුයේ පුද්ගලයාගේ විවිධ ස්වභාවයයි.

මනුෂ්‍ය ස්වභාවය

ඇතැම් ඥාතීන් කතාකිරීමට පමණක් හොඳ වුවත් ඔවුන්ගේ සිත හොඳ නැහැ. සමහර ඥාතීන්ගේ සිතිවිලි හොඳ වුවත් කට හොඳ නැහැ. ඇතැම් ඥතීන්ගේ හිත සහ කට හොඳ වුවත් කය හොඳ නැහැ.මනුෂ්‍යන් අඩුපාඩු සහිත පිරිසක් වෙයි. සෑම මනුෂ්‍යයකුගේම කිසියම් අඩුපාඩුවක් පවතියි. තමා කතා කරන විට තමාගේ අඩුපාඩු වසාගෙන යහපත් පැත්ත පමණක් සමාජයට පෙන්වීමට උත්සාහ කරමින් අනෙක් පුද්ගලයෙකු පිළි්බඳව කතාකරන විට යහපත් පැත්ත වසන් කරමින් අයපහත් පැත්ත පමණක් පෙන්නුම් කිරීමට උත්සාහ දරයි. අපි නොදන්නවයැ එයාගේ හැටි යන ප්‍රකාශ කරමින් ඔහු පිළිබඳව හඳුන්වයි. එවැනි අයහපත් කාරණා අපගේ සිත් තුළින් සිදුවුවත් , සංසාර ගත නෑයන් හැදෙන්නේම ආත්ම ගණනාවක සිට අපත් සමඟ එකට ඉපදුන පිරිසක් ලෙසයි.
පුබ්බේනිවාසානුස්සති ඥානය, ආසවඛ්‍ය ඥානය, චුතූපපාත ඥානය යන ත්‍රිවිද්‍යා ඥාන තුළින් අතීතය පිළිබඳව අනාගතය පිළිබදව බලමින් සත්වයාගේ චුති උප්පත්තිය පිළිබඳව විමර්ෂණය කළ දැනුම තුළින් බුදුරජාණන් වහන්සේ යමි යම් කාරණා දේශනා කර ඇත. .ඉපදීමට පෙර භවයක් තිබුණ බවත් , එම භවයෙහි කිසියමි කර්ම සම්බන්ධතාවයක් මත මවුකුස තුළ දරුවෙකු පිළිසිඳ ගනී. මරණයට පත්ව කිසියම් ස්ථානයකට ගමන් කරනු ලබන්නේ තමාගේ කිසියමි කර්ම ශක්තියක් මත බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.අපට හමුවන ලේ ඥාතීන් එකවගෙයි. පුද්ගලයන් සියයක් සිය ආකාර වුවත් ඔවුන් අතර ලේ ඥාතීන් පිරිසක් සිටිය හොත් ලේ ඥාතීන් එකම වගේ නිසා ඔවුන් ඥාතීන් නොවන බව ප්‍රකාශ කළත් ඥාතීන් පිරිසක් බවට සමානත්වයෙන් පෙන්නුම් කරයි. වෛද්‍ය විද්‍යාව තුළ ජාන ප්‍රවේණිය යනුවෙන් යමි කාරණාවක් හඳුන්වයි. බුදුදහම කර්මය යනුවෙන් හඳුන්වයි. බුදුදහම තුළ හඳුන්වන කර්මය යන වචනය ප්‍රවේණිය යන වචනයට වඩා පුළුල් අදහසක් පවතියි. පෙර සංසාරය තුළ එකට ඉපදිලා තිබෙන ඥාතීන් නිසා සිතිවිලි සමඟ සිත තුළ තරහව වෛරය ක්‍රෝධය තබාගත යුතු නැහැ.එසේ තබාගැනීම තුළ මනසට එය බරක් වෙයි. තමාගේ ශරීරයේ අයහපත පිණිස බලපානු ලබන බරක් වෙයි. යම් යම් පුද්ගලයන් ඊර්ෂ්‍යාවෙන්. , තරහවෙන් විවිධ කාරණාවන් කරන අවස්ථාවල පෙරලා ප්‍රතිචාර දක්වන්නට එපාය යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.පෙර තමා විසින් දුන් දෙය තමාට ලැබෙන බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.
හඳ අහස තුළ තිබුණත්, අමාවකට හඳ බබළන්නේ නැහැ.වලාකුළු තුළින් නොවැසුණු පුර හඳ අහස තුළ බබලයි. යන උපමාව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. කිසියම් පුද්ගලයෙකු තමන්ගේ සිත කය වචනය අන්‍යයාට හෙවත් සමාජයට අයහපතක් වන ආකාරයේ සිතිවිලි සිතන්න එපා යනුවෙනි. තමා බොරුවක් ප්‍රකාශ කරනවා යනු අසත්‍ය සමාජ ගත කිරීමයි.තමා යමක් කරනවාය යනු තමා යමි දෙයක් සමාජයට ලබාදීමයි.

පෙරලා ලැබීම

අප ලබාදුන්දෙය අපට පෙරලා ලැබෙයි. එම නිසා නරක සිතිවිලි සිතින් සිතමින් අයහපත් දෙය සමාජයට දෙන්න එපා යනුවෙන් බුදුරජාණන් වහන්සේ වදාරනු ලැබුවේද, තමාට එවැනි දෙය පෙරලා ලැබෙන නිසයි. මනුෂ්‍යයෙකු මේ ලෝකය තුළ උප්පත්තිය ලැබූවිට එම පුද්ගලයාට මානවයා හෙවත් සියලු සත්වයා වෙනුවෙන් මානව යුතුකමක් පවතී. තමන්ගේ සිත කය වචනය යන තුන් දොර අනෙකාගේ අයහපත පිණිස නොපවතින ආකාරයෙන් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය කාරණාවක් වෙයි.අනෙකාගේ හෙවත් පොදු සමාජය තුළ අයහපත පිණිස තමාගේ මනස තුළ සිතිවිලි නොසිතිය යුතුයි.කිසියම් පුද්ගලයෙකු එවැනි ආකාරයෙන් කටයුතු කරනු ලැබුවහොත් ඔහුට ලැබී තිබුණ දේ නැතිව යයි. අනුනට අයහපත ෙවිවායි යන සිතිවිලි සිතන පුද්ගලයාට එවැනි ආකාරයෙන් සිතීම යුතුකමක් නොවුණත් ඔහු එය කරනවා නම්, තමාට පෙර සංසාරය තුළ පිනට ලැබුණ මනස තමන් අයහපත පිණිස යොදවනු ලබයි. එම අහපත ලෙස යොදවන විට එහි විපාකය වශයෙන් ඔහුගේ ජීවිතය තුළ කිසිම දවසක යහපත් සිතිවිලි සිතට නැගෙන්නේ නැහැ.යහපත් දේ කිරීමට නොසිතීම ඔහුට ලැබෙන දඬුවමයි.
තමාගේ වචනය අනෙකාගේ අයහපත පිණිස හැසිරවීම තහනම් වෙයි. එවැනි ආකාරයෙන් හසුරුවන පුද්ගලයා නැවත ඉපදෙන විට දිවකොට වි හෝ වෙනත් ආබාධ සහිතව උපදියි.තමාගේ පෙර සංසාරය තුළ තමා විසින් කරනු ලැබූ පින් අනුව මෙම ශරීරය ලැබී තිබුණත්,එය සමාජයේ අයහපත පිණිස නොයෙදිය යුතුයි. එසේ හැසිරෙන පිරිසට එහි අයහපත් විපාක ද ලැබෙයි.

සතුට වර්ධනය කිරීම

කෙතරම් උස ගොඩනැඟිලි ගොඩනඟාගෙන සිටියත් සතුට පවතින්නේ ගොඩනැඟිලි තුළ නොවෙයි.සතුට පවතින්නේ මනස තුළ මිස තට්ටුගණන් උස ගොඩනැඟිලිවල හෝ, නවීන වර්ගයේ වාහනයක,හෝ කසාදයක හෝ නොවෙයි. මනස තුළ පවතින සතුට වර්ධනය කරගැනීම සඳහා සෙසු කාරණා අවශ්‍ය වෙයි. සිත තුළ පවතින සතුට නැතිනොවන්නේම කිසියම් කර්ම ශක්තියක් නිසයි. සෑම පුද්ගලයෙකුගේම තුන්දොරින් අනෙකාගේ අයහපත පිණිස වන ආකාරයේ කටයුතු කිරීම තහනම් වෙයි. අයහපතින් වැළකීම එක කාරණාවක් වන අතර යහපත කිරීම තවත් කාරණාවක් වෙයි.සමාජය තුළ ජීවත් වන ඇතැමි පිරිස් මෙම කාරණා දෙක එකක් ආකාරයෙන් සිතා සිටියත් එය කාරණා දෙකක් මිස එකක් නොවන බව අවබෝධ කරගත යුතුයි.
"අනෙකෙකුගේ පරපණ නැසීම , අනෙකාගේ ජීවිතය එපාවන ආකාරයෙන් කතාකිරීම , අනෙකාගේ සිත තුළ පවතින ධෛර්යසම්පන්න බව නැතිවන ආකාරයෙන් කතාකිරීම, ජීවිතය පිළිබඳව කලකිරෙන ආකාරයෙන් කතා කිරීම යන සියල්ල ප්‍රාණඝාත වෙයි. මැරීම පමණක් නොවෙයි අනෙකුත් සියල්ලත් ප්‍රාණඝාත කොටසට අයත් කාරණාවන් වෙයි. මිනිසුන් මරණයට පත් නොකිරිම පමණක් නොවෙයි"
අයහපතෙන් වැළකීම යහපත ලෙස සැළකුවද,එය නිවැරැදි නොවන අතර එය අයහපතෙන් වැළකීම වෙයි. යහපත නම් අලුතෙන් යමක් කළ යුතුයි. පින්කම් නොකළාට පන්සල් නොගියාට පංචශීලය අනුව ජීවත් වන නිසා මම කාටවත් අයහපතක් නොකරන බවට ඇතැමුන් ප්‍රකාශ කරනු ලබයි.
පංචශීලය යන කාරණා කළ යුතුම දේවල් වෙයි. අනෙකෙකුගේ පරපණ නැසීම , අනෙකාගේ ජීවිතය එපාවන ආකාරයෙන් කතාකිරීම , අනෙකාගේ සිත තුළ පවතින ධෛර්යසම්පන්න බව නැතිවන ආකාරයෙන් කතාකිරීම, ජීවිතය පිළිබඳව කලකිරෙන ආකාරයෙන් කතා කිරීම යන සියල්ල ප්‍රාණඝාත වෙයි. මැරීම පමණක් නොවෙයි අනෙකුත් සියල්ලත් ප්‍රාණඝාත කොටසට අයත් කාරණාවන් වෙයි. මිනිසුන් මරණයට පත් නොකිරිම පමණක් නොවෙයි ජීවත්ව සිටින පුද්ගලයන් වෙනුවෙන් අප කරනු ලබන්නේ කුමක්ද? නොමරා සිටීම පමණක් ප්‍රමාණවත්ද? ප්‍රාණඝාත අතහැර දඬුමුඟුරු නොගෙන අවිආයුධ නොගෙන සිටීම පාණාතිපාතා වෙයි. ප්‍රාණඝාත කරන පිරිස පිළිබඳව ලජ්ජාවිය යුතු සේම ජීවත්ව සිටින සත්වයන් වෙනුවෙන් දයාව කරුණාව උපේක්ෂාව දැක්විය යුතුයි.වැළකීම සහ කිරීම දෙකක් මිස එකක් නොවෙයි.
“යස්ස පාපං කතං කම්මං” කිසියම් පුද්ගලයෙකුගේ අතින් පාපකර්මය කෙරෙයි. ඇතැමි විට දැනගෙන හෝ නොදැන කළත් තමන් කළ පව කුසල් රැස්කිරීමෙන් යම්තාක් හෝ මගහරවා ගත හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.තමා කරන පව් වෙනුවට පින් කරන බවට සමාජය තුළ තකාබහක් පවතියි.පින් කිරීමෙන් තමා කළ පව් වසාගැනීමට නොහැකියි. තමා කළ පවි වෙනුවට පින් දහම් අලුතෙන් කළ විට කළ පවි මැකීයන බව ඇතැමුන් විශ්වාස කළත්, තමන් කළ පව, පින තුළින් වැසීමට බැරි බව අවබෝධ කරගත යුතුයි.
තමන් කළ පවි කුසල් තුළින් වැසිය හැකි නමි, පවයි , කුසලයයි පවයි අකුසලයි පිනයි කුසලයයි,අතර වෙනසක් තිබිය යුතුයි. ධර්මය ශ්‍රවණය කිරීම ,නිවස තුළ දන්පහන් දීම, ගමේ පන්සලත් සමඟ පින්දහම් කිරීම,කරනු ලබන සැම ක්‍රියාවකින්ම කුසල් රැස්කරගත හැකියි. කිසියම් පුද්ගලයෙකු විසින් සමාජය තුළ කරනු ලබන සෑම යහපත් වැඩක්ම කුසල්ද? පින්ද? යන අර්ථකතනයට පැමිණුන හොත් ගමට අඩුපාඩුවක් වශයෙන් පැවතුණ වතුර ප්‍රශ්නයක් පිළිබඳව කිසියමි පුද්ගලයෙකු විසින් තම ධන පරිත්‍යාගයෙන් පොදු ළිඳක් ගමට පරිත්‍යාග කළහොත් එම ක්‍රියාව පිනක්ද? පවක්ද? කුසලයක්ද? අකුසලයක්ද? ඇතැමි පිරිසක් මෙය කුසලයක් ලෙස අර්ථකතනය කරනු ලබයි. බණ පොතට අනුව මෙය කුසලයක්ද? අකුසලයක්ද? යනුවෙන් විස්තර කරගැනීමට යනවා නමි,බාහිරින් බලන පුද්ගලයෙකුට එය තේරීම අපහසුයි. එම ක්‍රියාව පිනක්ද, පවක්ද, අකුසලයක්ද කියන කාරණාව බාහිර සමාජය තුළ සිට බලන පුද්ගලයෙකුට ප්‍රකාශ කළ හැකි වුවද,කුසලයක් බව බාහිර සමාජය තුළ සිට බලන අයෙකුට ප්‍රකාශ කළ නොහැකියි. සාමාන්‍ය දැනීමට අනුව එය කුසලයක් වුවද, ධර්මයෙහි විස්තර කරන ආකාරයට අනුව,කුසලයක් නොවිය හැකියි. කිසියම් පුද්ගලයෙකු කිසියම් ක්‍රියාවක් කළ විට එම ක්‍රියාව අකුසල නමි, අපට ප්‍රකාශ කළ හැකි වුවද,කුසලයක්ද කියා වෙනත් අයෙකුට ප්‍රකාශ කළ නොහැකියි. තමාගේ පෞද්ගලික ධනය වියදමි කරමින් කළ ක්‍රියාව සද්ක්‍රියාවක් ලෙස පෙනුණත් ඇතැම් විට ඔහුගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන අරමුණක් වෙනුවෙන් වුවත් එසේ කළ හැකියි.බණ පොතෙහි සඳහන් වන ආකාරයට අනුව කිසියම් පුද්ගලයෙකු විසින් කරනු ලබන ක්‍රියාව සඳහා ඔහුගේ හෝ ඇයගේ චේතනාව බලපානු ලබයි. තමා තුළ පවතින චේතනාව වෙනත් පුද්ගලයෙකුට මේ යැයි කියා ප්‍රකාශ කළ නොහැකියි.පරාර්ථය පිණිස කරනු ලබන ක්‍රියාවක් ලෙස බාහිර සමාජයට පෙන්නුම් කළ හැකි වුවද, ප්‍රකාශ කිරීම වෙනත් කාරණවක් වන අතර චේතනාව වෙනත් කාරණාවක් වෙයි.චේතනාව පවතින්නේ තමන් තුළ පමණයි. සමාජය විසින් කරනු ලබන ක්‍රියාවන් කුසල අකුසල ලෙස දැනුම්වත් සිටින්නේ තමා විසින් පමණයිි. තමන්ගේ චේතනාව නිවැරැදි විය යුතුයි.පිනක්ද? යනුවෙන් විමසන විට චේතනාව අදාළ නොවේ. ගමට බලපාන ගැටළුවක් විසඳා දීම විශාල පිනක් වෙයි. පිනයි කුසලයයි පිළිබඳව තරමක් සියුම් ලෙස වටහාගත යුතුයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දනට පිනට හුරුකර ගත යුතු සිත

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අප හැමවිටම බෞද්ධයන් හැටියට ,ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන අය හැටියට දන්නවා හොඳ බෞද්ධ ජීවිතයක් ගත කරන්නට නම් නිරන්තරයෙන් කුසල සිතිවිලි ඇති කර ගන්නට අවශ්‍ය බව. ඒ විතරක් නොවෙයි කුසල සිතිවිලි ඇති කර ගැනීම බුදු දහමේ ඉගැන්වෙන විදියට සැප විපාක ලබා දෙන බවත් අප දන්නවා.
ඉතින් මොනව ද මේ කුසල සිතිවිලි කියලා කියන්නේ? සිත කිලිටි කරන ලෝභ, ද්වේෂ හා මෝහ කියන මේ මූලික කෙලෙස් තුනට අප කියනවා අකුසල සිතිවිලි කියලා. ඉතින් මේ හැම අකුසල සිතිවිල්ලක්ම අපේ සසර ගමන දිග් කරනවා. ඒ වගේම අපට දුක පිණිස අවැඩ පිණිස පවතිනවා. කිසිම ආකාරයකින් සැප විපාකයක් ලබා දීමට හැකියාවක් ඇති කරන්නේ නැහැ. ඉතින්, මේ නිසා මේ කියන අකුසල සිතිවිලිවලින් සිත මුදා ගන්නවා කියන කාරණයෙහි තේරුම කුසලයට සිත යොමු වුණා කියන අදහසයි. ඉතින්, මේ කුසලයට සිත යොමු කර ගැනීම ඉක්මන් කරන පහසු කිරීමට කරුණු අටක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නුම් කරලා තිබෙනවා. උන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි භික්ෂූන් වහන්සේ අමතා “පුඤ්ඤාභිසන්ද” නමින් සූත්‍රයක් දේශනා කරලා තිබෙනවා. පුඤ්ඤ හා අභිසන්ද යන වචන දෙක එකතුවෙලයි පුඤ්ඤාභිසන් ද යන වචනය හැදිලා තියෙන්නේ. මේ ‘අභිසන්ද” යන වචනයේ තේරුම ජනිත කරනවා. ප්‍රසව කරනවා. ඇති කරනවා කියන එකයි. මොනවද මේ ප්‍රසව කරන්නේ? එහෙම නැත්නම් ඇති කරන්නේ? පුඤ්ඤ තමයි ප්‍රසව කරන්නේ. එනම් පින් රැස් කිරීමයි
අපේ බුදුරජාණන් වහන්සේ කුසල් සිත් ඇති කිරීමට හේතුවන කරුණු අටෙන් පළමුවෙන්ම පෙන්වා දෙන්නේ” බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම්” එය පළමු අවශ්‍යතාව බවයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මූලික වශයෙන් ඇදහීමක්, විශ්වාසයක් ඇති කර ගැනීම මෙහි දී මූලික අවශ්‍යතාවයි. එහිදී මිථ්‍යා ඇදහීම්වලින් බැහැරව තමන්ට පිහිට පිණිස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන මේ බරපතල විශ්වාසය ඇති කර ගතයුතු වෙනවා. එවැන්නක් ඇති කර ගැනීම මෙහිදී මූලික අවශ්‍යතාවයි. එහි දී මිථ්‍යා ඇදහීම්වලින් බැහැරව තමන්ට පිහිට පිණිස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන මේ බරපතල විශ්වාසය ඇති කර ගතයුතු වෙනවා. එවැන්නක් ඇති කර ගැනීමට නම් ඔහුට ශ්‍රද්ධාව පිහිටා තිබිය යුතු වෙනවා. ශ්‍රද්ධාව ස්ථීරසාරව පිහිටනව නම් මූලික වශයෙන් සෝවාන් මගඵලවත් පසක් කර තිබිය යුතු වෙනවා. කෙනෙක් තෙරුවන් සරණ යාමට කල්පනා කරනවා නම් ඔහු මුලින්ම කරන්නේ “ බුදුන් සරණ යාම” යි. එසේ තෙරුවන් සරණ ගිය අයටයි බුදුදහමේ ඉගැන්වීම් අනුව උපාසකයා හෝ උපාසිකාව කියා හඳුන්වා දෙන්නේ. ඊළඟ අවශ්‍යතාව මේ “ධර්මය සරණ යාම” තෙවැනි අවශ්‍යතාව වන්නේ “ආර්ය සංඝරත්නය සරණ යාම”යි . මේ විදියට බලද්දී කුසල් සිතිවලි ජනිත කර ගැනීම ට මේ කියන බුද්ධ , ධම්ම, සංඝ යන රත්නත්‍රයම සරණයාම අවශ්‍ය වෙනවා. තෙරුවන් සරණ යාම පමණක්ම කුසල සිත පහළවීමක් ලෙස ද හඳුන්වන්නට පුළුවනි. ඒ කුමන හේතුවක් නිසා ද කියනවා නම් තෙරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවකයාට කිසි විටෙක අකුසල් සිතිවිලි උපදවා ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවක යන මේ වචනයෙන් භික්ෂු, භික්ෂූණී, උපාසක හා උපාසිකා කියන කොටස් හතරම ගැනෙනවා. ඔහු නිරන්තරයෙන්ම බුද්ධාදී රත්නත්‍රය විෂයෙහි ශ්‍රද්ධාව උපදවාගෙන අප්‍රමාදයෙන් යුතුව සිහිය පිහිටුවා ගෙන ක්‍රියා කරන උතුමෙකු වන නිසාය.

ඊළඟට පෙන්වා දෙන්නේ තෙරුවන් සරණ ගිය මෙ ආර්ය ශ්‍රාවකයා බුදුන් සරණ යාම , දහම් සරණ යාම හා සඟුන් සරණ යාම යන කරුණු තුන සපුරාලමින් කුසල් සිත් වඩා වර්ධනය කරමින් ඊළඟට තවත් පියවර පහක් සපුරා ගන්නවා. එයින් පළමුවන කරුණ වන්නේ ප්‍රාණඝාතයෙන් හෙවත් ප්‍රාණ හිංසාවෙන් සම්පූර්ණයෙන්ම අත් මිදීමයි. මේ අය තමන්ට මෙන්ම තමන්ගෙන් බාහිර සමස්ත ලෝකයේ ම සියලු ම ප්‍රාණීන්ට අභය දානය නිරතුරුවම සලසාලන අයකු බවට පත් වෙනවා. මේ ආකාරයෙන් පංචශීලයෙහි දැක්වෙන එක් එක් ශික්ෂාපදයන්ට අනුව සම්පූර්ණයෙන් ම හික්මීමෙන් කිසි විටෙකත් කාටවත් සැපතක් මිස විපතකට ඉඩකඩ සලස්වන්නේ නැතිව හැමවිට ම මහා දාන පහක් සිදු කරනවා. මේ දාන පහ ලෝකයේ පවත්නා වචනයේ අර්ථයෙන්ම මහාදාන වෙනවා මයි. එමෙන්ම ඊට වඩා වැඩියෙන් අගය කරන තවත් දානයක් නම් ලෝකයේ ඇත්තේ ම නැහැ. එමෙන්ම ඒ දානය හැමදාමත් අගය අඩු නොවන දානයක් මයි. ඒ දානයේ ආනිසංස කවදත් එම විදිය මයි. කලින් කලට එහි ආනිසංස වෙනස් වන්නේ නැහැ. සනාතනික විදියට එහි අගය රඳා පවතිනවා. ඒ වගේම තමා එහි ආනිසංසවල කිසි ආකාරයකින් වෙනස් වන්නේ යයි සැක පහළ කරන්නට හේතුවක් ඇති වන්නේ නැහැ. එමෙන්ම ශ්‍රමණ බ්‍රාහ්මණාදී උතුමන් විසිනුත් එහි ඇති ශක්තිය අගය හා වටිනාකම කිසි විටෙකත් අඩු තක්සේරුවක් කරන්නෙත් නැහැ. හැමදාම එම ආනිසංශ ශක්තිය එම ආකාරයෙන් පවතිනවා.
මීළඟට බුදුරජාණන් වහන්සේ එක් එක් ශික්ෂාපදය උපුටා දක්වමින් ඒ එකකින් සිදුවන දාන කෙබඳුද? යන්න පහදා දෙනවා.
ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා ආර්ශ්‍රාවකයා ලෝකයේ ජීවත්වන අප්‍රමාණ සත්ව ප්‍රජාවකට අභය දානය ලබා දෙනවා. මේ නිසා ලොව ජීවත්වන හැම සත්වයෙක්ම භය නැතිව ජීවත් වෙනවා. භය නැති නිසා එතැන අසහනය දුරු වෙලා සහනසීලි සන්සුන් පරිසරයක් ඇති වෙනවා. දෙවැනි දානය තමා එම ආර්ය ශ්‍රාවකයා නිසා අවෛරය හැම සත්වයෙකුටම ඇති වෙනවා. මේ තත්වය යටතේ හැම සත්වයෙක්ම තවත් අයෙකුට වෛර නොකර සැනසිල්ලේ ජීවත් වෙනවා. මෛත්‍රී සහගත සිතිවිලි බහුල වෙනවා. හැම සිතකම මෘදු ගුණය බහුල වෙනවා. නපුරුගති දුරු වෙනවා. මෙන්න කාය කර්ම, මෙත්තා, වචී කර්ම හා මෙත්තා මනෝ කර්මවලින් එම ආර්ය සමාජය තුළ හැම අයෙක්ම යුක්ත වෙනවා. එමෙන්ම මේ හේතුවෙන් අප්‍රමාණ සත්ව ප්‍රජාවට කිසිදු දුකක් නැතිව සුවසේ ජීවත් වීමේ හැකියාව ඇති වෙනවා. මෙසේ දුක් නැති බව ලබා දෙනවා යන්නෙහි අදහස සැප ලබා දෙනවා. කියන එකයි. එයද මහාර්ඝ සම්පන්න දානයක් ලෙස මෙහිදී සලකා බලා තිබෙන්නේ. පස්වෙනි අවස්ථාව ලෙස දක්වලා තිබෙන්නේ ප්‍රාණහිංසාවෙන් වැළකුණු ආර්ය ශ්‍රාවකයා නිසා ජීවත්වන සමස්ත ප්‍රජාව අභයට අවෛරයට නිදුක් බවට හිමිකාරයෙක් බවට පත් වෙනවා. මේ දක්වා තිබෙන්නේ පංචශීලයෙහි දැක්වෙන එක ශික්ෂාපදයක් වූ ප්‍රාණහිංසාවෙන් වැළකීම කියන මෙහි සනාතනික ශක්තිය අගයයි.
මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා තවදුරටත් නුදුන් දෙය පැහැර ගැනීමෙන් වළකිනවා. කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිනවා ,බොරුවෙන් හෙවත් වංචාවෙන් වළකිනවා. රහමෙර පානයෙනුත් වළකිනවා. දැන් කුමක්ද? සිදුවී තිබෙන්නේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා සමාජයේ මනා පැවැත්මට අවශ්‍ය වූ සිල්පද පහෙන්ම තම පැවැත්ම සරසා ගන්නවා. එවැනි සමාජයක ජීවත් වන අප්‍රමාණ මිනිස් ගණයට වැටෙන සත්වයන්ට පමණක් නොව සෙසු සියලුම ප්‍රාණීන්ට මෙම ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන්ම අභය ලබා දෙන අවෛරය ලබා දෙන නිදුක්බව ලබා දෙන, එම සියලුම සහනසීලි තත්ත්වයන්ට හිමිකම් කියන තත්ත්වයට එම සමාජය පත් වෙනවා. මේ අනුව බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙම ශික්ෂාපද පහෙන් එකින් එක සමරනවා වගේම කල්පැවැත්ම සනාතනික වුවත්, ඒ මක් නිසාද? පන්සිල් රකින සමාජයක් තුළ ජීවත් වන සෑම සත්වයෙක් ප්‍රාණියෙක්ම සැකෙන් භයෙන් තොරව ජීවත් වෙනවා. ඒ නිසාම වෛරී සිතිවිලි පහළ වන්නේ නැහැ. හිතට මෙන්ම ගතට සැපයක් උදා කර දෙනවා. එපමණක් නොව එසේ පන්සිල් පද ආරක්ෂා කරමින් ක්‍රියා කරන පුද්ගලයා ඒකාන්ත වශයෙන් සුගතියෙහි උප්පත්තිය ලබනවා. මෙවැනි පසුබිමක් තුළ ඇති වන වැදගත්ම ප්‍රතිඵලය වන්නේ එම සමාජයේ ජීවත වන ආර්යශ්‍රාවකයා හැම දෙනාගේම යහපත හිතසුව පිණිස පවතිනවා. එවැනි සමාජයක ජීවත්වන සෑම කෙනෙකුටම ඒ සුගතිය උදා කර ගැනීමට තරම් මානසික වශයෙන් සුවදායක පරිසරයක්ද නිර්මාණය වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පෙර කරන ලද පින් ඇති බව...

පූජ්‍ය කැප්පිටියාගොඩ කල්‍යාණවංස හිමි

බෞද්ධයා ඉතාම ආදර පෙරදැරිව පරිහරණය කරනු ලබන බෞද්ධ සුත්‍ර ධර්මයකි 'මහා මංගල සූත්‍ර ධර්මය.එම සූත්‍ර ධර්මයේ නාමයෙන්ම, ඒ සූත්‍ර ධර්මය අපට පෙන්වා දෙන යහපත් මාර්ගය පැහැදිලි ය. 'අය' යනු සැපතයි. සතුටයි. ප්‍රීතියයි. වාසනාවයි. ජයග්‍රහණයයි. ඒ වූ හිතකර අර්ථයක්‌ ගෙන දෙන 'අය' යන පදයට 'අප' යන නිශේධනීය අර්ථය ගෙන දෙන උපසර්ග පදය එක්‌වූ විට අපාය යන පදය සෑදේ. අපාය යන පදයෙන්ගෙන් දෙන අර්ථය සැපයෙන් සතුටෙන්, ප්‍රීතියෙන්, වාසනාවෙන්, ජයග්‍රහණයෙන් තොර යන්නයි. එම තත්ත්වයෙන් හෙබි ස්‌ථානයත්, 'අභේධෝපචාර' යන වියරණ විධියෙන් අපාය යන ස්‌ථානාර්ථයද ගනී. ඒ වූ අපායට යන පාර, මාර්ගය, විධිය යන අර්ථයෙන් මංගල යන වචනය සෑදී තිබේ. එබව අපාය මං ගලතී' ති මංගලම් යන විග්‍රහය වැකියෙන් පැහැදිලි කෙරේ. ඒ වූ මංගල කරුණු ඇතුළත් මංගල සූත්‍රය සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතින් දේශනා කෙරුණේ සමාජගත ඓතිහාසික සංදර්භයක්‌ නිසා ගොඩනැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ඒ ප්‍රස්‌තුතය මෙසේය;

පෙර දඹදිව අයකුට ප්‍රශ්නයක්‌ ඇතිවිය. ඒ මංගල යනු මොනවාද? යන්නයි. මේ ප්‍රශ්නය පිළිබඳව සලකා බැලූ අයෙක්‌ මංගල යනු වෙන දෙයක්‌ නොවේ. ඇසින් දකින දෙයයි. මංගල ලෙස කීය. ඒ අර්ථය නොපිළිගත් අයෙක්‌ නෑ නෑ මංගල කියන්නේ ඇසින් දකිනදෙය නෙවෙයි. කනෙන් අසනදෙය යයි ඊට පටහැනි අදහසක්‌ කීය. මේ අර්ථදෙකම පිළිගැනීමට අකමැතිවූ අයෙක්‌ 'ඔබ කොහොම කොයි විදියට කීවත් මංගල කියන්නේ ඇසින් දකින දේවත්, කනින් අහන දේවත් නොවෙයි. සිහිකිරීමෙන් ලබන දේයි කීහ. මේ අනුව මංගල යනු මොනවාදයි හඳුනාගැනීමේදී ඒකීය මතයක්‌ ඉදිරිපත් නොවූයෙන් ඒ වාදයකට පෙරළිණි. ඒ වාදය සමාජයේ නොයෙකුත් දෙනා අතරට දිට්‌ඨ මංගල, සුතමංගල, මුත මංගල' ලෙස විහිදී විසිරී පැතිරී ගියේ කෝලාහල තත්ත්වයට පත්විය. ඒ තත්ත්වය පැතිර ගියේ මිනිසුන් අතර පමණක්‌ නොවේá දෙවියන් අතර ද ඒ කෝලාහලය විහිද විසිරී පැතිරී ගියේය. ඔවුනට ද ඒ පිළිබඳව ඒකීය මතයකට එල්බ ගත නොහැකි විය. එහෙයින් හැම දෙනාම එකතුව ඒ ප්‍රශ්නය දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියන් වෙත යොමු කෙරිණි. එහෙත් ශක්‍ර දෙවියන්ට ද මේ පිළිබඳව ස්‌ථිර අදහසක්‌ ඉදිරිපත් කිරීමට නොහැකිවිය. එහෙත් හේ මංගල යනු කිමෙක්‌ද? යන ප්‍රශ්නයට නියම පිළිතුරක්‌ සැබෑ පිළිතුරක්‌ දීමට සුදුසු ඇති, ඉතා ගැඹුරෙන් පිළිතුරු සැපයිය හැකි අයකු පිළිබඳව දැන සිටියේය. ඒ මිනිස්‌ ලොව දඹදිව බරණැස්‌ නුවර ඡේතවනාරාමයේ එදින වැඩ වාසය කරන තථගත සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඒ දැන දූත දෙවියකු අමතා ඡේතවනාරාමයට ගොස්‌ මේ ගැටලුව තථාගතයන් වහන්සේ වෙත යොමු කරන්නට කටයුතු යෙදීය.
ශක්‍රයාගේ අණැවුමෙන් අලංකාරයන්ගෙන් සැදී ගත් ඒ දෙවියා මැදියම් රැයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඡේතවනාරාමයේ ගඳකිළියට පත්ව, තථාගතයන් වහන්සේට වැඳ නමස්‌කාර කොට එතක්‌පසෙකැ සිට තමා සපැමිණි රාජකාරිය ඉටුකර ගැනුමට 'බහු දේවා මනුස්‌සාච - මංගලානි අචිත්තයුං
ආකන්කමාන සොත්ථානං - බ්‍රෑහි මංගල මුත්තමං' යන ගාථාවෙන් තම ආරාධනාව කෙරී. ඒ ආරාධනය පිළිගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අටතිස්‌ මඟුල් කරුණකින් සැදී මහා මංගල සූත්‍රය දේශනා කොට වදාළ සේක.
මේ ලියවිල්ලෙන් සමස්‌ත මංගල සූත්‍රය කෙරෙහිම ඔබ අවධානය යොමු කරගත්තත්, අප මුඛ්‍ය අදහස එම සූත්‍රය ගැන සපුරාම සාකච්ඡා කිරීම නොවේ. එහි අඩංගු පස්‌වැනි මංගල කාරණය හෙවත් පුබ්බේච කතපුඤ්ඤතා' යන පදය පිළිබඳව ඔබගේ අවධානය යොමුකර ගැනීමටයි.
'පුබ්බේච කත පුඤ්ඤතා' යන ගාථා පදයට අර්ථ ප්‍රකාශ කරන්නේ පෙර කරන ලද පින් ඇති බව යන්නයි. ඒ නිවැරැදිම අර්ථ කීමෙකි. එහෙත් ඒ අර්ථ ගැන්වීමෙහි ඇතුළත් පෙර යන්නට බොහෝ දෙනා අර්ථ ගන්වා ගන්නේ 'පෙර ආත්මයෙහි' ලෙසටය. ඒ එසේ වීමට කිසි යුක්‌තියක්‌ නැති මක්‌නිසාද යත්, පුබ්බේ යන පදය කෙසේවත් ආත්මය යන්නෙන් ගම්‍යමාන නොකෙරෙයි. එහෙත් ඒ පදයට ආත්මය යන අර්ථය ගත යුතුම නම් අනියමාර්ථ අසම්භාව්‍යය තත්ත්වයෙන් මිස කිසි අවකාශයෙක්‌ නැත. එහෙත් ඒ පෙර ආත්මයටම පමණක්‌ භාරදිය නොහැකිය. පෙර යනු අතීතයයි. ඒ අතීතය පෙර ආත්මයට ම අයිති නැත. එහෙත් ඒ සපුරාම ඉවත් කළ නොහැකිය. දැන් ආත්මය යන්නත් පෙරටම කැප කර ඇතියෙකි. නමුත් පෙර යන පදය පෙර ආත්මයට අයිති නැත. ඊයේ කරන ලද පිනත්, පුබ්බේච කථ පුඤ්ඤතා යන්නට ඇතුළත්ය. ඒ ඊයේ කරන ලද පිනත් මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිස වේ. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
බෞද්ධයාගේ පරම නිෂ්ඨා ප්‍රාර්ථනය නිර්වාණයයි. හෙවත් වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීමයි. එවිට බෞද්ධ පෞරුෂය සපිරී ඇත. එහෙත් හේ ගතකරන ජීවිතය ලෞකිකය. ඒ ලොවට අයත් හෙවත් ලෞකික ජීවිතය අරබයා කර්මය බලපායි. ඒ කර්ම කුසල කර්ම හා අකුසල කර්ම විසින් දෙගොඩකි. එයින් අකුසල කර්ම දුර්විපාක හෙවත් ආදීනව ගෙන දෙයි. කුසලය යහවිපාක හෙවත් ආනිසංසදායකය. ඒ නිසා ලෞකික ජීවිතයේ ආලෝකය ලබාගැනීමට අකුසලයන්ගෙන් ඉවත්වීම වාගේම කුසලයනට සමීපවීම අත්‍යවශ්‍යමය. මේ දෙආකාර තත්ත්වයන් තම තමන් කැමැති ආකාරයකට තෝරා ගැනීමට බෞද්ධ දර්ශනයෙහි සහතික කර ඇත. කර ඇත්තේ මග පෙන්වීමක්‌ පමණි.

යා දිසං වපතේ භීජං
නා දිසං හරතේ ඵලං
කල්‍යාණකාරි කල්‍යාණං
පාපකාරී ච පාපකං' 

ගාථාවෙන් ඒ පැහැදිලිය. ඒ ගාථාවේ අර්ථය 'වපුරන්නේ යම් ආකාර බිජු වටෙක්‌ද, ලබාගනුයේ ඊටඅනුරූප අස්‌වැන්නකි. එසේම යම් යහපත්දෙයක්‌ කළහොත්, යහපතක්‌ද, අයහපත් දෙයක්‌ කළහොත් අයහපතක්‌ද සිදුවේ' යන්නයි. ඒ අනුව යා යුතු පාර මොකක්‌දැයිතීරණ ගැනීමේ අයිතිය බුදුදහමින් තහවුරු කර ඇත. විභාගයකට පෙනී සිටින අයකුට අසමත් වීමේ අයිතිය ද ඇත.එහෙත් අසමත්වීමට විභාගයකට පෙනී සිටීමේ ඇති හරය ඵලයකුමක්‌ද? හැකි උත්සාහයෙන් ජය ලැබීමට සමත්වීමටම සැරසීම ඉතා ඥානවන්තය. අනුගමනය කළ යුතුම පිළිවෙළයි.
මෙලොව පරලොව දෙලොව වැඩ පිණිස වූ එකම මග කුසලයන් පිහිටීමයි. (කුසලස්‌ස උපසම්පදා) මෙහි දැක්‌වෙන කුසල යනු කිsමෙක්‌දැයි විමසීම වටී. ඒ පිළිබඳව ඇති විග්‍රහය 'කුච්තේ පාපතේ ධම්මේ චලති, න්දති, විද්වන්සේතී'ති කුසලං' යන්නයි. එහි අර්ථය පහත්, පාපී දහම් සොලවාද, සිඳීද, විනාශ කරාදනුයි කුසලයි' යන්නයි. මෙහි 'කු' යනු පහත් පව් ධර්මයි. ඒ පහත් ළාමක පව් ධර්ම සංඛ්‍යාත 'කු' සොලවනවා නම්, කපනවා නම්, විනාශ කරනවා නම් එ 'සල' යි. එවිට කු + සල + කුසලයි. ඒ ක්‍රියාත්මක කිරීම විධි තුනකින් කළ හැකිය. ඒ ඒ අංගයට පමණක්‌ සාපේක්‌ෂව අත්හැරීම, සපුරාම ගලවා විනාශකර අතහැරීම වශයෙනි. මේ කුසලයන්හි ක්‍රියාකාරීත්වය පිහිටන්නේ ලෝකයට අයත් විෂයන්ටය. ලෝකයෙන් එතෙර තත්ත්වය (ලෝකොත්තර) වනාහි කුසලා කුසල නිශ්ක්‍රීය කිරීමයි. (කම්මක්‌ඛයෝ, විරාගෝ, නිරෝධෝ නිබ්බානන්ති) ඒ එසේ වෙනතාක්‌ අප වෙතින් විය යුතු උත්සාහවත්ව කුසලතා හෙවත් පෞරුෂය වර්ධනය සඳහා කටයුතු කිරීමයි.
එක වරම මේ කුසලතාහි පිහිටිය නොහැකිය. ඒ නිසා ඒ පිළිබඳව පිළිවෙලකට පෙළගැසිය යුතුය. ඒ පෙළගැසීම වියයුතු අන්දම යෝජනා කරන තිලෝගුරුවරයාණෝ 'සුනාථ ධාරේථ, චරාථ ධම්මේ' ලෙස ගොනුවක්‌ ඉදිරිපත් කෙරෙති. මෙහි ධම්මේ යනු පිළිවෙලෙහි ක්‍රමයෙහි ආකාරයෙහි ස්‌වභාවයෙහි යන අර්ථය ගෙනදේ. 'සුනාථ' යනු හොඳින් අහන්න හෙවත් පරමාර්ථය මුදුන් පමුණුවා ගනු පිණිස යුතු විධි දැනගන්න. (පරියත්ති සාසනය) ධාරේථ යනු මුලදී දැනගත් දේ අභ්‍යාස කරන්න (පටිපත්ති සාසනය), චරථ යනු ඒදැනගත් දේ භාවිතයෙන් ප්‍රතිපල ලබාගන්න (පටිවේද සාසනය) යන අර්ථ ගෙන දේ. මේ ක්‍රමවේදය අනුගමනයෙන් තමන් වහන්සේ ලද ප්‍රතිඵල පිළිබඳව ධම්මචක්‌ක පවත්තන සූත්‍රයෙන් කරුණු ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ 'භාවිතන්ති මේ භික්‌ඛවේ පුබ්බේ අනනුස්‌සු තේසු ධම්මේසු, චක්‌ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්Æ උදපාදි, විඡ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි' ලෙස දක්‌වති.
මෙහිදී දුකින් නිදහස්‌වීම සංඛ්‍යාත අභිමතාර්ථයෙහි තදින්ම පිහිටීම 'චක්‌ඛුං උදපාදි' යන්නෙන් ප්‍රකාශ කෙරේ. ක්‍රියාවලියෙහි ඵලය ඉදිරිපත් වෙන්නේ ඉන් පසුවය. ඒ අනුව යා යුතු මග දැනගනියි. ඒ මූලධර්මය හෙවත් න්‍යායයි. ඒ දක්‌වන්නේ 'ඤාණං උදපාදි' යනුවෙනි. එයට ශාස්‌ත්‍රීය කියාද කිව හැක. ඒ දැනගත් න්‍යාය, මූලධර්මය හෙවත් ශාස්‌ත්‍රය නිවැරැදිව භාවිතයට ගැනීම 'පඤ්ඤා උදපාදි' යන්නෙන් දර්ශිතය. විද්‍යාව යනු රසායනාගාරයක කෙරෙන කටයුත්තක්‌ පමණයයි අයෙක්‌ ලඝූ කොට සිතති. එහෙත් විද්‍යාව යනු න්‍යායයේ සහ භාවිතයේ සමතුලිතතාවයෙන් අර්ථය මුදුන් පත් කර ගැනීමට වෙරදැරීමයි. ඒ විඡ්ජා උදපාදී යන්නෙන් නිර්දේශිතය. ඒ අභිමථාර්ථයෙහි තදින්ම පිහිටීම හෙවත් යා යුතු මග දැන, යා යුතු මග දැක යා යුතු මග ගොස්‌ පිහිටිය යුතු තැනට පත්වීම හෙවත් අභිමතාර්ථය මුදුන්පත් කර ගැනීම 'ආලෝකෝ උදපාදි' යනුවෙන් දක්‌වා ඇත. නූතන අධ්‍යාපන විද්‍යාවෙන් දැනුම (විජානන), ආකල්ප (ආවේදන) කුසලතා (මනෝ චාලක) යනුද, සුනාථ, ධාරේථ, චරාථ යන්නමය. එසේම පළපුරුද්ද වෙත ගමන් කරන්නා දැන පුරුද්ද, දැක පුරුද්ද, කළ පුරුද්ද ඔස්‌සේ පළපුරුද්ද වෙත සේන්දු විය යුතු යෑයි වූ සම්මතය ද එයමයි.
මේ අනුව පෙර කරන ලද පින් ඇති බව යන අර්ථය රැඳුණු 'පුබ්බේ ච කත පුඤ්ඤතා' යන මංගල සුත්‍ර පදයෙහි 'පුබ්බේ' යන වචනය පෙර ආත්මයටම භාරදීම යුක්‌ති නැත. එහෙත් ඒ සපුරාම බැහැර කිරීමද යුක්‌ති යුක්‌ත නොවේ. මක්‌ නිසාද යත් අප බුදුරජාණන් වහන්සේ ලබාගත් ජයග්‍රහණයන් අටක්‌ ආශ්‍රයෙන් සකස්‌ කරගත් 'ජය මංගල ගාථා' හි පළමුවැනි ජයග්‍රහණය, වැදගත්ම ජයග්‍රහණය බෝධිසත්ව කාලයට පමණක්‌ අයිති නිසාය. අනෙක්‌ ජයග්‍රහණ හතම මේ ලෝකයට අයත් බව අප අමතක නොකළ යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X