වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

දනට පිනට හුරුකර ගත යුතු සිත

වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් 
රාජමහා විහාරාධිපති 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි

අප හැමවිටම බෞද්ධයන් හැටියට ,ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන අය හැටියට දන්නවා හොඳ බෞද්ධ ජීවිතයක් ගත කරන්නට නම් නිරන්තරයෙන් කුසල සිතිවිලි ඇති කර ගන්නට අවශ්‍ය බව. ඒ විතරක් නොවෙයි කුසල සිතිවිලි ඇති කර ගැනීම බුදු දහමේ ඉගැන්වෙන විදියට සැප විපාක ලබා දෙන බවත් අප දන්නවා.
ඉතින් මොනව ද මේ කුසල සිතිවිලි කියලා කියන්නේ? සිත කිලිටි කරන ලෝභ, ද්වේෂ හා මෝහ කියන මේ මූලික කෙලෙස් තුනට අප කියනවා අකුසල සිතිවිලි කියලා. ඉතින් මේ හැම අකුසල සිතිවිල්ලක්ම අපේ සසර ගමන දිග් කරනවා. ඒ වගේම අපට දුක පිණිස අවැඩ පිණිස පවතිනවා. කිසිම ආකාරයකින් සැප විපාකයක් ලබා දීමට හැකියාවක් ඇති කරන්නේ නැහැ. ඉතින්, මේ නිසා මේ කියන අකුසල සිතිවිලිවලින් සිත මුදා ගන්නවා කියන කාරණයෙහි තේරුම කුසලයට සිත යොමු වුණා කියන අදහසයි. ඉතින්, මේ කුසලයට සිත යොමු කර ගැනීම ඉක්මන් කරන පහසු කිරීමට කරුණු අටක් බුදුරජාණන් වහන්සේ අපට පෙන්නුම් කරලා තිබෙනවා. උන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කාලයෙහි භික්ෂූන් වහන්සේ අමතා “පුඤ්ඤාභිසන්ද” නමින් සූත්‍රයක් දේශනා කරලා තිබෙනවා. පුඤ්ඤ හා අභිසන්ද යන වචන දෙක එකතුවෙලයි පුඤ්ඤාභිසන් ද යන වචනය හැදිලා තියෙන්නේ. මේ ‘අභිසන්ද” යන වචනයේ තේරුම ජනිත කරනවා. ප්‍රසව කරනවා. ඇති කරනවා කියන එකයි. මොනවද මේ ප්‍රසව කරන්නේ? එහෙම නැත්නම් ඇති කරන්නේ? පුඤ්ඤ තමයි ප්‍රසව කරන්නේ. එනම් පින් රැස් කිරීමයි
අපේ බුදුරජාණන් වහන්සේ කුසල් සිත් ඇති කිරීමට හේතුවන කරුණු අටෙන් පළමුවෙන්ම පෙන්වා දෙන්නේ” බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම්” එය පළමු අවශ්‍යතාව බවයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳ මූලික වශයෙන් ඇදහීමක්, විශ්වාසයක් ඇති කර ගැනීම මෙහි දී මූලික අවශ්‍යතාවයි. එහිදී මිථ්‍යා ඇදහීම්වලින් බැහැරව තමන්ට පිහිට පිණිස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන මේ බරපතල විශ්වාසය ඇති කර ගතයුතු වෙනවා. එවැන්නක් ඇති කර ගැනීම මෙහිදී මූලික අවශ්‍යතාවයි. එහි දී මිථ්‍යා ඇදහීම්වලින් බැහැරව තමන්ට පිහිට පිණිස බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියන මේ බරපතල විශ්වාසය ඇති කර ගතයුතු වෙනවා. එවැන්නක් ඇති කර ගැනීමට නම් ඔහුට ශ්‍රද්ධාව පිහිටා තිබිය යුතු වෙනවා. ශ්‍රද්ධාව ස්ථීරසාරව පිහිටනව නම් මූලික වශයෙන් සෝවාන් මගඵලවත් පසක් කර තිබිය යුතු වෙනවා. කෙනෙක් තෙරුවන් සරණ යාමට කල්පනා කරනවා නම් ඔහු මුලින්ම කරන්නේ “ බුදුන් සරණ යාම” යි. එසේ තෙරුවන් සරණ ගිය අයටයි බුදුදහමේ ඉගැන්වීම් අනුව උපාසකයා හෝ උපාසිකාව කියා හඳුන්වා දෙන්නේ. ඊළඟ අවශ්‍යතාව මේ “ධර්මය සරණ යාම” තෙවැනි අවශ්‍යතාව වන්නේ “ආර්ය සංඝරත්නය සරණ යාම”යි . මේ විදියට බලද්දී කුසල් සිතිවලි ජනිත කර ගැනීම ට මේ කියන බුද්ධ , ධම්ම, සංඝ යන රත්නත්‍රයම සරණයාම අවශ්‍ය වෙනවා. තෙරුවන් සරණ යාම පමණක්ම කුසල සිත පහළවීමක් ලෙස ද හඳුන්වන්නට පුළුවනි. ඒ කුමන හේතුවක් නිසා ද කියනවා නම් තෙරුවන් සරණ ගිය බුද්ධ ශ්‍රාවකයාට කිසි විටෙක අකුසල් සිතිවිලි උපදවා ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. බුද්ධ ශ්‍රාවක යන මේ වචනයෙන් භික්ෂු, භික්ෂූණී, උපාසක හා උපාසිකා කියන කොටස් හතරම ගැනෙනවා. ඔහු නිරන්තරයෙන්ම බුද්ධාදී රත්නත්‍රය විෂයෙහි ශ්‍රද්ධාව උපදවාගෙන අප්‍රමාදයෙන් යුතුව සිහිය පිහිටුවා ගෙන ක්‍රියා කරන උතුමෙකු වන නිසාය.

ඊළඟට පෙන්වා දෙන්නේ තෙරුවන් සරණ ගිය මෙ ආර්ය ශ්‍රාවකයා බුදුන් සරණ යාම , දහම් සරණ යාම හා සඟුන් සරණ යාම යන කරුණු තුන සපුරාලමින් කුසල් සිත් වඩා වර්ධනය කරමින් ඊළඟට තවත් පියවර පහක් සපුරා ගන්නවා. එයින් පළමුවන කරුණ වන්නේ ප්‍රාණඝාතයෙන් හෙවත් ප්‍රාණ හිංසාවෙන් සම්පූර්ණයෙන්ම අත් මිදීමයි. මේ අය තමන්ට මෙන්ම තමන්ගෙන් බාහිර සමස්ත ලෝකයේ ම සියලු ම ප්‍රාණීන්ට අභය දානය නිරතුරුවම සලසාලන අයකු බවට පත් වෙනවා. මේ ආකාරයෙන් පංචශීලයෙහි දැක්වෙන එක් එක් ශික්ෂාපදයන්ට අනුව සම්පූර්ණයෙන් ම හික්මීමෙන් කිසි විටෙකත් කාටවත් සැපතක් මිස විපතකට ඉඩකඩ සලස්වන්නේ නැතිව හැමවිට ම මහා දාන පහක් සිදු කරනවා. මේ දාන පහ ලෝකයේ පවත්නා වචනයේ අර්ථයෙන්ම මහාදාන වෙනවා මයි. එමෙන්ම ඊට වඩා වැඩියෙන් අගය කරන තවත් දානයක් නම් ලෝකයේ ඇත්තේ ම නැහැ. එමෙන්ම ඒ දානය හැමදාමත් අගය අඩු නොවන දානයක් මයි. ඒ දානයේ ආනිසංස කවදත් එම විදිය මයි. කලින් කලට එහි ආනිසංස වෙනස් වන්නේ නැහැ. සනාතනික විදියට එහි අගය රඳා පවතිනවා. ඒ වගේම තමා එහි ආනිසංසවල කිසි ආකාරයකින් වෙනස් වන්නේ යයි සැක පහළ කරන්නට හේතුවක් ඇති වන්නේ නැහැ. එමෙන්ම ශ්‍රමණ බ්‍රාහ්මණාදී උතුමන් විසිනුත් එහි ඇති ශක්තිය අගය හා වටිනාකම කිසි විටෙකත් අඩු තක්සේරුවක් කරන්නෙත් නැහැ. හැමදාම එම ආනිසංශ ශක්තිය එම ආකාරයෙන් පවතිනවා.
මීළඟට බුදුරජාණන් වහන්සේ එක් එක් ශික්ෂාපදය උපුටා දක්වමින් ඒ එකකින් සිදුවන දාන කෙබඳුද? යන්න පහදා දෙනවා.
ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා ආර්ශ්‍රාවකයා ලෝකයේ ජීවත්වන අප්‍රමාණ සත්ව ප්‍රජාවකට අභය දානය ලබා දෙනවා. මේ නිසා ලොව ජීවත්වන හැම සත්වයෙක්ම භය නැතිව ජීවත් වෙනවා. භය නැති නිසා එතැන අසහනය දුරු වෙලා සහනසීලි සන්සුන් පරිසරයක් ඇති වෙනවා. දෙවැනි දානය තමා එම ආර්ය ශ්‍රාවකයා නිසා අවෛරය හැම සත්වයෙකුටම ඇති වෙනවා. මේ තත්වය යටතේ හැම සත්වයෙක්ම තවත් අයෙකුට වෛර නොකර සැනසිල්ලේ ජීවත් වෙනවා. මෛත්‍රී සහගත සිතිවිලි බහුල වෙනවා. හැම සිතකම මෘදු ගුණය බහුල වෙනවා. නපුරුගති දුරු වෙනවා. මෙන්න කාය කර්ම, මෙත්තා, වචී කර්ම හා මෙත්තා මනෝ කර්මවලින් එම ආර්ය සමාජය තුළ හැම අයෙක්ම යුක්ත වෙනවා. එමෙන්ම මේ හේතුවෙන් අප්‍රමාණ සත්ව ප්‍රජාවට කිසිදු දුකක් නැතිව සුවසේ ජීවත් වීමේ හැකියාව ඇති වෙනවා. මෙසේ දුක් නැති බව ලබා දෙනවා යන්නෙහි අදහස සැප ලබා දෙනවා. කියන එකයි. එයද මහාර්ඝ සම්පන්න දානයක් ලෙස මෙහිදී සලකා බලා තිබෙන්නේ. පස්වෙනි අවස්ථාව ලෙස දක්වලා තිබෙන්නේ ප්‍රාණහිංසාවෙන් වැළකුණු ආර්ය ශ්‍රාවකයා නිසා ජීවත්වන සමස්ත ප්‍රජාව අභයට අවෛරයට නිදුක් බවට හිමිකාරයෙක් බවට පත් වෙනවා. මේ දක්වා තිබෙන්නේ පංචශීලයෙහි දැක්වෙන එක ශික්ෂාපදයක් වූ ප්‍රාණහිංසාවෙන් වැළකීම කියන මෙහි සනාතනික ශක්තිය අගයයි.
මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා තවදුරටත් නුදුන් දෙය පැහැර ගැනීමෙන් වළකිනවා. කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකිනවා ,බොරුවෙන් හෙවත් වංචාවෙන් වළකිනවා. රහමෙර පානයෙනුත් වළකිනවා. දැන් කුමක්ද? සිදුවී තිබෙන්නේ තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයා සමාජයේ මනා පැවැත්මට අවශ්‍ය වූ සිල්පද පහෙන්ම තම පැවැත්ම සරසා ගන්නවා. එවැනි සමාජයක ජීවත් වන අප්‍රමාණ මිනිස් ගණයට වැටෙන සත්වයන්ට පමණක් නොව සෙසු සියලුම ප්‍රාණීන්ට මෙම ආර්ය ශ්‍රාවකයා නිරන්තරයෙන්ම අභය ලබා දෙන අවෛරය ලබා දෙන නිදුක්බව ලබා දෙන, එම සියලුම සහනසීලි තත්ත්වයන්ට හිමිකම් කියන තත්ත්වයට එම සමාජය පත් වෙනවා. මේ අනුව බුදුරජාණන් වහන්සේ වදාරනවා මෙම ශික්ෂාපද පහෙන් එකින් එක සමරනවා වගේම කල්පැවැත්ම සනාතනික වුවත්, ඒ මක් නිසාද? පන්සිල් රකින සමාජයක් තුළ ජීවත් වන සෑම සත්වයෙක් ප්‍රාණියෙක්ම සැකෙන් භයෙන් තොරව ජීවත් වෙනවා. ඒ නිසාම වෛරී සිතිවිලි පහළ වන්නේ නැහැ. හිතට මෙන්ම ගතට සැපයක් උදා කර දෙනවා. එපමණක් නොව එසේ පන්සිල් පද ආරක්ෂා කරමින් ක්‍රියා කරන පුද්ගලයා ඒකාන්ත වශයෙන් සුගතියෙහි උප්පත්තිය ලබනවා. මෙවැනි පසුබිමක් තුළ ඇති වන වැදගත්ම ප්‍රතිඵලය වන්නේ එම සමාජයේ ජීවත වන ආර්යශ්‍රාවකයා හැම දෙනාගේම යහපත හිතසුව පිණිස පවතිනවා. එවැනි සමාජයක ජීවත්වන සෑම කෙනෙකුටම ඒ සුගතිය උදා කර ගැනීමට තරම් මානසික වශයෙන් සුවදායක පරිසරයක්ද නිර්මාණය වෙනවා.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පෙර කරන ලද පින් ඇති බව...

පූජ්‍ය කැප්පිටියාගොඩ කල්‍යාණවංස හිමි

බෞද්ධයා ඉතාම ආදර පෙරදැරිව පරිහරණය කරනු ලබන බෞද්ධ සුත්‍ර ධර්මයකි 'මහා මංගල සූත්‍ර ධර්මය.එම සූත්‍ර ධර්මයේ නාමයෙන්ම, ඒ සූත්‍ර ධර්මය අපට පෙන්වා දෙන යහපත් මාර්ගය පැහැදිලි ය. 'අය' යනු සැපතයි. සතුටයි. ප්‍රීතියයි. වාසනාවයි. ජයග්‍රහණයයි. ඒ වූ හිතකර අර්ථයක්‌ ගෙන දෙන 'අය' යන පදයට 'අප' යන නිශේධනීය අර්ථය ගෙන දෙන උපසර්ග පදය එක්‌වූ විට අපාය යන පදය සෑදේ. අපාය යන පදයෙන්ගෙන් දෙන අර්ථය සැපයෙන් සතුටෙන්, ප්‍රීතියෙන්, වාසනාවෙන්, ජයග්‍රහණයෙන් තොර යන්නයි. එම තත්ත්වයෙන් හෙබි ස්‌ථානයත්, 'අභේධෝපචාර' යන වියරණ විධියෙන් අපාය යන ස්‌ථානාර්ථයද ගනී. ඒ වූ අපායට යන පාර, මාර්ගය, විධිය යන අර්ථයෙන් මංගල යන වචනය සෑදී තිබේ. එබව අපාය මං ගලතී' ති මංගලම් යන විග්‍රහය වැකියෙන් පැහැදිලි කෙරේ. ඒ වූ මංගල කරුණු ඇතුළත් මංගල සූත්‍රය සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතින් දේශනා කෙරුණේ සමාජගත ඓතිහාසික සංදර්භයක්‌ නිසා ගොඩනැගුණු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

ඒ ප්‍රස්‌තුතය මෙසේය;

පෙර දඹදිව අයකුට ප්‍රශ්නයක්‌ ඇතිවිය. ඒ මංගල යනු මොනවාද? යන්නයි. මේ ප්‍රශ්නය පිළිබඳව සලකා බැලූ අයෙක්‌ මංගල යනු වෙන දෙයක්‌ නොවේ. ඇසින් දකින දෙයයි. මංගල ලෙස කීය. ඒ අර්ථය නොපිළිගත් අයෙක්‌ නෑ නෑ මංගල කියන්නේ ඇසින් දකිනදෙය නෙවෙයි. කනෙන් අසනදෙය යයි ඊට පටහැනි අදහසක්‌ කීය. මේ අර්ථදෙකම පිළිගැනීමට අකමැතිවූ අයෙක්‌ 'ඔබ කොහොම කොයි විදියට කීවත් මංගල කියන්නේ ඇසින් දකින දේවත්, කනින් අහන දේවත් නොවෙයි. සිහිකිරීමෙන් ලබන දේයි කීහ. මේ අනුව මංගල යනු මොනවාදයි හඳුනාගැනීමේදී ඒකීය මතයක්‌ ඉදිරිපත් නොවූයෙන් ඒ වාදයකට පෙරළිණි. ඒ වාදය සමාජයේ නොයෙකුත් දෙනා අතරට දිට්‌ඨ මංගල, සුතමංගල, මුත මංගල' ලෙස විහිදී විසිරී පැතිරී ගියේ කෝලාහල තත්ත්වයට පත්විය. ඒ තත්ත්වය පැතිර ගියේ මිනිසුන් අතර පමණක්‌ නොවේá දෙවියන් අතර ද ඒ කෝලාහලය විහිද විසිරී පැතිරී ගියේය. ඔවුනට ද ඒ පිළිබඳව ඒකීය මතයකට එල්බ ගත නොහැකි විය. එහෙයින් හැම දෙනාම එකතුව ඒ ප්‍රශ්නය දෙදෙව් ලොවට අධිපති ශක්‍ර දෙවියන් වෙත යොමු කෙරිණි. එහෙත් ශක්‍ර දෙවියන්ට ද මේ පිළිබඳව ස්‌ථිර අදහසක්‌ ඉදිරිපත් කිරීමට නොහැකිවිය. එහෙත් හේ මංගල යනු කිමෙක්‌ද? යන ප්‍රශ්නයට නියම පිළිතුරක්‌ සැබෑ පිළිතුරක්‌ දීමට සුදුසු ඇති, ඉතා ගැඹුරෙන් පිළිතුරු සැපයිය හැකි අයකු පිළිබඳව දැන සිටියේය. ඒ මිනිස්‌ ලොව දඹදිව බරණැස්‌ නුවර ඡේතවනාරාමයේ එදින වැඩ වාසය කරන තථගත සම්මා සම්බුදුරජාණන් වහන්සේය. ඒ දැන දූත දෙවියකු අමතා ඡේතවනාරාමයට ගොස්‌ මේ ගැටලුව තථාගතයන් වහන්සේ වෙත යොමු කරන්නට කටයුතු යෙදීය.
ශක්‍රයාගේ අණැවුමෙන් අලංකාරයන්ගෙන් සැදී ගත් ඒ දෙවියා මැදියම් රැයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ඡේතවනාරාමයේ ගඳකිළියට පත්ව, තථාගතයන් වහන්සේට වැඳ නමස්‌කාර කොට එතක්‌පසෙකැ සිට තමා සපැමිණි රාජකාරිය ඉටුකර ගැනුමට 'බහු දේවා මනුස්‌සාච - මංගලානි අචිත්තයුං
ආකන්කමාන සොත්ථානං - බ්‍රෑහි මංගල මුත්තමං' යන ගාථාවෙන් තම ආරාධනාව කෙරී. ඒ ආරාධනය පිළිගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අටතිස්‌ මඟුල් කරුණකින් සැදී මහා මංගල සූත්‍රය දේශනා කොට වදාළ සේක.
මේ ලියවිල්ලෙන් සමස්‌ත මංගල සූත්‍රය කෙරෙහිම ඔබ අවධානය යොමු කරගත්තත්, අප මුඛ්‍ය අදහස එම සූත්‍රය ගැන සපුරාම සාකච්ඡා කිරීම නොවේ. එහි අඩංගු පස්‌වැනි මංගල කාරණය හෙවත් පුබ්බේච කතපුඤ්ඤතා' යන පදය පිළිබඳව ඔබගේ අවධානය යොමුකර ගැනීමටයි.
'පුබ්බේච කත පුඤ්ඤතා' යන ගාථා පදයට අර්ථ ප්‍රකාශ කරන්නේ පෙර කරන ලද පින් ඇති බව යන්නයි. ඒ නිවැරැදිම අර්ථ කීමෙකි. එහෙත් ඒ අර්ථ ගැන්වීමෙහි ඇතුළත් පෙර යන්නට බොහෝ දෙනා අර්ථ ගන්වා ගන්නේ 'පෙර ආත්මයෙහි' ලෙසටය. ඒ එසේ වීමට කිසි යුක්‌තියක්‌ නැති මක්‌නිසාද යත්, පුබ්බේ යන පදය කෙසේවත් ආත්මය යන්නෙන් ගම්‍යමාන නොකෙරෙයි. එහෙත් ඒ පදයට ආත්මය යන අර්ථය ගත යුතුම නම් අනියමාර්ථ අසම්භාව්‍යය තත්ත්වයෙන් මිස කිසි අවකාශයෙක්‌ නැත. එහෙත් ඒ පෙර ආත්මයටම පමණක්‌ භාරදිය නොහැකිය. පෙර යනු අතීතයයි. ඒ අතීතය පෙර ආත්මයට ම අයිති නැත. එහෙත් ඒ සපුරාම ඉවත් කළ නොහැකිය. දැන් ආත්මය යන්නත් පෙරටම කැප කර ඇතියෙකි. නමුත් පෙර යන පදය පෙර ආත්මයට අයිති නැත. ඊයේ කරන ලද පිනත්, පුබ්බේච කථ පුඤ්ඤතා යන්නට ඇතුළත්ය. ඒ ඊයේ කරන ලද පිනත් මෙලොව පරලොව අභිවෘද්ධිය පිණිස වේ. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
බෞද්ධයාගේ පරම නිෂ්ඨා ප්‍රාර්ථනය නිර්වාණයයි. හෙවත් වාන සංඛ්‍යාත තෘෂ්ණාවෙන් මිදීමයි. එවිට බෞද්ධ පෞරුෂය සපිරී ඇත. එහෙත් හේ ගතකරන ජීවිතය ලෞකිකය. ඒ ලොවට අයත් හෙවත් ලෞකික ජීවිතය අරබයා කර්මය බලපායි. ඒ කර්ම කුසල කර්ම හා අකුසල කර්ම විසින් දෙගොඩකි. එයින් අකුසල කර්ම දුර්විපාක හෙවත් ආදීනව ගෙන දෙයි. කුසලය යහවිපාක හෙවත් ආනිසංසදායකය. ඒ නිසා ලෞකික ජීවිතයේ ආලෝකය ලබාගැනීමට අකුසලයන්ගෙන් ඉවත්වීම වාගේම කුසලයනට සමීපවීම අත්‍යවශ්‍යමය. මේ දෙආකාර තත්ත්වයන් තම තමන් කැමැති ආකාරයකට තෝරා ගැනීමට බෞද්ධ දර්ශනයෙහි සහතික කර ඇත. කර ඇත්තේ මග පෙන්වීමක්‌ පමණි.

යා දිසං වපතේ භීජං
නා දිසං හරතේ ඵලං
කල්‍යාණකාරි කල්‍යාණං
පාපකාරී ච පාපකං' 

ගාථාවෙන් ඒ පැහැදිලිය. ඒ ගාථාවේ අර්ථය 'වපුරන්නේ යම් ආකාර බිජු වටෙක්‌ද, ලබාගනුයේ ඊටඅනුරූප අස්‌වැන්නකි. එසේම යම් යහපත්දෙයක්‌ කළහොත්, යහපතක්‌ද, අයහපත් දෙයක්‌ කළහොත් අයහපතක්‌ද සිදුවේ' යන්නයි. ඒ අනුව යා යුතු පාර මොකක්‌දැයිතීරණ ගැනීමේ අයිතිය බුදුදහමින් තහවුරු කර ඇත. විභාගයකට පෙනී සිටින අයකුට අසමත් වීමේ අයිතිය ද ඇත.එහෙත් අසමත්වීමට විභාගයකට පෙනී සිටීමේ ඇති හරය ඵලයකුමක්‌ද? හැකි උත්සාහයෙන් ජය ලැබීමට සමත්වීමටම සැරසීම ඉතා ඥානවන්තය. අනුගමනය කළ යුතුම පිළිවෙළයි.
මෙලොව පරලොව දෙලොව වැඩ පිණිස වූ එකම මග කුසලයන් පිහිටීමයි. (කුසලස්‌ස උපසම්පදා) මෙහි දැක්‌වෙන කුසල යනු කිsමෙක්‌දැයි විමසීම වටී. ඒ පිළිබඳව ඇති විග්‍රහය 'කුච්තේ පාපතේ ධම්මේ චලති, න්දති, විද්වන්සේතී'ති කුසලං' යන්නයි. එහි අර්ථය පහත්, පාපී දහම් සොලවාද, සිඳීද, විනාශ කරාදනුයි කුසලයි' යන්නයි. මෙහි 'කු' යනු පහත් පව් ධර්මයි. ඒ පහත් ළාමක පව් ධර්ම සංඛ්‍යාත 'කු' සොලවනවා නම්, කපනවා නම්, විනාශ කරනවා නම් එ 'සල' යි. එවිට කු + සල + කුසලයි. ඒ ක්‍රියාත්මක කිරීම විධි තුනකින් කළ හැකිය. ඒ ඒ අංගයට පමණක්‌ සාපේක්‌ෂව අත්හැරීම, සපුරාම ගලවා විනාශකර අතහැරීම වශයෙනි. මේ කුසලයන්හි ක්‍රියාකාරීත්වය පිහිටන්නේ ලෝකයට අයත් විෂයන්ටය. ලෝකයෙන් එතෙර තත්ත්වය (ලෝකොත්තර) වනාහි කුසලා කුසල නිශ්ක්‍රීය කිරීමයි. (කම්මක්‌ඛයෝ, විරාගෝ, නිරෝධෝ නිබ්බානන්ති) ඒ එසේ වෙනතාක්‌ අප වෙතින් විය යුතු උත්සාහවත්ව කුසලතා හෙවත් පෞරුෂය වර්ධනය සඳහා කටයුතු කිරීමයි.
එක වරම මේ කුසලතාහි පිහිටිය නොහැකිය. ඒ නිසා ඒ පිළිබඳව පිළිවෙලකට පෙළගැසිය යුතුය. ඒ පෙළගැසීම වියයුතු අන්දම යෝජනා කරන තිලෝගුරුවරයාණෝ 'සුනාථ ධාරේථ, චරාථ ධම්මේ' ලෙස ගොනුවක්‌ ඉදිරිපත් කෙරෙති. මෙහි ධම්මේ යනු පිළිවෙලෙහි ක්‍රමයෙහි ආකාරයෙහි ස්‌වභාවයෙහි යන අර්ථය ගෙනදේ. 'සුනාථ' යනු හොඳින් අහන්න හෙවත් පරමාර්ථය මුදුන් පමුණුවා ගනු පිණිස යුතු විධි දැනගන්න. (පරියත්ති සාසනය) ධාරේථ යනු මුලදී දැනගත් දේ අභ්‍යාස කරන්න (පටිපත්ති සාසනය), චරථ යනු ඒදැනගත් දේ භාවිතයෙන් ප්‍රතිපල ලබාගන්න (පටිවේද සාසනය) යන අර්ථ ගෙන දේ. මේ ක්‍රමවේදය අනුගමනයෙන් තමන් වහන්සේ ලද ප්‍රතිඵල පිළිබඳව ධම්මචක්‌ක පවත්තන සූත්‍රයෙන් කරුණු ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ 'භාවිතන්ති මේ භික්‌ඛවේ පුබ්බේ අනනුස්‌සු තේසු ධම්මේසු, චක්‌ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්Æ උදපාදි, විඡ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි' ලෙස දක්‌වති.
මෙහිදී දුකින් නිදහස්‌වීම සංඛ්‍යාත අභිමතාර්ථයෙහි තදින්ම පිහිටීම 'චක්‌ඛුං උදපාදි' යන්නෙන් ප්‍රකාශ කෙරේ. ක්‍රියාවලියෙහි ඵලය ඉදිරිපත් වෙන්නේ ඉන් පසුවය. ඒ අනුව යා යුතු මග දැනගනියි. ඒ මූලධර්මය හෙවත් න්‍යායයි. ඒ දක්‌වන්නේ 'ඤාණං උදපාදි' යනුවෙනි. එයට ශාස්‌ත්‍රීය කියාද කිව හැක. ඒ දැනගත් න්‍යාය, මූලධර්මය හෙවත් ශාස්‌ත්‍රය නිවැරැදිව භාවිතයට ගැනීම 'පඤ්ඤා උදපාදි' යන්නෙන් දර්ශිතය. විද්‍යාව යනු රසායනාගාරයක කෙරෙන කටයුත්තක්‌ පමණයයි අයෙක්‌ ලඝූ කොට සිතති. එහෙත් විද්‍යාව යනු න්‍යායයේ සහ භාවිතයේ සමතුලිතතාවයෙන් අර්ථය මුදුන් පත් කර ගැනීමට වෙරදැරීමයි. ඒ විඡ්ජා උදපාදී යන්නෙන් නිර්දේශිතය. ඒ අභිමථාර්ථයෙහි තදින්ම පිහිටීම හෙවත් යා යුතු මග දැන, යා යුතු මග දැක යා යුතු මග ගොස්‌ පිහිටිය යුතු තැනට පත්වීම හෙවත් අභිමතාර්ථය මුදුන්පත් කර ගැනීම 'ආලෝකෝ උදපාදි' යනුවෙන් දක්‌වා ඇත. නූතන අධ්‍යාපන විද්‍යාවෙන් දැනුම (විජානන), ආකල්ප (ආවේදන) කුසලතා (මනෝ චාලක) යනුද, සුනාථ, ධාරේථ, චරාථ යන්නමය. එසේම පළපුරුද්ද වෙත ගමන් කරන්නා දැන පුරුද්ද, දැක පුරුද්ද, කළ පුරුද්ද ඔස්‌සේ පළපුරුද්ද වෙත සේන්දු විය යුතු යෑයි වූ සම්මතය ද එයමයි.
මේ අනුව පෙර කරන ලද පින් ඇති බව යන අර්ථය රැඳුණු 'පුබ්බේ ච කත පුඤ්ඤතා' යන මංගල සුත්‍ර පදයෙහි 'පුබ්බේ' යන වචනය පෙර ආත්මයටම භාරදීම යුක්‌ති නැත. එහෙත් ඒ සපුරාම බැහැර කිරීමද යුක්‌ති යුක්‌ත නොවේ. මක්‌ නිසාද යත් අප බුදුරජාණන් වහන්සේ ලබාගත් ජයග්‍රහණයන් අටක්‌ ආශ්‍රයෙන් සකස්‌ කරගත් 'ජය මංගල ගාථා' හි පළමුවැනි ජයග්‍රහණය, වැදගත්ම ජයග්‍රහණය බෝධිසත්ව කාලයට පමණක්‌ අයිති නිසාය. අනෙක්‌ ජයග්‍රහණ හතම මේ ලෝකයට අයත් බව අප අමතක නොකළ යුතුය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සිල් අරගෙන පින් පුරෝගන්න


ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

වර්තමානයේ බොහෝ දෙනෙක්‌ පොහොය දිනවල අටසිල් සමාදන් වේ. විහාරස්‌ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්වලට සම්බන්ධ වේ. පන්සලේ ආගමික වැඩ නොතිබුණොත් කියන්නෙ පෝයට මුකුත් වැඩසටහනක්‌ නැහැ කියල. සමහරු හාමුදුරුවන්ටත් දොස්‌ කියනව. එදට සිල් අරගෙන පව් පුරෝගෙන ගෙදර යනව. එහෙම නොවෙන්න අප දැනගන්න ඕන සිල් සමාදන්වෙලා උතුම් කුසලයක්‌ රැස්‌කර ගන්නා ආකාරය. කුසල් රැස්‌ කරල දෙන්න කාටවත් බැහැ. ඒක කරන්න පුළුවන් තම තමන්ටම විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක්‌ ඔබට කියල දෙන්නයි යන්නෙ. මේක අංගුත්තර නිකායේ විශාඛූපෝසථංග සූත්‍රය. දේශනා කළේ විශාඛා උපාසිකාවට. දවසක්‌ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ වැඩ ඉන්න වෙලාවෙ දවල් විශාඛා උපාසිකාව පන්සල් ගිහින් බුදු පාපියුම් වැඳ එකත්පසෙක සිටියා. භාග්‍යවතුන් වහන්සේ අහනවා ඔබ කොහි සිටද එන්නෙ කියල. මම අද පෙහෙවස්‌ සමාදන්වෙලා ඉන්නව කියල විශාඛාව කිව්වා. විශාඛාව උපොසථ තුනක්‌ කියනව.එනම් ගෝපාලක උපෝසථකය, නිගණ්‌ඨ උපෝසථය හා ආර්ය උපෝසථය වශයෙන්.

විශාඛාව ගොපාලක උපෝසථය කියන්නෙ දවල් ගවයන් අරගෙන යන ගොපල්ලා හවස ගවයන් ස්‌වාමියාට දීල හිතනවා මම අද අසවල් තැනින් කෑම කෑවා අසවල් තැනින් වතුර පෙව්ව, හෙට මේ මේ තැනට අරන් යන්න ඕන.මේ විදිහට අටසිල් ගන්න අයත් උදේ දවල් ගත් ආහාර ගැන හිත හිතා සිටියොත් ඒක ගොපලු උපෝසථය වෙනව. ඒක මහත්ඵල මහානිසංස මහත් බැබලීමක, මහත් පැතිරීමක්‌ නොවෙයි. (න මහප්ඵලො හෝති න මහාති සංසෝ න මහා පූතිකෝ න මහා විප්පහාරෝ).

නිගණ්‌ඨ උපොසථය කියන්නෙ නිගණ්‌ඨ ආරාමවලට ශ්‍රාවකයො ගියාම කියනව පුරුෂයිනි, නුඹලා යොදුන් සියය බැගින් සතර දිසාවටම මෙත් සිත පතුරුවා උපොසථ කරන්න කිsයල. ඇතැම් ප්‍රාණීන්ට මෛත්‍රිය වඩන්නෙ නැහැ. ඊළඟට ඇඳුම් උනා තියා දැන් සියලු කෙලෙස්‌වලින් මිදුන කියල දවස ගෙවන්න උපදෙස්‌ දෙනවා. ඒ වුණාට ඔවුන්ගේ කෙලෙස්‌ නැතිවෙන්නෙ නැහැ. ඒක මහත්ඵල මහත් අනුසස්‌ ඇති උපෝසථයක්‌ නෙමෙයි.

විශාඛාවෙනි, ආර්ය උපෝසථය කියන්නෙ කෙලෙස්‌වලින් කිළිටිවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන ක්‍රමයක්‌. ඒක තථාගතයන් වහන්සේ විශාඛාවන්ට පැහැදිලි කර දුන්න. මම ඔබට ඒක කරන ආකාරයත් එක්‌ක කියල දෙන්නම්. දැන් උදේම අටසිල් සමාදන්වෙලා ඔබට පුළුවන් මම අද දවසේ බ්‍රහ්ම උපෝසථය වාසය කරනව කියල අධිෂ්ඨාන කරගෙන පළමු උපෝසථය වාසය කරන්න. එතැන් සිට සිල් පවාරණය කරනකම් භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ විච්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූ ගුණයෙන් යුතුය. අනුත්තර පුරිසධම්ම සාරථිය, සත්ථා දේවමනුස්‌සානං නම් වේ. බුද්ධය, භගවා ගුණයෙන් යුතුය යන විදියට හෝ සවිස්‌තරාත්මකව හෝ නවඅරහාදී බුදුගුණ දවස පුරාම සිහි කර සිත වඩනවා. මේ බුදුගුණ සිහිකරනකොට සිත පහදිනවා. ප්‍රමුදිත බව ඇතිවෙනවා. (චිත්තං පසිදති මාපුජජං උප්පඡ්ජති) එවි ටකාමච්ඡන්ද ව්‍යාපාද, ථින මිද්ධ, උද්ධච්චකුක්‌කුච්ච, විචිකිච්ඡා වන නීවරණ ධර්ම යටපත්වෙනවා. මේක හරියට නෙල්ලි රසකිඳ ආදිය දාල අතුල්ලා වතුරෙන් හිස පිරිසිදු කරනව වගේ උපක්‍රමයෙන් සිත පිරිසිදු කිරීමක්‌.

දෙවන ආර්ය උපෝසථය නම් අටසිල් සමාදන්වෙලා මම අද ධම්ම උපෝසථය වාසය කරනව කියල අධිෂ්ඨාන කරගෙන සිල් පවාරණය කරනකම් දහම් ගුණ මෙනෙහි කිරීමයි. තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ස්‌වාක්‌ඛාතෝ සන්දිට්‌ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්‌සිකො, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බෝ, විඤ්­හි යන දහම් ගුණ හය කෙටියෙන් හෝ විස්‌තරාත්මකව නොකඩවා සිහිකරනවා. එවිට සිත පහදිනවා. ප්‍රමුදිත බව ඇතිවෙනවා. පංච නීවරණ යටපත්වෙනවා. මේක හරියට කිළිටිවූ ශරීරය පිරිසිදු කිරීමට බෙහෙත් කුඩු ද්‍රව්‍ය ආදිය දාල සොත්තියෙන් ශරීරය, පිට අතුල්ලා වතුරෙන් සෝදා පිරිසිදු කරනව වගේ උපක්‍රමයෙන් සිත පිරිසිදු කිරීමක්‌.

තුන්වන ආර්ය උපෝසථය වාසය කරන්නෙ අටසිල් සමාදන්වෙලා මම අද සංඝ උපෝසථය වාසය කරනව කියල අධිෂ්ඨාන කරගන්නවා. එතැන් සිට සිල් පවාරණය කරනකම් ආර්ය සංඝරත්නයේ ගුණ නවය සිහිකරනවා. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, යද්දං චත්තාරී පුරිස යුගානි අට්‌ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ, ආහුනෙයේ‍ය, පාහුණෙයේ‍ය, දක්‌ණෙයේ‍ය, අංජලී කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්‌ඛෙත්තං ලෝකස්‌සාති. මෙසේ උපෝසථ වාසයෙන් සිත පැහැදෙනවා ප්‍රමුදිත බව ඇතිවෙනවා. පංචනීවරණ යටපත්වෙනව. මෙය කිළිටි ඇඳුම්වලට රෙදි සෝදන ද්‍රව්‍ය දාල ඇතිල්ලීම ආදී උපක්‍රම යොදා පිරිසිදු කරනව වගේ කිළිටි සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීමක්‌.

සතරවැනි ආර්ය උපෝසථය තමයි තමන් විසින් ආරක්‌ෂා කරනු ලබන සීලය ගැන සිතීම. මෙහිදීත් අටසිල් සමාදන්වෙලා අධිෂ්ඨාන කරනවා අද සීල උපෝසථය වාසය කරනව කියල. එතැන් පටන් සිල් පවාරණය කරනකම් තමන්ගේ සීලය ගැන සිතනවා. එනම් මම අද රකින සිල් පද අට අඛණ්‌ඩව එනම් මුලින් හෝ අගින් සිල්පද නොකැඩීම. අචිද්‍ර මැදින් සිල්පද නොකැඩීම, අසබල එනම් පිළිවෙළින් සිල්පද දෙකතුනක්‌ නොකැඩීමයි. අකම්මාස නම් අතරින් පතර සිල් පද නොකැඩීම කැලැල් නැති, භූජිස්‌ස නම් තෘෂ්ණා දෘෂ්ටියෙන් තොරවූ, විඤ්­පසත්ථ නම් උතුමන් විසින් ප්‍රශංසා කරන ලද, අපරාමට්‌ඨ තමන්ගේ සීලයට කිසිවකුටවත් දොසක්‌ කිව නොහැකි ලෙස සිල් රැකීමයි. සමාධිය, සංවත්තනික එනම් උපචාර අර්පනා, මාර්ග, ඵළ සමාධි පිණිස පවත්නා සීලයයි. මෙලෙස දවස පුරාම තමන්ගේ සීලයට හානියක්‌ වීමට නොදී මෙනෙහි කරමින් සිල් රකිනවා. මෙය හරියට කිළිටි වූ කැඩපතක්‌ උපක්‍රමයෙන් පිරිසිදු කරනවා වගේ උපක්‍රමයෙන් සිත පිරිසිදු කිරීමක්‌.

පස්‌වන ආර්ය උපෝසථය නම් දේවතා උපෝසථයයි. මෙයද අටසිල් සමාදන් වෙලා මම අද දේවතා උපෝසථය වාසය කරනව කියල අධිෂ්ඨාන කරගෙන දවස මෙහෙම ගත කරනව. දිව්‍යලෝක හයක්‌ තියෙනවා. එනම් චතුර්මහාරාජික, තව්තිසාව, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත, වසවර්ති වශයෙන්. ඒවායේ දෙවිවරු දේවත්වයට පත්වුණේ සද්ධා සීල, සුත, චාග, ප්‍රඥ ගුණ වැඩීමෙන්. 

මමත් අද දවසෙම සද්ධා, සීල, සුත, චාග, පඥ ගුණ වඩනවා යෑයි සිත සිතා එම ගුණ දවසෙම වඩනව. එවිට රත්තරන් පිරිසිදු කිරීම කෝවෙ දාලා ලුණු මැටි ගෛරුක දියර දාල රත්කරල උපක්‍රමයෙන් කරනව වගේ උපක්‍රමයෙන් සිත පිරිසිදු කරනව. සිතේ පැහැදීමත් සතුටත් ඇතිවෙනව. කෙලෙස්‌ තුනීවෙනව. 

හයවැනි උපෝසථය නම් ආර්ය උපෝසථයයි. ඒක වඩන්නේ අටසිල් සමාදන්වෙලා මම අද ආර්ය උපෝසථය වාසය කරනව කියල අධිෂ්ටාන කරගෙන දවස පුරා මෙහෙම සිතනව. මහරහතන් වහන්සේලා ජීවිතය පුරාම ප්‍රාණ ඝාතයෙන් වැලකුණා. දඬුනොගෙන ආයුධ නොගෙන පවට ලඡ්ජාවෙන් දයාවන්තව සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කළා. මමත් අද දවසෙම රහතන් වහන්සේ කෙනෙක්‌ වගේ ප්‍රාණ ඝාතයෙන් වැලකී සියලු සත්වයන්ට කරුණා මෛත්‍රියෙන් වාසය කරනව. මෙසේ රහතන් වහන්සේ කෙනෙක්‌ වගේ තමන්ගෙ සිල්පද අට ගැන මෙලෙස එකිනෙක බල බලා දවසෙ ඉතා පිරිසිදු සීලය ආරක්‌ෂා කරනවා. මෙම ආර්ය උපෝසථය වසන්න පුළුවන් නම් ඒක මහත් ඵලයි. මහානිසංසයි. මහත් බැබලීමක්‌ ඇතිවෙනව. මහත් පැතිරුණු බවක්‌ තමන් තුළින්ම ඇතිවෙනව.

ඊළඟට පෙන්වා දෙනව මොනවගේ මහත් විපාකයක්‌ මහත් ඵලයක්‌ මහානිසංසයක්‌ මහත් බැබලීමක්‌ මහත් පැතිරීමක්‌ද ඇතිවෙන්නකිය. ඉන්දියාවේ ඇති අංග මගධ ආදී සොළොස්‌ මහා ජනපදවල රජකම හෝ දඹදිවටම අධිපති රජකම ලැබුණත් මෙම අෂ්ඨාංග උපෝසථයෝ ආනිසංස හා බලන විට ඒ රජකම දුප්පත් සැපයක්‌. ඒකට හේතුව නම් දිව්‍ය සැපය ඊට වඩා වැඩියි.ආර්ය උපෝසථ වාසය කරන කෙනා මරණින් පස්‌සෙ දිව්‍යලෝකයේ උපදිනවා.

එම දිව්‍ය ලෝකවල ස්‌වභාවය විශාඛාවන්ට පැහැදිලි කළේ මෙහෙමයි. මිනිස්‌ ලොව වසර පනහක්‌ චාතුර්මහාරජික දිව්‍ය ලෝකයේ එක දවසයි. එවැනි දින 30ක්‌ මාසයයි. මාස 12ක්‌ අවුරුදු එකයි. එවැනි අවුරුදු 500ක්‌ ඔවුන්ගේ ආයුෂයි. මෙලොව ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ ආර්ය උපෝසථය සමාදන් වේ නම් එහි උපදින බව සියුදේව (කායස්‌සභේදා පරම්මරණා චතුම්මහාරාජිකානං දේවානං සහව්‍යනං උපපජජෙය්‍ය) මේ නිසා මිනිස්‌ සැපය දිව්‍ය සැපයට සමාන කරන විට දුප්පත් සැපයකි. එමෙන්ම මිනිස්‌ ලොව වසර 100ක්‌ තව්තිසාවට එක දවසයි. එවැනි දින 30ක්‌ මාසයයි. මාස12 ක්‌ අවුරුද්දයි. එවැනි අවුරුදු 1000ක්‌ එහි ආයුෂ තිබෙනව. යමෙක්‌ ආර්ය උපෝසථය වාසයෙන් එහි උපදිනවා. උපෝසථං උපවසිත්වා කායස්‌සභේදා පරම්මරණා තාවතිංසානං සහව්‍යනානං උපඡ්ජජෙය්‍ය. මිනිස්‌ ලොව වසර 200ක්‌ යාම දෙව්ලොව එක දිනයි. එවැනි දින 30ක්‌ මාස එකයි. මාස 12ක්‌ වසර එකයි. එවැනි වසර 2000ක්‌ එහි ආයුෂ තිබෙනවා. මිනිස්‌ ලොව වසර 400ක්‌ තුසිත දෙව්ලොව එකදිනයි. එවැනි දින 30ක්‌ මාස එකයි. මාස 12ක්‌ වසර එකයි. එවැනි වසර 4000ක්‌ දිව්‍ය ආයුෂ තිබෙනවා. මිනිස්‌ ලොව වසර 800ක්‌ නිර්මානරතී දෙව්ලොව එක දිනයි. දින 30ක්‌ මාස එකයි. මාස 12 ක්‌ වසර එකයි. වසර 8000ක්‌ දිව්‍ය ආයුෂ එහි තිබෙනව. එමෙන්ම මිනිස්‌ වසර 1600ක්‌ පරිනිර්මිත වසවර්ති දෙව්ලොව එක දිනයි. දින 30ක්‌ මාස එකයි. මාස 12ක්‌ වසර එකයි. එවැනි වසර 16000ක්‌ දිව්‍ය ආයුධ එහි තිබෙනවා. යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ අෂ්ටාංග උපෝසථය වාසය කරනවා නම් මෙම දෙවියන්ගේ සහවාසයට එකතුවෙන බව සිදුවන්නක්‌ බව තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා. මෙවැනි අනුහස්‌ ඇති උපෝසථයක්‌ කොහොම හරි සමාදන්වෙලා වාසය කරන්න අධිෂ්ඨාන කරගන්න. ඒක ඔබ ලබන මහත් ලාභයක්‌ වෙයි.

අද බුද්ධිමත් මිනිසුන් වශයෙන් තථාගතයන් වහන්සේ සිය බුද්ධ ඥානයෙන් දැන දැක දේශනා කරන ලද මෙම දේශනාවන් කෙරෙහි අවධානය දී සසර සුවපත්භාවය ළඟාකර ගැනීමට උත්සාහවත් වීම හොඳයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේම සසර දුකින් මිදීම සඳහායි. තමන්ගේ පිරිසිදු සීලය ආර්ය මාර්ගයට පමුණුවන ප්‍රධාන අඩිතාලමයි. සීල, සමාධි, ප්‍රඥ වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංගය වන්නේ සීලයයි. මෙසේ නිවන් මාර්ගය සඳහාත් ඒ සඳහා නොහැකි වූවොත් පිනැති සුගතිය සඳහාත් සීලය හේතුවන බව මෙයින් දැකගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් සෑම දිනකම අටසිල් සමාදන් වී දෙලොව යහපත සලසා ගැනීමට උත්සාහ කරමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

සංඝභේද අකුසලය ගිහියකුට කළ හැකිද?


රාජකීය පණ්‌ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි

වර්තමාන සමාජයෙහි බුදු දහම පිළිබඳ විවිධ මත ප්‍රකාශ වනු පෙනේ. ඒවා සියල්ලම ධාර්මිකද නොවේ. තම හිතු මනාපය පරිදි ධර්මය විකෘති කරන්නවුන් බොහෝය. පෙළ අටුවා අලුතින් අර්ථ ගන්වමින් අලුත් බණ දෙසමින් ගොඩ වැඩි කරගන්නා අයවලුන් බොහෝමය. එසේම එකී හිතළු දෙසන්නන්ගෙන් සාමාන්‍ය ජනයාට ගැලවී යැම අපහසු වන තරමට එකී පුද්ගලයෙක්‌ සංවිධානාත්මක වී ඇත. එබැවින් ධර්මය පිළිබඳ නොදත් හා ප්‍රඥාවෙන් අඩු වූ ජනයා මේ කෙරේ ඇදීයැමේ ප්‍රවණතාවය වැඩිව තිබේ. ඒ ඔවුන් මුලාවේ දමමින් සිදුකරනු ලබන එම අධර්ම ක්‍රියාවන් සමාජයට හෙළිකරමින් එම ක්‍රියාවන් දුරු කිරීමට ඇතැම් ප්‍රසිද්ධ ධර්මදේශකයන් වහන්සේලා ද ක්‍රියාත්මක වීම යහපත් ක්‍රියාවකි. කෙසේ නමුත් ඔවුන් එසේ පවසන කරුණක්‌ පිළිබඳ විවරණයක්‌ ඉදිරිපත් කිරීම යහපත් යෑයි සිතෙන බැවින් මෙසේ සටහන් තබන්නෙමු. ධර්මය විනය අනුව විමසත්වා.

අධර්මවාදී පුද්ගලයන් තම මතය සමාජගත කිරීම පිණිස ප්‍රකාශ කරනු ලබන එක්‌ ප්‍රධාන කාරණාවක්‌ නම් තම මතයට විරුද්ධව කතා කරන්නා සංඝභේදය අකුසලය සිදු කරගන්නා බවයි. එවැන්නක්‌ ඇසීමම බියට කරුණක්‌ වන බැවින් බොහෝ දෙනකු අධර්මයට ධර්මයෙන් ප්‍රතිඋත්තර නොබඳින්නේ වෙයි. එයම එකී පුද්ගලයන්ගේ අවශ්‍යතාවය වේ. කෙසේ නමුත් බුද්ධ දේශනාව අනුව සංඝභේදය නම් කිමෙක්‌ද එය කෙසේ සිදුවන්නක්‌ ද යන්න විමසා බලන කල අධර්මයට එදිරිවිමට බාධා කිසිවක්‌ එහි නොමැති බව පළමු කොටම අවධාරණය කරමු. එසේම ශාසනය තුළ යම් අධර්මයක්‌ ඇත්තේ නම් එය ධර්මයෙන් දුරුකරන ලෙස බුද්ධානුශාසනාව දක්‌වන්නේ වේ. එබැවින් ද අධර්මය දුරලීමට ධර්මයෙන් කරුණු දැක්‌වීම වරදක්‌ හෝ අකුසලයක්‌ හෝ නොවේ. එසේම එහිලා උකටලී වීම හෝ පසුබැසීම නොව උත්සාහවත් වීම උතුම් කුසලයක්‌ බවද දැක්‌වේ.

එහිදී සංඝ භේදය පිළිබඳ පැහැදිලි විස්‌තර දත හැකි මූලාශ්‍ර කිහිපයක්‌ම වේ. පාරාජිකාපාලිය හා චුල්ලවග්ග පාලිය ප්‍රධාන වේ. එහි පාරාජිකාපාලිය තුළ සංඝාදිශේස යටතේ සංඝභේදයට උත්සාහ කිරීම හා එහිලා සහයවීම යන කාරණා දෙක යටතේ ශික්‌ෂාපද පනවා ඇත. එහි සංඝභේද සික්‌ෂාපදය තුළ දෙව්දතුන්ගේ ආයාචන පස පිළිබඳව දක්‌වා එමගින් සංඝභේදයට උත්සහ කිරීම යටතේ එසේ උත්සහකරන්නහුට සමනුභාෂණ තුන අවසානයේ සංඝාදිශේස පනවා වදාළ සේක.

චුල්ලවග්ග පාලියෙහි සංඝභේදකක්‌ඛන්ධකයෙහි සංඝභේදය පිළිබඳ මනාවූ විස්‌තරයක්‌ දැක්‌වේ. එම කරුණු අධ්‍යයනය කරන්නකුට සංඝභේදය යනු කුමක්‌ ද එය සිදුවන්නේ කෙසේද යන්න මනාව වටහා ගැනීමට හැකිවේ. ඒ කරුණු මෙසේ දක්‌වන්නෙමු.

එහිදී උපාලි තෙරුන් වහන්සේ බුදුරජාණන්වහන්සේ හමුවට පැමිණ මෙසේ විමසන ලදී.

''ස්‌වාමීනි සංඝරාජය සංඝරාජය යෑයි කියනු ලැබෙයි. ස්‌වාමීනි කොපමණකින් සංඝරාජය වේද? එනමුත් සංඝභේදය නොවේද? ස්‌වාමීනි කොපමණකින් සංඝරාජය ද සංඝභේදය ද සිදුවේද?''

භාග්‍යවතුන් වහන්සේ මෙසේ පිළිතුරු දී වදාරන සේක.

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) එක්‌ අයෙකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) දෙදෙනකු වෙයි ද, සතරවැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) දෙදෙනෙකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) දෙදෙනෙකු වෙයි ද, පස්‌වැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) දෙදෙනකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) තිදෙනකු වෙයි ද, සවැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) තිදෙනකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) තිදෙනකු වෙයි ද, සත්වැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) තිදෙනකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) සිවුදෙනකු වෙයි ද, අටවැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් ද සංඝරාජය වෙයි. සංඝභේදය නොවෙයි.''

මෙසේ එක්‌ පසෙකින් භික්‌ෂුන් වහන්සේලා එක නමක්‌, දෙනමක්‌, තුන් නමක්‌ දක්‌වාත් අනෙක්‌ පසින් දෙනමක්‌, තුන් නමක්‌, සිවුනමක්‌ දක්‌වාත් සිටියේ නමුත් සංඝභේදය නම් ආනන්තරික අකුසලය සිදු නොවන බව බුද්ධ දේශනාව මනාව පෙන්වා දෙනු ලබයි.

එසේ කරුණු දක්‌වා අනතුරුව සංඝභේදය සිදුවන ආකාරය මෙසේ දක්‌වා වදාරන සේක. 

''උපාලිය, එක්‌ පසෙකින් (ධර්මවාදී පක්‌ෂයෙන්) සිවුදෙනෙකු වෙයි ද, එක්‌ පසෙකින් (අධර්මවාදී පක්‌ෂයෙන්) සිවුදෙනකු වෙයි ද, නවවැන්නා 'මෙය ධර්මය, මෙය විනය, මෙය ශාස්‌තෘ ශාසනය, මෙය ගනුව, මෙය රුචි කරව' යෑයි අනුසාවණය කරයි ද, සලාක ගනියි ද, උපාලිය මෙපමණකින් සංඝරාජය ද වෙයි. සංඝභේදය ද වෙයි. උපාලිය නවයකින් හෝ අතිරේක නවයකින් සංඝරාජය ද සංඝභේදය ද වෙයි.''

මෙසේ අවම නව දෙනකු හෝ නව දෙනකුට වඩා වැඩි ගණනකින් සංඝභේදය සිදුවේ.

මෙහි අවම නවය යනු කවුරුන් වන්නේද? එයටද පිළිතුරු එහිම දැක්‌වේ.

''උපාලිය භික්‌ෂුණිය සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සික්‌ඛාමානාව සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සාමණේරයා සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. සාමණේරිය සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාසකයා සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාසිකාව සංඝයා නොබිඳියි. එසේ වුයේද සංඝභේදයට උත්සහ කෙරෙයි. උපාලිය සමාන සංවාසක වූ සමාන සීමාවක සිටියා වූ ප්‍රකෘති භික්‌ෂුව සංඝයා බිඳින්නේ වෙයි.''

මෙහිදී පැහැදිලිවම වටහාගත යුතු ප්‍රධාන කරුණු නම් සංඝභේදය යන්න කළ හැක්‌කේ පිරිසිදු උපසම්පදාව සහිත එකම ආවාසයක එකට කටයුතු කරන හා සංඝභේදය කරන වේලෙහි එකම සීමාවක (පොහොයගෙයක) සිටින භික්‌ෂුන් වහන්සේලාට පමණකි. එසේම උන්වහන්සේලා එකම සීමාවක වෙන වෙනම විනය කර්ම කළ යුතුය. එයින් පරිභාහිරව සංඝභේදය සිදු නොවේ.

එසේම යම් ගිහියකු හෝ පැවිද්දකු හෝ අධර්මයට එදිරිවන සිතින් කරුණු දැක්‌වීම සිදු කළ ද ඒ නිසා වාද හටගත්තේ ද සංඝභේදය සිදු නොවන බව දත යුතුය. 

එබැවින් එහිලා බිය නොවිය යුතුය. එනමුත් කවරකු හෝ වේවා සංඝයා බිඳවීමට උත්සහ කරයි නම් එය ඉතා බරපතළ අකුසලයක්‌ වන්නේමය.

අනතුරුව උපාලි මහරහතන් වහන්සේ සංඝභේදයට හේතු වන කරුණු විමසා සිටින කල බුදුරජාණන්වහන්සේ මෙසේ පිළිතුරු දී වදාළ සේක.

උපාලිය මෙසස්‌නෙහි භික්‌ෂුව අධර්මය ධර්මය යෑයි දක්‌වයි. ධර්මය අධර්මය යෑයි දක්‌වයි. අවිනය විනය යෑයි දක්‌වයි. විනය අවිනය යෑයි දක්‌වයි. තථාගත අභාසිතය අලපිතය, තථාගත භාසිතය ලපිතය යෑයි දක්‌වයි. තථාගත භාසිතය ලපිතය, තථාගත අභාසිතය අලපිතය යෑයි දක්‌වයි. තථාගත අනාචිණ්‌ණය, තථාගත ආචිණ්‌ණය යෑයි දක්‌වයි. තථාගත ආචිණ්‌ණය, තථාගත අනාචිණ්‌ණය යෑයි දක්‌වයි. තථාගත අපඤ්ඤත්තය, තථාගත පඤ්ඤත්තය යෑයි දක්‌වයි. තථාගත පඤ්ඤත්තය, තථාගත අපඤ්ඤත්තය යෑයි දක්‌වයි. අනාපත්තිය ආපත්තිය යෑයි දක්‌වයි. ආපත්තිය අනාපත්තිය යෑයි දක්‌වයි. ලහුක ආපත්තිය ගරුක ආපත්තිය යෑයි දක්‌වයි. ගරුක ආපත්තිය ලහුක ආපත්තිය යෑයි දක්‌වයි. සාවසේස ආපත්තිය අනවසේස ආපත්තිය යෑයි දක්‌වයි. අනවසේස ආපත්තිය සාවසේස ආපත්තිය යෑයි දක්‌වයි. දුට්‌ඨුල්ල ආපත්තිය අදුට්‌ඨුල්ල ආපත්තිය යෑයි දක්‌වයි. අදුට්‌ඨුල්ල ආපත්තිය දුට්‌ඨුල්ල ආපත්තිය යෑයි දක්‌වයි. ඔවුන් මේ වස්‌තු දහඅටෙන් සංඝයා ආපසු අදින්නේ වෙයි. දැඩිසේ ආපසු අදින්නේ වෙයි. වෙන්ව (ඔවුනට පමණක්‌ ආවේනික ව) උපෝසථය කරයි. වෙන්ව පවාරණය කරයි. වෙන්ව සංඝකර්ම කරයි. උපාලිය මෙපමණකින් සංඝයා බිඳුනේ වෙයි. (චුල්ලවග්ග පාලි, සංඝභේදක්‌ඛන්ධකය.)

ඉහත කී පරිදි මේ භේදකර වස්‌තු දහ අටෙන් එකක්‌ හෝ කිහිපයක්‌ හෝ ගෙන එනම් අධර්ම කරුණක්‌ හෝ අවිනය කරුණක්‌ ගෙන මෙය ධර්මය වන්නේය, මෙය විනය වන්නේය යනුවෙන් මත ප්‍රකාශ කොට එය මුල්කර ගනිමින් පිරිස්‌ වෙන්ව විනය කර්මයක්‌ මගින් වෙන්වීම සංඝභේදය වේ. එසේම එම අකුසලය කල්පයක්‌ පුරාවට අවීචි මහා නරකයෙහි විපාක දෙනු ලබන බරපතල අකුසලයක්‌ වේ.

එසේම එබඳු අධර්ම ක්‍රියා දුරු කිරීම හා භින්න සංඝයා සමගි කිරීම කල්පයක්‌ සුගති විපාක දෙනු ලබන උතුම් කුසලයක්‌ බවද තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ දේශනා කර වදාළ සේක.

එබැවින් අධර්මය ඉදිරියේ බිය නොවී ධර්මය විනය ඔස්‌සේ කරුණු දක්‌වමින් ධර්මය ආරක්‌ෂා කරමින් උතුම් කුසල් රැස්‌ කරගෙන නිවනින්ම සැනසෙත්වා කියා මෙත් ප්‍රාර්ථනා කරනෙමු. සියලු සත්වයෝ සුවපත් වෙත්වා..

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුත්තේ ඇයි?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි

මිය ගිය ඥාතීන් වෙනුවෙන් බෞද්ධ සම්ප්‍රදාය තුළ පින් පෙත් අනුමෝදන් කිරීමේ සිරිතක් තිබෙනවා. මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනු ලබන්නේ ඇයි? යනුවෙන් යමි පුද්ගලයකු ප්‍රශ්නයක් නැගුව හොත් ‍ඒ සඳහා නිවැරැදි පිළිතුරක් අපේ බෞද්ධ සමාජය තුළ තිබෙනවාද? යන ප්‍රශ්නය නැගෙනවා.
ඥාතීන්ට, ඥාතීන් නොවන පිරිසට අසල්වාසීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්නේ තුනුරුවන් පිළිබඳව විශ්වාසයක් තිබෙන පිරිස . තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් නැති අය තුනුරුවන්ගේ පිහිටයි කියා කියු පමණින් එම තැනැත්තාට පිහිටක් ලැබෙන්නේ නැහැ. තුනුරුවන්ගේ පිහිටයි කියල ආශිර්වාද කරන පුද්ගලයාටත් තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් හෝ තුනුරුවන් කවුද?කියා නොදන්නාකම නිසයි. තුනුරුවන් පිළිබඳව නොදන්නා තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් නැති පුද්ගලයකු තුනුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කළාට එයාට එය වචනයක් පමණයි.
තුනුරුවන් පිළිබඳ විශ්වාසයක් වැටහීමක් නැති නිසා එය වචනයක් මිස අදහසක් නැහැ.අප කතා කරන විට සමහර පිරිස් අදහසත් සමඟ වචන ප්‍රකාශ කරනවා. සමහර පිරිස අදහස් නැති වචන ප්‍රකාශ කරනවා. ඇතැමි පුද්ගලයන් පැය ගණන් කතා කළාට අදහස් නැති හිස් වචන පමණයි. තුනුරුවන් පිළිබඳ වැටහීමක් හැඟීමක් තිබෙන පිරිසට තුනුරුවන්ගේ සත්‍ය පිළිබඳව වැටහීමක් තිබෙනවා. දෙවියන්ගේ රැකවරණයි කියන වචනය අප කියන්න පුුරුදු වී සිටිනවා. තුනුරුවන්ගේ පිහිටයි දෙවනුව දෙවි රැකවරණයි කියල කියන්න පුරුදු වෙලා තිබින්නේ හින්දු සංස්කෘතියෙන් දෙවියන් පිළිගනු ලබන නිසා එම ආභාෂය තුළින් අපට එය උගන්වා තිබෙන නිසයි.
පොළොන්නරු යුගය තුළ අපට ලැබුණ අදහසක්. අනුරාධපුර යුගය තුළ බුදුදහම පැමිණිලා තිබෙනවා.පළමු කොටම බුදුපියාණන් වහන්සේ පිළිබඳ දැනුමක් අපට ලැබී තිබුණා. දෙවියන්ගේ රැකවරණයත් සමඟ අපට පැමිණෙන්නේ ඇස්වහ කටවහ දෝෂ සහ නවග්‍රහ අපල පැමිණෙනවාය කියන බෞද්ධ සමාජය තුළ පවතින විශ්වාසයන් පිළිබඳවයි. දෙවි රැකවරණයි කියලා කියනවා.දෙවි රැකවරණයි කියා කියන අතර තුර සෙසු පිරිසටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. සෙතක් වේවා කියමින් ප්‍රකාශ කරන විට ඒ පිළිබඳ වැටහීමකුත් ඇතිවෙන මෛත්‍රී සහගත චින්තනයකුත් තිබිය යුතුයි.
මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරනවාය කියන උදාරතම ඉගැන්වීම බුදුදහම තුළ පමණක් තිබෙන කාරණාවක්.මිය පරලොව ගිය තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුයි කියන අදහස ලෝකය තුළ දැනට තිබෙන කිසිම ආගමක දක්නට නොලැබෙන අතර බුදුදහම තුළ පමණක් දක්නට ලැබෙන කාරණාවක.් දාර්ශනිකයන්ගේ දාර්ශනික අදහස් නිසා ලෝකය දියුණු වුණා. මිය පරලොව ගිය ඥාතීන්ට පින් දීම බුදු දහමේ හැර වෙන දර්ශනයක නැහැ. මියගිය ඥාතීන්ට පින් දීම ලෝකය තුළ කිසිම ආගමක දර්ශනයක නැති බුදුදහම සහ බෞද්ධ දර්ශනය තුළ පමණක් මියගිය ඥාතීන්ට පින් දීම සිදුකරනු ලබනවා.
මිය පරලොව ගිය ඥතීන්ට පින් අනුමෝදන් කළ යුත්තේ කුමන හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේ මිය පරලොව ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතු බවට දේශනා කර තිබෙනවාද? යන ප්‍රශ්නයට පිළිතුර සොයා ගත යුතුයි. තමන්ගේ නමින් නැසී මිය පරලොව ගිය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පැහැදිළිව දේශනා කළා. බෞද්ධ සමිප්‍රදාය තුළ මිය ගිය ඥාතීන්ට පින් පෙත් අනුමෝදන් කරන්නේ මැරුණ පුද්ගලයාට තිබෙන බිය හෙවත් චකිතය හෝ මැරුණ පුද්ගලයා අපට හානි කරයි කියන අදහස නිසා නොවෙයි. අපගේ ඥාතියෙක් අපත් සමඟ අමනාපෙන් සිටින කාලය තුළ මරණයට පත් වුවහොත් එම පුද්ගලයා අපට කරදරයක් කරාවි යන බියත් එම අදහසත් බෞද්ධ සමාජය තුළ පවතියි. බෞද්ධ සමාජය තුළ සිටින අයට බියක් තිබුණාට බුද්ධාගම තුළ සිටින පිරිසට එවැනි බියක් තිබෙන්න ක්‍රමයක් නැහැ. මිය ගිය ඥාතිවරයා නිවන් දකින්න පෙර මෙම සංසාරය තුළ අපට නැවත හමුවන නිසා අප මිය ගිය ඥාතීන්ට පින් අනුමොදන් කළ යුතුයි.
අද මරණයට පත්වුණ ඔබගේ ඥාතිවරයා නිවන් දැකීමට පෙර යන මෙම සංසාර ගමන තුළ නැවත ඔබට හමුවෙනවා.නැවත ඔබට එම පුද්ගලයා හමුවන විට එම ඥාතියා පැවැති ඥාති සම්බන්ධතාවෙන්ම සිටිනවාද? වෙනත් ක්‍රමයකට සිටිනවාද කියා කියන්න බැහැ. ස්වාමිපුරුෂයා ලෙස මියගිය විට නැවත සංසාරය තුළ තමන්ගේ පුත්‍රයා ලෙස,තමන්ගේ අසල්වාසීයා ලෙස, තමන්ගේ පියා ලෙස හමුවිය හැකි වුවත් එම පුද්ගලයා මෙවැනි ආකාරයෙන් හමුවිය හැකි බවට අපට කිව නොහැකියි.තමන්ගේ දරුවන් ලෙස තමන්ගේ ස්වාමිපුරුෂයා ලෙස සිටිය පිරිස පිළිබඳව බණ කතා සාහිත්‍ය තුළ සඳහන් වෙලා තිබෙනවා.
හතුරෙකුටවත් වරදක් නොකළ යුතු බවට බුදු දහම උගන්වනු ලබන්නේත් , ඔබ වරදක් කරනවාය කියා කියන්නේත් ඔබ සමාජයට වරදක් දෙනවාය කියන කාරණාවයි. සිත කය වචනය තුන් දොරින් ඔබ වරදක් කරනවාය කියලා කියන්නේ ඔබ සමාජයට වරදක් කරනවාය යන කාරණාවයි. දුන් දෙය ලැබෙන බව බුදුදහම තුළ තිබෙන ප්‍රධාන ඉගැන්වීමයි. සමාජයට ලබාදුන්න යහපත් දෙයත් අයහපත් දෙයත් යන දෙකම තමාට ලැබෙනවා.
තමන් දෙන යහපත් දෙය පමණක් ලැබෙන බව ඇතැමි බෞද්ධ පිරිස් සිතාගෙන සිටියත් අයහපත් දෙයක් දුන්න හොත් අයහපත් දෙයක් ලැබෙනවා. සතුරෙකුටවත් වරදක් නොකළ යුතු බව ප්‍රකාශ කරනු ලබන්නේත් තමන්ගේ හතුරා වුණත් තමන් වරදක් කළ හොත් එම පුදුද්ගලයා හෝ තැනැත්තිය දරුවන් ලෙස හෝ බිරිඳ ලෙස හෝ ස්වාමියා ලෙස සංසාරය පුරා පැමිණිය හැකි නිසයි. සෑම බෞද්ධයකු තුළම පවතින විශ්වාසයක් ලෙසද ථෙරවාදී බුදුදහම තුළ මිනිසා පිළිබඳව තිබෙන විශ්වාසය ලෙසද වර්තමානය තුළ ජීවත් වන සෑම පුද්ගලයකුම මතු සංසාරයේ කවදා හෝ දවසක තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණිලා සංසාර ගමන නිම කරනවාය යන අදහසයි .
අප ගමන් කරනු ලබන්නේත් එම විශ්වාසය මතයි. බුද්ධත්වය තුන් තරා බෝධියෙන් එක බෝධියක් මෙම සංසාරය තුළ ගමන් කරන පුද්ගලයා බුද්ධත්වයට පැමිණිය හැකියි. එවැනි ප්‍රාර්ථනාවන් තිබෙන පිරිස් මෙම සංසාරය තුළ අපට හමුවෙනවා.අප යන මේ සංසාර ගමන තුළ පසේ බුද්ධත්වය පතාගෙන යන පිරිස සිටිය හැකියි. මහරහත් තත්වය ප්‍රාර්ථනා කරන පිරිසක්ද සිටිය හැකියි. මෙම අවස්ථා තුන බෝධි යනුවෙන් හඳුන්වනවා.
සංසාරය තුළ මෙම බෝධි ප්‍රාර්ථනා කරගෙන සිටින පිරිස සිටිනවා. මේ පිළිබඳව වග විභාගයක් අවබෝධයක් නැති පිරිසක්ද සිටිනවා. පුද්ගලයා සංසාරය තුළ පතාගෙන යන ගමනේ අවසානය එම තත්වයයි. මෙම සමාජය තුළ ජීවත් වන විට විවිධ පිරිස් හමුවෙනවා. අපේ ඥාතිවරයෙක් මරණයට පත් වුණාට පසුව එම ඥාතිවරයා වෙනුවෙන් ලොව ජීවත් වන බෞද්ධ පිරිසට කළ හැකි පිළියම් බුදුදහම උගන්වනවා. මවු කුසට පැමිණීමත් මිය යාමත් පිළිබඳව බුදු දහම තුළ පැහැදිළිව දක්වා තිබෙනවා.
පුද්ගලයකු මරණයට පත් වුණාට පසුව එම මරණයට පත් වූ පුද්ගලයා නිමිති කරගෙන ඔහු වෙනුවෙන් යහපත් දේ කළයුතු බව .මරණයට පත්වූ පුද්ගලයා නැවත නැවත භවයන් තුළ අපට හමුවන නිසා මේ භවයේදී එම තැනැත්තා වෙනුවෙන් අප කළ යුතු යුතුකම් කොටස අප කළ යුතුයි. පුද්ගලයකු වෙනුවෙන් තමන් කළ යුතු යුතුකම් කොටස ඉටු කළා නම් තමන්ට එම පුද්ගලයාගේ මුහුණ බලා අව්‍යාජ සිනහවක් දැක්විය හැකියි. කුහක කමට කුඩුකේඩුකමට යුතුකම් නොකළ පුද්ගලයාට අව්‍යාජ සිනහවක් දැක්විය නොහැකියි. තමන්ගේ සිදුවුණ අඩුපාඩුව මුහුණ තුළ දක්නට ලැබෙනවා.
අප සිනහ වුණ පමණට සෑම සිනහවක්ම අව්‍යාජ නැහැ. පිනැති සංසාරය තුළ අපත් සමඟ එකට ජීවත් වන පිරිස මරණයට පත් වුණාට පසුව මරණයට පත්වු පිරිස වෙනුවෙන් තමන්ගේ යුතුකම් කොටස තමන් සිදුකළ යුතු බවට බුදුපියාණන් වහන්සේ දේශනා කළ කාරණාවක්. සමාජය සැම විටම අනෙකා මට කළ දේ මොනවාද? යන ප්‍රශ්නය අසමින් සිටිනවා මිස අනෙකා කළ යුතු යුතුකම් ඉටු කළාද ? නැද්ද ? කියා සොයා බැලීම එම තැනැත්තා සතු කාර්යයක් මිස තමා සතු කාර්යයක් නොවෙයි.
මම මගේ යුතුකම් කොටස ඉටු කළාද? යන්න සොයා බැලීම බෞද්ධයකුට අයත් කොටස පමණයි. අනෙකා පිළිබඳව සොයා බැලීම බෞද්ධයකුට අයත් කාරණාවක් නොවෙයි. අම්මාට තාත්තාට ගුරුවරුන්ට තම දරුවන්ගේ සහ ශිෂ්‍යයන්ගේ සිත කය වචනය පිළිබඳව සොයා බැලුවාට එහි වරදක් නැහැ.
අනෙකාගේ අඩුපාඩු සොයා බැලීම බෞද්ධයෙකුට කිසිවිටෙකවත් අයත් නොවන කාරණාවක්. තවත් පුද්ගලයකුගේ සිත කය වචනය පිළිබඳව අඩුපාඩුවක් සොයන්න තවත් පුද්ගලයෙකුට අයිතියක් නැහැ.

මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළ යුතුයි


බෞද්ධයන් ලෙස අනුන්ගේ අඩුපාඩු සෙවීමට කිසිම අයිතියක් අපට නැහැ. පරච්ත්ත විජාණන ඤාණය නැති වුණත් තව පුද්ගලයෙකු පිළිබඳව සඳහන් කරමින් ඔහුගේ සිත එතරම් හොඳ නැති බව ප්‍රකාශ කරන්නට යෙදෙන අවස්ථා තිබෙනවා. එම පුද්ගලයාගේ කට නිවැරැදි නැහැ, යනුවෙන් ප්‍රකාශ කළද, එය තමන්ට අදාල කාරණාවක් නොවෙයි. එය නිවැරැදි නැති නමි එම තත්වය බලපානු ලබන්නේද ඔහුටයි.
බෞද්ධයකු වශයෙන් කටයුතු කිරීෙමීදී කළ යුතු වන්නේ තමා නිවැරැදිද? නැද්ද? යන්න තමා පිළිබඳව සොයා බැලීම පමණයි. රහස් පොලිසිය අනෙක් පිරිස් පිළිබඳව සොයා බලනවා. වෙනත් පිරිසකගේ සිත කය වචනය පිළිබඳව සොයා බැලීමට රහස් පොලිසියට වැටුපක් ගෙවනවා. වැටුපක්වත් නොලබන අයෙක් අනුන් පිළිබඳව සොයා බලමින් අකුසල් රැස්කර ගත යුතු නැහැ.අපේ ඤාාතිවරයා වෙනුවෙන් පින්කමි කරමින් පින් අනුමෝදන් කරනු ලබන්නේ එම පුද්ගලයා මෙම සංසාරය තුළ හමුවන නිසයි.
බෞද්ධ සමාජය තුළ මැරුණ පුද්ගලයන්ට පින් පෙත් අනුමෝදන් කරනවාය කියමින් කරනු ලබන්නේ මළවුන් ඇදහීමක් ද? යන ප්‍රශ්නය නැගෙනවා.මළවුන් ඇදහීම යන කාරණාවත් අපට විසඳාගත යුතුව තිබෙන ප්‍රශ්නයක් .මළවුන් ඇදහීම එක කාරණාවක් . මිය පරලොව ගිය ඤාතීන්ට පින් අනුමෝදන් කරනවාය යන කාරණය වෙනම ක්‍රියාවක්. මළවුන් අදහන මිනිසා මැරුණ පුද්ගලයා අදහන්නේ මැරුණ පුද්ගලයාට තිබෙන බිය නිසා. මැරුණ පුද්ගලයා තමන්ට යමි වරදක් කරයි යන බිය ඔහුට දැනෙන නිසා.
මිය පරලොව ගිය තමන්ගේ ඤාතීන්ට පින් අනුමෝදන් කිරීම බුදුදහම තුළ සඳහන් කර තිබෙන කාරණාවක්. මළවුන් ඇදහීම පිළිබදව බුදු දහම තුළ උගන්වා නැහැ. ලෝකයේ තිබෙන බොහෝ ආගම් තුළ මළවුන් ඇදහීම මූලාරම්භයේ සිටම තිබෙනවා. පුද්ගලයෙකු මරණයට පත් වූ විට තිබෙන බියයි. අපත් සමඟ එකට ජීවත් වුණ පුද්ගලයෙකු මරණයට පත්වුණාට පසුව තිබෙන බිය. ආදී කාලය තුළ මිනිසකුට මරණයක් සිදු වූ විට කුමක් සිදුවුණාද? යනුවෙන් තේරුම් ගත නොහැකියි. හොඳට සිටි පුද්ගලයා එකපාරටම කතාබහ කරන්නේ නැතිව ශරීරය පණ නැතිව ගියවිට එම මිනිය ගෙදර තනිකර දමා ඔවුන් එම පරිසරයෙන් පිටව යනවා. වනගතව ජීවත් වුණ ප්‍රාථමික සමාජ තුළ නිවාස එතරමි විශාල ලෙස සාදා නොතිබුණ නිසාත් මිනියට තිබුණ බිය නිසාත් එම මිනිය ගෙදර තනිකර දමා යාමට ඔවුන් පෙළඹුණා.
මිනිසාගේ නොතේරුම්කම නිසා මෙලෙස කාලයක් ගත වුණාට පසුව මරණයට පත් වූණ පුද්ගලයා වෙනුවෙන් අප නිවස හැර යාම අවශ්‍ය නැති බව වැටහීමත් සමඟ මරණයට පත් වුණ පුද්ගලයා හොඳට රෙදි වලින් ඔතා කනත්තට ගිහින් දමන්න පටන් ගත්තා. මළමිනි සැම තැනම දැමූවිට සුනඛයන් හිවලුන් වැනි සතුන් එම මිනිය 
ආහාරයට ගන්න පටන් ගත් නිසාම කනත්ත යන කොටස වෙන් කරගෙන මරණයට රෙදි කැබලි ඔතා ගෙනවිත් දැමුවා.බුදුපියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පාංශුකූල රෙදි තුළින් සිවුර සකස් කරගැනීමට අනුදැන වදළා.මිනිය ඔතා තිබෙන වස්ත්‍රය ඉවත් කර හොඳින් සෝදා පවිත්‍ර කරගෙන ගස්වල පොතු තම්බා එම ගසේ පොතුවල පැහැය අනුව සිවුර සකස් කරගත්තා. කාලය ගත වීමත් සමඟ ශිෂ්ට සම්පන්න මිනිසා සිතන්න පෙළඹුණා.ගඳ ගසමින් ඉවත දමනවාට වඩා හතර රියනක වළ දැමීම නිවැරැදි බව අවබෝධ වුණා. වර්තමානය වන විට තාක්ෂණික දියුණුවත් සමඟම කනත්ත තුළ වළ නොදමා මිනිය පුච්චා අවසන් වූ ඇට කැබලි ගෙනවිත් සොහොන් කොත් බඳිනවා. සිහි කිරීම වශයෙන් ඤාතීන් පින්කම් කරනවා.බුද්ධාගම තුළ මළවුන් ඇදහීමක් පිළිබඳව කියවෙන්නේ නැහැ. සෑම සියලු දෙනාටම හතර වර්ගයේ ඤාතීන් සිටින බව බුද්ධාගම තුළ සඳහන් වෙනවා. හතර වර්ගයේ ඤාතීන් පිළිබඳව අප තුළ අවබෝධයක් තිබිය යුතුයි. වර්තමානයේ බොහෝ දෙනෙකුට හතර වර්ගයේ ඤාතීන් මතක නැහැ.
වර්තමාන සමාජයට ඇතැමි කාරණා පිළිබඳව සංස්කෘතික දැනුම අඩුයි.සිංහල සංස්කෘතිය පිළිබඳ දැනුම අඩු බවක් දක්නට ලැබෙනවා. සිංහල සංස්කෘතික බුද්ධාගම කුමක්ද? කියන්න දැනුම අඩුයි. දරුවෙකු හදලා වඩලා ශාසනයට පූජා කළහොත් හතර වර්ගයක් ඤාතීන් නිවන් දකින බව ප්‍රකාශ කරනවා.තමන්ගේ අමිමාගේ මවිපාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට, තමන්ගේ අමිමාගේ පිය පාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට, තමන්ගේ තාත්තාගේ මවි පාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට, තමන්ගේ තාත්තාගේ පිය පාර්ශවයේ ඤාතීන් ඈතට මෑතට යන පිරිසයි ඈතට ගිය පිරිස මරණයට පත්ව සිටියත් මෑතක සිටින පිරිස තවමත් ජීවත්ව සිටිනවා. ඈත සිටි නෑදෑයන්ට පින් අනුමෝදන් කිරීමත් බෞද්ධ සම්ප්‍රදායක්.එම පිරිස මරණයට පත්ව සිටින නිසා එම පිරිස වෙනුවෙන් අප යුතුකම් කළ යුතුයි. මෑතක සිටින ඤාතීන් සමඟ සමඟියෙන් සිටීමත් බෞද්ධ සම්ප්‍රදායක් .සමහර පිරිසට ඤාතීන් හොඳ නැති බව ප්‍රකාශ කළත් ඔවුන් සංසාරය පුරා බොහෝ අවස්ථාවල අපත් සමඟ එකට සිටි පිරිස්.ලේ ඤාතීන් ලෙස ඔවුන් හඳුන්වනවා.
ලේ ඤාතීන්ගේ බාහිර හැඩහුරුව සමාන බවක් දක්වනවා. සමහර ලෙඩ රෝගත් එක වගෙයි. ජාන තුළින් එන බව වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රකාශ වෙනවා. සංසාර පවුල් ප්‍රවේණියට අනුව එම රෝග වැළඳීෙමි ප්‍රවණතාවක් තිබෙනවා. කර්ම රෝග නමින් බණ පොතේ සඳහන් වෙනවා. ඤාතිත්වය තුළින් ප්‍රවේණියෙන් එන රෝග කර්ම රෝග ලෙස හඳුන්වනවා.මිය පරලොව ගිය ඤාතීන් අතර , ඤාතීන් වෙනුවෙන් පින් පෙත් අනුමෝදන් කිරීම මෙලොව ජීවත් වන පුද්ගලයාගේ මානසික සුවයට හේතු වෙනවා. ඔහු වෙනුවෙන් තමන් යුතුකම් ඉටුකළාය කියා තමන් මානසික සුවයට හේතු වෙනවා.එම පිරිස නැවතත් සංසාරය පුරා හමුවන විට තමන් කිසියමි සුහදත්වයකින් බැඳෙනවා.තමා තමාගේ යුතුකම් ප්‍රමාණය අනෙක් පිරිස වෙනුවෙන් කරපු පිරිසට පමණක් එම සුහදත්ව ඇතිවෙනවා. තමන්ට හරියට හතුරන් වැඩි බව ඇතැමි පුද්ගලයන් ප්‍රකාශ කරනවා.එයා සමාජයට හතුරුකමි ලබල දී ඇති බව අප වටහා ගත යුතුයි. පෙර සංසාරය පුරා හතුරුකම් ලබල දුන්න නිසා අද එම පුද්ගලයා හතුරුකම් ලබනවා. වර්තමානය තුළ හතුරුකම් නොකර සිටිය යුතුයි. හතුරටත් මෛත්‍රිය දැක්විය යුතුයි. හතුරට මෛත්‍ර්ිය කළාට පසුව හතුරුකම එතනින් අවසන් වෙනවා.හතුරාට හතුරුකම් කිරීම තුළින් නැවතත් සංසාරය තුළ මිය පරලොව ගිය පුද්ගලයකුට පින් අනුමෝදන් කරන්නේ එම පුද්ගලයාට තිබෙන බියට නොවෙයි. ඔහු සංසාරය පුරා නැවත හමු වන නිසයි. මෙලොව ජීවත් වන ඤාතීන්ට සෙත් ශාන්ති ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න තමන් පංචශිලය ආරක්ෂා කරන තුනුරුවන් විශ්වාස කරන ් තුනුරුවන් පිළිබඳ දැනුමක් තිබෙන පුද්ගලයෙකු විය යුතුයි

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලොවෙහි විස්මිත දායාදයන්ගේ අතුරුදහන් වීම

බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

දීඝ නිකායෙහි පාඨික වර්ගයට අයත් අග්ගඤ්ඤ සූත්‍රයෙහි ලෝක උප්පත්ති කතාවෙහි සත්වයා, ප්‍රීතිය අනුභව කරගෙන, ශරීරයෙන් හටගත්තා වූ ප්‍රභාෂ්වර බව පොළොවෙහි ඇති වූ රස ඕජාව එනම් රස පොළොව, භූමි පප්පටකය, බදාලතාව, ඇල් සහල් ආදී වූ සත්වයෝ පරිභෝග කළ සියලු දේම, මේ සත්වයන් තුළ හටගත් ලාමක අකුසල් ධර්මයෝ නිසාම විනාශ වූ ආකාරය නිකිණි පුර පසළොස්වක පෝදා සිට අප කතා කරමින් පැමිණි අතර, අද අප ආහාරය නිසා ඇතිවන්නා වූ රස තෘෂ්ණාව හේතුවෙන් සත්වයා තුළ හටගත්තා වූ අකුසල ධර්මයෝ ගැන කතා කරමු.
වාසෙට්ඨයෙනි, ඒ කාලයේ එම සත්වයෝ නැවතත් එක තැනකට එක් රැස්වෙලා ඒ අය මෙහෙම කතා කරන්නට වුණා. බලන්න, මහා ඛේදයක් එනම් අපට මහා විපතක් සිද්ධ වෙලා සත්වයන්ගේ සිත්වල මලානික බවක් ඇති වෙන්නට පටන් ගත්තා.

ලාමක අකුසල ධර්ම පහළවීම

පෙර අප සිතින් ප්‍රීතිය අනුභව කරගෙන, අපේම ශරීරයෙන් හටගත්ත ප්‍රභාෂ්වර බවින් යුක්තව ශෝභන වස්ත්‍රාභරණ ඇතිව බොහෝ කාලයක් වාසය කළා. ඒ ආකාරයෙන් ජීවත් වූ අපට බොහෝ කාලයක් ඇවෑමෙන් රස පොළොවෙහි දියෙහි පැතිරීගෙන යන රස ඕජාව ඇති වුණා. එය ඉතාම පැහැපත් හා සුවඳවත් ඒ වගේ ම රසවත් බව අපට මතකයි. එදා අප ඒ රස පොළොව අත්වලින් පිඬු කොට එනම් කෑලි බවට කඩා අප ආහාරයට ගත්තා. රස පොළොව ආහාරයට ගැනීමත් සමඟ අපගේ ශරීරයේ තිබූ ප්‍රභාෂ්වර බව බබළන ස්වභාවය නැතිව යන්නට පටන් ගත්තා. අපට මතකයි, එය අතුරුදහන් වුණාට පසුව සඳු හිරු පායාගෙන ආවා. ප්‍රකට වුණා. සඳු හිරු ආරම්භයත් සමඟ නැකත් තාරකාවෝ පහළ වුණා. නැකැත් තාරකාවෝ පහළ වූ පසු රාත්‍රිය හා දහවල ආරම්භ වුණා. රාත්‍රිය හා දවල් ආරම්භයත් සමඟ මාස, පක්ෂ, ඍතු ආදී වශයෙන් කාලය සකස් වුණා. එදා ඒ අප පොළොව පරිභෝග කරමින් වළඳමින් ආහාර කොටගෙන බොහෝ කාලයක් ජීවත්ව සිටියා.

ඒ අතර ලාමක අකුසල් දහම් පහළ වීමම රස පොළොව අතුරුදහන් වුණා. රස පොළොව අතුරුදහන් වූවාට පසුව භූමි පප්පටකය පහළ වුණා මතකයි. අප ඒ භූමි පප්පටකය පරිභෝග කරමින් කාලයක් ජීවත් වුණා. අන්න ඒ කාලයේ දී නැවතත් ලාමක අකුසල් ධර්ම අපගේ සිත්වල පහළවීම භූමි පප්පටක අතුරුදහන් වුණා. එය අතුරුදහන් වූවාට පසුව ඉතාම රසවත් සුවඳවත් බදාලතාව පහළ වූ අතර එය පරිභව කරමින් ජීවත්වන අතර නැවතත් ලාමක අකුසල ධර්ම සිත්වල පහළවීම නිසා බදාලතාවත් අතුරුදහන් වූවා. එයත් අතුරුදහන් වූවාට පසුව නොසාන ලද බිමෙහි කුඩු නැති දහයියා නැති පැසුණු පිරිසුදු සුවඳැති සහල්ම විශේෂයක් පහළ වුණා. අප එයත් පරිභෝග කරමින් බොහෝ කාලයක් ජීවත් වන අතර, අප තුළ ලාමක අකුසල් දහම් පහළ වීම නිසා අර ඇල් සහල්වල කුඩුයි සහල වසාගෙන දහයියාත් බැදෙන්නට පටන් ගන්නා ලදී. පරිභෝගය සඳහා පෙර දින සවස කපා ගත් පසු දින උදයේ යළි එතැන ඇල් සහල් වැවුණේ නැහැ. වැවුණ ද ඉතා අඩුවෙනි. වාසෙට්ඨයෙනි, එවිටය ඒ සත්ව පිරිස තෘෂ්ණාවේ ගැඹුරට යමින් ඇල් සහල් බෙදා ගන්නට, සීමා තබන්නට පටන් අර ගත්තා. එලෙසම තෘෂ්ණාවේ ගැඹුරට ක්‍රමයෙන් මේ සත්වයෝ යන්නට පටන් අරගෙනයි තියෙන්නේ.

සොරකමේ ඇරඹුම

වාසෙට්ඨයෙනි, එකල්හි ආශාවන්ගෙන් පිරුණු, එනම් ලෝල එක්තරා සත්වයෙක් තමන්ට බෙදා වෙන්කර දෙන ලද කොටස රැක ගනිමින් එනම් තමාගේ කොටස තබාගෙන තමන්ට නොදෙන ලද කොටසක් පරිභෝගය සඳහා හොරෙන් එනම් අන් අයකුගේ කොටසක් ගෙන යෑමට සූදානම් වන විටම අන්‍යයන් ඔහු අල්ලා ගන්නා ලදී. නුඹ නුඹගේ කොටස රැකගෙන තමන්ට නොදුන් කොටසක්ගෙන පරිභෝග කිරීම ඒකාන්තයෙන් ම ලාමක එනම් ඉතාම වැරැදි ක්‍රියාවක් නුඹ කළා, මින් පසු එසේ නොකරන්නයැයි ඔහුට අවවාද කළා.
වාසෙට්ඨයෙනි ඒ සත්ව තෙම එසේය බවත්ති කියා අවවාද දුන් අයට පිළිවදන් දුන්නා. එනම් වරද පිළිගත්තද, දෙවෙනිවරත් ඒ සත්වයා තමන්ගේ කොටස රැකගන්න, තමාට නොදුන් තවත් එක්තරා කොටසක් පරිභෝගය සඳහා සූදානම් වූවා. දෙවැනිවර ද නුඹ ලාමක ඉතාම වැරැදි දෙයක් කළා යළිත් මෙවැනි ක්‍රියාවක් නොකරන ලෙස අන්‍යයන් දැඩිව අවවාද කළා. එනමුත් අර සත්වයා තමන්ගේ කොටස රැකගෙන තමන්ට නොදුන් තවත් අන්‍යයකුගේ කොටසක් ගෙන පරිභෝග කරනවා. මෙය ලාමක පහත් ක්‍රියාවක් යළිත් මෙබන්දක් කරන්න එපා යැයි තුන්වන වතාවටත් අවවාද කළා. එපමණක් නොව කෙනෙක් අතින්, ගලකින්, දණ්ඩයකින් පහර දුන්නා. එතැන් පටන් සොරකම සකස් වෙනවා. බොරුකීම, ගැරහුම, දඬුවම් කිරීම ආරම්භ වෙනවා.
ලෝක උප්පත්ති කතාව විමසා බලන අපට මනුෂ්‍යයන්ගේ රස තෘෂ්ණාවෙන් ආරම්භ වූ කතාවෙන් සත්වයන් ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මුසපත්ව වර්ගයා බෝවීම ආරම්භ කරමින් අනතුරුව ආහාරයෙන් ඇතිකර ගන්නා වූ රස තෘෂ්ණාවෙන් සොරකමත්, බොරුවත්, පහරදීමත්, දඬුවම්දීමත් ආරම්භවන ආකාරය ඉතාම හොඳින් පැහැදිලි වෙනවා. මේ සියල්ලටම මුල නම් තෘෂ්ණාව බවත් රස

තෘෂ්ණාව බවත් ඉතාම හොඳින් පැහැදිලියි.

වර්තමානයේ දී පවා බොහෝ ගැටලුවලට බොහෝ විපත්වලට හේතුව මේ තෘෂ්ණාව බවම ඉතාම පැහැදිලියි. මේ තෘෂ්ණාව වර්තමානයේ අප රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා වශයෙන් හඳුන්වනවා. මේ තණ්හාව ආරම්භයේ දී කෙසේ සකස් වූයේ දැයි මේ ලෝකෝප්පත්ති කතාවෙන් දැන් අපට පැහැදිලියි. ආහාරය නිසාම සත්වයෝ මේ තෘෂ්ණාවට මඟ සාදාගෙන ඇති බව මෙහි දී මේ කතාවෙන් පැහැදිලියි. එහෙත් කාමරාගය හෙවත් පරිදාහය හටගත්තේ සත්වයන්ගේ ස්ත්‍රී – පුරුෂ භේදය ඇතිවීමෙන් අනතුරුවයි. එහෙම නම් තෘෂ්ණාව එක් ආකාරයකින් කාම තෘෂ්ණාව හැටියට රාගය හැටියට පැන නැගුණු අතර අනික් ආකාරයෙන් දිවේ හටගත් රස තෘෂ්ණාව හැටියටත් ඒ නිසා ම සොරකමත්, ගැරහීමත්, බොරුකීමත්, දඬුවම්ලබාදීමත්, ආරම්භවන බව පැහැදිලියි.
බුදුරජාණන් වහන්සේ නැවතත් මෙසේ අනුශාසනා කරනවා. වාසෙට්ඨයෙනි, ඉක්බිති ඒ සත්වයෝ නැවතත් රැස්වෙනවා. එසේ රැස්වෙලා මේ ආකාරයට කතා කරනවා. මහත්
වූ විපතක් අපට වෙලා තියෙනවා. යම් කෙනෙකු කෙරෙහි සොරකම පැන නගිනවාද? ගැරහුම් ඇති කරනවාද, බොරු කියනවාද? දඬුවම්දීම ඇති වෙනවාද? එම සත්වයන් කෙරෙහි එසේ වූ ලාමක අකුසල ධර්ම කෙනෙක් සකස් වෙනවා ද, යමෙක් අපගෙන් දොස් නැගිය යුත්තාට මොනවට දොස් නගන්නේද? ගැරහිය යුත්තාට මොනවට ගරහන්නේ ද? නෙරපිය යුත්තාට මොනවට නෙරපන්නේ ද? කියා තීරණය ගැනීම සඳහා එක් සත්වයකු සම්මත කරගන්නේ නම් ඉතාම හොඳයි. අප ඔහුගේ සේවය වෙනුවෙන් අපගේ ඇල් සහල් කොටසෙන් කොටසක් දෙමුයි. මේ එක් රැස් වූ පිරිස කතා කර ගත්තා.
එනම් යම් කෙනෙක් සොරකම් කරන විට එය සොරකමක් කියා තීරණය කරන්නත් බොරු කියන අය බොරු කිව්වා යැයි තීරණය කරන්නත්, කාටද දඬුවම් කළ යුත්තේ කියා තීරණය කරන්නත් අපට කෙනෙක් අවශ්‍යයයි. අන්න ඒ අය විසින් ගරහන අය ගැරහිය යුතු අය ලෙස ද, නෙරපිය යුත්තා නෙරපිය යුත්තා හැටියට දක්වන්න අවස්ථාව, අයිතිය ඇති නායකත්වයක් අපට අවශ්‍යයයි. අප ඔහුට ඔහුගේ සේවය වෙනුවෙන් ඇල් සහල් කොටස බැගින් ලබා දෙමු කියන අදහසයි.

මහා සම්මත රජු...

රජ පරපුරේ ආරම්භය

මෙසේ කතා කරගත්ත මේ සත්වයෝ ඒ අය අතරින් හැමට වඩා රූප සම්පන්නවත්, දැකුම්කළුවූත්, වඩා සිත් පහදන සුළු වූත් තේජසක් තියෙන පුද්ගලයා වෙතට ගොස් නුඹ මෙහි එන්න. දොස් නැගිය යුත්තාට නිසි පරිදි දොස් නගන්න. ගැරහිය යුත්තාට ගරහන්න, නෙරපිය යුත්තා නෙරපන්න, අප වනා හි ඔබට හැල් සහල් කොටස බැගින් දෙන්නමියි කීවා. එසේ යැයි කියා ඒ සත්ව තෙම පිළිවදන් දී නායකත්වය භාරගත්තේ ය.
වාසෙට්ඨයෙනි, මහජනයා විසින් සම්මතකොටගෙන පුද්ගලයෙකුට බලයක් ලබාදීමෙන් මහා සම්මත කියන අදහස ඇති වුණා. රාජ්‍යයත්වයේ ආරම්භය එතනයි. වාසෙට්ඨයෙනි, කුඹුරුවල හෙවත්
ක්ෂත්‍රීයවලට අධිපති යන අදහසින් ක්ෂත්‍රීය යැයි දෙවැනි වර හඳුන්වනු ලැබුවා. දැහැමින් අන්‍යයන් සුවපත් කෙරේ, සතුටු කෙරේ, යන අදහසින් රජයැයි කියා තෙවැනි වරටත් නම ඇති වුණා. පළමුව සම්මත කියා ද දෙවනුව
ක්ෂත්‍රීය කියා ද තුන්වනුව රජු කියා ද නම පැවතුණා.
මෙන්න මේ ආකාරයට තමයි පැරණි ලෝකය තුළ කුල සම්මතය ඇතිවුණේ. ඒ ආකාරයෙන් විස්තර කරලා බුදුරජාණන් වහන්සේ නැවතත් වදාළා. ‘ඒ නිසා පින්වත් වාසෙට්ඨයෙනි, මෙලොවත් පරලොවත් ජනයාට ඉතා ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි’.
- දීපා පෙරේරා

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X