ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි
වර්තමානයේ බොහෝ දෙනෙක් පොහොය දිනවල අටසිල් සමාදන් වේ. විහාරස්‌ථානයේ සිදුකරන ආගමික වැඩසටහන්වලට සම්බන්ධ වේ. පන්සලේ ආගමික වැඩ නොතිබුණොත් කියන්නෙ පෝයට මුකුත් වැඩසටහනක් නැහැ කියල. සමහරු හාමුදුරුවන්ටත් දොස් කියනව. එදට සිල් අරගෙන පව් පුරෝගෙන ගෙදර යනව. එහෙම නොවෙන්න අප දැනගන්න ඕන සිල් සමාදන්වෙලා උතුම් කුසලයක් රැස්‌කර ගන්නා ආකාරය. කුසල් රැස් කරල දෙන්න කාටවත් බැහැ. ඒක කරන්න පුළුවන් තම තමන්ටම විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු සූත්‍රයක් ඔබට කියල දෙන්නයි යන්නෙ. මේක අංගුත්තර නිකායේ විශාඛූපෝසථංග සූත්‍රය. දේශනා කළේ විශාඛා උපාසිකාවට. දවසක් භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර පූර්වාරාමයේ වැඩ ඉන්න වෙලාවෙ දවල් විශාඛා උපාසිකාව පන්සල් ගිහින් බුදු පාපියුම් වැඳ එකත්පසෙක සිටියා. භාග්‍යවතුන් වහන්සේ අහනවා ඔබ කොහි සිටද එන්නෙ කියල. මම අද පෙහෙවස් සමාදන්වෙලා ඉන්නව කියල විශාඛාව කිව්වා. විශාඛාව උපොසථ තුනක් කියනව.එනම් ගෝපාලක උපෝසථකය, නිගණ්‌ඨ උපෝසථය හා ආර්ය උපෝසථය වශයෙන්.
විශාඛාව ගොපාලක උපෝසථය කියන්නෙ දවල් ගවයන් අරගෙන යන ගොපල්ලා හවස ගවයන් ස්‌වාමියාට දීල හිතනවා මම අද අසවල් තැනින් කෑම කෑවා අසවල් තැනින් වතුර පෙව්ව, හෙට මේ මේ තැනට අරන් යන්න ඕන.මේ විදිහට අටසිල් ගන්න අයත් උදේ දවල් ගත් ආහාර ගැන හිත හිතා සිටියොත් ඒක ගොපලු උපෝසථය වෙනව. ඒක මහත්ඵල මහානිසංස මහත් බැබලීමක, මහත් පැතිරීමක් නොවෙයි. (න මහප්ඵලො හෝති න මහාති සංසෝ න මහා පූතිකෝ න මහා විප්පහාරෝ).
නිගණ්‌ඨ උපොසථය කියන්නෙ නිගණ්‌ඨ ආරාමවලට ශ්‍රාවකයො ගියාම කියනව පුරුෂයිනි, නුඹලා යොදුන් සියය බැගින් සතර දිසාවටම මෙත් සිත පතුරුවා උපොසථ කරන්න කිsයල. ඇතැම් ප්‍රාණීන්ට මෛත්‍රිය වඩන්නෙ නැහැ. ඊළඟට ඇඳුම් උනා තියා දැන් සියලු කෙලෙස්‌වලින් මිදුන කියල දවස ගෙවන්න උපදෙස් දෙනවා. ඒ වුණාට ඔවුන්ගේ කෙලෙස් නැතිවෙන්නෙ නැහැ. ඒක මහත්ඵල මහත් අනුසස් ඇති උපෝසථයක් නෙමෙයි.
විශාඛාවෙනි, ආර්ය උපෝසථය කියන්නෙ කෙලෙස්‌වලින් කිළිටිවූ සිත උපක්‍රමයෙන් පිරිසිදු කරන ක්‍රමයක්. ඒක තථාගතයන් වහන්සේ විශාඛාවන්ට පැහැදිලි කර දුන්න. මම ඔබට ඒක කරන ආකාරයත් එක්‌ක කියල දෙන්නම්. දැන් උදේම අටසිල් සමාදන්වෙලා ඔබට පුළුවන් මම අද දවසේ බ්‍රහ්ම උපෝසථය වාසය කරනව කියල අධිෂ්ඨාන කරගෙන පළමු උපෝසථය වාසය කරන්න. එතැන් සිට සිල් පවාරණය කරනකම් භාග්‍යවතුන් වහන්සේ අරහං නම් වන සේක. සම්මා සම්බුද්ධ විච්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූ ගුණයෙන් යුතුය. අනුත්තර පුරිසධම්ම සාරථිය, සත්ථා දේවමනුස්‌සානං නම් වේ. බුද්ධය, භගවා ගුණයෙන් යුතුය යන විදියට හෝ සවිස්‌තරාත්මකව හෝ නවඅරහාදී බුදුගුණ දවස පුරාම සිහි කර සිත වඩනවා. මේ බුදුගුණ සිහිකරනකොට සිත පහදිනවා. ප්‍රමුදිත බව ඇතිවෙනවා. (චිත්තං පසිදති මාපුජජං උප්පඡ්ජති) එවි ටකාමච්ඡන්ද ව්‍යාපාද, ථින මිද්ධ, උද්ධච්චකුක්‌කුච්ච, විචිකිච්ඡා වන නීවරණ ධර්ම යටපත්වෙනවා. මේක හරියට නෙල්ලි රසකිඳ ආදිය දාල අතුල්ලා වතුරෙන් හිස පිරිසිදු කරනව වගේ උපක්‍රමයෙන් සිත පිරිසිදු කිරීමක්.
දෙවන ආර්ය උපෝසථය නම් අටසිල් සමාදන්වෙලා මම අද ධම්ම උපෝසථය වාසය කරනව කියල අධිෂ්ඨාන කරගෙන සිල් පවාරණය කරනකම් දහම් ගුණ මෙනෙහි කිරීමයි. තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ස්‌වාක්‌ඛාතෝ සන්දිට්‌ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්‌සිකො, ඕපනයිකො, පච්චත්තං වේදිතබ්බෝ, විඤ්හි යන දහම් ගුණ හය කෙටියෙන් හෝ විස්‌තරාත්මකව නොකඩවා සිහිකරනවා. එවිට සිත පහදිනවා. ප්‍රමුදිත බව ඇතිවෙනවා. පංච නීවරණ යටපත්වෙනවා. මේක හරියට කිළිටිවූ ශරීරය පිරිසිදු කිරීමට බෙහෙත් කුඩු ද්‍රව්‍ය ආදිය දාල සොත්තියෙන් ශරීරය, පිට අතුල්ලා වතුරෙන් සෝදා පිරිසිදු කරනව වගේ උපක්‍රමයෙන් සිත පිරිසිදු කිරීමක්.
තුන්වන ආර්ය උපෝසථය වාසය කරන්නෙ අටසිල් සමාදන්වෙලා මම අද සංඝ උපෝසථය වාසය කරනව කියල අධිෂ්ඨාන කරගන්නවා. එතැන් සිට සිල් පවාරණය කරනකම් ආර්ය සංඝරත්නයේ ගුණ නවය සිහිකරනවා. සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ, යද්දං චත්තාරී පුරිස යුගානි අට්‌ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ, ආහුනෙයේය, පාහුණෙයේය, දක්ණෙයේය, අංජලී කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්‌ඛෙත්තං ලෝකස්‌සාති. මෙසේ උපෝසථ වාසයෙන් සිත පැහැදෙනවා ප්‍රමුදිත බව ඇතිවෙනවා. පංචනීවරණ යටපත්වෙනව. මෙය කිළිටි ඇඳුම්වලට රෙදි සෝදන ද්‍රව්‍ය දාල ඇතිල්ලීම ආදී උපක්‍රම යොදා පිරිසිදු කරනව වගේ කිළිටි සිත උපක්‍රමයෙන් පිරිසිදු කිරීමක්.
සතරවැනි ආර්ය උපෝසථය තමයි තමන් විසින් ආරක්‌ෂා කරනු ලබන සීලය ගැන සිතීම. මෙහිදීත් අටසිල් සමාදන්වෙලා අධිෂ්ඨාන කරනවා අද සීල උපෝසථය වාසය කරනව කියල. එතැන් පටන් සිල් පවාරණය කරනකම් තමන්ගේ සීලය ගැන සිතනවා. එනම් මම අද රකින සිල් පද අට අඛණ්‌ඩව එනම් මුලින් හෝ අගින් සිල්පද නොකැඩීම. අචිද්‍ර මැදින් සිල්පද නොකැඩීම, අසබල එනම් පිළිවෙළින් සිල්පද දෙකතුනක් නොකැඩීමයි. අකම්මාස නම් අතරින් පතර සිල් පද නොකැඩීම කැලැල් නැති, භූජිස්‌ස නම් තෘෂ්ණා දෘෂ්ටියෙන් තොරවූ, විඤ්පසත්ථ නම් උතුමන් විසින් ප්‍රශංසා කරන ලද, අපරාමට්‌ඨ තමන්ගේ සීලයට කිසිවකුටවත් දොසක් කිව නොහැකි ලෙස සිල් රැකීමයි. සමාධිය, සංවත්තනික එනම් උපචාර අර්පනා, මාර්ග, ඵළ සමාධි පිණිස පවත්නා සීලයයි. මෙලෙස දවස පුරාම තමන්ගේ සීලයට හානියක් වීමට නොදී මෙනෙහි කරමින් සිල් රකිනවා. මෙය හරියට කිළිටි වූ කැඩපතක් උපක්‍රමයෙන් පිරිසිදු කරනවා වගේ උපක්‍රමයෙන් සිත පිරිසිදු කිරීමක්.
පස්‌වන ආර්ය උපෝසථය නම් දේවතා උපෝසථයයි. මෙයද අටසිල් සමාදන් වෙලා මම අද දේවතා උපෝසථය වාසය කරනව කියල අධිෂ්ඨාන කරගෙන දවස මෙහෙම ගත කරනව. දිව්‍යලෝක හයක් තියෙනවා. එනම් චතුර්මහාරාජික, තව්තිසාව, යාමය, තුසිතය, නිම්මානරතිය, පරනිම්මිත, වසවර්ති වශයෙන්. ඒවායේ දෙවිවරු දේවත්වයට පත්වුණේ සද්ධා සීල, සුත, චාග, ප්‍රඥ ගුණ වැඩීමෙන්.
මමත් අද දවසෙම සද්ධා, සීල, සුත, චාග, පඥ ගුණ වඩනවා යෑයි සිත සිතා එම ගුණ දවසෙම වඩනව. එවිට රත්තරන් පිරිසිදු කිරීම කෝවෙ දාලා ලුණු මැටි ගෛරුක දියර දාල රත්කරල උපක්‍රමයෙන් කරනව වගේ උපක්‍රමයෙන් සිත පිරිසිදු කරනව. සිතේ පැහැදීමත් සතුටත් ඇතිවෙනව. කෙලෙස් තුනීවෙනව.
හයවැනි උපෝසථය නම් ආර්ය උපෝසථයයි. ඒක වඩන්නේ අටසිල් සමාදන්වෙලා මම අද ආර්ය උපෝසථය වාසය කරනව කියල අධිෂ්ටාන කරගෙන දවස පුරා මෙහෙම සිතනව. මහරහතන් වහන්සේලා ජීවිතය පුරාම ප්‍රාණ ඝාතයෙන් වැලකුණා. දඬුනොගෙන ආයුධ නොගෙන පවට ලඡ්ජාවෙන් දයාවන්තව සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පීව කටයුතු කළා. මමත් අද දවසෙම රහතන් වහන්සේ කෙනෙක් වගේ ප්‍රාණ ඝාතයෙන් වැලකී සියලු සත්වයන්ට කරුණා මෛත්‍රියෙන් වාසය කරනව. මෙසේ රහතන් වහන්සේ කෙනෙක් වගේ තමන්ගෙ සිල්පද අට ගැන මෙලෙස එකිනෙක බල බලා දවසෙ ඉතා පිරිසිදු සීලය ආරක්‌ෂා කරනවා. මෙම ආර්ය උපෝසථය වසන්න පුළුවන් නම් ඒක මහත් ඵලයි. මහානිසංසයි. මහත් බැබලීමක් ඇතිවෙනව. මහත් පැතිරුණු බවක් තමන් තුළින්ම ඇතිවෙනව.
ඊළඟට පෙන්වා දෙනව මොනවගේ මහත් විපාකයක් මහත් ඵලයක් මහානිසංසයක් මහත් බැබලීමක් මහත් පැතිරීමක්‌ද ඇතිවෙන්නකිය. ඉන්දියාවේ ඇති අංග මගධ ආදී සොළොස් මහා ජනපදවල රජකම හෝ දඹදිවටම අධිපති රජකම ලැබුණත් මෙම අෂ්ඨාංග උපෝසථයෝ ආනිසංස හා බලන විට ඒ රජකම දුප්පත් සැපයක්. ඒකට හේතුව නම් දිව්‍ය සැපය ඊට වඩා වැඩියි.ආර්ය උපෝසථ වාසය කරන කෙනා මරණින් පස්‌සෙ දිව්‍යලෝකයේ උපදිනවා.
එම දිව්‍ය ලෝකවල ස්‌වභාවය විශාඛාවන්ට පැහැදිලි කළේ මෙහෙමයි. මිනිස් ලොව වසර පනහක් චාතුර්මහාරජික දිව්‍ය ලෝකයේ එක දවසයි. එවැනි දින 30ක් මාසයයි. මාස 12ක් අවුරුදු එකයි. එවැනි අවුරුදු 500ක් ඔවුන්ගේ ආයුෂයි. මෙලොව ස්‌ත්‍රියක් හෝ පුරුෂයෙක් ආර්ය උපෝසථය සමාදන් වේ නම් එහි උපදින බව සියුදේව (කායස්‌සභේදා පරම්මරණා චතුම්මහාරාජිකානං දේවානං සහව්‍යනං උපපජජෙය්‍ය) මේ නිසා මිනිස් සැපය දිව්‍ය සැපයට සමාන කරන විට දුප්පත් සැපයකි. එමෙන්ම මිනිස් ලොව වසර 100ක් තව්තිසාවට එක දවසයි. එවැනි දින 30ක් මාසයයි. මාස12 ක් අවුරුද්දයි. එවැනි අවුරුදු 1000ක් එහි ආයුෂ තිබෙනව. යමෙක් ආර්ය උපෝසථය වාසයෙන් එහි උපදිනවා. උපෝසථං උපවසිත්වා කායස්‌සභේදා පරම්මරණා තාවතිංසානං සහව්‍යනානං උපඡ්ජජෙය්‍ය. මිනිස් ලොව වසර 200ක් යාම දෙව්ලොව එක දිනයි. එවැනි දින 30ක් මාස එකයි. මාස 12ක් වසර එකයි. එවැනි වසර 2000ක් එහි ආයුෂ තිබෙනවා. මිනිස් ලොව වසර 400ක් තුසිත දෙව්ලොව එකදිනයි. එවැනි දින 30ක් මාස එකයි. මාස 12ක් වසර එකයි. එවැනි වසර 4000ක් දිව්‍ය ආයුෂ තිබෙනවා. මිනිස් ලොව වසර 800ක් නිර්මානරතී දෙව්ලොව එක දිනයි. දින 30ක් මාස එකයි. මාස 12 ක් වසර එකයි. වසර 8000ක් දිව්‍ය ආයුෂ එහි තිබෙනව. එමෙන්ම මිනිස් වසර 1600ක් පරිනිර්මිත වසවර්ති දෙව්ලොව එක දිනයි. දින 30ක් මාස එකයි. මාස 12ක් වසර එකයි. එවැනි වසර 16000ක් දිව්‍ය ආයුධ එහි තිබෙනවා. යම් ස්‌ත්‍රියක් හෝ පුරුෂයෙක් අෂ්ටාංග උපෝසථය වාසය කරනවා නම් මෙම දෙවියන්ගේ සහවාසයට එකතුවෙන බව සිදුවන්නක් බව තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා. මෙවැනි අනුහස් ඇති උපෝසථයක් කොහොම හරි සමාදන්වෙලා වාසය කරන්න අධිෂ්ඨාන කරගන්න. ඒක ඔබ ලබන මහත් ලාභයක් වෙයි.
අද බුද්ධිමත් මිනිසුන් වශයෙන් තථාගතයන් වහන්සේ සිය බුද්ධ ඥානයෙන් දැන දැක දේශනා කරන ලද මෙම දේශනාවන් කෙරෙහි අවධානය දී සසර සුවපත්භාවය ළඟාකර ගැනීමට උත්සාහවත් වීම හොඳයි. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේම සසර දුකින් මිදීම සඳහායි. තමන්ගේ පිරිසිදු සීලය ආර්ය මාර්ගයට පමුණුවන ප්‍රධාන අඩිතාලමයි. සීල, සමාධි, ප්‍රඥ වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමු අංගය වන්නේ සීලයයි. මෙසේ නිවන් මාර්ගය සඳහාත් ඒ සඳහා නොහැකි වූවොත් පිනැති සුගතිය සඳහාත් සීලය හේතුවන බව මෙයින් දැකගන්න පුළුවන්. ඒ නිසා පුළුවන් සෑම දිනකම අටසිල් සමාදන් වී දෙලොව යහපත සලසා ගැනීමට උත්සාහ කරමු.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤