වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සක්‌විති පදවි අභිබවන සෝවාන් ඵලය

ලෞකිකවාදී දෘෂ්ටි සංඛ්‍යාත කෝණයෙන් බලන්නා වූ කලී චක්‍රවර්තී රාජ සම්පත්තිය මිහිපිට ඇති අග්‍රතම සැපයයි. එහෙත්, තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන්ට අනුව සෝවාන් ඵලය ඉන් ඉහළට උතික්‌ෂිප්ත වී ඇත. සියල්ල දැන වදාළ වූ උන්වහන්සේ දිනක්‌ නිය පිටට පස්‌ ස්‌වයල්පයක්‌ ගෙන, ''මහණෙනි, මාගේ නිය මත්තෙහි ඇති පස්‌ ස්‌වල්පය හා මේ මහපොළව සන්තකයෙහි පවත්නා පස්‌ ප්‍රමාණය යන ද්විත්වයෙන් කවරක්‌ වඩා වැඩිදැ' යි '' විචාළ කෙණෙහි, ''ස්‌වාමිනී, භාග්‍යවතුන් වහන්ස, මහ පොළොව සන්තකයෙහි පවත්නා පස්‌ ප්‍රමාණය වඩා වැඩියෑයි'' ශ්‍රාවක උතුමෝ පිළිවදන් දුන්හ. එකල් හී භාග්‍යවතුන් වහන්සේ, ''මහණෙනි, ඒ තතු සැබෑ වන්නේ යම් සේද, එපරිද්දෙන්ම සෝවාන් ඵලයට පත් අරිය සම්මා විසින් ඉවත ලු සසර දුක මේ මහපොළොවේ පස්‌ මෙන් අති විශාලය. තවදුරටත් ඔවුනට විඳින්නට ඇති සසර දුක මාගේ නියමත්තෙහි ඇති පස්‌ මෙන් ඉතා ස්‌වල්පය.'' යනුවෙන් වදාළ සේක.

බුද්ධ කාලීන භාරතයෙහි විසු විශාඛා සිටු දේවිය, අනාථ පිණ්‌ඩික සිටුතුමා, කාල සිටු පුත්‍රයා, සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා යන අය ධර්ම ශ්‍රවණය හේතුවෙන් සෝවාන් ඵල ලාභය අත්කැර ගත්හ. දීඝනච පරිබ්‍රාජකයා සෝවාන් ඵලයට පත් වූයේ බුදු සස්‌නෙහි ප්‍රවෘජාවට පත්ව සමථ, විදර්ශනා කමටහන් වැඩීමෙනි, විදර්ශනාවද සෝවාන් ඵලය අත්කැර ගැන්මට කදිම මඟකි. විදර්ශනා කර්මස්‌ථානයක්‌ වන අනිත්‍ය සංඥව වැඩීමෙන් මාර්ග ඵල නොලද්දන් සෝවාන් ඵලයට පත්වන බවත්, සෝවාන් ඵල ලාභීන් ඊටත් ඉහළ මාර්ග ඵලවලට පත්වන බවත්, අනිත්‍ය සංඥ සුත්‍රයෙහි දැක්‌වේ.

සෝවාන් ඵලය අත්කැර ගනු වස්‌ සෝවාන් මාර්ගයට පැමිණ ගත යුතු වෙයි. සෝවාන් මාර්ගය නම් සෝවාන් ඵලය පිණිස පිරිය යුතු ප්‍රතිපදාවයි. සෝවාන් මාර්ග ලාභීSS උතුමාට දෙනු ලබන දානයෙහි ආනිශංස ද, දක්‌ෂිණා විභංග සුත්‍රයෙහි දැක්‌වේ. තවද දැක මුණ ගැසී කථා කළ යුතු පිරිස්‌ අතරට ද සෝවාන් මාර්ග ලාභී උතුමා ඇතුළත් කොට ඇත. සෝවාන් මාර්ගලාභියා යනු පෘථග්ජනයකු නොවේ. හෙතෙම අෂ්ඨ පුද්ගල අර්යයන්ට අයත් වූවෙකි.

සෝවාන් මාර්ගය අනුයාත අංග හතරකින් සමන්විත වෙයි. සත්පුරුස සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව යනුවෙනි. එනම්, සත්පුරුසයකුගේ පෙළඹවීම මත ධර්මය ශ්‍රවණය කරන අයෙකු එම දහම් කරුණු සියුම්ම විමසුමට ලක්‌ කරයි. අනතුරුව හෙතෙම ඒ කෙරෙහි පැහැදී ධර්මයට අනුවමට හැසිරෙයි. මෙය බුද්ධභාෂිතය ප්‍රකාර වූ නියම සෝවාන් මාර්ගයයි.

සෝවාන් මාර්ගයට පිළිපන් උතුමෝ සද්ධානුසාරී හා ධම්මානුසාරී යනුවෙන් දෙයාකාර ය. සද්ධානුසාරියා යනු තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීම පෙරටු කරනෙ ආර්යය මාර්ගයට පිළිපන් උතුමා ය. ධම්මානුසාරියා යනු දහම හා සබැඳි මැනවින් විමර්ශනයට ලක්‌කොට දහමෙහි යථාව දැක ආර්ය මාර්ගයට පිළිපන් උතුමා ය. සද්ධානුසාරියා ''ශ්‍රද්ධා විමුක්‌ත'' නම් සෝවාන් ඵල ලාභියෙකු බවට පත්වෙයි. ධම්මානුසාරියා ''දිට්‌ඨිපත්ථ'' නම් සෝවාන් ඵල ලාභියෙකු බවට පත් වෙයි. වීර්යය අත් නොහැර එක දිගටම මාර්ගය වැඩුවහොත් මරණයට පෙරාතුව ඵල ලාභය අත්කැර ගන්නා බව ධර්මයෙහි කියෑවේ. ඒ කරුණ කෙතරම් නිශ්චිතද යත් සෝවාන් මාර්ග ලාභී උතුමෙකු ඵල ලාභයට නියතව සිටියදී කල්ප විනාශය එළැඹ තිබුණහොත් ඔහු/ඇය සෝවාන් වන තුරු කල්ප විනාශය කල් යයි. එබැවින් ඔහු / ඇය ''ඨිත කප්ප'' යනුවෙන් පුද්ගලපඤ්ඤත්තිප්ප්‍රකරණයෙහි සඳහන් වේ. සෝවාන් මාර්ග ලාභියා යනු එතරම් ම බලවතෙකි.

සත්ත්වයා සසරට බැඳ තබන බැමි දහයෙකි. සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ජා, ශීලබ්බත පරාමාශ, කාමරාග, පටිඝ, රූපාරාග, අරූපරාග, මාන, උද්ධච්ජ, අවි-ජා යන මේවා දස සංයෝජන නම් වෙයි. සෝවාන් වීමෙන් මින් පළමු බැමි තුන සදහටම ගිලිහී යයි. ''සක්‌කාය දිට්‌ඨිය'' යනු ස්‌කන්ධ පංචකය ආත්ම කොට දැකීමයි. සතර මහා භූතයන්ගෙන් හටගත් හුදු චිත්‍ර සටහනක්‌ බඳු උපාදාය රූපය මෙය මාගේය යනුවෙන් දැඩිව උපාදානය කර ගැන්මයි. ''විචිකිච්ඡාව'' යනු බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, පූර්වෘත්තය, අපරාන්තය, පූවාර්න්ත අපරාන්තය, ශික්‌ෂා, පටිච්චසමුප්පාදය යන අට තැන් පිළිබඳ සැකයයි. ''ශිලබ්බත පරාමාශය'' යනු අජ ව්‍රත, ගෝ ව්‍රත, කුක්‌කුර ව්‍රත ආදී කොටගත් ලෝභ - ද්වේශ - මෝහ යන අකුශල මූලයන් පදනම් කොටගත් හර විරහිත සිල් රැක්‌මයි.

සෝවාන් උතුමනට අටවැනි අත්බවෙක්‌ ඇත්තේ ම නැත. (නතේ භවං අට්‌ඨමං ආදියන්ති) ඔවුහු නිරය, තිරච්ඡාන යෝනිය, ප්‍රේත නිකාය, දුර්ගති විනිර්පාත අසුර නිකාය යන අපාය භූමි සතරෙන් සදහටම නිදහස්‌ වූවෝ වෙත්. එනමුදු සුගති විනිර්පාන අසුර නිකාය ඔවුනට තවදුරටත් සාධාරණය.

සෝවාන් උතුමෙකු බාහිර පෙනුමෙන් හෝ ක්‍රියා විලාශයෙන් හඳුනාගැන්ම අසීරුය. (you can not judge a person by external appearance යන ඉංගී්‍රසි කියමන ද මෙයට මනාව ගැළපේ.) හෙතෙම බයාදු හෙමි-ජෙකු යෑයි සැලකීමද උචිත නොවේ. ශරකානි ශාක්‍යයාගේ කථාව මෙයට කදිම නිදසුනකි. උග්‍ර මත් ලෝලියෙකු වූ ශාක්‍ය වංශික ශරකානි මතට සමුදුන්නේ දිවියෙහි සැඳෑ සමයේ දී ය. ඔහු මියගිය පසු ඔහුගේ ඥතිවරුන්ගේ විමසුමකට පිළිවදන් දුන් තථාගතයන් වහන්සේ ශරකානි සෝවාන් ව දෙව්ලොව උපන් බව වදාළහ. මෙයින් ශාක්‍ය වංශය කැළඹිණි. ''අර මත්ලෝලී ශරකානියා සෝවාන්ව සිට දෙව්ලොව උපන් මග බුදුරජාණන් වහන්සේ වදාරති. උන්වහන්සේ යළි මෙවැනි ප්‍රකාශයක්‌ නොකරන තැනට වැඩ සලසමු.'' යනුවෙන කථිකා කරගත් ශාක්‍යයෝ බුදුහු බැහැ දැක්‌මට ආහ. එයට පිළිවදන් දෙමින් උන්වහන්සේ ''සෝතාපන්නයා යනු සිවු විධි වූ සෝතාපන්න අංගයන්ගෙන් යුක්‌ත වූවකි. ඒ හැර අන් වෙසෙසක්‌ නැත. අර පෙනෙන අජීවී සල්ගස්‌ වෙත නෙත් යොමු වේ. ඒ අජීවී ශාකයන්ට ද සෝතාපන්න අංග වී නම් ඒවාද සෝවාන් යෑයි කීමට මම නොපැකිළෙමි'' යනුවෙන් වදාළහ.

අනවරාග්‍ර සසර අතිශයින් බිය ජනක ය. ඒ කරුණ සාධාරණිකෘත කිරීමට අවැසි තතුද අප වටා නිතොර සැරි සරති. එකී යථාව අභිමුව සෝවාන් ඵලය අමිල වූ ලාභයකි. බොදුනුවන් වන අප එකී ලාභය පසුපස විදුලි වේගයෙන් ලුහු බැඳ යා යුත්තෝ වෙමු.
යසස්‌ නිවන්තක සිල්වා 
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පන්සිල් රකින්නන් සඳහා පමණයි


පූජ්‍ය අකුරැස්‌සේ 
සද්ධම්මානන්ද හිමි

පංච සීලය රැකීමෙන් පමණක්‌ නිවන් දැකිය නොහැකි බව ඔබ දන්නවාද? පංචසීලය යනු ගිහි පිංවතාගේ නිත්‍ය උතුම් සීලයයි. පංචසීලය බිඳෙනවා යන්නෙන් අදහස්‌ වන්නේ අනුන්ටත්, තමන්ටත් තමන් අතින් වරදක්‌ සිදුවෙනවා යන්නයි. ප්‍රාණඝාතයෙන් ප්‍රාණිකයාටත්, සොරකම් කිරීමෙන් හිමිකරුටත්, කාමයවරදවා හැසිරීමෙන් අනියම් සහකරුටත්, බොරු කීමෙන් අසන්නාටත්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් සකල සමාජයටත් ඔහු නිසා හානි සිදුවේ. එයින් ඔහුට වන හානිය කුමක්‌ද? ඉහත ක්‍රියා හේතුවෙන් ඔහුගේ හිත තුළ වර්ධනය වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ නම් වූ අකුසල ධර්මයන් බැවින් හෙතෙම යනුයේ නිවනට ප්‍රතිවිරුද්ධ ගමනකි. එබැවින් එය ඔහුට එක එල්ලේම අහිතකරයි. හානිකරයි.

යමෙක්‌ පන්සිල් දිවි හිමියෙන් රකී යෑයි අපි සිතමු. 'මම පන්සිල් හොඳට රකිනවා. මගෙන් කාටවත් වරදක්‌ නෑ. ඉතින් මං පන්සල් යන්න, භාවනා කරන්න ඕන නෑ''. මේ පුද්ගලයා සීලවන්ත, පුණ්‍යවන්ත නමුත් ප්‍රඥවන්ත නොවෙයි. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාළේ සීල, සමාධි, ප්‍රඥ යන ක්‍රමවත් ගමන් මාර්ගයයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෙසින් මේ තෙමංසල අටකට වෙන්කර උන්වන්සේ මනාව ලෝක සත්ත්වයාට පෙන්වා වදාළ සේක. ඔබ සිල්වතෙක්‌ නම්, ඔබේ කය වචනය මනාව සංවරව පවතිනවා නොඅනුමානයි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සහ සම්මා ආජීව යන ආර්ය මාර්ග ඔබ යම් පමණකට හෝ සම්පූර්ණ කර ඇති. එසේ නම් කෝ ඔබේ සමාධිය? ප්‍රඥව? මේ කොටස්‌ දෙක කරා ඔබට ගමන් කළ හැක්‌කේ සමථ, විපස්‌සනා භාවනාවෙනි. බුදුරජුන් ජීවමාන කල උපතිස්‌ස, කෝලිත ආදී උතුමන් බණ පදය දෙක අසා වඩවා ගත් භාවනාවෙන් ධර්මාවබෝධය කළ බව සැබෑය. නමුත් එවන් තීව්‍ර, සීග්‍රගාමී සමාධියක්‌ ප්‍රඥවක්‌ ඔබටවත්, මටවත් හිමි නොවූයේ වත්මන් මිනිසා තුළ කෙලෙස්‌ මළ බහුල නිසාය.

සීලය යනු කරණම්කරුවකුට වේදිකාවකි. වේදිකාව ශක්‌තිමත් නම් සමබර නම්, සුමට නම් කරණම් ගැසීම පහසුය. සීලය ගොයමට කුඹුරකි. කොටා මඩකර පෝරා ගා ඇත්නම්, වැපිරීමට අස්‌වැද්දීමට පහසුය. සීලය නිවසකට අත්තිවාරමකි. ශක්‌තිමත් අත්තිවාරම මත නිවස ගොඩනැඟීම පහසුය. වේදිකාව තැනුවද කරනම් නොගසයි නම්, බිම සැකසුවද, වී නොවපුරයි නම්, අත්තිවාරම මත කණු, බිත්ති, වහළය නොතැනේ නම්, ප්‍රතිඵලය හිමි නොවේ. සිල්වතාට සිල්වත් වීමෙන් පමණක්‌ නිවන් මඟ හෙළිපෙහෙළි නොවේ. සිල්වත් වීම සැබවින්ම උතුම්ය. දුස්‌සීල සමාජයක සිල්වතකු සොයා ගැනීම අති දුෂ්කර බැවින් සැබැවින්ම සිල් රකින ඔබ වැන්නවුන් පූජනීය වස්‌තූන්ය. සිල්වත් වූ ඔබ මහ පොළොවේ බොරළු අතරේ සැඟවුණු මැණිකක්‌ වැනිය. දැන් ඒ මැණික ගැඹුරු පොළොවෙන් ඉවතට ගෙන පිරිසිදු කර ඔපමට්‌ටම් කිරීම ආරම්භ කළ යුතුයි නේද? සීලය රැක මිය යැමෙන් ඔබ සුගතිගාමී වේවි. නමුත් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ද ඇත්තේ සංඛත, විපරිණාම ආදී දුක්‌ම ව ඔබ තේරුම්ගත යුතුයි. ජරා මරණ හිමිවන ඉපදීමට වඩා අජරඅමර නිවන මොනතරම් උතුම්ද?

සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මෙම තුන් ආකාරවූ ආර්ය මාර්ගයෙන් ඔබ තුළ සම්පූර්ණ වන්නේ සමාධියයි. සමථ භාවනාව ඔස්‌සේ, කුළු මීහරකකු තරම් නොහික්‌මුණු ඔබේ සිත ඔබට හික්‌මවා සමාධිගත කරගත හැකිය. මෙතෙක්‌ කලක්‌ හිතට වුවමනා දේ කළ ඔබ සමාධිය උපයෝගී කරගෙන හිත ලවා ඔබට වුවමනා කර දේ කර ගැනීමට සමතකු විය යුතුයි. පිටවන ඇතුළුවන හුස්‌ම පිළිබඳව විමසිලිමත් වන ඔබටම වැටහේවි හිත මොනතරම් අසීලාචාරද කියා. හුස්‌ම පහක්‌ දක්‌වාත් සිත එක තැනක තබා ගැනීමට භාවනාවට ආධුනික වූ ඔබට නොහැකි බව ඔබ අවබෝධ කරගනීවි. නොසැලෙන්න. සිතේ ස්‌වභාවය එයයි. උපේක්‌ෂාවෙන් අරමුණු දෙස බලමින් සතිය වඩන ඔබ, ක්‍රමයෙන් සමාධියට සිත හුරුපුරුදු කර ගනීවි.මෙය සිදුවිය යුත්තේ ප්‍රායෝගික අත්දැකීම් ලත් භාවනා ගුරුවරයකු හෝ ක්‍රමවත් පොතපතක කල්‍යාණ මිත්‍රත්වය පෙරටුකොට ගෙනයි. සමාධිය යනු මුවහත් වූ සැතකි. ඉතා සූක්‍ෂම ලෙස කෙලෙස්‌ කැලය කපාකොටා විනාශ කිරීමට ඔබට සමාධිය උපයෝගී කරගත හැක. ඒ මුවහත ඔබටම හානි කළ හැකි නිසයි ඔබට ගුරුවරයකු අවශ්‍ය.

සම්මා දිට්‌ඨි, සම්මා සංකප්ප, ආර්ය මාර්ගය යුග්මය ඔබ රැගෙන යනුයේ ප්‍රඥව දෙසටයි. ලෝභය, ද්වේෂය හොඳින් හඳුනාගන්න. බඹයක්‌ තරම් වූ ඔබේම යෑයි ඔබ උපාදානය කොටගත් මේ ගඳගහන ශරීරය දෙස විමසිලිමත්ව බලා සිතේත්, කයේත් සබැඳියාව තේරුම් ගැනීමට ඔබට ප්‍රඥව උපකාරී වනු ඇත. මුවහත් වූ සමාධියකින් ගවේෂණාත්මක ප්‍රඥ සැත්කම කරන ඔබට නාම රූප සබැඳියාව මනාකොට වැටහෙන දිනයක්‌ මේ භවයේ හෝ මතු භවයකදී උදාවනු ඇත. 

එදින ඔබ සක්‌කාය දිට්‌ඨිය යනු කුමක්‌දැයි මනාකොට හඳුනාගනු ඇත. උපේක්‌ෂා ඔරුවට නැඟී අනිත්‍ය නම් වූ හබල හසුරුවා ඔබ මේ පැද යන්නේ නිවන් දූපත දෙසටයි.

මේ ගමන කියන තරම් හෝ ලියන තරම් පහසු නැති බව සැබෑවකි. නමුත් ඔබ අද අදම ගමන ඇරඹුවොත්, පියවරෙන් පියවර හෝ ඔබ ගමනාන්තයට ළඟා වනු ඇත. පෙර භවවල පුරුදු උපනිශ්‍රයන් ඔබට රුකුලක්‌ වී ඇති බව නොඅනුමානය. ඔබ සීලය රකිනුයේ එහෙයිනි. එසේ නම් සමාධි, ප්‍රඥ ගමන් මාර්ගයට එළඹීමට ඔබ උනන්දු විය යුතුයි නේද? එවිට පෙර භවයන්හි ඔබ වැඩූ සමාධි, ප්‍රඥ ගමන් මඟද ඔබට හමුවනු ඇත.

ධාන්‍ය කොපමණ අතැති වුවද එහි සංඛ්‍යාව වැඩි නොවේ. පොළොව කෙටා ධාන්‍ය පැළකර කරල් ලබාගන්නාට වැඩි ප්‍රතිඵල හිමිවේ. මනුෂ්‍ය ජීවිතයක්‌ ලද ඔබට නිවන සොයනවා විනා, ඒ දෙසට ගමන් කරනවා විනා, වෙන කුමක්‌ නම් වැදගත්ද? අද කළ යුතු දේ අද කරන්න. නිවන, නිවන යෑයි කියමින් පොත් ගොඩවල් දෙස බලාගෙන හූල්ලපු ඔබ සියල්ල අමතක කර ඔබ දෙස, වර්තමානය දෙස බලන්න උත්සාහ කරන්න. අතීතයේ කළ නොහැකි වූ දේ පිළිබඳ පසුතැවීමත්, අනාගත පියවරවල නව සැලැස්‌මත් ඔබ රැගෙන යන්නේ යායුතු ධාවන පථයෙන් ඉවතටයි. නිවන් මඟට වැදගත් වන්නේ මේ මොහොත පමණි. අනාගතය ඔබ වෙතට මේ ගමොහොත ලෙස ළංවනු ඇත. ගතවන කාලය මොහොතින් මොහොත අතීතයට ගලා යනු ඇත. නමුත් ඔබ ගත කළ යුත්තේ මේ මොහොත තුළම ය. ගලන දිය මත රූටන දිය මකුණා එකම ස්‌ථානයක රැඳෙන්නට උත්සාහ දරන්නාක්‌ මෙන් සිත වර්තමානය තුළ මෙහෙයවන්න. කොපමණ පොත්පත් පරිශීලනය කළද, ප්‍රායෝගික ධර්මයේ සරණ විනා ඔබට අන් සරණක්‌ නැත. එය ලබාගත හැක්‌කේ යාඥාවෙන්  ෙහා් සඡ්ජාධායනාවෙන් නොව භාවනාමය ඥානයෙනි. සිල්වත් වූ ඔබ සමාධි, ප්‍රඥ වඩා ප්‍රායෝගික වූ නිවන් මඟ මත පියවර තබත්වා!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කෝපයේ පාපය කාටද?

පොල්ගහවෙල මහමෙව්නා භාවනා අසපුවේ 
නිර්මාතෘ සහ අනුශාසක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ආර්ය මාර්ගය නමැති සෘජු මාර්ගයක් තිබෙනවා. භය නැති තැන නමැති දිශාවටයි ඒ මාර්ගය වැටී තිබෙන්නේ. ඒ වගේම කිසි ශබ්දයක් නැති රථයක් තිබෙනවා. ඒ රථය කැරකෙන්නේ දහම් රෝද වලින්. ඒ රථයේ වාඩිවෙන ආසනය තමයි ලජ්ජා භය දෙක. ඒ රථය සරසා තිබෙන්නේ සිහිය නමැති සැරසිල්ලෙන්. සම්මා දිට්ඨිය පෙරටු කරගත් අධ්‍යාත්මික බලයෙන් යුතු ශ්‍රී සද්ධර්මය තමයි ඒ රථයේ රියදුරු. යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට මෙවැනි රථයක් තිබෙනවානම්, ඔහුට ඒ රථයෙන් අමා නිවනට ළං වෙන්න පුළුවනි. (සංයුක්ත නිකාය 1, අවිජරා සූත්‍රය)තථාගතයන් වහන්සේ මෙසේ වදාළේ අප කෙරෙහි අනුකම්පාවෙන්මයි.
ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මේ දුක්ඛිත සසරින් එතෙර වීමටයි උත්සුක විය යුත්තේ. කෙනෙක් චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කරයිද, ඔහු බිය රහිත මාවතේ ගමන් කරන්නෙක් වෙයි. අද අප ජීවත්වන මේ සමාජය තුළ නොයෙකුත් නින්දා අපහාස, දුක් පීඩාවලට බඳුන්වීමට බොහෝ දෙනෙකුට සිදුවෙනවා. ඒ වගේම සමහර විට නිරපරාදේ හේතු රහිතව නින්දා අපහාස විඳින්නටත් කෙනෙකුට සිදුවන්න පුළුවන්. එවැනි අවස්ථාවක කෙනෙක් කලබලව කෝප වුණොත්, එයින් පාඩුව සිදුවෙන්නේ තමාටම යි. කෝප වීමෙන් තමාට පාඩුවක් සිදුවන බව අඥාන පුද්ගලයා නොදනී. ශ්‍රී සද්ධර්මය තුළින් තම ජීවිතය සකස් කරගත් නුවණැත්තා ලෝකයාගෙන් ලැබෙන නින්දා අපහාස ඉදිරියේ කෝප නොවේ. ඒ නිසා සත්‍යයෙන් වේවා අසත්‍යයෙන් වේවා තමාව වෙත එන චෝදනා, නින්දා අපහාස, ඉවසන්න නුවණැති අය ලෙස අප සිත ශක්තිමත් කරගන්න ඕනි. ඇත්තෙන්ම නිකරුණේ නින්දා අපහාස විඳින්නට සිදුවූයේ් අද කාලයේ ජීවත් වන අපට පමණක් නොවේ. අතීතයේත් බොහෝ ගුණැති උතුමන්ට එහෙම සිදු වුණා.
නමුත් හුදෙකලා විවේකයෙහි ඇලුණු සිංහරාජයෙකු බඳු වූ රේවත රහතන් වහන්සේ උපාසකයින්හට කිසිවක් නොදොඩා භාවනාවෙහි ඇලී නිහඬව වැඩ සිටියා. ඒ අවස්ථාවේ අතුල උපාසක තෙමේ “මුන්වහන්සේ අප කෙරෙහි කිසි අනුකම්පාවක් නොමැතිව දහම් පදයක් නොදොඩා නිහඬව වැඩ සිටින්නේ යැයි” කිපී එතැනින් නැඟිට යන්න ගියා.
ඉන්පසුව අතුල උපාසක ඇතුළු පන්සියයක් පිරිස සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙත ගොස් වන්දනා කොට එකත්පස්ව හිඳ ගත්තා. සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් “පින්වත් උපාසකවරුනි, කුමක් නිසා මෙහි ආවෙහි දැයි” ඇසූ කල්හි අතුල උපාසක කියනුයේ “ස්වාමිනි, සාරිපුත්තයන් වහන්ස, අප දහම් පදයක් ඇසීමට රේවත ස්වාමින් වහන්සේ වෙත ගියා. උන්වහන්සේ අප හා කිසි කථාවක් කළේ නැහැ. මට ඇති වූ කෝපය නිසා මම එතැනින් පිට වී ඔබ වහන්සේ සොයාගෙනයි මේ පැමිණියේ. ස්වාමිනි අප කෙරෙහි අනුකම්පාවෙන් අප හට ධර්මය දේශනා කරන සේක්වා’. ඒ අවස්ථාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ එසේනම් හොඳයි උපාසකවරුනි, කියා දිගු වේලාවක් ගැඹුරු ධර්ම දේශනාවක් වදාළා. එවිට අතුල උපාසකතුමා සිතනුයේ “මුන්වහන්සේ ගැඹුරු ධර්මය බොහෝ කොට දේශනා කරන්නාහ. ඔය ඉතා ගැඹුරු ධර්මය වටහා ගැනීමට පහසු නොවේ. මේ බණෙන් අපට ඇති වැඩේ මොකක්දැයි” සිතා සාරිපුත්ත ස්වාමින් වහන්සේ කෙරෙහි ද කිපී උපාසක පිරිස රැගෙන එතැනින් පිටව ගියා.
ඉන්පසු අතුල උපාසක ඇතුළු පිරිස ආනන්ද ස්වාමින් වහන්සේ වෙත පැමිණියා. ආනන්ද ස්වාමින් වහන්සේ ද ඔවුන්ගෙන් අසනුයේ “පින්වත් උපාසකවරුනි, කුමක් පිණිස මෙහි ආවේද?” එවිට අතුල උපාසක කියන්නේ “ස්වාමිනි ආනන්දයන් වහන්ස, අප ධර්මය ඇසීමට රේවත ස්වාමින් වහන්සේ වෙත ගියා. උන්වහන්සේ අපට වචනයක්වත් දේශනා කළේ නැහැ. එයින් සිත් අමනාපව අප එතැනින් නැඟී සාරිපුත්ත ස්වාමින් වහන්සේ වෙත ගියා. උන්වහන්සේ අප හට ඉතා දිගු වේලාවක් ගැඹුරු ධර්මය බොහෝ කොට දේශනා කළා. අපට ඒ ධර්මය නො තේරෙයි. අපේ තරම නොසලකා ගැඹුරු ධර්මය බොහෝ කොට දේශනා කිිරීම නිසා සිත් අසතුටුව නොතේරෙන ධර්මයෙන් ඇති වැඩේ කිමැයි සිතා ස්වාමිනි, අප ඔබ වහන්සේ වෙත පැමිණියා. ආනන්දයන් වහන්ස, අපගේ තරම බලා අපහට තේරුම් ගතහැකි දේශනාවක් අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා”යි කියා සිටියා. ඒ මොහොතේ “හොඳයි උපාසකවරුනි”, කියා ආනන්ද ස්වාමින් වහන්සේ විසින් පහසුවෙන් තේරුම් ගතහැකි නො ගැඹුරු ධර්මයක් දිග් නො ගස්වා කෙටියෙන් වදාළා. එයට ද කිපුණු අතුල උපාසක තෙමේ “කුඩා දරුවන්ට සෑහෙන තරමේ සුළු බණක් යන්තමින් දේශනා කළේ යැයි” ආනන්ද ස්වාමින් වහන්සේ කෙරෙහි කිපී එතැනින් පිටත්ව බුදුජාණන් වහන්සේ වෙත පැමිණියා.
බුදුරජාණන් වහන්සේ මේ සම්පූර්ණ විස්තරය අතුල උපාසකගෙන් අසා දැනගෙන මෙසේ වදාළා.
පෝරාණමේතං අතුල - නේතං අජ්ජනතාමිව

නින්දන්ති තුණ්භිමාසීනං - නින්දන්ති බහුභාණිනං
මිතභාණීම්පි නින්දන්ති – නත්ථි ලෝකේ අනින්දිතෝ

පින්වත් අතුල, මේක අද පමණක් සිදු වූ දෙයක් නොවේ. ඈත අතීතයේ සිට ඔය ආකාරයම යි. නිශ්ශබ්දව සිටින විටත් බණිනවා, වැඩිපුර කථාකළත් බනිනවා. ප්‍රමාණයකට කථා කළත් බණිනවා. මේ ලෝකයේ නින්දා නො ලබපු කෙනෙක් නැහැ.
න චාහු න ච භවිස්සති – න චේතරහි විජ්ජති

ඒකන්තං නින්දිතෝ පෝසෝ - ඒකන්තං වා පසංසිතෝ

තනිකරම නින්දා පමණක් ලැබූ කෙනෙක් හෝ, ප්‍රශංසා පමණක් ලැබූ කෙනෙක් අතීතයේ සිටියෙත් නැහැ. අනාගතයේ ඇතිවෙන්නෙත් නැහැ. දැන් වර්තමානයේ දැක ගන්නටත් නැහැ.
යඤ්චේ විඤ්ඤු පසංසන්ති – අනුවිච්ච සුවේ සුවේ

අඡිච්ද්දවුත්තිං මේධාවිං - පඤ්ඤාසීලසමාහිතං

බුද්ධිමත් උදවිය යම් කෙනෙකුට ප්‍රශංසා කරනවා නම්, ඔහුගේ පිරිසුදු ජීවිත පැවැත්ම, බුද්ධිමත් බව, සිල්වත් බව, සමාධිිමත් බව, ප්‍රඥාවන්ත බව ආදිය හොඳට විමසා කරුණු දැනගෙනමයි කළ යුත්තේ.
නෙක්ඛං ජම්බෝනදස්සේව - කෝ තං නින්දිතුමරහති

දේවා’පි නං පසංසන්ති – බ්‍රහ්මුතා’පි පසංසිතෝ

එබඳු කෙනෙක් බබළන්නේ දඹරන් රුවක් වගේ. එහෙම කෙනෙකුට නින්දා කරන්නට කවුද සුදුසු? ඔහුට දෙවියොත් ප්‍රශංසා කරනවා. බ්‍රහ්මයා පවා ප්‍රශංසා කරනවා.
අතුල උපාසක විසින් අරණ්‍යවාසී භික්ෂූන් අතරින් අග්‍ර වූ රේවත ස්වාමින් වහන්සේටත්, ප්‍රඥාවෙන් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටත්, ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද ස්වාමින් වහන්සේ හටත් නින්දා කළේ සැබවින්ම සහේතුකවයි.
ඇතැම් කෙනෙක් ඉවසන විට එය මෝඩකමක් හෝ නිවටකමක්ය කියා සමහරු සිතනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ වදාළේ “ඛන්තී පරමං තපෝ තිකික්ඛා” එනම් ඉවසීම වනාහි උතුම්ම තපස වේ යනුවෙනිි. සංයුක්ත නිකායේ වේපචිත්ත සූත්‍රයේ මේ ආකාරයට සඳහන් වෙයි. මොහු මේ ඉවසන්නේ මට බයෙන්ය කියා කෙනෙක් හිතුවත් කමක් නැහැ. නැතත් කමක් නැහැ. උතුම් යහපත නම් තමා තුළ යහපත් ගුණධර්ම ඇතිකර ගැනීමයි. ඉවසීමට වඩා උතුම් දෙයක් නැහැ.
සංයුක්ත නිකායේ සක්ක සංයුත්තයේ “සුභාසිත ජය” සූත්‍රයේ මෙසේ සඳහන් වෙයි. “යමෙක් කිපියහුට පෙරළා කිපෙයිද, ඒ කෝපයෙන් පාපය වන්නේ ඔහුටමය. කිපුන තැනැත්තාට පෙරලා නො කිපෙන්නේ දිනීමට දුෂ්කර වූ යුද්ධය දිනීමටය.”
ඒනිසා ලෝකයෙන් ලැබෙන නින්දා, අපහාස ඉදිරියේ නොසැලී සත්පුරුෂයන් විසින් වර්ණනා කොට වදාළ උත්තම ගුණයන් වූ ඉවසීම ඇතිකර ගැනීමට බුද්ධිමත් වූ අපත් අධිෂ්ඨාන කර ගනිමු.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පහන් සිතින් දන්දෙමු

ශ්‍රාස්ත්‍රපති, 
රාජකීය පණ්ඩිත
තලල්ලේ චන්දකිත්ති හිමි

අප යම් දානයක් දෙනවිට හෝ වෙනත් යමක් පූජා කරන විට ඒ දානයේ ආනිශංස පියවරෙන් පියවර ඉදිරියට යන ආකාරය බුදුරජාණන් වහන්සේ වදාළා, අප යමක් සිල්වන්තයෙකුට දෙනවානම් එහි ආනිශංස වැඩියි. ඒ වගේම දුස්සීලයෙකුට දෙන දානයෙන් ආනිශංස නැතිවා නොවේ.
දිනක් වච්චගොත්ත නම් පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේ මුණගැසී ගරු සැලකිළි දක්වා අසනවා “ගෞතමයන් වහන්ස, ඔබ වහන්සේ මෙසේ වදාරා තිබේද? මටම දන් දෙන්න. අනෙක් ශාස්තෘන් වහන්සේලාට දන් දෙන්න එපා. මගේ ශ්‍රාවකයන්ටම දන් දෙන්න. අනෙක් ශ්‍රාවකයන්ට දෙන්න එපා. මට පමණක් දෙන දානයේ මහත්ඵල මහානිශංස ලැබෙනවා, අනෙක් අයට දෙන දානයේ මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ. මගේ ශ්‍රාවකයන්ට දෙන දානයේ මහත්ඵල මහානිංශස ලැබෙනවා අනෙක් ආගම්වල අයට දෙන දානයෙහි මහත්ඵල මහානිශංස ලැබෙන්නේ නැහැ කියා. එසේ නොමැතිනම් එය අභූතයෙන් චෝදනා කිරීමක්ද?
ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාළා බ්‍රාහ්මණය, යම් කෙනෙක් මේ ආකාරයට කියනවානම් එය භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක්. බ්‍රාහ්මණය, දන් දීමට කැමැති කෙනෙක් වෙනත් පුද්ගලයෙකු විසින් වළක්වනු ලබනවානම්, ඒ වළක්වන්නා තුන්දෙනෙකුට අනතුරක් කළා වෙනවා. ඒ

* දායකයාගේ පිනට අනතුරක් කිරීම (ඒ දානය වළක්වන්නා විසින් ඒ පින නැතිකර දමනවා.)
* ප්‍රතිග්‍රාහකයාට (දානය පිළිගන්නාට) ලැබෙන්න තිබෙන දේ (ලාභය) නැතිකර දැමීම.
* ඒ දෙකටම වැඩිය භයානක දේ තමන් විනාශ කර ගත් පුද්ගලයෙක් බවට පත්වීම.
අප දන්නවා අනුන් දෙන දානයක් තව අයෙකු වළක්වනවානම් එය කරුණාවෙන්, මෛත්‍රියෙන් කරන දෙයක් නොවේ. දෙන පුද්ගලයා ගැන හෝ ලබන්නා ගැන අනිවාර්යයෙන් ඊර්ෂ්‍යාවක් ඇතිවිය යුතුයි. ඒ දීමනාව වළක්වන විටම ඔහුගේ අධ්‍යාත්මය පිරිහෙනවා. සිත කෙලෙසෙනවා. ද්වේෂයෙන්, ලෝභයෙන්, ඊර්ෂ්‍යාවෙන්, පළිගැනීමෙන්, කුහකකමින් සිත පුරෝගෙන තමන්ගේ අභ්‍යන්තරය විනාශ කරගත් කෙනෙක් වෙනවා.
දුසිල්වතාටත් දන් දෙමුද?
අපි සිතමු ,යම් පුද්ගලයෙක් තවත් කෙනෙකුට යමක් දෙනවිට එය වැළැක්වීමේ චේතනාවෙන් කියනවානම් මෙයාගේ හැටි ඔයා දන්නේ නැහැ. මේ කරන්නේ විශාල බොරුවක් . මොනවත් දෙන්න එපා කියා එය හොඳ දෙයක් නොවේ. සොරෙකුට හරි දෙනවානම් ඒ දීමනාව තුළ දෙන පුද්ගලයාට පිනක් රැස්වෙනවා. යමක් ලබන්නා සිල්වන්ත වන තරමට ආනිශංස වැඩිබව ඇත්තයි. නමුත් නරක පුද්ගලයෙකුට හෝ හොඳ සිතින් යමක් දෙනවානම් ඒ හොඳ සිත ඇතිකර ගත් පුද්ගලයාගේ ශක්තිය වැඩිවෙනවා.
අද සමාජයේ අප දකිනවා පාරඅයිනේ, බස්නැවතුම්පළ, බස්රථවල සිඟමන් යදින අය සිටිනවා. ඔවුන් දෙස බලා යම් කෙනෙකුට අනුකම්පාවක් ඇතිවෙනවා අනේ මේ පුද්ගලයා සසරේදී නම් කිසිදු දානයක් දුන් කෙනෙක් නොවේ. ඒකයි මේ ලෙස අනෙක් අයගෙන් යදින්නේ කියා සිතා පිරිසුදු චේතනාවෙන් යමක් දීමේදී ඒ අසල සිටින තවත් පුද්ගලයෙක් කියනවා මේ වගේ මිනිස්සුන්ට දන් දෙන්න හොඳ නැහැ. මත්ද්‍රව්‍ය බොන පුද්ගලයෙක් වගේ. අප දෙන නිසයි මේ මිනිස්සු අතපය තියාගෙන හිඟා කන්නේ කියා දෙන දේ වළක්වන්නට හදනවා. එසේ නොකර අප සිතන්න ඕන මේ දේ ලබන පුද්ගලයා මේ මුදලෙන් සුරාව පානය කළත්, වෙනත් මත්ද්‍රව්‍යය භාවිත කළත්, වෙනත් වැරැදි වැඩකට යෙදවූවත් එය මට අදාල කාරණයක් නොවේ. අප සිතන්න ඕන මට මේ පිනක් කර ගන්න ළඟටම ආපු අවස්ථාවක්. හැමදාම මට මෙසේ සල්ලි දෙන්න හැකියාවක් නොතිබෙන්න පුළුවන්. ඒ වගේම දෙන්න කෙනෙක් නො ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මට යමක් දෙන්න හැකියාව තිබියදීත්, දෙන්න කෙනෙක් සිටිද්දීත් මෙය ලබාදීම තමයි හොඳම අවස්ථාව කියා.
සැබෑ අතහැරීම
අප දන්නවා ආනිශංස වැඩිවෙන්න නම් යමක් ලබන්නාත් ඒ දේ දෙන්නාත් සිල්වත් වීම අවශ්‍යයි. මෙහිදී යමක් ලබන්නා දුස්සීලයි කියා දැනගත්විට දෙන පුද්ගලයා තවත් හොඳින් සිල්වත් වී එය ලබා දෙනවානම් එහි විශාල ආනිශංසයක් රැස්වෙනවා. යමක් ලබන්නා සිල්වන්තයි කියා දැනගත්විට දෙදෙනාගේම සිතේ කරුණාව මෛත්‍රීය පෙරදැරි වෙනවා.එය ස්වභාවයෙන්ම වෙන අතර එයට වීර්යයක් ඇතිකරගත යුතු නැහැ. නමුත් ලබන්නා දුස්සීලයි කියා දැන දැනත් ඒ දුස්සීල මිනිසා කෙරෙහි කරුණාවක්, මෛත්‍රියක් උපදවාගන්න පුළුවන්නම් එතැනයි අතහැරීමේ උපයෝගිතාව වැඩි. එය සැබෑ අතහැරීමක්. අමාරුකම්, බාධක, සිතිලිවිලි නරක අතට හැරීගෙන එද්දී ඒවා මැඩපවත්වාගෙන හොඳ අතට හරවා ගැනීම විශාල දක්ෂකමක්. සිත පැහැදුණු අවස්ථාවක යමක් අතහරිනවා කියන එක අරුමයක් නොවේ. එය කිරීම පහසුයි. අමාරු අවස්ථාවේ අතහැරීමයි දක්ෂකම වන්නේ.
උග්ග ගෘහපතියාගේ අතහැරීම
දිනක් උග්ග ගෘහපතියා ස්වාමින් වහන්සේ පිරිසක් මුණගැසී කියනවා ස්වාමිනි, මම දන් දෙන්න ඉතා කැමැතියි. දිනක් මම දානයක් දීමට සූදානම් කොට පන්සල් ගානේ ගොස් ස්වාමින් වහන්සේට ආරාධනා කළා. ඒ අවස්ථාවේ මට හිතවත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ඇවිත් කියනවා ගෘහපතිතුමනි, ඔබ අසවල් පන්සලේ ස්වාමින් වහන්සේට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ ඉතාමත් සිල්වන්ත හිමිනමක්. උන්වහන්සේට දානය පූජා කිරීම ඔබගේ භාග්‍යයක්. ඒ වගේම ගෘහපතිතුමනි, ඔබ එහා පන්සලේ හාමුදුරුවන්ට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ සකෘදාගාමි මාර්ගඵලලාභියෙක්. උන්වහන්සේට දෙන දානයත් අපතේ යාමක් නැහැ. ගෘහපතිතුමනි දකුණු ප්‍රදේශයේ පන්සලේ ස්වාමින් වහන්සේට දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඒ දානය මහත්ඵලයි මහානිශංසයි. ඒ වගේම ඔබ අර ඈත තිබෙන පන්සලේ ස්වාමින් වහන්සේටත් දානයට ආරාධනා කළානේ. උන්වහන්සේ නම් දුස්සීලයි. උන්වහන්සේට දෙන දානයේ නම් ඔබට කිසිදු පිනක් රැස්නොවේ කියා කිව්වා. ඉතින් මේක විශ්වාසවන්ත ආරංචියක්. දෙවියන් විසින් කියු පණිවුඩයක්. මේ ගෘහපතියා කියනවා ස්වාමිනි, මේ භික්ෂුව දුස්සීලයි කියල දැන දැනත් මම මගේ සිත රැක ගත්තා. මගේ සිතේ කිසිදු ද්වේෂයක්, කෝපයක් හටගත්තේ නැහැ. රහතන් වහන්සේට දානය පූජා කරද්දී මගේ සිතේ යම් මෛත්‍රියක් තිබුණාද? ඒ ආකාරයෙන්ම දුස්සීල භික්ෂුවට දානය පූජා කරද්දී මගේ සිතේ මෛත්‍රිය තිබුණා කියා මේ ගෘහපතිතුමා කියා සිටියා.
ඉතින් ඔබ සිතන්න ඔබ යමක් දෙනවානම් ඒ ලබන්නා කෙරෙහි ඔබේ සිතේ ද්වේශයක්, අකැමැත්තක් හට ගන්නේ ඇයි. ඔහු දුස්සීල නිසා. අප දන්නවා දුස්සීල කෙනෙකුට යමක් දුන් විට තමන්ට ලැබෙන ආනිශංස අඩු බව. එසේ නොමැතිව අනේ මේ දුස්සීල පුද්ගලයාට පවු කරන්න භයක් නැහැනේ කියා ඔහු ගැන අනුකම්පාවෙන් නොවේ. මේ දුස්සීල පුද්ගලයාට නොදී මේ දානය සිල්වත් කෙනෙකුට දුන්නානම් මට පින වැඩියිනේ කියා අපේ සිතට යම් කෝපයක් ඉස්මතු වෙනවා. එතැන බැඳීමක්, ආශාවක් තිබෙන්නේ. යමක් ලබන්නා දුස්සීලයි කිය කියා දැන දැනත් ඒ ඇතිවන පටිඝය තරහව, මානය, ක්ලේශය මැඬපවත්වන්න පුළුවන්නම් එයයි මහත්ඵල වෙන්නේ. එතැනයි නියමාකාරයෙන් කෙලෙස් හැකිළෙන්නේ.
නියම අතහැරීම
අප ආනිශංස පැත්ත බලාගෙනම දුන්නානම් නොදැනීම සංසාරය දිගු වෙනවා. දන් දුන් නිසා භවබෝග සම්පත් ලැබුණත් ඒ සමඟම කෙලෙස් වැඩිවෙනවා. ඒ නිසා සැබෑ අතහැරීම පදනම් කරගෙන යමක් දුස්සීල කෙනෙකුට හෝ දන් දෙනවානම් එය තමයි නියම අතහැරීම. ඒ නිසා සිල්වන්තයෙකුට වුවත් අතහැරීමේ අභිලාශයෙන් කර්මඵල දැනගෙන දන් දෙනවානම්, ඒ අතහැරීමත් ඉතා හොඳ අතහැරීමක්.
ඒ නිසා අප කම්පාවෙන්න හොඳ නැහැ අපරාදේ මම මේ මනුස්සයාට මේ දේ දුන්නේ. මට නොදී ඉන්න තිබුණායි යමක් දුන් පසු සිතන්න එපා. ඒ වගේම කෙනෙක් දැන දැනම දුස්සීල කෙනෙකුට යමක් දෙනවානම් ඒ දේත් වළක්වන්න එපා. සීලවන්ත හෝ දුස්සීල හෝ මොනයම් කෙනෙකුට දන් දීමක් කරනවිට වළක්වනවානම් එය පාපයක් වෙනවා.
බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි, යම් කෙනෙක් මඩ ගොඩක, ජරා වළක ඉන්න සතුන් කෙරෙහි කරුණාවෙන්, මෛත්‍රියෙන් කෑම කාලා පිගාන සෝදා මේ ඉඳුල් වතුර විසි කරද්දී සිතුවොත් මේ පුංචි ඉඳුල් කෑලි කාලා පුංචි සතෙකු හරි සුවපත් වේවා කියා එයත් එක් දානයක්. ඒ අනුව අපට එදිනෙදා තුන්වේලක් දානය දෙන්න පුළුවන්. අපේ නිවසේ තිබෙන ඉඳුල් සෝදන බේසමට හෝ හොඳ චේතනාවෙන් ඉඳුල් සෝදා දමනවානම් ඒ ඉඳුල් ගසාගෙන ගොස් යම් වළකට හෝ තැනකට ඒ ජලය රැස් වෙනවා. එතැන සිටින කුඩා ජීවින්ට එය ආහාරයක්. ඒ හැඟීමෙන් අවබෝධයෙන් යුතුව යම් කෙනෙක් කටයුතු කරනවා නම් නියම අතහැරීම එයයි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කළ හැකි උතුම් දානය

මහනුවර මල්වතුමහා විහාරවාසී, 
පුරාවිද්‍යා විශේෂවේදී 
ශාස්ත්‍රපති 
මැදමහනුවර ධම්මසිරි හිමි

සියලු දන්දීම් අතර ධර්ම දානයම උතුම් වන බව, විශිෂ්ඨ වන බව සම්බුදු දහමේ ඉගැන්වේ. ඒ අප විසින් සිතින්, වචනයෙන්, කයින් රැස්කර ගනු ලබන කුසල කර්මයන් ධර්මය ශ්‍රවණය කිරීමෙන්ම රැස් කරගන්නා නිසාය. බුදුරජාණන් වහන්සේ පහළවීමට පෙර සිටම යම් යම් දානයන්, පුණ්‍ය කටයුතු, ව්‍රත සමාදන් වීම සිදු විය. එහෙත් ඒවා කුසල කර්ම වූයේ නැත. බුද්ධ ශාසනයක් නැතිවද ‘පින්’ කර ගත හැකිය.
යම් තාපසවරුන්ගෙන්, ආගමික නායකයන්ගෙන් අසා, දැන ඉගෙන පින් රැස් කිරීමට පුළුවන.එහෙත් කුසල් රැස් කරන්නට නම් සම්මා සම්බුදු ශාසනයක් මුණ ගැසී, සම්මා සම්බුදුවරයෙකුගෙන් හෝ, ඒ ශාසනය තුළ නිවන් මඟ පාදා ගත් ආර්ය ශ්‍රාවකයකුගෙන් හෝ මාර්ගඵල අත්පත් කර ගන්නට පිළිවෙත් පුරන ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් ධර්මය අසා දැන ගත යුතු වේ.

‘සුනාථ ධාරෙථ චරාථ ධම්මේ’
මෙහි ‘ධාරෙථ’ යනු ධාරණය කර ගැනීමය. ‘චරාථ’ යනු ක්‍රියාත්මක කිරීමය. ධාරණයටත්, ක්‍රියාවටත් පෙර ශ්‍රවණය කළ යුතු ය. ‘සුනාථ’ නම් ශ්‍රවණයයි. ශ්‍රවණය කිරීමකින් තොරව ස්වයංභූඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නේ සම්මා සම්බුදුවරයාණන් වහන්සේ නමක් පමණි.
ධර්ම දේශනය කිරීම ධර්මය ප්‍රදානය කිරීම යැයි බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් පුළුල්ව ගත් කල කණ්ඩායමකට, විශාල පිරිසකට ආදී ලෙස දන්නා අය ලවා ධර්මය දේශනා කරවීම, ධර්මය දන්නා අය ලවා ලියවා ප්‍රසිද්ධ කිරීම, පොත්, පුවත්පත්, ධර්ම පත්‍රිකා බෙදාදීම, පරිගණක උපාංග භාවිතයෙන් ධර්මය ලොව පුරා ප්‍රචාරය කිරීම, තමන් විසින් ධර්මය ලියනු ලැබීම, බෙදා හදා ගැනීමට සැලැස්වීම ආදියද ධර්ම දානයට අයත් ය.
වතුපිටි, ආවාස, වැසිකිළි, කැසිකිළි තනවා පූජා කිරීම මහා කුසල් රැස්වෙන දානමය පින්කම් බව ධර්මයෙහි ඉගැන්වේ. එහෙත් ඒ සියල්ල අභිබවා ඉහළින්ම තබා ඇත්තේ, ධර්ම දානයයි.
සාංඝික දාන පිරිනමන්නට, වස්ත්‍ර පූජා කරන්නට ආහාර පූජා කරන්නට, දුගී මගීන්ට ආනිශංස දැන පිහිට වෙන්නට බලපාන්නේ ධර්මය අසා, කියවා ඉගෙනගෙන තිබීමය. ඒ අනුව වචනයකින් වුවද සත්පුරුෂ ධර්මය ප්‍රචාරය කිරීම පින් රැස්වන දෙයකි. ථූපාරාමය, මිරිසවැටිය, ලෝවාමහා ප්‍රාසාදය, රුවන්වැලි මහ සෑය ආදී බොහෝ වෙහෙර විහාර තනවා සම්බුද්ධ ශාසනයට පූජාකොට මහා පින්කම් කළ දුටුගැමුණු මහරජතුමා ඒ සියලු දානයන් පරදවා ධර්ම දානයම උතුම් වන බව භික්ෂූන්වහන්සේගෙන් අසා දැන ලෝවාමහා ප්‍රාසාදය වෙත පැමිණ ආසනයක් තනවා එහි හිඳ මහා මංගල සූත්‍රයෙන් බණ කියන්නට සූදානම් වූ බවත්, එසේ වුවද රජුට එක ගාථා පදයක් හෝ කියන්නට නොහැකි වූ බවත් අටුවාවේ කියැවේ. ඒ අවස්ථාවේ බණ කීමෙන් මෙන්ම, බණ පොත් ලියා බෙදා දීමෙන්, ධර්මය දන්නා අයලවා දේශනා කරවීමෙන් ධර්මදානමය පින්කම කරගත හැකි බවට භික්ෂූන් වහන්සේ රජුට අනුශාසනා කළහ. ඒ අනුව රජු, ගම් දහයකට එක ආරාමය බැගින් කරවා, භික්ෂූන් වහන්සේ වඩා හිඳුවා, සිව්පසය ලැබෙන්නට සලස්වා ධර්මය දේශනා කිරීමට අවකාශය සැලසූ බවද, ධර්මය ලියවා ප්‍රසිද්ධ කළ බව ද එහි විස්තර කැරේ.
‘අකනිටා බඹලොව‘ සම්බුදු දහමේ කියැවෙන්නකි. මහ පොළොවේ සිට අකනිටා බඹලොව දක්වා අහස්කුස පුරවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේට සිව් පසයෙන් දන් දෙනවාට වඩා එක ගාථා පදයකින් ධර්මය දේශනා කිරීමෙන් කුසල් රැස්වන බව ද ධර්ම සාහිත්‍යයේ විස්තර කැරේ.
ධර්ම දේශනයක් සඳහා ආරාධනා කරන අයට, බණ පදයක් ශ්‍රවණය කළ අයට, බණ පද දෙකක් ශ්‍රවණය කළ අයට ආදී ලෙස වෙන් වෙන් වශයෙන් ආනිශංස ලැබෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.
ආලවක යක්ෂයා බුදුරදුන් වෙත පැමිණ ප්‍රඥාව ලබන්නේ කෙසේදැයි විමසූ අවස්ථාවේ උන්වහන්සේ පෙන්වා දුන්නේ ‘ශ්‍රවණය කරන්නෝ ප්‍රඥාව ලබති’ යනුවෙනි. ප්‍රඥාව නම් ඇතිවන නැතිවන ස්වභාවය අවබෝධ කර ගැනීමය. චතුරාර්ය සත්‍ය, හේතුඵල ධර්මය වුවද අවබෝධ කර ගැනීමට ප්‍රඥාව ලබන්නේ ධර්ම කියවා අසා දැන ඉගෙන ගැනීමෙනි.
එහි පළමු සාක්ෂිය ලැබුණේ බරණැස ඉසිපතනයෙනි. බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් උදෙසා දේශනාකොට වදාළ ප්‍රථම ධර්ම දේශනාව, දම්සක් පැවතුම් සූත්‍රය ශ්‍රවණය කිරීමෙනි, සෝවාන් ඵලයට පත්වූ පළමු ශ්‍රාවකයන් වහන්සේ පහළ වන්නේ. එදා බුදු සව්වන් දේශනාකොට වදාළ ධර්ම දේශනා අසා මිථ්‍යා දෘෂ්ඨියෙන් මිදුණු බ්‍රාහ්මණයින්ගේ ප්‍රමාණය අප්‍රමාණය. තෘෂ්ණාව අත්හැර නිවන් පසක් කළෝ අප්‍රමාණය. ධර්මය අසා සිත පහදා ගත්තෝ, ධර්මානුකූලව දිවි මඟ සාර්ථක කර ගත්තෝ අප්‍රමාණය.
ඇඟිලි දහස සම්පූර්ණ කරන්නට බුදු හිමියන් පසුපස දිව යමින් ‘නවතිනු මහණ’ යි ගුගුළ අංගුලිමාලට ‘මම නැවතී සිටිමි, නුඹ නවතින්න’යි බුදු හිමියන් ප්‍රකාශ කළවිට අංගුලිමාල වැන්නත් සිතන්නට පටන් ගත්තේ ද ශ්‍රවණය කිරීමෙනි.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිපිටක ධර්මය පුරාම අන්තර්ගත වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, ත්‍රිලක්ෂණය ඈ ධර්ම කරුණු පිළිබඳවය. ධර්මදානයක් නම් ඒ දේශනාවන් තුළ එම ධර්ම කරුණු අන්තර්ගත විය යුතු ය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම පිළිබඳව යම් පහදාදීමක් විය යුතු ය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ධර්ම කරුණු විස්තර විය යුතුය. ඉහළ ආනිශංස ලැබෙන්නේ එවැනි ධර්ම දානයක් කළ අයටය. රේරුකානේ චන්දවිමල මහා නායක හාමුදුරුවන් විසින් රචිත කෙලෙස් 150 නැමැති දහම් ග්‍රන්ථයේ සඳහන් ලෙස ධර්ම දානයෙන් වුවද සිත කෙලෙසීමට, අපවිත්‍ර වීමට පුළුවන. ඒ දහම් දානය කරන ගිහි පුද්ගලයකු හෝ වේවා පැවිදි පුද්ගලයකු හෝ වේවා කීර්තිය, ප්‍රශංසාව, නම්බුනාම, ලාබය අත්පත් කර ගැනීමේ අපේක්ෂාවෙන් ධර්ම දානය කිරීමෙන්ය. දහම් දානය වුවද පරිෂ්කාර, ගරු බුහුමන් අපේක්ෂාවෙන් නොකළ යුතු ය. එවැනි අරමුණකින් දහම් දානය කරන්නාට නියම ආනිශංස හිමි වන්නේ නැත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

යහපත් ක්‍රියාවක අයහපත් චේතනාව

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

මනස සැහැල්ලුවෙන් තැන්පත්ව තබා ගැනීමට උත්සාහ කළ යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මනස සැහැල්ලුවෙන් තබාගැනීමට නොහැකිකම නිසා පුද්ගල ගැටලු සහ සමාජ ගැටලු ඇතිවන බවට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පුද්ගලික වශයෙන් ඇති වන ගැටලු නිසා සිත කය වචනය හසුරුවන්න යෑමෙන් සමාජයට අප විසින් කෙතරම් ප්‍රමාණයක ගැටලු ඇතිකරනවාද?
යනුවෙන් සිතා බැලුව හොත් එම ප්‍රමාණය විශාලයි. කිසියම් පුද්ගලයෙකු තමන් වැඩ කටයුතු කරනවා නම්,හොඳින් සිතල හොඳින් කල්පනා කරල එම කටයුත්ත කළ යුතුයි.භික්ෂූන් වහන්සේලාට වදාරා ඇත්තේද, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යනුවෙන්. භික්ෂූන් වහන්සේලා අමතමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේද, මහණෙනි චේතනාවම මම කර්මය හැටියට දක්වනවා.
තමන් කරනු ලැබුවා වූ කර්මය යහපත් දෙයක්ද, අයහපත් දෙයක්ද යනුවෙන් තීරණය කිරීම සිදුවන්නේ තමන්ගේ සිතිවිල්ල මතයි. මිනිසා සිතින් සිතාම කටයුතු කරයි. යමෙකු යමක් කරනවා නම්,එම කරන ක්‍රියාව කියන වචනය සිතන සිතිවිල්ල පවා සිතින් සිතාම සිද්ධ කරන බවයි. සිතින් ලබාගන්නාවූ අවසරය මත ක්‍රියාවක් කරන නිසා මහණෙනි, චේතනාවම කර්මය හැටියට දකිනවා.මනුෂ්‍යයෙකු හැටියට සමාජයට යම් යම් දේ ක්‍රියාත්මක කරන විට මූලික වශයෙන් සිත, කය වචනය යන තුන් දොර මෙහෙයවමින් සිදුකරනු ලබයි.
කයෙන්, වචනයෙන් යමක් සිදු කළත් ,තමන් කරනු ලබන ක්‍රියාව කළ යුතුද? නොකළ යුතුද? යන්න තමාට අවසරය ලබාදෙන්නේ තමාගේම සිතයි. කිසියම් වූ පුද්ගලයෙක් කිසියම් දෙයක් කළ විට එහි ප්‍රතිඵලය යහපත් හෝ අයහපත් විය හැකියි. සමාජයට පෙනෙන දේ යහපත හෝ අයහපත ලෙස තීරණය කරයි. කිසියම් පුද්ගලයෙකු කිසියම් දෙයක් කරන විට එය අයහපත් දෙයක් ලෙස සමාජයට පෙනෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවක එම ක්‍රියාවම යහපත් දෙයක් ලෙස සමාජයට සිතෙන්න පුළුවන්. සමහර අයෙකුට එම ක්‍රියාව හොඳ දෙයකුත් නොවන නරක දෙයකුත් නොවන ලෙස පෙනිය හැකියි. කිසියම් අයෙකු සමාජයට ක්‍රියාවක් කළ විට ප්‍රතිඵලයක් පෙනෙන්න තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනු ලබන්නේ සමාජයට පෙනෙන ප්‍රතිඵලය වෙනත් එකක්. පුද්ගලයාට එහි අර්ථය සිත සුව පිණිස පවතින්නේ ඔහුගේ සිතිවිල්ල මත බවයි.
කිසියම් පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවුණ කතාබහක් තවත් අයෙකුට හෝ ආයතනයක ප්‍රධානියාට හෝ කියනවා නම්,එම කීම කේලමක් බවට පත්වෙනවාද? නැද්ද? එය අකුසලයක්ද, කුසලයක්ද බවට පත්වන්නේ කියන පුද්ගලයාගේ සිතිවිල්ල මතයි. එම පුද්ගලයා ඇත්ත ප්‍රකාශ කළත් ඔහු එම ඇත්ත ප්‍රකාශ කරන්නේ ආයතන ප්‍රධානියා සමඟ බිඳවීමේ අදහසින් විය හැකියි. එම දෙදෙනා අතර ගැටුමක් ඇතිකිරීමේ අදහසින් ඔවුන් බිඳවීමේ චේතනාව ඔහු තුළ පවති. ආයතන ප්‍රධානියාත් සමඟ ගැටුමක් ඇති කිරීමෙන් ඔහුට ලාභයක් ඇති වෙනවා වෙන්න පුළුවන්. එම ලාභය හෝ වාසිය ලබාගැනීමේ චේතනාව වෙනත් චේතනාවක් වෙයි. එම දෙදෙනා බිඳවීීමේ චේතනාව වෙනත් එකක් වෙයි. වෙනත් චේතනාවක් සිත තුළ තබාගෙන එම දෙදෙනා බිඳවීමේ අදහසින් ප්‍රකාශ කරනු ලැබුෙවි බොරුවක් නොවිය හැකියි. දෙදෙනෙකු බිඳවීමේ චේතනාවෙන් තවත් අයෙකු යම් කිසි ස්ථානයක සිදුවුණ සිද්ධියක් ප්‍රකාශ කිරීම කේලමක් බවට පත්වෙයි. අප අපගේ ජීවිතය තුළ අපගේ කටින් කෙතරම් ප්‍රකාශ ප්‍රමාණයක් ප්‍රකාශ කර ඇතිද?එම ප්‍රකාශ තමන් කුමන චේතනාවෙන් කළාද? කියන කාරණාව දන්නේ තමන් පමණයි. කිසියම් තැනැත්තෙකු හෝ තැනැත්තියක කිසියම් ක්‍රියාවක් කළාට පසුව සමාජයට එහි ප්‍රතිඵලය දකින්නට ලැබෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරයි. ඇතැම් අවස්ථාවල එයින් සමාජයට ලැබෙන ප්‍රතිඵලය යහපත් දෙයක් විය හැකියි. පුද්ගලයෙකු යහපත් චේතනාවෙන් යහපත් ක්‍රියාවක් කරනවා විය හැකියි. ඒ වගේම යහපත් චේතනාවෙන් අයහපත් ක්‍රියා කරනවා විය හැකියි. අයහපත් ෙචිතනා පෙරදැරිව යහපත් වැඩ කරනවා වෙන්නත් පුළුවන්. අයහපත් චේතනා පෙරදැරිව අයහපත් වැඩද කළ හැකියි. මිනිසුන් යහපත් ක්‍රියා සහ අයහපත් ක්‍රියා කරන බවයි.යහපත් ෙචිතනාවෙන් යහපත් වැඩද අයහපත් චේතනාවෙන් අයහපත් වැඩ කරන බවට කොටස් දෙකකට අප විසින් බෙදනු ලබයි.
යහපත් චේතනාවෙන් යහපත් ක්‍රියාවක් කිරීම එතරම් ගැටලු සහගත නොවෙයි. අයහපත් චේතනාවෙන් අයහපත් ක්‍රියාවක් කිරීම එතරම් ගැටලු සහගත නොවෙයි. අයහපත් චේතනාවෙන් යහපත් වැඩ කරන අවස්ථාද නැතුවා නොවෙයි. වේතනාව අයහපත් වුවත් , එම ක්‍රියාව සමාජයට යහපත් ක්‍රියාවක් ලෙස දක්නට ලැබෙයි. රට තුළ මාර්ග හැදීම යහපත් ක්‍රියාවක්. මිනිසුන්ට නිදහසේ ඉඩකඩ ඇතිව ලස්සන පරිසරයක ගමන් කළ හැකියි. පාර හැදීමට කොන්ත්‍රාත් බාරගන්න පුද්ගලයා තමන් ලබාගත් කොන්ත්‍රාත් සියල්ලම තමාගේ ඥාතීන්ටම ලබාදෙයි. බුදුරජාණන් වහන්සේ ඥාතීන්ට සැළකිය යුතු බවට දේශනා කළ බව සත්‍ය වුවත්,ඥාතීන්ට සැළකීම යහපත් කාරණාවක් වුවත්, පොදු මහජනතාවගේ පොදු කටයුත්තක් කිරීමට තිබෙන මුදලින් තමන්ගේ ඥාතීන්ට සැළකීම වැරැදියි. ඔහුගේ පුද්ගලික ධනයෙන් ඥාතීන්ට සැළකීම යහපත් ක්‍රියාවක්.
එම කටයුත්ත කරන අවස්ථාවෙහි තමන්ට කොමිස් මුදලක් ලැබෙයි. එම කොමිස් මුදල ලබාගැනීම ඔහුට අකුසලයක් නොවෙයි. ඔහු කොමිස් මුදලෙහි ප්‍රමාණයට අනුව කටයුත්ත අවසන් කර කටයුත්ත සඳහා ලබාදී ඇති මුදල තමාගේ කොමිස් එකට ලබාගෙන එම මුදල පරිහරණය කිරීම අකුසල ක්‍රියාවක් වෙයි. රට තුළ පවතින සම්මත ක්‍රමයට අනුව තමාට හිමි විය යුතු මුදල ලබාගැනීම අකුසලයක් නොවුනත් ,ඔහුගේ චේතනාව වෙනත් ආකාරයට මුදල් ලබාගෙනත් තමන් එම පාර හැදූ බවටද ඔහු විසින්ම ප්‍රකාශ කරයි. එසේ පාර හැදුවත්, සමාජයට පාරක් හැදී තිබෙන නිසා එය යහපත් වැඩක් වෙයි. නමුත් ඔහු යහපත් ක්‍රියාව සිදුකරනු ලැබුවේද, අයහපත් චේතනාවෙන්. සමාජයට යහපත් කටයුත්තක් කළත් ඔහු අකුසලයක් සිදුකර ගනී. එම පුද්ගලයා කරනු ලැබූ ක්‍රියාවේ චේතනාව අයහපත් නිසා ඔහුට අකුසලයක් සිදුවුණා.
මෙම සමාජය තුළ ඇතැම් පුද්ගලයන් අයහපත් චේතනාවන් තබාගෙන සමාජයට යහපත් වැඩ කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන අවස්ථා තිබෙනවා.
කිසියම් දරුවෙක් එම දරුවාගේ අම්මා සමඟ ඉතාමත් තරහෙන් සිටියා.කුඩා කල සිටම දරුවාට ආහාර පාන ,බේත් හේත් , ඇඳුම් පැලඳුම් හා එයට අමරතර සියලු වැඩ කටයුතු කරදෙමින් අම්මා සහ තාත්තා දරුවෙකුට සිවු පසයෙන් සළකනවා. අම්මා තාත්තා දුක් මහන්සියෙන් හම්බ කළ මුදලින් දරුවන්ට නොමිලයේම සිවිපසය ලබාදෙන බව දරුවන්ද දැනගත යුතුයි. කෑම බීම, බේත් හේත් ලබාදෙමින් දුක සැප බලන අම්මා තාත්තා සමඟ ඇතැම් දරුවන් රණ්ඩු සරුවල් ඇති කරගනු ලබන අවස්ථා නැතිවා නොවෙයි. අම්මා ගහන බවට එම දරුවා අම්මාට චෝදනා කරයි.වර්තමාන සමාජ පරිසරය තුළ දරුවෙකු ලොකු මහත් වෙන විට බයක් දනෙන බවත් සමාජය තුළ සිදුවන සිදූවීම් රූපවාහිනිය ගුවන්විදුලිය බලන විට දරුවන් හැදීමට විශාල බයක් තිබෙන නිසා දරුවාට දඩුවම් කර හෝ යහපත් ලෙස හඳාගත යුතු බවට අම්මා ප්‍රකාශ කරයි.දරුවා යහපත්ව හඳාගත යුතුබවට එම අම්මා තුළ පවතින චේතනාව අයහපත් නැහැ. සංසාර කර්මයට අනුව කර්මානුරෑපිව තමන්ට ලැබුණ දරුවා යහපත්ව හඳාගත යුතුයි. සංසාරය පුරා ලේ ඥාතීත්වය අනුව දරුවෙකු අම්මාගේ කුස පිළිසිඳ ගනී.සංසාරය කිසියම් සම්බන්ධයක් අනුව දරුවෙකු ලැබෙයි.තමාට ලැබී තිබෙන ඥාතීන් ගිය ආත්මවල සිටි ඥාතීන් විය හැකියි. ලබන ආත්මය තුළත් දැන් ලැබී සිටින ඥාතීන්ම සිටිය හැකියි. එවැනි ආකාරයට සංසාර සම්බන්ධයක් මත ලැබෙන දරුවා යහපත් ලෙස හඳාගත යුතු චේතනාව අයහපත් චේතනාවක් නොවෙයි. තමාගේ හොඳම මිත්‍රයා දවසේ තුන් වේලටම මතකයට නැඟෙනවා සේම තමාගේ හොඳම හතුරාද දවසේ තුන් වේලටම මතක් විය හැකියි. හතුරුකමත් සංසාර සම්බන්ධයක් ලෙස පැමිණෙයි. මිතුරුකමත් සසර සම්බන්ධයක් වෙයි.සමහර දරුවන් එම කාරණාව තේරුම් ගන්නේ නැහැ.
මට මවු පදවිය ලැබුණ දිනේ
ඔබේ අගේ දැනුනා අම්මේ

යනුවෙන් ඇතැම් දූවරුන්ට අම්මාගේ අගය දැනෙන්නේද ඇයට දියණියක් ලැබුණ දවසටයි. ඇතැම් දියණිවරුන්ට එලෙසවත් තේරෙන්නේ නැහැ. අම්මා තාත්තා හතුරෙක් ලෙස සිතයි. තමාගේ ලේ ඥාතිවරුන්ට එලෙස සැළකීම එතරම් හොඳ නැහැ.තමන්ගේ දරුවා ලොකු මහත් වෙනකොට වැරැදි ආශ්‍රයට යන නිසා නිතරම තරවටු කරමින් හැම දෙයටම එපා කියන බව අම්මාවරුන් පවසයි. අම්මාගේ චේතනාව යහපත් උදාර ෙචිතනාවක් දරුවාට ගුටිගහන විට දරුවාට රිදෙයි. දරුවා හදාගැනීමේ චේතනාව යහපත් වුණත් කරන ක්‍රියාව අයහපත් ක්‍රියාවක් වෙයි.දරුවෙකුට සැම විටම තරවටු කරනවා නම්, එය අම්මාගේ අයහපත් ගතිගුණයක්. අම්මාගේ සිතිව්ල්ල කෙතරම් යහපත් වුවත්,කරන ක්‍රියාව හොඳ දෙයක් නොවන නිසා එවැනි ක්‍රියා අතහැර දැමිය යුතුයි. දරුවාට එපා කියනවාට වඩා දරුවා කළ යුතු නොකළ යුතු දේ පහදා දිය යුතුයි.දරුවා කළ යුතු දේ පහදා දීමට අම්මාද ටිකක් සිතිය යුතුයි. දරුවාට යමක් කිරීමට එපා කියන්න අම්මාට උගත්කමක්,බුද්ධිමත්කමත් ,තැන්පත්කමක් අවශ්‍ය නැතත් දරුවා කළ යුතු දේ පහදා දීමට අම්මා බුද්ධිමත් විය යුතුයි. දරුවා හුරු කළ යුත්තේ කුමන දිශාවටද සිතා දරුවාට එම පැත්තෙහි දේ ආශාවෙන් කිරීමට දරුවා හුරු කළ යුතුයි. එසේ සිතන අම්මාවරුන් අපගේ සමාජයට අවශ්‍ය වුවත්,එවැනි අම්මාවාරුන් අඩුවීම අවාසනාවක්.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X