වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

කුසලයට බාධා කිරීමේ විපාක


ඇතැම්හු තමන් කුසල් නොකරනවා පමණක්‌ නොව අන් අය කරන කුසලයටද බාධා කරති. නිග්‍රහ කරති. එයද රත්නත්‍රය කෙරෙහි වරදවා පිළිපැදීමකි. ලෝක සම්මත වූ අන්‍ය අකුසලයක්‌ නොකළත්, කුසලයට බාධා කිරීම දරුණු විපාක ගෙනදෙන මහත් අකුසලයකි.

ධාතු විවණ්‌ණක ප්‍රේත වස්‌තුව

පෙර රජගහ නුවර ධන ධාන්‍යාදියෙන් සමෘද්ධිමත් වූ ධනපතියෙක්‌ විය. හෙතෙම රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයක්‌ නැති කුසලයෙහි අගය නොදන්නා අධර්මිෂ්ඨයෙකි. එනුවර තථාගතයන් වහන්සේගේ ධාතු නිදන්කොට මහා චෛත්‍යයක්‌ ඉදි කරන ලදී. එම චෛත්‍ය පූජාව සඳහා සිය දහස්‌ ගණනින් ජනයා සැදැහැ සිතින් රැස්‌වූහ. එම ධනපතියාගේ බිරිඳ, දියණිය සහ ලේලියද මල් සහ සුවඳ විලවුන් රැගෙන සැදහැ සිතින් චෛත්‍ය පූජාවට යාමට සැරසුණත් ඔහු විසින් එය වළක්‌වන ලදී. චෛත්‍ය පූජාවට ගරහා අපවාද කොට අන්‍යයන්ද කුසලයෙන් වැළැක්‌වීය. මෙසේ හෙතෙම, තමනුත් කුසලයෙන් පිරිහෙමින් අන්‍යයන්ගේ කුසලයටද බාධා කිරීමෙන් හා සත් ක්‍රියාවන්ට පරිභව කිරීමෙන් මහත් අකුසලයක්‌ රැස්‌ කර ගත්තේය.

එහෙයින් හෙතෙම මරණින් මතු එම අකුසලයේ විපාක වශයෙන් ප්‍රේත ලොව ඉපිද මහත් දුකට පත්විය. එම ප්‍රේතයාගේ කයින් දුඟඳ හමයි. කුණු ගඳ හමන මුහුණ නිරතුරු පණුවෝ කති. අකුසල කර්ම බලයෙන්ම නිර්මිත වූ සත්වයෝ තියුණු ආයුධ ගෙන ඔහුගේ මුඛය නැවත නැවත කපති. නැවත ඒ මත ලුණු දියර ඉසිමින් නැවතද කපති. මෙසේ නිරා දුක්‌ හා සමාන වූ මහ දුක්‌ විඳින මේ ප්‍රේතයා දැක කරුණු විමසූ එක්‌ තෙර නමකට තමන් පෙර භවයේ කරන ලද අකුසල කර්මය හෙළි කළේය. තවද දිව්‍යමය වූ වස්‌ත්‍රාභරණයෙන් සැරසී දිව මල් පැළඳ හාත්පස සුගන්ධය පතුරුවමින් ආකාශයේ සැරිසරන, පිරිවර සහිත වූ සුරූපී දෙවඟනන් තිදෙනෙකු පෙන්වා මෙසේ කීය.

"ස්‌වාමීනි, මා විසින් වළකන ලද වුවත් රත්නත්‍රය කෙරෙහි සැදැහැ සිතින් කුසල් කළ ඒ ස්‌ත්‍රීහු අද දෙව් සැපතින් සමෘද්ධව සිටිති. රත්නත්‍රය පිදීමේ විපාක බලනු මැනවි."

"ආශ්චර්ය වූ අද්භූත වූ ඒ මහා කුසල විපාක දැක නුවණැත්තෝ තථාගතයන් වහන්සේට නමස්‌කාර කරති. පූජා කරති. මමද මෙයින් චුතව මිනිසත් බව ලැබ නොපමාව කුසල් දහම් වඩන්නෙමි. බුදුරදුන් පුදන්නෙමි" යි එම ප්‍රේතයා කුසලයේ විපාකයත්, එබඳු කුසලයකට බාධා කිරීමේ හා ගැරහීමේ විපාකයත් එකම තැන ගෙනහැර දැක්‌වීය. එහෙයින් නුවණැත්තෝ කිසි විටෙක අන් අයගේ කුසලයට බාධා නොකෙරෙත්වා·

ඇතැම් අය අන්‍යයන් කුසල් කරද්දී තමන්ගේ දැන උගත්කම් හා විචක්‌ෂණ බව පෙන්වන්නට යාමෙන්ද, තමන්ගේ සිතැඟි පරිදි එය කරවන්නට උත්සාහ කිරීමෙන්ද, අඩු වියදමින් හෝ වඩා හොඳින් කරන්නට උපදෙස්‌ දීමෙන්ද නොදැනුවත්වම අන්‍යයන්ගේ කුසලයට බාධා පමුණුවති. නොදැන කළත් එයින් සිදුවන අකුසලයේ අඩුවක්‌ නැත. නොදැන ඇල්ලුවත් ගින්නෙන් අත පිළිස්‌සෙන්නාක්‌ මෙනි. තවද මනසේ පහලවන ක්‌ලේශයෝ ඇතැම් විට හඳුනාගත නොහැකි ලෙස වෙනත් මුහුණුවරකින් පැමිණෙති. ඊර්ෂ්‍යාව-ගුණගරුක භාවය ලෙසින්ද, මසුරුකම ප්‍රඥව ලෙසින්ද, අන්‍යයන්ගේ යහපත් ක්‍රියා හෙලා දැකීම-විචාර බුද්ධිය වශයෙන්ද, බොහෝ දෙනා වරදවා වටහා ගනිති. එසේ තමන්ගේම මනස මුලා කරමින් වෙනත් මුහුණුවරකින් පැමිණෙන ක්‌ලේශයෝ වංචක ධර්ම නම් වෙති. මෙම වංචක ධර්මයන්ගෙන් මුලාවෙන බොහෝ දෙනා විශාරදයන් ලෙස අන් අයට උපදෙස්‌ දෙමින් ඔවුන්ගේ කුසලයටද බාධා කරති. තමන්ද කුසලයෙන් පිරිහෙති. නොදැන උපදෙස්‌ දුන්නත් එයින් කුසලයට බාධා පැමිණේ නම් එහි විපාකය තමන් වෙත පැමිණෙන බව ලකුණ්‌ඨක භද්දිය තෙරුන් වහන්සේගේ කථා පුවතින්ද පැහැදිලි වේ.

ලකුණ්‌ඨක භද්දිය තෙරණුවෝ

ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර ලොව පහලවූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවි කල්හි ශ්‍රී දේහය ආදාහනය කිරීමෙන් පසු ශාරීරික ධාතූන් වහන්සේ නොවිසිරී ඒකඝනව පැවතුනි. එම සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කොට ස්‌වර්ණමය වූ චෛත්‍යයක්‌ ඉදිකිරීමට සැළසුම් කළහ. එම චෛත්‍යය යොදුන් සතරක්‌ උසට ඉදිකිරීමට ඇතැම්හු යෝජනා කළහ. එයට රන් බොහෝ වැය වන බැවින් තුන් යොදුනක්‌ උසට ඉදිකළ යුතු යයිද, යොදුන් දෙකක්‌ උසට ඉදිකළ යුතු යයිද විවිධ යෝජනා මතුවිය. එම චෛත්‍ය කර්මාන්තය කරගෙන යාමට භාරකර තිබූ කාර්මිකයන්ගෙන් ප්‍රධානියා එහිදී ඉදිරිපත් වී වඩා පහසු නිසා මෙම චෛත්‍යය යොදුනක්‌ උසට ඉදිකරමු යෑයි යෝජනා කොට ඒ සඳහා අවශ්‍ය විධි විධාන යෙදීය.

ඔහු විසින් චෛත්‍ය ඉදිකිරීමේ කුසලකර්මය සිදුකර ගත් නමුත් අනන්ත ගුණ ඇති බුදුරදුන් වෙනුවෙන් කරවන චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමේ විපාකයෙන් උපනුපන් භවයන්හිදී අතිශයින් මිටි වූ කුඩා ශරීරයක්‌ ඇතිව ඉපදිනි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහලවෙන සමයෙහි මොහු සැවත් නුවර ධනවත් පවුලක ඉපිද "භද්දිය" කුමරා යයි නම් ලැබූහ. අතිශයින් මිටි වූ ශරීරයක්‌ ඇති නිසා පසු කලෙක "ලකුණ්‌ඨක භද්දිය" නමින් ප්‍රසිද්ධ විය. පෙර කරන ලද කුසල් බලයෙන් හා පුරන ලද පාරමිතා බලයෙන් බුදු සස්‌නෙහි පැවිදිව මහ රහතන් වහන්සේ නමක්‌ වූහ. චෛත්‍යය කුඩා කරන්නට උපදෙස්‌ දීමෙන් සිදුකරගත් වරද බොහෝ ආත්මයන්හි විපාක දී අර්හත්වයට පැමිණෙන අවසන් භවයේ ද විපාක දෙන්නට තරම් බරපතල විය.

පොකුණුවිට ශ්‍රී විනයාලංකාර රාමවාසී
පූජ්‍ය කුකුල්පනේ සුදස්‌සී හිමි

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

වපුරන දේ අනුව ලැබෙන අස්වැන්න

දකුණු කළුතර 
ශ්‍රී පූර්වාරාම ධර්මවිජය පිරිවෙනේ 
විහාරාධිපති 
මහාචාර්ය 
නෙලුවේ සුමනවංස හිමි

ලෝක ක්‍රියාකාරිත්වය පිළිබඳව විමර්ශනශීලිව බලන්නෙකුට සියල්ලම කර්මයෙන් සිදු නොවන බව තේරුම් ගැනීමට පුළුවන. හිරු සඳු උදාවීම අව්ව .වැස්ස ඇතිවීම, ගංගා ,ඇලදොළ පහළට ගලා බැසීමාදියට කර්මයේ බලපෑමක් නොමැත. ඒ ඒ තැනැත්තාට පෞද්ගලිකව බලපාන දේ සඳහා කර්මයේ බලපෑමක් ඇති වුවද ලෝක ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානුයේ සෙසු නියාම ධර්මයන්ය.
කර්මය යනු සිතා මතා කරන, කියන හා සිතන දේය. ඒ අනුව සිත, කය, වචනය යන තුන්දොරින් සිදුකරන හැම කි‍්‍රයාවක්ම කර්ම සංඛ්‍යාවට ඇතුළත් වේ.
සමස්ත විශ්වයම සකස් වී ඇත්තේ හේතුඵල රටාව අනුවය. එය නිවැරදිව වටහා නොගත් ශාස්තෘවරුන් සියල්ල සිදුවන්නේ කර්මය අනුව යැයි වැරදි මතයක් සමාජගත කර තිබේ. ‘පුබ්බේකතහේතුවාද’ යැයි පාලි මූලාශ්‍රයන්හි සඳහන් වන මෙයින්, බුද්ධ කාලය වන විටද ‘සියල්ල පෙර කර්මයෙන් සිදුවන්නේය යන ඉගැන්වීම භාරතය පුරා ව්‍යාප්තව තිබිණ. මෙම අදහස සත්‍ය නොවන බව අවධාරණය කළ බුදුරජාණන් වහන්සේ ලෝක ක්‍රියාකාරිත්වය සිදුවන්නේ නියාම ධර්ම පහක් යටතේ බව පෙන්වා දුන්හ. එනම් උතුනියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම හා කම්ම නියාමයයි. ශීත, උෂ්ණාදී දේශගුණික විපර්යාස නිසා ඒ , ඒ කාලයන්හි විවිධ මල්ඵල ඇතිවීම උතු නියාමයයි. බීජය අනුව අංකුර ඵල ඇතිවීම බීජ නියාමයයි. සිතක් ඇතිව, පැවතී නැතිව යාම චිත්ත නියාමයයි. ගංගා පහළට බැසයාම සුර්යයා නැගෙනහිරෙන් උදාවීමාදිය ධම්මතා නියාමයයි. තම තමන් විසින් කළ කී දෑ අනුව සැප දුක් ආදිය ලැබීම කර්ම නියාම නම් වේ. සියල්ල කර්මයෙන් සිදුවන්නේ නම් මිනිසාට හැම දෙයක්ම සිදුවන තෙක් බලා සිටිනවා හැරෙන්නට කළ යුතු යමක් නොමැත. .
චුල්ලකම්මවිභංග සූත්‍රයේදී සුභ මානවක විසින් දිගු ආයුෂ ලැබීම, කෙටි ආයුෂ ලැබීම, බහු ආබාධ, අල්පාබාධ, දුප්පත් පොහොසත්, අල්පේශාක්‍ය මහේශාක්‍යාදි ප්‍රභේද මානව සමාජය තුළ ප්‍රකට වන්නේ ඒ ඒ තැනැත්තා විසින් ඊට සරිලන දෑ සිදුකර ඇති හෙයිනැයි පෙන්වා දී තිබේ. මුගලන් තෙරුන් සොරුන්ගෙන් දඬුවම් ලැබීම, චක්ඛු පාල තෙරුන්ගේ ඇස් අන්ධවීම, පූතිගත්තතිස්ස හිමි රෝගී වීම සිදුව ඇත්තේ එසේ වීමට අවශ්‍ය දේ ඔවුන් විසින් සිදුකර තිබීම හේතුවෙනි.
ලෝක ක්‍රියාකාරිත්වය පිළිබඳව විමර්ශනශීලිව බලන්නෙකුට සියල්ලම කර්මයෙන් සිදු නොවන බව තේරුම් ගැනීමට පුළුවන. හිරු සඳු උදාවීම අව්ව .වැස්ස ඇතිවීම, ගංගා ,ඇලදොළ පහළට ගලා බැසීමාදියට කර්මයේ බලපෑමක් නොමැත. ඒ ඒ තැනැත්තාට පෞද්ගලිකව බලපාන දේ සඳහා කර්මයේ බලපෑමක් ඇති වුවද ලෝක ක්‍රියාකාරිත්වය කෙරෙහි බලපානුයේ සෙසු නියාම ධර්මයන්ය. ඒ ඒ උදවිය ඒ ඒ කර්මයන් සිදුකර ඇති හෙයින් ඒවා අනුව ක්‍රියාත්මක වීමට ලෝකයට හැකියාවක් නොමැත.
කර්මය පිළිබඳ බුදුරදුන්ගේ පැහැදිලි කිරීම තමා සාදා ගනු ලබනුයේ තමාම විසින්ය. තමා තමාගේ ක්‍රියාවන්ම දායාද වශයෙන් ලබන්නේය. තමා තැනෙන්නාවු සන්දර්භය නම් තමාම කරන කර්මයෝය. තමාගේ ඥාතීන් වන්නේ තමා විසින් කරනු ලබන ක්‍රියාවන්ය. කර්මයන්ය. තමා කරන්නේ හොඳ වු ක්‍රියාවක්ද නරක වු ක්‍රියාවක්ද තමා එයට හිමිකරුවා වන්නේය, යන්නයි. පුද්ගලයා දිගු සසර ගමනක නියැලී සිටින්නේ කර්මය නිසා විපාකයත්, විපාකයන් නිසා නැවත නැවත කර්ම රැස් කිරීමත් කර්ම විපාක නිසා පුනර්භවයක් සිදුවන හෙයිනි.
බෞද්ධ ඉගැන්වීම්හි අවධාරණය කර ඇත්තේ යමක් සිදුකොට ශෝකවීමට සිදුවේද, යම් දෙයක විපාකය කඳුළින් ගෙවීමට සිදුවේද එවැන්නක් නොකරන ලෙසය. යමක් සිදුකොට පසුතැවීමට පත් නොවේද යමක විපාකය සතුටු සිතින් විඳීමට හැක්කේද එවැන්නක් කරන ලෙසය. තමාට අයහපත පිණිස පවත්නා දේ නොකිරීමට සෑම දෙනෙකු විසින්ම වගබලා ගත යුත්තේය. අස්වැන්න ලැබෙන්නේ වපුරන දේ අනුවය. විපාක ලැබෙන්නේද කර්මයට සමාන වන පරිද්දෙනි. ඒ වපුරන ප්‍රමාණය සිය දහස් ගුණයකින් වර්ධනය වී අස්වැන්න ලැබෙන්නා සේ කළ කී දෑහි ප්‍රමාණයට වඩා විපාක ලැබෙන්නේය. එක් එළුදෙනකගේ හිස සිඳි කාන්තාවකට එම එළු දෙනගේ ඇඟ තිබු රෝම ගණණට හිස සිඳ මරණයට පත්වීමට සිදුවිය. එක් භවයක තම අන්ධ දෙමාපියන් රවටා, කැළයට ගොස් දඬුමුගුරුවලින් පහරදීම නිසා මුගලන් තෙරුනට එතැන් සිට අන්තිම ආත්මය දක්වාම සොරුන්ගෙන් පහරකෑමට සිදු විය. වියතක් පමණ වස්ත්‍රයකින් දියබෙරලිය මලකින් බුදුරදුන් පිදූ උදවිය දිව්‍යලෝකයන්හි මහානුභාව සම්පන්න යස ඉසුරින් පිරි දේවතාවුන්, දිව්‍යාංගනාවන් බවට පත්වූයේද ඒ අනුවය.
කර්මයෙන් සියල්ල සිදු නොවුවද කර්මය මිනිසාගේ උපතේ සිට මරණය දක්වාත් ඉන් ඔබ්බටත් ප්‍රබල බලපෑමක් සිදුකරයි. කර්මයේ බලපෑමෙන් ඈත්වීමට පුද්ගලයෙකුට හැකියාවක් නොලැබෙන බව පැහැදිලිය. පෙර භවයන්හි අප රැස්කරගත් දේ අනුව මේ භවය ලැබී තිබේ. එය ජනක කර්මයයි. උපන් මොහොතේ සිට සැප සම්පත්, හෝ දුක්විපත් ආදිය ලැබෙන්නේ උපත්ථම්භක කර්මය අනුවය. කුසල ජනක කර්මයකින් උපන් අයට අතරමගදී පීඩාකාරි තත්වයන් ඇතිවීම මෙන්ම අකුශල ජනක කර්මයකින් උපන් අයට අතරමගදී සැප විපාක උදාවන්නේ උපපීඩක කර්මයේ බලපෑම හේතුවෙනි. ජනක කර්ම ශක්තිය සම්පූර්ණයෙන්ම නැතිවී යාමෙන් පුද්ගලයා මරණයට පත් වේ. ඒ උපඝාතක කර්ම ලෙස දක්වා තිබේ.
අප විසින් රැස්කරනු ලබන කර්මයන් විපාක දීමට යොමු වන පිළිවෙළක් තිබේ. මරණාසන්න අවස්ථාවේදී මෙලොවදී පහළ වන අන්තිම සිත වන චුති සිතට අරමුණු වන්නේ තම ජීවිත කාලය තුළ සිදුකරන ලද බරපතලම කර්මයයි. එය ‘ගරුකකර්ම ලෙස නම් කර තිබේ. එවන් බරපතල කුසල හෝ අකුසල කර්මයක් සිදුකර නොමැතිවිටක ‘ආසන්න කර්මය’ චුති සිතට අරමුණු වේ. එනම් මරණාසන්නයේදී කළ කර්මයයි. එවැන්නකුදු නොමැත්තේ නම් ජීවිත කාලයේ නිරතුරුව පුරුදු පුහුණු කළ කර්මය ඉදිරිපත් වී ඒ අනුව ප්‍රතිසන්ධිය ලැබේ. එය නම් කර ඇත්තේ ආචිණ්ණ කර්ම යනුවෙනි. නිතර නිතර සිදුකළ කර්මයකුදු නොමැති විටෙක “කටත්තා කර්මය’ චුති සිතට අරමුණු වේ. නම් කළ පමණින්, අවධානයකින් තොරව සිදුකරගත් කර්මයන්ය. මුලින් සඳහන් කර්ම නොමැති විටෙක අතගැසීමක්, මල් වට්ටියකට අත ගැසීමක්, සුළු හොරකමක් වැනි දේ කටත්වා කර්මයට ඇතුළත් වේ.
කර්මය විපාක දෙන කාලය අනුව සිවුවැදෑරුම් වේ. අප විසින් සිදුකරනු ලබන හොඳ හෝ නරක ක්‍රියාවක කොටසක් මෙලොවදීම විපාක ලැබේ. දිට්ඨධම්මවේදනීය කර්ම ලෙස දක්වා ඇත්තේ එයයි. යහපත් දේ සිදුකරන්නවුනට යහපත් ප්‍රතිඵල ද අයහපත් දේ කරන්නවුනට අයහපත් ප්‍රතිඵලද ඒ අනුව මේ භවයේදීම ලැබේ. පුද්ගලයාගේ මරණයත් සමඟම විපාක ලැබෙන කර්ම තිබේ. ඒවා උපපජ්ජවේදනීය ලෙස නම්කර තිබේ. ආනන්තරීය පාපකර්ම කළවුන් මරණින් පසු දුගතිවල උපත ලබන්නේද ධ්‍යාන වැඩූ උදවිය මරණින් මතු බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නේ උපපජ්ජවේදනීය කර්මයේ විපාක වශයෙනි. කළ මොහොතේ සිට සසර ගමනේ කෙළවර දක්වා දිගින් දිගටම නැවත නැවතම විපාක දෙන කර්ම තිබේ. එය අපරාපරිය වේදනීය කර්ම නම් වේ. හැම කෙනෙකුටම පාහේ ජීවිත කාලය තුළ හොඳ මෙන්ම නරකද දිගින් දිගට ලැබෙනුයේ ඒ අනුවය. ශීතලට අසුවී උණ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම, ගල්බොරළු පෑගීම , මැසි මදුරු උවදුරු වන හැමදේම කර්මයෙන් සිදුවන්නේ නොවේ. සෙසු නියාම ධර්මයන්ගෙන් සිදුවන බලපෑම්වලටද මිනිසාට මුහුණ දීමට සිදුවේ. සියල්ල පෙර කර්මයෙන් සිදුවේය යන පුබ්බේකතහේතුවාදය ද සියල්ල ඊශ්වරගේ හෝ බ්‍රහ්මන්ගේ කැමැත්ත පරිදි සිදුවේය යන ඉස්සරනිම්මාණවාදය ද සියල්ල සිදුවන්නේ ඉබේටය .හේතුවක් ප්‍රත්‍යයක් නොමැතිව යන අහේතුඅප්පච්චයවාදය ද බුදුදහමේ ප්‍රතිප කර ඇත. සියල්ල සිදුවන්නේ පඤ්චනියාම ධර්මයන්ට යටත්ව හේතුඵල රටාව අනුවය. ඒ අනුව සියල්ලට හේතු වන කරුණු පිළිබඳ නිවැරැදි වැටහීමක් ලබාගැනීම සම්මාදිට්ඨිය සේම සම්මාඤාණය ද වනු ඇත.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කුසලතාවයන් වර්ධනය කරන සංසාරික පුහුණුව

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 

ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි

කෙතරම් දේශනයන් ශ්‍රවණය කරනු ලැබුවත්, එම කරුණු වටහා ගැනීමට නොහැකිවන බාධකය මාන්නාධික බවයි. නෙළුම් කොළය මත ජලය නොරැඳෙන්නාසේ ද පිරුණු බඳුනකට වතුර වත්කළාට ඵලක් නැතුවා සේද මාන්නාධික මනස ක්‍රියාකරයි.
සෙන් කතාවකට අනුව සෙන් ගුරුවරයෙකුගේ ඥානය පිළිබඳව බටහිර ලෝකය පුරා ප්‍රචලිත වීමත් සමඟම බටහිර මහා පඬිවරයෙකු සෙන් ගුරුතුමා සොයා පැමිණෙයි. ආසියාතික මැද පෙරදිග මහ ගුරුතුමන්ලා අප තරම් දාර්ශනිකයන් වෙන්නේ කොහොමද? මම ඔහු දණගස්වා එන්නම් යනුවෙන් බටහිර පඬිවරයාද ප්‍රකාශ කරයි. ගුරුතුමා විසින් සාදන ලද තේ භාජනය රැගෙන බටහිර පඬිවරයා ඉදිරියට පැමිණෙන සෙන් ගුරුතුමා භාජනය පිරෙන තෙක් තේ වත්කරයි. භාජනය පිරී ඉතිරී පීරිසියෙන් ඉවතට හැලී යන තෙක් තේ වක්කරමින් සිටින අවස්ථාවෙහි ඔබ මහා බුද්ධිමත් උගත් පඬිවරයෙකු බවට මම සිතාගෙන සිටියාට ඔබ තේ ටිකක් වත්කරගන්න දන්නේ නැහැනෙ. තේ දෝරගලමින් අපතේ යන ආකාරය තේරෙන්නේ නැද්ද? ඔබත් සමඟ කතා කිරීමත් එවැනි ඵලක් නැති කාර්යයක්.ඔබතුමා මෙම ස්ථානයට පැමිණුනේම ඔබතුමා බොහෝ දේ දන්නවා කියා සිතාගෙන.අදට තේ ටිකක් පානය කරමින් ගිහින් වෙනත් දවසක පැමිණෙන්න. යනුවෙන් මාන්නාධික පුද්ගලයාට කෙතරම් පැහැදිලි කිරීම් සිදුකළත්, දේශනයන් ශ්‍රවණය කළත් ,ඇති ඵලක් නැහැ.සියලු දේ අපතේ යයි. අපේ රටේ මිනිසුන් බණ අසන තරමට ඔවුන් නිවැරැදි නොවීමට මාන්නාධික බවත් එක් හේතුවක්.
අප ඉගෙන ගෙන තිබෙන කාරණා තරමට අප වෙනස් නොවෙන්න එවැනි හේතු බලපානවා. තණ්හා මාන දිට්ඨි යන සංයෝජන රහත් වෙන තුරු පැවතුණත් අඩුම වශයෙන් ඔබ අනතිමානි පුද්ගලයෙකුවත් විය යුතුයි.ඔබ කතා කරන්න. මම අසාගෙන සිටින්නම්. වරදක් වූ විට සමාවන්න යනුවෙන් ප්‍රකාශ කරන්න , ලස්සන දෙයක් ලස්සන බව අගය කරන්න ඔබගේ මාන්නය අඩුකර ගත යුතුයි. ඔබගේ මාන්නය අඩු නොවන තාක් ඔබ නිවැරැදි පුද්ගලයෙකු වන්නේ නැහැ.

සැකය හෙවත් ශ්‍රද්ධාව නොමැතිකම හතරවන කාරණාවයි. අතීතයේ මිනිසුන් අප තරම් ධර්ම දේශනා ශ්‍රවණය නොකළත්, ඔවුන් ළඟ ශ්‍රද්ධාව තිබුණා. වර්තමානය වන විට ශ්‍රද්ධාව නැතිව ධර්මය ශ්‍රවණය කරන නිසාම ධර්මය අවබෝධ වන්නේ නැහැ. සැකය තබාගෙන ධර්මය ශ්‍රවණය කළාට ඇති ඵලක් නැහැ.ධර්මය වැටහීමට ශ්‍රද්ධාව තිබිය යුතුයි. ශ්‍රද්ධාව ඔබ බහුශ්‍රැතයෙකු බවට පත්කරයි. ශ්‍රද්ධාව ඔබට බොහෝ කාරණා වටහා දෙයි.පැරැණි මිනිසුන් ශ්‍රද්ධාවන්තයන් වූ නිසාම ඔවුන් ධාර්මික මිනිසුන් වුණා. බහුශ්‍රැතවීමට පවතින බාධාවන් ලෙස දේශකයාට ද්වේෂ කිරීමත්, දේශනයට ද්වේෂ කිරීමත්, මාන්නාධිකබවත්, ශ්‍රද්ධාව නොමැතිකමත් , කර්ම විපාක බලවත්වීමත් දැක්විය හැකියි.
බහුශ්‍රැත වීම යනු කටපාඩම් ඇති පුද්ගලයෙකු නොවෙයි. එවැනි පිරිස් බුදු සමය තුළ ඕනෑතරම් සිටි බව සඳහන් වෙයි. සුත්‍ර,විනය,අභිධර්ම දැන ගත්තත්, අභ්‍යන්තරයෙහි පැවතුණ හිස් බව නිසාම ත්‍රිපිටකධාරී හිස් භික්ෂුව යනුවෙන් බුදුරජාණන් වහන්සේ ඇතැම් භික්ෂූන්වහන්සේලාට ආමන්ත්‍රණය කරනු ලැබුවා. මහා ප්‍රඥාවන්තයන් අතර අගතනතුරු ලැබිය යුත්තේ ආනන්ද හාමුදුරුවන් වුවත්, කට පාඩම් තිබෙන, දැනුම තිබෙන, මතක තිබෙන, භික්ෂුන් වහන්සේලා අතර අගතනතුරු ලබද්දි, සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රඥාවන්තයන් අතර අගතනතුර ලැබුවා. ආනන්ද හාමුදුරුවන් සූත්‍ර පිටකයත් ,අසූහාර දහසක් ධර්මස්කන්ධයත් මතකයෙහි රඳවා සිටියත්, එම සැම තත්ත්වයක්ම උන්වහන්සේගේ අවබෝධය බවට පත්ව තිබුණේ නැහැ.වචන දෙකක් ශ්‍රවණය කළ සැරියුත් මහතෙරුන් වහන්සේට අසුහාර දහසක් ධර්මස්කන්ධයම අවබෝධ වුණා. යේ ධම්මා හේතුªපභවා තේසං හේතු තථාගතෝ ආහ. යන ගාම්භීර පද පේළි දෙක ශ්‍රවණය වූ විට සෝතාපන්න වුණා.අවබෝධය යනු දැනුම නොවන බව අවබෝධ කර ගත යුතුයි. එතැනට ගමන් කිරීමට සංසාරික පුහුණුවක් තිබීම අවශ්‍ය වෙයි. සිප්පංච හෙවත් හැකියාවන් දියුණු කරගැනීම අවශ්‍ය වෙයි. පුද්ගලයෙකු බහුශ්‍රැත වූ පමණින් එම පුද්ගලයාට හෝ එම පුද්ගලයාගෙන් සමාජයට හෝ ලැබිය යුතු උපරිම ඵලය ලැබෙන්නේ නැහැ. දැනුම වගේම කුසලතාවයත් තිබීම අවශ්‍යයි. පසේ බුදුරජාණන් වහන්සේත්, ලොව්තුරා බුදුරජාණන් වහන්සේත්් අතර වෙනස අපට දැනෙන්නේද එවැනි ආකාරයටයි. පසේ බුදුරජාණන් වහන්සේට හොඳ අවබෝධයක් තිබුණත්,හැකියාවන් අඩුයි. සංසාරයේ පුහුණුවෙලා නොතිබුණ නිසාම අනෙකාට සන්නිවේදනය කිරීමේ දුර්වලතා පැවතුණ බව එයින් වැටහෙයි. එම නිසා දැනුම වගේම ඔබගේ විෂය පථයට අදාළ වන කුසලතා හෙවත් හැකියාවන් ඔබ තුළ උපරිමයෙන් දියුණු කරගත යුතුයි. යමි හැකියාවක් ඔහු සතුව පවතී නම්, එයම ඔහුගේ දැනුම වැඩි කරගැනීමට උපකාරී වෙයි. එයම පෙරළා ඔහුගේ ආකල්ප පැත්ත වර්ධනය කරගැනීමට උපකාර වෙයි.කිසියම් හැකියාවක් නොමැති පුද්ගලයෙකු එය දියුණු කළේ නැත්නම්, තමන්ට නොහැකිය යන මනෝභාවයන් තමා තුළ ගොඩනැඟෙයි. එම හීනමානය භයානක තත්ත්වයක්.එම හීනමානයෙන් පටන් ගෙන ඊර්ෂ්‍යාව බවට ප්‍රක්ෂේපණය වීමට පටන් ගනී. අනෙකාගේ ජීවිතවලට බලපෑම් එල්ල කරයි. නොහැකියාව පුද්ගලයෙකු තුළ නොවැඩිය යුතුයි. ගායනයද , නර්තනයද, යන්න වැදගත් නැතත් කුමක් හෝ හැකියාවක් වර්ධනය කර ගත යුතුයි. සංසාරය පුරා පුහුණුකළ දේ ඔබ සංසාරයෙන් රැගෙන පැමිණි විවිධ කුසලතාවයන් වෙයි. තමන් අඛණ්ඩව පුහුණු කරන දේ තමාගේ විඤ්ඤාණ දහරාවට එකතු වෙයි. පුබ්බේච කත පුඤ්ඤතා මතුවීමට නම්, පතිරූප දේශ වාසෝච තිබිය යුතුයි. නිවැරැදි පරිසරය ගොඩනැඟුන විගස එය අවදි වෙයි.දරුවන් තුළ පවතින කුසලතාවයන් මතු කිරීමට අම්මා තාත්තා ගුරුවරයා දක්ෂ විය යුතුයි. ගෙදර බුදුන් අම්මා යනුවෙන් කටට පැමිණි විගස ප්‍රකාශ නොකළ යුතුයි. එසේ ආමන්ත්‍රණය කිරීම සෑම දෙනාටම ප්‍රායෝගික නැහැ. මහපොළොෙවි පය ගසාගෙන සිටින නිවැරැදි අම්මා තාත්තා විය යුතුයි. දෙමව්පියන් තුළ කුසලතා වර්ධනය කරගන්නා අතර දරුවන් තුළද කුසලතා වර්ධනය කිරීමට දෙමව්පියන් කටයුතු කළ යුතුයි.
විනයෝච සුසික්ඛිතෝ හෙවත් ආකල්ප හොඳින් වර්ධනය කර ගත යුතුයි. මෙත්තා හෙවත් මෛත්‍රිය පදනම විය යුතුයි. අනෙකාට මෙත් වැඩිවීමට නම්,තමා තමාට මිත්‍රශීලී විය යුතුයි. තමා තමාට ආදරය කරමින් වටිනාකමක් දිය යුතුයි. තමාගේ ජීවිතයට අර්ථයක් දිය යුතුයි. අපගේ ජීවිතයට නිරෝගිකම ලබාදීම සුවපත්භාවය ලබාදීම කළ යුතුයි .තමන් සාර්ථක නම්, අනෙකාට සුවපත්භාවය ප්‍රාර්ථනා කළ හැකියි.
සෙසු ලෝකයාට මෙත්තා දියුණු කිරීමට තමන් මෙත් සිත දියුණු කරගෙන අනෙක් පිරිස තමන්ගේ මට්ටමට ගැනීමට මිතුරු සිතින් ජීවත් විය යුතුයි. කරුණාවන්තකම දියුණු කරගත යුතුයි. කරුණාවන්තකම ප්‍රායෝගිකව නිවස තුළින් දියුණු කළ යුතුයි.නිවස තුළ ලස්සන වචන පාවිච්චි කිරීමට,වැඩිහිටියන්ට කාරුණිකව සැලකීමට ඉගැන්වීමත් සිදුකිරීම ක්‍රියාත්මක කරුණාවයි. ක්‍රියාත්මක කරුණාව දරුවන් තුළ වර්ධනය කළ යුතුවා සේම අප තුළද වර්ධනය කර ගත යුතුයි., තමන්ට වඩා කරුණාවන්ත සිතක් නැත්නම්, කවදාවත් අනෙකාට උපකාර කළ නොහැකියි.තමා තුළ කරුණාවන්තකම ගොඩනැඟීමත් සමඟ අනෙකාගේ සියලු දුර්වලකම් සහ ප්‍රබලකම් උහුලාගත හැකි වෙයි.

කෙලෙස්‌ වසඟයේ ආදීනව සංකප්ප ජාතකය


ඝන අඳුර දියකර හරිමින් හෝරා ගණනාවක පටන් පායා තිබූ සඳමඬල බැස ගියේය. ඒයින් ඉක්‌බිති නිල්මිණි තලාවක්‌ බඳුවූ ඈත අහසේ පායා තිබුණු ළහිරු මඬලින් මුළු මහත් බරණැස්‌ පුරවරයම ස්‌වර්ණ වර්ණ වෙන්නට පටන් ගත්තේය. තුරු වියන් වසා හෙවුණු මල් ගොමු අස්‌සේ සැඟව සිටි කුරුල්ලන්ගේ කූජනයේ මිහිරි ස්‌වරය උස්‌ පහත්ව ඇසේ. දෙව් පුරක සිරි අසිරි සිහි ගැන්වූ බරණැස පුරවරයේ ඉදිව තිබූ මැදුරු මාළිගාවන් කොතෙක්‌ නම් සුන්දර වීද? එහි සඳලුතලාවලට වී කාලය ගත කළ වුන්ගේ ජීවිතවලට නම් දුප්පත්කම නිසා උපන් ජීවන දුකක වේදනාව නොදැනුණු තරම්ය.

බරණැස්‌ පුරයෙහිම ජීවිතය ගත කරමින් සිටි මහ බෝසතාණන් වහන්සේටද තිබුණේ මෙබඳුම වූ ජීවන පසුබිමකි. සැබැවින්ම උන් වහන්සේ තුරුණුවී ඒ තුරුණු බවටම තුඩු දුන් සුන්දර රූප ශෝභාව නිසාම බෝසත් ගුණයෙන් සපිරි මේ තරුණයාගේ දැකුම තිරිසන් සතුනට පවා ප්‍රියවී එමෙන්ම ඔහුට කිසිදු ලෞකික සුව සහනයක අඩුවක්‌ද නොවීය. එහෙත් ඒ ගෙවන ජීවිතය කුමක්‌ හෝ හේතුවක්‌ නිසා ඔහුට ප්‍රිය නොවීය. අත්විඳින සෑම ලෞකික සංතුෂ්ටිකටම යටින් කිසියම් වූ සියුම් දුකක්‌ සංතාපයක්‌ දිව යනු ඔහු දුටුවේය. ජීවිතය තුළදී ලබන මේ හැම දෙයක්‌ම නැතිවී යනවා නොවේද? එනම් ලෝකය තුළදී ලබන සෑම දෙයකම අවසානයක්‌ තිබේ. ඉවර වීමක්‌ තිබේ. ලස්‌සන දේවල් ජීවන ගමනෙහිදී කොතරම් හමු වෙනවාද? එතෙකුදු වුවත් ඒ හැම දෙයක්‌ම මොහොතක්‌ මොහොතක්‌ පාසා ළඟා වන්නේ අමුතුම විකෘතියකට නොවේද? අද දකින රූපය තුළ ඇති සුන්දර තැනැත්තා හෝ තැනැත්තිය තවත් වසර ගණනාවකින් හමුවන්නේ බොහෝ සෙයින් දිරා ගියකු හැටියටය. මේ අයුරු දිගින් දිගටම කල්පනා කළ බෝසත් තරුණයාගේ සිතට කිසිවක්‌ රුචි නොවීය. අන්තිමේදී ඔහු සියල්ල අතහැර දමා තවුස්‌ වෙස්‌ගෙන මහ හිමාල වනයට පියමන් කළේය. තවුස්‌ වෙස්‌ ගෙන මහ හිමවතට පිය නොගන්නැයි ඔහුගේ සොඳුරු බිරිය නිලුපුල් දෙනෙතින් හැලූ කඳුළු නම් කොතෙක්‌ද? ඔහුගේ මව්පියෝ මෙන්ම අනෙකුත් නෑදැයෝද එම පමණටම කඳුළු සලා ඉකිබිඳ හැඬුවෝය. එනමුදු ඒ කිසිවකිනුත් ඔහුගේ ගමන වළක්‌වන්නට නොහැකි වීය.

කාලය හෙමි හෙමින් ගලන්නට පටන් ගති. ගිහි ගෙයින් නික්‌මී අභිනික්‌මන් කළ තුරුණු තවුසා දැන් සීලයෙන් මහත්සේ ශෝබා සම්පන්නව සිටිති. පංච අභිඤ්Æ, අෂ්ට සමාපප්ති ආදී භාවනාවේ ගැඹුරු ඵල තුළිනුත් දැන් හේ බෙහෙවින්ම සමෘද්ධ වී සිටින්නේය.

හිමාලය නම් මහ වනය කොතරම් ගැඹුරු වනයක්‌ වීද? එහි එක දිගට පැතිර තිබුණේ තොර තෝංචියක්‌ නැති ගස්‌ කොළන්ය. ඒවායේ අඳුරු සෙවණැලි විසින් හිරුඑළිය වන ගැබ තුළට කාන්දු වීම ඉඳුරා වළක්‌වනු ලැබීය. එහෙයින්ම ඒ ඇතුළත වූයේ තද සීතලකි. ඒ සීතලය උරා ගත් ලඳු කැළෑ මේ මහ වන බිම අවුරා ගනිමින් ඝන සැරේට වැඩුණේය. හිමාල වනය මේ අයුරු අතුරු සිදුරු නැති ගහෙන් හා කොළෙන්ම පිරුණෙන් තවත් එහි මිනිස්‌ පුළුටක්‌වද නොවුණේය. දරුණු වන සතුන්ට හිමවන තෝතැන්නක්‌ වෙන්නට මේ කාරණයද තවත් රුකුල් සැපයීය. එහෙයින්ම තුරුණු බෝසත් තාපසයාට වනයේ ගෙවන ජීවිතය බොහෝ දුෂ්කර වී ඔක්‌කොටෝමත් වඩා අමාරු වූයේ තවුසාගේ පිණ්‌ඩපාතය සොයා ගන්නා එකය. එම දුෂ්කර බවින් පහර ලත් තවුසා දිනෙක පාත්‍රයද ගෙන පිඬු සිඟාලනු පිණිස බරණැස්‌ නුවරට පැමිණියේය.

බරණැසට පැමිණි තවුසාගේ ශෝබමාන රුව දුටු පමණින්ම බඹදත් රජතුමා තවුසා කෙරෙහි බෙහෙවින්ම පැහැදුණේය. අමාත්‍යයකු ලවා තවුසාණන් වහන්සේගේ පාත්‍රය ගෙන්වා ගත් රජතුමා එය නොයෙක්‌ රස අහරින් පුරවා යෑවීය. එමෙන්ම රජතුමාගේ අසීමිත ආදර ගෞරවය නිසාම තාපසයාණන් වහන්සේට රාජ උද්‍යානයෙහි විවේකී සුවයෙන් කාලය ගත කරන්නටද ඉඩ ලැබුණේය. රාජ උද්‍යානය තවුස්‌ ජීවිතයකට ගැළපෙන සියලු සිරියන්ගෙන් අඩු නොවීය. බොහෝ නිහඬ, නිසසල බවෙකින් යුතු වූ එයට අවැසි සියලු දේ පිළිබඳව බඹදත් රජතුමා නිරන්තරයෙන් සොයා බැලීමටද කටයුතු සැලැස්‌ වූයේය. නමුදු බෝසත් තාපසයාණන් වහන්සේට නම් රාජ උද්‍යානයෙහි ගත කරන මේ ජීවිතය ප්‍රිය නොවීය. උයනෙහි තවත් උන් වහන්සේ වැඩ සිටියේ තමන් යන්නට ගියහොත් රජතුමාගේ සිත රිදේවි යෑයි නැඟුණු කල්පනාවන් නිසාමය.

මේ ආදී වශයෙන් බෝසත් තාපසයාණන් වහන්සේ රාජ උයනට පැමිණ මේ වන විට දොළොස්‌වාරයක්‌ ගතවී තිබිණ. කවරෙකුගේ වුව ජීවිතයකට එක සැටියෙන්ම පවතින්නට කවරදාකවත් ඉඩ ලැබෙන්නේ නැත. මල් හට ගන්නා සොඳුරු වසන්තය ලොවක හැමදාමත් ර¹ නොපවතින්නාක්‌ මෙන් බරණැස්‌ රජතුමාගේ ජීවිතයටද දැඩි භයක්‌ පැමිණ තිබිණ. ඒ තම රාජ්‍යයේම කොටසක ජීවත් වූ සතුරන් පිරිසකගෙනි. සියල්ල පසෙක තබා දැන් එය සංසිඳුවාලනු පිණිස නික්‌මෙන්නට රජුට සිදුවී තිබේ.

තමා රාජ මාළිගාවෙන් පිටවී ගියහොත් සිල්වත් තාපසයාණන් වහන්සේගේ කටයුතු සොයා බලන්නේ කවුරුන්ද? රජතුමාට ඒ ගැන සිතන විට දැනුණේ නම් ලොකු දුකකි. කොහොම වුණත් මේ සියල්ලක්‌ම පවතින්නේ රාජ්‍යය නිරුපද්‍රිතව පැවතුණහොත්ය. ඒ සඳහා නම් සතුරන් පරාජය කොට එළවා දැමිය යුතුව තිබේ. අන්තිමේදී බඹදත් රජතුමා තීරණයකට පැමිණියේය. එනම් සිල්වත් තවුසාට උපස්‌ථාන කිරීමේ කටයුතු සියල්ල තම අග මෙහෙසියට භාර කළේය. චතුරංගනී සේනාවද රැගත් රජතුමා රාජ මාළිගාවෙන් පිටවී ගියේ මෙයින් පසුවය. වෙනදා පරිද්දෙන්ම තාපසයාණන් වහන්සේ ආකාශයට නැඟී සිය ධ්‍යාන බලයෙන්ම දන් වළඳනු පිණිස රජ මැඳුරේ මතු මහල් තලයට වැඩමවන සේක. දැන් වළ¹ අවසානයෙහි එලෙසින්ම අහස්‌ කුසට නැගී ආපසු රාජ උද්‍යානයට නික්‌ම යන සේක.

අනෙක්‌ දිනවල මෙන්ම මෙදිනද බරණැස්‌ පුරවරයෙහි දක්‌නට ලැබුණේ සොඳුරු පැහැබර බවකි. ගස්‌වල මල් පිපී පිරී තිබිණ. තාපසයාණන් වහන්සේට පූජා කරනු පිණිස දැන් රාජමාළිගාවෙහි දන් සකස්‌ වී අවසන්ය. අග මෙහෙසියගේ සිතට වෙනදාටත් වඩා ඉමහත් සොම්නසක්‌ දැනිණ. පින්වත් තාපසයාණන් වහන්සේ දැන් පිඬු සිඟා වඩිතැයි ඇයගේ නෙත් නොඉවසිල්ලෙන් පෙර මග බලා සිටියේය. ගත වූයේ මොහොතකි. නැඟුණේ ඉමහත් ආසිරියකි. සුදොa සුදු වළාකුළු අතරින් මෑත් වී එන සඳ මඬලක්‌ මෙන් තාපසයාණන් වහන්සේ පිඬු පිණිස රජ මැඳුරට වඩිමින් සිටි සේක. බෝසත් තවුස්‌ තෙම දැන් දැන් දනට වඩිතැයි බලා සිට බොහෝ වේලාවක්‌ විඩාවට පත්වී සිටි ඇයගේ ඇස්‌වල නිදිමත මුල්බැසගෙන තිබුණේය. එහෙයින්ම තවත් මොහොතක්‌ ගතවී යන්නටත් පෙර ඈ දන්හල අසලම වූ සිරියහනෙක නිදා වැටුණේය. අහසින් වැඩමවමින් සිටි සෘධිමත් තාපසයන් වහන්සේ මතු මහල් තලාවේ වූ දාන ශාලාව වෙත ළං වූහ. ඒ බව සිහිනයකින් මෙන් අග්‍ර මහේෂිකාවට දැනිණ. එක්‌වරම නින්දෙන් අවදිවූ ඈ බොහෝ සේ කලබලයට පත් වූවාය. ඒ කලබලකාරී බව නිසාවෙන්ම උඩුකය වසාගෙන සිටි ඇයගේ සිනිඳු දුහුල් සළුව ලෙහී බිම වැටිණි. තාපසයාණන් වහන්සේට එය දකින්නට ලැබිණ. එයින් උන්වහන්සේගේ සිත මහත් වූ අවුල් සහගත තත්ත්වයකට පත්විය. උන් වහන්සේට එහි අසුබත්වය මෙනෙහි කිරීම පවා අමතක වූවේය. රාගය නමැති මහ කෙලෙස්‌ සතුරා එක්‌වරම පැන තාපසයාගේ නිකෙලෙස්‌ සිත සුනු විසුනු කර දැම්මේය. මේනම් කොතරම් වූ සොඳුරු රූපයක්‌ද? නාරි ලක්‍ෂණවලින් කවර අඩුවක්‌වත් නොවූ එහි පුන් පියයුරු කොතෙක්‌ නම් සොඳුරු සැටියෙකින් පිහිටා තිබේද? මටත් මෙබඳු රූපයක්‌ ලබාගෙන ජීවත් වන්නට නොහැකිද? බොහෝ සෙයින් අන්ත අසරණ බවකට පත්වූ තාපසයා අගමෙහෙසි රුව පිළිබඳව නොයෙක්‌ ආකාරයෙන් සුබ නිමිති පහළකර ගත්තේය.

"පින්වත් තවුසාණන් වහන්ස" මා හට අනුකම්පා කොට මෙහි අසුන් ගන්න"යි මේ කිසිවක්‌ නොදත් අග්‍ර මහේෂිකාව තවුසාට දන් පිළිගන්වනු පිණිස ඇරයුම් කළාය. අමාත්‍යයෝද ඒ අසල බලා සිටියෝය. එහෙත් තවුසාණෝ අසුන් නොගත්හ. එතරමින්ම ඔහුට කිසිවක්‌ සිතා ගැනීමට නොහැකිවී තිබිණ. අග්‍ර මහේෂිකාවන්ට තාපසයාණන් වහන්සේට සිදුවී ඇති විපත තේරුම් ගියේය. "අනේ මේ පින්වත් තවුසාණන් වහන්සේ මා නිසා මෙලෙසින් ශෝකවී සිටින්නේ යෑයි සිතා මහත්සේ දුක්‌ වූ ඈද දන්ගෙන උන්වහන්සේගේ පාත්‍රයට බෙදුවාය. මේ වන විට ක්‌ලේෂ වසඟයට පත් වීමෙන් බෝසත් තවුසාගේ සියලුම ධ්‍යානයන්ද බිඳ වැටී තිබිණ. එහෙයින්ම උන්වහන්සේට පෙර මෙන් ආකාශයට නැඟී යන්නටද නොහැකි වීය. බත් පාත්‍රය ගත් උන්වහන්සේ ඒ අනුව පා ගමනින්ම රාජ උයනෙහි වූ පන්සලට වැඩි සේක. බත් පාත්‍රයද නොවළ¹ සත් දිනක්‌ම නිරාහාරව ඇඳ මත වැද හොත්තේය.

සතුරන් පරාජය කර ඉක්‌බිති බඹදත් රජු බරණැස්‌ නුවරට පැමිණියේය. එසේ පැමිණි රජතුමා මුලින්ම ගියේ තවුසාණන් වහන්සේ දකින්නටය. එහිදී තාපසයාණන් වහන්සේ තමන් වහන්සේට මුහුණ පෑමට සිදුවූ විපත පිළිබඳ වූ සියලු තතු රජතුමාට පැවැසූහ. පින්වත් රජතුමනි මා හට මේ විපත ඇති කළෝ නම් අන් කවරෙකුවත් නොවෙයි. මාගේ සිතමය. එයින් මා බොහෝ සෙයින් අසරණ බවට පත් වූවා. ඒත් එක්‌කම යළිදු තමාට නැතිවී ගිය පංච අභිඤ්Æ උපදවාගත් බෝසත් තාපසයාණන් වහන්සේ අහසට පැන නැඟී පලක්‌ බැඳ හිඳ බඹදත් රජතුමාට ක්‌ලේෂ වසඟයට පත්වීමේ ආදීනව පිළිබඳව දහම් දේශනා කළහ. එය කෙළවර මිනිස්‌ වාසයෙහි සිටීම බොහෝ අන්තරාදායක යෑයි පවසා යළිත් අහසින්ම හිමාල වනයටද වැඩම කළහ.

කෙලෙස්‌ නම් කොතරම් දරුණු ප්‍රපංචයක්‌ද? එය මිනිසාගේම සිතෙහි හට ගෙන ඔහුව දවා නවා නසා වනසා දමන හැටි. කොතෙක්‌ නම් බියකරුද? මේ සදාතනික ධර්මතාවය පුහුදුන් සත්වයා අප්‍රමාණ වශයෙන් දුකට පත්කරන අයුරු මේ සංකප්ප ජාතකයෙන් විනිවිද පෙන්වා තිබේ.
සුගත් වීරසූරිය
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ආසිවිසෝපම සූත්‍රය

පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමවාසී, 
ශාස්ත්‍රපති
කුකුල්පනේ සුදස්සි හිමි


ආසිවිසෝපම සූත්‍ර දේශනාව සංයුක්ත නිකායේ ආස විස වග්ගයේ පළමුවන සූත්‍රයයි. උපමා එකොළහකින් සසරේ පවතින බිය සහිත බව සහ නිවනෙහි පවතින බිය රහිත බව ආසවිසෝපම සූත්‍ර දේශනාවේ සඳහන් වෙයි.
මහණෙනි, මහාතේජස් ඇති විසඝෝර සර්පයෝ සතරක් සිටිති. මේ සතර දෙනාට නිබඳව කවා ,පොවා, නාවා, නිදි කරවා සියලු සාත්තු සප්පායම් කළ යුතුයි. නමුත්, කුමන වේලාවක හෝ මේ එක සර්පයෙක් හෝ කිපුණොත් දුකක් හෝ මරණය සිදුවෙයි. ඒ නිසා නොපමාව කටයුතු කරන්නැ’යි බුදුරජාණන් වහන්සේ වදාළා.
එක්තරා පුද්ගලයෙක් සර්පයන්ට බියෙන් පළා යද්දී ඔබ පසුපස වදකයෝ පස් දෙනෙක් පැමිණෙන බවත්, ඔවුන් දුටු තැන විනාශ කළ යුතු බවත් වදාළා. එයට බිය වූ මේ පුද්ගලයා එතනින් ද පළා යන්නට උත්සාහ කළා. එහිදී ද ඇතුළතින් කඩුවක් රැගෙන නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටින වධකයෙක් සිටින බව අඟවනවා. මේ වධකයා ඔබ කුමන මොහොතක හෝ ඝාතනය කරන්නට වෑයම් කරන බව අනතුරු අඟවනවා. මෙයටද බිය වූ මේ පුද්ගලයා හුදෙකලා පාළු ගමකට පැමිණියා. එහි සෑම දෙසම තිබෙන භාජන පිරී ඇති බවත් එය අතට ගත් විට කිසිවක් නැති බවත් පැහැදිලි වෙනවා. එහිදී ද මේ පුද්ගලයාට මං පහරන හොරු පිරිසක් සිටින බවට අනතුරු ඇඟවීමේදී මෙයින් ද ආරක්ෂා වීමට සිතූ මොහු මහා ජලාශයක් දැක එතෙර බිය නැති බවත් මෙතෙර බිය ජනක, සැක සහිත බවත් දකිනවා. නමුත් මොහුට එතෙර වන්නට නැවක් හෝ ඒදණ්ඩක් නැහැ. මේ නිසා ලී දඬු , කොළ අතු භාවිතයෙන් පහුරක් තනා ඒ මතින් අතින් පයින් උත්සාහ කර මේ ජලාශයෙන් එතෙරවී සැක බිය නැතිව බොහොම නිදහසේ වාසය කරනවා.
බුදුරජාණන් වහන්සේ විෂඝෝර සර්පයන්ට උපමා කළේ පඨවි, ආපෝ. තේජෝ, වායෝ සතර මහා භූතයන්ගෙන් සැකසුණු කයයි. එය කවා, පොවා, නෑවිය යුතු බවත් කොපමණ සත්කාර කළත් එක සර්පයෙක් හෝ කිපුණොත් දුකට හෝ මරණයට පත්වන බවත් වදාළා.
මේ සතර මහා භූතයෝ විකෘති ලෙස කිපුණොත් මේ පුද්ගලයා බලවත් පීඩාවකට පත් වෙයි. උදාහරණයක් ලෙස කෙනෙකුට වාපිත්, සෙම් කෝපවීමෙන් දුකක් හෝ මරණයට පත්ව වන හානිය අපමණ බව බුදු පියාණන් වහන්සේ විෂඝෝර සර්පයන්ගෙන් කිපී ගිය මහා භූතයන්ගෙන් සැකසුණු ශරීරය උපමා කළා.
දෙවන උපමාව ලෙස මේ පුද්ගලයා විෂඝෝර සර්පයන්ට බියෙන් තැති ගෙන පළා යද්දී වධකයෝ පස්දෙනෙක් ලුහු බඳිනවා. එය පංච උපාධානස්ඛන්ධයට බුදුරදුන් උපමා කළා. රූප, වේදනා,සංඥා,සංඛාර, විඤ්ඤාණ උපාදානයෙන් පංච උපාධානස්ඛන්ධය වධකයන් ලෙස බුදුරදුන් පෙන්වා දුන්නා. රූපය උපාදානය කළ විට ඇති කරගන්නා දැඩි බැඳීමෙන් පුද්ගලයාට සියලු දුක හටගන්නා බවත් මේ නිසා භවය, ජාති,ජරා, ව්‍යාධි, මරණ, ශෝක, අපි‍්‍රය සම්පයෝග දුක්ඛ, පි‍්‍රය විප්පයෝග දුක් හටගන්නේ යැ’යි වදාළා. මෙතැන වධකයෝ පස්දෙනා වන්නේ පංච උපාධානස්ඛන්ධයයි.
මේ පුද්ගලයා මේ සියලු බාධක මඟ හැර ගියද ඇතුළතින් පැතිරෙන වධකයෙක් ලෙස “නන්දිරාගය” (අරමුණු ඇතුළතින් නැවත නැවත විඳිමින් ඇලෙන ස්වභාවය) හැඳින්වූවා. පෘතග්ජනයාටත් , රහතන් වහන්සේටත් පංචස්ඛන්ධය තිබුණත් එය උපාධානස්ඛන්ධයක් ලෙස ඇතුළතින් මතුවන නන්දි රාගය ඉස්මතු වෙන්නේ පෘතග්ජනයාට පමණයි. බාහිර වධකයන්ගෙන් මොහු ගැලවුණද සසරේ නැවත නැවත උපත ලබමින් ඇතුළත වදදෙන වධකයාට උපමා කළේ නන්දි රාගයයි.
මේ පුද්ගලයා හුදෙකලා ගමකට පැමිණීම උපමා කරන්නේ අධ්‍යාත්මික ආයතන හයටයි. (චක්ඛු,සෝත, ඝාන, ජිව්හා, කාය, මන) ගමේ පිරී තිබෙන බඩු භාණ්ඩ අතට ගත් විට හිස්ව තිබීම නුවණින් පිරික්සීමේදී ආයතන හයේ කිසිම හරයක් නොමැති බව පෙන්නුම් කරයි. මේ දෙස ගැඹුරින් විමසා බැලීමෙදී හුදෙක් සංඥා මාත්‍ර, සිතිවිලි මාත්‍ර පමණක් බව පැහැදිලි වෙයි.
මේ පුද්ගලයාට මං පහරන හොරු වශයෙන් හැඳින්වූයේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම වන අධ්‍යාත්මික ආයතනයන් පැහැර ගන්නා බාහිර ආයතනයි. (උදා, රූපය ඇස ග්‍රහණය කරයි.)මේ නිසා තෘෂ්ණාව, මාන, දිට්ඨි, ගොඩ නැඟෙයි. අධ්‍යාත්මික ආයතන හය හිස් ගමක් ලෙස සලකා එය විනාශ කරන හොරු ලෙස බාහිර ආයතන හඳුන්වයි.
මෙම පුද්ගලයා එතනින් ද පළා ගොස් මහා ජලාශයක් දැකීම සතර ඕඝ ලෙස බුදුරදුන් පෙන්වා දෙයි. කාම ඕඝ (විඳීමට ඇති කැමැත්ත), භව ඕඝ( භවයට ඇති කැමැත්ත), දිට්ඨි ඕඝ(ජීවත්වීමට ඇති කැමැත්ත) , අවිද්‍යා ඕඝ( චතුරාර්ය සත්‍ය නොදැනීම) යන සතර ඕඝ බුදුන් වහන්සේ සැඩ පහරක් ලෙස සඳහන් කළා.
මේ පුද්ගලයාට එතෙර බිය රහිත බවත් තමන් වාසය කරන පෙදෙස විෂඝෝර සර්පයන්, වධකයන්, මං පහරන්නන් නිසා එය බිය සහිත බවත් වැටහෙයි. එනම් සක්කාය දිට්ඨියයි. මේ ස්කන්ධය, සත්වයෙක්ය, පුද්ගලයෙක්ය , ආත්මයක් බව ග්‍රහණය කරනතුරා පුද්ගලයාට නිරන්තරයෙන් දුක, වේදනාව උරුම බව වැටහෙයි. මේ නිසා ස්කන්ධ පංචකයෙන් එතෙර වීම සැඩ පහරින් මිදීමයි. එතෙර බිය රහිත වන්නේ සතර ඕඝයන්ගේ එතෙර වූ තැනැත්තා නිවන් දැකීම නිසයි. පහුරට උපමා කළේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එය මේ පුද්ගලයා පහුරක් ලෙස තනාගෙන සැඩ පහර (සතර ඕඝ) තරණය කරයි. අතින් පයින් වෑයම් කිරීම උපමා කළේ අරමුණ මැද වීර්යයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රගුණ කිරීමයි. එසේ වෑයමෙන් පරතෙරට යන උත්තමයා සියලු කෙලෙසුන් නැසූ රහතන් වහන්සේ බව සම්මා සම්බුදුරදුන් ආසිවිසෝපම සූත්‍රයෙන් උපමා කර වදාළා.

ප්‍රාර්ථනා සහ කුසලාකුසල විපාක


මිනිස්‌ ලොව පුහුදුන් ජීවිත ගත කරන සියල්ලෝම සිය ජීවිත වල යම් යම් බලාපොරොත්තු තබා ගනිති. තවද එම බලාපොරොත්තු කරා ළඟා වීමේ වෑයමකද නිරතුරුව යෙදෙති. පාසල් සිසුවකුගේ බලාපොරොත්තුවකට වඩා වෙනස්‌ බලාපොරොත්තුවක්‌ නැතිනම් වෙනස්‌ ඉලක්‌කයවක්‌ තරුණ වියට පත් වූවකුට තිබිය හැකිය. වයසින් මුහුකුරා ගිය අයකුට එය වඩාත් වෙනස්‌ විය හැකිය. මෙසේ වයස, දැනුම හා බුද්ධිය, තරාතිරම අනුව මේ ඉලක්‌කය එකිනෙකට වෙනස්‌ වේ. බලාපොරොත්තුව ඉලක්‌කය, අරමුණ, ප්‍රාර්ථනාව මේ කුමන වචනයෙන් වුවද ප්‍රකාශයට පත් වන්නේ එක සමාන වූ අරුතකි. එහෙත් එය ඉටු වනුයේ ඒ සඳහා ගන්නා වෑයම අනුවය. මෙකී වෑයම බෞද්ධ දර්ශනයට අනුව පැහැදිලිs කරනතෙක්‌ පෙරුම් පිරීමකි. නැතිනම් පාරමිතාවකි.

මහ සමුදුරේ ගමන් ගත් නෞකාවක්‌ බිඳී විනාශයට පත්වූ කල්හි සිය මව කර මත රඳවා සත් දිනක්‌ මුහුද පීනා එගොඩ වූ කල "පුතේ නුඹ බුදු වේවා" යන සිය මෑණියන්ට දුන් පළමු විවරණයෙන් දිරිමත්ව "මතු දිනක බුදු වෙමි"ය යන ප්‍රාර්ථනාව ඇතිව සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ පුරා සසර ඇවිදිමින් අප බෝසතාණන් පාරමී පිරූ බව බෞද්ධ සැදැහැවත්හු දනිති. මෙසේ සම තිසත් පාරමිතා පිරූ අප බෝසතාණෝ වෙසක්‌ පුන් පොහෝ දිනක බුද්ධ ගයාවේ පිහිටි ඇසතු බෝමුල්හි දී බුද්ධත්වයට පත් වූ සේක. ඒ අයුරින් උන්වහන්සේග ප්‍රාර්ථනාව සමෘද්ධ විය.

ගරුතර මහ සඟරුවනට දන් පැන් පූජා කළ විටද ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනට පත් වේවා යනුවෙන් උන්වහන්සේලා ආශිර්වාද කරති. කෙනෙකු අන් කෙනෙකුට සෙත් පැතූ පමණින්ම ඒ පැතුම් ඉටු නොවේ. ජය වේවා, දීර්ඝායුෂ වේවා. නිරෝගි වේවා. නිවන් දකීවා. යන අයුරින් ආශිර්වාද කිරීම් අද ඕනෑ තරම් අසන්නට ලැබේ. යමකුට ප්‍රාර්ථනාවක්‌, අරමුණක්‌, ඉලක්‌කයක්‌ තිබේ නම් ඒ සඳහා වූ දෘඪතර වෑයමක්‌ ද තිබිය යුතුය. නිවන් දකීවා යන්න බැනරයක ලියා එල්ලූ පමණටම ශෝකප්‍රකාශය මුදුනට කළ පමණටම මිය ගිය අයට නිවන් දැකිය නොහැක. ඒ සඳහා සසර සැරි සරද්දී රැස්‌ කළ පුන්‍ය බලයක්‌ පාරමිතාවක්‌ තිබිය යුතුය.

කාශ්‍යප බුදුන්ගේ සමයේ එක්‌ ගඟක්‌ අසබඩ විහාරයක විසු තෙර නමක්‌ උදැසන මිදුල් අමැද රැස්‌වූ කසළ ගෙන ගොස්‌ දමන්නට එක්‌ සාමණේර නමකට විධාන කළේය.

තුන් විටක්‌ කළ විධානයද නොසලකා හැරියෙන් හිමිනම සාමණේරයනට මුස්‌නෙන් පහරදී සිව්වැනි වරටද විධාන කළේය. යළිත් පහර කන්නට සිදු වේයෑයි බියෙන් සිතින් නොසිතින් කසළ ඉවත් කළ ඒ සාමණේරයෝ බල කිරීමෙන් වුවත් මේ කසළ දැමීමේ පිනෙන් උපනූපන් තැන මුදුන්පත් හිර මෙන් තේජස්‌ ඇති වෙම්වා පහර කෑයේ තේජස්‌ නැති හෙයින් වේදැයි පළමුකොට පැතූහ. යනුවෙන් සද්ධර්ම රත්නාවලිය ග්‍රන්ථයෙනි නාගසේන වස්‌තුවෙහි සඳහන්ය. එහිම මේ ජාතියේ පටන් වාද කොට හෙම්වයි අභිමාන පරව දෙවැනිව පැතූ ඇය" යනුවෙන් ද නාගසේන වස්‌තුවෙහි සඳහන්ය. පහර දුන් තැනැත්තාද ඒ ප්‍රාර්ථනාව අසා මේ ජාතියේ පටන් නිවන් දක්‌නා ජාති දක්‌වා ගඟ රළ ගැස්‌ම සේ නොගෙවෙන්නා වූ වැටහීම් ඇතිව වාද විසින් මූ විචාල දෙයක්‌ පැකිළීමක්‌ නැතිව කියාලිය හෙම්වයි මූගේ වාදයෙක්‌ ඇත්නම් මා කරා පැමිණ මේ ගඟ රළ වෙරළාන්තයට පැමිණ බිඳෙන්නා සේ බිඳේවායි යනුවෙන් ප්‍රාර්ථනා කළේය. මෙසේ වූ ප්‍රාර්ථනා ඇති ඒ දෙදෙනා මිළිඳු රජු සහ නාගසේන ලෙස උපත් ලබා වාද කළ සැටිත් නාගසේන හිමියන්ට ඉන් ජය අත් වූ සැටිත් සද්ධර්ම රත්නාවලිය මනාව විස්‌තර කර ඇත.

පාප ෙච්තනාවකින් වෛර බැඳ පැතූ ප්‍රාර්ථනාවන් පිළිබඳව ප්‍රවෘත්තියක්‌ද එම ග්‍රන්ථයෙහිම අන් තැනක සඳහන්ය. එය නම් කර ඇත්තේ කාලියකින්නගේ වස්‌තුව යනුවෙනි. "මිය යන වේලේදී අනේ තොප කළ මුළාව බලවත. දරු තුන්දෙනකුත් මාත් අප සතර දෙනකු නසාපිය මමත් මිය ගොසින් යකිනිව ඉපිද තොප වැදූ දරුවනුත් තොපවත් කන්නට සමර්ථ වෙම්වයි පතාගෙන එම ගෙයි බැළල්ව උපන උයින් මිය ගොසින් එම ගෙයි කිකිළිව උපත මේ ආදී වශයෙන් සසර සැරිසරණ තාත් වෛරීව උපන් මේ දෙදෙනා ගෞතම බුදු සසුන දා දහම් අසා පෙර වෛරය දුරු කර ගත් අයුරු කතුවරයා මනාව දක්‌වා ඇත.

සද්ධර්ම රත්නාවලියෙහිම තැන් තැනක අඤ්ඥා කොණ්‌ඩඤ්ඤ තෙරුන් කළ පැතුම යන අනුමාතෘකව යටතේ ගෞතම බුදුන් බුදු වු කපට ඒකානු කප බුදුවූ විපස්‌සී නම් බුදුන් දවස චූලකාල නමින් ඉපිද දන්දී කළ ප්‍රාර්ථනාවක්‌ ගැන සඳහන්ය. තමන් වැපූරු කුඹුරේ අග්‍ර භාගය ගෙන එක්‌ ලක්‍ෂ සැට දහසක්‌ බුදු පාමොක්‌ මහ සඟරුවනට ගිතෙල්, මී, හකුරු යොදා පිසූ කිරිබත් පුදා වළඳවා අවසන "ස්‌වාමීනී මා දුන් මේ අගහස්‌ දන සෑම දෙනාට පළමු නිවන්පුර වදනට හේතු වේවා යිෘපැතූහ" බුදුහුත් එසේම වන බව දැන "එසේම වේවායි වදාළ සේක.

මේ අයුරින් ගෞතම බුද්ධ ශාසනයේ අගසව් දෙනමගේ පටන් ඒ ඒ අයට ඒ ඒ තනතුරු තමන් වහන්සේ දෙවා වදාළේ මුහුණ බලා නොව සසරේදී පින්කම් කොට කළ ප්‍රාර්ථනා අනුවම බව බුදුන්වහන්සේ සිව්වනක්‌ පිරිසට ප්‍රකාශ කළ සේක.

බෞද්ධ සාහිත්‍යයේ ධර්මාශෝක රජු ගැන සඳහන් පුවතට අනුව පෙර අත්බවෙක සහෝදරව උපන් තිදෙනා මී පැණි වෙළෙ¹මේ යෙදෙනුයේ වැඩිමල් දොසොහොයුරෝ වනයේ ඇවිද මී කඩාගෙන ආහ. බාල නැඟණිය ඒවා සල්පිලේ තබා විකිණීය. එහි ආ එක්‌ පසේබුදු නමකට පාත්‍රය පුරා මී පැණි පිදූ දු ඇය එපිනෙන් සිරුරේ සන්ධියක්‌ පවා නොපෙනෙන සේ මසින් වටව සියුමැලිව රූපශ්‍රීන් අගපත්ව ඉපදේවායි පැතුවාය. පසුව ආ දෙසොහොයුරන්ට ද පින් අනුමෝදන් වන්නැයි කීවාය. කෝප වූ එකෙක්‌ නුඹේ පසේ බුදුන් මූදෙන් එතෙර ලවයි කීය. අනෙකා සතුටුව අනුමෝදන් වී එපිනෙන් මතු චක්‍රවර්ති රජකු වේවායි පැතීය. ආත්ම ගණනකට පසුව රජකම පැතූ අය අශෝක නමින් ඉපිද ධර්මාශෝක ලෙස අධිරාජයකු විය. මුහුදින් එතෙර ලවයි කී තැනැත්තා පසුව පින් අනුමෝදන් වුවද එසේ බුදුන්ට කළ පළමු අපහාසයෙන් මුහුදින් මෙතෙර ලක්‌දිව තිස්‌ස නමින් උපන්නේය. දේවානම් පියතිස්‌ස නමින් ප්‍රසිද්ධ වූයේ ඔහුය. ඔවුන්ගේ නැඟණිය අසන්දිමිත්‍රා නමින් ඉපිද අශෝක රජුට අග මෙහෙසුන් වූවාය.

මෙරට ඉතිහාසයේ කැපී පෙනෙන ධාර්මික පඬිවරයකු වූ දඹදෙණි පැරකුම්බා රජුගේ අගමැති පදවිය දැරූ දේවප්‍රතිරාජ අමාත්‍යවරයා සිය අඹුදරුවන් පවා දන් දී බුදු බව පැතූ අයකුසේ සඳහන්ය. එපමණක්‌ නොව සිය මිත්‍ර රජුද බුදු බව ප්‍රාර්ථනයෙහි යොදවනු පිණිස මයුරපාද පිරිවෙන්පති හිමියන් ලවා පූජාවලිය නම් ග්‍රන්ථය ලියවූ බවද එහි සඳහන්ය. "මහ පින් රැස්‌ කරන මහ පින්වත් රජකු බුදුබැව් පැතීමෙහි උපේක්‍ෂා වනු නොයෙදෙයි බුදු වන්නට වහා ප්‍රාර්ථනා කළ මැනැවැයි කී කල්හි'' යන පූජාවලිය පාඨය එය තහවුරු කරයි.

මෙරට සැදැහැත්තන් බුද්ධත්වය පැතූ බවට තවත් එක්‌ නිදසුනක්‌ ලෙස විල්ගම්මුල හිමියන් ලියු සඳකිඳුරු දා කවේ අග සඳහන් මේ පද්‍ය පාද යුගලය දැක්‌වීමට පුළුවන.

මේ ලිව් පින් පුරා

මමද බුදු වෙම්වා ලොව්තුරා

මහනුවර අග භාගයේදී ඉංග්‍රීසීන් මෙරට අයත් කර ගත් අවස්‌ථාවේ ඇතිවූ පළමු කැරැල්ලේ නායකයකු වූ වීර කැප්පෙටිපොල හිස්‌ගැසුම් කෑමට ස්‌වල්ප මොහොතකට පෙර එතුමා කළ ප්‍රාර්ථනාවක්‌ පිළිබඳව මෙසේ සඳහනක්‌ ඇත. වැඩසිටින ගබඩාවේ එළිපත උඩ සිටි භික්‍ෂූන් වහන්සේ ඉදිරියේ දණ ගසා ගත් අධිපති තෙමේ තමන් කළ මහ පුණ්‍යකර්මයන් සවිස්‌තරව ප්‍රකාශ කළේය. මෙම පුණ්‍යකර්ම විස්‌තරයෙන් පසු

ඉතො චුතොහං වරජම්බුදීපෙ

හිමාලයෙ හෙම මයම්බිකූටෙ

කප්පායවුකො දෙවපතීව හුත්වා

මෙන්තෙය්‍ය නාථස්‌ස සුතාමි ධම්මං 

යන ගාථාවෙන් මින් චුතව හිමාලයේ වන දෙවියකුව ඉපිද මෙත් මුනිඳුගෙන් දහම් අසා නිවන පසක්‌ කෙරෙම්වා යන ප්‍රාර්ථනාව කළ බවට සඳහන් ය.

තමන් විසින් කරනු ලබන පින්කම්හි අවසන ලෞකික සැප සම්පත් ප්‍රාර්ථනා කිරීම මගින් සිදු වන්නේ තව තවත් සසර දීර්ඝ වීම පමණමය. ප්‍රඥව නිරෝගීව බව යස ඉසුරු ලැබීම ප්‍රාර්ථනා නොකළද පිනේ විපාක ලෙස තමන් පසුපස එම ඡායාව අනපායිනී යන බුද්ධ වචනය අනුව ම සිදු වේ. එබැවින් බෞද්ධයා තුළ තිබිය යුතු වටිනාම ප්‍රාර්ථනාව විය යුත්තේ නිවන් දක්‌නා තෙක්‌ සම්‍යක්‌ දෘෂ්ටිකව ඉපදීම සහ කෙටි කලකින් නිවන් අවබෝධය ලැබීමත්ය. එහෙත් ලෞකික සම්පත් ලැබීමට ප්‍රාර්ථනා කිරීම වරදක්‌ ලෙස මෙයින් නොකියෑවේ.
ඩී. ඒ. ටී. බී. දේවසිංහ
විශ්‍රාමික විදුහල්පති
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X