වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

හදිසි අනතුරුවලින් මිදීමට දහම පිහිට කරගනිමු


පයාගල නන්ද හිමි

ගැඹුරු බණ ඇසීමට වඩා සරල බණ කතා ඇසීමට බොහෝ දෙනා කැමැති ය. සරල බණ කතාව වුව ද විචාර පූර්වක ව සිතීමෙන්, විමසීමෙන් ගැඹුරු දහමක් දැන ගැනීමට හැකියාවක් ලැබේ. විචාරයෙන්, විමසීමෙන් ප්‍රයෝජන ලැබිය හැකි කතා පුවතකි, මෝර පිරිතේ නිදාන කතාව.

හිමාලය පර්වතය අසල හිරණ්‍යක නම් පව්වේ විසු එක්තරා සුවිශේෂී මොණරෙක් විය. ගොදුරු සොයා යෑමට පෙර හිරු දෙවියන් නමදින මොනරා අනතුරුව සියලු සත් බුදුවරයන්ට වඳියි.

මෙසේ සොබා දහමට හිත මනාප ව උතුම් බුදුවරයන් වහන්සේලා ගැන සිහිපත් කොට තැන්පත් සිතින් පිටත්ව යන හෙයින් කිසිදු දඩයක්කාරයකුට හසු නො වී ආරක්ෂිතව ගොදුරු සොයා බැහැරට ගොස් යළි නවාතැනට පැමිණීමට මොනරාට බාධාවක් නො වී ය.

මෙසේ අනතුරට ලක් නොවී වෙසෙන මොනරා ගැන ඇසූ රටේ රජුගෙ අග බිසවට මොනරා අල්ලාගෙන අවුත් දැක ගැනීමට රිසි උපන. රාජකීය හේවායෝ මේ සුවිශේෂ මොනරා අල්ලා ගැනීමට කොතෙක් වෙහෙසුණත් ඒ හැම වෑයමක් ම සඵල නො වීය.

උපන් ආශාව නො සන්සිඳුණේ ම රජ බිසව ශෝකයෙන් මළා ය. මෙයින් කෝපයට පත් රජු මොනරාගෙන් පළි ගැනීමට සිතා අසවල් පර්වතයේ වෙසෙන සුවිශේෂී වූ මොනරා මරා දැමීම පහසු නො වන බවත්, යමෙකුට එසේ කළ හැකි නම් ඔහු අජරාමර වන බවත් තල් පතක ලියා තැබී ය. ඒ රජුගෙන් පසුව රජ වූ කිහිප දෙනකුම රජවරු මොනරා මරා දැමීමට උපා යෙදූ මුත් ඒ හැම අසාර්ථක විය. එක් රජෙක් මේ මොනරා ඝාතනයට විශේෂ උපායක් යෙදී ය.

එක්තරා දක්ෂ දඩයක්කාරයකු කැඳවා “නුඹ මොනරාගෙ ගැහැනු සතකු, සෙබඩක සොයාගෙන වුත් හිරණ්‍යයක පව්වේ වෙසෙන මොනරා ගොදුරු සොයා යෑමට පෙර හිරු දෙවිඳුටත්, සත් බුදුන්ටත් වඳින විට මොනරාට ඇහෙන ලෙස සෙබඩව කෑ ගස්වන්නට සලස්වන්න. එවිට සෙබඩගේ කෑ ගැසීමෙන් සිත කලබලයට පත් කරගනු ලබන මොනරා ක්‍රමයෙන් වන්දනා කිරීම නවතා අවුල් සිතින් ගොදුරු සොයා වනයට යනු ඇත. ඔබට ලෙහෙසියෙන් ම මොනරා ග්‍රහණයට ගත හැකි වෙතැයි” උපදෙස් දී දඩයක්කරුවකු පිටත් කර හැරියේ ය.

රජු කී ලෙසින් ම දඩයක්කරු ද සෙබඩ ලවා කෑ ගැස් වූ නමුදු මොනරා වන්දනා සිදුකොට වනයට නික්මිණ. නිරතුරුවම ගැහැනු සතාගෙ කට හඬ ඇසෙන විට මොනරාට එය නො අසා සිටීමට නො හැකි විය. දිනපතාම උදෑසන ඇහෙන ස්ත්‍රී කටහඬට රාගික ව බැඳුණු මොනරාට බුද්ධ වන්දනාව, හිරු වන්දනාව නිසි පරිදි කළ නොහැකි වූයේ කෙමෙන් වන්දනාව නැවැත්වීය. දැන් හේ මහත් ආසාවෙන් සෙබඩගෙ කටහඬ අසයි. රාගයෙන් බැඳුණු අවුල් සිතින් ගොදුරු සොයා වනගත වෙයි.

රාග සිත කිලිටිය. අවුල් ය. විපත් ඇති කරවන සුළුය. එහෙයින් කිලිටි සිතින් වනගත වූ මොනරා පහසුවෙන් ම දඩයම්කරුගේ ග්‍රහණයට හසු විය.

මේ කතාවෙන් ගත හැකි පාඩම ඉගෙන ගන්න. හිත කිලිටි වූ විට බාහිර බලවේගවලට, අඳුරු සෙවනැලිවලට ළංවීමට පුළුවන. යම් විටෙක හිත පිරිසුදු වේ ද, එවිට මාර්ග අනතුරුවලින් මිදී ගමන නිම කළ හැක. පටන් ගනු ලබන ව්‍යාපාර සාර්ථක වනු ඇත. මුල්ගල් තබා අරඹන ඉදිකිරීම් සිතූ ලෙසින් නිමවනු ඇත.

මේ කතාවෙන් කී උපදේශනය දැන හෝ නො දැන පැරැන්නෝ මෙවැනි සත් පිළිවෙත් අනුගමනයෙන් උවදුරුවලින් මිදුණාහ. ජීවිත සාර්ථක කර ගත්හ. ගමනක් පිටත්වීමට පෙර සුබ දසුනක් හමුවන තුරු මදක් රැඳෙන සිරිත එදා පැවතිණ. රියැදුරු එක්වරම රිය පණ නො ගන්වා හඳුන්කූරක් දල්වා දෑත් එකතු කොට සුක්කානමට වැඳ මොහොතක නිහැඬියාවෙන් අනතුරුව රිය පණ ගන්වා ගමන පිටත් විය.

මුල් ගලක් තබයි නම් මුල් ගල අතේ තබාගෙන නියම කර ගත් වෙලාව උදාවනතුරු නිහඬව සිටීමේ හැකියාව තිබිණ. කුමන දෙයක් කිරීමට ඇරඹුවත් මොහොතක නිහඬව සිටීමේ පුරුද්ද පැරැන්නන් තුළ තිබිණ. සංකීර්ණ සමාජ රටාව තුළ කාර්ය බහුල බැවින් සිහි නුවණින් තොරව කටයුතු , ගමන් බිමන් ඇරඹීමේ අමිහිරි ප්‍රතිඵල අපි දිනපතාම අසමු. පිරිසුදු සිත දවස පුරාම රඳවා ගත නො හැකි නම්, ආරම්භයේදීවත් පිරිසුදු සිතින් ශක්තිමත් විය යුතුයි. මේ අවස්ථාවටම ගැළපෙන කතාවක් මහා භාරතයෙ එයි.

නල දමයන්ති ප්‍රේම කතාවේ දී දමයන්තිය සරණ පතා වූ ස්වයංවර විවාහයේ දී සුර අසුර මිනිසුන් මැඳ දමයන්තිය නල කුමරු තෝරා ගත්තා ය. ස්වයංවරයට පමා වී පැමිණි ද්වාපර අසුරයා සුර අසුරයන් අමතක කොට නල කුමරුන් තෝරා ගැනීම ගැන වෛරයෙන් නල දමයන්ති දෙදෙනාගෙන් පළිගැනීමට වසර දොළහක් ම පසු පසින් සිටියේ ය. වරදක් ද්වාපරට නො පෙනිණ.

දිනක් නල කුමරු වැඩ අධික වේලාවක කැසිකිළියට ගොස් පිරිසුදු නොවී දෙවොලට පිවිසියේ ය. ඒ වරද අවුල් සිතින් සිදු වූ විටම ද්වාපර ආරූඪවී නල කුමරුන් විරූප ගන්වා දමයන්තියගෙන් නල කුමරු වෙන් කළේ ය.

මෝර පිරිතේ මොනරා ද විපතට පත් වූයේ වන්දනාව නවතා රාගයෙන් සිත කිලිටි වූ විටයි. නල කුමරුට ද්වාපර ආරූඪ වී විපත් පැමිණෙව්වේ ද, අවුල් සිතින් ද, අපිරිසුදු කයින්ද, දෙවොලට ඇතුළු වූ විට ය. එහෙයින් බුදු දහමින් ලැබිය හැකි පිළිසරණ තේරුම් ගන්න. සිහි නුවණින් තොරව, අවුල් මනසින්, කිලිටි සිතින් අරඹන ගමන බිමන මෙන්ම අනෙකුත් කටයුතු ද අතර මඟ නැවතී ජීවිතයේ අඳුරු සෙවණැලි වැටීම නො වැළැක්විය හැකි බව සිතන්න.

යන එන ගමන් බිමන් , කරන කියන කටයුතු අරඹන්න පෙර මොහොතක් නිහඬවන්න අපිරිසුදු සිතිවිලි බැහැර කරන්න. සුබවාදීවත් අසුබවාදීවත් නො සිතා සැබෑ ලෙසින් අරඹන දෙය ගැන සිතන්න. ඔබ අරඹන හැම දෙයින්ම ශුභඵල ලැබෙනු ඇත. සැබෑ ලෙසින් සිතීම නම් විදර්ශනාවයි. විදර්ශනාව බුදු දහමේ ඉගැන්වෙන මූලිකම පාඩම බව අමතක කරන්න එපා.

උදේ – සවස වශයෙන් සඡ්ජායනා කිරීමට පිරිත් ඛණ්‌ඩ දෙකක්‌ ඇති මෝර පිරිත තේරුම අවබෝධ කොට ගෙන දිනපතා භාවිතයෙන් අපටද බොහෝ ගුණ ලැබිය හැකි බව නැකත පාඨක ඔබවෙත දන්වමු.
මෙහි 1 ගාථාව උදේට ද     2 ගාථාව සවසට ද කියන්න.
උදේතයං චක්‌ඛුමා ඒක රාජා
හරිස්‌ස වණ්‌ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌ස වණ්‌ණං පඨවිප්පභා සං
තයඡ්ජගුත්තා විහරේමු දිවසං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බධම්මේ
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ චරති ඒ සනා
අපේ තයං චඛු මා ඒකරාජ
හරිස්‌සවණ්‌ණෝ පඨවිප්ප භාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌සවණ්‌ණං පඨවිප්පභාසං
තයඡ්ජගුත්තා විහරේමු රත්තිං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේච මංපාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ වාසමකප්පයිති

මෙහි තේරුම
ලොව අඳුර දුරුකොට ලෝ වැස්‌සන්ට ඇස්‌ පාදාදෙන හෙයින් ඇස්‌ ඇති ලොවට එළිය දෙන්නාවුන් අතරින් රජෙක්‌ වූ රන්වන් සිරුරක්‌ ඇති මහ පොළොව බබළවන්නා වූ මේ සූර්යයා නැඟෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්‍ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්‌තව සැපසේ වෙසෙමු.
ස්‌වාසනා සකල ක්‌ලේෂයන් දුරු කළ යම් බුදු කෙනෙක්‌ සියලු දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කළාහුද උන්වහන්සේලාට මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලා ද මා ආරක්‌ෂා කරන සේක්‌වා. අතීත බුදුවරයාණන් වහන්සේලාටද මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලාද මා ආරක්‌ෂා කරන සේක්‌වා.
උන්වහන්සේලාගේ නව ලොව්තුරු බෝධි ගුණයට ද මාගේ නමස්‌කාරය වේවා.
ඒ මයුර තෙම පිරිත කියා ගොදුර සෙවීමෙහි හැසිරෙයි.
දෙවැනි මෝර පිරිතෙහිද පෙරසේම මේ සූර්ය තෙම අප අතරින් ඉවත් වෙයි. ඔබගෙන් ආරක්‌ෂාව ලත් අපි (මුළු රැයේම) සුවසේ වෙසෙමු. අනෙක්‌වා මුල් ගාථාව සේමය.

පිරිතේ ශාන්තිය
Õ මෙය ආරක්‍ෂාව සඳහා භාවිත කළ හැකි පිරිතකි. මෙය නිසි පරිදි උදේ සවස කීමෙන් තමන් අල්ලා ගැනීමට, තමන්ට අනතුරු කිරීමට මාන බලන සොර සතුරන්ට අසු නොවී ආරක්‍ෂා වීමට පුළුවන. විශේෂයෙන් රැකී රක්‍ෂා වෙලහෙළ¹ම් පාලන කටයුතු සඳහා දුර බැහැර යන හා සතුරු කරදර බහුල අයට මෙය නිතර භාවිත කිරීමෙන් ආරක්‍ෂාව සලසා ගත හැකිය.
Õ උදේ අවදි වූ විගස නිදි යහනේ සිට පළමු ගාථාව තෙවරක්‌ කියවන්න. එසේම රෑ නින්දට යන විට දෙවැනි ගාථාව තෙවරක්‌ කියන්න. එසේ නොහැකි නම් උදේ සවස ආගම සිහි කරන විට වුවද කීමට හැකිය.
Õ පාබල, නාවික, ගුවන්, පොලිස්‌ ආදී ආරක්‌ෂක අංශයන්හි නිරත අය මෙය උදේ සවස භාවිත කළහොත් සතුරු උවදුරුවලින් ආරක්‌ෂාව සැලසෙයි. දුරාචාරවලින් වැළකී පන්සිල් රකිමින් මෙය භාවිත කළහොත් නිසි ප්‍රතිඵල අත්වනු ඇත.
Õ රාහුගේ අපල සඳහා ද මෙම ගාථා දෙක උදේ සවස කීම හොඳයි.
Õ මෙහි පළමු ගාථාව “උදේතයං…” යන්ත්‍රයක්‌ මෙන් ලියා ඉනේ බැඳීම රක්‌තවාතයට ගුණ දෙන්නකි. (108 වරක්‌ මතුරා ගන්න) මෙහි “අපේතයං” යන දෙවැනි ගාථාවෙන් 108 වරක්‌ තෙල් මතුරා ගෑමෙන් ඇවිලිල්ල සුව වේ.
ජ්‍යෙතිෂවේදී – රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රමාදයේ බිය දකිමු අප්‍රමාදය අමා වදනකි

හෝමාගම පුරාණ විහාරධිපති
සහකාර අධ්‍යපන අධ්‍යක්ෂ(පිරිවෙන්)
මාදෝවිට වජිරබුද්ධි හිමි

අප්‍රමාදය නිවනට, කෙලෙස් නැසීමට මාර්ගය වේ. ප්‍රමාදය මරණයට, අකුසලයට හේතු වේ. අප්‍රමාදී වූවෝ නොමියෙන බවත්, ප්‍රමාද වූවෝ ජීවත් වුව ද මළවුන් මෙන් කටයුතු කරන බවත් බුදු දහමේ පිළිගැනීම වේ.
ප්‍රමාදය පරිහානියටත්, අප්‍රමාදය දියුණුවටත් හේතු වේ. ප්‍රමාදය අකුසලයකි. පාපයකි. අප්‍රමාදය කුසලයකි. පිනකි. අප්‍රමාදය අමා වදනකි. ප්‍රමාදය මාර ශාපයකි.
බෞද්ධයාගේ හස්තසාර දහම් අමාව වන ධම්මපදයේ පමණක් නොව ති‍්‍රපිටක සාහිත්‍යයේ බොහෝ සූත්‍රවල අප්‍රමාදයේ අනගි ශක්තිය වර්ණනා කර ඇත. එපමණක් නොව ප්‍රමාදයේ ආදීනව ද ඒ සමඟ ජනතාවට ධර්මය කරුණු වශයෙන් ඉදිරිපත් කර ඇත. අපේ බෝධිසත්වයන් දස පාරමී ධර්ම පුරණ සමයේ වීර්යය පාරමිතාව පිරූ බව අපි දනිමු. ප්‍රමාදය දුරලා අප්‍රමාදී ව විමුක්ති සාධනයේ දී වීර්යය පාරමිතාව බෝසතුන්ට මහත් අධිෂ්ඨාන ශක්තියක් විය. ප්‍රමාදය කුසීත පුද්ගලයාගේ ආභරණයකි. අප්‍රමාදය වීර්යයවන්ත සත්පුරුෂයාගේ දෙලොව ජීවිතය ජයගන්නා මුතුහරකි.
අප්‍රමාදය ලොකු - කුඩා සැමට අභියෝග ජයගත හැකි වටිනා මෙවලමකි. අධ්‍යාපනය හදාරණ දරුවාට, රැකියා නියුක්තිකයාට මෙලොව පරලොව ජීවිතය ජය ගැනීමට දහම් සරණ සොයන නැණවතාට අප්‍රමාදී ව වැඩකිරීම තරම් ශක්තියක් තවත් නොමැති තරම් ය. ඒ නිසාම බුදු දහම පුරාම මේ පිළිබඳ වූ සාරමය කරුණු අන්තර්ගත වන අතර අප්‍රමාදයට බුදු දහම තුළ වටිනාකමක් ද එකතු කර ඇත. බුදුන් වදාළ ධර්මය ද හීන වීර්යය ඇති කුසීතයාට නොව වීර්යය වන්ත අප්‍රමාදියාට බව දීඝ නිකායේ දසුත්තර සූත්‍රයේ සඳහන් වේ.
අප්‍රමාදය නිවනට කෙලෙස් නැසීමට මාර්ගය වේ. ප්‍රමාදය මරණයට අකුසලයට හේතු වේ. අප්‍රමාදී වූවෝ නොමියෙන බවත්, ප්‍රමාද වූවෝ ජීවත් වුව ද, මළවුන් මෙන් කටයුතු කරන බව බුදු දහමේ පිළිගැනීම වේ. මේ පිළිබඳව විශේෂයෙන් සලකා බලා බුද්ධිමත් ආර්යය පුද්ගලයා අප්‍රමාදය රුචි කරන බවත්, අප්‍රමාදයේ සතුටු වන බවත්, සම්මත පිළිගැනීමකි.

උත්සාහයෙන් අප්‍රමාදයෙන් යුක්ත පුද්ගලයාගේ පංච ඉන්ද්‍රිය සංවර වේ. හෙතෙම ප්‍රඥාවන්තයෙකි කාම ඕඝ, භව ඹ්ඝ, ආදී සංසාර සැඩ පහරට අදාළ ඕඝ හෙවත් මහ කෙලෙස් ප්‍රවාහය තරණය කර අහරන්ත ප්‍රතිපදාව ජයගැනීමට ද අප්‍රමාදය ඉවහල් වේ. නුවණැත්තා අප්‍රමාදය තුළින් සංසාර දුක ජය ගන්නා අතර, දුෂ්ප්‍රාඥ මෝඩයා ප්‍රමාදයේ ගැලී සංසාර දුකට තව තවත් නැඹුරු වේ. ඒ නිසා බුදුරදුන් වදාළේ ප්‍රමාදයේ නිරත නොවී අප්‍රමාදයේ නිරත වන ලෙස ය. ප්‍රඥාවන්ත මිනිසා අප්‍රමාදයෙන් ප්‍රමාදය ඉවත දමයි. මහරහත් භූමිකාව තුළ අප්‍රමාදය වටිනා ආත්ම ශක්තියක් බව රසවාහිනී , සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාවලිය වැනි අපේ පැරැණි බණ කතා වලින් හෙළි වේ. ප්‍රමාදය දුර්වල දුබල අශ්වයකුට උපමා කිරීමෙන් අප්‍රමාදයේ ඇති අයෝමය ශක්තිය අවබෝධ කරගත හැකි ය.
අප්‍රමාදය නිසා ශක්‍ර දේවේන්ද්‍රයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බව ධම්මපදට්ඨ කතාවේ ශක්‍ර දේවේන්ද්‍ර කතා වස්තුවෙන් හෙළි වේ. ප්‍රමාදයේ බිය දක්නා බුද්ධ ශ්‍රාවකයා සක්කාය දිට්ඨීය ආදී සංයෝජන ධර්ම දුරු කිරීමට පෙළඹෙන්නේ අප්‍රමාදය නිසා බවද, ධම්මපද අප්‍රමාද වර්ගයෙන් හෙළිවේ. මේ අනුව මෙලොව පරලොව ජයගැනීමට ද , ලෞකික ලෝකෝත්තර දියුණුව උදාකර ගැනීමට ද බුදුදහම පෙන්වාදී ඇති ප්‍රායෝගික විසඳුමක් ලෙස අප්‍රමාදය හැඳීන්විය හැකි ය. මෙය බුදුදහමේ මූල ධර්මයක් ලෙස ද , සිද්ධාන්තයක් ලෙස ද භාවිත වී ඇති ආකාරය සූත්‍රගත මූලික කරුණු වලින් අනාවරණය වේ.
අප ගෞතම බුදුරදුන් සිය පන්සාළිස් වස මුළුල්ලේ ද අග්‍රශ්‍රාවක ආදී අරහත්ත ශ්‍රාවකයෝ ද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට අවවාද අනුශාසනා කළේ අප්‍රමාදීව කුසල ධර්මයන් සම්පූර්ණ කරන ලෙස ය. ඒ කුමක් සඳහාද යත් සංසාර දුක තරණය කර නිර්වාණාවබෝධය සපල කර ගැනීම පිණිස ය. අප බුදුරදුන් අවසාන බුදුවදන ඔස්සේද අනුශාසනා කළේ අප්‍රමාදයේ අගය ලොවට ප්‍රකට කිරීමට ය. සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. විනාශ වන සුළුය. ඒ නිසා අප්‍රමාදී ව කුසල් සම්පාදනය කළ යුතුය. තමාට පිහිට වන්නේ තමා පමණයි. අප්‍රමාද වේ. සිහි බුද්ධියෙන් කි‍්‍රයා කරව්. සිල්වත් ගුණවත් බව වඩව්. සම්‍යක්ව සංකල්පනාවන්ගෙන් සිත රැකගෙන මෙම ශාසනය තුළ අප්‍රමාදී ව කටයුතු කර ජාති ජරා මරණ දුක්ඛ දොමනස්සයන්ගෙන් පිරි සංසාර දුකෙන් නිදහස් වීමට කටයුතු කරන ලෙස බුදුරදුන් අවසාන වශයෙන් ඉල්ලා සිටී බව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙන් ද අනාවරණය වේ. මෙහිදී සාධු ජනතාවට අප්‍රමාදයේ මෙලොව පරලොව සාධනීය ගුණය තිව්ර වන බව පැහැදිලි ය.
බුදු දහමේ පෙන්වා දී ඇති ලාමක ධර්ම අතරට ප්‍රමාදය ද අයත් වේ. ලෝභය, ද්වේෂය, මෝහය ආදිය ලාමක ධර්ම වලට අයත් වේ. එසේ නම්, අප්‍රමාදය අයත් වන්නේ අලාමක ධර්මයක් ලෙසටය. මදය , ප්‍රමාදය ආදී සෙසු ලාමක ධර්ම නිසා මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අප අතරින් ඈතට ගමන් කරයි. එය මෙලෙව පරලොව සසර ගමනට බාධාවකි. ප්‍රමාදය වෙනුවට අප්‍රමාද ආදී අලාමක ධර්මතාවලට අනුව කටයුතු කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට මනා පිටිවහලක් උදාවන බව මජ්ක්‍ධිම නිකායේ ධම්ම දායාද සූත්‍රයෙන් ද අනාවරණය වේ. කාමච්ඡන් ද , ව්‍යාපාද, ථීනමිද්ධ , උද්ධච්ච, කුක්කුච්ච සහ විචිකිච්ඡා යනුවෙන් නිවන් මඟ අවුරාලන ධර්මතා පහක් බුදු දහමේ ඉගැන් වේ. මේවා දුරු කරගැනීමට උපයෝගී වන්නේ අප්‍රමාදී ව කුසල ධර්ම සම්පාදනයෙනි. ප්‍රමාදී පුද්ගලයා පංචනීවරණ ධර්මවල ගොදුරක් බවට පත්වන බව මජ්ක්‍ධිම නිකායේ සුභ සූත්‍රයෙන් ද අනාවරණය වේ. පංච නීවරණ යනු දෙලොව පිරිහෙන නිවන් මග වසාලන ප්‍රබල කෙලෙස් පහකි.
දිනක් බුදුරදුන් කොසොල් මහ රජතුමා හමු වූ අවස්ථාවේ අප්‍රමාදයේ අගය රජුට පැහැදිලි කළසේක. යම් දහමක් මෙලොව සහ පරලොව අභිවෘද්ධිය යන දෙලොව අභිවෘද්ධිය සලසන්නේ නම්, ඒ එකම දෙය අප්‍රමාදය පමණි. ඇවිදින ප්‍රාණීන්ගේ පිය සටහන් සියල්ල ඇතාගේ පා සටහන තුළට ඇතුළත් වීමට හැකි වේ ද . හස්ති රාජයාගේ පා සටහන අග්‍ර බවට පත්වේද එපරිදි අප්‍රමාදය ද එලෙස සියලු ධර්මතා අතර අග්‍රස්ථානයට පත්වන බව සංයුක්ත නිකායේ අප්‍රමාද සූත්‍රයේ සඳහන් වේ.
යම් ධර්මතාවයක් ඉමහත් අනර්ථය පිණිස මෙලොව - පරලොව පරිහානිය පිණිස ඉවහල් වේ නම්, ඒ එකම ධර්මය ප්‍රමාදය නම් වේ. ප්‍රමාදය මහත් අනර්ථය පිණිස අවැඩ පිණිස පවතින්නේ ය. යමක් මෙසේ ඉමහත් අනර්ථය පිණිස , මෙලොව පරලොව සුබසිද්ධිය දියුණුව පිණිස පවත්නේ ද අප්‍රමාදය තරම් ඒ එකම ධර්මයක්වත් ලොව නොමැති ය. අප්‍රමාදය එසේ මහත් අර්ථය පිණිස හිත වැඩ පිණිස පවතින එකම ධර්මතාවය බව අංගුත්තර නිකායේ පමාද වර්ගයේ සඳහන් වේ. මෙම කරුණු වලින් ද ඉහත සඳහන් ප්‍රස්තුතය මැනවින් අවධාරණය කර ඇත. ප්‍රමාදයේ දෝෂ නිර්මාණය වන තරමට අප්‍රමාදී ගුණය ආලෝකමත් වේ. අප්‍රමාදය ජීවිතය එළියකරන මහා ප්‍රදීපයකි. ප්‍රමාදය ගනදුර වැන්න.
කාය , දුශ්චරිතය දුරුකිරීමටත් කාය සුචරිතය වර්ධනයටත් වාග් දුෂ්චරිතය දුරුකිරීමට වාග් සුචරිතය වර්ධනයටත් මනෝ දුෂ්චරිතය දුරුකිරීමටත්, මනෝ සුචරිතය වර්ධනයටත් ඉවහල්වන්නේ අප්පමාදී කුසලතාවයි. මිථ්‍යා දෘෂ්ටිය දුරලා සම්මා දිට්ඨීය දියුණු කරගැනීමට ද අප්‍රමාදීව කි‍්‍රයාකිරීමේ වැදගත්කම අංගුත්තර නිකායේ අප්‍රමාද සූත්‍රයේ අවධාරණය කර ඇත.
මේ අනුව අප්‍රමාදී ව කි‍්‍රයා කර මෙලොව සහ පරලොව ජය ලබාගැනීමට සැම දෙනාම අධිෂ්ඨාන කර ගත යුතු ය.

කල්ප තිහක්‌ විපාක දෙන කඨින පිංකම්

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින අවස්‌ථාවේ වුවද ඒ පිළිබඳව සිත යොමු කරවන්නකි.
කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය වන්නට හේතුකාරණාවක්‌ ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින චීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌ පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජු බව, කම්පා නොවන බව, තියුණු බව ආදිය දැක්‌විය හැකිය. අනෙක්‌ කුසලයන්ට වඩා කඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමු පිංකම වන්නේ මේ කඨින චීවර පූජාවයි.
පංචානන්තරිය පාප කර්ම හැර වෙනත් සෙසු අකුශල කර්ම ප්‍රබල කුසලකර්ම වලින් වැසිය හැකිය “කුසලෙන පිථියති” යන්නෙන් දැක්‌වෙන්නේ එයයි. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකර ගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස්‌ විය හැකිය. කඨිනය යන්නට ගොරෝසු යන අර්ථය දක්‌වා ඇත්තේ ඉන්දියාවේ ශීත කාලගුණික තත්ත්වයට වස්‌ත්‍ර සකස්‌ කරගත යුතු බැවිනි. ගොරෝසු වස්‌ත්‍ර නොමැති වුවවොත් අධික ශීතල නිසා රෝගී විය හැකිය. “සීතස්‌ත පටිඝාතාය” යන්නෙන් දැක්‌වෙන්නේ සීතලට ඔරොත්තු දීම සඳහාය.
වස්‌කාලය යනු වැසි කාලයයි. එදා ඉන්දියාවේ වැසි කාලයේදී අනෙක්‌ ආගමික පිරිස්‌ එක්‌ තැනෙකට වී ඔවුන්ගේ ආගමික කටයුතු කළහ. භික්‍ෂූන් වහන්සේලා සුපුරුදු ලෙස චාරිකාවේ යෙදුනහ. එම අවස්‌ථාවේ අනෙක්‌ ආගමිකයන්ගෙන් විවිධ චෝදනා එල්ලවිය. පක්‍ෂීන් පවා වැසිකාලයේදී කෑම සොයාගෙන එක්‌ තැනෙකට වී හිඳිති. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්නට උගන්වන ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයන් කුඩා සතුන් පාගමින් අලුත් තණ පාගමින් වැසි කාලයේ සැරිසරණ බවයි. එම කාරණාවන් හා තවත් කාරණාවන් හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට වස්‌ කාලයේ එක්‌තැනෙකට වී ආගමික කටයුතු කරන්නැයි අනුදැන වදාළහ. එනම් “අනුජානාමි භික්‌ඛවේ වස්‌සානේ වස්‌සං උපගත්තුං” ‘මහණෙනි වර්ෂා කාලයෙහි වස්‌ වසන්නට නියම කරමි’. යනුවෙන් අවසර දුන්හ. ඒ බුද්ධ නියමයන් අනුව අදට වසර 2500 කට වැඩි කාලයක්‌ ගත වෙලත් උන්වහන්සේගේ අනුශාසනාව ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම කෙතරම් විශ්මයජනකද?
ලෝකයේ වෙහෙර විහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස්‌ කාලයේ වස්‌ පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකම පිළිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරනු ලක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ කඨින පිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභය පාර්ශ්වයම සංවිධානය වෙති. එක්‌ විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක්‌ භාරගැනීමද දුෂ්කර කරුණක්‌ වී ඇත. ඒ එතරම්ම පිරිසක්‌ කඨින පිංකම් භාරගත් ලයිස්‌තුවේ සිටීම නිසාය.
කඨින චීවරයක්‌ අනුදැන වදාරන්නට විශේෂ සිදුවීමක්‌ ඇත. එනම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවෙසෙන සමයේ පාවා නුවර වැඩවෙසෙන භික්‍ෂූන් වහන්සේලා 30 නමක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. උන්වහන්සේලාගේ බලාපොරොත්තුව වූයේ බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන සැවැත්නුවර ඡේතවනාරාමයේ වස්‌ කාලය ගතකිරීම සඳහාය. එහෙත් උන්වහන්සේලාට නියමිත දිනට සැවැත් නුවරට ළඟාවීමට නොහැකි වූහ. ඒ නිසා සාකේත නම් නුවර වස්‌ කාලය ගත කළහ. උන්වහන්සේලා එම වස්‌ කාලය ගතකළේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නොලැබීමේ කනස්‌සල්ලෙනි. වස්‌ තුන් මාසය අවසන් වූ විට එම ස්‌වාමීන් වහන්සේලා යළිත් වරක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. අතර මගදී මහ වැසි පතිත වීම නිසා ගොහොරු මඩ සහිත බිමෙහි වැසි ජලයෙන් තෙත්වූ වස්‌ත්‍ර වලින් යුතුව ඡේතවනාරාමයට වැඩම කළහ.
එම භික්‍ෂූන් වහන්සේලා බුදුහිමි වැඳ පිළිසඳර කතාවෙහි යෙදුනහ. වස්‌ කාලය කරදරයක්‌ නැතිව ගත කළාද? සමගියෙන් විවාද නැතිව සතුටින් ගත කළා දැයි බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන් විචාලසේක. එහිදී භික්‍ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්‌වාමීනි අප සමගියෙන් විවාද නැතිව සතුටින් වස්‌කාලය ගතකළ බවයි. එහෙත් අප සැවැත්නුවරට වැඩම කරන විට මහ වැසි ඇදහැලීම නිසා අතරමග මඩෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත්වූ බවත් තෙත් වූ සිවුරුවලින් යුතුව පැමිණි බවත් දැන්වූහ. එවිට මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ඒ ගැන සිතා තවත් සිවුරක්‌ තිබුණා නම් මේ ආකාරයේ දුෂ්කරතාවයකට පත් නොවන බව සලකා වස්‌ වැසූ භික්‍ෂූන්ට කඨින චීවරයක්‌ ලබාගන්නට අවසර දුන්හ.
කඨිනයෙහි බලසම්පන්න භාවය පහත ගාථාවෙන් දැක්‌වේ.
පඨවිරිව න ජාතුකම්පතේ – න චලති මේරුරිවාතිවායුනා
වජිරම්ව න භිඡ්ජතේ ඝනං – තමිධමතෝ කඨිනන්ති වුච්චති

එනම් මහ පොළොව සේ ස්‌ථිර වූ කුසලකර්මයකි. එම කුසලය මහාමේරු පර්වතය සුළඟින් නොසෙල්වෙන සේ නොසැලෙන පිංකමකි. එසේම වජ්‍ර පර්වතය සේ බිඳිය නොහැකි වූ කුසලයකි.
දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කැමති චීවරයක්‌ කඨිනය සඳහා පූජා කළ හැකිය. මසා නිමකළ චීවරයක්‌ මෙන්ම චීවරයක්‌ වශයෙන් සකස්‌ නොකළ චීවරයකට ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ (දුස්‌සං) වශයෙන් පූජාකළ හැකිය.
අටමහා කුසලයන් වන්නේ
කඨිනට්‌ඨ පරිඛාරං – වාසදානං ච උත්මං
බුද්ධප්පමුඛ සංඝස්‌ස – දානං ධම්මස්‌ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්‌ස – පටිමාකරණම්පි ච
කරණං වච්චකුටියා – අට්‌ඨ පුඤ්නි වුච්චරේ

එනම් –
1. කඨින පූජාව
2. අටපිරිකර පූජාව
3. උතුම් ආවාස කරවා පූජා කිරීම
4. බුදුපාමොක්‌ මහ සඟනට දන්දීම
5. දහම් පොත්පත් ලියවීම
6. කෙත්වතු පූජා කිරීම
7. බුද්ධ ප්‍රථිමා කරවීම
8. වැසිකිළි කැසිකිළි කරවීම – දැක්‌විය හැකිය.

මෙහි පළමු පිංකම වන්නේ කඨින පිංකමයි. ඒ අනුව එහි ප්‍රබල බව සිතාගත හැකිය. කඨින චීවර පූජාව සමගින් අතිරේක පිරිකර පූජා කිරීමද සිදුවේ. ඒ සඳහා කැමති කෙනෙකුට ඉඳිකටුවේ සිට විහාරස්‌ථානයට අවශ්‍ය කරන පුද පිරිකර පූජා කළ හැකිය.
කඨින පිංකම පිළිබඳ සඳහන් කරනවිට නාගිත මහරහතන් වහන්සේගේ නම අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. බුදුරජාණන් වහන්සේ එක්‌තරා අවස්‌ථාවකදී ඒහි භිCඛු භාවයෙන් පැවිදි වූ මහරහතන් වහන්සේලා 500 නමක්‌ අනෝතත්ත විල්තෙරට එක්‌රැස්‌ වන්නැයි සිහිපත් කළහ. එම මහරහතන් වහන්සේලා අතර පෙර බුදු-පසේබුදු මහරහතන් වහන්සේලාට කළ කුශල කර්මයක්‌ ඇත්දැයි ඇසූහ. එහිදී නාගිත මහරහතන් වහන්සේ පෙර ජාතිවලදී කළ කඨින පිංකම්වල හා අනෙකුත් පින්කම් ගැන විස්‌තරයක්‌ කළහ. ඒ අනුව,
“කඨින දානං දත්වාන – සංඝේ ගුණ වරුත්තමේ
ඉතෝ තිංසේ මහා කප්පේ – නාභිජානාමි දුග්ගතිං”

උත්තම ගුණ ඇති මහා සංඝරත්නයට කඨිණ චීවර දානය පූජාකර කල්ප තිහක් දුගතියෙන් තොරවූ බව හා තවත් ආනිසංශ ගෙනහැර දැක්‌වීය.
මෙසේ බලන විට නිවන් දකින ආත්ම භාවය දක්‌වාම විශිෂ්ට වූ මනුෂ්‍ය සම්පත් ලැබීම සඳහා කඨින පිංකම හේතුවේ. කිසිදු අඩුවක්‌ නොමැති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්‌ සඳහා මෙන්ම දිව්‍ය ආත්මභාව ලැබීමටද කඨින පිංකම් බලපානු ඇත. එපමණක්‌ නොව සදාකාලික සැපත, උතුම් නිර්වාණ සම්පත්තිය උදාකර ගැනීමට මේ උතුම් කඨින පිංකමේ බලය හා ශක්‌තිය ද හේතුවේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

මහා සෑයට ජීවිත පූජාව කරන්නේ කෙසේද?

ඔබටත් දරැපල නැතිද?

ඔබටත් අමුනුෂ්ය ලෝකයේ ප්‍රශ්ණ ඇත්ද?

ඔබටත් අණවින කොඩිවින කරදර තිබේද?

ඔබට ලෙඩදුක් කරදර වැඩිද?

මෙන්න බෞද්ධ පිළිසරණ...

මේ ලෝකයේ දීර්ඝායුෂ මෙන්ම අල්පායුෂ බුදුරජාණන් වහන්සේ්ලා පහළ වන සේක. දීර්ඝායුෂ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ බෙදීමක් සිදුනොවේ. බුද්ධ ශරීරයම එකම ධාතුන් වහන්සේ නමක් ලෙස ඉතිරිවේ. එය “ඒකඝනවීම” ලෙස හැඳින්වේ. අටවිසි බුදුරජාණන් වහන්සේ අතරින් අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ බෙදුණ අතර එම ධාතුන් වහන්සේ මුං පියලි, කඩ සහල් සහ අබ ඇට ප්‍රමාණයට බෙදිණ. මේ තුන් ලෝකයේම ද්‍රෝණයක් ධාතුන් වහන්සේ එකම තැන පිහිටා ඇත්තේ රුවන්වැලි මහා සෑයේ යි. බුදුරජාණන් වහන්සේගේ ආයුෂ අඩු නිසා උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුවත් මිනිසුන්ටත්, දෙවියන්ටත් වැඳ පුදාගෙන සුගති සැප සලසා ගැනීම පිණිසයි ධාතුන් වහන්සේ ඉතිරිවෙන්නේ. ඒ නිසා රුවන්වැලි සෑය වැනි උතුම් ස්ථානවල ධාතුන් වහන්සේ වඳින, පුදන, සත්කාර කරන චිත්තප්‍රසාදයෙන් පසුවෙන අයට දෙව්ලොව උපත් හිමි වනබව සඳහන් වේ.
එසේනම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රන්වැලි මහා සෑයට හෝ වෙනත් ධාතුන් වහන්සේ තැන්පත් ස්තූපවලට වඳින, පුදන, ගෞරව උපහාර කරන පිරිස දෙව්ලොව යති. අමාමහ නිවනට පින් පිරෙන පුණ්ය කර්ම ගැන සඳහන් “නිදිකණ්ඩ” සූත්‍රයේ දැක්වෙන්නේ දාගැබ් වන්දනා කරනවානම්, නිවන පිණිස පින් පිරෙන බවයි. ඒ වගේම ථේරාපදානයක “ධාතු පූජික” නම් රහතන් වහන්සේගේ විස්තරයක් සඳහන් වන පරිදි උන්වහන්සේ අරහත්වයට පත් වූ පසු ජීවිතය ආපස්සට බැලූ කල දකින්නේ ධාතුන් වහන්සේ වන්දනා කළ පින් බලයෙනුයි උන්වහන්සේ අරහත්වයට පත්වී ඇත්තේ. එනිසා අමා නිවන සොයාගෙන යන කෙනෙක් සිටීනම් රුවන්වැලි මහා සෑය වගේ උතුම් ස්ථාන වන්දනා කරමින් නිවන තුළ සිත පිහිටුවා ගැනීමමයි වටින්නේ.

අද කාලයේ බොහෝ දෙනෙකු විවිධ ප්‍රශ්නවලින් පීඩා විඳී. ඒ අතර අමනුස්සයන්ගෙන් වෙන කරදර විශේෂයි.
යක්ෂ, ප්‍රේත, භූත, පිසාච, කුම්භාණ්ඩ වගේම අණවින, කොඩිවිණ, හදි හූනියම් ආදී දෝස වලින් දුක් විඳී.

මිනිසුන්ට එන මේ දුක් කරදර පීඩා වලින් ගැලවීමට අපහසුය. ඊට අමතරව යන්ත්‍ර, තන්ත්‍ර, මන්ත්‍ර ආදී ගුප්ත විද්‍යාවන් කරන මිනිසුන් අහිංසක මිනිසුන් නොමඟ යවති. මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය සම්පූර්ණ භූමිය වටා පැතිරී තිබෙන අතර එහි රහතන් වහන්සේ බොහෝ සේ වන්දනා කළ ස්ථානයි. ඒ වගේම රහතන් වහන්සේ පිරිත් දේශනාකළ, සාධුකාර දුන් තැන්. රුවන්වැලි මහා සෑ මළුව කියන්නේ අමනුෂ්‍යයන්ගේ වාසස්ථානයක් නොවේ. යම් කෙනෙකුට අමනුෂ්‍යය ප්‍රශ්නයක් තිබේනම් අණවින කොඩිවින දෝෂ තිබේනම් ඒ අයට රුවන්වැලි සෑය ඇසුරෙන් ඒ දෝෂ මඟහරවා ගත හැකියි. එසේ පිහිට ලබාගත් අය සිටින අතර ඒ සඳහා කළයුතු වත්පිළිවෙත් ද තිබේ. එසේ කරදර තිබේනම් ඔබ මහා සෑය සැදැහැ සිතින් වන්දනා කර බුදුගුණ, රතන සූත්‍රය ආදිය සජ්ඣායනා කොට සෑය වටා තුන්වතාවක් ප්‍රදක්ෂිණා කරන්න. ඉන්පසු මහා සෑයේ පාදමේ නළල තබා වන්දනා කරන්න. මහා සෑය භාග්‍යවතුන් වහන්සේ ලෙස සිතා උන්වහන්සේගේ සිරිපා කමළ වන්දනා කරමියි යන චිත්තප්‍රසාදයෙන් යුතුව බුද්ධ වන්දනාව කළ හැකියි. රතන සූත්‍රය, ආටානාටිය තුන් වතාවක් හෝ සජ්ඣායනයෙන් පසු නැවත භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන ආකාරයට මහා සෑය වඳින්න.
ද්‍රෝණයක් ධාතුන් වහන්සේ තැන්පත් රත්නමාලි මහා සෑයට නමස්කාර වේවා.
මාගේ ජීවිතය ධාතුන් වහන්සේ තැන්පත් මහා සෑයට පූජා කරමි. පූජා වේවා.
ඒ සෑයේ අනුහසින් මාගේ දොස් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් පාදමේ නළල තබාගෙන අධිෂ්ඨාන කළයුතු වේ.
නැවත මෙත්සිත පතුරන සූත්‍ර සජ්ඣායනා කර දෙවියන්ට පින් දෙන්න.
මේ ආකාරයට පැයකට අධික වෙලාවක් සෑ මළුවේ ගත කිරීමෙන් ඔබට බොහෝ සෙත සැලසේ..
ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ අනුභාවයෙන්, ඔබට සෙත් වෙනවාමයි.
ඒ වගේම යම් කරදරයකදී ඉවසීම දුර්වල පුද්ගලයන් මානසිකව ඇද වැටේ.
එවැනි අයත් පෙර කී පිළිවෙලටම පාදමේ නළල තබා වන්දනා කරන්න.
පෙර ජීවත් වූ මිනිසුන් ගේ චාරිත්‍රයක් ලෙස පොල් ගෙඩිය ප්‍රාණය ලෙස සිතා මහා සෑයට ප්‍රාණ පූජාව ලෙස පොල් පූජා කර තිබේ. ඉන්පසු ජීවිත පූජාව කෙරේ. මේ ආකාරයට බොහෝ දෙනා සුවපත් වී තිබේ. සැදැහැවතුන් ආරක්ෂා කරන දේව මණ්ඩලයක් තිබෙන අතර ඔවුන් ”සෙන්පති දෙවිවරු” ය. දෙවියන්, මිනිස් ලොව දෙස බලනවිට මුලින්ම පෙනෙන්නේ රුවන්වැලි මහා සෑයයි. ආටානාටියේ සඳහන් වන “ඉන්ද්රෝ සෝමෝ වරුණෝච” කියන ගාථාව හත් වතාවක්වත් සජ්ඣායනා කිරීම උතුම්.
එසේ කියනවිට දෙවියන්ට එය දැනේ. එය බලය බවට පත්වේ. මෙබඳු පිරිස බෞද්ධ කොඩි, හැරයටි, ඖෂධ මහා සෑයට පූජා කිරීමෙන් ධාතුන් වහන්සේගෙන් පිහිට ලබාගත හැකියි. රතන සූත්‍රය, ධජග්ගය ආටානාටිය ආදී පිරිත් කියමින් සෑ මළුවේ වැඩි වෙලාවක් ගත කිරීම සුදුසුයි. ඒ වගේම ලෙඩ දුක් වැඩි අය ඖෂධ පූජාවක් මහා සෑයට පූජා කරමින් වන්දනා කිරීම සුදුසුයි. ජීවිත පූජාව හතර පස් දෙනා එකතුව කිරීම අපහසුයි එය තනිව තනිවම අවංකව කළයුතු වේ. අද කාලයේ තිබෙන වටපිටාවත් සමඟ බොහෝ තරුණ පිරිස කාමයට ඇබ්බැහිවීමක් තිබෙන අතර එයින් ගැලවීමට අවශ්‍යතාවයක් තිබුණත් ගැලවීමට නොහැකිව සිටී. දුරකතන සහ පරිගණක භාවිතය නිසා නොමඟ ගිය පිරිසට යහමඟට ඒමට අපහසුයි. ඒ වගේ අය මහාසෑය අනිවාර්යයෙන්ම වැඳ ජීවිතය පූජා කළයුතු වේ. පළමු අවස්ථාවේ සුවයක් නැත්නම් දෙවැනි වතාවේදීත්, තුන්වැනි වතාවේදීත් මහසෑය වන්දනා කළයුතුයි. මේ ආකාරයට රුවන්වැලි මහා සෑයම ඇසුරු කරගෙන ඒ ප්‍රශ්නය විසඳා ගත හැකියි. අප දන්නවා පොඩි දරුවන් ලෙඩ වුණාම වැඩිහිටියන් කියනවා ඇස්වහ, කටවහ දෝෂ කියා. ඒ වාගේ අවස්ථාවලදී ධජග්ග පිරිත සුදුසුයි. රෝගාතුර අයෙක් වෙනුවෙන් මහාසෑය වන්දනා කරද්දී බොජ්ඣංග පිරිත සුදුසුයි.
ඒ වගේම දරුවන් බලාපොරොත්තුව සිටින අයටත් මහාසෑයෙන් පිළිසරණක් ලබාගත හැකියි. පෙර කී පිළිවෙලට වන්දනා කොට දෙදෙනාගේම ජීවිත මහා සෑයට පූජා කරමින් අංගුලිමාල පිරිත විසි එක් වතාවත් හෝ සජ්ඣායනා කිරීමත් දම්සක්පැවතුම් සූත්‍රය සජ්ඣායන කර පින්වත් දරුවෙකු ප්‍රාර්ථනා කළ යුතු වේ. පැන් පාත්‍රයක් මහා සෑයට පූජා කර පිරිත් කියා අවසානයේ මහාසෑයෙන් අවසර ගෙන පැන් පාත්‍රය දින කිහිපයක් මහරහතන් වහන්සේගේ ගුණ සිහි කරමින් ඒ පැන් පානය කළ යුතුයි. ඒ වත්පිළිවෙත් කරන අතර අභයදාන පින්කම් ද කළ හැකියි. එනිසා ලංකා ධරණීතලයේ සැදැහැවන්ත ශ්‍රාවකයා පුළුවන් හැම අවස්ථාවකම මාස හයකට වතාවක් හෝ අවුරුද්දට වතාවක් හෝ මහාසෑය අනිවාර්යෙන් වන්දනා කළයුතු වේ. අනිවාර්යෙන් ජීවිත පූජාව කළයුතුයි. එයින් විශාල ශක්තියක් ලැබේ.
මේ ආකාරයට මහාසෑය පිළිබඳව බලවත් ශ්‍රද්ධාවක් ඇතිකරගත් පසු තමන්ගේ නිවසේ බුදුපහන දල්වා තමන්ට පිහිට ලබාගත හැකිය. එසේනම් අප නොදන්නාකම නිසාම අප අසලම ලොකු සම්පතක්, වස්තුවක් තබාගෙනයි විවිධ අරමුණුවල සිර වී සිටින්නේ. රුවන්වැලි සෑයට ඒ ආකාරයෙන් පූජාවක් කිරීමේ වාසිය තමන්ට පැමිණ තිබෙන දෝෂ දුරුවීමත් අප්‍රකටව ඇති දෝෂ ඉස්මතු නොවීමත්ය. ඒ වගේම ඒ දෝෂවලින් පිහිටක් ගන්න තමන්ට යම් මාර්ගයක් හෝ සැකසෙති. මේ අකාරයට තමන්ගේ නිවසේ ප්‍රශ්නවලදී, විවාහ ජීවිත ගැටළුවලදී, ඉඩකඩම් ප්‍රශ්නවලදී භූමි ප්‍රශ්නවලදී මහා සෑයේ පිහිට ලබාගත හැකිය.
කර්මදෝෂයක් හැරුණ විට සාමාන්‍ය දෝෂවලින් හටගන්නා ලෙඩදුක් කරදර පීඩා තිබේනම් රුවන්වැලි සෑයේ වැඩසිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවය රහතන් වහන්සේගේ අධිෂ්ඨානය සිහි කරන්න.
බුදුරජාණන් වහන්සේ පන්සියයක් රහතන් වහන්සේ සමඟ වැඩසිටි බිම, රහතන් වහන්සේ මහාසෑය වන්දනා කළ පින, බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානයෙන්, රහතන් වහන්සේගේ, දෙවියන්ගේ සෘර්ධියෙන්, ගොඩනැඟුන මහා සෑය ගැන සිහිකරමින් වතාවත් කරනවිට ඒ ධාතුන් වහන්සේට වඳින පුදන පිනයි, පිරිත් ආදියේ බලයයි එකතු වේ. තිස්පැයේම දෙවියන් වන්දනා කරන යම් තැනක් තිබේනම් ඒ මහා සෑයයි.
ඕනෑම වෙලාවක එතැන දෙවි කෙනෙක් සිටී.
ඒ දෙවියන්ගේ බැල්ම ලැබෙන අතර අප වැඩි කාලයක් මළුවේ වන්දනා කිරීමෙන් සමහර විට දෙවිවරුන් මොහුගේ ඉෂ්ඨකාමී දෙවියෙකු සම්බන්ධ කර ප්‍රශ්න සංසිඳවීමට උපකාර කරති.
එනිසා තෙරුවන් සිහිකොට වන්දනා කර ජීවිතය පූජා කරමින් අපට පිහිටක් ලබාගත හැකියි.

අපට තිබෙන මහා සම්පතක් වන මහා සෑයේ වැඩ සිටින ද්‍රෝණයක් ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන් සැමට පිහිට පිළිසරණ සැලසේවා.

පොල්ගහවෙල මහමෙවුනා
භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ලෝකයේ සියල්ල කර්මයට අනුව ම සිදුවන්නේ ද?

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි

සාමාන්‍යයෙන් සමාජයක ජීවත්වන විට පුද්ගලයා, පුද්ගලයාට සාපේක්ෂ ලෝකය වශයෙන් කාරණා දෙකක් පවතී. ලෝකය තුළ යම්, යම් සිදුවීම් සිදුවන අතර එම සිදුවීම්වල ස්වභාවය පුද්ගලයාගේ ජීවිතයට බලපායි. ඇතැම් අවස්ථාවල පුද්ගල ජීවිතයේ සිදුවන යම් යම් සිද්ධි ලෝකයට බලපාන සහ බලනොපාන සිදුවීම් වශයෙන් හඳුනාගත හැකි ය. ලෝකයේ සිදුවන සියල්ල කර්මයෙන් සිදුවන්නේ ද? වශයෙන් පුද්ගල සංකල්ප හා පුද්ගල සංසිද්ධි පිළිබඳවත්, ලෝක සංසිද්ධි පිළිබඳවත් වෙන් වෙන් වශයෙන් කල්පනා කළ යුතු ය.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව, උන්වහන්සේ දේශනා කළ දේශනා පාඨවලට අනුව පුද්ගලයා ආශ්‍රිත සංසිද්ධි සියල්ල කර්මයෙන් සිදුවෙනවාය යන කාරණාව චුල්ලකම්ම විභංග සූත්‍රය වැනි සූත්‍රවල දක්වා ඇත. කම්මං සත්තේ විභජති යදිධං හීනප්පනීතිතාය යන පාඨය එම සූත්‍රයෙහි සඳහන් වේ. කර්මය සත්ත්වයා උසස්, පහත් ලෙස වෙනස් කරන බව එහි අර්ථය වේ. කර්මයට අනුව සත්ත්වයා වෙනස් වනවාය යන අදහස බුදුදහමේ අන්තර්ගත කාරණාවක් වේ. කම්ම යන වචනයෙහි විවිධ අර්ථ පවතී. කම්ම යන පාලි වචනය සිංහලයෙහි කර්මය වශයෙන් ද, සිංහල කට වහරට අනුව කරුමය වශයෙන් ද ව්‍යාවහාර වේ.

පාලියෙහි සඳහන් කම්ම යන වචනයට වඩා, වෙනස් අර්ථයක් ජනවහරෙහි ව්‍යාවහාර වන කරුමය යන වචනය ට අර්ථ දිය හැකි ය. සියල්ල කර්මයෙන් සිදුවනවා ද? යන ගැටලුවක දී කම්ම,කර්ම, කරුම යන වචන වෙන් වෙන් වශයෙන් තේරුම් කර ගත යුතු ය. පාලියෙහි කම්ම යන වචනය ක්‍රියාව යන අදහසින් ද යොදා ගැනේ. එසේම තමන් කළ ක්‍රියාවන් කම්ම වශයෙන් ද බෙදේ. මනස සම්බන්ධ ක්‍රියා මනෝ කම්ම වශයෙන් ද, කය සම්බන්ධ ක්‍රියා කාය කම්ම වශයෙන් ද, වචනය සම්බන්ධ ක්‍රියා වචී කම්ම වශයෙන් තවත් එක් අර්ථයක් ලෙස සඳහන් කළ හැකි ය. ඒ වගේම පෙර සංසාරයෙහි මේ භවයෙහි ඉපදීමට පෙර මිනිසා විසින් කරන ලද යහපත් , අයහපත් ක්‍රියාවලට ද කම්ම යන වචනය භාවිත වේ.
මේ අනුව එහි සඳහන් අර්ථ නිවැරැදිව නිශ්චය කරගැනීමකින් තොරව, සියල්ල කර්මයෙන් සිදුවනවාය යන කාරණය පැහැදිලි කරගැනීම අපහසු වේ. මූලික සූත්‍ර ධර්මවල කර්මය ප්‍රබල බලවේගයක්ය යන කාරණාව පැහැදිලි වේ. කර්මය මිනිසා පසුපස ලුහුබැඳ එනවාය යන අදහස බුදු දහමේ අන්තර්ගත වේ. කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ යනුවෙන් වසල සූත්‍රයෙහි සඳහන් කරුණු අනුව මිනිසාගේ උසස් පහත් බව තීරණය වීමට ඔහු විසින් කරනු ලබන වර්තමාන ක්‍රියා කලාපය බලපානු ලබන බව ය. කම්මං සත්තේ විභජති යදිධං හීනප්පනීතිතාය යන පාඨයෙහි අර්ථයට අනුව පෙර සංසාරයේ මිනිසාගේ පින් පව් අනුව මෙලොව ජීවිතයේ යම් යම් තීන්දු තීරණ ලැබෙන බව ය. ඒ අනුව මිනිසා අඩු ආයුෂ භුක්ති විඳින්නේත් , වැඩි ආයුෂ භුක්ති විඳින්නේත්,මිනිසා පැහැපත් වන්නේත්, දුර්වර්ණ වන්නේත්, මිනිසා රෝගී පුද්ගලයකු වන්නේත් ,මිනිසා නිරෝගී පුද්ගලයකු වන්නේත්, කර්මය නිසා ය. මිනිසා උසස් කුලවල උප්පත්තිය ලබන්නේත්, පහත් කුලවල උප්පත්තිය ලබන්නේත් කර්මය නිසා ය. පෙර සංසාරයේ කරන ලද පින් පව් මෙහි කර්මය වශයෙන් හඳුන්වා ඇත.
පෙර සංසාරයේ කළ අකුසල ක්‍රියා පිළිබඳ පමණක් කට වහරේ භාවිත වන කරුමය යන වචනයෙහි අර්ථ ගැන්වී ඇත. පුණ්‍ය ක්‍රියා පිළිබඳ හැඳින්වීමට කරුමය යන වචනය භාවිත නොවේ. ඒ සඳහා වාසනාව යන වචනය භාවිත වේ. කම්ම පලෝපජීවී සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ උත්සාහය සහ කර්ම ශක්තිය අනුව, මිනිසාගේ ජීවිතය තීරණය වන ආකාරය පැහැදිලි කර ඇත. ඔහු හෝ ඇය පෙර සංසාරයේ පුණ්‍ය මහිමය නිසා හෝ පාප තත්ත්වය නිසා හෝ ලබන කිසියම් ශක්ති විශේෂයක් මෙහිදී කර්මය වශයෙන් දක්වා ඇත. ඇතැම් පුද්ගලයකු කර්මය අනුව දියුණු වේ. ඇතැම් පුද්ගලයකු උත්සාහය අනුව දියුණු වේ. ඇතැම් පුද්ගලයකු කර්මයත් , උත්සාහයත් දෙකම බලපෑමෙන් දියුණු වේ. ඇතැම් පුද්ගලයකුට කර්ම ශක්තිය හා උත්සාහයේ ශක්තියක් ද නැත. මේ ආකාරයට බෙදා දක්වා ඇත. මුල් බුදුසමයේ සඳහන් සූත්‍ර ධර්මවලට අනුව සියල්ල කර්මයෙන් සිදුවනවාය යන කාරණාව පැහැදිලි වේ.
මේ කාරණය වඩාත් පැහැදිලිව තේරුම් ගැනීම සඳහා අටුවා පොත්වල නියාම ධර්ම වශයෙන් ධර්ම කොටසක් විග්‍රහ කර ඇත. බීජ නියාම, ධම්ම නියාම, චිත්ත නියාම , සෘතු නියාම, කම්ම නියාම වශයෙන් සඳහන් වේ. මෙම තත්ත්වය විග්‍රහ කිරීෙමි දී කර්මය නිසා නොව බීජයට අනුව එම තත්ත්වය සිදුවන බව විග්‍රහ කරනු ලබයි.
දොඩම් ඇටයක් පැළ කළ විට දොඩම් ගහක් හැදෙන්නේ කර්මය නිසා නොව බීජයට අනුව බව ඇතැමුන් ප්‍රකාශ කර යි. වැහි කාලයට නාය යන්නේ කර්මයට අනුව නොව සෘතු විපර්යාසය අනුව වන බව ය. මිනිසුන්ගේ සිතිවිලිවලට අනුව ක්‍රියා කළ විට උසස් පහත් වන්නේ චිත්ත නියාමය අනුව බවය.
මේ ආකාරයෙන් අටුවා පොත්වල විග්‍රහ කර ඇත. මේ අනුව සියල්ල කර්මයට අනුව සිදු නොවන බව මේ විග්‍රහයෙන් කිසි විට විග්‍රහ වන්නේ නැත. එය විමසා බැලිය යුතු ය. බුදු දහමේ කම්ම යන වචනය විග්‍රහ කරනු ලබන්නේ සිදුවීමක් සිදුවුවාට පසුව ය. කිසියම් සිදුවීමක් සිදුවූවාට පසු එය වෙනස් කළ නොහැකිවන්නේ එම කාරණාව සිදු වී අවසන් බැවිණි. සිදූ වී අවසන් වූ අතීත ක්‍රියාවක් සම්බන්ධව එය ඔහුගේ කර්මය අනුව සිදුවූ බවට භාවිත වේ.
කර්මය මිනිසා පසු පස එනවාය යන බුදුදහමේ සඳහන් කාරණාව මේ අනුව විමසා බලන විට පැහැදිලි වේ. යහපත් ක්‍රියාවත් , අයහපත් ක්‍රියාවත් කර්මය වේ. එම කර්මයම උත්සාහය වේ. ඇතැමුන්ට උත්සාහ කීරීමට නො සිතෙන්නේ ද, කර්මය නිසා ය. එනිසා මිනිසා ඉදිරියට ගෙන යන මිනිසාගේ ජීවිතය වෙනස් කරන උදාර ශක්ති විශේෂය කර්මය ලෙස බණ පොතේ සඳහන් වේ.
ලෝකයේ පුද්ගලයාට බලපාන සියල්ල සිදුවන එකම හේතුව කර්මය ලෙසට නිශ්චය කර තේරුම් ගැනීමේ වැදගත්කම පවතින්නේ එම හේතුව නිසා ය.

අවබෝධයෙන් පින්කම් කළ යුත්තේ කෙසේද

ත්‍රිපිටකාචාර්ය, 
අභිධර්ම විශාරද, 
ධර්මකීර්ති ශ්‍රී 
දිගන සුගතවංස හිමි

" යමෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවඳ මල්, පලතුරු, භෝජන වැනි පූජාවන් සිදුකරන්නේ නම්, මල් ආදියෙහි නෙළීමේ පටන්, පූජාසනය දක්වා පියවරෙන් පියවරට සිහි නුවණින් එම කුසලය සිදු කළ යුතුයි. කුඩා මල් බඳුනක් පූජා කළත් ඒ වෙනුවෙන් යෙදූ සිත බලවත් බැවින් කල්ප ගණන් ලෞකික සුගති සම්පත් ලැබේ."
තුන්ලෝකාග්‍ර වූ, භාග්‍යවත් වූ අරිහත් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිහිට කොට වෙසක් මංගල්‍යය අරමුණු කොට ගෙන ඔබ කළ යුතු වෙසක් සැරසිල්ල කෙසේ විය යුතු ද? බුදුදහම සංකේතවත් කරමින් සිදුකරන ආමිස පූජාවන් අභිභවා ප්‍රතිපත්ති පූජාවෙන් ඔබගේ වෙසක් සැරසිල්ල අවබෝධයෙන් කළ යුතු නොවේ ද? අහේතුක, ද්විහේතුක උප්පත්තීන්ට වඩා ත්‍රිහේතුක ප්‍රතිසන්ධිලාභි ඔබ ජාතප්‍රඥාවෙන් යුතු ය. එහෙයින් කළ යුතු කුසල් අවබෝධයෙන් කළ හැකි ය. ඔබගේ පින්කමෙහි පූර්වචේතනාවත් - මුඤ්චන චේතනාවත්, අපරචේතනාවත් යන චිත්තසම්පත්තිය අකුසලයන්ට ග්‍රහණය වීමට ඉඩ නොදෙන්න. ත්‍රිවිධ කුසල මූලයන්ගෙන් ස්වයංපෝෂිත වන්න. එසේ වූයේ නම්, එය මහත්ඵල මහත්ආනිසංස ලැබෙන වටිනා කුසලයකි.

මේවෙසක් සමයේ බාල, මහලු තරාතිරම් භේදයක් නොමැතිව ඕනෑම අයෙකුගේ සිත්සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පිනවන්නේ ය. අති ඉෂ්ටාරම්මණ සහිත අරමුණු මේ වෙසක් සමයේ අසන්ට දකින්ට ලැබේ. එහෙත් ඒ හේතුවෙන් උපදින සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත කුසල් නොපිරිහෙලා අඛණ්ඩව පවත්වා ගැනීමට නම් ඔබ කරන පින්කමෙහි ආනිසංස හොඳින් දැනගෙන සිටිය යුතු යි. යමෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවඳ මල්, පලතුරු, භෝජන වැනි පූජාවන් සිදුකරන්නේ නම්, මල් ආදියෙහි නෙළීමේ පටන්, පූජාසනය දක්වා පියවරෙන් පියවරට සිහිනුවණින් එම කුසලය සිදු කළ යුතුයි. කුඩා මල් බඳුනක් පූජා කළත් ඒ වෙනුවෙන් යෙදූ සිත බලවත් බැවින් කල්ප ගණන් ලෞකික සුගති සම්පත් ලැබේ. එමෙන් ම එම කුසල් සිත් විදර්ශනා කරමින් ඇති කරගන්නා අවබෝධය ලෝකෝත්තර සැපය පිණිස ම ය. ලෞකික ආනිසංස සේ ම ලෝකෝත්තර මගඵල පිණිස වඩන කුසලය ඒකාන්තයෙන් පාරමිතාවක් වේ. එ බැවින් නුවණ වැඩෙන කුසලයක් සේ අවබෝධයෙන් ම කළ යුතු යි. කෙසේ නම් පාරමිතාවක් වන්නේ ද යත්, තමන්ට වඩා උසස් ගුණ ඇති උත්තමයන් උදෙසා කරන පූජාව පූජාබුද්ධියෙන් යුක්තව සිදු කිරීම දාන පාරමිතාවයි. තමන් සීලයක පිහිටා එම පූජාව සිදු කරන කල්හි සීල පාරමිතාවයි. ලෝභාදී අකුසල් යටපත් කරමින් පින්කමෙහි යෙදීම නෙක්ඛම්ම පාරමිතාවයි. කම්ඵල අදහා සිදුකිරීම ප්‍රඥා පාරමිතාවයි. උත්සාහයෙන්, උනන්දුවෙන්, කැපවීමෙන් කුසල්සිත රැකගනිමින් පින්කමෙහි යෙදීම වීරිය පාරමිතාවයි. අවු, වැසි, මැසි මදුරු රෝගාබාධ ඉවසා දරාගෙන පින්කමෙහි යෙදීම ඛන්ති පාරමිතාවයි. තමන් කරන පින්කමෙන් ලැබෙන ආනිසංස හොඳින් විශ්වාස ඇතිව කිරීම සත්‍ය පාරමිතාවයි. කෙසේ හෝ මම පින්කම කළයුතු යැයි අධිෂ්ඨාන පූර්වාංගම සිත අධිෂ්ඨාන පාරමිතාවයි. පූජාව ලබන පක්ෂය කෙරෙහිත්, පූජාව දැක අනුමෝදන් වන්නවුන් කෙරෙහිත් පිහිටුවාගත් අසීමිත මෛත්‍රිය මෙත්තා පාරමිතාවයි. තමන් කළ කුසලය කෙරෙහි ඇලීමක්, ගැටීමක් නොමැතිව තත්‍රමජ්ඣත්තතා ගුණය වැඩෙන ආකාරයෙන් මධ්‍යස්ථාකාර සිතක් පවත්වාගැනීම උපේක්ඛා පාරමිතාවයි.
තව ද, පින්කමක් කිරීමේ දී උපදින ශ්‍රද්ධා ආදී පඤ්ච ඉන්ද්‍රිය ධර්මයන් සමබරව පවත්වාගත යුතු ය. කෙසේද යත්, යමෙක් බුදුරජාණන් වහන්සේට ආහාර පූජාවක් සිදු කරන්නේ නම්, පළමුවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහිත්, එම පූජාවෙන් ජනිත වන ආනිසංස කෙරෙහිත් ඔබ තුළ ඇති විශ්වාසය ශ්‍රද්ධාවයි. එම කුසලය සමග නූපන් අකුසල් නූපදවා ගැනීමෙහිත්, උපන් අකුසල් ප්‍රහාණය කිරීමෙහිත් ලා වූ උත්සාහය හා නූපන් කුසල් උපදවා ගැනීමෙහිත්, උපන් කුසල් බලවත් කරගැනීමෙහිත් ලා වූ උත්සාහය වීර්යයයි. පූජාවේ මුල පටන් අග දක්වා පියවරෙන් පියවර බලපවත්නා අවධානය සතියයි. පින්කම සිදුකරන කාලය පුරාවට උපදින කාය, වාග්, මනෝ කර්ම සියල්ලක් ම අකුසල් ශක්තීන් තදංග වශයෙන් යටපත් කරමින් සන්තානයෙහි ඇතිවන ඒකාග්‍රතාවය සමාධියයි. කර්මඵල අදහාගෙන අවබෝධයෙන් යුක්තව පින්කමෙහි යෙදීම ප්‍රඥාවයි.
යමෙක් සිදු කරන ආමිස පූජාවක දී එය සකසුරුවම් ව කිරීම,තවත් කෙනෙකුට එහි හිඩැසක්, අඩුවක් පිරවීමට නො වන සේ කිරීම සක්කච්චකාරී ගුණයයි. කැප – අකැප යනාදීන් නුවණින් සලකා බලා පින්කමෙහි නිරතවීම ගුණය සාතච්ඡා කාරී ගුණයයි. සිදුකරන කුසල් පිළිබඳ සෑහීමකට පත් නොවී මට මදිය යන හැඟීමෙන් යුක්තව නැවත නැවත කුසල් රැස් කිරීම අසන්තුට්ඨිතා ච කුසලෙසු ධම්මෙසු ගුණයයි. කෙලෙස් තවන වීර්යය ඇතිව පටන්ගත් විර්යයෙන් ම නිමාව දක්වා කුසල් සිදුකිරීමේ ප්‍රයත්නය අප්පටිවානිතා ච පධානස්මිං ගුණයයි. පින්කමෙහි ඇති වටිනාකම හොඳින් අවබෝධ කරගෙන තමන් ම සෝමනස්ස සහගත ඤාණසම්ප්‍රයුක්ත කුසල් වැඩෙන ආකාරයෙන් ම යෙදීම සයංකාර ගුණයයි. අන් අය කරන කුසල් දැක නුවණින් සිත පහදාගෙන අනුමෝදන් වීම පරංකාර ගුණයයි. සියතින් ම තම පින්කම කිරීම සාහත්ථික ගුණයයි. තවත් කෙනෙකු ලවා කරවීමේ කුසලය ආණත්තික නම් වේ. නුවණ වැඩෙන ආකාරයෙන් පින්කමෙහි යෙදීම සම්පජ්ඤ්ඤ ගුණයයි. යමෙක් නුවණින් තොරව සිදුකරයි නම් එය අසම්පජ්ඤ්ඤයි. ආණත්තික – අසම්පජඤ්ඤ වශයෙන් මුක්තව සිදුකරන්නා වූ කුසලය මහත්ඵල මහානිසංස ගෙන දේ.
සෘතු, භෝජන, පුද්ගල යන ත්‍රිවිධ සප්පාය සහිත, කල්‍යාණමිත්‍රයන් වාසය කරන පතිරූපදේසවාසී ගුණයත්, අතීතයේ කළ පින් ඇති පුබ්බේ ච කතපුඤ්ඤතා ගුණයත් සහිත ඤාණවන්ත තෙමේ ආත්ම සන්තානය දමනය කරගනු වස් සුදුසු කල්හි සිදු කරන තම පින්කම සියතින් චිත්තප්‍රසාදය ඇතිව, තම ගුණ උසස් කිරීම් – අන් අය ද හෙළා දැකීම් ආදියෙන් තොරව සියතින් සිදුකරන කුසලය නම් තම ආත්මය ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන නිවන් අවබෝධය පිණිස ම හේතු උපනිශ්‍රය වන්නේ ය.
“ආනන්දයනි මේ සාසනයෙහි යම් භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් ආමිසා දී කිසිවකින් සිදු කරන පූජාව මෙන් නොව, ධම්මානුධම්මපටිපන්නව ගරුකටයුතු මාර්ගයට පිළිපන් ව ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදේ නම්, එම ප්‍රතිපත්ති තථාගතයන් වහන්සේට දක්වන්නා වූ, නියමාකාර වූ පරම වූ ගරුබුහුමන් දැක්වූවා වන්නේ ය. මෙසේ ලෞකික ප්‍රාර්ථනා ඇතිව සිදු කරන කුසලයන්ට වඩා කම්මක්ඛයගාමී වූ සොතාපත්ති අංගයන් පිරිවරාගත් ප්‍රතිපත්ති මාර්ගය පුරණය සියලු බුදුන් වහන්සේලාගේ දහම් අනුසාසනාවයි. ඇගයීමයි. එනම් ඒකායන නිර්වාණ මාර්ගය පෙන්වාදෙන කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, මාර්ගය වැඩීමට හේතු වන පූර්වභාග පටිපදා විදර්ශනා ප්‍රතිසංයුක්ත ධර්මශ්‍රවණය, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් ප්‍රගුණ කරන යෝනිසො මනසිකාරය, නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අධිගමනය පිණිස වැඩිය යුතු සමථ – විදර්ශනා පිළිවෙත හෙවත්ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යන සෝතාපත්ත්‍යංග වැඩෙන ආකාරයට ඔබ වෙසක් සමයෙහි දී ආමිස පූජා අභිභවා ප්‍රතිපත්තියෙහි යෙදේ නම් එය ජීවමාන බුදුන් වහන්සේ සිටියා නම් සාදුකාර නංවමින් අනුමෝදන් වන අග්‍රගණ්‍ය පූජාව වනු ඒකාන්ත ය. මෙසේ අබෝධයෙන් පින් කරන්නට වෙර වඩත්වා!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X