වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සාමූහික පැවැත්මේ වටිනාකම

සමූහයාගේ වැදගත්කම දකින සමාජයක්‌ හැටියට සංඝ සමාජය හැඳින්විය හැකියි. එහි දී සියලු දෙනාට සංඝ සමාජයෙහි සමාජමය වටිනාකම් සම සේ ආරෝපණය වී තිබේ. සංඝ සමාජයේ අතිරේක ලාබ වශයෙන් ලැබෙන සිව්පසය සමූහයාට සන්තක කිරීම යනු සියලු දෙනාගේ අවශ්‍යතා උදෙසා කැප කිරීම යන්නයි. සාංඝික දේපළ ක්‍රමය ප්‍රජාතාන්ත්‍රික ලක්‍ෂණ ප්‍රකට කරනුයේ ඒ පරිභෝජන ක්‍රමය තුළ ජෛව හිතවාදී සහනශිලී සමාජ පරිසරය පාදක කරගෙන සිය අල්පේච්ඡ ජීවන රටාව ගෙනගිය කිසිදු භික්‍ෂුවක්‌ පැවැත්ම පිළිබඳව වෙහෙසට පත් නොවෙන බැවිනි. අනෙක්‌ අතට ගෘහස්‌ථයින් මෙන් මුදල් ඉපයීමෙහි නියුක්‌ත වීම භික්‍ෂුත්වය මූලික පරමාර්ථයෙන් ගිලිහී වෙහෙසට පැමිණීමකි. සමූහයා විසින් පුද්ගලයා සුරක්‍ෂිත කරන බැවින් සංඝ සමාජය තුළ පෙඃද්ගලික ධනවත් බවක්‌ තිබීම අවශ්‍ය නොවේ.

එමෙන්ම පෙඃද්ගලිකව පිරිනමනු ලබන දානයට වඩා සාමූහික දානයෙහි ආනිසංශ නොඑක්‌විට බුදුරදුන් විසින් වදාරා තිබේ. මින් හෙළිපෙහෙළි වනුයේ ජෛව හිතවාදී සහනශීලී හැසිරීම් රටාවෙහි වැදගත්කම සාමූහිකෙත්වය සුරක්‍ෂිත කිරීමේදී වැදගත්වන බවයි. බුදුරජාණන්වහන්සේ පුද්ගලික දානයට වඩා සමූහගත දානයෙහි අගය වදාළහ. උන්වහන්සේ සමූහයා හා සමූහයෙහි ජෛව හිතවාදී සහනශීලී ආකල්ප පවත්වා ගැනීම පිළිබඳව දක්‌වන ලද සැලකිලිමත් බව මින් ප්‍රකට වෙයි. ආරාම සෙනසුන් පිරිනැමීමත්, සමග ආරාමික වූ නොයෙක්‌ භාණ්‌ඩ අතිරේක ලාභ වශයෙන් සංඝ සමූහයා වෙත පිරිනැමීම සිදු විය. යම් හෙයකින් පුද්ගලික පරිහරණය අනුමත කළා නම් සංඝ සමාජයෙහි ස්‌වභාවයෙන් පැවතිය යුතු වූ සාමූහික ස්‌වභාවයට එයින් අනතුරක්‌ ඇති වෙතැයි අදහස්‌ කළ හෙයින් බුදුරදුන් ඒ සඳහා මූලික ආදර්ශයක්‌ ලෙස තමන් වහන්සේ විෂයෙහි පිරිනමන දේ කෙරෙහි පවා සාමූහික පරිහරණය පිණිස කැප කිරිම යෝග්‍ය බැව් පෙන්වා දී තිබේ. මහා ප්‍රජාපතී ගෝතමිය විසින් බුදුන් වහන්සේ වෙත පෙඃද්ගලික චීවරයක්‌ පූජා කළ අවස්‌ථාවෙහි තමන් වහන්සේ වෙත එබඳු ආකාරයේ පෞද්ගලික පිරිනැමීම් සිදු කරනවාට වඩා සමස්‌ත භික්‌ෂු සංඝයා විෂයෙහිම එම පිරිනැමීම කිරීමේ ඇති වැදගත්කම වදාරන ලද්දේ මේ හේතුව නිසාය. කිසිදු ප්‍රතිලාභයක්‌ පුද්ගලයෙකු සන්තක නොකර සමූහයා විෂයෙහි පැවරීම මගින් බලාපොරොත්තු වූයේ, සංඝ පිරිස අතිශයින්ම හිතවත් ස්‌වභාවයක්‌, එමෙන්ම ඔවුනොවුන් කෙරෙහි සැලකිමත් වන ස්‌වභාවයක්‌ ඇතිකිරීමයි. 

පුද්ගලයා සමූහයාට වගකිව යුතු බැවින් සියලු දෙනා වෙතම කටයුතු පිළිබඳ වගකීම් සහගත බවක්‌ තිබිය යුතු වේ. සාමූහික සමාජයක තිබිය යුතු සහනශීලි ආකල්පය වර්ධනය වීමට මෙය අනිවාර්ය සාධකයක්‌ වේ. සාංඝික දේපල සමූහ පරිභෝජනයට ලක්‌වන විට ඒවායේ මනා පැවැත්ම හා ආරක්‍ෂාව සිදුවිය යුත්තේ සහනශීලි බවින් බැඳුනා වූ සමූහයා අතින්මය. සියලු සංඝයා වහන්සේ පොදුවේ තම වගකීම් කොටස හඳුනාගෙන පවත්වන සෙනසුන් විහරණයේ ජෛව හිතවාදී සහනශීලී ආවේදනවල මෘදු මටසිලිටි ස්‌වභාවය මෙයින් පැහැදිලි වේ. 

ආරාමයේ ආරාමික වස්‌තු කිසිවක්‌ පෞද්ගලික අයිතියට ගැනීම, පැවරීම අනුමත නොවන ආකාරය ඉන් පෙනේ. පෞද්ගලික සන්තක නොවූවද ඒවා විධිමත්ව පරිහරණය කිරීමේ අයිතිය සෑම දෙනා වහන්සේට තිබේ. මේ පරිහරණ ක්‍රමය නිසා භික්‍ෂුව තෘෂ්ණා දාස භාවයට නො පැමිණේ. විහාරයෙහි තමන් සමග වසන අනෙක්‌ සියලු දෙනා සමගම සහයෝගයෙන් කටයුතු කිරීමට පෙළඹේ. මෛත්‍රී පූර්වක ෙච්තනාව පාදක කරගෙන මෙම කටයුතුවල නිරත වේ. සාරධර්ම සංකල්ප හේතුවෙන් හටගන්නා යහපත් සුවදායි මානසික ආවේනයක පසුවන්නේ වේ. ආරාමික කටයුතු සිදු කිරීමේදී සාරධර්ම සංකල්ප පාදක කරගන්නා ලද ආවේදන මට්‌ටමක සිට එකී කටයුතු කළ හැකි වන ආකාරයට ප්‍රඥප්ති හා අනු ප්‍රඥප්ති සකස්‌ව ඇත. අතිරේක ලාභය වශයෙන් විහාරස්‌ථාවලට ලැබෙන්නා වූ විවිධ දානමාන හා පිරිකර බහුල වීමට පෙර පටන්ම පිණ්‌ඩපාතය පවා සාමූහික පරිහරණයට යොමු කළ යුතු ආකාරය දක්‌නට ලැබේ. 

මෙම සාමූහිකත්වය තුලින් සමගියත්, සාරධර්ම සංකල්ප වර්ධනය වී අවසානයෙහි බුදුසමයෙන් අපේක්‍ෂිත අවසාන නිෂ්ඨාව වූ නිර්වාණ සම්ප්‍රාප්තිය කරා පුද්ගල මනස අනුක්‍රමයෙන් යොමුවන ආකාරයට ආවේදන පැතිකඩ සකස්‌කිරීම මෙයින් අදහස්‌ වී ඇත. සංඝයාගේ සාරාණීය ධර්මයක්‌ ලෙස අඩු වශයෙන් පාත්‍ර පර්යාපන්න වූ ආමිෂයක්‌ වේ නම් එය අසුවලාට නොව, අසුවලාටය යනුවෙන් වෙන් කිරීමක්‌ නොමැතිව සබ්‍රහ්මචාරීන් හා සාධාරණ භෝගී විය යුතු බව පෙන්වා දී තිබේ. මේ මගින් ද අපේක්‍ෂාකර තිබෙනුයේ සිය පැවැත්ම පිළිබඳව කිසිදු අමතර වෙහෙසක්‌ නොගෙන තමන්ගේ මූලික අරමුණ වන අර්හත්වය ලබා ගැනීම පිණිස වීර්යය වැඩීමට අවශ්‍ය කරන මානසික නිදහසක්‌ සංඝ සමාජයෙහි සාමාජිකයන්ට ලබාදීමයි. 

මේ මගින් සිය අවසාන විමුක්‌තිය සාක්‍ෂාත් කරගැනීම විෂයෙහි උත්සුක වීම විනා වෙනත් කිසිදු ලෞකික අභිප්‍රායයක්‌ මුල් යුගයෙහි භික්‍ෂුන්ට නොවූ බැවින් තත් යුගය තුළ බාහිර ප්‍රඥප්ති අනුසාරයෙන් උක්‌ත සමාජ වටාපිටාවක්‌ ගොඩ නැඟීමෙහි අවශ්‍යතාවයක්‌ ඇති නොවිණි. මුල් යුගයෙහි භික්‍ෂුන්ගේ ඇවතුම් පැවතුම් ද ගොඩනැඟී තිබුණේ ඔවුන්ගේ ඉහත කී පරමාර්ථමය අධිගමය හැකි ඉක්‌මනින් සාක්‌ෂාත් කරගැනීමේ අභිලාශයෙන් නිසා ඔවුන් අතින් සිදු වන ඉතාමත්ම සුළු අතපසුවීමක්‌ අරඹයා සිහිපත් කරවීම් ස්‌වරූපයෙන් සිදු කරන්නා වූ සිහි කැඳවීමක්‌ පමණක්‌ අවශ්‍ය වූවා විනා කළ යුතු හා නොකළ යුතු දේ මේවාය මෙවැනි දේ කළ හොත් මෙවැනි දඬුවම් විඳින්නට සිදු වේය යනාදී වශයෙන් දණ්‌ඩනාත්මක ස්‌වරූපයේ ආඥාවක්‌ ඔවුන් විෂයෙහි පැණවීමේ අවශ්‍යතාවයක්‌ උද්ගත නොවීය. 

සාරධර්ම සංකල්ප අන්තර්ගත ආවේදන පසුබිමක්‌ පදනම් කරගෙන සංඝ සමාජයෙහි එක්‌ එක්‌ සාමාජිකයාගේ සිතුම් පැතුම් ඒ අනුව සකස්‌ කරගැනීමට අනුබල ලැබිණ. පුද්ගලාත්මක වශයෙන් ද නිදහස්‌ හැසිරීම් රටාවක්‌ තුළ කටයුතු කරන්නට ඉඩ සැලසීම මිනිස්‌ ආවේදන අංශයෙන් වඩාත් ප්‍රතිඵලදායක කරුණකි. එයට හේතුව ආධ්‍යාත්මක සංවර්ධනය ඇති කරලීමෙහිලා මානසික අංශය වඩාත් ප්‍රධානත්වය ගන්නා බැවින් මානසික සුව පහසුව හා නිදහස භුක්‌ති විඳින්නා වූ පරිසරයක්‌ සැපයීම ස්‌වකීය අරමුණු වඩාත් පහසුවෙන් මස්‌තප්‍රාප්ත කරගැනීම විෂයෙහි ඉතාමත්ම වැදගත්ය. 

සැම විටකම ගිහි සමාජයට පුරෝකථනයක්‌ මෙන්ම ආදර්ශයක්‌ ද වන සංඝ සමාජය ස්‌වකීය පාලන ව්‍යුහය සකස්‌ කරගනු ලැබුවේ අතිශය ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක්‌ මතය. සාමූහික දිවි පැවැත්ම හා සාමූහික දේපළ පරිහරණය පවා සංඝ සමාජය තුළ ක්‍රියාත්මක වූයේ ආශාවන් හා මානසික ආවේගකාරී වාතාවරණයක්‌ ඒ තුළින් ජනිත නොවන සේය. මෙවන් මානසික වටාපිටාවක්‌ තත් යුගයෙහි බෙහෙවින් ප්‍රතිපත්ති ගරුකව විසූ භික්‍ෂු සමාජයට ස්‌වකීය මානසික සංවර්ධනාත්මක ක්‍රියාවලියෙහි ලා අතිශයින්ම උපකාරවත් විය. යම් හෙයකින් මේ ආකාරයෙන් ක්‍රිsයා නොකළා නම් ආරම්භක යුගයෙහි භික්‍ෂු සමාජයට ඔවුන් සැබවින්ම අපේක්‍ෂා කරන ලද පරමාර්ථමය අධිගම තත්වයන් කරා ත්‍රිපිටකයෙහි හා අට්‌ඨකථා ග්‍නේථයන්හි දැක්‌වෙන පරිද්දෙන් පහසුවෙන් හා සුලභ ආකාරයෙන් යා නොහැකි වන්නට ඉඩ තිබිණි.

මේ නිසා මුල් යුගයෙහි භික්‍ෂුන් වහන්සේලාගේ ජීවන පැවැත්ම හා එකී යුගයෙහි ඔවුන් විසින් සාක්‌ෂාත් කරගන්නා ලද පරමාර්ථමය අධිගම තත්ත්වයන් අතර අපූරු අනුලෝම සබඳතාවයක්‌ පැවතිණි. බුදුරජාණන් වහන්සේගේ අපේක්‍ෂාව වූයේ ද සැබවින්ම මේ තත්ත්වය දිගින් දිගටම සංඝ සමාජය තුළ රඳා පවත්වා ගැනීම වූ අතර නමුත් පශ්චාත් කාලීනව සංඝ සමාජය සංකීර්ණ වෙත්ම මුල් යුගයෙහි සංඝ සමාජයට ප්‍රවේශ වූ ආරම්භක සාමාජිකයන්ගේ අරමුණු හා පශ්චාත් කාලීනව ඊට එක්‌ වූ නව සාමාජිකයන්ගේ අරමුණු අතර පරතරය ක්‍රමානූකූලව දුරස්‌වන්නට විණි. මේ දුරස්‌තර ස්‌වභාවය ඇති වීම මුළුමනින්ම මැඩ පැවැත්ම ප්‍රයෝගිකව කිසිසේත් කළ නොහැකි කරුණක්‌ බව බුදුරජාණන් වහන්සේ විසින්මත් හොඳින් දැන සිටියත්, දුරස්‌තර ස්‌වභාවය ඇති වීමේ වේගය යම් පමණකින් හෝ අඩාල කරන්නට නම් සංඝ සමාජය කිසියම් නෛතික ව්‍යවස්‌ථා මාලාවක රැඳවීම කළ යුතුම කාර්යකැයි සංඝ සමාජයෙහි වූ ජ්‍යෙෂ්ඨ භික්‍ෂුන් විසින් පවා සිතන්නට වූ පසුබිමක හා කාලවකවානුවක බුදුරදුන් යථොක්‌ත කාර්යෙහිලා උත්සහවත් වූ අයුරු දැකගත හැකිය. 

එහි දී බුදුරජාණන් වහන්සේගේ නිගමනය වූයේ සියලු නෛතික ව්‍යවස්‌ථාවන් පැණවීමේ අවස්‌ථාවන් හා අවශ්‍ය කාරණයන් පිළිබඳව ඉතාමත්ම නිරවද්‍ය තීරණ ගැනීමේ හැකියාව හා ඊට අවශ්‍ය කරන්නා වූ බුද්ධි පරිපාකය ඇත්තේ සම්මා සම්බුදුවරුන්ටම පමණක්‌ බවයි. 
සුජිත් නිශාන්ත හේවගේ
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X