වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

දන්නා දෙයින් නොදන්නා දෙයට යන මඟ

බුදු රජාණන් වහන්සේ පෘථග්ජන ලෝක සත්වයා ගමන් කරන දිසාවට ප්‍රති විරුද්ධ වූ දිසාවකට තමන් වහන්සේගේ ගමන යොමු කරමින් තුන් ලෝකයට ම අග්‍ර වූ සම්මා සම්බුද්ධ නම් වන අති විශිෂ්ට වූ තත්ත්වයට පත් වූ සේක. එතැන් සිට ලෝකයේ දුකට පත් වී සිටින අපමණ මනුෂ්‍ය වර්ගයා එම දුකින් ගලවා ගැනීමට ගත් ආයාසය ප්‍රමාණ කළ නොහැකිය.
අප ගමන් කරන්නේ දුක උපදවමින් දුක වැළඳගන්නා මාර්ගයක බව අපි නොදනිමු. මේ අනුව අවිද්‍යා අඳුරට හසුවුණු අප හැම දෙනා ම දුක මග හරිමින් සැපයම සොයාගෙන නොනවතින ගමනක යෙදෙන අතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සැප හා දුක යන අන්ත දෙක ම අයත් වන්නේ ලෝකයට බවයි. දුක් දෙන ලෝකය අත්හැරීමට යන මේ ගමනේ දී සැප හා දුක යන දෙක ම අත් හළ යුතු වෙනවා. පින-පව, කුසලය-අකුසලය, හොඳ – නරක යන සියල්ල ලෝකයට අයත් ධර්මතාවයන් ය.
බුදු පියාණන් අප යොමු කරන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවට නොවේ. එය ගඟ පහළට ගමන් කිරීම වැනි දෙයකි. ගඟ පහළට යාම පහසුය. ඒ නිසා කවුරුත් කරන්නේ එයයි. බුදු පියාණන් අපට පෙන්වා දෙන්නේ සදහට ම දුකින් ගැලවීමට අවශ්‍ය නම් පටිසෝතගාමී යනුවෙන් හැඳින්වෙන ගඟ ඉහළට පිහිනීම හා සමවන ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමණය කළ යුතු බවය.
පහළට පිහිනීම දුක දෙසට යාමකි. පහළට පිහිනීමේ දී අපට මුණ ගැසෙන්නේ පරක් තෙරක් නොපෙනෙන මහා සාගරය බඳු සංසාරයයි. ගංගාව ඉහළට පිහිනීමෙන් පමණි ගමනාන්තය වූ නිවීම සැනසීම කරා යා හැකි වන්නේ.
දන් දීමට කිසිදු කැමැත්තක් නොදැක් වූ එහෙත් දහම් ඇස පහළ කර ගැනීමට වාසනා ගුණය හිමිව තිබුණු බමුණකු පිළිබඳ සූත්‍ර දේශනාවක් සංයුක්ත නිකායේ උදය සූත්‍රය නමින් අන්තර්ගත වේ. ධර්මාවබෝධයට උපනිශ්‍රය තිබෙන පුද්ගලයන් සිටීදැයි දින පතාම බලා වදාරණ සිරිතක් බුදු රජාණන් වහන්සේට තිබුණි. එදින බුදු නෙතට දර්ශනය වූයේ මෙම උදය බ්‍රාහ්මණයා ය. එම දිනයේ ම බමුණාගේ නිවසට පිඬු සිඟා වැඩිය සේක. ස්වල්ප වේලාවක් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ඉරියවුව දෙස බලා සිටි බමුණා, මේ පැවිද්දා දන් ස්වල්පයක් ලැබෙන තුරු යන පාටක් නැති බවද හිස් අතින් පිටත් කළොත්, එය බලා සිටි මිනිසුන් තමාට දොස් නගන්නට ඉඩ ඇති බව ද දැන පාත්‍රය පිරෙන්නට ම දන් බෙඳුවේය. බුදු රජාණන් වහන්සේ ඒ දානය ලබා ගෙන පිටත්ව ගිය සේක. කොපමණ බාධක තිබුණත් ඒ සියල්ල මැඩ ගෙන ගංගාව ඉදිරියට ම ඇදෙන්නා සේ තථාගතයන් වහන්සේ ඒ භාග්‍ය වන්තයාගේ නිවසට දෙවැනි දිනයෙ හි ද පිණ්ඩපාතය උදෙසා වැඩම කළ සේක. මෙ දින ද පාත්‍රය පිරෙන්නට දානය බෙදුවේ දැන් නම් නැවතත් නොඑතියි සිතාගෙනය.
තුන් වැනි දිනයෙහි ද මෙම නිවසට ම පිණ්ඩපාතය සඳහා වැඩම කළ සේක. මෙදින ද පාත්‍රය පිරෙන්නට ම දන් බෙදා මෙසේ පැවසීය. ඔබ වහන්සේ හරි කෑදරයි. පුනප්පුනං ගච්චති . නැවත නැවත එන්නේ ඒ නිසයි යන අවලාදය නැගුවේය. එවිට බුදු රජාණන් වහන්සේ මෙසේ පැවසූ සේක. නැවත නැවත එනවා කීවා නේද? මෙය ලෝකයේ හැම දෙයක් ම නැවත නැවත සිදු වෙනවා. ගොවියෝ නැවත නැවත වගා කරනවා. නැවත නැවත අස්වැන්න ගන්නවා. නැවත නැවත වහිනවා.
මිනිසුන් නැවත නැවත ධනය උපයනවා. නැවත නැවත වියදම් කරනවා. වසු පැටියා මව් වැස්සියගෙන් නැවත නැවත කිරි බොනවා. ධනපතියෝ නැවත නැවත දන් දී පින් රැස්කර ගනිති. ප්‍රඥාවන්තයෝ නැවත නැවත පින්කර ධර්මාවබෝධය ලබා ගෙන නැවත නැවත උපදින එක නවතා ගනිති.
බුදු රජාණන් වහන්සේ බමුණාගේ මුවින් ම නිකුත් වූ ‘පුනප්පුනං ගච්චති’ – නැවත නැවත එනවා යන වචනය ම උපයෝගී කොට ගෙන වදාළේ ලෝකය පිළිබඳ යථාවබෝධයය ලබා දීම උදෙසා ය. බුදු පියාණන්ට අවශ්‍ය වී තිබුණේ නැවත නැවත එනවා යන වචනයට ඇසුරින් බමුණාට සසර දුක නැති කිරීම සඳහා ධර්මය දේශනා කිරීමයි. ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ දේශනාව රාගය නවත්වන ආකාරය පිළිබඳවයි. රාගයට මුළා කරන්නට නොවේ.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X