වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මුනීන්ද්‍රයන් වහන්සේ පිළිබඳව සිත පහදවා ගැනීම

පොල්ගහවෙල මහමෙවුනා භාවනා අසපුවේ නිර්මාතෘ
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
එදා 'ජානුස්සෝනි' බ්‍රාහ්මණයා සුදු අසුන් යෙදූ කරත්තය සුදු පාටින්ම සැරසුුවා. තමාත් සුදු වතින් සැරසුනා. බ්‍රහ්ම රාජයෙකුගේ ලීලාවෙන් සැවැත්නුවර නගර ප්‍රදක්ෂිණාවට නික්මුණා. මොහු ගේ මිත්‍ර වූ එක්තරා පිරිවැජියෙක් හිටියා. ඔහුගේ නම පිළෝතික. ඉතින් ජානුස්සෝනි බ්‍රාහ්මණයා 'පිළෝතික' පිරිවැජියා පාරේ එනවා දැක කථා කළා.
”භවත් වච්ඡායන. . . මේ මහා දවල් කොහේ සිට එන ගමන් ද?”
”භවත, මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ බැහැ දකින්න ගියා. මම එන්නේ එහේ ඉඳළා.”
වච්ඡායන, ඔය ශ්‍රමණ ගෞතමයන් ගේ බුද්ධිමත් බව ගැන ඔබ හිත්නනේ මොකක්ද? ඔහු මහා නුවණැත්තෙක්ද?”
පින්වත, ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ගේ මහා බුද්ධිය ගැන මම මොනවද දන්නේ? උන්වහන්සේ ගේ ඒ මහා පුදුම සහගත ප්‍රඥාව ගැන දැනගන්නට නම් පුළුවන් වෙන්නේ උන්වහන්සේ වගේම සම කෙනෙක්ට තමයි.
ඇත්තෙන්ම වව්ඡායන, ඔබ ඔය අසාමාන්‍ය පැහැදීම ගැන මාහට සතුටුයි. එතරම්ම පහදින්න තරම් ශ්‍රමණ ගෞතමයන් තුළ ඔබ දැක්කේ මොනවාද?
පින්වත, මම ඔබට පොඩි උපමාවක් කියන්නම්. මහා ඇතුන් ඉන්න වනයකට මිනිසෙක් යනවා. ඔහු වනයට යන විට හොඳට දිග පළල ඇති විශාල ඇත් අඩි දකින්නට ලැබෙනවා. එවිට ඔහු හිතනවා ඇත්තෙන්ම මේ ඇත් අඩිය නම් මහා හස්තිරාජයෙකුගේම යි කියලා. ඒ ආකාරයට මාත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තුළ පියවර සටහන් සතරක් දැක්කා. ඒ නිසා මම ස්ථිරවම හිතුවා භාග්‍යවතුන් වහන්සේ නම් ඒකාන්තයෙන් ම සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ විසින් වදාරන ලද ධර්මය නම් මනාකොට දෙසූ දෙයක්මයි. උන්වහන්සේ ගේ ශ්‍රාවක සංඝයා නම් මනා පිළිවෙතින් යුක්තම යි. කියලා.
ඇත්තෙකන්ම වච්ඡායන මොනවද ඒ පියවර සටහන් හතර?
පින්වත, අප අතර මහා වාද විවාද කරන ක්ෂත්‍රිය පණ්ඩිතවරු ඉන්නවා. ඒක පළවෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති බ්‍රාහ්මණ පණ්ඩිතවරු ඉන්නවා. ඒක දෙවැනි පියවර සටහන වගෙයි. මහා නුවණැති ගෘහපති පණ්ඩිතවරු ඉන්නවා. ඒක තුන්වෙනි පියවර සටහන වගෙයි. මහා නුවණැති වාදීභසිංහ ශ්‍රමණ පණ්ඩිතවරු ඉන්නවා. ඒක සිව්වැනි පියවර සටහන වගෙයි.
මේ සතර කාණ්ඩයේ පියවර සටහන වගේ වෙන්නේ මෙහෙමයි. ඔවුන් කණ්ඩායම් ගැහිලා ප්‍රශ්න ගොතා ගන්නවා. ක්‍රමන්ත්‍රණ කරනවා. “ ශ්‍රමණ ගෞතම මහා බුද්ධිමතෙක්ලු. උන්වහන්සේ අසවල් ගමට වැඩිනවාලු. අප උන්වහන්සේ එනකල් තමයි මේ බලන් ඉන්නේ. අපි මේ මේ ප්‍රශ්න අසමු. එවිට උන්වහන්සේ මෙහෙම උත්තර දේවි. එවිට අප මෙහෙම කරකෝලා ප්‍රශ්නෙ අසමු. එවිට මෙහෙම උත්තර දේවි. අපි මේ ආකාරයට වාදේ පටන් ගනිමු කියලා.
ඉතින් ඔවුන් ප්‍රශ්න ගොතාගෙන සංවිධානය වෙද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ අසවල් ගමට වඩිිනවා කියා ආරංචි වෙනවා. එවිට ඔවුන් එහි යනවා. ගොස් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙනවා. උන්වහන්සේ අමාවැස්ස වහින සේ දහම් දෙසනවා. ඔවුන් පී‍්‍රතියෙන් කුල්මත් වෙනවා. ඉතා සතුටට පත්වෙනවා. කවුරුත් ප්‍රශ්නයක් අහන්නේ නැහැ. වාදයක් කොහෙන් වෙන්ටද? ඔවුන් හැමෝම භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකයෝ බවට පත්වෙනවා. අර මහා නුවණැති ශ්‍රමණ පිරිස උන්නාන්සේ ළඟ මහණ වෙනවා.
එතකොට ජානුස්සෝනි බ්‍රාහ්මණයා අශ්ව කරත්තෙන් බිමට බැස්සා. උරහිස් දෙපැත්ත වැහෙන්න පොරවාගෙන සිටි සළුව ඒකාංශ කොට පොරවා ගත්තා. සැවැත්නුවර ජේතවනය දෙසට වන්දනා කරගෙන තුන්වරක් මෙහෙම කිව්වා.
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්ුබුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඇත්තෙන්ම යාළුවා, මට බොහෝම සංතෝෂයි මටත් භවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහෙන අවස්ථා තිබෙනවා. මාත් කැමැතියි එතකොට මේ ගැන උන්වහන්සේ සමඟ කතාබස් කරන්නට. එයිට ජානුස්සෝනි ගොඩාක් සතුටු වුණා.එදා ජානුස්සෝනි සතුට නිසාම කෙළින්ම භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්නට ගියා. සතුටු සාමිචි කතා කරලා මේ විස්තරේ පැවසුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ මෙහෙම වදාළා.
බ්‍රාහ්මණය, ඔය ඇත් පියවර සටහන උපමා කළ විස්තරේ සම්පූර්ණ එකක් නොවෙයි. ඔබට මම විස්තර ඇතුව කියා දෙන්නම්.
ඔන්න මහා ඇතුන් ඉන්න වනාන්තරේට මිනිහෙක් යනවා. ගිහින් බලද්දී ඔහු ඇත් පියවර සටහනක් දකිනවා. දිගට පළලට තිබෙන විශාල ඇත් අඩියක්. හැබැයි ඔහු මහ ඇතාව හඳුනාගන්න දක්ෂයෙක් නම් එකපාරට “ඕං මහ ඇතා, කියා තීරණයකට එන්ට හොඳ නැහැ. ඒ මොකද? බ්‍රාහ්මණය ‘වාමනිකා’ කියා විශාල ඇත් අඩි ඇති ඇතින්නියෝ ඉන්න නිසා.
ඒ නිසා ඒ ඔහු කළ යුත්තේ දිගින් දිගටම ඒ ඇත් අඩි සටහන ඔස්සේ විමසමින් යෑමයි. එසේ යද්දී ඔහු විශාල ඇත් අඩිත් දකිනවා. ගස්වල උස්තැන්වල පිට උලාපු තැනුත් දකිනවා. එතිකොට “ඕං මහ ඇතා” කියා තීරණයකට එන්න හොඳ නැහැ. ඒ “උච්ඡාකුලාරිකා, කියා කලින්ටත් වඩා විශාල ඇතින්නියෝ ඉන්න නිසා. ඔවුන්ගේ ඇත් අඩිත් විශාලයි. එතකොට ඔහු තවදුරටත් ඇත් අඩි සටහන් ඔස්සේ විමසිය යුතුයි. ඔහෝම යද්දී කලින් වගේ විශාල ඇත් අඩි උස් තැන්වල පිට උලාපු තැන් දළින් ඇනලා අතු සින්ඳ තැන් දකින්නට ලැබෙනවා. එවිටත් “ඕං මහ ඇතා” කියා තීරණය කළ යුතු නැහැ.
ඔහු තවදුරටත් විමසන විටදී ඔහුට විශාල ඇත් අඩි පිට ඉලූ තැන්, බිඳපු අතු ඉති, දළින් ඇනපු තැන් දකින්ට ලැබෙනවා. එවිට ඔහුගේ දෑසටම මහා ඇත් රජාව දකින්ට ලැබෙනවා. ඒ හස්තිරාජයා එළිමහනේ හරි ඇවිදිමින් හරි හාන්සිවෙලා හරි දකින්ට ලැබෙනවා. මහ ඇත් රජා කියා ඔහු දැන්නම් තීරණේට එන්න ඕන.බ්‍රාහ්මණය, ඔය වගේම තමා මේ බුදු සසුනේ ප්‍රතිපදාවත්. ඉතාමත් කලාතුරකින් ලෝකයට අරහත් සම්මා සම්බුදු තථාගතයන් වහන්සේ පහළ වෙනවා. මුල, මැද, අග පිරිසුදු පරම පිවිතුරු ධර්මය උන්වහන්සේ දේශනා කරනවා. එවිට ගිහි පින්වතුන්ට මේ ධර්මය අසන්නට ලැබෙනවා. ඔහුගේ සිත පහදිනවා. ධර්මයේ කියැවෙන පිරිසුදු බ්‍රහ්මචරියාව ගිහිගෙදර සිට පුරන්ට අමාරුයි කියා ඔහුට තේරෙනවා. ඔහු මාපියන්, නෑ හිතමිතුරන් දේපල වස්තුව අතහැර කහවත් පොරවා පැවිදි වෙනවා.
දැන් බුදු සසුනේ පැවිදි වූ ඒ භික්ෂුව සිල්වත් වෙනවා. පන්සිල් පද පණ මෙන් රකිනවා. ඒ භික්ෂුව ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්නවා. ඇස, කන, නාසය, දිව, කය, මනස අකුසලයට නො යොදවා පාලනය කරනවා. රැක ගන්නවා. සංවර වෙනවා. ඒ නිසා තමා තුළින්ම සතුටක් විඳිනවා. එය ඉන්ද්‍රිය සංවරයෙන් ලබන සතුටයි.
ඔහු හොඳ සිහියෙන් ඇවිදිනවා. හොඳ සිහියෙන් දන් වළඳනවා. හොඳ සිහියෙන් සිවුරු පොරෝනවා. හොඳ සිහියෙන් වටපිට බලනවා. හොඳ සිහියෙන් වැසිකිළි කැසිකිළි යනවා. හැම දෙයක්ම හොඳ සිහි නුවණින් කරනවා. ඔහු ඉතා හොඳ සීලයකින් යුත්කයි. ඒ භික්ෂුව නීවරණ හඳුනාගෙන එයින් නිදහස් ව සිත පැවැත්විමට මහන්සි ගන්නවා. කාම අරමුණු වල රැඳෙන්නේ නැහැ. ද්්වේෂයට ඉඩ නැහැ. නිදිමතට, සිත විසිරෙන්න නොදී තැන්පත් කර ගන්නවා. සැකයකින් තොරව දහම් මඟේ හැසිරෙනවා. ටිකෙන් ටික සිත පංච නීවරණයෙන් බැහැර වෙනවා. පී‍්‍රතියත් සිතින් සැප විඳිමින් චිත්ත විවේකය ඇතිව භාවනා අරමුණු හොඳින් මෙනෙහි කරමින් පළමු ධ්‍යානය උපදවා ගන්නවා.
බ්‍රාහ්මණය, ඒ භික්ෂුව දෙවැනි ධ්‍යානය, තුන්වෙනි, සතරවෙනි ධ්‍යානයත් උපදවා ගන්නවා. ඒ හැම ධ්‍යානයක් ම තථාතයන් ගේ පියවර සටහන් මයි. නමුත් කලින් වගේම තීරණේකට එන්ට කලබල විය යුතු නැහැ.
ඉතින් බ්‍රාහ්මණය, ඒ භික්ෂුව තමන් අතීතයේ ගතකළ ජීවිතය කල්ප ගණන් දකින්නට හැකියාව ලබන පෙර විසු කඳ පිළිවෙළ දකිනා ඤාණය ලබනවා. ඊළඟට තම තමන් කර්මානුරූපව උපදින හැටිත් චුතවෙන හැටිත් දකිනවා. ඉතා හොඳින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සම්පූර්ණ වීමෙන් ආශ්‍රවයන් නැතිකොට නිකෙලෙස් වූ අරහත්වයට පත්වෙනවා. එවිට ඒ භික්ෂුව තීරණයකට එනවා භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. ධර්මය ස්වාක්ඛාතයි. ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා.
මෙය ඇසු ජානුස්සෝනි පුදුමයට පත්වුණා. විශ්මයෙන් ඇලලී ගියා. සතුටු කුඳුළු වැගිරුවා. පී‍්‍රතියෙන් ඉපලි ගියා. භාග්‍යවතුන් වහන්සේ ළඟ වැතිරුනා.
(චූලහත්ථිපදෝපම සූත්‍රය ඇසුරෙනි)

දන්නා දෙයින් නොදන්නා දෙයට යන මඟ

බුදු රජාණන් වහන්සේ පෘථග්ජන ලෝක සත්වයා ගමන් කරන දිසාවට ප්‍රති විරුද්ධ වූ දිසාවකට තමන් වහන්සේගේ ගමන යොමු කරමින් තුන් ලෝකයට ම අග්‍ර වූ සම්මා සම්බුද්ධ නම් වන අති විශිෂ්ට වූ තත්ත්වයට පත් වූ සේක. එතැන් සිට ලෝකයේ දුකට පත් වී සිටින අපමණ මනුෂ්‍ය වර්ගයා එම දුකින් ගලවා ගැනීමට ගත් ආයාසය ප්‍රමාණ කළ නොහැකිය.
අප ගමන් කරන්නේ දුක උපදවමින් දුක වැළඳගන්නා මාර්ගයක බව අපි නොදනිමු. මේ අනුව අවිද්‍යා අඳුරට හසුවුණු අප හැම දෙනා ම දුක මග හරිමින් සැපයම සොයාගෙන නොනවතින ගමනක යෙදෙන අතර තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සැප හා දුක යන අන්ත දෙක ම අයත් වන්නේ ලෝකයට බවයි. දුක් දෙන ලෝකය අත්හැරීමට යන මේ ගමනේ දී සැප හා දුක යන දෙක ම අත් හළ යුතු වෙනවා. පින-පව, කුසලය-අකුසලය, හොඳ – නරක යන සියල්ල ලෝකයට අයත් ධර්මතාවයන් ය.
බුදු පියාණන් අප යොමු කරන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවට නොවේ. එය ගඟ පහළට ගමන් කිරීම වැනි දෙයකි. ගඟ පහළට යාම පහසුය. ඒ නිසා කවුරුත් කරන්නේ එයයි. බුදු පියාණන් අපට පෙන්වා දෙන්නේ සදහට ම දුකින් ගැලවීමට අවශ්‍ය නම් පටිසෝතගාමී යනුවෙන් හැඳින්වෙන ගඟ ඉහළට පිහිනීම හා සමවන ධම්මානුධම්ම ප්‍රතිපදාව අනුගමණය කළ යුතු බවය.
පහළට පිහිනීම දුක දෙසට යාමකි. පහළට පිහිනීමේ දී අපට මුණ ගැසෙන්නේ පරක් තෙරක් නොපෙනෙන මහා සාගරය බඳු සංසාරයයි. ගංගාව ඉහළට පිහිනීමෙන් පමණි ගමනාන්තය වූ නිවීම සැනසීම කරා යා හැකි වන්නේ.
දන් දීමට කිසිදු කැමැත්තක් නොදැක් වූ එහෙත් දහම් ඇස පහළ කර ගැනීමට වාසනා ගුණය හිමිව තිබුණු බමුණකු පිළිබඳ සූත්‍ර දේශනාවක් සංයුක්ත නිකායේ උදය සූත්‍රය නමින් අන්තර්ගත වේ. ධර්මාවබෝධයට උපනිශ්‍රය තිබෙන පුද්ගලයන් සිටීදැයි දින පතාම බලා වදාරණ සිරිතක් බුදු රජාණන් වහන්සේට තිබුණි. එදින බුදු නෙතට දර්ශනය වූයේ මෙම උදය බ්‍රාහ්මණයා ය. එම දිනයේ ම බමුණාගේ නිවසට පිඬු සිඟා වැඩිය සේක. ස්වල්ප වේලාවක් බුදු රජාණන් වහන්සේ වැඩ සිටින ඉරියවුව දෙස බලා සිටි බමුණා, මේ පැවිද්දා දන් ස්වල්පයක් ලැබෙන තුරු යන පාටක් නැති බවද හිස් අතින් පිටත් කළොත්, එය බලා සිටි මිනිසුන් තමාට දොස් නගන්නට ඉඩ ඇති බව ද දැන පාත්‍රය පිරෙන්නට ම දන් බෙඳුවේය. බුදු රජාණන් වහන්සේ ඒ දානය ලබා ගෙන පිටත්ව ගිය සේක. කොපමණ බාධක තිබුණත් ඒ සියල්ල මැඩ ගෙන ගංගාව ඉදිරියට ම ඇදෙන්නා සේ තථාගතයන් වහන්සේ ඒ භාග්‍ය වන්තයාගේ නිවසට දෙවැනි දිනයෙ හි ද පිණ්ඩපාතය උදෙසා වැඩම කළ සේක. මෙ දින ද පාත්‍රය පිරෙන්නට දානය බෙදුවේ දැන් නම් නැවතත් නොඑතියි සිතාගෙනය.
තුන් වැනි දිනයෙහි ද මෙම නිවසට ම පිණ්ඩපාතය සඳහා වැඩම කළ සේක. මෙදින ද පාත්‍රය පිරෙන්නට ම දන් බෙදා මෙසේ පැවසීය. ඔබ වහන්සේ හරි කෑදරයි. පුනප්පුනං ගච්චති . නැවත නැවත එන්නේ ඒ නිසයි යන අවලාදය නැගුවේය. එවිට බුදු රජාණන් වහන්සේ මෙසේ පැවසූ සේක. නැවත නැවත එනවා කීවා නේද? මෙය ලෝකයේ හැම දෙයක් ම නැවත නැවත සිදු වෙනවා. ගොවියෝ නැවත නැවත වගා කරනවා. නැවත නැවත අස්වැන්න ගන්නවා. නැවත නැවත වහිනවා.
මිනිසුන් නැවත නැවත ධනය උපයනවා. නැවත නැවත වියදම් කරනවා. වසු පැටියා මව් වැස්සියගෙන් නැවත නැවත කිරි බොනවා. ධනපතියෝ නැවත නැවත දන් දී පින් රැස්කර ගනිති. ප්‍රඥාවන්තයෝ නැවත නැවත පින්කර ධර්මාවබෝධය ලබා ගෙන නැවත නැවත උපදින එක නවතා ගනිති.
බුදු රජාණන් වහන්සේ බමුණාගේ මුවින් ම නිකුත් වූ ‘පුනප්පුනං ගච්චති’ – නැවත නැවත එනවා යන වචනය ම උපයෝගී කොට ගෙන වදාළේ ලෝකය පිළිබඳ යථාවබෝධයය ලබා දීම උදෙසා ය. බුදු පියාණන්ට අවශ්‍ය වී තිබුණේ නැවත නැවත එනවා යන වචනයට ඇසුරින් බමුණාට සසර දුක නැති කිරීම සඳහා ධර්මය දේශනා කිරීමයි. ඒ නිසා බුදු රජාණන් වහන්සේගේ දේශනාව රාගය නවත්වන ආකාරය පිළිබඳවයි. රාගයට මුළා කරන්නට නොවේ.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X