වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

පිදුවොත් තුන්රුවනම පිදුවාමය

ලොව විවිධ ස්වරූපයේ පූජාවෝ වෙත්. මේ මෑණියෝ අප හට ලොව ශ්‍රේෂ්ඨතම පූජාව කිමෙක්දැයි ළ-ගන්නාසුලු ලෙස පහදා දෙති.
පිදිය යුත්තන් අතර ලොව ශ්‍රේෂ්ඨතම පිදීම තෙරුවන් පිදීමය. තෙරුවන් යනු බුද්ධ රත්නය, ධර්ම රත්නය හා සංඝ රත්නයයි. ඒ අතර බුද්ධ රත්නයම ශ්‍රේෂ්ඨය. බුද්ධ ප්‍රතිමා, චෛත්‍ය, බෝධි වෘක්ෂ ආදි පූජනීය වස්තූන් පිදීමද බුද්ධ රත්නය පිදීමටම ඇතුළත් වේ. යමකු ඉතා සුළු දෙයක් නමුත් තුන් සිත පහදවා ආදර ගෞරවයෙන් බුද්ධ රත්නයට පුදන්නේ නම්, ඒ තැනැත්තාට ඉන් ලැබෙන්නා වූ සැප විපාක අප්‍රමාණය. විටෙක එම බලවත් පුණ්‍ය කර්මයෝ තමන්ගේ සසර භව ගමන සුවපත් කරවමින් නිවන දක්වාම රැගෙන යති.
තෙරුවන් පුදා එසේ තම සසර ගමන සංසිඳුවමින් නිවන් අවබෝධ කරගත් උත්තම-උත්තමාවන්ගේ අභීත සිංහනාදයන් කොතෙකුත් ධර්මයෙහි සඳහන් වේ. ථේර-ථේරි ගාථා වශයෙන් අපදාන පාලියෙහි දැක්වෙනුයේ ඒ උදාන ගීතිකාය.
බුද්ධ රත්නය පිදීම ආමිස හා ප්‍රතිපත්ති යන ආකාර දෙකින්ම සිදු කළ හැකිය. ඒ අතරින්ද ප්‍රතිපත්තියෙන්ම බුද්ධ රත්නය පිදීම ශ්‍රේෂ්ඨ වන්නේය.
ප්‍රතිපත්තියෙන්ම බුද්ධ රත්නය පිදූවන් අතර ධම්මාරාම තෙරුන් වහන්සේගේ කථා පුවත ඉතා වැදගත් වූවකි. එනම්: තථාගතයන් වහන්සේ තුන් මසකින් පිරිනිවන් පානා බැව් ආරංචි වීමත් සමඟ බොහෝ පිරිස් සර්වඥ රාජෝත්තමයන් වහන්සේ පිරිවරාගෙන හැසිරෙන්නට වූහ. තවත් පිරිසක් ඔවුනොවුන් ඒකරාශී වී ධර්ම සාකච්ඡා සිදු කරන්නට විය. ඇතැම්හු හැඬූ කඳුළින් කල් ගත කරන්නට විය. ඒ අතර ධම්මාරාම නමැති එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මේ සියල්ලෙන් බැහැරව හුදෙකලාව ධර්මය අවබෝධ කරගන්නට බවුන් වඩමින් වීර්යය වැඩීය. හුදෙකලාව බවුන් වඩන මේ භික්ෂුව දුටු බොහෝ භික්ෂූන් වහන්සේලා “අප මේ සිදු කරන කිසිදු කටයුත්තකට ධම්මාරාම සහභාගී නොවෙතී” යි තථාගතයන් වහන්සේට පැමිණිලි කළහ.
ඒ අවස්ථාවේ ධම්මාරාම තෙරුන් කැඳවා තථාගතයන් වහන්සේ “මේ කියන කථාව සත්‍යයක්දැ?” යි විමසූ විට “එසේය ස්වාමීනි, ‘මාගේ ශාස්තෲන් වහන්සේ තව නොබෝ දිනකින් පිරිනිවන් පානවා. මම ඊට ප්‍රථමයෙන් රහත් වෙමී, ධර්මය ප්‍රතිවේද කරමී’ යි සිතා ධර්මය මෙනෙහි කරමින් ඒ අනුව සිහිය පිහිටුවාගනිමින් හුදෙකලාව වාසය කළෙමි” යි කීය. ඒ ඇසූ තථාගතයන් වහන්සේ “සාදු සාදු ධම්මාරාම!” යැයි ප්‍රකාශ කොට “මහණෙනි, මා කෙරෙහි ඇල්ම ඇති, තථාගතයන් වහන්සේ හට ගරු කරන, තථාගතයන් පිදීමට කැමැතියන් විසින් සැබැවින්ම කළ යුත්තේ ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළ හැසිරෙමින් තථාගතයන් පිදීමයැ” යි අනුමත කරමින්,
“ධම්මාරාමෝ ධම්මරතෝ
ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු
සද්ධම්මා න පරිහායති.”
යන ගාථාව වදාරමින් ‘ධර්මයෙහිම වාසය කරන, ධර්මයට ඇලුණු, ධර්මයට අනුව නිතර සිතන්නා වූ භික්ෂු තෙම සද්ධර්මයෙන් නොපිරිහෙතැ’ යි වදාළහ.
එමෙන්ම තථාගතයන් වහන්සේගේ අවසාන කාල පරිච්ඡේදය පිළිබඳ සඳහන් වන මහා පරිනිබ්බාන සූත්‍රයෙහිද කීප තැනකම තථාගතයන් වහන්සේ නොහොත් බුද්ධ රත්නය ප්‍රතිපත්තියෙන්ම පිදීමේ අනුසස් වදාරා ඇත.
එනමුත්, මෙයින් කිසිවිටෙකත් ආමිසය බැහැර කර ඇතැයි නොසිතිය යුතු අතර, ආමිසය උපයෝගී කරගනිමින් පුණ්‍ය ඍද්ධියෙන් ආඪ්‍ය වූවෝම ප්‍රතිපත්ති පූජාවේ නියැලී තථාගත දහම ප්‍රත්‍යක්ෂ කරගනිමින් නිවන් අවබෝධ කළ ආකාරය ධර්මයෙහි මනාව දැකගත හැකිය. එමෙන්ම, යමෙක් මේ දෙයාකාරයෙන්ම බුද්ධ රත්නය පුදයිද හෙතෙමේ ධර්ම රත්නය හා සංඝ රත්නය ඇතුළු කොට ඇති ත්‍රිවිධ රත්නයම පිදුවා වේ.
ආමිස, ප්‍රතිපත්ති යන දෙයාකාරයෙන්ම තෙරුවන් පුදා මඟ පල නිවන් සාක්ෂාත් කොටගත් උත්තම-උත්තමාවන්ගේ බොහෝ උදානයන් ධර්මයෙහි සඳහන් වුවද, ඒ සියල්ලක්ම අපට සටහන් කළ නොහැකිය. ඒ සියල්ල සක් සුදක් සේ දැක-බලාගැනීමට සම්බුද්ධ දේශිත ත්‍රිපිටක ධර්මය මනාව පරිශීලනය කළ යුතු වේ.
එහෙයින් ආමිස ප්‍රතිපත්තිමය වශයෙන් තෙරුවන් පිදූ උත්තම-උත්තමාවන්ගේ උදානයන් කිහිපයක් අප මෙහි ගෙන හැර දක්වමු.
බුදුන් පිදූ උත්තර මහ රහතන් වහන්සේ
මෙයට කල්ප තිස් දහසකට පෙර ලෝකයෙහි පහළ වූ සුමේධ නම් බුදුරදුන් කල උන් වහන්සේට තුන් සිත පහදවා කිණිහිරියා මල් තුනක් පිදීමෙන් ලත් අනුසස් උත්තර මහරහතන් වහන්සේ විසින් අපදාන පාළියෙහි මෙසේ වදාරා තිබේ:
“සතානං පඤ්චක්ඛත්තුංච
දේවරජ්ජ මකාරයිං
සතානං තීණික්ඛත්තුංච
චක්කවත්ති අහෝසහං
පදේස රජ්ජං විපුලං
ගණනාථෝ අසංඛයං
“භවාභවේ සංසරන්තෝ
මහාභෝගං ලභාමහං
භෝගේ මේ ඌනතා නත්ථී
බුද්ධ පූජායිදං ඵලං.”
“මම මල් තුනක් පූජා කළා වූ පිනෙන් පන්සිය වරෙක දිව්‍ය ලෝකයෙහි දිව්‍ය රාජ්‍යය කළෙමි. තුන්සිය වරෙක මුළු පොළොවටම අධිපති වූ චක්‍රවර්ති රජ වීමි. මහත් වූ ප්‍රදේශ රාජ්‍යයන් ලද වාරයන්ගේ ප්‍රමාණයන් නැත. මම සසර භවයෙන් භවයට හැසිරෙන්නේ මහත් වූ සම්පත් ලදුයෙමි. මේ බුදුන් පිදීමේ ඵලයයි” යනු එහි අදහසයි.
තවද හෙතෙම සුමේධ බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි පටන් අප තථාගත ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලය දක්වා කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙවි මිනිස් දෙගතියෙහි සැප විඳිමින් සැරිසැරූහ; එක් වරකුදු අපායට නොපැමිණියහ. මෙසේ ඉතා දීර්ඝ කාලයක් අපා දුක සිහිනෙකිනිදු නොදැක, අග්‍ර වූ දිව්‍ය මනුෂ්‍ය සම්පත් අනුභව කරමින් සිටියා වූ ඔහු අප බුදුන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර මහත් සම්පත් ඇති කුලයක උත්තර නම් කුමාරයකුව ඉපිද බුදු සසුනෙහි පැවිදිව සව් කෙලෙසුන් නසා සිව් පිළිසිඹියාපත් සහිතව රහත් වීය.
මෙසේ උත්තර මහ තෙරුන් වහන්සේ තුන් කිණිහිරි මලකින් බුද්ධ රත්නය පුදා සිහිනෙකිනිදු අපා දුකට නොපැමිණ තිස් දහසක් කප් මුළුල්ලෙහි පමණ නැති දෙව් මිනිස් සැපත් ලබා ඒ හැමටම උතුම් වූ ලෝකෝත්තර නිර්වාණ සම්පත්තියද ලද සේක.
 පඤ්චදීපිකා තෙරණින් වහන්සේ
මීට කල්ප ලක්ෂයකට පෙර අතීතයේ එක් කල්පයක හංසවතී නම් නගරයේ ආරාමයක් පාසා වන්දනාවේ යන එක් කාන්තාවක් විය. ඇය එක් මාස පෝය දිනයක එක් බෝධි වෘක්ෂයක් වෙතට පැමිණ සිත පහදා බෝධිමූලයේ හිඳගත්තාය. ඇය ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරදුන්ට නමස්කාර කරගෙනම ඉතා සොම්නසින් “ඉදින් තථාගත බුදු රජාණන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක් නම් මේ බෝධීන් වහන්සේ යම් ප්‍රාතිහාර්යයක් දක්වන සේක්වා!” යි අධිෂ්ඨාන කළාය. එසැණින්ම බෝරදුන් වෙතින් ප්‍රභාස්වර ආලෝකයක් නික්මිණි. මෙසේ ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශය සොම්නසට පත් ඇය සතියක් පුරා එම බෝරදුන් සමීපයෙහි වෙසෙමින් සත්වැනි දින රාත්‍රියෙහි පූජාසනය මත පහන් පහක් දැල්වූවාය. ඒ පහන් පසුදින හිරු උදා වන තෙක්ම දැල්විණි.
පසු කාලයේ ඕ කලුරිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඇයට එහි සැට යොදුන් උස, තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගණනක් නැති තරම් පහන් දැල්විණි. ඇය මෙසේ දෙව් මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් පුරා බොහෝ සැප සම්පත් විඳ, අවසාන ආත්මයෙහි අප බුදු රජාණන් වහන්සේගේ සසුනෙහි සත් අවුරුදු වියේදීම පැවිදිව උපසම්පදාවද සමඟින් සව් කෙලෙසුන් නසා රහත් බව ලැබුවාය. ඇය වසන සෑම තැනකම ඇය උදෙසා පහන් පහක් දැල්විණි. ලෝකෝත්තර නිර්වාණ ධර්මය පසක් කළ ඕ, “සතසහස්සිතෝ කප්පේ
යං දීපමද්දිං තදා
දුග්ගතිං නාභිජානාමි
පඤ්චදීපානිදං ඵලං.”
යන ගාථාවෙන් තම උදානය ප්‍රකාශ කළාය. මෙයින් කල්ප ලක්ෂයකට පෙර “මම යම් ප්‍රදීප පූජාවක් කළෙම්ද එපිනෙන් මේ වන තුරු දුගතියකට නොපැමිණියෙමි” යි යනු එහි අර්ථයයි.
යාගුදායක තෙරුන් වහන්සේ
මීට කල්ප තිස් දහසකට පෙර එක් මිනිසෙක් මාර්ගෝපකරණද ඇතිව දුර බැහැර ගමනක යෙදී සිටින විට ගඟක් දෙගොඩ තළා යෑමෙන් ගමන් කිරීම අපහසු වූ බැවින් එක් ගමක විහාරස්ථානයක නැවතුණේය. එහි වෙසෙන භික්ෂූන්ටද ගඟ ගලා ඇති බැවින් පිඬු පිණිස යා නොහැකි විය. ඒ දුටු අර තැනැත්තා පහන් සිත් උපදවා තමා ළඟ තිබූ සහල්වලින් කැඳක් පිස ඒ භික්ෂූන්ට පිළිගැන්වීය. ඒ පිනෙන් ඔහු දීර්ඝ කාලයක් දෙව් මිනිස් දෙගතියෙහි අනේක විධ සැපසම්පත් විඳ අප බුදු රජාණන් වහන්සේගේ කාලයෙහි එක් කුලගෙයක ඉපිද හිස කෙස් කපද්දීම සව් කෙලෙසුන් නසා රහත් විය. නිරාමිස වූ ප්‍රීතියෙන් යුක්ත වූ උන් වහන්සේ තම ප්‍රීතිය මෙසේ ප්‍රකාශ කරන්නට වූහ.
“යාගුං සංඝස්ස දත්වාන
පුඤ්ඤක්කෙත්තේ අනුත්තරේ
පඤ්චානිසංසේ අනුභෝමි
අහෝ යාගු සුයිට්ඨතා
“අබ්‍යාධිතා රූපවතා
ඛිප්පං ධම්මනිසන්තිනා
ලාභිතා අන්නපානස්ස
ආයු පඤ්චමකං මම
“තිංස කප්පසහස්සම්හි
යං දානමද්දිං තදා
දුග්ගතිං නාභිජානාමි
යාගුදානස්සිදං ඵලං.”
“නීරෝගි බව, රූප ශෝභාව, වහා ධර්මය තේරුම් ගැනීමේ සමත් බව, අඩුවක් නැතිව ආහාරපාන ලැබීම, දීර්ඝායුෂ්ක බව යනු යාගුදානයෙන් ලැබෙන ආනිශංසයෝය. කල්ප තිස් දහසකට පෙර යම් කැඳ දානයක් පිදීද ඒ හේතුවෙන් මෙතෙක් දුගතියක් නම් නොදනිමි” යන්න එහි අර්ථයයි.
මෙනයින් පිදිය යුත්තන් පිදීම උතුම් මංගල කාරණයක්ම වන්නේය. බුද්ධාදි ත්‍රිවිධ රත්නය විෂයෙහි අල්ප වූ පූජාවන් කොට දෙව් මිනිස් සැප හා නිවන් සැප ලැබූවන්ගේ සංඛ්‍යාවේ නිමක් නැත්තේමය. එසේම චෛත්‍යය, ප්‍රතිමා, මහබෝ ආදිය පිදීමෙන්ද මව්-පිය ගුරුවර වැඩිහිටියන් පිදීමෙන්ද අප්‍රමාණ සත්ත්වයෝ දෙව් මිනිස් දෙගතියෙහි බොහෝ සැප සම්පත්ද කෙළවර අග්‍ර අමා නිවන් සම්පත්ද ලැබූහ.
එමෙන්ම බුද්ධාදි ත්‍රිවිධ රත්නයම ලෝකයෙහි සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ වන්නේය. යමකු අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ රත්නත්‍රය පිළිබඳව යම් වූ අග්‍ර ශ්‍රේෂ්ඨ ප්‍රසාදයක් ඇති කරගන්නේද එහි විපාකද අග්‍ර වූ විපාකම වන්නේය. “අග්ගෝ ඛෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝති” යනුවෙන් බුද්ධාදි රත්නත්‍රය කෙරෙහි පැහැදී තෙරුවන් පුදන්නවුන්ට අග්‍ර විපාක ලැබේයැයි ධර්මයෙහි සඳහන්ව ඇත.
“තිට්ඨන්තේ නිබ්බුතේ චාපි
සමේ චිත්තේ සමංඵලං
චේතෝපණිධි හේතූ හි
සත්තා ගච්ඡන්ති සුග්ගතිං.”
(විමානවත්ථුපාලි)
“බුදුරදුන් දිවමන් කල්හිද පිරිනිවන් පෑමෙන් පසුවද යමකු ත්‍රිවිධ රත්නයෙහි ගුණ හැඳින වැඳුම්-පිදුම් කරන්නේද සමාන සිතින් යුක්ත වූ ඔවුන්ට සමාන විපාක ලැබේයැ” යි ඉහත ගාථාවේ අර්ථයයි.
වැඳීමට-පිදීමට සුදුසු වූ ගුණයන්ගෙන් යුත් බුද්ධාදි උත්තමයන් වහන්සේලා හට වැඳීමෙන් පවා මෙලොව පරලොව දෙකෙහිම අනුසස් ලැබෙන බව ධර්මයෙහි සඳහන් වේ. ආදර-ගෞරවයෙන් සිත් පහදවා බුද්ධාදි උත්තමයන් හට වැඳීමෙන් මෙලොව වශයෙන් ලැබෙන අනුසස් මෙසේ වදාරා තිබේ:
“අභිවාදන සීලස්ස
නිච්චං වුද්ධා පචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණෝ සුඛං බලං.”
(ධම්මපද, සහස්ස වග්ගය)
“වැඳුම්-පිදුම් කළ යුත්තන් පුදන්නා වූ ස්වභාවයෙන් යුක්ත, නිතර වැඩිහිටියන් හට ගරු බුහුමන් කරන තැනැත්තා හට ආයුෂය, වර්ණය, සැපය, බලය යන ධර්මයෝ සතර දෙන වැඩෙත්” ය යනු එහි අර්ථයයි.
පිදිය යුත්තන් අතර ශ්‍රේෂ්ඨ වූ ත්‍රිවිධ රත්නය පිදීමේ අනුසස් මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. මෙහි සඳහන් කළේ මහ සයුර තරම් වූ තෙරුවන් පිදීමේ අනුසස් අතරින් එක් දිය බිඳක් පමණ ප්‍රමාණයක් පමණි. නුවණැත්තෝ තම තම නුවණින් පිදිය යුත්තන් අතර ශ්‍රේෂ්ඨ වූ ත්‍රිවිධ රත්නය පිදීමේ අනුසස් දැන, තම ශක්ති පමණින් තෙරුවන් පුදා නිවන් මඟ පාදාගනිත්වා!
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X