වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සැප ලැබීමට නම්...

මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ
භික්ෂු අධ්‍යයන අංශයේ ප්‍රධානාචාර්ය හා තරුණ සීල සමාදානයේ අනුශාසක 
ශාස්ත්‍රපති 
රාජකීය පණ්ඩිත 
මහඔය අනුරුද්ධ හිමි

දවස උදේ සවස වශයෙන් ගෙවී යයි. ජීවිතය ද ළමා, තරුණ ,වැඩිහිටි වශයෙන් ගෙවී මරණයට පත් වෙයි. මේවා ජීවිතයට උරුම වූ ධර්මතාවෝ වෙති. කිසිවකුටත් වළකාලිය නොහැකිය. ජීවිතයේ මේ ස්වභාවය වටහා ගෙන ඒ ඒ වයස් සීමාවන් හි දී තම කටයුතු හොඳින් සපුරා ගත් තැනැත්තාට ජීවිතයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි වෙයි. ඒ අවබෝධයෙන් තොරව ජීවත් වන්නාට තුන් වයසම නිකරුණේ ගෙවා අවසන පසුතැවිලිව දුක් වන්නටද සිදු වෙයි.
මිනිසෙකුව උපන් පමණින් හෝ මිනිස් රූ සටහන් තිබුණු පමණින් හෝ යමක් කමක් කොට මිල මුදල් සොයා සපයා ගෙන කමින් බොමින් ජීවත් වූ පමණින් අංග සම්පූර්ණ මිනිසෙක් නොවෙයි. මිනිසාට මෙන්ම තිරිසන් සතාට ද අත් පා තිබේ. මිනිසා මෙන්ම තිරිසන් සතාද ආහාර ගනියි. නිදා ගනියි. කාම සේවනය කරයි. බියට පත් වෙයි.මිනිසා තිරිසන් සතාගෙන් වෙන්කර හඳුනා ගන්නේත් අංග සම්පූර්ණ මිනිසෙකු වන්නේත් ඔහු තුළ දෘශ්‍යමාන වන මනුෂ්‍ය ධර්ම තුළිනි.
මිනිසා යනු උසස් මනසක් ඇත්තෙකි. මේ ලෝකේ ලැබිය හැකි ජීවිත අතර මනුෂ්‍ය ජීවිතයක් ලැබිය හැක්කේ ඉතා අමාරුවෙනි. කලාතුරෙකිනි. ‘කිච්ඡෝ මනුස්ස පටිලාභෝ යනු ඒ බුදු වදනයි. ඒ මිනිසුන් අතර ද විවිධ චරිත ලක්ෂණ ඇති, විවිධ ගති ඇති මිනිසුන් දැකිය හැකිය. මිනිස් චරිත ලක්ෂණ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙයි. ඒ තිරිසන් ස්වභාවය, මිනිස් ස්වභාවය හා දේව ස්වභාවය යනුවෙනි. මෙකී චරිත ලක්ෂණ මිනිස් චර්යාවට විවිධ අයුරින් බලපායි. මිනිසෙකු විසින් තම දිවිය හා සම්බන්ධ කැර ගත යුතු ගුණාංග රැසෙකි. මේ අතුරින් තිරිසන් ගති පාලනය නොකොට වැඩීමට ඉඩ හැරීමෙන් සිදුවන්නේ මිනිසා සමාජයට විශාල බරක් වීමය. මිනිසාගේ ඒ ගති පාලනය කිරීමට ආගම බෙහෙවින් උපකාරී වෙයි. එහෙයින් ශ්‍රේෂ්ඨ උදාර ආගමික නායකයින්ගේ ඉගැන්වීම් අපේ මිනිස් ස්වභාවය වර්ධනය කොට පෝෂණය කිරීමට ඉවහල් වෙයි. මෙකී මිනිස් ස්වභාවය ක්‍රමයෙන් වර්ධනය කිරීමෙන් මිනිසා තුළ දේව ස්වභාවය වර්ධනය කැර ගත හැකිය. මෙලෙසින් දේව ස්වභාවය ලැබූ කළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පළිගැනීම, වෛරය, මානය ආදී නරක නපුරු සිතිවිලි සම්පූර්ණයෙන්ම පහවී මිනිසා උදාරත්වයට, ගෞරව ලැබිය යුතු තත්ත්වයට පත් වෙයි. මෙයින් පැහැදිලි වන්නේ දහම මගින් තිරිසන් ස්වභාවය පාලනය කොට මිනිස් ස්වභාවය පෝෂණය කොට දේව ස්වභාවයට පත් කරන බවය.
මනුෂ්‍ය ජීවිතය සාර්ථක කර ගන්නට මිනිසා තුළ හේය – උපාදේය ඤාණය තිබිය යුතුය. හළයුතු දේ හැරීම හේය වන අතර කළ යුතු දේ කිරීම උපාදේය නම් වෙයි. ඒ අනුව කළ යුතු දේ කිරීමත් හළයුතු දේ හැරීමත් හේය උපාදේය ඤාණයයි. තමාගේත් අනුන්ගේත් අයහපත පිණිස පිරිහීම පිණිස හේතුවන පස්පව් දස අකුසල් ආදිය නොකිරීම හළයුතු දෙය වශයෙන් බුදු දහම අවධාරණය කරයි. තමාගේත් අනුන්ගේත් යහපත පිණිස දියුණුව පිණිස හේතු වන සුචරිත දහම් කළ යුතු දෙය වශයෙන් උගන්වයි. එහෙයින් හොඳ නරක දෙකින් නරක ඉවත ලා හොඳ දෙය දිවිය තුළ වඩා වර්ධනය කැර ගැනීමට හේය උපාදේය ඤාණය මිනිසාට බෙහෙවින් උපකාරී වෙයි.
අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති
එතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කයිරාථ සුඛා වහානි යනුවෙන් සංයුත්ත නිකායේ අච්චෙන්ති සූත්‍රයෙහි මනුෂ්‍ය ජීවිතයක් සාර්ථක කරගන්නට අවශ්‍ය කරන බොදු පිළිවෙත් රැසක් සඳහන් වෙයි. පෙරවරු පස්වරු වශයෙන් කාලයෝ ඉක්ම යති. පෙරයම මැදියම අළුයම වශයෙන් රාත්‍රීහුද ඉක්මවා මිනිසා මරණය කරා පමුණුවති. වයෝ රාශීහු ළමා, තරුණ හා මහලු වශයෙන් ක්‍රමයෙන් පුරුෂයා හැර යති. මේ තුන් බිය මරණයෙහිලා දැන දැක සැප ගෙන දෙන පින් කරන්න යනු එහි භාවයයි. මේ දෙවියකු විසින් බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කළ ප්‍රශ්නයෙකි. බුදුරජාණන් වහන්සේ
අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ – වයෝ ගුණා අනුපුබ්බං ජහන්ති 
එතං භයං මරණේ පෙක්ඛමාණෝ – ලෝකාමිසං පජහේ සන්ති පෙක්ඛෝ යනුවෙන්
බුදුරජාණන් වහන්සේ දෙවියාගේ අදහස සනාථ කරමින් මේ ත්‍රිවිධ භය මරණයෙහි ලා දන්නේ නිවන් පතනුයේ භවත්‍රය සංඛ්‍යාත ලෝකාමිෂය දුරු කරන්නේ යැයි වදාළහ. මේ පැනයෙන් හා පිළිතුරෙන් මනාව ප්‍රකට වන්නේ උපන් සත්ත්වයාට පොදුවේ පැමිණෙන සාධාරණ ධර්මතා තුනක් පිළිබඳවත් ඒවා නැතිකර ගැන්මට ලොව්තුරු සුව සදන පින්කම් කැර ගැන්මත්, ලෝකාමිෂය දුරුකළ යුතු බවත්ය.
දවස උදේ සවස වශයෙන් ගෙවී යයි. ජීවිතය ද ළමා, තරුණ ,වැඩිහිටි වශයෙන් ගෙවී මරණයට පත් වෙයි. මේවා ජීවිතයට උරුම වූ ධර්මතාවෝ වෙති. කිසිවකුටත් වළකාලිය නොහැකිය. ජීවිතයේ මේ ස්වභාවය වටහා ගෙන ඒ ඒ වයස් සීමාවන් හි දී තම කටයුතු හොඳින් සපුරා ගත් තැනැත්තාට ජීවිතයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි වෙයි. ඒ අවබෝධයෙන් තොරව ජීවත් වන්නාට තුන් වයසම නිකරුණේ ගෙවා අවසන පසුතැවිලිව දුක් වන්නටද සිදු වෙයි.
ළමා කාලය ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්නා කාලයයි. ඉගෙන ගන්නා කාලයේදී නොමැලිව උත්සාහයෙන් ඒ කටයුතුවල යෙදිය යුතුය. හොඳින් ඉගෙන ගත් තැනැත්තාට ජීවිතය උසස් තත්ත්වයට පත් කැරගත හැකිය. “විද්වාන් සර්වත්‍ර පූජ්‍යතේ උගතා ලෝකයේ කොහේ ගියද පිදුම් ලබයි. මෙසේ කුඩා කල බාහිර ශිල්ප ශාස්ත්‍ර උගන්නා අතරම ආගමික අධ්‍යාපනයක් ද ලබාගත යුතුය. බාහිර අධ්‍යාපන ඥානයෙන් හා ආගමික අධ්‍යාපන ඥානයෙන් පිරිපුන් තැනැත්තාගෙන් රටට, දැයට හා සමයට මහඟු මෙහෙයක් සැලසෙයි. මේ කිසිදු අධ්‍යාපනයක් නොමැති හිස් තැනැත්තා නොයෙකුත් අපරාධ කරමින් සමාජයටද බරක් වෙමින් උපන්නට ගද්දෙන් ඔහේ ජීවත්වෙයි.
තරුණ කාලය ජීවිතයේ වාසනාවන්ත ම අවධියයි. ජවය, එඩිය පවත්නා ඒ කාලය තුළ තම ආර්ථිකය යහපත් කැර ගත යුතුය. උසස් ආර්ථික පදනමකට සැලැස්ම ඇති කැර ගත යුතු සමාජයේ පවත්නා විවිධ තනතුරු සඳහා උද්‍යෝගිමත්ව ක්‍රියා කළ යුතු අවධිය තරුණ වියයි. තම ජාතියට, ආගමට, භාෂාවට මහ මෙහෙයක් කළ හැකි අවධිය තරුණ කාලයයි. අවාසනාවකට මෙන් එබඳු උදාර මෙහෙයක් කළ හැකි තරුණ ජීවිත අකාලයේ වනසා ගන්නා යෞවන යෞවනියෝ අප සමාජයේ ඉතා සුලභය. ඉන්ද්‍රියයන් පිනවීමම ජීවිතයයැයි සලකමින් පස්කම් සැප පසු පසම යමින්, සුරා බොමින් , සූදු වෙහි යෙදෙමින් තම ධනයත්, කාලයත්, ශ්‍රමයත්, යොදවන්නෝ සමාජයේ අපමණය. තමාට විනාශය ගෙන දෙන අනුන්ට කරදර ගෙන දෙන මෙවන් දුසිරිතට නොව සුසිරිතට තරුණ ජීවිත යෙදවිය යුතුය.
වැඩිහිටි විය පින් දහම්හි යෙදෙමින් විවේකීව ගෙවිය යුතු කාලයයි. සැඳෑ සමය එලෙසින් විවේකීව සැනසිල්ලේ ගෙවිය හැකි වන්නේ යමෙක් ඔහුගේ යුතුකම් කොටස මැනවින් සපුරා තිබුණොත් පමණි. අප සමාජයේ ඇතැම් මව්පියෝ සැදෑ සමය දුකසේ ගෙවනු දක්නට ලැබෙයි. ඒ තම දරුවන්ට හොඳින් ඉගැන්නුවද ගුණධර්ම කියා නොදීමේ ඵලයයි. එහෙයින් තම දරුවන්ට ගුණ නුවණ වඩා වර්ධනය කොට දැහැමින් ජීවත්වීමේ කලාව කියාදීම මව්පියන්ගේ යුතුකමෙකි. එබඳු දෙමාපියනට ජීවිතයේ සැඳෑ සමය සතුටින් ගෙවිය හැකිය.
ලෞකික හා ලෝකෝත්තර සැප ලැබීමේ මඟ පින්කම් හි යෙදීමයි. පිනින් තොර ජීවිතය දුක් සහිතය. බුදුදහම අනුව කාම,රූප,අරූප යන කිනම් භවයක උපත ලැබුවද දුක හා බිය උරුමමය. මෙකී දුක බිය නොමැති තැන නිවනයි. නිවන් ලබන්නට නම් ලෝකාමිෂය දුරුකළ යුතුය. තණ්හාව නිසා සත්ත්වයා නොයෙක් දුක් රැස්කැර ගනියි. සසර දිගින් දිගටම ගමන් කරනුයේ ආශාව නිසාය. කිනම් භවයක උපත ලැබුවද ඉඳුරන් පිනවීමේ බලවත් ආශාව සෑම සත්වයකු තුළම බලපවත්වයි. තමන් අපේක්ෂිත ඒ සැපත නොලැබෙන කල එය සපුරා ගන්නට නොයෙක් වැරැදි ක්‍රියාවල යෙදෙයි. එයින් සසර ගමන තවත් දික් වෙයි. නූතන සමාජය දෙස නුවණැසින් බලන කල නොයෙක් අපරාධයන්ට මූලික හේතුව වී ඇත්තේ තණ්හාව බව පැහැදිලිය. නොයෙක් දුසිරිත් කරනුයේ, වතුපිටි ආදියට ගහමරා ගනුයේ ලෝභකම නිසාය. ලෝකය නොයෙක් විසිතුරු දෙයින් පිරී ඇත. ඒ හැමකක්ම අපට උරුම දේ නොවෙයි. දුටු දුටු දෙයට ආශා කිරීම විපතට මුලයි. එහෙයින් තම තම නැණ පමණින් මේ බව වටහා ගෙන කටයුතු කිරීම සැප ලැබීමේ එකම මඟ බව වටහා ගත යුතුය.

මෙලොවදීම අනුසස් ලැබිය හැකි පින්කම

අනුරාධපුර 
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය 
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
බෞද්ධ සැදැහැති ජනතාව කරන පින්කම් වැඩි ම උනන්දුවක් ඇත්තේ කුමක්ද? යනුයෙන් අප ප්‍රශ්නයක් නැඟුවොත් දෙන්නට හැකි කෙටි ම පිළිතුර තමා දන්දීම යන්න. අද අපට වැඩිපුර ම දක්නට ලැබෙන දෙයක් තමා මෙම බොදු දායක දායිකාවෝ මාසයකට වරක්වත් තමන්නේ ගමේ පන්සලට දානයක් දෙන්නට පුරුදු වෙලා ඉන්නවා කියන මේ කරුණ. ඒ විතරක් නොවේ. බොහෝ දායක පිරිස් සිටින පන්සල්වල දායකයන්ට සමහර විට දාන වේලක් පන්සලට දෙන්නට ලැබෙන්නේ මාස තුනකට හෝ හයකට හෝ අවුරුද්දකට වරයි. මාස් පතා දන් දෙන්නට නො ලැබෙතොත් ඒ පිළිබඳ බොහෝ දෙනෙක් වැඩි කැමැත්තක් නැති අවස්ථා ද තිබෙනවා. බොහෝ දෙනෙක් කැමැති මාසිකව දානයක් දෙන්නටයි.
ඉතින් ඒ නිසා සමහරවිට ගමේ පන්සලට උදේට දාන දෙකක්. දවල්ට දාන දෙකක් වශයෙන් හෝ ඊට වඩා වේලකට තුනක් හතරක් වගේත් දානය ලැබෙන පන්සල් අපේ රටේ තිබෙනවා. ඒ හැරුණුවිට මේ උදවිය ම වෙනත් පන්සල්වලට, ළමා නිවාසවලට, මහලු නිවාසවලට, පන්සලේ පොහෝ දින සිල් සමාදන්වන අයට ආදි වශයෙන් විවිධ අවස්ථාවල විවිධ ස්ථානවල විවිධ ආකාරයෙන් දන් දෙනවා. වෙසක්, පොසොන් දිනවල දන්සල්වලට, තම නිවෙස්වල මියගිය අයට පින් දෙන්නට, උපන්දිනය වෙනුවෙන් ආශීර්වාද ලබන්නට, විශාල වශයෙන් දන් දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව දානයෙන් මූලික වශයෙන් අදහස් කරන්නේ තමන්ගේ සිත් සතන්වල හට ගන්නා ලෝභ, දෝස, මෝහ යටපත් කර ගැනීමයි. අලෝභ, අදෝස හා අමෝහ යන මේ සසර දිගු කරන අකුසල මුල් තාවකාලිකව හෝ යටපත් කර ගැනීමයි. ඒ අරමුණට පිටුපා දන්දෙන උදවියත් කොපමණ වත් සමාජයේ දකින්නට අපට හැකියාව තිබෙනවා. සමහර විට තරගකාරීවත්, ප්‍රසිද්ධියත්, තමන්ගේ දීර්ඝ කාලයක් තුළ වැරැදි ලෙස හරිහම්බ කළ ධනය වැය කොටත් දන් දී හිත හදා ගැනීමේ අරමුණ මතත් ඒ තුළින් තමන්ගේ මුලින් කී අපකීර්තිය වසා ගන්නටත් දන් දෙනවා. පුවත්පත්වලත් විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනවා. ඒ සමඟම ඒ තුළින් සමාජයේ තමා පිළිබඳ ඇති වූ නරක නාමය යටපත් කිරීමේ අරමුණ මුදුන්පත් කර ගන්නට උත්සාහ කරනවා. දන් දෙන අය කොතෙකුත් අපේ සමාජයේ ඉන්නවා. එවැනි පටු අරමුණු උඩ දන් දීම සිදු වන්නේ නම් එය හුදු ක්‍රියාවක් පමණක් වන්නට මෙන් ම සසර දිගු කරන ක්‍රියාවක් ද වන්නට පුළුවනි. එයට බලපාන්නේ මේ ක්‍රියාව වෙනුවෙන් දන් දෙන අයගේ සිතේ ක්‍රියාත්මක වන සිතිවිලි පරම්පරාවයි. දන් දෙන තැනැත්තා නිරන්තරයෙන් සිහියෙන් දන් දිය යුතු වෙනවා. එහි දී තමන් විමසිලිමත් විය යුත්තේ වෙන කිසිවක් නොව මෙම දානයෙන් තම සන්තානයෙහි උපදින ලෝභාදි අකුසල මූලයන් කොතෙන් දුරට යටපත් වෙනවාද කියන මේ කරුණ ගැනයි. දන්දෙන්නා ඒ නිසා ම විමසිලිමත්ව සිහියෙන් ම දන්දිය යුතු වෙනවා.
ඒ වුණත් මෙවැනි වැරැදි අරමුණකින් තොරව පිරිසුදු දන්දීමේ අරමුණෙන් ම ක්‍රියා කරන අය ද වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. මෙහිදී අපේ අවධානයට ලක්වන්නේ එබඳු උදවිය ගැනයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදයට හේතු වන්නේ ද එවැනි පුද්ගලයන් පිළිබඳවයි. එබඳු උදවිය මෙලොව වශයෙන් හා පරලොව වශයෙන් ඒකාන්තයෙන් ම එහි ප්‍රතිඵල ලබන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි ඉතා ප්‍රකට ගුණයක් තමා “සන්දිට්ඨික” යන වචනයෙන් පැහැදිලි කරන්නේ උන්වහන්සේගේ සමස්ත ධර්මයම මෙසේ සන්දිට්ඨිකයි.
මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් ඇති සූත්‍ර ධර්මයක් මෙහිදී අපේ අවධානයට ලක්කරමු. එය අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සීහ සේනාපති සූත්‍ර ධර්මයයි. එක කාලයක අපේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරනවා. ඒ කාලයේ දවසක සිහ සේනාපතිවරයා බුදුරජාණන් වහන්සේ එහි වාසය කරන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ වෙත එළඹ එකත් පසෙකට වී හිඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටිනවා. “ස්වාමිනි, දන්දෙන පුද්ගලයාට ඔහුට දැන ගත හැකි දානඵල ගැන පැහැදිලිව අපට කියා දෙන්න පුළුවන් නම් බොහොම හොඳයි.” කියා ප්‍රකාශ කර සිටියා. බුදුරජාණන් වහන්සේ උපමා මඟින් නිදර්ශන සහිතව මෙයට පිළිතුරු දෙනවා.
එහිදී උන්වහන්සේ සිහ සේනාපතිගෙන් මෙසේ ප්‍රශ්නයක් අසා පිළිතුරු ලබා ගනිමින් ම ඒ කරුණ පැහැදිලි කර දෙනවා. “සිහසේනාපතියෙනි, මේ ලෝකයේ ජීවත් වන පුරුෂයන් දෙදෙනෙක් ගැන සිතමු. එයින් එක් අයෙක් කෙරේ ශ්‍රද්ධාව හීනයි, මසුරුකම වැඩියි, තද මසුරුයි, තමා සතු දෙය පිළිබඳ පරිත්‍යාගශීලි නො වෙනවා වගේ ම පරිත්‍යාගශීලි උදවියගේ එම සද්පුරුෂ දානාදි ක්‍රියාත් වළක්වාලීමට ක්‍රියා කරනවා. අනුන්ට ගරහනවා, නින්දා අපහාස කරනවා, මේ අතර අනික් පුරුෂයා මෙයට ප්‍රතිවිරුද්ධව ගති සිරිත් ඇතිව කටයුතු කරනවා. ඔහුට ශ්‍රද්ධාව තිබෙනවා, දන්දීමට වැඩි උනන්දුවක් දක්වනවා, නිතර නිතර දන්දීමට පෙළඹෙනවා, අනෙකුත් අයත් දන්දීමට පොළඹවනවා.විශාල වශයෙන් අනෙකුත් පිරිස් එකතු කරගෙන ගොස් විවිධ දානාදි පින්කම් විවිධ ස්ථානවල සිදු කරනවා. දානපතියෙකුව ජීවත් වෙනවා. මේ දෙදෙනා ගත් විට රහතන් වහන්සේලා මේ දෙදෙනාගෙන් මුලින්ම අනුකම්පා සහගත වන්නේ දෙවනුව කියැවුණු ශ්‍රද්ධාවන්ත අයටයි. උන්වහන්සේලා එබඳු අය සිටින තැන් සොයා ගෙන ගොස් ඒ අයට ධර්මය දේශනා කරනවා. අප විසින් පිහිට විය යුතු එබඳු අය කුමන පළාත්වල වෙසෙනවාදැයි සොයා බලා ඔවුන්ට නිරන්තරයෙන් අනුශාසනා කරනවා.
ඔවුන්ගේ වචනය අදහනවා. මෙය තමා ලෝක සත්‍යයය” කියා බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. එයින් කියැවෙන මූලික කරුණ වන්නේ රහතන් වහන්සේලාගේ පවා ප්‍රසාදයට ඔවුන් සැබවින්ම පත් වෙනවා. ඔවුන් සමාජයේද පි‍්‍රය මනාප අය බවට පත් වෙන බව කියැවෙනවා. දන්දීමෙහි පළමුවෙනි සන්දිට්ඨික ආනිසංශය මෙයයි. දෙවන ආනිසංශය ද මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. එනම් රහතන් වහන්සේලා පළමුවෙන්ම හමුවීමට කැමැත්තක් දක්වන්නේත් එසේ කැමැති වී එළඹෙන්නේත් මේ දෙදෙනා අතුරෙන් දෙවැනි කී ශ්‍රද්ධාවන්ත දායකයා වෙතට යි.
තෙවන ආනිසංශය නම් මේ දෙදෙනා දන් දෙන අවස්ථාවක රහතන් වහන්සේලා ඔවුන් අතුරෙන් පළමුව දන් පිළිගැනීමට වඩින්නේ දෙවනුව කියැවුණු ශ්‍රද්ධාවන්ත දානපතියා වෙතටයි. හතරවන ආනිසංශය වනනේ මේ දෙදෙනාටම යම් අවස්ථාවක රහතන් වහන්සේලා ධර්මය දේශනා කරනවා නම් පළමුවෙන්ම ධර්මය දේශනා කරන්නේ දෙවනුව කී ශ්‍රද්ධාවන්ත දානපතියාටයි.
මේ දෙදෙනාගෙන් කීර්ති ඝෝෂාව වැඩිපුර ම පැතිරී යන්නෙත් දෙවනුව කියැවුණු ශද්ධාවන්ත දානපතියාගෙයි. ඔහුගේ කීර්ති ඝෝෂාවෙහි විශේෂයක් ද තිබෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. ඒ දානපතියාගේ කීර්ති ඝෝෂාව බොහෝ දෙනාගේ මෙලොව පරලොව සුගතියට හේතුවන කල්‍යාණ, සද්පුරුෂ ගුණයෙන් යුක්ත වීමයි. බොහෝ දෙනාට ආදර්ශයක් වන බවයි. මෙය පස්වන ආනිසංශයයි.
එමෙන් ම මේ දෙදෙනාගේ තවත් වෙනසක් පෙන්වා දෙන බුදුරජාණන් වහන්සේ සයවැනි ආනිසංශය මෙසේ දක්වනවා. මෙයින් දෙවන කී ශ්‍රද්ධාවන්ත දානපතියා යම් ජන සමූහයක් ඉදිරියට යන විට රාජකීයයන් ඉදිරියට හෝ, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණ ආදී අන්‍යාගමික පිරිසක් හමුවට හෝ, පොදු සාමාන්‍ය පිරිසක් හමුවට යන විට හෝ භික්ෂු මහාසංඝයා ඉදිරියට යනවිට හෝ කිසිදු පැකිළීමක් නොමැතිව, තැති ගැනීමක් නොමැතිව ප්‍රබුද්ධ ප්‍රියමනාප පෙනුමකින් හෝ සැක බියකින් තොරව ම එඩිතරව ගමන් කරනවා. ඔහුට වසං කිරීමට කිසිවක් නැහැ. විවෘත බවක් පෙන්නුම් කරනවා.
හත්වැනි ආනිසංශය පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පරලොව විපාක ලැබෙන කරුණක් පිළිබඳවයි. එනම් දෙවනුව කී ශ්‍රද්ධාවන්ත දානපතියා මේ ලෝකයේ ඔහු මරණයට පත් වූ කල්හි සුගතියෙහි, දිව්‍යලෝකයන්හි උත්පත්තිය ලබන බවයි. මෙහිදී සිහසේනාපතිවරයා ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කරනවා. එය නම් හයවන ආනිසංශය දක්වා වූ කාරණාවලින් දක්වා තිබෙන්නේ මේ ලෝකයේ දී ම ශ්‍රද්ධාවත් දානපතියා විසින් අත්විඳිනු ලබන ආනිසංශයයි. එය එහෙම වුණත් හත් වන ආනිශංසය මෙලොව දී දැකගන්නට, අත් විඳින්නට පිළිවන්කමක් නැහැ. ඒ කාරණාව සිහසේනාපතියාට වැටහෙන, පෙනෙන බව ඔහු ප්‍රකාශ කරනවා. ඒ වුණත් පරලොව සුගතිගාමී වන බව සිහසේනාපතියාට තම බුද්ධි මට්ටමෙන් පෙනී යන්නේ නැහැ. ඒ අවස්ථාවෙහි සිහසේනාපතියා ප්‍රශ්නයක් බුදුරජාණන් වෙත ඉදිරිපත් කරනවා. “ස්වාමීනි මුලින් කී ආනිසංශ හය මටත් හොඳට දැනෙනවා. වැටහෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ හත් වෙනි ආනිසංශයයි. එය කොහොමද ස්වාමීනි දකින්නේ” එයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ එය පැහැදිලි කරමින් දක්වා සිටින්නේ එය ඒ ආකාරයෙන් ම සිදුවන බව එය ද මහත් ශ්‍රද්ධාවෙන් අදහා ගත යුතු බවය.
මේ ආකාරයෙන් දන්දීමෙන් ලැබෙන ආනිශංස අපට ම අද්විඳිය හැකි සන්දිට්ඨික ගුණයෙන් යුක්ත වන ආකාරය අප තේරුම් ගෙන අවබෝධයෙන් ම, සිහියෙන් ම දන්දීමයි වැදගත් වන්නේ.

දානය ප්‍රගුණ කරන්න ඉල්ලීම් අඩු කරන්න

ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි

කොපමණ නැති වුවත්, කොපමණ අඩුපාඩුකම් තිබුණත් අපහසුම අවස්ථාවක විනා කිසිවෙකුගෙනුත් නොඉල්ලිය යුතු ය. හැකිතාක් දුරට ඉල්ලීම අඩුකළ යුතු ය. ඔබ මෙසේ නුවණින් කල්පනා කරන්න. ගුණවත් සහ නැණවත් දෙමාපියෝ දරුවන්ට දියයුතු දේ සහ දියයුතු අවස්ථාව ඉතාමත් හොඳින් දනිති. දරුවන් නමුත් නිතරම ඉල්ලන්නේ නම් වරෙක දෙමාපියන්ට එපාවෙයි.
දානය පිළිබඳව, සදහම් සිතිවිල්ලක් ඔබට ඉදිරිපත් කරමි. දානය උතුම් මංගල කරුණක් මෙන්ම යමක් නිතර ඉල්ලීමද අප්‍රසන්න කරුණකි. බෝධිසත්ව උතුමන් මෙන්ම අපද දානය පුරුදු කළ යුතු ය. අප යමක් මේ ජීවිතයේ ලබා ඇත්නම් එය සසරෙහි පුරුදු කරන ලද දානයේ ඵල විපාකවල බලපෑමක් ලෙසද මෙනෙහි කළ යුතු ය. අපට යමක් ලබන්නට තරම් අවස්ථාව නොලැබී ඇත්තේ ද දන්දීම පුරුදු නොකරන ලද නිසා ය.
අපට පින් හෝ යහපත් කර්මයක් තිබේනම් සියල්ල නිතැතින්ම ලැබේවි යනුවෙන් පවසා වීර්යයෙන් සහ නුවණින් යුතුව කටයුතු නොකොට අලසව සිටින්නට යැයි මින් අදහස් නොකෙරේ. පින මතුකරන්නට ද උත්සාහයෙන්ද වීර්යයෙන්ද නුවණින්ද කටයුතු කළ යුතු ය. මම ඔබට මෙසේ ආරාධනා කරමි. ඔබට යමක් ලැබී ඇත්නම්, එනම් ධනවත් නම්, අඩුම තරමේ කාගෙන්වත් නො ඉල්ලා තමන්ගේ සහ පවුලේ කටයුතු කරගැනීමට තරම් ධනයක් තිබේ නම් මෙසේ සිතන්න. “අපට යමක් ලැබුණේ නම් ලැබූදේ ආරක්ෂා කර ගෙන හෝ වැඩි දියුණු කරගෙන සිටිමින් යම් සැපතක් ලබන්නට හැකියාව සැලසෙන්නේ සසරෙහි දන්දී තිබෙන නිසායි. බොහෝ අයකුට උදව් උපකාර කොට ඇති නිසායි. ඒ නිසා මේ ජීවිතයෙත් දන් දෙනවා, හැකි අයුරින්ම අන් අයට උදව් උපකාර කරනවා” ඔබට යමක් අවශ්‍ය පරිදි නැතිනම්, එනම් අඩු පාඩු බොහෝම නම්, අඩුම තරමේ ජීවත්වන්නට තමන්ගේම කියා ගෙයක් දොරක් නැතිනම්, එදාවේල පිරිමසා ගන්නේ අපහසුවෙන් නම් මෙසේ සිතන්න. “අපට යමක් නොලැබුණේ සසරෙහි දානය පුරුදු නොකරන ලද නිසයි. යමක් උපයාගන්නට උත්සාහයෙන්ද, වීර්යයෙන්ද කල්පනාකාරීව ද කටයුතු කරනවා. මම දුප්පත් වුවත් අනුන්ගේ දෙයක් සොරකම් කරන්නේ නැහැ. මම උත්සාහයෙන් කටයුතු කොට ලද දෙයින් සතුටු වෙනවා. මට හැකි අයුරින් තවත් කෙනෙකුට යමක් දෙනවා. උදව් වෙනවා. අඩුම තරමේ ශ්‍රම දානයක් ලෙස ශ්‍රමයෙන් හෝ උදව් වෙනවා.” මම මෙසේ විස්තර කොට සඳහන් කළේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ සංයුක්ත නිකායේ, සුඛිත සහ දුග්ගත සූත්‍ර දෙක අනුසාරයෙනුයි.
ධනවත් හෝ යමක් තිබෙන අය දන්දෙන විට පරිවාර සම්පත්තිය හෙවත් පිරිවර එකතුවෙයි. කීර්ති, ගුණ, ප්‍රශංසා පැතිරෙයි. ලෙඩදුක් වැනි ස්වාභාවික විපතකදී පවා බොහෝ අයගේ පිහිට සහ උපකාරය ලැබෙයි. ලැබූ අය ඒවා නිසා සතුටුවෙන විට අපමණ පී‍්‍රතියක් හටගනී. දුප්පත් හෝ ආර්ථික වශයෙන් අඩුපාඩුකම් තිබෙන අය සොරකම්, වංචා නොකොට දුසිරිත්වල නොයෙදී ධාර්මිකව ජීවත්වන විට ධනය ඇති අයගෙන් ලැබෙයි. රැකියාව කරන තැනද, ගෙදරක වැඩකට ගියද, ගමේ පළාතේ අහිංසකව සිටියද අන් අයගේ කරුණාවට ලක්වෙයි. බොහෝ උදව් උපකාර ලැබෙයි. ඉගෙනීමට හැකියාවන් ඇති දුප්පත් දරුවන්ට උදව් උපකාර කිරීමට බොහෝ දෙනා ඉදිරිපත් වෙති.
කොපමණ නැති වුවත්, කොපමණ අඩුපාඩුකම් තිබුණත් අපහසුම අවස්ථාවක විනා කිසිවෙකුගෙනුත් නොඉල්ලිය යුතු ය. හැකිතාක් දුරට ඉල්ලීම අඩුකළ යුතු ය. ඔබ මෙසේ නුවණින් කල්පනා කරන්න. ගුණවත් සහ නැණවත් දෙමාපියෝ දරුවන්ට දියයුතු දේ සහ දියයුතු අවස්ථාව ඉතාමත් හොඳින් දනිති. දරුවන් නමුත් නිතරම ඉල්ලන්නේ නම් වරෙක දෙමාපියන්ට එපාවෙයි. ස්වාමිපුරුෂයෙක් සහ බිරිඳක් අතරද සොහොයුරු සොහොයුරියන් අතරද හිතවතුන් අතරද අසල්වැසියන් අතරද එසේමය. පැවිදි පක්ෂය සහ දායකයන් අතරද එසේමය. පැවිදි පක්ෂය වුවද නිතර නොයෙක් දේ ඉල්ලා දායක ඇත්තනට කරදර කරන්නේ නම්, එහි හටගන්නේ කළකිරීමකි. එපාවීමකි. කොපමණ උගත්කමක් පැවැතිය ද,රූපයක් තිබුණද, තනතුරු තිබුණද ඉල්ලූ විට පහත් බවට ඇද වැටෙයි. පින් දහම් සහ සමාජ සේවා කටයුතු සඳහා යම් යෝජනා ඉදිරිපත් කළ හැකිය. එනමුත් කරදරයක් වන ආකාරයට ඉල්ලීම නම් නොකළ යුතු ය.
ඔබ මෙවැනි අදහස් සමාජයේ අසා තිබේද? “ඒ අය නම් කවදාවත් තියෙනවා කියා හෝ ඇතියි” කියලා නම් කියන්නේ නැහැ. කට ඇරියොත් කියන්නේ නැහැයි කියලා. නැත්නම් “මදියි” කියලා. ඔය මිනිස්සු නම් කවදාවත් සතුටු වෙන්නෙත් නැහැ. සතුටු කරන්නත් බැහැ. ඔබ දුප්පත් වුවත් ධාර්මික නම්, සිල්වත් නම් එම ගුණය කෙතරම් අගනේද? උත්සාහයෙන්, වීර්යයෙන් යුතුව නැඟී සිටීමට ධාර්මිකව කටයුතු කරන්න. “යථාලාභ සන්තුට්ඨි” හෙවත් ලද දෙයින් සතුටු වන්න.
අට්ඨිසේන ජාතකයෙහි සඳහන් පරිදි බෝධිසත්ව උතුමෝ කිසිවක් කිසිදා නොඉල්ලූහ. දිනක් රජතුමා මෙසේ බෝධිසත්වයන්ගෙන් ප්‍රශ්න කළහ. මා නොහඳුනනා බොහෝ දෙනා මා වෙත පැමිණ බොහෝ දේ ඉල්ලති. කැමැති දෙයක් ඉල්ලන්නට යැයි මා ඔබවහන්සේට පවසා තිබුණත් කිසිවක් නො ඉල්ලන්නේ කවර හේතු නිසා දැයි ප්‍රශ්න කළේ ය. බෝධිසත්වයෝ මෙසේ පිළිතුරු දෙති. “ඉල්ලන තැනැත්තා අපි‍්‍රය වෙයි. ඉල්ලූ විට නොදෙන තැනැත්තාද එසේම අපි‍්‍රය වෙයි. මේ නිසා අප දෙදෙනා අතර අමනාපයක් ඇති නොවේවායි සිතා මම ඔබතුමාගෙන් කිසිවක් නොඉල්ලුවෙමියි” පැවසූහ. මණිකණ්ඨ ජාතකයට අනුව තාපසයෙක් වෙතට නිතර පැමිණීමට පුරුදු වී සිටි නාගයෙක් සිටියේ ය. මෙම නාගයාගේ ගෙලෙහි මාණික්‍යයක් තිබුණි. දිනක් තාපසතුමා එම මාණික්‍ය නාගයාගෙන් ඉල්ලීය. ඊට පසුවදා පටන් නාගයා තාපසතුමා වෙතට නොපැමිණියේ ය.
කෙසේ වෙතත්, යම් කෙනෙක් යමක් ඉල්ලූවේද හැකි අයුරකින් දීම කළ යුතු ය. ඉල්ලන ලද තැනැත්තා හෝ තැනැත්තිය මනසින් ඉතාමත් පීඩාවකට පත්ව එම ඉල්ලීම කළ හැකිය. නැතිබැරිකමට යැයි පවසා ලජ්ජාව යටපත් කරගෙන යමක් ඉල්ලා සිටිය හැකිය. සද්පුරුෂයෝ එවැනි අවස්ථාවල පිහිට වෙති. පරිත්‍යාගය පුරුදු කිරීම පිණිස ඉල්ලන්නා කෙරේ ඔබට මෙසේ සිතිය හැකිය. “මේ ඉල්ලන අය මගේ අම්මා වී සිටියා නම්, පියාණන් වී සිටියා නම්, සොහොයුරා හෝ සොහොයුරිය වී සිටියා නම්, දුවෙක් හෝ පුතෙක් වී සිටියා නම් මට කුමක්ද සිතෙන්නේ?” මෙවැනි සිතිවිලි ඔබගේ සිත මෘදු බවට පත්කොට දානය, පරිත්‍යාගය කෙරේ නැඹුරු කරනු ඇත.
වර්තමාන පරිසරයෙහි විවිධ ආකාරයෙන් පෙනී සිටිමින් ඉල්ලාගෙන පැමිණෙන අය සිටිති. මේ අය අතර මත්වතුරට, මත් ද්‍රව්‍යයන්ට සහ විවිධ දුරාචාරයන්ට පුරුදු වූ අයද සිටිති. මෙවැනි අවස්ථාවල නිර්ලෝභී පරිත්‍යාගී චේතනාව මෙන්ම නුවණ ඇතිවම ක්‍රියා කළ යුතු ය. සුදුසුම අයකුට සහ සුදුසුම ස්ථානයකට දීම මේ නිසා වැදගත් ය.
දානයේ දී ධර්ම දානයද උතුම්ම දානයකි. බුදුදහමට අනුව තමා පන්සිල් සුරකිමින් අන් අයද පන්සිල් සුරකින්නට ආදර්ශයෙන්ම පෙළඹවීම ධර්ම දානය ආරම්භ කිරීමකි. මීළඟට දාන, සීල, භාවනා ප්‍රතිපත්තීන්හි ඇති වටිනාකමද උතුම්බවද ආධ්‍යාත්මික සුවයද අවබෝධ කොට දිය හැකිය. එමෙන්ම “ඒහි පස්සිකෝ” නම් දහම් ආරාධනය අනුව මේ ධර්මය වෙතට අවුත් නුවණින් පරීක්ෂා කොට බලන්නට යැයි ආරාධනා කළ හැකිය. මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයට කිසිවෙකුත් බලයෙන් හෝ වංචාවෙන් හෝ රවටා සමීප කළ නොහැකිය. එමෙන්ම බලයෙන්ද අවබෝධ කළ නොහැකිය. මෙම ධර්මය අවබෝධ කළ හැකි වන්නේ අන්ධ භක්තියෙන් තොරව තමා විසින්ම නුවණින් පරීක්ෂාකොට බැලීමෙන් අනතුරුවමය. එම උතුම් දහම ප්‍රකාශ කිරීමෙන් හෝ ධර්මය වෙතට කැඳවාගෙන යාමෙන් හෝ දහම් පොත පත ලිවීමෙන් හෝ ප්‍රකාශයට පත් කිරීමෙන් හෝ ධර්ම දානය සම්පූර්ණ කළ හැකිය.
අභය දානය යම් මනුෂ්‍යයෙකුට හෝ සතෙකුට ජීවිතය රැක ගන්නට උපකාරීවීමයි. එසේත් නැතිනම් මරණයෙන් ගලවා ගැනීමයි. වර්තමානයේ බොහෝ දෙනා ගවයන්ට අභය දානය දෙති. කිසිදු සත්වයෙකුට හිංසාවක් හෝ පීඩාවක් නොකොට මරණයට පත් නොකොට අභය දානය දිය යුතුවන්නේ ය. මනුෂ්‍යයන් පමණක් නොව සියලුම සත්වයෝ තම ජීවිතවලට පි‍්‍රය කරන්නේ ය. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම නම් “සබ්බප්‍රාණ භූත හිතානුකම්පී” සියලු සත්වයන් කෙරේ හිතානුකම්පී වන්න යනුවෙනි.

උතුම්ම දානය කුමක්ද?

කලාභූෂණ රාජ්‍ය සම්මානලාභී 
කලාශූරි පස්යොදුන් කෝරළයේ 
සහ හේවාගම් කෝරළයේ 
ප්‍රධාන සංඝ නායක පණ්ඩිත
බෝතලේ ඤාණිස්සර නා හිමි

යම්කෙනෙකු වෙත යමක් දීම, පරිත්‍යාග කිරීම, පිරිනැමීම දානය නම්වේ. එසේ දෙන වස්තුව උපභෝග පරිභෝග වශයෙන් කොටස් දෙකකට බෙදේ. තමා සමීපයෙහි තිබෙන දේ ළඟපාත තිබෙන ගෙවල් ඉඩකඩම් ආදිය උපභෝගයන්ය. තමන් පරිභෝජනයට ගන්නා ආහාරපාන, ඇඳුම් පැළදුම් ආදිය පරිභෝග වස්තුව නම් වේ.

දානවිධිද කීපයකි. ආමිස දාන, අභයදාන, පුද්ගලික දාන, සාංඝික දාන, ධර්මදාන යනාදි වශයෙනි. ආමිස දාන නම් ඇඳුම් පැළඳුම් ආහාරපාන ගෙවල් දොරවල් ඉඩකඩම් වතුපිටි කෙත් වතු ආදි දේ පරිත්‍යාග කිරීමය. අභයදානය නම් මරණයට කැපවූ මිනිසකුට හෝ සතෙකුට මරණින් බේරාගෙන ජීවත්වීමට අවස්ථාව සලසා දීමය. සබ්බේසං ජීවිතංපියං සියලු දෙනාම ජීවිතයට පි‍්‍රය කරති. ජීවිතය රැක ගැනීමටත් හැකිතාක් කල් ජීවත් වීමටත් හැකිතරම් උත්සාහ කරති. තවත් සතකුගේ හෝ මිනිසකුගේ ජීවිතය උදුරාගන්නේ නම් එය බරපතළ වරදකි. යමෙකුට ජීවත්වීමට අවස්ථාව සලසා දෙන්නේ නම් මරණින් බේරා ගන්නේ නම් එය මහා පුණ්‍යකර්මයකි. එය අභයදානයයි. පුද්ගලිකව යම් යම් දෙනාගේ ගුණ යහපත්කම් හෝ ශීල, සමාධි, ප්‍රඥා ආදි විශිෂ්ට ගුණ කදම්බයන් සිහිකොට දානයක් දේ නම් එය පුද්ගලික දාන සංඛ්‍යාවට අයත් වේ. එදා බුදුන් ධරමානු කාලයේ සමහර විද්වතුන් විසින් මහා කාශ්‍යප හාමුදුරුවන්ගේ ගුණ සලකා උන්වහන්සේට දන් පිළිගැන්වූහ. සමහර කෙනෙක් මුගලන් මහරහතන් වහන්සේ කෙරෙහි පැහැදී උන්වහන්සේට දන් පිළිගැන්වූහ. තව කෙනෙක් දම්සෙනෙවි සැරියුත් මහ රහතන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් උන්වහන්සේට දන් පිරිනැමූහ. ඒ අනුව ස්වර්ග මානුෂික සම්පත් ලබා ගත්හ. සමහර පින්වතුන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට සාංඝික වශයෙන් දන් පූජාකළහ. ඒ අනුව බොහෝ දෙනෙකු දෙව්මිනිස් නිවන් කියන්නා වූ ත්‍රිවර්ග සම්පත්තියම ලබා ගත්හ. මේ හැම දානයකටම වඩා ධර්මදානය උතුම් බව දේශනාවේ සඳහන් වේ. ධර්මදානය නම් යම් කිසි කෙනෙකුට ධර්මය දේශනාකිරීමය. තමන් දන්නා වු බුද්ධ දේශිත වලට අඩංගු බණ පදයක් හෝ තව කෙනෙකුට කියා දෙන්නේ නම් එය ධර්මදානය නම් වේ. ධර්ම දේශනා කිරීමද දස පුන්‍ය ක්‍රියාවන්ගෙන් එකකි.
කලෙක තව්තිසා දෙව්ලොව දෙවියන් අතර ප්‍රශ්න හතරක් මතු වේ.
1.දානයක් අතර කවර දානයක් උතුම්ද?
2.රසයන් අතර කවර රසයක් උතුම්ද?
3.සිත ඇලීමෙන් කවර සිත ඇලීමක් උතුම්ද?
4.තෘෂ්ණාව ක්ෂය කළ තැනැත්තා කුමක් දිනුවා නම් වේද ?

තව්තිසා වැසි දෙවියෝ දොළොස් අවුරුද්දක් මුළුල්ලෙහි මේ ප්‍රශ්න හතර විසඳීමට කෙනෙක් නැතිව දස දහසක් දෙවියෝ මෙම මගුල් සක්වලට රැස්ව සතර වරම් දෙවියන් සමීපයට රැස්වූහ. ඔබලා කුමකට රැස් වූයෙහි දැයි සතර වරම් දෙවියෝ ප්‍රශ්න කළ කල්හි.අපට මේ ප්‍රශ්න හතරක් මතු වී තිබේ. එය අප කිසිවෙකුටත් විසඳිය නොහැකිව ඔබලා හමුවට ආම්හයි. ඔවුහු ප්‍රකාශ කළහ. වරම් දෙව්වරුන්ටද එම ප්‍රශ්න හතරටය පිළිතුරු දිය නොහැකිව ශක්‍ර දේවේන්ද්‍රයන් අසලට ගොස් ඒ ප්‍රශ්න හතර ශක්‍ර දෙවියන්ට ඉදිරිපත් කළහ. එවිට ශක්‍ර දේවේන්ද්‍රයෝ මේ ප්‍රශ්න හතර නම් තුන්කල් දත් බුදුරජාණන් වහන්සේ හැර වෙන කෙනෙකුට විසඳිය නොහැකිය. එබැවින් මේ ප්‍රශ්න හතර අපි “සර්වඥයන් වහන්සේට ඉදිරිපත් කරමු”යයි දේව ගණයා පිරිවරා බුදුන් හමුවට පැමිණ ප්‍රශ්න විචාළහ. බුදුරජාණෝ මේ ප්‍රශ්න හතරට සම්පිණ්ඩනය වශයෙන් මෙසේ වදාළහ.
සබ්බදානං ධම්මදානං ජිනාති 
සබ්බ රසං ධම්මරසො ජිනාති 
සබ්බං රතිං ධම්ම රතී ජිනාති 
තණ්හක්ඛයෝ සබ්බ දුක්ඛං ජිනාති

සියලු දානයන් අතර ධර්මදානය උතුම්ය. සියලු රසයන් අතර ධර්ම රසය උතුම්ය. සියලු රතින් අතර ධර්ම රතිය උතුම්ය. සියලු දුක් දිනන්නෙ තෘෂ්ණාව ක්ෂය කිරීමෙනි. ශක්‍ර ද්වේන්ද්‍රයෙනි. බඹලොව අවසන්කොට ඇති මේ මුළු සක්වල පහළ වු බුදු පසේ බුදු මහ රහත් උත්තමයන් වෙති. ළපටි කෙසෙල් දළු සමාන මට සිලිටු සිවුරු පුජා කළත් තුන්සිවුරුම පුජා කළත් සතර පදයකින් යුත් ගාථාවකින් ධර්ම දේශනාකිරීමෙන් ලැබිය හැකි කුශල ඵලයෙන් සොළොස්භාගයෙන් එකක්වත් නොලැබේයැයි ප්‍රකාශ කළහ. විශේෂයෙන් සක්වළ පුරා වැඩවසන්නාවූ බුදු පසේ බුදු,මහරතන් වහන්සේලාට උක්සකුරු ගිතෙල් මීපැණි ආදිවූ ඖෂධවර්ග පාත්‍රා පුරවා දන් දුන්නේ වී නමුත් එක සතර පදයකින් යුක්ත ගාථාවකින් ධර්මදේශනා කරන තරම් ආනිසංසයක් නොලැබේ’. ලක්ෂයක් විහාර කරවා පුජා කරණවාටත් වඩා එක සතර පදයකින් යුක්ත ගාථාවකින් ධර්මදේශනා කරනවා නම් කුමක් නිසාද යත් බණ ඇසීමත් බණ දේශනාකිරිමත් මහත්ඵල මහා ආනිසංස ලැබෙන පින්කමක් බව අප දැනගත යුතුය. ඒවා දශ පුණ්‍යක්‍රියා වලට අයත්වන ඒවාය. බණ ඇසු අයම පින්කරති. බණ නෑසු අය පිංනොකරති. පින් කිරීම මෙලොව පරලොව ඇදහීම කර්ම කර්ම ඵල විශ්වාස කිරීම මිථ්‍යාදෘෂ්ටිය දුරුකිරීම සද්ධාවන්ත බව හා තුණුූරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව ඇති වීම ධර්ම ශ්‍රවණයෙන්ම සිදුවේ. බුදු,පසේ බුදුවරු හැර අනෙකුත් රහතන් වහන්සේලා බණ ඇසීමෙන්ම රහත්බව ලබා ගත්තෝ වෙති. උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජි මහරහතන් වහන්සේ දේශනා කළ ‘යේධම්මා හේතුප්පභවා” යන ගාථාවේ මුල්පදය ඇසීමෙන්ම සෝවාන් ඵලයෙහි පිහිටුවීය. ඒ ගාථාවම උපතිස්ස පරිබ්‍රාජකයා කෝලිත පරිබ්‍රාජකයාට දේශනා කිරීමෙන් එම ගාථාවේ දෙපදයම අසා සෝවාන් පලයෙහි පිහිටියේය. මෙය රහත්බව ලබා ගැනීමට හේතු වන පරතෝ ඝොෂප්‍රත්‍ය” නමින් හැඳින්වේ. මෙලොව ඇති රස අතර පුෂ්ප රසය. ඵලරසය, කන්ධරසය ආදියෙහි යම් රසයක් ඇද්ද, ඒ හැම රසයක්ම තෘෂ්ණාව ඇති කොට සසර ගමන දිග් කරයි. නමුත් ධර්මරසය තෘෂ්ණාව ක්ෂය කොට සසර දුක නිවාලයි. රතිය නම් ඇල්මයි. මේ ලෝකයේ ජීවත්වන මිනිස්සු ධනධාන්‍යවලට ඇලුම් කරති. රිදී රත්තරං වලට ඇලුම්කරති. ගීතවලට චිත්‍රපටවලට ඇලුම් කරති.
ඒවා සසර ඇද බැඳ තබා දුක් දෙති. සසර ගමන දිගු කරති. නමුත් ධර්ම රතිය සසර දුක් ගිනි නිවාලයි. තණ්හක්ඛය කියන්නාවු තෘෂ්ණාව නැතිකරන්නාවූ අර්හත් ඵල සංඛ්‍යාත වු මේ නිර්වාණය සියලු සසර දුක්නිවාලයි. එබැවින් සියලු දානයන්ට වඩා මේ ධර්ම දානය උතුම්ය. වෙනත් දෙයක් දන්දෙන විට ඒ දෙය ඉවර වෙයි. ධර්මය නම් එකම ගාථාවක් වුණත් සියලු දෙනාට දුන්නත් ඉවරයක් නොවේ’. සියක් වාරයක් දේශනා කළත් ඉවරයක් නොවේ’. ධර්මය පිළිබඳ යම් අභිරතියක් ඇත්නම් එය ඉතා උතුම් සංකල්පයකි.
ධර්මය හොදින් ඇසිය යුතුය. එය හිතේ ධාරණය කරගත යුතුය. එසේම ධර්මය පිළිපැදිය යුතුය. එවිට අපේ ජීවිතයේ එදිනෙදා ගැටලුවලට විසඳුම් ලබා ගැනීමටද හැකිවනු ඇත. සියලු සත්වයෝ ධර්මදානයෙන් සැනසුම් ලබත්වා .

පින සහ නිවන

රූපී බ්‍රහ්ම ලෝක කරා එළඹෙන මාර්ගය මතු නොව, අරූපී බ්‍රහ්ම ලෝක වෙත යන ධ්‍යාන සමාපත්ති මාර්ගයද බෝසතුන් මෙලොවට පැමිණෙන විට ද පැවැතිණි. කිසිවකුගේ මඟ පෙන්වීමකින් තොරවම බෝසතුන් කුඩා අවදියේ වප් මඟුල් බිමේදී ප්‍රථම ධ්‍යානයට සමවැදී කල් ගෙවූ පුවත බුදුහු මැඳුම් සඟියේ “මහා සච්චක” සූත්‍රයේදි වදාරති.
ලාභ උපදවන මඟ එකෙකි. නිවන් මඟ අනෙකකි. මෙය වූ කලී බුදුරදුන්ගේ ප්‍රකට දේශනාවකි. එය “අඤ්ඤා හි ලාභුපනිසා –අඤ්ඤා නිබ්බාණගාමිනී” යනුවෙන් දක්වා ඇත. මේ අතුරෙන් පළමු මඟ පුණ්‍ය මාර්ගයයි. දෙවැන්න එනම් නිවන් මඟ යනු කුසල මාර්ගයයි. බෝධිසත්වයන් වහන්සේ මෙලොව බිහිවීමට පෙර තුසිත දෙව්ලොවෙහි වැඩ සිටියහ.එහි දෙවියන් සිටින බව ප්‍රකට කරුණකි. අසිත තවුසා බෝසත් උපත දැන ගත්තේ දෙව් ලොවදී දෙවියන්ගෙනි. බෝසත් උපත සිදු වූයේ රජ පවුලකය. ඒ වන විට මිනිස් ලොව රජවරුන්, ත්‍රිවේද පාරප්‍රාප්ත බමුණන්, සිටුවරුන්, ගෘහපතියන් ඇතුළු මිනිසුන් සිටි බව පැහැදිලිය. අභිනිෂ්ක්‍රමණයේදී බෝ සතුන්ට තවුස් පිරිකර පිරිනැමුයේ, “සහම්පති” මහා බ්‍රහ්මයාය. මෙකී කරුණු අනුව බුදුවරයෙකුගේ සම්ප්‍රාප්තියක් නැතත්, බුද්ධ ශාසනයකින් තොරවත්, මිනිසුන්, දෙවියන්, බඹුන් ලෝ තලයන්හි ජීවත්ව සිටි බවත්, මිනිස් ලොවම දිව්‍ය ලෝකවලට ,බ්‍රහ්ම තලවලට යන්නට මඟ සැලසී තිබුණු බවත් පැහැදිලිය. ඒ එසේ නම් බුදුවරයකු ලොව පහළ වනුයේ සත්වයන් එකී ලෝකවලට යවන්නට විය නො හැකිය.
රූපී බ්‍රහ්ම ලෝක කරා එළඹෙන මාර්ගය මතු නොව, අරූපී බ්‍රහ්ම ලෝක වෙත යන ධ්‍යාන සමාපත්ති මාර්ගයද බෝසතුන් මෙලොවට පැමිණෙන විට ද පැවැතිණි. කිසිවකුගේ මඟ පෙන්වීමකින් තොරවම බෝසතුන් කුඩා අවදියේ වප් මඟුල් බිමේදී ප්‍රථම ධ්‍යානයට සමවැදී කල් ගෙවූ පුවත බුදුහු මැඳුම් සඟියේ “මහා සච්චක” සූත්‍රයේදි වදාරති. පසු කලෙක ‘ආලාර කාලාම” ‘උද්දකරාමපුත්‍ර’ ආදීන් වෙතින් අට වැනි සමාපත්තිය දක්වා බෝසතුන් තම සිත දියුණු කර ගත් බව ප්‍රකටය. මේ ධ්‍යානවලින් සෑහීමකට පත් නොවු බෝසත්තුමා ඒ හැම අතැහැර “කිං කුසලගවේසී” (කුසල් කවරේ දැයි විමසමින්, පිටත්ව ගියේ මේ වන විටද බුද්ධ ශාසනය පහළ වී නැති බව අප මතක තබා ගත යුතුය. මා මෙයින් කීමට උත්සාහ කරන්නේ, ඉහත සඳහන් තත්ත්වයන්ට පත්වීමට බුදුවරයකු හෝ බුදුසමයක අවශ්‍යතාවයක් නොවන බව කීමටයි.

නිවන් මඟ පැහැදිලි කිරීම

බුදුවරයකුගේ පහළ වීම සිදුවනුයේ නිවන් මඟ පැහැදිලි කිරීම උදෙසාමය. බුදුන් වහන්සේගේ පින් කිරීමට උපදෙස් දීම වූ කලී අතිරේක කටයුත්තකි. එය වනාහී දස අකුසල් රැස් කරමින් සතර අපාය පුරවන ජනතාවට සැප විඳින මඟ කියා දෙමින් ඔවුන් පිනට යොමු කර වීමෙකි. ආර්යභාවයට පත් නොවූ අය කුමන ලොවක සිටියත් ආයු කෙළවර නැවත අපායන් කරා එන බව, “අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ” පුග්ග ල” සූත්‍රයේ දැක්වේ.
පින් රැස් කිරීම වනාහී ‘පුඤ්ඤාභිසංඛාර’නමින් හැඳින්වේ.මෙයින් සුගතිගාමී විය හැකිය. ඒ සුගතිය නම් කුමක්ද? මිනිස්ලොව දිව්‍ය ලෝක සය හා රූපී බඹතල දහසය යන මේවාය. පින් රැස් කොට යා හැකි මෙයින් අන්‍ය වූ සුගතියක් නැත.”අපුඤ්ඤාභි සංඛාර” යනු පව් රැස් කිරීමයි. මෙය සතර අපායට යන මඟයි. “ආනෙඤ්ජ “යනු කම්පා නොවන, නො සෙල්වෙන යන අර්ථ ඇති පදයකි. “ආනෙඤජාභිසංඛාර” රැස් කිරිමෙන් අරූපී සිව් බඹතල වෙත යා හැකිය. මෙකී සංඛාර’ වර්ග තුනෙන් ‘අපුඤ්ඤාභිසංඛාර’ හැර ඉතිරි දෙකම පින් රැස් කිරීම්ය. පින් රැස්කොට එයින් නිවන් ලද හැකි බවක් මෙයින් කියැවේද? කොහෙත්ම නැත. මේ “සංඛාරයන්” උපදිනුයේ කොතැනින්ද? කුමන හේතුවකින්ද? “අවිජ්ජා පච්චයා සංඛාරා” අවිජ්ජාව නිසා සංඛාර හට ගනී.ඒ එසේ නම් “අවිද්‍යාවෙන් නිවන උපදී “දැයි සිතා බැලීම වටී.නිවන් මග යන බෞද්ධයකුට මේ ටික සිතා ගත නොහැකි නම්, එය මහා ම කරුමයකි. ඊට වඩා ඒ ගැන කියන්නට දෙයක් නැත.
ඉහත සඳහන් කරුණු විශ්වාසයට ගැනීමට තරම් ප්‍රමාණවත් නො වන්නේ යැයි සිතන කෙනෙකුට අංගුත්තර නිකායේ “දුතිය කම්ම” සූත්‍රය විමසා බැලීම වටී. එහි මෙසේ දැක්වේ. “තිදොරින් පව් රැස් කරන්නෝ ඊට ගැළපෙන තැන්හි උපදිත්, එහි ඒකාන්ත දුක් විඳිති. තිදොරින් පින් රැස් කරන්නෝ සුගතියෙහි උපදිත්, එහි ඒකාන්ත සැප විඳිත්. තිදොරින් පව් පින් දෙකම රැස් කරන්නෝ ඊට ගැළපෙන තන්හි උපදිත්. පව් පින්වලින් තොර, ක්‍රියාවන් කර්මය ක්ෂය කිරීම පිණිස පවතී. “කම්මක්ඛයො නිබ්බාණ” කර්මය ක්ෂය කිරීම වනාහි “නිවන”යි.
අවසාන වශයෙන් ඔබේ විශේෂ අවධානය යොමු කරවිය යුතු සූත්‍ර ධර්මයක් “සංයුක්ත නිකායේ” එයි. එය “පරිවීමංසක” සූත්‍රයයි. පහත දැක්වෙන බුදුරදුන්ගේ ශ්‍රී මුඛ පාඨය ඔබට නො තෙරේ නම් පාලි ශබ්දකෝෂවල පිහිට ලබාගන්න. නැතිනම් පාලිය මැනවින් දන්නා අයකුගේ සහාය ලබා ගන්න. සූත්‍ර පාඨය මෙසේය.
“අවිජ්ජාගතොයං භික්ඛවෙ පුරිසපුග්ගලො පුඤ්ඤං චෙ සංඛාරං අභිසංඛරොති, පුඤ්ඤොප ගං හොති විඤ්ඤාණං, අපුඤ්ඤං චෙසංඛාරං අභිසංඛරොති, ආනෙඤ්ජොපගං හොති විඤ්ඤාණං, ආනෙඤජං චෙසංකාරං අභිසංඛරොති , ආනෙඤ්ජොපගං හොති විඤ්ඤාණං”

අවිද්‍යාව දුරු කිරීම

“මහණෙනි” අවිද්‍යාවෙන් යුතු මිනිසා ඉඳින් (යම් විදියකින්) පින් රැස් කෙරේද? ඔහුගේ විඤ්ඤාණය (සිත ඒ අනුව යයි. ඉඳින් ඔහු පව් රැස් කෙරේද? ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි. ඉඳින් ඔහු අරූපාවචර පින් රැස් කෙරේද? ඔහුගේ විඤ්ඤාණය ඒ අනුව යයි”
“යාතොච ඛො භික්ඛවෙ භික්ඛුනො අවිජ්ජා පහීණා හොති, විජ්ජා උප්පන්නා, සො අවිජ්ජා විරාගා, විජ්ජුප්පාදා නෙව පුඤ්ඤාභි සංඛාරං අභිසංඛරොති, න අපුඤ්ඤාභිසංඛාරං අභිසංඛරොති, න ආනෙඤ්ජාභිසංඛාරං අභිසංඛරොති”
“මහණෙනි, යම් අවස්ථාවක පටන් භික්ෂුවකගේ අවිද්‍යාව ප්‍රහීණ වීද? විද්‍යාව ඉපදුනේද? එවක් පටන් ඔහු අවිද්‍යාව දුරු කිරීමෙන් විද්‍යාව උපදවා ගැනීමෙන් පින් රැස් නො කරයි. පව්ද රැස් නොකරයි. අරූපාවචර පින්ද රැස් නොකරයි”
මෙතැන් පටන් මේ සූත්‍රයේ භික්ෂුවක් නිවන දක්වා ගමන් කරන ගමන් මඟ බුදුරජාණන් වහන්සේ ඉතා කදිමට විවරණය කෙරෙති. නිවන් පසක් කිරීමට උත්සාහ දරන පිරිස් අතරේ භික්ෂුවට විශේෂ තැනක් හිමිවේ. ගිහියකු පැවිද්ද ලබන්නේම “සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාණ සච්ඡිකරණත්ථාය පබ්බජ්ජං දෙථ මෙ භන්තෙ” කියාය. කුඩා කල මෙහි අර්ථ නො වැටහුනත්, පසු කලෙක හෝ භික්ෂුවකට මෙය තේරුම් යා යුතුය. පැවිද්දේ අර්ථය පැහැදිලි වන කරුණක් “සංයුත්ත නිකායේ “බ්‍රාහ්මණ සංයුත්ත”යේ එයි. එහි දී එක් දෙවියෙක් භික්ෂුව යනු කවරෙක් දැයි බුදුරදුන්ගෙන් ප්‍රශ්න කරයි. ඊට පිළිතුරු සපයන බුදුහු මෙසේ වදාරති.
“යො’ධ පුඤ්ඤංච පාපංච – බාහිත්වා බ්‍රහ්මචරියවා 
සංඛාය ලොකෙ චරති – ස වෙ භික්ඛූති වුච්චති”
”මේ ශාසනයෙහි යමෙක් පිනද පවද බැහැර කොට, බ්‍රහ්මචාරි ව වෙසෙමින්, නුවණින් විමසා බලා ලොව හැසිරේ නම් ඒකාන්තයෙන් ඔහුට භික්ෂුව යැයි කියනු ලැබේ”.
“පුඤ්ඤ පාප පහීණස්ස –නත්ථි ජාගරතො භයං” පින් පව් දෙකම දුරු කොට, නිදි වරා කෙලෙස් දුරු කරන්නාට සසර බිය නැතැ”යි පැහැදිලි කරනුයේද “නිවන් මඟ“යි ලෝභ, දෝස, මෝහ අකුසල මුල් බව දනිමු. අලෝභ,අදෝස, අමෝහ, අකුසලයන්ට ප්‍රතිපක්ෂය. එනම් ඒවා කුසල පක්ෂයේය. යමකු අකුසල් දුරුවන ලෙසින් , කුසල්, වැඩෙන අයුරින් තම සිතින් – කයින්, වචනයෙන් සිදු කරන සෑම ක්‍රියාවක්ම ඉටු කිරීමට වග බලා ගන්නේ නම් කුසල් මඟ“ යනු එයයි. “නිවන් මඟ” එයින්ම හෙළි වේ.

පින් ලැබෙන බෝධි පූජා තබමු මෙසේ...

හොරණ රාජකීය ජාතික පාසලේ ආචාර්ය ශාස්‌ත්‍රපති 
පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි

උඳුවප් පොහොය සිරිලක වාසී අපට ඉතා වැදගත් වන්නේ බෝධි ආගමනය නිසාය. අනුරාධපුර යුගයේ දෙවනපෑතිස්‌ රජ දවස සිදුවූ මහින්දාගමනයෙන් අනතුරුව බෞද්ධ ප්‍රබෝධයක්‌ ඇතිවිය. අනුලා නම් රාජ මහේෂිකාවගේ සසුන්ගත වීමේ අභිලාෂය නිසා ඊට සුදුසු ලෙස මිහිඳු තෙරුන්ගේ නැගණිය වූ සංඝමිත්තා තෙරණිය වැඩමවා ගැනීමට ඉන්දියාවේ ධර්මාශෝක රජු වෙත පණිවිඩ යෑවුණි. අරිට්‌ඨ කුමරුන් ඇතුළු දූත පිරිස එම කාර්ය ඉටුකළහ. ඒ සමගම ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවද ලක්‌දිවට වැඩම කරවන ලදී. අනතුරුව බෝධීන් වහන්සේ මුල්කොට නව සංස්‌කෘතික ලක්‍ෂණ රාශියක්‌ද මෙරට ඇතිවිය. 

බෝධි වන්දනයට දිගු ඉතිහාසයක්‌ ඇත. බුද්ධ කාලයට පෙර සිටම වෘක්‍ෂ වන්දනාව පැවතිණි. විවිධ අරමුණු බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා වෘක්‍ෂයන්ට වන්දනාමාන සිදුවිය. ඉන්දියාව පමණක්‌ නොව මිසරය, බැබිලෝනියාව (ඉරාකය), මෙසපොතේනියානු ශිෂ්ටාචාරය (ඉරානය), ආසියාතික රටවලද වෘක්‍ෂ වන්දනාව පැවතිණි. බෝධි සත්ත්වයන් වහන්සේ බුද්ධත්වය සඳහා යන ගමනේදීද, සුජාතාව කිරිපිඬු පූජා පවත්වන්නේද වෘක්‍ෂ වන්දනාවට ගිය ගමනකදීය. වෘක්‍ෂයන්ට අධිගෘහිත දෙවි දේවතාවුන් ඇතැයි යන විශ්වාසයෙන් මෙම පූජා පවත්වා ඇත. ඇසතු, නුග, ඇටඹ, නා ආදී වෘක්‍ෂ වන්දනාවට පාත්‍ර වී ඇත. 

බෝධි සත්ත්වයන් වහන්සේ ඇසතු බෝධි මූලයේ දී සියලු කෙළෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වූහ. බුදු බව ලැබ දෙවන සතියේ දී තමන්ගේ බුද්ධත්වය සඳහා සෙවණ ලබාදී උපකාර කළ බෝධීන් වහන්සේට අනිමිස ලෝචන පුද පූජා පැවැත්වූහ. කළගුණ සැලකීම මෙන්ම බෝධි වන්දනාවට මුල් අඩිතාලම වැටෙන්නේද මෙයිනි. පසුව සැවැත්නුවර ආනන්ද බෝධිය රෝපණය කිරීමෙන් බුදුරජාණන් වහන්සේ වෙනුවට බෝධීන් වහන්සේට පූජා පැවැත්වීම ආරම්භ විය. එය බුද්ධ නියමයෙන් සිදු වූවක්‌ බැවින් බුදුරජාණන් වහන්සේට කරන පූජාව බෝධීන් වහන්සේට සිදු කිරීමේ වරදක්‌ නැති බව පෙනේ. 

අප බුද්ධ පූජා තබන චෛත්‍ය තුනකි. ශාරීරික, පාරිභෝගික, උද්දේසික වශයෙනි. මෙයින් පාරිභෝගික චෛත්‍ය ගණයට බෝධීන් වහන්සේ අයත් වේ. එනිසා බෝධි පූජාව බුද්ධ පූජාවක්‌ම විය යුතුය.

සංඝමිත්තා ආගමනයෙන් අනතුරුව ලක්‌දිව ඒ වන විට පැවති වෘක්‍ෂ වන්දනා වෙනුවට බෝධි වන්දනය ස්‌ථාපිත විය. දෙවන පෑතිස්‌ රජු පළමු බෝධි පූජාව තබා ඇත්තේ ජය ශ්‍රී මහා බෝධි ශාඛාව පිළිගැනීමට මහා පෙරහැරක්‌ද සංවිධානය කරමිනි. රාජකීයන් මෙන්ම සෙසු ජනතාවද ශ්‍රද්ධා ගෞරවයෙන් එකල බෝධි පූජා පවත්වා ඇත. මහාවංශයට අනුව "සිනාත පූජාව" නමින් බොහෝ රජවරු බෝධි පූජා පවත්වා ඇත. එමෙන්ම බෞද්ධ ජීවිතය හා බැඳි බෝධි පූජාව මහා පරිමාණ වශයෙන් මෙන්ම කුඩා කණ්‌ඩායම් වශයෙන්ද විහාරස්‌ථාන කේන්ද්‍ර කොටගෙනද බෝධි පූජා පින්කම වර්ධනය විය. මේ සඳහා මල්, ගිලන්පස, චතුමධුර, පහන් ආදී පූජා මෙන්ම ධජ, පතාක පූජාද, ශබ්ද, නෘත්‍ය පූජාද කාලීන වශයෙන් වර්ධනය වන්නට විය. නූතනය වන විට ඉතා ජනප්‍රිය අංගයක්‌ ලෙස බෝධි පූජාව සඳහන් කළ හැකිය. "බෝධි" යන වචනය රජවරුන්ගේ පටන් නම්වලට එකතු වීමෙන්, ග්‍රාම නාම බිහිවීමෙන්ද අපගේ සංස්‌කෘතියට බද්ධ වී ඇති අයුරු ප්‍රකටව පෙනේ.

බෝධි පූජා තැබීමේ සැබෑ අරුත බෝධි වන්දනා ගාථාවෙන්ම පෙනේ. 

යස්‌සමූලේ නිසින්නෝව 

සබ්බාරි විජයං අකා

පත්තෝ සබ්බඤ්ªතං සත්ථා

වන්දේ තං බෝධි පාද පං. 

(මහා බෝධිවංසය) 

"බුදුරජාණන් වහන්සේ යම් මූලයක හිඳ සියලු කෙලෙස්‌ සතුරන් ජයගත්තේද, උතුම් බුද්ධත්වයට පත්වූයේද ඒ බෝධීන් වහන්සේ වඳිමි" මෙයින් අප බෝධි වන්දනාව සිදු කරන්නේ බුද්ධත්වය සඳහා උපකාර වූ බැවිනි.

තවද 

ඉමේ ඒතේ මහා බෝධී 

ලෝක නාථේන පූජිතා

අහං පිතේ නමස්‌සාමී... 

බෝධි රාජා නමත්ථුතේ

"ඒ මහා බෝධිය ලෝක නාථයාණන් වහන්සේ විසින් පූජා කරන ලදී. මමද ඒ බෝධිය වන්දනා කරමි. බෝධිරාජයාණන් වහන්සේට නමස්‌කාර වේවා" යන ගාථාවෙන්ද ප්‍රකට වන්නේ බුදුරදුන් පූජා පැවැත්වූ බැවින් මමද එම බෝධිය වඳින බවයි.

බෝධි වන්දනය වෘක්‍ෂ වන්දනයක්‌ පමණක්‌ම නොවේ. තථාගතයන් වහන්සේ පරිභෝග කළ වස්‌තුවකි. එබැවින් බෝධි වන්දනය කළ යුත්තේ පාරිභෝගික චෛත්‍ය වන්දනාවක්‌ ලෙස සළකා බුද්ධ පූජාව තැබීමක්‌ ලෙසිනි. බෝධීන් වහන්සේ බුදුවරයන් ඇති කල්හිත්, පිරිනිවි කල්හිත් වන්දනීය චෛත්‍යයක්‌ වන බව බුදු හිමියෝ ආනන්ද තෙරුන්ට දේශනා කළහ. ඒ අනුව අටවිසි බුදුරජාණන් වහන්සේලා විසින් පරිභෝග කරන ලද විවිධ බෝධි වෘක්‍ෂ පිළිබඳ සඳහන් වේ. ඊට අමතරව බුදුවරු පහළ වන "බෝධි මණ්‌ඩල" නම් ස්‌ථානයක්‌ දඹදිව මධ්‍ය දේශයේ නේරඤ්ජා ගඟට නුදුරේ පවතින බවත් එය විශේෂ ස්‌ථානයක්‌ බව කාලිංග බෝධි ජාතකයේ විස්‌තර වේ. තවද බෝධි සත්ත්වයන් උපත ලබන දිනයේම උපත ලබන බෝධීන් වහන්සේද විශේෂ වෘක්‍ෂයක්‌ බවට පත්වේ.

ලාංකේය ජනතාව අද වන විට ඉතා සමීපව ඇසුරු කරන බෝධි චෛත්‍ය සේම වන්දනා මාන පූජා පවත්වමින් විවිධ ප්‍රාර්ථනා ඉටුකර ගැනීමට උනන්දු වේ. එමෙන්ම කෙනකුට පැමිණෙන අපල ග්‍රහදොස්‌ දුරුකර ගැනීම සඳහා ද මේ සඳහා යොමු වේ. එහි වරදක්‌ නැත. වරද ඇත්තේ බෝධි පූජාව තබන ක්‍රමවේදයේය. එබැවින් මෙම කරුණු ඔබට ඉතා වැදගත් වනු ඇත.

යම් ප්‍රාර්ථනාවක්‌ ඉටුකර ගැනීම සඳහා බෝධි පූජා තබනවා නම් හෝ පින් සිදු කර ගැනීම සඳහා වන්දනාමාන කරනවා නම් හෝ තබන පූජාව නිසි පරිදි තැබීම වඩාම හොඳය. ඔබ මේ සඳහා නිවසේ සිටම මනාව සූදානම් විය යුතුය. ගිලන්පස සාදා ගැනීමේ දී, මල් නෙලා ගැනීමේ සිටම ඉතා ශ්‍රද්ධාවෙන් කළ යුතුය. පිරිසිදුව කළ යුතුය. සුදුවතින් සැරසී විහාරස්‌ථානයට පිවිස ජීවමාන බුදුරදුන් වන්දනාමාන කරන පූජා පවත්වන දෑ ඇති කර ගැනීම හොඳය. තථාගතයන් වහන්සේට උපස්‌ථාන කරන අදහසින් ගෞරවයෙන් බෝමළුව, විහාර මන්දිරය පිරිසිදු කරන්න. මල් ආසන පිරිසිදු කර පිරිසිදු පැන් බඳුනක්‌ මුලින්ම පූජා කිරීම හොඳයි. අනතුරුව මල්, ගිලන්පස ආදී පූජා තබන ද්‍රව්‍ය පිරිසිදුව ශ්‍රද්ධාවෙන් යුතුව ගෞරව බහුමානයෙන් සකසා ගන්න. විහාර මන්දිරයට පළමුව ගිලන්පස පූජා කරන්න. චෛත්‍ය ස්‌ථානයක්‌ ඇත්නම් ඊටද පූජා පවත්වා බෝධීන් වහන්සේ ළඟ පූජා ද්‍රව්‍ය තබා පහන්, සුවඳ දුම් ආදිය පූජා කරන්න. බෝධීන් වහන්සේ නෑවීම පූජාවට පෙර සිදු කිරීම වඩා හොඳය. ඉතිපිසෝ... ගාථාව කියමින්, සිහි කරමින් මෙම පූජා තැන්පත් කරන්න. තම දකුණු අත බෝධීන් වහන්සේ දෙසට සිටින සේ පැදකුණු කළ යුතුය. වටා ගමන් කළ යුතුය. සියලු පූජා තබා ස්‌වාමීන් වහන්සේ කෙනකු ලවා හෝ තමාම වන්දනා කළ යුත්තේ අනතුරුවය. තෙරුවන් වන්දනාකොට බුද්ධ පූජාව පවත්වා බෝධි වන්දනා ගාථා කියා බෝධීන් වහන්සේට පූජා පවත්වා කරණීය මෙත්ත සූත්‍රය සඡ්Cධායනා කරන්න. තුන් සූත්‍රය කියවීමද ඉතා ගුණදායකයි. අනතුරුව මෛත්‍රී භාවනාව කරන්න. ඉන්පසු දෙවියන්ට පින්දී. මියගිය ඥතීන්ට පින් දෙන්න. තමාගේ දෙමාපියන්, ගුරුවරුන් මෙන්ම පවුලේ සියලු දෙනාම සිහිකර පින් දෙන්න. ඔවුන්ට ආශිර්වාද කරන්න. සැමගේ දියුණුව, සමගිය නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න. 

විශේෂයෙන් ඔබ බෝධි පූජා තබන විට පවුලේ සියලු දෙනාම සහභාගි වීම ඉතාම වැඩදායකයි. දරුවන් සමග එකතුව මෙවැනි දේ කිරීමෙන් ඔවුන්ට ආශිර්වාදයක්‌ මෙන්ම ඉදිරි අනාගත පැවැත්මට ඔබ කරන්නේ මහඟු සේවයකි. "යහපතෙහි පිහිටුවීම" යන මාපිය යුතුකම ඉටු වන්නේ එවිටය. එනිසා දරුවන්ට මේවා මනාව කියාදී දැනුවත් භාවය ඇතිකර ශ්‍රද්ධාවන්තයකු බවට පත්කරවීමද මහඟු පිනකි. 

දැන් ඔබ බෝධි පූජා පවත්වා අවසන් වී නැගිට යැම සුදුසු නොවේ. ඔබේ අවශ්‍යතාව වෙනුවෙන් මල් ආසනවල තැන්පත් කළ සියලු දෑ ඉවත් කරන්න. ගිලන්පස මෙන්ම මල්ද ඉවත් කරන්න. ඒවා ආසනවල තබා යැමෙන් මල් පරවී සුවඳ වෙනුවට දුඟඳ හමනු ඇත. ඒවා ඉවත් කර මල් ඉවත් කරන බෝමලුවෙන් පිටත ස්‌ථානයකට දමන්න. නැවත පෙර තිබූ පරිදි ආසන ආදිය පිරිසිදු කරන්න. ඒ ඒ භාජන, මල් වට්‌ටි නියමිත ස්‌ථානයේ තැබීම කළ යුත්තකි. තමන් රැගෙන ආ හඳුන්කූරු පෙට්‌ටි, තෙල් බෝතල්, මල්, කවර ආදිය ආපසු රැගෙන යැම වඩා හොඳය. ඒවා විහාරස්‌ථානයේ දැමීමෙන් භූමිය අපවිත්‍ර වීමට හේතුවන බැවිනි. විහාරස්‌ථාන භූමිය පවිත්‍රව තබා ගැනීම අප සැමගේම වගකීමකි. එමෙන්ම විශේෂ ශ්‍රමදාන අවස්‌ථාවන්ට සම්බන්ධ වී විහාරස්‌ථාන භූමිය එළි පෙහෙළි කිරීමද පින් වැඩෙන හා අපල දුරු කරවන පිංකමකි.

මේ ආකාරයට ඉතා ශ්‍රද්ධා ගෞරවයෙන් බෝධි පූජා, බුද්ධ පූජා පවත්වා අපල කරදර ආදිය නැති වන්නට හෝ යහපත් පැතුමන් ඉටුවන්නට ඔබ කරන ප්‍රාර්ථනාව ඉතා ඉක්‌මනින් මුදුන්පත් වනවා ඇත. ඕනෑවට එපාවට කරන්නන් වාලේ නොකර අවබෝධයෙන් පින් කිරීමෙන් නිති යහපත උදාවනු ඇත. 

ඔබ බුද්ධ පූජා, බෝධි පූජා පවත්වන විට පින්කම් රැසක්‌ වෙන වෙනම සිදු කරන අතර ඒවාට විශේෂ වූ ආනිශංසද ලද හැකිය. 

බෝමළුව, විහාර මළුව ආදිය ඇමදීම වෙනම පිංකමකි. එයින් නිරෝගී බව, ලස්‌සන, කායික මානසික සුවය ලැබෙනවා පමණක්‌ නොව එවැනි පින්කම් කොට දෙව් මිනිස්‌ භව ලබාගත් අයද නිවන් අවබෝධ කරගත් අය බොහෝ සිටිති. මල්, ගිලන්පස, පහන් ආදී පූජා පැවැත්වීමෙන්ද වෙනම ආනිශංස ලද හැකිය. බුද්ධ වන්දනාව, බෝධි වන්දනය තුළ විශිෂ්ට ආනිශංස ලැබේ. භාවනාවෙන් සිත පවිත්‍ර වන අතර එය නිර්වාණාවබෝධය සඳහා මහත් උපකාරයක්‌ වන කුසලයකි. තවද විහාරස්‌ථානයේ භික්‍ෂුන් වහන්සේලා දැකීම, වන්දනා කිරීම තුළින් මහත් පිනක්‌ සිදුවන බවත්, එය බෞද්ධයකුගේ නොපිරිහීම පිණිස පවතින්නක්‌ බව බුදු පියාණෝ මහානාම ශාක්‍යයන්ට දේශනා කළහ. මේ අනුව දස පුණ්‍ය ක්‍රියා ගණයට අයත්වන දාන, ශීල, භාවනා, පත්තිදාන (පින්දීම), පත්නානුමෝදනා (පින් අනුමෝදන් වීම), වෙය්‍යාවච්ච (වතාවත් කිරීම), අපචායන (පිදිය යුත්තන් පිදීම), දේශනා (ධර්මය කියාදීම), සුති (දහම් ශ්‍රවණය), දිට්‌ඨිජු (යහපත් දැකීම) යන පින්කම් රැසක්‌ සිදු කරගත හැකි බැවින් මනා අවබෝධයෙන් හා පිළිවෙත් ගරුකව පූජා තබන්නට අදිටන් කර ගනිමු.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X