වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

ගුණ ඇත්තන්ට දෙන දානයේ විපාකය ප්‍රමාණය කරන්න එපා

 

දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති,
අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි

අතීතයේ ලක්දිව කම්පුව නමින් ගමක් තිබුණා. හෙළදිව අවසන් මහරහතන් වහන්සේ යැයි ප්‍රසිද්ධ මාලෙය්‍යදේව හෙවත් මලියදේව තෙරුන් වහන්සේ ඒ ගම ඇසුරු කරගෙන දිනපතා පිණ්ඩපාත චාරිකාවේ වැඩම කළා.

උන්වහන්සේ එක් දිනක් උදෑසනින් නැඟිට පාත්‍ර සිවුරු අරගෙන පහත හෙළාගත් ඇස් ඇතිව සිහියෙන් යුක්තව ගෙපිළි වෙළින් පිඬුසිගා වැඩියා. එසේ වඩින තෙරුන් වහන්සේ දුගී පවුල් කිහිපයක් ජීවත්වන පෙදෙසකටයි මෙදින වැඩම කළේ. එහි ජීවත්වුණා ඉතා දිළිඳු වූ, අසරණ වූ මහලු කාන්තාවක්.

ඇය ඉතා අපහසුවෙන් සකසා ගත් කැඳ ස්වල්පයක් ආහාරයට ගැනීමට උදෙන්ම සූදානම් වී සිටියා. ඒ මැහැල්ල ඒ මොහොතෙහි ම ඈතින් වැඩම කරන මලියදේව තෙරුන් වහන්සේ දුටුවා. සමීපයට වැඩම කරන තෙක් පෙරමඟ බලා සිට ශ්‍රද්ධාවෙන් කැඳ කෝප්පය පිළිගැන්වූවා. ඇය බොහෝම සතුටට පත් වුණා. බත් උළුවලින් හා පිටිවලින් මිශ්‍ර වූ ඒ කැඳටික අරගෙන තෙරුන් වහන්සේ නිදහස් ස්ථානයකට වැඩම කළා.

මලියදේව තෙරුන් වහන්සේට පිණ්ඩපාතය නො ලැබුණ බව දැනගත් පුවඟුදිවයින් වැසි මිත්‍ර තෙරුන් වහන්සේ නමක් වූ තිස්ස තෙරුන් විසින් භික්‍ෂූන් වහන්සේ දෙනමක් පිණ්ඩපාතය රැගෙන උන්වහන්සේ වෙත එවා තිබුණා. මලියදේව තෙරුන් වහන්සේ ඒ දෙනම ගෙනා ආහාර පිළිගන්ට අකමැති වුණා.

දුප්පත්, අසරණ, මහලු කාන්තාව පිළිගැන්වූ කැඳටිකම ඇයට අනුකම්පා පිණිස වැළඳුවා. එය වළඳා අවසානයේ දිවසින් බලා වැඩම කර සිටි දෙනම අමතා, ‘පින්වත් ස්ථවිරයෙනි, මා වෙත අද කැඳ පිළිගැන් වූ අසරණ මැහැල්ල සැටකල්පයක් මුළුල්ලේ මෙහි විපාක විඳීනවා”යි ප්‍රකාශ කළා.

තෙරුන්ගේ කීම ඇසූ ඒ පිණ්ඩපාත භෝජනය ගෙනා රහත් තෙරුන් වහන්සේ දෙනමගෙන් එක් නමක් ප්‍රතිඋත්තර දෙමින් “ස්වාමිනි, දුර්භික්‍ෂ කාලයේ දී දුෂ්කර දෙයක් කළ මේ උපාසිකාව සැත්තෑ කල්පයක් සැප විඳීන්නේ යැයි මට පෙනෙනවා” යි පවසා සිටියා. දෙවැනි තෙර නම ඒ බස් අසා, “මහතෙරණුවෝ ආනිශංස ස්වල්පයයි දුටුවේ. ඔබ වහන්සේත් ස්වල්පයයි දුටුවේ. මේ මැහැල්ල අසූකල්පයක් සැප විඳීන බව මට පෙනෙනෙවා’යි කියා සිටියා. ඒ භික්‍ෂු දෙනම නැවත රේවත නම් මහතෙරුන් වෙත ගොස් සැක දුරු කර ගැන්ම සඳහා ඒ කාරණය නැවතත් විමසා බැලුවා. එහි දී උන්වහන්සේ අමතා “ස්වාමිනි, ගැටලුවක් තිබේ, මාලෙය්‍යදේව තෙරුන් වහන්සේට එක් මැහැල්ලක් කැඳ දානයක් පිළිගන්වා තිබෙනවා. උන්වහන්සේ එහි ආනිශංස වශයෙන් සැටකපක් සැප විඳින බව දකිනවා.

මම සැත්තෑකපක් යැයි ප්‍රකාශ කළා. ධම්මගුත්ත තෙරුන් වහන්සේ පවසන්නේ අසූකපක් ඒ මැහැල්ල කැඳ දානයේ විපාක විඳින බවයි. තුන්දෙනා වහන්සේ ම ස්වකීය ශක්ති ප්‍රමාණයෙන් ආනිශංස ප්‍රමාණය කරමින් දකිනවා. ඔබ වහන්සේට කෙතෙක් පෙනේ දැයි කිව මැනවැ”යි විමසා සිටියා. එවිට උන්වහන්සේ දෙනම ඇමතූ රේවත තෙරුන් වහන්සේ

“පින්වත් ස්ථවිරයෙනි,

මලියදේව තෙරුන් වහන්සේත්, තොප දෙදෙනා වහන්සේත්, අල්ප සංඛ්‍යාවක් ම යි දැක තිබෙන්නේ. ඒ මහලු කාන්තාව අනූකපක් සැප විඳීමට භාග්‍ය උදාකර ගෙන තිබෙන බව මට පෙනෙනවා” යි පවසා සිටියා.

මේ භික්‍ෂු දෙනම සාගරයට ඇතුල්ව එහි වැඩ වසන මහත් ඍද්ධි ඇති නාග තෙරුන් වෙත එළඹ මේ කාරණය තවදුරටත් පැහැදිලි කර ගැනීමේ අදහසින් ඉදිරිපත් කළා.

නාග තෙරුන් වහන්සේ ඒ දෙනම කේලාසපබ්බත විහාරයට යවා එහි වැඩ වසන උන්වහන්සේගේ ශිෂ්‍යවරයකු වූ සාමණේර නමකගෙන් විචාරා දැන ගන්නට සැලැස්වූවා.

ධම්මගුත්ත තෙරුන් වහන්සේත්, අනෙක් භික්ෂුවත් එහි ගොස් සාමණේර නමට ඒ සියල්ල කියා සිටියා. හැම දෙනාගේ ම කීම් ඇසූ, පිරිසුදු නුවණැති, දක්‍ෂ වූ සාමණේර නම මොහොතක් කල්පනා කොට බලා

“මේ දානය අප්‍රමේය වූ, කල්ප වශයෙන් ගණන් කළ නො හැකි කාලයක් විපාක දෙන්නක්.

එහෙත් මෙහි වරදක් තිබේ, එය පිළිගනු මැනවි. යම් කිසිවකු විසින් පිරිසුදු සිතින් අධික ගුණ ඇත්තන් කෙරෙහි දෙන ලද දානයාගේ විපාකය ප්‍රමාණ කරන්නට යන්න එපා, එය නො වටිනා වැඩක්, අශෝභන දෙයක්, සිත කිළුටු කරන දෙයක්”යැයි දක්වමින් ධර්මාවවාද කළා.

වැඩිමහලු වූ දෙදෙනා වහන්සේ ම එය මහත් ගෞරවයෙන් පිළිගත්තා.

දන්දීමෙන් පසු එහි විපාක කොතරම් දැයි ගණනය කිරීම හෝ ප්‍රමාණය කිරීම හෝ නො වටිනා බවත්, බෞද්ධ ඉගැන්වීම්වලට නො ගැළපෙන බවත්, නිවනට බාධා පමුණුවන බවත් මේ කතා පුවතින් පෙන්වා දෙනවා.

මෙය බෞද්ධ සැදැහැතියන්ටත්, දන් දෙන සෙසු ජන කොටස්වලටත් මහත් උපදේශයක් ලබාදෙන කතා පුවතක්. දුන් දෙයෙහි වටිනාකමත්, එයින් ලැබෙන විපාකත් ගණනය කිරීම නොවැදගත් දෙයක් බවයි මේ කතා පුවතින් පෙන්වා දෙන්නේ.

ඔබ දන් දී වියදම් වූ මුදල ගණනය කිරීමටවත්, ලැබෙන ආනිශංස ප්‍රමාණය කිරීමටවත්, මැන බැලීමටවත් නො යන්න. එය පින්කමක ඇති නො වැදගත්ම දෙයයි. මෙය ඉතා පැරැණි සිංහල බණ කථාවල සඳහන් වන වටිනා කතා පුවතකි.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

බෝධි පූජාවේ නිවැරැදි පිළිවෙත්

 

හෝමාගම, පිටිපන දකුණ මෙත්සිත් අරණ විවේක සෙනසුනේ විහාරාධිපති,

බෞද්ධ ජනතාව, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නිරතුරු පුදපූජා පවත්වන පූජාර්හ වස්තූන් අතර දළදා වහන්සේටත් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේටත් හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ‘බෝධි’ යන වචනයේ තේරුම නිවැරැදි, පැහැදිලි, සම්පූර්ණ වූ දැනුමයි. අවබෝධයයි. සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ බුද්ධගයාවේ ඇසතු රුක පාමුලදී සියලු කෙලෙසුන් නසා සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අර්ථවත් වන්නේ ලෝක සත්‍යය පිළිබඳ නිවැරැදි, පරිපූර්ණ වූ දැනුම සහ අවබෝධය ලබා ගැනීමයි.

ශාසන ඉතිහාසයට අනුව සැවැත් නුවර ජේතවනාරාම විහාර භූමියේ සිදු කළ ආනන්ද බෝධි රෝපණයත් සමග ආරම්භ වූ බෝධි වන්දනාව, කාලයත් සමඟ වෙනස්කම් රැසකට භාජනය වී ඇත. ඇතැම් වෙනස්කම් සාධනීය වනවා සේ ම ඇතැම් වෙනස්කම් මිථ්‍යාදෘෂ්ටිය වෙත යොමු කරවන බවක් දක්නට ලැබෙයි. එබැවින් බෝධි පූජාවේ සැබෑ අරුත කුමක් විය යුතු ද? බෝධි පූජාවක් ඵලදායක ලෙස සිදුකර ගැනීමට අනුගමනය කළ යුතු දෑ මොනවාද ? යන්න පිළිබඳව සාකච්ඡා කිරීම මේ ලිපියේ අරමුණයි.

බෝසතාණන් වහන්සේ ඇසතු බෝධිය පාමුල ලබා ගත්තේ නිවැරැදි දැක්මයි. ප්‍රඥාවයි. ලෞකික ආශාවන්, බලාපොරොත්තු, බැඳීම් සියල්ල නිරර්ථක බව වටහාගෙන ඒ සියල්ල අත්හළ ස්ථානය බෝධියයි.

එසේනම් ඔබ, බෝධීන් වහන්සේ පාමුල සිට ලෞකික බලාපොරොත්තු ඉටු කරවා ගැනීමට පිහිට පතන්නේ නම්, එය බෝධි පූජාවේ සැබෑ අරුත නොසලකා හැරීමක් බව තේරුම් ගත යුතුය.

මෙයින් අදහස් වන්නේ බෝධීන් වහන්සේට වන්දනාමාන කිරීම, පුදපූජාවන් පැවැත්වීම නිරර්ථකය යන වැරදි අදහස නොවේ. ලෞකික ප්‍රාර්ථනාවන් මුදුන් පමුණුවා ගැනීමට බෝධියට පුදපූජාවන් කරමින් ආයාචනා කිරීම නිෂ්ඵල බවයි.

බෝධි පූජාව යොදාගත යුත්තේ නිරන්තරයෙන් කෙලෙස්වලින් කිලිටි වන සිත්, කුසල් සිතිවිලිවලින් පිරිසුදු කරගැනීමටයි. ඒ පිරිසිදු සිතින් යම් අයෙකුට යහපතක් වේවා, නිරෝගි වේවා, යැයි ආශීර්වාද කරන විට ඔබටත් අන් අයටත් බෝධි පූජාව ඵලදායක වනු ඇත. එසේ නොමැතිව ඊර්ෂ්‍යාව, මානය, අහංකාරකම, ආත්මාර්ථකාමීකම යනාදී අකුසල් සිතිවිලි හිතේ පුරවාගෙන කරන ප්‍රාර්ථනාවන් කිසිසේත් සඵල නොවේ.

උදාහරණ ලෙස විභාගවලින් අනිත් අයට වඩා වැඩි ප්‍රතිඵල ලබා ගැනීමට, නඩුහබවලින් තමන්ට වාසි ලැබීමට බෝධි පූජා සිදු කරන්නේ නම්, අරමුණ අපිරිසුදු නිසා ප්‍රතිඵලයක් නොලැබෙයි. එහෙත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට පිරිසිදු සිතින්

වත්පිළිවෙත් කර ආශීර්වාද කිරීම වරදක් නොවේ. එය පින්කමකි. අන් අයගේ යහපත ප්‍රාර්ථනා කිරීමකි.

බෝධි පූජාවක් සිදු කිරීමේ දී ඒ සඳහා පෙර සූදානම ඉතා වැදගත්ය. විශේෂයෙන් තුණුරුවන්ට, ත්‍රිවිධ චෛත්‍යයන්ට පූජා කරන දේවල් ඉතා පිරිසුදුව, පිළිවෙලට සකස් කර ගත යුතුය.

පූජා ද්‍රව්‍යයන් වෙළඳසැල්වලින් මිලදී ගැනීමට වඩා තමන්ටම සකස් කරගත හැකිනම් එය වඩාත් ආනිශංසදායක ය. පොල්තෙල් තමන්ට සකසා ගැනීම අපහසු නම් මිලදී ගන්නා විට වෙනත් තෙල් වර්ග මිශ්‍ර නොකළ, විශ්වාසවන්ත තැනකින් ලබාගන්න. හොඳ සුවඳවත් හඳුන්කූරු සපයා ගන්න. ගෙවත්තේ නොමැතිනම් තිබෙන තැනකින් වට්ටියකට මල් නෙළාගන්න. ගිලන්පස සැකසීමේදී ඉතාමත් පිරිසුදු සහ උසස්ම තත්ත්වයෙන් පිළියෙල කර ගන්න.

පූජා ද්‍රව්‍යයන් සකසාගෙන බෝධි පූජාවට යන ඔබ සම්පූර්ණ සුදු ඇඳුමකින් සැරසෙන්න. අප බොහෝ විට දැක ඇත්තේ, ඇතැම් අය සිතාගෙන සිටින්නේ ඇඳුමේ කොතැනක හෝ සුදු පාට ඇති නම් එය සුදු ඇඳුමක්ය යනුවෙනි. එහෙත් සම්පූර්ණ සුදු ඇඳුම යනු වෙනත් පාට කිසිවක් නැති, සංවර ඇඳුමටය. දුටුවන් නෙත්සිත් පහදවන, විලාසිතාවලින් තොරවූ ඇඳුමටය.

සිද්ධස්ථානවලට යන විට වටිනා ආභරණයන් පැළඳීම ඔබේ අරමුණට නොගැලපෙනවා පමණක් නොව ඇතැම් විට අනතුරුදායක ද විය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වීම සුදුසු ය.

බෝධි පූජාව සිදු කිරීමට පෙර චෛත්‍යය, බෝධිය, විහාර මන්දිරය තුළ ඇති මල් ආසන පිරිසුදු කිරීම, ඇමදීම ආදී වතාවත් සිදු කිරීම අත්‍යවශ්‍යය.

ඇතැම් අය මල් ආසන මත පරමල් ගොඩ ගැසී ඇතත් ඒවා පැත්තකට තල්ලු කර තමන් ගෙනා මල් පූජා කරති. එබඳු ක්‍රියාවලින් සංකේතවත් වන්නේ සිත අපිරිසුදු බවයි. සිත අපිරිසුදු නම් කරන, කියන දේවල්වලින් පිනක් සිදු නොවේ.

විහාර භූමිය පිරිසුදු කිරීමේ වතාවත් සිදු කිරීමෙන් බෝධි පූජාව, බුද්ධ පූජාව හා සමාන ආනිශංස ලැබෙන බව පැරණි බණකථාවලින් පෙන්වා දී ඇත. පිරිසුදු කිරීමේ වතාවත් නොකර, පවත්වන බෝධි පූජාව අසම්පූර්ණ ය.

වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ඔබ සකස් කරගෙන ආ ගිලන්පස සහ අනෙකුත් පූජා ද්‍රව්‍යයන් ඒ සඳහා වෙන්කර ඇති භාජන පිරිසිදු කර ඒවායෙහි පිළියෙල කරගන්න. පහන්, හඳුන්කූරු ඒවාට නියමිත ස්ථානවල දල්වන්න.

මෙහිදී මතක තබා ගතයුතු කරුණක් නම් හඳුන්කූරු විශාල ප්‍රමාණයක්, පන්දමක් මෙන් දල්වාගෙන හෝ ගිනි කබලකට සුවඳ දුම් ද්‍රව්‍යයන් ඉසිමින් බෝධීන් වහන්සේ වටා යමින් දුම් ඇල්ලීම අවශ්‍ය නැත. එය මිථ්‍යාදෘෂ්ටියකි. වැරදි පිළිවෙතකි. එසේම බෝධීන් වහන්සේ පාමුල පහන්, හඳුන්කූරු දැල්වීමෙන් බෝධියට හානි සිදුවේ. එබැවින් පහන්,හඳුන්කූරු දැල්වීමට වෙන්කර ඇති ස්ථානවල පමණක් එය සිදු කරන්න.

භාජනවල ක්‍රමානුකූල ව සකසා ගත් ගිලන්පස බෝධීන් වහන්සේගේ මල් අසුන් මත තැන්පත් කරන්න. දාගැබට සහ විහාර මන්දිරයට ද ගිලන්පස තැන්පත් කරන්න.

මේ මූලික වතාවත්වලින් පසු තමන්ට පහසු තැනක බෝධීන් වහන්සේ අභියස පහසු ඉරියව්වකින් අසුන් ගන්න. තිසරණ පන්සිල් සමාදන් වී පිළිවෙලින් තෙරුවන් වඳීන ගාථා, බෝධි වන්දනා ගාථා කියා මල්,පහන්, සුවඳදුම්, ගිලන්පස බුදුරජාණන් වහන්සේටත්, බෝධීන් වහන්සේටත් පූජා කරන ගාථාවන් කියවන්න.

ගාථා කීමේදී ශ්‍රද්ධා පෙරදැරිව, සන්සුන්ව කියවිය යුතුය. බොහෝ දෙනා බෝධි පූජා ගාථා,කවි අඩංගු මුද්‍රිත පොත් කීපයක් ගෙනැවිත් හැම පොතක්ම මුල සිට අග දක්වාම හඬ නගා කියවීමට පුරුදු වී සිටිති. එසේ කිරීම අවශ්‍ය නැත. අවශ්‍යම ගාථා සහ බෝධි වන්දනා කවි කිහිපයක් කියවීම ප්‍රමාණවත් ය.

ගාථාවන් කියා පූජාව සිදු කිරීමෙන් පසු සිත එකඟ කරගෙන අවම වශයෙන් මිනිත්තු 10ක්වත් බුද්ධානුස්සති සහ මෙත්තානුස්සති භාවනාවන් වඩන්න. රැස්කර ගත් පින් සිහිපත් කරමින් යහපත් ප්‍රාර්ථනාවන් සමඟ ආශීර්වාද කළ යුතු අයට ආශීර්වාද කිරීමට අවශ්‍ය චිත්ත ශක්තිය ඒ තුළින් ඔබට ලැබෙනු ඇත. බෝධි පූජාව අවසානයේ භාවනාවක් ලෙස සලකා, සිත සන්සුන් කරගෙන මෙසේ ප්‍රාර්ථනා කරන්න.

සිඳෙන බිඳෙන ලොව ඇති තතු වටහාගෙන ලැබුව නුවණ
ලොව්තුරු බුදුසමිඳුන් වැඩ සිටි හැටි අප සිතෙහි මවන
පින් සිතුවිලි ඇති කර කර දුක් දුරු කර සුවය දෙවන
මගෙ ගත සිත සැනසේවා ලැබගෙන බෝරජුගෙ සෙවණ

ඉරිසියාව වෛරය මානය ඉවතට දමන්නෙමී
මගේ සැපත වගේ අනුන්ගේ සැපතත් සිතන්නෙමී
සතුරාටත් මිතුරාටත් එක සේ මෙත් වඩන්නෙමී
ගතින් කොහේ ගියත් සිතින් බෝ සෙවණෙ ම සිටින්නෙමී

බෝ සෙවණෙදි සන්සුන්කම හැම තැනදිම රකින්නෙමී
බෝසෙවණෙදි පින් සිතුවිලි හැම මොහොතෙම සිතන්නෙමී
බෝසෙවණෙදි ලැබුව නුවණ නිරතුරුවම වඩන්නෙමී
බෝසෙවණෙදි ලැබුව සුවය මුලු දිවියෙම ලබන්නෙමී


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පින මතුවෙන හැටි හරි පුදුමයි


 මහමෙව්නා භාවනා අසපු සංචිතයේ
නිර්මාතෘ සහ අනුශාසක
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

පින්වත් දරුවනේ, අපට මොන විදිහේ පිනක් තියෙනවාද කියලා කාටවත් කියන්න බෑ. බැලූ බැල්මට කෙනෙකුගේ පින සොයාගන්න බැහැ. නමුත් සත්පුරුෂයන්ගේ උදව්ව නිසා සමහරුන්ගේ පින මතුවෙනවා.

සත්පුරුෂ තාත්තා කෙනෙක් නිසා නොමග ගිය දරුවෙක් මාර්ගඵල ලැබූ අයුරු කියැවෙන අපූරු කථාවක් දැන් ඔබ දැනගන්නේ. අනේපිඬු සිටාණන් ගැන අපි හැමෝම දන්නවා. එතුමාගේ ශ්‍රද්ධාව ඉතා බලවත්. එම මාළිගයේ හිටපු දෙව්දුවක් පවා එතුමා නොමඟ යවන්නට ගොස් පැරදී ගියා. සිටුතුමාගෙන් සමාව ගන්න සිදුවුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධා ගෞරවයකින් යුතුවයි එතුමා හැම දෙයක්ම කළේ.

ඒ අනේපිඬු සිටුතුමාට පුතෙක් හිටියා. ඔහුගේ නම කාල. මේ දරුවාට හොඳට සල්ලි තිබුණු නිසා විනෝදෙන් කල් ගෙව්වා. ඊට ගැලපෙන යාළුවොත් හිටියා. බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට අනේපිඬු සිටුතුමා ගියේ මහත් ශ්‍රද්ධාවකින්. පුතාට අඬගැහුවට එන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ නිවසට වැඩිය වෙලාවටත් මඟහරිනවා. බණ අහන්න යමු කිව්වත් මඟහරිනවා. සංඝෝපස්ථාන කරන්න යමු කිව්වත් මඟහරිනවා.

“අනේ පුතේ.... ඔහොම කරන්න එපා... ඒක හරි නෑ... මා වැනි සැදැහැවත් පියෙක් සිටිද්දී පුතා සිටින්න ඕනත් සැදැහැබරව නේද?”

මෙවැනි උපදෙස් කොයිතරම් දුන්නත් මේ ළමයා ඇහුම්කන් දෙන්නේ නෑ. අනේපිඬු සිටුතුමාට තම පුතා පිළිබඳව මහත් අනුකම්පාවක් හටගත්තා.

‘අනේ මේ කොලුවා යාළුවන්ට අහුවෙලා ජීවිතයේ වටිනාකම නැති කර ගන්නවා. පින් රැස් කිරීම ගැන කිසි තැකීමක් නෑ. මෙහෙම ගියොත් නිරයේ තමයි උපදින්න වෙන්නේ. මොනතරම් අවාසනාවක්ද? මගේ දෑස් ඉදිරියේම මගේ දරුවෙක් නිරයේ උපන්නොත් මොනතරම් අවාසනාවක්ද?....

ම්... ම්.... දැන් කරන්න තියෙන්නේ මේකයි. ධනය දුන්නොත් වෙනස් නොකළ හැකි සත්වයෙක් නෑ නෙව. ඒ නිසා මාත් මේ ළමයාට සල්ලි ටිකක්වත් දීලා බලන්න ඕනෑ.’ මෙහෙම හිතපු අනේපිඬු සිටුතුමා තම පුතා කැඳෙව්වා.

“පුතේ.... මෙහෙ එන්න. අද උපෝසථ දවසයි. අද පුතා අනිවාර්යයෙන් ම භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්න යන්න ඕන. බණ අහන්නත් ඕන. මගේ වචනයට ඇහුම්කන් දුන්නොත් මං කහවණු සීයක් පුතාට දෙනවා.”

“ෂා...! තාත්තේ ඇත්තටම මට කහවණු සීයක් දෙනවද?”

“ඔව් පුතේ... හැබැයි භාග්‍යවතුන් වහන්සේ දැකලා, බණ අහලා ආවොත් විතරයි.”

ඉතින් මේ කාල සිටු පුත්‍රයා කහවණු සීයක් ලබා ගැනීමට තුන් වතාවක්ම තම පියා ගිවිස ගත්තා. දෙව්රම් වෙහෙරට පිටත් වුණා. හැබැයි බණ අහන්න හිටියේ නෑ. වටේ ඇවිද ඇවිද හිටියා. කාලය ගත වුණා. යළි සිටු මාළිගයට ගියා. අනේපිඬු සිටුතුමා නිවැසියන් ඇමතුවා.

“දරුවනි, අද අපගේ පුත්‍රයා උපෝසථ සිල් අරන් නෙව. ඉක්මනින් කැඳ බත් ආදිය ලෑස්ති කරන්න.”

“බෑ.... එහෙම බෑ... මට ඉස්සෙල්ලාම කහවණු සීය ඕන. බත් කන්නෙ පස්සේ.”

අනේපිඬු සිටුතුමා දරුවා පෙළීමට ඇති අකමැත්ත නිසා කහවණු දුන්නා. සල්ලි ගත්තට පස්සෙයි ඔහු කෑම කෑවේ.

ඊළඟ දවසේ සිටුතුමා මෙහෙම කිව්වා.

“පුතේ... මං තීරණය කළා අද පුතාට කහවණු දාහක් දෙන්න ඕන කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ ඉදිරියට ගිහින් වාඩි වෙලා ඉන්න ඕන. එක බණ පදයක් ඉගෙන ගෙන එන්න ඕන.”

මෙය ඇසූ පමණින් ඔහු සතුටු වුණා. දෙව්රම වෙහෙරට ගියා. ශාස්තෘන් වහන්සේ ඉදිරියේ වාඩිවුණා. අදහස තිබුණේ එක දහම් පදයක් ඉගෙන ගෙන ඉක්මනින් පැනලා යන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ ඔහුගේ ධර්මය මතක තබා ගැනීමේ හැකියාව දුර්වල කොට අවබෝධ කිරීමට පමණක් සැලැස්සුවා. ඒ නිසා මේ දරුවා මතක තබාගැනීමට දුර්වල වූ නිසා මතක තබාගැනීමේ අදහසින්ම වැඩි වැඩියෙන් අවධානය යොමු කළා. වැඩි වැඩියෙන් සවන් යොමු කළා. බලවත් ව යොමු කළා. තමන්ගේ පින මතු වුණා. ඒ වාඩි වී සිටි ආසනයේ ම සෝවාන් ඵලයට පත්වුණා. ඔහු ඉතා සතුටින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඉතා සතුටින් පිටත් වුණා. එදා සිටු මාළිගයට ගිය ඔහු මුදල් මතක් කළේ නෑ.

පසුවදා භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ සැවැත් නුවරට පිඬු සිඟා වැඩියා. සිටුතුමාට මෙහෙම හිතුණා. ‘අද මාගේ පුතාගේ වෙනසක් දකින්න ලැබෙනවා. බොහොම පැහැදීමෙන් ඉන්නවා වගෙයි.’

කාල සිටු පුත්‍රයාත් මෙහෙම හිතුවා. ‘අහෝ! භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ අපගේ පියාණන් මට සල්ලි දුන්නොත් වස ලජ්ජාව... එතකොට මං මේ සිල් රකින්න ගියේ සල්ලි වලට ආසාවෙන් කියලා හිතනවා නෙව. ඒ නිසා පියාණන් සල්ලි නොදෙන එකයි හොඳ..’

අනේපිඬු සිටුතුමා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට කැඳ පූජා කළා. පුතාටත් කැඳ දුන්නා. ඔහු නිශ්ශබ්දව කැඳ බී බත් අනුභව කළා. දානය අවසානයේ දී මහ සිටුතුමා කහවණු දහසක පොදියක් රැගෙන ඇවිත් මෙහෙම කිව්වා.

“ඔන්න පුතේ ඔයාගේ කහවණු දහස. ඔයා උපෝසථ සිල් අරගෙන පැමිණීමේ පොරොන්දුවටනේ මං මේ සල්ලි ගෙවන්නේ.... ආ..... මෙන්න... ඔයාගේ සල්ලි...”

බුදුරජාණන් වහන්සේ ඒ දෙස බලා සිටියා. දරුවා මහත් ලජ්ජාවෙන් හැකිළී ගියා.

“අනේ පියාණෙනි, මට කහවණු වලින් වැඩක් නෑ.”

“ඒකට මක්වෙනවද පුතේ.... ගන්න....”

ඒත් ගන්නෙ නෑ. එතකොට අනේපිඬු සිටුතුමා මෙහෙම කියනවා.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, අද මේ දරුවා හරි අමුතුයි. හරී පැහැදීමකින් ඉන්නවා. ඇවතුම් පැවතුම් හරි ප්‍රසන්නයි.”

“ඇයි සිටුතුමනි, කුමක් වුණාද?”

“ස්වාමීනී, මං කලින් දවසේ කහවණු සීයක් දෙන්නම් කියලයි විහාරයට යැව්වේ. එදා ගිහින් ඇවිදින් සල්ලි ගන්න තුරු බත් කෑවෙත් නෑ. අද කහවණු දහසක් බලෙන් දෙන්න හදද්දිත් කැමති නෑ.”

“පින්වත් සිටුතුමනි. ඒක හරි. අද ඔබගේ පුත්‍රයා චක්‍රවර්තී රාජ සම්පත්තියටත් වඩා උතුම් වූ, දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක සම්පත්තියටත් වඩා උතුම් වූ සෝවාන් ඵලයට පත්වෙලා නෙව ඉන්නේ.”

මෙසේ වදාළ බුදුරජාණන් වහන්සේ ඉතා මිහිරි ස්වරයෙන් මෙම මධුර වූ ගාථා රත්නය වදාළා.

පථව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේන වා
සබ්බලෝකාධිපච්චේන
සෝතාපත්තිඵලං වරං

එක පියවරකින් දෙව් ලොව ගියත් උතුම් නොවේ. සියලු ලොවට රජෙක් වුණත් එයත් උතුම් නැත්තේ ඒ හැමටම වඩා උතුම් සෝවාන් ඵලයයි. නිවන් මගට බැසගන්නා දහමයි මොහු දැක්කේ පින්වත් දරුවනේ, දැක්කා නේද මව්පියන් ඉතා ඤාණවන්ත අයුරින් දරුවන්ට ධර්ම දායාදය ලබා දෙන අයුරු. මෙකල පවා ශ්‍රද්ධා සම්පන්න මව්පියන් තම දරුවන් කුඩා අවදියේ පටන් ධර්මයෙහි හික්මවනවා. එයට අකමැති වුණොත් ආදරණීය මව් පියවරුන්ගේ හිත් රිදෙනවා.


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

හදිසි අනතුරුවලින් මිදීමට දහම පිහිට කරගනිමු


පයාගල නන්ද හිමි

ගැඹුරු බණ ඇසීමට වඩා සරල බණ කතා ඇසීමට බොහෝ දෙනා කැමැති ය. සරල බණ කතාව වුව ද විචාර පූර්වක ව සිතීමෙන්, විමසීමෙන් ගැඹුරු දහමක් දැන ගැනීමට හැකියාවක් ලැබේ. විචාරයෙන්, විමසීමෙන් ප්‍රයෝජන ලැබිය හැකි කතා පුවතකි, මෝර පිරිතේ නිදාන කතාව.

හිමාලය පර්වතය අසල හිරණ්‍යක නම් පව්වේ විසු එක්තරා සුවිශේෂී මොණරෙක් විය. ගොදුරු සොයා යෑමට පෙර හිරු දෙවියන් නමදින මොනරා අනතුරුව සියලු සත් බුදුවරයන්ට වඳියි.

මෙසේ සොබා දහමට හිත මනාප ව උතුම් බුදුවරයන් වහන්සේලා ගැන සිහිපත් කොට තැන්පත් සිතින් පිටත්ව යන හෙයින් කිසිදු දඩයක්කාරයකුට හසු නො වී ආරක්ෂිතව ගොදුරු සොයා බැහැරට ගොස් යළි නවාතැනට පැමිණීමට මොනරාට බාධාවක් නො වී ය.

මෙසේ අනතුරට ලක් නොවී වෙසෙන මොනරා ගැන ඇසූ රටේ රජුගෙ අග බිසවට මොනරා අල්ලාගෙන අවුත් දැක ගැනීමට රිසි උපන. රාජකීය හේවායෝ මේ සුවිශේෂ මොනරා අල්ලා ගැනීමට කොතෙක් වෙහෙසුණත් ඒ හැම වෑයමක් ම සඵල නො වීය.

උපන් ආශාව නො සන්සිඳුණේ ම රජ බිසව ශෝකයෙන් මළා ය. මෙයින් කෝපයට පත් රජු මොනරාගෙන් පළි ගැනීමට සිතා අසවල් පර්වතයේ වෙසෙන සුවිශේෂී වූ මොනරා මරා දැමීම පහසු නො වන බවත්, යමෙකුට එසේ කළ හැකි නම් ඔහු අජරාමර වන බවත් තල් පතක ලියා තැබී ය. ඒ රජුගෙන් පසුව රජ වූ කිහිප දෙනකුම රජවරු මොනරා මරා දැමීමට උපා යෙදූ මුත් ඒ හැම අසාර්ථක විය. එක් රජෙක් මේ මොනරා ඝාතනයට විශේෂ උපායක් යෙදී ය.

එක්තරා දක්ෂ දඩයක්කාරයකු කැඳවා “නුඹ මොනරාගෙ ගැහැනු සතකු, සෙබඩක සොයාගෙන වුත් හිරණ්‍යයක පව්වේ වෙසෙන මොනරා ගොදුරු සොයා යෑමට පෙර හිරු දෙවිඳුටත්, සත් බුදුන්ටත් වඳින විට මොනරාට ඇහෙන ලෙස සෙබඩව කෑ ගස්වන්නට සලස්වන්න. එවිට සෙබඩගේ කෑ ගැසීමෙන් සිත කලබලයට පත් කරගනු ලබන මොනරා ක්‍රමයෙන් වන්දනා කිරීම නවතා අවුල් සිතින් ගොදුරු සොයා වනයට යනු ඇත. ඔබට ලෙහෙසියෙන් ම මොනරා ග්‍රහණයට ගත හැකි වෙතැයි” උපදෙස් දී දඩයක්කරුවකු පිටත් කර හැරියේ ය.

රජු කී ලෙසින් ම දඩයක්කරු ද සෙබඩ ලවා කෑ ගැස් වූ නමුදු මොනරා වන්දනා සිදුකොට වනයට නික්මිණ. නිරතුරුවම ගැහැනු සතාගෙ කට හඬ ඇසෙන විට මොනරාට එය නො අසා සිටීමට නො හැකි විය. දිනපතාම උදෑසන ඇහෙන ස්ත්‍රී කටහඬට රාගික ව බැඳුණු මොනරාට බුද්ධ වන්දනාව, හිරු වන්දනාව නිසි පරිදි කළ නොහැකි වූයේ කෙමෙන් වන්දනාව නැවැත්වීය. දැන් හේ මහත් ආසාවෙන් සෙබඩගෙ කටහඬ අසයි. රාගයෙන් බැඳුණු අවුල් සිතින් ගොදුරු සොයා වනගත වෙයි.

රාග සිත කිලිටිය. අවුල් ය. විපත් ඇති කරවන සුළුය. එහෙයින් කිලිටි සිතින් වනගත වූ මොනරා පහසුවෙන් ම දඩයම්කරුගේ ග්‍රහණයට හසු විය.

මේ කතාවෙන් ගත හැකි පාඩම ඉගෙන ගන්න. හිත කිලිටි වූ විට බාහිර බලවේගවලට, අඳුරු සෙවනැලිවලට ළංවීමට පුළුවන. යම් විටෙක හිත පිරිසුදු වේ ද, එවිට මාර්ග අනතුරුවලින් මිදී ගමන නිම කළ හැක. පටන් ගනු ලබන ව්‍යාපාර සාර්ථක වනු ඇත. මුල්ගල් තබා අරඹන ඉදිකිරීම් සිතූ ලෙසින් නිමවනු ඇත.

මේ කතාවෙන් කී උපදේශනය දැන හෝ නො දැන පැරැන්නෝ මෙවැනි සත් පිළිවෙත් අනුගමනයෙන් උවදුරුවලින් මිදුණාහ. ජීවිත සාර්ථක කර ගත්හ. ගමනක් පිටත්වීමට පෙර සුබ දසුනක් හමුවන තුරු මදක් රැඳෙන සිරිත එදා පැවතිණ. රියැදුරු එක්වරම රිය පණ නො ගන්වා හඳුන්කූරක් දල්වා දෑත් එකතු කොට සුක්කානමට වැඳ මොහොතක නිහැඬියාවෙන් අනතුරුව රිය පණ ගන්වා ගමන පිටත් විය.

මුල් ගලක් තබයි නම් මුල් ගල අතේ තබාගෙන නියම කර ගත් වෙලාව උදාවනතුරු නිහඬව සිටීමේ හැකියාව තිබිණ. කුමන දෙයක් කිරීමට ඇරඹුවත් මොහොතක නිහඬව සිටීමේ පුරුද්ද පැරැන්නන් තුළ තිබිණ. සංකීර්ණ සමාජ රටාව තුළ කාර්ය බහුල බැවින් සිහි නුවණින් තොරව කටයුතු , ගමන් බිමන් ඇරඹීමේ අමිහිරි ප්‍රතිඵල අපි දිනපතාම අසමු. පිරිසුදු සිත දවස පුරාම රඳවා ගත නො හැකි නම්, ආරම්භයේදීවත් පිරිසුදු සිතින් ශක්තිමත් විය යුතුයි. මේ අවස්ථාවටම ගැළපෙන කතාවක් මහා භාරතයෙ එයි.

නල දමයන්ති ප්‍රේම කතාවේ දී දමයන්තිය සරණ පතා වූ ස්වයංවර විවාහයේ දී සුර අසුර මිනිසුන් මැඳ දමයන්තිය නල කුමරු තෝරා ගත්තා ය. ස්වයංවරයට පමා වී පැමිණි ද්වාපර අසුරයා සුර අසුරයන් අමතක කොට නල කුමරුන් තෝරා ගැනීම ගැන වෛරයෙන් නල දමයන්ති දෙදෙනාගෙන් පළිගැනීමට වසර දොළහක් ම පසු පසින් සිටියේ ය. වරදක් ද්වාපරට නො පෙනිණ.

දිනක් නල කුමරු වැඩ අධික වේලාවක කැසිකිළියට ගොස් පිරිසුදු නොවී දෙවොලට පිවිසියේ ය. ඒ වරද අවුල් සිතින් සිදු වූ විටම ද්වාපර ආරූඪවී නල කුමරුන් විරූප ගන්වා දමයන්තියගෙන් නල කුමරු වෙන් කළේ ය.

මෝර පිරිතේ මොනරා ද විපතට පත් වූයේ වන්දනාව නවතා රාගයෙන් සිත කිලිටි වූ විටයි. නල කුමරුට ද්වාපර ආරූඪ වී විපත් පැමිණෙව්වේ ද, අවුල් සිතින් ද, අපිරිසුදු කයින්ද, දෙවොලට ඇතුළු වූ විට ය. එහෙයින් බුදු දහමින් ලැබිය හැකි පිළිසරණ තේරුම් ගන්න. සිහි නුවණින් තොරව, අවුල් මනසින්, කිලිටි සිතින් අරඹන ගමන බිමන මෙන්ම අනෙකුත් කටයුතු ද අතර මඟ නැවතී ජීවිතයේ අඳුරු සෙවණැලි වැටීම නො වැළැක්විය හැකි බව සිතන්න.

යන එන ගමන් බිමන් , කරන කියන කටයුතු අරඹන්න පෙර මොහොතක් නිහඬවන්න අපිරිසුදු සිතිවිලි බැහැර කරන්න. සුබවාදීවත් අසුබවාදීවත් නො සිතා සැබෑ ලෙසින් අරඹන දෙය ගැන සිතන්න. ඔබ අරඹන හැම දෙයින්ම ශුභඵල ලැබෙනු ඇත. සැබෑ ලෙසින් සිතීම නම් විදර්ශනාවයි. විදර්ශනාව බුදු දහමේ ඉගැන්වෙන මූලිකම පාඩම බව අමතක කරන්න එපා.

උදේ – සවස වශයෙන් සඡ්ජායනා කිරීමට පිරිත් ඛණ්‌ඩ දෙකක්‌ ඇති මෝර පිරිත තේරුම අවබෝධ කොට ගෙන දිනපතා භාවිතයෙන් අපටද බොහෝ ගුණ ලැබිය හැකි බව නැකත පාඨක ඔබවෙත දන්වමු.
මෙහි 1 ගාථාව උදේට ද     2 ගාථාව සවසට ද කියන්න.
උදේතයං චක්‌ඛුමා ඒක රාජා
හරිස්‌ස වණ්‌ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌ස වණ්‌ණං පඨවිප්පභා සං
තයඡ්ජගුත්තා විහරේමු දිවසං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බධම්මේ
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ චරති ඒ සනා
අපේ තයං චඛු මා ඒකරාජ
හරිස්‌සවණ්‌ණෝ පඨවිප්ප භාසෝ
තං තං නමස්‌සාමි හරිස්‌සවණ්‌ණං පඨවිප්පභාසං
තයඡ්ජගුත්තා විහරේමු රත්තිං
යේ බ්‍රහ්මණා වේදිගු සබ්බ ධම්මේ
තේ මේ නමෝ තේච මංපාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා
මෝරෝ වාසමකප්පයිති

මෙහි තේරුම
ලොව අඳුර දුරුකොට ලෝ වැස්‌සන්ට ඇස්‌ පාදාදෙන හෙයින් ඇස්‌ ඇති ලොවට එළිය දෙන්නාවුන් අතරින් රජෙක්‌ වූ රන්වන් සිරුරක්‌ ඇති මහ පොළොව බබළවන්නා වූ මේ සූර්යයා නැඟෙයි. රන්වන් ඒ හිරුට වඳිමි. ඔබගෙන් ආරක්‍ෂාව ලැබූ අපි මේ දවස සතර ඉරියව්වෙන්ම යුක්‌තව සැපසේ වෙසෙමු.
ස්‌වාසනා සකල ක්‌ලේෂයන් දුරු කළ යම් බුදු කෙනෙක්‌ සියලු දත යුතු ධර්මයන් දැන බුද්ධත්වය අවබෝධ කළාහුද උන්වහන්සේලාට මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලා ද මා ආරක්‌ෂා කරන සේක්‌වා. අතීත බුදුවරයාණන් වහන්සේලාටද මාගේ නමස්‌කාරය වේවා. උන්වහන්සේලාද මා ආරක්‌ෂා කරන සේක්‌වා.
උන්වහන්සේලාගේ නව ලොව්තුරු බෝධි ගුණයට ද මාගේ නමස්‌කාරය වේවා.
ඒ මයුර තෙම පිරිත කියා ගොදුර සෙවීමෙහි හැසිරෙයි.
දෙවැනි මෝර පිරිතෙහිද පෙරසේම මේ සූර්ය තෙම අප අතරින් ඉවත් වෙයි. ඔබගෙන් ආරක්‌ෂාව ලත් අපි (මුළු රැයේම) සුවසේ වෙසෙමු. අනෙක්‌වා මුල් ගාථාව සේමය.

පිරිතේ ශාන්තිය
Õ මෙය ආරක්‍ෂාව සඳහා භාවිත කළ හැකි පිරිතකි. මෙය නිසි පරිදි උදේ සවස කීමෙන් තමන් අල්ලා ගැනීමට, තමන්ට අනතුරු කිරීමට මාන බලන සොර සතුරන්ට අසු නොවී ආරක්‍ෂා වීමට පුළුවන. විශේෂයෙන් රැකී රක්‍ෂා වෙලහෙළ¹ම් පාලන කටයුතු සඳහා දුර බැහැර යන හා සතුරු කරදර බහුල අයට මෙය නිතර භාවිත කිරීමෙන් ආරක්‍ෂාව සලසා ගත හැකිය.
Õ උදේ අවදි වූ විගස නිදි යහනේ සිට පළමු ගාථාව තෙවරක්‌ කියවන්න. එසේම රෑ නින්දට යන විට දෙවැනි ගාථාව තෙවරක්‌ කියන්න. එසේ නොහැකි නම් උදේ සවස ආගම සිහි කරන විට වුවද කීමට හැකිය.
Õ පාබල, නාවික, ගුවන්, පොලිස්‌ ආදී ආරක්‌ෂක අංශයන්හි නිරත අය මෙය උදේ සවස භාවිත කළහොත් සතුරු උවදුරුවලින් ආරක්‌ෂාව සැලසෙයි. දුරාචාරවලින් වැළකී පන්සිල් රකිමින් මෙය භාවිත කළහොත් නිසි ප්‍රතිඵල අත්වනු ඇත.
Õ රාහුගේ අපල සඳහා ද මෙම ගාථා දෙක උදේ සවස කීම හොඳයි.
Õ මෙහි පළමු ගාථාව “උදේතයං…” යන්ත්‍රයක්‌ මෙන් ලියා ඉනේ බැඳීම රක්‌තවාතයට ගුණ දෙන්නකි. (108 වරක්‌ මතුරා ගන්න) මෙහි “අපේතයං” යන දෙවැනි ගාථාවෙන් 108 වරක්‌ තෙල් මතුරා ගෑමෙන් ඇවිලිල්ල සුව වේ.
ජ්‍යෙතිෂවේදී – රංජන් සිසිර කුමාර
සටහන – ධම්මික හේවාවසම්


¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

ප්‍රමාදයේ බිය දකිමු අප්‍රමාදය අමා වදනකි

හෝමාගම පුරාණ විහාරධිපති
සහකාර අධ්‍යපන අධ්‍යක්ෂ(පිරිවෙන්)
මාදෝවිට වජිරබුද්ධි හිමි

අප්‍රමාදය නිවනට, කෙලෙස් නැසීමට මාර්ගය වේ. ප්‍රමාදය මරණයට, අකුසලයට හේතු වේ. අප්‍රමාදී වූවෝ නොමියෙන බවත්, ප්‍රමාද වූවෝ ජීවත් වුව ද මළවුන් මෙන් කටයුතු කරන බවත් බුදු දහමේ පිළිගැනීම වේ.
ප්‍රමාදය පරිහානියටත්, අප්‍රමාදය දියුණුවටත් හේතු වේ. ප්‍රමාදය අකුසලයකි. පාපයකි. අප්‍රමාදය කුසලයකි. පිනකි. අප්‍රමාදය අමා වදනකි. ප්‍රමාදය මාර ශාපයකි.
බෞද්ධයාගේ හස්තසාර දහම් අමාව වන ධම්මපදයේ පමණක් නොව ති‍්‍රපිටක සාහිත්‍යයේ බොහෝ සූත්‍රවල අප්‍රමාදයේ අනගි ශක්තිය වර්ණනා කර ඇත. එපමණක් නොව ප්‍රමාදයේ ආදීනව ද ඒ සමඟ ජනතාවට ධර්මය කරුණු වශයෙන් ඉදිරිපත් කර ඇත. අපේ බෝධිසත්වයන් දස පාරමී ධර්ම පුරණ සමයේ වීර්යය පාරමිතාව පිරූ බව අපි දනිමු. ප්‍රමාදය දුරලා අප්‍රමාදී ව විමුක්ති සාධනයේ දී වීර්යය පාරමිතාව බෝසතුන්ට මහත් අධිෂ්ඨාන ශක්තියක් විය. ප්‍රමාදය කුසීත පුද්ගලයාගේ ආභරණයකි. අප්‍රමාදය වීර්යයවන්ත සත්පුරුෂයාගේ දෙලොව ජීවිතය ජයගන්නා මුතුහරකි.
අප්‍රමාදය ලොකු - කුඩා සැමට අභියෝග ජයගත හැකි වටිනා මෙවලමකි. අධ්‍යාපනය හදාරණ දරුවාට, රැකියා නියුක්තිකයාට මෙලොව පරලොව ජීවිතය ජය ගැනීමට දහම් සරණ සොයන නැණවතාට අප්‍රමාදී ව වැඩකිරීම තරම් ශක්තියක් තවත් නොමැති තරම් ය. ඒ නිසාම බුදු දහම පුරාම මේ පිළිබඳ වූ සාරමය කරුණු අන්තර්ගත වන අතර අප්‍රමාදයට බුදු දහම තුළ වටිනාකමක් ද එකතු කර ඇත. බුදුන් වදාළ ධර්මය ද හීන වීර්යය ඇති කුසීතයාට නොව වීර්යය වන්ත අප්‍රමාදියාට බව දීඝ නිකායේ දසුත්තර සූත්‍රයේ සඳහන් වේ.
අප්‍රමාදය නිවනට කෙලෙස් නැසීමට මාර්ගය වේ. ප්‍රමාදය මරණයට අකුසලයට හේතු වේ. අප්‍රමාදී වූවෝ නොමියෙන බවත්, ප්‍රමාද වූවෝ ජීවත් වුව ද, මළවුන් මෙන් කටයුතු කරන බව බුදු දහමේ පිළිගැනීම වේ. මේ පිළිබඳව විශේෂයෙන් සලකා බලා බුද්ධිමත් ආර්යය පුද්ගලයා අප්‍රමාදය රුචි කරන බවත්, අප්‍රමාදයේ සතුටු වන බවත්, සම්මත පිළිගැනීමකි.

උත්සාහයෙන් අප්‍රමාදයෙන් යුක්ත පුද්ගලයාගේ පංච ඉන්ද්‍රිය සංවර වේ. හෙතෙම ප්‍රඥාවන්තයෙකි කාම ඕඝ, භව ඹ්ඝ, ආදී සංසාර සැඩ පහරට අදාළ ඕඝ හෙවත් මහ කෙලෙස් ප්‍රවාහය තරණය කර අහරන්ත ප්‍රතිපදාව ජයගැනීමට ද අප්‍රමාදය ඉවහල් වේ. නුවණැත්තා අප්‍රමාදය තුළින් සංසාර දුක ජය ගන්නා අතර, දුෂ්ප්‍රාඥ මෝඩයා ප්‍රමාදයේ ගැලී සංසාර දුකට තව තවත් නැඹුරු වේ. ඒ නිසා බුදුරදුන් වදාළේ ප්‍රමාදයේ නිරත නොවී අප්‍රමාදයේ නිරත වන ලෙස ය. ප්‍රඥාවන්ත මිනිසා අප්‍රමාදයෙන් ප්‍රමාදය ඉවත දමයි. මහරහත් භූමිකාව තුළ අප්‍රමාදය වටිනා ආත්ම ශක්තියක් බව රසවාහිනී , සද්ධර්මාලංකාරය, සද්ධර්මරත්නාවලිය වැනි අපේ පැරැණි බණ කතා වලින් හෙළි වේ. ප්‍රමාදය දුර්වල දුබල අශ්වයකුට උපමා කිරීමෙන් අප්‍රමාදයේ ඇති අයෝමය ශක්තිය අවබෝධ කරගත හැකි ය.
අප්‍රමාදය නිසා ශක්‍ර දේවේන්ද්‍රයා දෙවියන් අතර ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බව ධම්මපදට්ඨ කතාවේ ශක්‍ර දේවේන්ද්‍ර කතා වස්තුවෙන් හෙළි වේ. ප්‍රමාදයේ බිය දක්නා බුද්ධ ශ්‍රාවකයා සක්කාය දිට්ඨීය ආදී සංයෝජන ධර්ම දුරු කිරීමට පෙළඹෙන්නේ අප්‍රමාදය නිසා බවද, ධම්මපද අප්‍රමාද වර්ගයෙන් හෙළිවේ. මේ අනුව මෙලොව පරලොව ජයගැනීමට ද , ලෞකික ලෝකෝත්තර දියුණුව උදාකර ගැනීමට ද බුදුදහම පෙන්වාදී ඇති ප්‍රායෝගික විසඳුමක් ලෙස අප්‍රමාදය හැඳීන්විය හැකි ය. මෙය බුදුදහමේ මූල ධර්මයක් ලෙස ද , සිද්ධාන්තයක් ලෙස ද භාවිත වී ඇති ආකාරය සූත්‍රගත මූලික කරුණු වලින් අනාවරණය වේ.
අප ගෞතම බුදුරදුන් සිය පන්සාළිස් වස මුළුල්ලේ ද අග්‍රශ්‍රාවක ආදී අරහත්ත ශ්‍රාවකයෝ ද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට අවවාද අනුශාසනා කළේ අප්‍රමාදීව කුසල ධර්මයන් සම්පූර්ණ කරන ලෙස ය. ඒ කුමක් සඳහාද යත් සංසාර දුක තරණය කර නිර්වාණාවබෝධය සපල කර ගැනීම පිණිස ය. අප බුදුරදුන් අවසාන බුදුවදන ඔස්සේද අනුශාසනා කළේ අප්‍රමාදයේ අගය ලොවට ප්‍රකට කිරීමට ය. සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය. විනාශ වන සුළුය. ඒ නිසා අප්‍රමාදී ව කුසල් සම්පාදනය කළ යුතුය. තමාට පිහිට වන්නේ තමා පමණයි. අප්‍රමාද වේ. සිහි බුද්ධියෙන් කි‍්‍රයා කරව්. සිල්වත් ගුණවත් බව වඩව්. සම්‍යක්ව සංකල්පනාවන්ගෙන් සිත රැකගෙන මෙම ශාසනය තුළ අප්‍රමාදී ව කටයුතු කර ජාති ජරා මරණ දුක්ඛ දොමනස්සයන්ගෙන් පිරි සංසාර දුකෙන් නිදහස් වීමට කටයුතු කරන ලෙස බුදුරදුන් අවසාන වශයෙන් ඉල්ලා සිටී බව දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙන් ද අනාවරණය වේ. මෙහිදී සාධු ජනතාවට අප්‍රමාදයේ මෙලොව පරලොව සාධනීය ගුණය තිව්ර වන බව පැහැදිලි ය.
බුදු දහමේ පෙන්වා දී ඇති ලාමක ධර්ම අතරට ප්‍රමාදය ද අයත් වේ. ලෝභය, ද්වේෂය, මෝහය ආදිය ලාමක ධර්ම වලට අයත් වේ. එසේ නම්, අප්‍රමාදය අයත් වන්නේ අලාමක ධර්මයක් ලෙසටය. මදය , ප්‍රමාදය ආදී සෙසු ලාමක ධර්ම නිසා මධ්‍යම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය අප අතරින් ඈතට ගමන් කරයි. එය මෙලෙව පරලොව සසර ගමනට බාධාවකි. ප්‍රමාදය වෙනුවට අප්‍රමාද ආදී අලාමක ධර්මතාවලට අනුව කටයුතු කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයට මනා පිටිවහලක් උදාවන බව මජ්ක්‍ධිම නිකායේ ධම්ම දායාද සූත්‍රයෙන් ද අනාවරණය වේ. කාමච්ඡන් ද , ව්‍යාපාද, ථීනමිද්ධ , උද්ධච්ච, කුක්කුච්ච සහ විචිකිච්ඡා යනුවෙන් නිවන් මඟ අවුරාලන ධර්මතා පහක් බුදු දහමේ ඉගැන් වේ. මේවා දුරු කරගැනීමට උපයෝගී වන්නේ අප්‍රමාදී ව කුසල ධර්ම සම්පාදනයෙනි. ප්‍රමාදී පුද්ගලයා පංචනීවරණ ධර්මවල ගොදුරක් බවට පත්වන බව මජ්ක්‍ධිම නිකායේ සුභ සූත්‍රයෙන් ද අනාවරණය වේ. පංච නීවරණ යනු දෙලොව පිරිහෙන නිවන් මග වසාලන ප්‍රබල කෙලෙස් පහකි.
දිනක් බුදුරදුන් කොසොල් මහ රජතුමා හමු වූ අවස්ථාවේ අප්‍රමාදයේ අගය රජුට පැහැදිලි කළසේක. යම් දහමක් මෙලොව සහ පරලොව අභිවෘද්ධිය යන දෙලොව අභිවෘද්ධිය සලසන්නේ නම්, ඒ එකම දෙය අප්‍රමාදය පමණි. ඇවිදින ප්‍රාණීන්ගේ පිය සටහන් සියල්ල ඇතාගේ පා සටහන තුළට ඇතුළත් වීමට හැකි වේ ද . හස්ති රාජයාගේ පා සටහන අග්‍ර බවට පත්වේද එපරිදි අප්‍රමාදය ද එලෙස සියලු ධර්මතා අතර අග්‍රස්ථානයට පත්වන බව සංයුක්ත නිකායේ අප්‍රමාද සූත්‍රයේ සඳහන් වේ.
යම් ධර්මතාවයක් ඉමහත් අනර්ථය පිණිස මෙලොව - පරලොව පරිහානිය පිණිස ඉවහල් වේ නම්, ඒ එකම ධර්මය ප්‍රමාදය නම් වේ. ප්‍රමාදය මහත් අනර්ථය පිණිස අවැඩ පිණිස පවතින්නේ ය. යමක් මෙසේ ඉමහත් අනර්ථය පිණිස , මෙලොව පරලොව සුබසිද්ධිය දියුණුව පිණිස පවත්නේ ද අප්‍රමාදය තරම් ඒ එකම ධර්මයක්වත් ලොව නොමැති ය. අප්‍රමාදය එසේ මහත් අර්ථය පිණිස හිත වැඩ පිණිස පවතින එකම ධර්මතාවය බව අංගුත්තර නිකායේ පමාද වර්ගයේ සඳහන් වේ. මෙම කරුණු වලින් ද ඉහත සඳහන් ප්‍රස්තුතය මැනවින් අවධාරණය කර ඇත. ප්‍රමාදයේ දෝෂ නිර්මාණය වන තරමට අප්‍රමාදී ගුණය ආලෝකමත් වේ. අප්‍රමාදය ජීවිතය එළියකරන මහා ප්‍රදීපයකි. ප්‍රමාදය ගනදුර වැන්න.
කාය , දුශ්චරිතය දුරුකිරීමටත් කාය සුචරිතය වර්ධනයටත් වාග් දුෂ්චරිතය දුරුකිරීමට වාග් සුචරිතය වර්ධනයටත් මනෝ දුෂ්චරිතය දුරුකිරීමටත්, මනෝ සුචරිතය වර්ධනයටත් ඉවහල්වන්නේ අප්පමාදී කුසලතාවයි. මිථ්‍යා දෘෂ්ටිය දුරලා සම්මා දිට්ඨීය දියුණු කරගැනීමට ද අප්‍රමාදීව කි‍්‍රයාකිරීමේ වැදගත්කම අංගුත්තර නිකායේ අප්‍රමාද සූත්‍රයේ අවධාරණය කර ඇත.
මේ අනුව අප්‍රමාදී ව කි‍්‍රයා කර මෙලොව සහ පරලොව ජය ලබාගැනීමට සැම දෙනාම අධිෂ්ඨාන කර ගත යුතු ය.

කල්ප තිහක්‌ විපාක දෙන කඨින පිංකම්

සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවයට, පූජාවට නිමිති වී තිබෙන උසස්‌ම පින්කමක්‌ ලෙස කඨින පිංකම හැඳින්වීම වටී. ඉකුත් ඉල් පුන් පොහෝ දිනයෙන් මෙම වසරේ කඨින පිංකම් මාලාවද අවසන් විය. ලංකාවේ ගම් නියම්ගම්වලද නුවරවලද විවිධ අයුරින් කඨින පිංකම් සිදු විය. ලංකාවෙන් බැහැරව ඉන්දියාවේ හා තවත් රටවල් කීපයකම කඨින පිංකම් සිදු කෙරුණි. මේ ලිපිය කඨින පිංකම් නිමවා සිටින අවස්‌ථාවේ වුවද ඒ පිළිබඳව සිත යොමු කරවන්නකි.
කඨින පූජාව යන්න ශ්‍රී ලාංකීය සමාජය තුළ මුල්බැසගෙන ඇති උත්තරීතර වචනයකි. එතරම් ශ්‍රී ලාංකීය ජනහදවත් තුළ සදානුස්‌මරණීය වන්නට හේතුකාරණාවක්‌ ඇත. කඨින චීවරයක්‌ මහා සංඝරත්නයට පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස කඨිනානිසංස නම් වේ. වර්ෂය පුරාම චීවර පූජාව කිරීමට හැකියාව තිබුණත් කඨින චීවරයක්‌ පූජා කිරීමට හැකි වන්නේ එක්‌ විහාරස්‌ථානයක වර්ෂයකට එක්‌ වතාවක්‌ පමණි. ඒ නිසා මෙහි සුවිශේෂත්වයක්‌ ඇත. කඨිනය යන වචනය පිළිබඳව අර්ථ කීපයක්‌ ඇත. ඒ අතර තද බව, ගොරෝසු බව, මුවහත් බව, ස්‌ථිරසාර බව, නොසැලෙන බව, සෘජු බව, කම්පා නොවන බව, තියුණු බව ආදිය දැක්‌විය හැකිය. අනෙක්‌ කුසලයන්ට වඩා කඨින චීවර පූජාමය කුසලය ප්‍රබල වේ. බුදුසසුනේ සඳහන් අට මහා පිංකම්වල පළමු පිංකම වන්නේ මේ කඨින චීවර පූජාවයි.
පංචානන්තරිය පාප කර්ම හැර වෙනත් සෙසු අකුශල කර්ම ප්‍රබල කුසලකර්ම වලින් වැසිය හැකිය “කුසලෙන පිථියති” යන්නෙන් දැක්‌වෙන්නේ එයයි. කඨින පිංකම වැනි ප්‍රබල කුසලකර්ම සිදුකර ගැනීමෙන් තමා කළ සෙසු අකුශල කර්ම පවා වෙනස්‌ විය හැකිය. කඨිනය යන්නට ගොරෝසු යන අර්ථය දක්‌වා ඇත්තේ ඉන්දියාවේ ශීත කාලගුණික තත්ත්වයට වස්‌ත්‍ර සකස්‌ කරගත යුතු බැවිනි. ගොරෝසු වස්‌ත්‍ර නොමැති වුවවොත් අධික ශීතල නිසා රෝගී විය හැකිය. “සීතස්‌ත පටිඝාතාය” යන්නෙන් දැක්‌වෙන්නේ සීතලට ඔරොත්තු දීම සඳහාය.
වස්‌කාලය යනු වැසි කාලයයි. එදා ඉන්දියාවේ වැසි කාලයේදී අනෙක්‌ ආගමික පිරිස්‌ එක්‌ තැනෙකට වී ඔවුන්ගේ ආගමික කටයුතු කළහ. භික්‍ෂූන් වහන්සේලා සුපුරුදු ලෙස චාරිකාවේ යෙදුනහ. එම අවස්‌ථාවේ අනෙක්‌ ආගමිකයන්ගෙන් විවිධ චෝදනා එල්ලවිය. පක්‍ෂීන් පවා වැසිකාලයේදී කෑම සොයාගෙන එක්‌ තැනෙකට වී හිඳිති. සියලු සත්ත්වයන්ට මෛත්‍රී කරන්නට උගන්වන ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයන් කුඩා සතුන් පාගමින් අලුත් තණ පාගමින් වැසි කාලයේ සැරිසරණ බවයි. එම කාරණාවන් හා තවත් කාරණාවන් හේතුකොටගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්‍ෂූන් වහන්සේලාට වස්‌ කාලයේ එක්‌තැනෙකට වී ආගමික කටයුතු කරන්නැයි අනුදැන වදාළහ. එනම් “අනුජානාමි භික්‌ඛවේ වස්‌සානේ වස්‌සං උපගත්තුං” ‘මහණෙනි වර්ෂා කාලයෙහි වස්‌ වසන්නට නියම කරමි’. යනුවෙන් අවසර දුන්හ. ඒ බුද්ධ නියමයන් අනුව අදට වසර 2500 කට වැඩි කාලයක්‌ ගත වෙලත් උන්වහන්සේගේ අනුශාසනාව ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම කෙතරම් විශ්මයජනකද?
ලෝකයේ වෙහෙර විහාරස්‌ථාන ඇති බෞද්ධ සැදැහැවතුන් සිටින හැම රටකම බොහෝ විට වස්‌ කාලයේ වස්‌ පින්කම් කෙරෙනු ඇත. අවසානයේ කඨින පිංකමද සිදුවේ. දැන් දැන් කඨින පිංකම පිළිබඳව දැඩි උනන්දුවකින් ක්‍රියාකරනු ලක්‌නට ලැබේ. ශ්‍රී ලංකාවේ කඨින පිංකම සෑම විහාරස්‌ථානයකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ගිහි-පැවිදි උභය පාර්ශ්වයම සංවිධානය වෙති. එක්‌ විහාරස්‌ථානයක මූලික වී කඨින පිංකමක්‌ භාරගැනීමද දුෂ්කර කරුණක්‌ වී ඇත. ඒ එතරම්ම පිරිසක්‌ කඨින පිංකම් භාරගත් ලයිස්‌තුවේ සිටීම නිසාය.
කඨින චීවරයක්‌ අනුදැන වදාරන්නට විශේෂ සිදුවීමක්‌ ඇත. එනම් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාමයේ වැඩවෙසෙන සමයේ පාවා නුවර වැඩවෙසෙන භික්‍ෂූන් වහන්සේලා 30 නමක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. උන්වහන්සේලාගේ බලාපොරොත්තුව වූයේ බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන සැවැත්නුවර ඡේතවනාරාමයේ වස්‌ කාලය ගතකිරීම සඳහාය. එහෙත් උන්වහන්සේලාට නියමිත දිනට සැවැත් නුවරට ළඟාවීමට නොහැකි වූහ. ඒ නිසා සාකේත නම් නුවර වස්‌ කාලය ගත කළහ. උන්වහන්සේලා එම වස්‌ කාලය ගතකළේ බුදුරජාණන් වහන්සේ දැක ගන්නට නොලැබීමේ කනස්‌සල්ලෙනි. වස්‌ තුන් මාසය අවසන් වූ විට එම ස්‌වාමීන් වහන්සේලා යළිත් වරක්‌ සැවැත්නුවරට වඩින්නට ගමන ආරම්භ කළහ. අතර මගදී මහ වැසි පතිත වීම නිසා ගොහොරු මඩ සහිත බිමෙහි වැසි ජලයෙන් තෙත්වූ වස්‌ත්‍ර වලින් යුතුව ඡේතවනාරාමයට වැඩම කළහ.
එම භික්‍ෂූන් වහන්සේලා බුදුහිමි වැඳ පිළිසඳර කතාවෙහි යෙදුනහ. වස්‌ කාලය කරදරයක්‌ නැතිව ගත කළාද? සමගියෙන් විවාද නැතිව සතුටින් ගත කළා දැයි බුදුරජාණන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාගෙන් විචාලසේක. එහිදී භික්‍ෂූන් වහන්සේලා සඳහන් කළේ ස්‌වාමීනි අප සමගියෙන් විවාද නැතිව සතුටින් වස්‌කාලය ගතකළ බවයි. එහෙත් අප සැවැත්නුවරට වැඩම කරන විට මහ වැසි ඇදහැලීම නිසා අතරමග මඩෙන් හා වැසි ජලයෙන් පීඩාවට පත්වූ බවත් තෙත් වූ සිවුරුවලින් යුතුව පැමිණි බවත් දැන්වූහ. එවිට මහාකාරුණික බුදුරජාණන් වහන්සේ ඒ ගැන සිතා තවත් සිවුරක්‌ තිබුණා නම් මේ ආකාරයේ දුෂ්කරතාවයකට පත් නොවන බව සලකා වස්‌ වැසූ භික්‍ෂූන්ට කඨින චීවරයක්‌ ලබාගන්නට අවසර දුන්හ.
කඨිනයෙහි බලසම්පන්න භාවය පහත ගාථාවෙන් දැක්‌වේ.
පඨවිරිව න ජාතුකම්පතේ – න චලති මේරුරිවාතිවායුනා
වජිරම්ව න භිඡ්ජතේ ඝනං – තමිධමතෝ කඨිනන්ති වුච්චති

එනම් මහ පොළොව සේ ස්‌ථිර වූ කුසලකර්මයකි. එම කුසලය මහාමේරු පර්වතය සුළඟින් නොසෙල්වෙන සේ නොසැලෙන පිංකමකි. එසේම වජ්‍ර පර්වතය සේ බිඳිය නොහැකි වූ කුසලයකි.
දෙපට සිවුර, තනිපට සිවුර, අඳන සිවුර යන තුන් සිවුරෙන් කැමති චීවරයක්‌ කඨිනය සඳහා පූජා කළ හැකිය. මසා නිමකළ චීවරයක්‌ මෙන්ම චීවරයක්‌ වශයෙන් සකස්‌ නොකළ චීවරයකට ප්‍රමාණවත් වස්‌ත්‍රයක්‌ (දුස්‌සං) වශයෙන් පූජාකළ හැකිය.
අටමහා කුසලයන් වන්නේ
කඨිනට්‌ඨ පරිඛාරං – වාසදානං ච උත්මං
බුද්ධප්පමුඛ සංඝස්‌ස – දානං ධම්මස්‌ස ලේඛනං
ඛෙත්තදානං ච බුද්ධස්‌ස – පටිමාකරණම්පි ච
කරණං වච්චකුටියා – අට්‌ඨ පුඤ්නි වුච්චරේ

එනම් –
1. කඨින පූජාව
2. අටපිරිකර පූජාව
3. උතුම් ආවාස කරවා පූජා කිරීම
4. බුදුපාමොක්‌ මහ සඟනට දන්දීම
5. දහම් පොත්පත් ලියවීම
6. කෙත්වතු පූජා කිරීම
7. බුද්ධ ප්‍රථිමා කරවීම
8. වැසිකිළි කැසිකිළි කරවීම – දැක්‌විය හැකිය.

මෙහි පළමු පිංකම වන්නේ කඨින පිංකමයි. ඒ අනුව එහි ප්‍රබල බව සිතාගත හැකිය. කඨින චීවර පූජාව සමගින් අතිරේක පිරිකර පූජා කිරීමද සිදුවේ. ඒ සඳහා කැමති කෙනෙකුට ඉඳිකටුවේ සිට විහාරස්‌ථානයට අවශ්‍ය කරන පුද පිරිකර පූජා කළ හැකිය.
කඨින පිංකම පිළිබඳ සඳහන් කරනවිට නාගිත මහරහතන් වහන්සේගේ නම අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුය. බුදුරජාණන් වහන්සේ එක්‌තරා අවස්‌ථාවකදී ඒහි භිCඛු භාවයෙන් පැවිදි වූ මහරහතන් වහන්සේලා 500 නමක්‌ අනෝතත්ත විල්තෙරට එක්‌රැස්‌ වන්නැයි සිහිපත් කළහ. එම මහරහතන් වහන්සේලා අතර පෙර බුදු-පසේබුදු මහරහතන් වහන්සේලාට කළ කුශල කර්මයක්‌ ඇත්දැයි ඇසූහ. එහිදී නාගිත මහරහතන් වහන්සේ පෙර ජාතිවලදී කළ කඨින පිංකම්වල හා අනෙකුත් පින්කම් ගැන විස්‌තරයක්‌ කළහ. ඒ අනුව,
“කඨින දානං දත්වාන – සංඝේ ගුණ වරුත්තමේ
ඉතෝ තිංසේ මහා කප්පේ – නාභිජානාමි දුග්ගතිං”

උත්තම ගුණ ඇති මහා සංඝරත්නයට කඨිණ චීවර දානය පූජාකර කල්ප තිහක් දුගතියෙන් තොරවූ බව හා තවත් ආනිසංශ ගෙනහැර දැක්‌වීය.
මෙසේ බලන විට නිවන් දකින ආත්ම භාවය දක්‌වාම විශිෂ්ට වූ මනුෂ්‍ය සම්පත් ලැබීම සඳහා කඨින පිංකම හේතුවේ. කිසිදු අඩුවක්‌ නොමැති ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක්‌ සඳහා මෙන්ම දිව්‍ය ආත්මභාව ලැබීමටද කඨින පිංකම් බලපානු ඇත. එපමණක්‌ නොව සදාකාලික සැපත, උතුම් නිර්වාණ සම්පත්තිය උදාකර ගැනීමට මේ උතුම් කඨින පිංකමේ බලය හා ශක්‌තිය ද හේතුවේ.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X