වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සසර බිය ඇතිවන්නේ ඇයි?

පොල්ගහවෙල මිතභාණි හිමි

තථාගතයන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ බියෙන් තැතිගත් සත්ත්වයාට සසර බිය ඇතිවෙන කරුණු කාරණා පැහැදිලි කර දෙමින් බියෙන් තැතිගැනීම්වලින් තොර සුවදායක ජීවිතයක් ගතකර පරම ශාන්තියට පත්වන අවස්ථාව උදාකර දීමටයි. ජන සමාජයේ ජීවත්වන බොහෝ දෙනා මරණයට බියබව ප්‍රකාශකරයි. නිවැරැදි මාර්ගයේ සිත වඩාගෙන කටයුතු කරන්නේ නම් බියවීමට කරුණක් නොවන්නේ ය. බිය වන්නේ නම් යම් හෝ ප්‍රමාදයක් සිදුවී ඇතිබව සිතට ගත යුතුය. බියවන කරුණු කිහිපයක් මූලික වශයෙන් මෙහිලා සඳහන් කරමි.
ලොව්තුරා බුදුන්වහන්සේ සැවැත්නුවර වැඩවසන සමයෙහි අනේපිඬු ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැදැකීමට පැමිණියේ ය. එතුමාට මෙම දැහැමි කතාවෙන් සංග්‍රහ කළේ ය. නැතහොත් දේශනා කළ සේක. ගෘහපතිය, යම් කලෙක ප්‍රජාවට පස්වැදෑරුම් භය හා වෛර චේතනාවෝ වෙද්ද එම කරුණු මෙසේ ය.
1.පරපණ නසන සුළු පුද්ගලයෙක් වේද ඒ හේතු කොට ගෙන සසර බිය හා තැති ගැනීම වෛරය රැස් කෙරේද, කායික වූත් මානසික වූත් දුක් දොම්නස් බහුලව වාසය කරයි. මෙලොව පරලොව දෙලොව තැවීමට බියවීමට කරුණු වේ.
2. නුදුන් දෙය ගන්නා සුළු පුද්ගලයා අනුන්ගේ සැපයට බාධා පමුණුවන්නෙකි. ඔහු ධනවතෙක් ද නොවේ. දිළිඳු භාවයටම පත් වේ. මෙලොව පරලොව ධන හානියට, භෝග හානියට පත්වේ. ඇති තැනැත්තාගෙන් ටිකක් සොර සිතින් ගත්තාට පාඩුවක් නොවෙන්නේ යැයි සිතා සොරකම් කරන්නෝ නැත්තේ නොවේ. ටිකක් හෝ බොහෝ දෙයක් සොරකම් කරන විට එහි අකුසලය තමා පසුපස පැමිණෙයි. නුදුන් දෙය ගැනීම හේතුවෙන් මෙලොව බිය හා වෛරය රැස්කෙරෙයි. පරලොවද බිය හා වෛරය රැස් කෙරෙයි. බිය තැති ගැනීම නිරතුරු ඇතිවෙයි. මෙලොව පරලොව දෙකෙහිම චෛතසික දුක් දොම්නස් බහුලව දුකසේ වාසය කරයි.
3. කාමයෙහි වරදවා හැසිරෙන පුද්ගලයා එහි හැසිරීම් වශයෙන් මෙලොවත් බිය, වෛරය රැස් කෙරේද? පරලොවත් බිය, වෛරය රැස් කෙරේද? ඒ හේතුවෙන් කායික මානසික දුක් දොම්නස් බහුලව වාසය කරයි. සමාජ සම්මත සදාචාරයෙන් වෙන්ව කටයුතු කිරීම මෙලොව පරලොව දෙලොව නින්දා, හිංසා, පීඩා ගෙනදෙයි. සතර අපාදුකට වැටෙයි. බොහෝ සතුරන් ඇතිවීමට හේතු වේ. කාම මිච්ඡාචාරයට හේතුවන කරුණු දසයම කෙටියෙන් විස්තර කරමි. එය දැන ගැනීම කාහටත් වැඩදායක වේ.
මාතුරක්ඛිතාය - මව විසින් රක්ෂා කරන දියණිය අනවසරයෙන් පැහැරගෙන යෑම.
පිතුරක්ඛිතාය - පියා විසින් රැකවල් ඇති දියණිය අනවසරයෙන් පැහැර ගෙන යෑම.
මාතුපිතුරක්ඛිතාය – මව පියා දෙදෙනාගේ රැකවරණය යටතේ පෝෂණය වන දියණිය අනවසරයෙන් පැහැරගෙන යෑම.
භාතු රක්ඛිතාය - මව පියා දෙදෙනා නැති විට වැඩිමහල් සහෝදරයා යටතේ රැකවරණය ඇති සහෝදරිය අනවසරයෙන් පැහැර ගෙන යෑම.
භගිනි රක්ඛිතාය - මව පියා සහ වැඩිමහල් සහෝදරයෙක් නැති විට වැඩිමහල් සහෝදරිය විසින් රැකවල් කරන බාල සහෝදරිය අනවසරයෙන් පැහැරගෙය නෑම.
ඤාති රක්ඛිතාය - මව, පියා වැඩිමහල් සහෝදර සහෝදරියන් නැතිවිට ඤාතීන්ගේ සෙවනේ හැදෙන දැරිය අනවසරෙන් පැහැරගෙන යෑම.
ගොත්ත රක්ඛිතාය - පවුලේ කිසිවෙක් නැතිවිට ගෝත්‍රය විසින් ඇයව ආරක්ෂා කරයි. ගමේ ප්‍රධානියා, යම් ජාතියක හෝ කුලයක් විසින් ඇයව රක්ෂා කරයි. එසේ තිබියදී අවසරයකින් තොරව පැහැරගෙන යෑම.
ධම්මරක්ඛිතාය - රැකවල් කරන කිසිවකු නැතත් යම් හෝ සීලයක ශික්ෂණය ලබමින් ජීවත් වෙයි. උදා – කුමර කුමරි බඹසර රකින අය හෝ සිල්මාතාවක් වැනි අය. එවන් ධර්මයෙහි හැසිරෙන කෙනෙකු සමඟ හැසිරීම, කාම මිථ්‍යාචාරයට ලක්වේ.
සස්සාමිකාය - ස්වාමියකු යටතේ රැකවරණය ලබන ස්ත්‍රිය සමඟ සම්බන්ධතා ඇති කර ගැනීම.
සපිරි දණ්ඩාය -සමාජ රෝග ඇති ස්ත්‍රියක් (රජය විසින් පනවා ඇති නීති ඛණ්ඩනයකොට) තවත් පුරුෂයකු සමඟ හැසිරීම, මෙහිදී ස්ත්‍රී පුරුෂ දෙදෙනාටම කාම මිථ්‍යාචාර අකුසලය සිදුවේ.
4. මුසාබස් බෙණෙන පුද්ගලයා (අන් අය රැවටීම් පිණිස හානි පැමිණීම පිණිස සමඟිය සමාදානය බිඳින ආකාරයට, අවැඩ පිණිස) මෙලොව පරලොව දෙලොව යම් බියක් හා වෛරය රැස් කෙරේද, චෛතසික වූ දුක් දොම්නස් විඳින්නේ වෙයි. ඔහුගේ බස් කිසිවෙකු විශ්වාස නොකරයි. සමාජයේ ඇදහිය හැකි පුද්ගලයෙක් නොවෙයි. සෑම දෙනාගේම පිළිකුළට ලක්වෙයි.
5. ගෘහපතිය, මදයට හා ප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කරන්නේ එවැනි පුද්ගලයා ප්‍රමාදයේ ම යෙදෙති. උමතු වූ සිතින් කටයුතු කරයි. තමාටත් අන් අයට අනර්ථයක් කරයි. හිංසා පිණිසම හැසිරෙයි. මෙලොවත් යම් බියක් හා වෛරයක් රැස් කරයිද, පරලොවත් යම් බියක් හා වෛරයක් රැස් කෙරේද, මහත් වූ චෛතසික දුක් දොම්නස් විඳියි. බිය නොසන් සිඳෙයි. (සමාජයේ සිදුවන ක්‍රියාවන් තුළින් මෙහි දෝෂ දැකිය හැක) මෙම පස් ආකාරයෙන් අකුසල් කරන්නේ පංචානන්තරිය පාපකර්මද කරගනී. පරලොව සැපයෙන් පහවූ නපුරු ගති ඇති. විවව පතිත වන නිරයෙහි උපදි. සතර භීතීහු මෙසේ දැන ගනිමු.
අත්තානුවාද භය - තමා මුල්කොට ගත් භය වේ. සිත, කය වචනය යන තිදොරින් සිදු කළාවූ දුශ්චරිතයන් නිසා සීලයෙන් උපවාද කරනු ලබයි. මෙලොව පරලොව දෙලොව තවයි. තමාටම උපවාද කෙරෙයි.
පරානුවාද භය - දුසිරිත් කිරීම හේතු කොටගෙන අන් අයගෙන් (පරහුගෙන්) උපවාද ලබන්නට සිදුවේ. ඔවුන් තමාට ශීලයෙන් දෝෂ නඟන ලදී. පිරිසුදු වූ ආත්මයක් පරිහරණය නොකරන ලද්දේයි, විවිධ නයින් උපවාදයට ලක්වේ. මෙසේ අන් අය විසින් කරනු ලබන උපවාද නිසා අතිබිය පරානුවාද භය වේ.
දණ්ඩ භය - සමාජයේ අපරාධ කරන අයට විවිධ නයින් හිංසා පීඩා පමුණුවයි. එකල රජ දරුවෝ අපරාධ කරන සොරකුට කසවලින්ද පහර දෙයි. දඬු ආදියෙන් ද පහර දෙයි. අත් පා සිඳියි. කන් නාසාත් සිඳිත් දඟගෙයි දමයි. පැසෙන තෙලේ ද දමයි. ගින්නේ ඇවිදවයි. කටුපහරින් වධ දෙයි. කටද ඉරයි. (මුඛය) නියපොතු ගලවයි. මහපොළොවේ ඇදගෙන යයි. හිසකෙස් ගලවයි. හුලේ හිඳවයි. හිස සිඳියි. නපුරු සුනඛයන් ලවා හපා කවයි. මෙබඳු අනේක විධ වද පමුණුවයි. මෙසේ පව්කම් කරන ලද කෙනෙකු දඬුවම් පමුණුවන ලද සොරකු දැක මා හටත් මෙවන් දඬුවම් විඳින්නට සිදුවෙතැයි බියට පත්වෙයි. මෙය දණ්ඩ භය වේ.
දුගීති භය - සමාජයේ බොහෝ දෙනා මුලින් ඇතිවෙන ත්‍රිවිධ භය නැතිකරගැනීමට අල්ලස් මුදල් දී තාවකාලික නිදහසක් ලබයි. පුරසාරම් දොඩවයි. එහෙත් මරණින් මතු දුගතියෙහි ඉපදීමට සිදුවෙන භයෙන් නිදහස් විය නොහැකිය. එයට කිසිදු ප්‍රතිකර්මයක් නැත. පිහිට වෙන කෙනෙකුද නැත. දියෙන් මාළුවෙක් ගොඩ දමන විට හාත්පසින් දඟලන්නාක් මෙන් නිරතුරු තමන් කරන ලද කළු කර්මයෙන් දැවීමට පත්වෙයි. පරිදාහයට පත්වෙයි. පළමු විපාකයෙන් බේරීමට කිසිදු ස්ථානයක් නොමැත. සසර බිය මෙම ගාථාවෙන් පැහැදිලි වෙයි.
“ගබ්භ මේකේ උප්පජ්ජන්ති නිරයං පාපකම්මනො සග්ගං සුගතිනො යන්ති පරිනිබ්බන්ති අනාසවා”
“මියගිය ප්‍රාණ අතර ඇතමෙක් මවුකුසට පැමිණේ. දුසිරිත් (පව්කොට) කොට සතර අපායට සත්වයෝ වැටෙති. යහපත් කර්ම කොට දෙව්ලොව උපදිත්. කෙලෙස් නැසූ උතුමන් පිරිනිවෙති.
සැවැත්නුවර මැණික් ඔපවත් කරන නැතැත්තෙක් බිරිඳ සහ දරුවෝ සමඟ වෙසෙති. පිනට බොහෝ සේ කැමතිය. ඒ පවුලට රහත් උතුමෙක් නිතර දනට වැඩම කරති. එහෙත් ඔවුන් ඒ බව නොදන්නේ ය. දොළොස් අවුරුද්දක් උපස්ථාන කළහ. ඇසුර බලවත් නිසා එම තෙරුන් “මණිකාරකුලුපගතිස්ස” නමින් ප්‍රසිද්ධ විය. කොසොල් මහරජ ඇමැතියකු අත මැණිකක් ඔපවත් කිරීම පිණිස යැවීය. මස් ලේ තැවරුණු අතින් තෙරුන් වහන්සේ ඉදිරියේ පෙට්ටියක් මත තැබුවේ ය. අත සෝදා නැවත එන විට මැණික නැත. තෙරුන්වහන්සේ කෙරෙහි සැප ඉපදවිය.
මැණික්කරු - හිමියෙනි, මැණික ගත්තෙහිද?
තෙරහු - උවසුවෙනි, මම නොගතිමි.
මැණික්කරු - මෙතැනට ආවෙනකකු නැත, ගත් මැණික දෙන්නැයි බලවත් කෝපයට පත්විය.
තෙරහු - නිහඬ විය.
මැණික රජු සතුය, නැවැත නොදුන්නොත් දඬුවම් පැමිණේ. කෝපය දරුණු විය. ලණුවක් ගෙන තෙරුන්ගේ හිස වෙලා දඬුවක දවටා මිරිකීය. කන් නාසවලින් ලේ ගලන්නට විය. නිවසේ සිටි කොස්වාලිහිණියා ලේ බීමට පැමිණ විට බලවත් කෝපයෙන් පහරක් දුනි. පක්ෂියා මැරී වැටුනේ ය. තෙරුන්වහන්සේ මැරී වැටුන ලිහිණියා දැක මෙම ලිහිණියා මැණික ගිලින ලදැයි පැවසුවේ ය. බඩ පළා බලන විට මැණික තිබුණේ ය. බලවත් ශෝකයට තැවීමට පත්විය.
හඬමින් වැළපෙමින් දුකට පත්විය.බැම්ම ලිහා නොඑක් ලෙස බෙහෙත් යොදා පිළියම් කළහ. ඔබවහන්සේ ගේ ගුණ දොළොස් අවුරුද්දක් උවටැන් කළත් නොදැක්කේ ය. මට සමාව දුන් මැනවි සමාව අයැදීය. හටගත් වේදනාවෙන් තෙරුන් වහන්සේ පිරිනිවීය. කොස්වාලිහිණියා බිරිඳ කුස පිළිසිඳ ගත්තේ ය. බිරිඳ දෙව්ලොව උපන්නාය. මැණික්කරු අකුසල කර්මයෙන් තැවී නිරයේ උපන්නේ ය. පස්පව් හා වෛරය රැස් කරන්නට සිදුවෙන බියකරු භාවය මේ කථාවෙන් තේරුම් ගන්න. දුසිරිත් වලින් වැළකී සසර බිය වටහාගෙන ගුණ දහම් පුරා සසර කතරින් එතෙරවීමට උත්සාහවත්වන්න.

වස් පවාරණයයි - කඨින චීවරයයි


කඨින පින්කම් මගින් විවිධ දූෂණයන්හි යෙදෙන භික්ෂූන් ගැන ද කියැවෙන මේ ලිපිය වස් පවාරණය, කඨිනය, කඨින චාරිත්‍ර සමඟ චීවරයේ අගය පිළිබඳ ව ද තොරතුරු රැසක් හෙළි කරයි.

ශ්‍රී ලංකාව, මියන්මාරය, තායිලන්තය වැනි බෞද්ධ රටවල ථේරවාදි උපසම්පදා භික්ෂූන් වහන්සේ වස්සාන ඍතුවෙහි වස් සමාදන් වෙති. එය බුදු රජාණන් වහන්සේ විසින් පනවන ලද විනය ප්‍රඥප්තියකි. භික්ෂූන් වහන්සේලාගේ සියලු කටයුතු පදනම් ව ඇත්තේ යම් යම් සම්ප්‍රදායයන් සහ එම සම්ප්‍රදායයන් කඩ කරන්නවුන්ගෙන් සසුන ආරක්ෂා කරගැනීම සඳහා පනවන ලද නීති-රීති සමූහයක් අනුව යි. එම නීති-රීති පැනවීමේ දී මානව නිදහස අහිමි නොකර, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් සුරැකෙන පරිදි කටයුතු කර තිබෙන අයුරු විචාරාත්මක ව බලන විට පෙනෙයි.
පැවිද්ද සහ උපසම්පදාව හැරුණ විට තවත් වැදගත් සංඝ කර්මයකි උපෝසථ කර්මය. වස්සාන සමය තුළ සංඝ උපෝසථ කර්ම පිළිබඳ වැඩිදුරටත් අවධානය යොමු වෙයි. වස් ආරම්භයේ දී පොහොය සීමා මාලකයකට ගොස් සංඝයා ඉදිරියේ ඇවැත් දෙසා පිරිසිදු වී පාමොක් හෙවත් ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සම්ප්‍රදාය වෙයි. දින පහළොවකට වරක් උපෝසථ කර්මය සිදු කළ යුතු ය. භික්ෂූන් වහන්සේලා සඳහා පනවන ලද ශික්ෂාපද එක්තැන් කර ‘ප්‍රාතිමෝක්ෂය’ නමින් ශික්ෂාපද මාලාවක් ඇත. සෑම උපෝසථ දිනයක දී ම සංඝයා රැස් වී එම ප්‍රාතිමෝක්ෂය දේශනා කර, ශික්ෂා පද නැවත නැවතත් සිහිපත් කරති. එසේ ම ආපත්තිවලට පැමිණි භික්ෂූන් වහන්සේලාට තමන් වහන්සේලා අතින් සිදු වූ තුලසි, නිසගි, පචිති,
 පාවාරණ ආදි කොට ඇති ඇවැත් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කොට, පිරිසිදු වීමේ අවස්ථාව මෙමගින් උදා වෙයි. එම වැරදි නිවැරදි කරගෙන පිරිසිදු සිල්වතකු බවට පත් වීමට අවශ්‍ය කරන අනුශාසනා උපදෙස් දීමත්, දඬුවම් ලබා දීමත්, සිදු කරනු ලබන්නේ සංඝ සමූහයාගේ ම ඒකමතික තීරණයන් අනුව ය. මෙය සංඝ සමාජය තුළ තිබෙන ශ්‍රේෂ්ඨ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයකි.
සංඝකර්මවල දී ඔවුනොවුන්ගේ සිත් රිදවීම්, කලකිරීම් සහ නොයෙකුත් වාද භේද නොමැති ව ඒ ඒ අවස්ථානුකූල ව කටයුතු කිරීම පිණිස ධර්මය හැඩගසා ඇත. එසේ ම එය සංඝයාගේ චිර පැවැත්මට ද සමගියට ද ඉවහල් වී ඇත. වස් පවාරණය ද එවැනි සංඝකර්මයකි. වස් තුන්මාසය තුළ වස්සච්ඡේදනය නොවී, හොඳින් වස් ආරක්ෂා කරගැනීම වස් විසූ භික්ෂුව සතු කාර්යභාරයකි.
වස්සාන ඍතුව මාස හතරක් වුව ද වස් විසීම තුන් මසකින් නිමාවට පත් වෙයි. ඉතිරි මාසය චීවර මාසය වශයෙන් හැඳින්වෙයි. වස් වසන ලද භික්ෂුව වස් අවසානයේ සංඝයා මධ්‍යයට එළඹ ඇවැත් දෙසා පිරිසිදු වී, වැඩිහිටි තෙරුන් වහන්සේ ඉදිරියෙහි උක්කුටිකයෙන් හිඳ දොහොත් මුදුනෙහි තබාගෙන ‘සංඝං භන්තේ පවාරේමි, දිට්ඨේනවා සුතේනවා පරිසංකායවා වදතුමං භන්තේ අනුකම්පං උපාදාය... පස්සන්තෝ පටිකරිස්සාමි...” යනුවෙන් ‘ස්වාමීනි, මා විසින් කරන ලද වරදක් දැකීමෙන් ඇසීමෙන් සැකයෙන් හෝ ඇත් නම් මා කෙරෙහි අනුකම්පා කර එය ප්‍රකාශ කරනු මැනවි...” යනුවෙන් පැවරීමක් කරති. උන් වහන්සේගේ වරදක් නොමැති නම් සංඝයා තූªෂ්ණීම්භූත ව සිටිති. පවාරණය වශයෙන් සැලකෙන්නේ මෙම විනයකර්මය යි.
පවාරණය වනාහි අතිශය වැදගත් විනය කර්මයකි. මහා පවාරණයක් කිරීමට නම් උපසම්පදා භික්ෂූන් වහන්සේලා පස් නමක් වත් වැඩ සිටිය යුතු ය. එම විනය කර්මය කරන ස්ථානයෙහි ප්‍රධානත්වය ගන්නේ සංඝ ස්ථවිරයන් වහන්සේ ය. උන් වහන්සේට උස් ආසනයක් පැනවිය යුතු ය. සෙසු භික්ෂූන් වහන්සේලා සුදුසු අසුන්වල වැඩ සිටිනු විනා, නායක පදවි, කාරක පදවි ආදිය අනුව අසුන් පැනවීම සාසන විරෝධී ක්‍රියාවකි. මෙකල ඇතැම් සීමාමාලකවල එම ලෞකික පදවි අනුව ආසන පනවාගෙන විනය කර්ම කරනු දක්නට ලැබේ. එය විනය විරෝධී ක්‍රියාවකි. එවැනි විනය විරෝධී ක්‍රියා දැකදැකත් ඇතැම් සංඝ ස්ථවිරයන් වහන්සේලා මුනිවත රකින්නේ ‘අනවශ්‍ය කරදර ඇති වේ ය’ යි තිබෙන බිය නිසා විය යුතු ය.
පළමු ව පවාරණය කරන්නේ සංඝ ස්ථවිරයන් වහන්සේ ය. අනතුරු ව සෙසු භික්ෂූන් වහන්සේලා උන් වහන්සේ ඉදිරියෙහි ඉහත සඳහන් වාක්‍යය ප්‍රකාශ කිරීමෙන් පවාරණය කළ යුතු ය. මෙසේ මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂූන් වහන්සේ නමක් උදෙසා කඨින චීවරයක් පූජා කිරීමට හැකියාව ලැබෙයි. වස් කාලයෙහි සුවිශේෂ අවස්ථාව වන්නේ චීවර මාසයයි. කඨින චීවර පූජාව අට මහා කුසල්වලින් පළමු වැන්න වෙයි. ඒ නිසා ම බෞද්ධ පින්වත්හු එයට ඉමහත් උනන්දුවක් දක්වති.
‘කඨිනය’ යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? මෙම වචනයේ අර්ථය ගත් විට හැඩි-දැඩි, කඨෝර, ශක්තිමත් බවක් අඟවයි. මහමෙර සෙලවුණත්, මහ පොළොව කම්පිත වුණත්, වජිර පර්වතය සිඳ-බිඳ දැමුවත් කඨින පූජාවෙන් ලබන ආනිසංස නො සිඳෙයි. ආනන්තර්ය පාප කර්මයකට හැර වෙනත් කුසලයකට හෝ අකුසලයකට යටපත් කළ නොහැකි නිසා ද කඨිනය නමින් හඳුන්වයි. පෙර වස් සමාදන් ව හොඳින් වස් ආරක්ෂා කරගෙන මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවකට කඨිනයක් ලැබිය හැකි ය. ‘දේවේනවා මනුස්සේනවා, පඤ්චන්නංවා සහධම්මිකානං අඤ්ඤකරේත දින්නං වට්ඨති...’ යනුවෙන් දෙවියකු, මනුෂ්‍යයකු, භික්ෂුවක, භික්ෂුණියක, සාමණේරයකු, සාමණෙරියක, ශිෂ්‍යමාණවයකු යන අය විසින් දෙනු ලබන වස්ත්‍රය කඨිනය සඳහා සුදුසු වෙයි. වස්ත්‍ර යනුවෙන් සඳහන් කළාට සියලු වස්ත්‍ර වර්ග කඨිනය සඳහා ගැනීම කැප නැත.
බුද්ධ කාලීන සමාජයේ මිනිස්සු විවිධ වස්ත්‍ර ප්‍රයෝජනයට ගත්හ. ඒ අනුව 1. කුසවීර: කුස තණවලින් කරන ලද වස්ත්‍ර, 2. වාකවීර: පට්ටාවලින් කරන ලද වස්ත්‍ර, 3.කේසකම්බල: කෙස්වලින් කරන ලද වස්ත්‍ර, 4. වාලකම්බල: සෙමර මුවන්ගේ ලොම්වලින් කරන ලද වස්ත්‍ර, 5. උලුකප්ක්ඛ: බකමූණු පිහාටුවලින් කරන ලද වස්ත්‍ර, 6. අකම්බල: එළු ලොම්වලින් කරන ලද වස්ත්‍ර, 7. උත්තරථරණ: ඇතුන් පිට අතුරන වස්ත්‍ර, 8. කුම්භත්ථරන: බිම වර්ණය රැකගැනමට කළ වස්ත්‍ර, 9. හත්තථරන: මතුපිට අතුරන වස්ත්‍ර, 10. අස්සත්ථරන: අසුන් පිට අතුරන වස්ත්‍ර, 11. සිය දහස් ගණන් වටිනා කම්බිලි, 12. සියුම් ලෙස නූල් කැට වියන ලද වස්ත්‍ර, 13. සුදු, නිල්, දුඹුරු, කහ, රතු, කළු, මදටිය පැහැයෙන් යුතු වස්ත්‍ර, 14. ලොම් ආදියෙන් කළ වස්ත්‍ර, 15. බොහෝ මල් වැටෙන සේ ලොම්වලින් කළ රතුපාට වස්ත්‍ර, 16. සිංහ-ව්‍යාඝ්‍ර රූප සිතුවම් කොට ලොම්වලින් කරන ලද වස්ත්‍ර, 17. ඒකන්තලෝම: එක් පසෙකින් ලොම් උඩට මතු වනසේ වියන ලද වස්තු, 18. උද්දලෝම: දෙපසින් ලොම් උඩට මතු වන සේ වියන ලද වස්ත්‍ර, 19. කෝසෙය්‍ය: රනින් වැඩ දැමූ පට නූලෙන් වියන ලද වස්ත්‍ර, 20. අජිතප්පවේණී: අඳුන් දිවි සමෙන් කරන ලද වස්ත්‍ර, 21. කදලිමිග: මුව සමින් කළ වස්ත්‍ර යන ආදි වශයෙන් වස්ත්‍ර කර්මාන්ත හෙවත් දියුණු පේෂ කර්මාන්තයක් එකල සමාජයේ තිබුණි. එසේ වුව ද සාණ, භංග, කම්බල, කප්පාසික, කෝසෙය්‍ය යන වස්ත්‍ර වර්ග ම චීවරය සඳහා උචිත වේ. හිසකෙස්, පියාපත්, සම් වර්ග ආදියෙන් කරන ලද වස්ත්‍ර අකැප ය.
චීවරයකට තිබිය යුතු පැහැය පිළිබඳ විවිධ මතවාද ඇත. කළු, රතු, කහ පැහැයන් මිශ්‍ර වීමෙන් ඇති වන වර්ණය වඩාත් උචිත වේ. එම පැහැය නුග ගසෙහි පොතු තම්බාගැනීමෙන් ලබාගත හැකි ය. මේ පැහැය ලබාගත හැකි පඬු වර්ග වත්මන් වෙළෙඳපළේ ඇත. එසේ ඒ පැහැයෙන් යුතු වස්ත්‍ර ද වෙළෙඳපළෙහි ඇත. කසට පැහැය ඉක්මනින් කිලිටි නො වේ; එසේ ම නිතර පඬුපෙවීමට අවශ්‍ය නො වේ; අලංකාරය නිසා ඇති වන තෘෂ්ණාදි කෙලෙස් ඇති නො වේ; දුරට නොපෙනෙන බැවින් අන්තරායන් අඩු වෙයි; මැසි-මදුරුවන්ට අපි‍්‍රය බැවින් එවැනි උවදුරු ද අවම කරගත හැකි ය. චීවරය පඬු පෙවීම සඳහා ගත යුතු වන්නේ මූල රජනං, ඛන්ද රජනං, තච රජනං, පත්ත රජනං, පුප්ඵ රජනං, ඵල රජනං යනුවෙන් දැක්වූ පරිදි ගස්වල මුල්, කඳ, පොතු, කොළ, මල්, ගෙඩි යන කොටස් ය.
චීවරයෙහි ප්‍රමාණය ගැන ද සැලකිලිමත් විය යුතු ය. එය බුදු හිමියන්ගේ චීවරයට වඩා කුඩා විය යුතු ය. එනම්: දිගන් සුගත් වියත් නවයකට සහ පළලින් හයකට වඩා අඩු විය යුතු ය. සුගත් වියත යනු වඩු රියන් එක හමාරකි. ඒ අනුව එවැනි විශාල සිවුරක් අද කිසිවකුට අවශ්‍ය වේ ය යි සිතිය නොහැකි ය. ඉතා කුඩා සිවුරුවලින් සුපටිච්ඡන්ත පරිමණ්ඩල ශික්ෂා පද රැකීම අපහසු වෙයි. එබැවින් තම-තමන්ගේ ශරීරවල ප්‍රමාණයන් අනුව චීවරය සකස් කරගැනීම වඩාත් සුදුසු වෙයි. පස්කඩ, සත්කඩ වශයෙන් සිවුරු කඩ කපා මසා ගත යුතු ය. පසළොස්කඩ, අසූකඩ වශයෙන් ද සිවුරු මසාගනිති. එහෙත් අලංකාරය පිණිස කිසිදු මැස්මක් නොකළ යුතු ය. ඇතැම් භික්ෂූන් වහන්සේලා අලංකාර ලෙස රැලි ගන්වා සිවුරු මසාගෙන සිටිනු දැකිය හැකි ය. එය විනය විරෝධි ය.
‘න නිමිත්ත කථේන අත්ථානංහෝති කඨිනං පරිකථා කථේන අත්ථානංහෝති කඨිනං...’ යනුවෙන් මහාවග්ගපාලියෙහි සඳහන් පරිදි “මෙම රෙදි වර්ගය හොඳ ය... මෙම සිවුර කඨිනයට සුදුසු ය...” ආදිය ප්‍රකාශ කිරීමෙන් ලබන සිවුරත්, “කඨින චීවර පූජාව වටිනා පිංකමකි... වෙන අවුරුදුවල නම් මේ කාලයට කඨින පිංකම් කරනවා... මේ අවුරුද්දේ එයට සූදානමක් නැහැ වගෙයි...” මෙලෙස සඳහන් කිරීමෙන් උපයාගත් සිවුරත් කඨිනයට සුදුසු ය. කඨිනය මව්පියන්ට වුව ද කියා ලබාගැනීම නුසුදුසු ය. ව්‍යංග්‍යයෙන් හෝ ඉල්ලීමක් නොකර ම අහසින් හදිසියේ කඩා වැටුණාක් මෙන්වූ ලැබුණාක් මෙන් වස්ත්‍රය ම කඨිනයට සුදුසු වෙයි. මෙකල බොහෝ විහාරස්ථානවල කඨින පින්කම සංවිධානය කරන්නේ වස් වසා වැඩ සිටි භික්ෂූන් වහන්සේ ම ය. කඨින පෙරහැර සංවිධානය කරමින් පෙරහරෙහි ද ගමන් කරති. අනවශ්‍ය වියදම් කරමින් දායකයන් තළා-පෙළා කඨින පින්කම් කළ යුතු නො වේ. ඉහත විනය කරුණු අනුව එය කිසි සේත් සුදුසු නොවන බව පෙනෙයි. කඨින පිංකමක් සංවිධානය කළ යුතු වන්නේ දායක-දායිකාවන් විසින් ම ය. අවශ්‍ය වන්නේ නම් උපදෙස් දීම භික්ෂූන් වහන්සේසතු කාර්යයකි.
කඨිනය චීවරයක් හෝ වස්තුවක් වශයෙන් පිදිය හැකි ය. වස්ත්‍රයක් නම් එදින ම සිවුරක් මසා අධිෂ්ඨාන කළ යුතු බැවින් අරුණට පෙර පූජා කළ යුතු ය. චීවරයක් නම් “ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස දේම...” යනුවෙනුත්, වස්ත්‍රයක් නම් ‘ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම...” යනුවෙනුත් කියා සඟ සතු කළ යුතු ය. එසේ සඟ සතු කළ වස්ත්‍රය සිවුරක් බවට පත් කිරීම භික්ෂූන් වහන්සේලා විසින් හෝ මැසීම පිළිබඳ දන්නා වෙනත් අයකු විසින් හෝ කළ යුතු ය. සියලු කටයුතු නිමා වීමෙන් පසු ‘ඤත්ති දුතිය’ විනය කර්ම වාක්‍යයක් මගින් සුදුසු භික්ෂූන් වහන්සේ නමකට පවරාදීම වැදගත් විනය කර්මයකි. සුදුසු භික්ෂුවක් වශයෙන් සැලකෙන්නේ එම සීමාව තුළ වස් විසූ වස්සච්ඡේදනය නොවූ, වෙනත් කඨින චීවරයක් නොලද, දුර්වල සිවුරු ඇති, මහා පවාරණයෙන් පවාරණය කළ භික්ෂුවකි. එසේ ම 1. පක්ඛමන්තිකා, 2. නිට්ඨානන්තිකා, 3. සන්නිට්ඨානන්තිකා, 4. නාසානන්තිකා, 5. සවනන්තිකා, 6. ආසාවච්ඡේදිකා, 7. සීමාතික්කංන්තිකා, 8. සහුබ්හාරා යන මෙම කරුණු පිළිබඳ දැනගෙන සිටීම ද සුදුසුකමකි.
චීවර අතරින් උතුමි චීවරය වන්නේ කඨින චීවරය යි. එය අට මහා කුසල්වලින් පළමුවැනි කුසලය යි. එහි ඇත්තේ මූල්‍යමය වටිනාකමකට වඩා විනයානුකූල වටිනාකමකි. කඨින චීවරක් පිදිය හැකි වන්නේ ද එක් වසරක දී එක් විහාරස්ථානයක එකක් පමණි. පූජා කරන දායක-දායිකාවන්ට මහත් ඵල, මහා ආනිසංස ලැබෙන අතර කඨින චීවරයක් ලද භික්ෂුවකට ද විශේෂ වරප්‍රසාද කිහිපයක් හිමි වෙයි. අනාමන්තචාරෝ: විහාරයෙහි වසන භික්ෂූන්ගෙන් නොවිමසා ගෙවල්වලට යෑමට කඨින චීවරය ලද භික්ෂුවට හැකියාව ලැබෙයි. අසමාදානචාරෝ: නිසගි-පචිතිවලට අයත් දෙවන ශික්ෂා පදය යි. කඨිනය ලද භික්ෂුවකට අධිෂ්ඨාන කරගත් තුන්සිවුරෙන් වෙන් ව රාත්‍රිය ඉක්මවිය හැකි ය. ගනභෝජනං: භෝජක වග්ගයේ දෙවන ශික්ෂා පදය යි. ගනභෝජනය වැළඳීමෙන් ඇවැත් සිදු නො වේ. යාවදත්ත චීවරං: නිසගි පචිතිවල පළමු සික පදය යි. දස දිනකට වඩා අතිරේක සිවුරු දැරීමෙන් සිදු වන ඇවතින් නිදහස් වෙයි. යෝච තත්ථ චීවරුප්පාදෝ සෝනේසං භවිස්සති: විහාරයට ලැබෙන වස්ත්‍ර, චීවර ආදිය කඨින චීවරය ලද භික්ෂුවට අයත් වේ. මෙම පංච ආනිසංසයන් ලබාගත හැකි වන්නේ කඨින චීවරය ලැබූ දිනයේ සිට හේමන්ත ඍතුවේ අවසන් දිනය වූ මැදින් පුර පසළොස්වක දිනය දක්වා පමණි.
චීවරය වනාහි වසර දහස් ගණනක් තිස්සේ නොවෙනස් ව පවතින ඇඳුමකි. ඇඳුමක් වශයෙන් සඳහන් කළ ද එය උතුම් පූජනීය වස්තුවක් වශයෙන් බෞද්ධයෝ සලකති. චීවරයක් දැරූ කවරකුට හෝ ගරු කිරීම බෞද්ධයන්ගේ සිරිතයි. මෙය වටහාගත් ඇතැමුන් චීවරධාරීන් වශයෙන් චීවරයට මුවා වී විවිධ අපචාරවල යෙදෙන අවස්ථා ගැන අසන්නට ලැබෙයි. චණ්ඩාශෝක නමින් හැඳින්වූ අශෝක රජතුමා දැහැමියකු බවට පත් වූවේ චීවරයක් දැරූ, සන්සුන් ඉඳුරන්ගෙන් යුතු කුඩා සාමණේර නමක් දැකීමෙනි. එය චීවරයට එක් වූ ආධ්‍යාත්මික පවිත්‍රත්වය නිසා සිදු වූවකි. ගැමුණු කුමරු සහ තිස්ස කුමරු අතර සටනක් ඇති වීමට සූදානම් වූ විට, භික්ෂූන් වහන්සේලා පන්සිය නමක් එතැනට වැඩම කොට සටන සමථයට පත් කළ අවස්ථාවේ, ගැමුණු කුමරු පැවසුවේ ‘ඔබ වහන්සේලා වැඩම කළේ කුමට ද? සත් හැවිරිදි කුඩා සාමණේර නමක් පැමිණියත් අප අතර සාමය ඇති වන්නේ ය’ යනුවෙනි. එය චීවරයෙහි අසීමිත බලය යි. චීවරයක් දැරූ භික්ෂුව සිංහ රාජයකු මෙන් එඩිතර ය. වාරියපොළ සුමංගල හිමි, ඉහගම තෙරුන් වහන්සේ, කුඩාපොළ හිමි වැනි හිමිවරුන්ගේ චරිත කථා ඇසුරෙන් ඒ බැව් මැනවින් පසක් වෙයි. එසේ ම චීවරය දැරූ භික්ෂුව ස්වර්ණ හංසයකු මෙන් නිදහස් ය.
රාගය ආදි කෙලෙස් කසටවලින් යුතු, ඉන්ද්‍රීය දමනයෙන් සහ වාග් සත්‍යයෙන් තොර වූවෝ චීවරය දැරීමට සුදුසු නො වෙති. බිඳුණු සිල් ඇති, දුස්සීලයෙකියි ප්‍රසිද්ධ වූ, අසංවර වූ, පස්කම් සැප කෙරෙහි ගිජු වූ පැවිද්දෝ චීවරයට සුදුසු නො වෙති. නොසන්සුන් සිත් ඇති, අධික මානයෙන් යුතු, නුවණ නැති පුද්ගලයා සුදු වස්ත්‍රයකට පමණක් සුදුසු වෙයි. නොසන්සුන් සිතක් සහිත, චපල ගති ඇති පැවිද්දා චීිවරයක් දැරුව ද හෙතෙම සිංහ සමක් පෙරවාගත් වඳුරකුට සමාන ය. (කස්සපථේර ගාථා).
යමෙක් කෙලෙස් කසට දුරු කර, ශීලාදි ගුණයෙන් යුක්ත වේ නම්, ඉන්ද්‍රීය දමනයෙන් සහ සත්‍යගරුක බවෙන් යුතු වේ නම්, හෙතෙම චීවරයට සුදුස්සෙක් වෙයි. යමෙක් සිල්වත් වේ ද, රාගය දුරු කළේ ද, සංසිඳුණු පිරිසිදු සිතක් ඇත්තේ ද, හෙතෙම චීවරයට සුදුස්සකු බවට පත් වේ. චීවරයක් පරිභෝග කළ යුතු වන්නේ අලංකාර වීමට නො වේ; එසේ ම උසස් ලෙස පෙනී සිටීමට ද නො වේ. එවැනි අදහසකින් චීවරය දරන්නේ නම් තණ්හාව, මානය, සක්කායදිට්ඨිය වර්ධනය වේ. එය මග ඵල කෙසේ වෙතත්, පැවිදි බව රැකගැනීමට ද බාධාවකි. චීවරය දැරිය යුතු වන්නේ ශීතල–උණුසුම දුරු කරගැනීමටත්, මැසි-මදුරු, පැත්තෑ, ගෝනුසු වැනි සතුන්ගෙන් සිදු වන හිරිහැර වළක්වාගැනීමටත්, ලජ්ජා ස්ථාන වසාගැනීමටත් යන අදහස නිරතුරු ව ම සිතෙහි දැඩි සේ දරාගෙන ය. එවැනි හැඟීමක් ඇති වූ විට තණ්හාව, මානය ඇති නො වේ; චීවරය පරණ ය, අවලක්ෂණ ය, කියා සිතෙහි දොම්නසක් ද ඇති නො වේ. හෙතෙම නිවැරදි ව චීවරය පරිභෝජනය කරන අයකු බවට පත් වෙයි. 

මස් මාංශ අනුභවය පිළිබඳව බෞද්ධ සංකල්පය

මේ ලිපියේ පරමාර්ථය මස් මාංශ අහාරයට ගැනීමෙන්  වැලැක්වීමට හෝ ඒ සඳහා පෙළඹවීමට අනුබල දීමක් නොවන අතර , අද බොහෝ දෙනෙකුන් මහා ප්‍රශ්නයක් කරගෙන තියෙන මෙම මාතෘකාව පිළිබඳව සරලව මෙන්ම ධර්මානුකුලව විමසා බැලීමක් පමණි.

මස් මාංශ අහාරයට ගැනීම බෞද්ධයන්ට සුදුසුද යන සැකය ඇතිවීමට මුලික හේතු වෙලා තියෙන්නේ, මස් මාංශ අහාරයට ගැනීම නිසා ; ප්‍රාණඝාත අකුසලය සිදුවීම හෝ එයට  අනුබල දීමක් සිදුවීම, සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි වීම සහ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවීම යන කාරණා  මෙන්ම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකයි.

මේ සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයන් ආමගන්ධ සුත්‍රය, ජිවක සුත්‍රය, මහා සිහනාද සුත්‍රය ආදිය පරිශිලයන කිරීමෙන් ලබාගත හැකිවන අතර විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය ද මේ සම්බන්ධයෙන් ඉතා වටිනා කරුණු ගෙනහැර දක්වනවා. නමුත් මෙම ලිපියෙන් ඉහත සඳහන් දේශනා මුළුමනින්ම ගෙනහැර දැක්වීමක් නොකරන අතර, අවැසි කෙනෙකුන් හට එම ග්‍රන්ථයන් පරිශීලනය කර කරුණු දැනගත හැක.

මස් මාංශ ආහාරයට ගැනීම නිසා ප්‍රාණඝාතයට අනුබල දීමක්  සිදුවේද?

මේ ගැන දැනගැනීම සඳහා ප්‍රාණඝාත අකුසලය සිදුවෙන ආකාරය ගැන පැහැදිලි දැනීමක් ඇති කරගත යුතුය.
කිසියම් සත්වයකුගේ ජීවිතය, යම් කෙනෙකුගේ උපායක් මගින් අවසන් කිරීම ප්‍රාණඝාත වෙයි, පර පණ නැසීම යනුවෙන්ද මෙය හඳුන්වා ඇත. මෙලෙස ප්‍රාණඝාත අකුසලය සිදුවීමට නම් කරුණු කාරනා පහක් (5) සම්පුර්ණ වෙන්න ඕන.
1. පණ ඇති සතෙකු වීම
2. පණ ඇති සතෙකු  බව දැනීම
3. මරන්නට කැමති සිත
4. මරන්නට උපායක් සැකසීම
5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

මෙම අංග පහ සම්පුර්ණ උනේ නැතිනම් ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ නැහැ. මේ ගැන උදාහරණ ඔබ බොහෝ අසා ඇතිවාට සැක නැහැ. ගමන් බිමන් යාමේදී පෑගී මැරෙන සතුන්, පහනක් පත්තු කිරීමේදී එම පහනේ දල්ලට හසු වී මැරෙන සතුන් ආදිය නිසා ප්‍රාණඝාත අකුසලය සිදුනොවේ. නමුත් යම් අයෙකු ගමන් කිරීමේදී මගේ පයට පෑගී සතුන් මැරේවා යන අදහසක් ඇතිකරගත හොත් පයට පෑගී මැරෙන සතුන් ගන්නට ප්‍රාණඝාත අකුසලය සිදුවේ. පහනක් දැල්වීමේදී ද මේ පහන් දැල්ලට අසුවී සතුන් මියදේවා යන අදහසින් පහනක් දල්වුවහොත් එම දල්ලට හසුවී මියයන සතුන් ප්‍රමාණයට ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. නමුත් යම් විටක මෙසේ සිතුවහොත් "මේ දැල්ලට මදුරුවන් හසුවී මැරේවා." එවිට එම දල්ලට හසුවී මැරෙන මදුරුවන් නිසා ප්‍රාණඝාත අකුසලය සිදුවුවත් වෙනත්  සතුන් එම දැල්ලට හසුවී මැරුණද, ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

ප්‍රාණඝාතයේ මුලික අංග ගැන මෙසේ දැනගත යුතු අතර ප්‍රාණඝාතයේ ප්‍රයෝගයන් සයක් (6) වේ.
1. ස්වාහස්තික ප්‍රයෝගය - මැරීම සඳහා ගැසීම්, කැපීම ආදිය තම අතින්ම සිදු කිරීම
2. ආඥා ප්‍රයෝගය - අනෙකෙකු ලවා කරවීම
3. නිස්සර්ගික ප්‍රයෝගය - ආයුධය දමා ගැසීම, වෙඩි තැබීම වශයෙන් තමාගේ අතින් මුදාහැර මැරීම.
4. ස්ථාවර ප්‍රයෝගය - උගුල් ඇටවීම, තුවක්කු බැඳීම ආදිය
5. විද්‍යාමය ප්‍රයෝගය - සුනියම් කිරීම්, වස්කවි ආදිය මගින් මරණයට පත් කිරීම.
6. ඍධිමය ප්‍රයෝගය -  අමනුෂ්‍යයන් විසින්  බියකරු වේශයක් මවාපෑමෙන්  ආදියෙන් වන මරණය.

ආඥා ප්‍රයෝගය සය ආකාරයකින් සිදුකල හැක.
1. වස්තුව: යනු මරනු ලබන සත්වයාය. යමෙකු කුකුලෙකු දක්වා මරණ්නට අණ කල විට නොවරදවාම එම සත්වයා මරනු ලැබුවහොත් අණ කල සහ මරණය සිදුකල දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවේ. එම සත්වයා නැතිව වෙනත් සතෙකු මරුවහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය  සිදුවේ.
2. කාලය: මරණය සිදුකිරීමට නියම කරණ කාලය. කාලය ඉක්ම ගියහොත් මරණය සිදුකල කෙනාට පමණක් ප්‍රාණඝාත අකුසලය  සිදුවේ. නැතහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය  සිදුවේ.
3. අවකාශය: යනු මරණය සිදුකල යුතු තැන.(අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
4. ආයුධය:  යනු මරණය සිදුකල යුතු  ආයුධය වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
5. ඉරියවුව:  මරනු ලබන සත්වයා සිටිය යුතු ඉරියවුව වේ. (අකුසලය සිදුවන අයුරු පෙර ලෙසම සලකන්න)
6. ක්‍රියාව : මැරීම සඳහා කරණ උපක්‍රමය. වෙඩි තැබීමට අණ කල කල්හි එසේ කිරීමෙන් මරණයට පත්කළහොත් දෙදෙනාටම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, වෙනත් ක්‍රමයකින් මරණයට පත්කළහොත් අණ කල තැනැත්තා මිදෙන අතර ක්‍රියාව කල තැනැත්තා හට පමණක් අකුසලය සිදුවේ.

මේ අනුව ප්‍රාණඝාත අකුසලය සිදුවන ආකාරය පැහැදිලි වෙන අතර වෙනත් කිසිම හේතුවක් නිසා  ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. මෙයට අමතර හේතුවක් නිසා  ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ යයි ගිහි හෝ පැවිදි කෙනෙකුන් ප්‍රකාශ කරන්නේ නම් එය බුද්ධ වචනය ඉක්මවා යෑමක් වනු ඇත.

දරුවෙකු නිදා සිටින විට, ඒ අසල කැරකෙන මදුරුවෙක් දකින මව ඒ මදුරුවා දෂ්ට කිරීමෙන් දරුවාට අනර්ථයක් සිදුවේ යැයි සිතා එම මදුරුවා මරුවහොත්,  ප්‍රාණඝාත අකුසලය සිදුවන්නේ එම මදුරුවා මැරුව මවට පමණි. නමුත් මේ මදුරුවා මැරුවේ දරුවා නිසා උවත් එම දරුවාට එයින්  ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ. එසේ දරුවාට  ප්‍රාණඝාත අකුසලය සිදු නොවන්නේ, මා වෙනුවෙන් මේ සතා මරන්න යයි අණ කිරීමක් හෝ, මා නිසා මේ සතා මැරුවොත් හොඳා යයි චේතනාවක් නො නොමැති බැවිනි.

මස් මාංශ පිළිබඳවද මේ කාරණය මේ ආකාරයෙන් ම වේ. මස් අනුභව කරණ අය වෙනුවෙන් මැරුවද, ඒ අනුභව කරණ අය විසින් අණ කිරීමක් හෝ අවම වශයෙන් මා වෙනුවෙන් මේ සතා මරන්නේ නම් හොදයයි චේතනාවක් හෝ නොමැති නම්, අනුභව කරන්නාට හෝ මිලදී ගන්නාට  ප්‍රාණඝාත අකුසලය  සිදු නොවේ.

එපමණක් නොවේ අද ශාකමය ආහාර නිපදවිමේදීද ඇති විශාල වශයෙන් කෘමි නාශක භාවිතා වනවා. ඒ නිසා බත් කටක්  කන්නත් බොහෝ සතුන්ගේ ජිවිත අහිමි  වන බව දන ගැනීම වැදගත් වෙනවා. මස් කෑමෙන් වක්‍රාකාරව ප්‍රාණඝාත අකුසලය සිදුවෙනවා යයි සිතනා  අය,බත් කටක්  කැවත් ප්‍රාණඝාත අකුසලය සිදුවෙන්න පුලුවන්ද යන කාරණයත් විමසීම වටිනවා.

මස් මාංශ අනුභව කරන්නාට සියලු සතුන් වෙත මෛත්‍රිය කිරීමට නොහැකි ද?

මේ පිළිබඳව කතා කිරීමට පෙර සත්වයා  යනු කවරේදැයි විමසා බැලීම සුදුසු වේ. සියලුම සත්වයන් සෑදී ඇත්තේ නාම රූප කොටස් දෙකින් වේ. මෙය නැවත   රුප, වේදනා, සංඥා, සංකාර, විඥාන ලෙස බෙදිය හැක. (මේ එක එක අංගයන් උපාදාන ස්කන්ධ ලෙස දැක්වේ. ඒ පිළිබඳව වෙනත් අවස්ථාවක විමසා බලමු.)

රුප කොටස නැවත ආපෝ, තේජෝ, වායෝ, පඨවි, අවකාශ ලෙස බෙදිය හැක. (මෙය නැවතද රුප කලාප ලෙස බෙදිය හැකි වුවද මේ අවස්ථාවට මේ ප්‍රමාණවත් වේ)

යම් සත්වයකු මරණයට පත්වන විට මෙම නාම රුප දෙක බෙදී යයි, එම අවස්ථාවේදී  නාම කොටස නැතිවී යන අතර සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටස පමණක් ඉතිරි වේ. 

එනම් මස් මාංශ යනු මෙසේ නාම කොටස නැතිවූ, සතරමහා ධාතුන්ගෙන් සකස් වූ රුප කොටසක් පමණි. එහිද ශාකමය ආහාරයකද වෙනසක් නැත, දෙකේම ඇත්තේ සතරමහා ධාතුන්ගෙන් සකස් වූ, සුළු කාලෙකින්  කුණුවී විනාශ වී යන කොටසක් පමණි.

කරුණු කාරනා එසේ හෙයින් සතුන් වෙත  මෛත්‍රිය පහල කිරීමට සතරමහා ධාතුන්ගෙන් සකස් වූ ආහාරයක් බලපෑම් සිදු කරනවා යයි සිතීම මිත්‍යාවක්. මෛත්‍රිය පහල  කරගත යුත්තේ සිතෙහි මිස ආහාරයෙහි නෙවේ. එමෙන්ම මෛත්‍රිය පහල කල යුත්තේද සත්වයන් හට මිස මළකුණු කෙරෙහි නොවේ.  මස් කැබැල්ලට, කරවල, උම්බලකඩ කැබැල්ලට මෛත්‍රිය පහල කරණ බොහෝ දෙනෙක් ජිවත් වන සතුන්  වෙත මෛත්‍රිය පහල කරන්නේ නැහැ. අතේ වහන  මදුරුවා සතෙක් බව හිතන්න. ඌ චප්ප කර දැමීමෙන් නම් අනිවාර්යයෙන්ම ප්‍රාණඝාත අකුසලය සිදුවන අතර, ඔබගේ මෛත්‍රිය නැති වෙනවා. සියලු සතුන් කෙරෙහි මෛත්‍රිය ඇත්නම් මදුරුවෙක්, කුබියෙක් හෝ මරණයට පත්කරන්න බැහැ.

ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇතිවේ ද?

ශිලය ගැන බුදුරජානන් වහන්සේ තරම් දන්නා තවත් කෙනෙක් නැහැ. එතරම් ශිලය ගැන දන්නා බුදුරජාණන් වහන්සේ ගිහියන්ට පනවා ඇති නිත්‍ය ශිලය වන්නේ පංච ශීලයයි. එයට අමතරව උපෝසථ අෂ්ඨාංග ශිලය සහ ගිහි දස ශිලය පනවා තිබෙනවා. මින් එකම සිල් පදයකවත් මස් මාංශ කෑමෙන් වැලකීම නම් සිල් පදයක් දක්වලා නැහැ. ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් උන් වහන්සේ අනිවාර්යයෙන්ම එලෙස වූ සිල් පදයක් පනවනවා. 

බුදුරජාණන් වහන්සේ පැනවූ සිල්පද ඉවත් කිරිමටත්, නොපැනවූ සිල්පද පැනවීමටත් කිසිවෙකු උත්සාහ කරනවානම්, එය බුදු රජාණන් වහන්සේ ඉක්මවා යාමක් ලෙස දකින්න වෙනවා.

මේ ගැන කතා කිරීමේදී අපි සලකා බලන්න ඕන දෙයක් තමයි නිඝන්ථ නාථ පුත්‍ර සහ ඔහුගේ අනුගාමිකයන්. ඔවුන් ශාකමය ආහාර පමණක් ගනිමින් සියලු සතුන් වෙත මෛත්‍රිය පහල කරනවා කියපු කොටසක්. නමුත් ඔහු බුදුරජාණන් වහන්සේ  කෙරෙහි කොතරම් ද්වේෂයකින් කටයුතු කලාද කියන කාරණය ඉතාම් ප්‍රචලිත දෙයක්. ඉතින් ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා නම් ඔහුට ඒ ආකාර ද්වේශ සහගත තත්වයන් ඇතිවන්නට හැකියාවක් නැහැ.

තවද මේ කරුණ ගැන සැලකීමේදී අපි විමසා බලන්න ඕන සුත්‍රයක් තමයි මහා සිහනාද සුත්‍රය. මෙහිදී බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ දුෂ්කරක්‍රියා කාලය ගැන සැරියුත් මහා රහතන් වහන්සේට පවසමින් කියා සිටිනවා එම දුෂ්කරක්‍රියා කාලය තුල තමන් වහන්සේ ආහාරය ගත් ආකාරය ගැන. එසේ පවසමින් උන් වහන්සේ පැහැදිලි කරනවා එසේ ආහාරය නිසා තමන්ට කිසිම විශේෂිත වූ අධිගමනයක් නොලැබූ බව.

මේ කරුණු කාරණා සැලකීමෙන් පෙනීයන්නේ ශාකමය ආහාර ගැනීම නිසා විශේෂිත සිල්වත් බවක් ඇති වෙනවා යන කරුණ මිත්‍යාවක් බවත්, යමෙක් එය එලෙස වෙයි සිතා එම මත අතනොහැර හිටීම සීලබ්බත පරාමාස ලෙස හඳුන්වන වැරදි  වෘතයන් ට අයත්  බවයි. එයද එකල සීල විසුද්ධිය වෙනුවෙන ඇතැම් අය පැවැත්  වූ ගෝ වෘත, අජ වෘත, සුනඛ වෘත වැනිම වෘතයක් බවයි.


බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා තිබේද?

බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුමත කල අවස්ථා බොහොමයක් විනය පිටකයට අයිති වන මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධ වග්ගය පරිශිලයන කිරීමෙන් සොයා ගත හැකියි. එහි එක්තරා අවස්ථාවකදී, අමනුෂ්‍ය දෝෂයකදී ආතුරයාට අමු මස් කෑමට හෝ අමු ලේ බිමට සිදුවුවහොත් එය අනුමත කරමි කියා දක්වා ඇත. වැඩි විතර මේ ග්‍රන්ථයන් පරිශීලනය කිරීමෙන් ලබා ගන්න.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ වාරණය කර නැතිද?

බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග දහයක් අනුභව කිරීම තහනම් කර ඇති බව ද මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධය ඇසුරෙන් සොයාගන්න පුළුවන්. පහත තියෙන්නේ ඒ මස් වර්ග දහය.
1. මිනි මස්
2. අලි මස්
3. අශ්ව මස්
4. බලු මස්
5. සර්ප මස්
6. සිංහ මස්
7. ව්‍යාඝ්‍ර මස්
8. දිවි මස්
9. වලස් මස්
10 තරස් මස් (සමහර තැනෙක  මෙය කරබානා වලසා යනුවෙන් සඳහන් කරයි)

බුදුරජාණන් වහන්සේලාගේ වක්‍රාකාර දේශනා විලාශයක් නැත. ධර්මයේ ගුණ ගැන කියවෙන ස්වාක්ඛාත ගුණයේ තේරුම වන්නේද, මුල මැද  අග පිරිසිඳු, සැගවුන අරුත් නැති, අර්ථ ව්‍යංජන සහිත... ආදී වශයෙනි. එසේ හෙයින් මස් වර්ග 10ක් පමණක් තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේද අනිකුත් මස් මාංශ අනුභවයට තහනමක් නැති බවය. මේ වර්ග 10 තහනම් කලේද විටින් විට යම් යම් හේතුන් මත වේ.

බුදු පසේබුදු මහරහතන් වහන්සේලා වැනි උත්තමයන් මස් මාංශ අනුභව කරාවිදැයි යන සැකය

මෙය නම් සැක නොකළ යුතුම කාරණයකි. උන්වහන්සේලා ආහාරය අනුභව කරනුයේ එය ආහාරයක් වශයෙන් පමණක් සලකාගෙන මිස, අප මෙන් රස තෘෂ්ණාවෙන් නොවේ.  එම අවස්ථවේදී උන් වහන්සේලාට එම ආහාරයේ ඇත්තේ ධාතු සමුහයක් පමණි. මේ බව ආහාර අනුභවයට පෙර භික්ෂුන් වහන්සේලාට ඒ  ආහාරය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කල යුතු අන්දම ගැන පනවා ඇති අයුරු සලකා බැලීමෙන් පැහැදිලි වෙනවා.

බුදුරජාණන් වහන්සේ මස් මාංශ පිළිගත් බව පිළිබඳව කියවන ජිවක සුත්‍රය සීහ සේනාපති ගේ දානය ගැන බොහෝ විට අසන්නට ලැබෙනවා. මේ ඒ වැනි තවත් අවස්ථාවක්, 
එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කුටාඝාර ශාලාවෙහි වැඩ වසන කල, සොවහන් පලයෙහි පිහිටි උග්ග නම් ගෘහ පතියා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වෙනුවෙන්  දානයක් සකස් කරලා එම දානය පිලිගන්න්වන අවස්ථාවේදී මෙලෙස ප්‍රකාශ කරනවා.

"ස්වාමිනි මා විසින් ඔබ වහන්සේ ගෙන්ම අසන ලද ධර්ම කරුණක් තියෙනවා, ඒ තමයි තමන් මනාප දේ දන් දෙන තැනැත්තා මනාප දෙයම ලබන්නේය" යන්නයි එබැවින් භාග්‍යවතුන් වහන්ස මනාප දේම ලබනු පිණිස මට මනාප දේම සහිතව මේ දානය පිළියෙළ කරණ ලද්දේය.
ඔය විදිහට කියන මේ උග්ග ගෘහ පතියා  ඒ දේවල් වල නම් කිය කියා මේ දානය පුජා කරනවා. මෙහෙම් පුජා කරණ අතෙරේ දී  
"භාග්‍යවතුන් වහන්ස, මම ඩෙබර පල මුසු කල ඌරු මසට ඉතා මනාපයි, එබැවින් භාග්‍යවතුන් වහන්ස මා කෙරේ අනුකම්පා කර මේ ඩෙබර පල මුසු කල ඌරු මස පිළිගන්නා සේක්වා"
භාග්‍යවතුන් වහන්ස ඔහු කෙරෙහි අනුකම්පා උපදවා පිළිගත් සේක.

මෙය අංගුත්තර නිකායේ මනාපදායි සුත්‍රයේ සඳහන් කරුණක්.

මස් මාංශ අනුභවය මෙන්ම ආහාරය  අකුසලයක් වන අයුරු?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කල මේ ශ්‍රී සද්ධර්මය අප භාවිතා කල යුත්තේ අපහේ සිතේ ඇතිවන ලෝභ, ද්වේශ මෝහ යන අකුසල මුලයන් දුරුවන ආකාරයට බව අපි දන්නවා.  මස් මාංශ අනුභවය ඉතා ගිජු කමින් සිදුකරණ විට ඒ රසය වෙනුවෙන් පහල වන්න වූ ලෝභ සහගත සිතුවිලි නිසා අනිවාර්යයෙන්ම අකුසල් සිදුවෙනවා. 

මස් මාංශ පමණක් නොවේ ශාකමය ආහාර සඳහා උවත් අධික ගිජු බවක් දක්වනවා නම් එතනදිත් පහල වන්නේ අකුසල් මුලයක් වන ලෝභ සහ ගත සිතුවිලි. එබැවින්  මොනයම් හෝ ආහාරයක් ගැනීමේ දී ඒ ගැන අධික ලෙස ගිජු  නොවී එම ආහාරය ගැනීම ඉතා වැඩදායක වෙනවා.

එමෙන්ම ආහාරය ගැනීමට පෙර එම ආහාරය ගැන තමන්ට හැකි පමණින් ප්‍රත්‍යවේක්ෂා කිරීමක් කරන්න 

" මා මේ ආහාරය ගන්නේ රස විදීමට නොවේ, ශරීරය වර්ධනය කිරීමට නොවේ,  ජවය පිනිස නොවේ, ඇති වූ කුස ගින්න නිවා ගැනීම පිණිසත්, කාය ජිවිත දෙක ආරක්ෂා කර ගෙන මේ ලද ජිවිතයෙදී ධර්මය අවබෝධ කිරීම පිණිසත්  පමණයි. මේ ආහාරය පඨවි, ආපෝ, තේජෝ, වයෝ යන සතරමහා ධාතුන්ගෙන් සැදුනක්. ශරීරයට ඇතුල් වී සැනෙන් මේ ආහාරය අපවිත්‍ර බවට පත් වන්නක් .."

ඔය ආකාර වූ ප්‍රත්‍යවේක්ෂා කිරීමක් භික්ෂුන් වහන්සේලා ට අනිවාර්යය කර ඇති නමුත්, ගිහියන්ට උවත්   මෙහෙම හිතන්න පුලුවන්නම් ඕනෑම නීරස ආහාරයක් ඉතාම පහසුවෙන්, සතුටෙන්  අනුභව කරන්න පුළුවන්. ආහාරයක රස විදීම කිසිසේත්ම නොකළ යුත්තක් යැයි වරදවා වටහා නොගන්න. ඔබ ගන්නා ආහාරය උපරිම ආකාරයෙන් රස විදින්න, නමුත් ඒ රසයට ගිජු නොවීමට උත්සාහ කරන්න.  ආහාර අනුභවයේදී අකුසල් සිදුවන තවත් අවස්ථාවක් තමයි එම ආහාරයේ රසය මද වීම, ලුණු ඇඹුල් අඩු වැඩි වීම වැනි අවස්ථාවන් හීදී ඇතිවන ද්වේශය.  මෙයත් ආහාරය නිසා අකුසල් සිදුවන අවස්ථාවක්. ඉහත දැක්වූ ආකාරයට  ආහාරය ගැන නුවණින්  සලකා ආහාර ගැනීමට හැකිනම්, ආහාරය නිසා ඇතිවන අකුසල් සහගත සිතිවිලි නැති කරගන්න පුළුවන්.

මේ ආකාරය හැකිනම් එක දවසක් ආහාරය පිලිබදව නුවණින් මෙනෙහි කරලා බලන්න. මේ ධර්මය තමන්ම අත් දකින්න ඕන දෙයක් එහි අසිරිමත් භාවය එයයි.

මස් මාංශ අනුභව කිරීම හෝ නොකිරීම  තනිකරම පුද්ගලික කාරණයක්. එලෙස අනුභව කළා කියා ඔවුන්ව ගර්හාවට ලක් කිරීම නොකළ යුතු අතර ශාක ආහාර පමණක් අනුභව කරන්නවුන් ඒ පිළිබඳව  අනවශ්‍ය මාන්නයක්ද ඇති නොකර ගත  යුතුය.
සැමරැම්

කුමක්‌ නමුත් යහපත් වැඩකට එකතු වෙන්න

නිවැරැදි කර්ම මංගල කරුණකි
ආචාර්ය පූජ්‍ය මිරිස්‌සේ ධම්මික හිමි

ලැබූ මෙම මනුෂ්‍ය ජීවිතය ඉතාමත් වටිනා එකකි. මෙම මනුෂ්‍ය ජීවිතය නිකම්ම ලැබුනු දෙයක්‌ නොවේ. බලවත්වූ කුසලකර්මවල ප්‍රතිඵලයකි. ලැබූ මෙම වටිනා ජීවිතයේ තේරුම නම් ආහාර ගැනීම, නිදාගැනීම සහ වර්ගයා බෝ කිරීඹ පමණක්‌ නොවේ. ජීවිතය පහසුවෙන් පවත්වා ගැනීමට ආහාර, වස්‌ත්‍ර, නිවාස සහ බෙහෙත් අවශ්‍යය. ඒ සඳහා මනා අධ්‍යාපනයක්‌ ලැබීමද, ධාර්මික රැකියාවක්‌ කිරීමද අවශ්‍යය. ජීවිතය පවත්වා ගැනීමට පමණක්‌ම යමක්‌ කරනවාට වඩා ගැඹුරු යමක්‌ ජීවිතයට ඇතුළත් කරගත යුතුය. එනම් තමාගේ මනසද සුවපත් කරන සහ අන්‍යයන්ටද යහපතක්‌ සිදුවන යමකට සම්බන්ධ වීමය. මෙය දානය මුල්කොට ගත් පාරමිතා ගුණයකි. එමගින් බුදුදහමෙහි ඉවත් කළ යුතු බව පෙන්වා දෙන ලෝභ, දොaස සහ මෝහයන්ගේ පාලනයක්‌ සහ තුනීවීමක්‌ සිදුවීමෙන් තමාගේ සිතේ කුසල් වැඩේ. එමෙන්ම බොහෝ පිරිසකට සෙත සැලසෙයි. මෙය 'ගෙවී යන ජීවිතයෙන් නිවැරැදි ලෙස ප්‍රයෝජනයක්‌' ගැනීමකි.
සිත, කය සහ වචනයෙන් නිවැරැදි දේවල් සිදුකිරීම නිරවද්‍ය කර්මයෝය. ඔබගේ එදිනෙදා ගේදොර වැඩටද, රැකියාවේ හෝ ව්‍යාපාරයේ කටයුතුවලටද, දරුවන්ගේ කටයුතුවලටද සහ ඥතීන්ගේ කටයුතුවලටද අමතරව අනෙකුත් ආගමික හෝ සමාජ සේවාමය පුණ්‍ය කටයුත්තක නිරතවීම මින් අදහස්‌ කෙරේ. ආධ්‍යාත්මික වර්ධනයක්‌ මගින් තම සිත නිවා ගැනීමද බුදුදහමේ උගන්වන සදාකාලික ප්‍රඥ වැඩෙන ආකාරයට කටයුතු කිරීම යහපත්ය.

එනම් අඩුම තරමේ පුරපසළොස්‌වක පොහෝදිනවලදී උපෝසථ සීලයන්හි පිහිටීමයි. අනෙකුත් දිනවල හොඳ හෝ නරක ඕනෑම දෙයක්‌ සිදුකොට පොහොයට පමණක්‌ සිල් සමාදන්වීමෙන් සියල්ල නිවැරැදි වේ යෑයි මෙමගින් අදහස්‌ නොකෙරේ. සැබවින්ම ඔබ නිති පන්සිල් ආරක්‌ෂා කරන අයෙක්‌ බවට පත්වීමට හැකිතාක්‌ දුරට උත්සාහ ගත යුතුය. මාසයක්‌ පුරා රැකියාව, ගේදොර සහ සමාජයීය කටයුතු සමග වෙහෙසුන බොහෝ දෙනකුට මෙම සිල් දිනය සිත, කය, වචනය නම් වූ මාර්ග තුනේම විවේකි දිනයක්‌ වන අතර සිත පාලනයට පුරුදු කරන අවස්‌ථාවක්‌ වනු ඇත. මෙම සිතේ ඇතිවන සංවරය එදිනෙදා පැවැත්මේදී ඔබට පහසුවක්‌ බවට පත්වෙයි. එනම් ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රසංසා, සැප-දුක නම් වූ අෂ්ඨ ලෝක ධර්මයට මුහුණපෑමේදී නොසැලී, ධෛර්යවන්තව කටයුතු කරන්නට අවස්‌ථාව ලැබීමයි. සිල් සමාදන්වී ගත කරන කාලයේදී ඔබ නිරතවන බොහෝ කාර්ය මෙයට හේතුවෙයි. එනම් ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, භාවනාව, දහම් පොතපත කියවීමද මෙයට ඇතුළත්ය. එමෙන්ම පොහෝ දිනවල බොහෝ ආරාමවල දන්දීම්, සතුන්ට අභය දානය දීම්, දහම් පුස්‌තක, දහම් පත්‍රිකා බෙදාදීම්, නැතිබැරි අයට උපකාර කිරීම් ආදියද සිදුකෙරේ. ඔබට හැකි අයුරකින් එම යහපත් වූ ක්‍රියාවන්ට සම්බන්ධවීමට හැකිනම් එය පිනකි. එමෙන්ම කුසලයකි.

එමෙන්ම සීල, සමාධි, ප්‍රඥ ගුණ වඩන අය සහ එසේ නොකරන අය අතර මහත්වූ වෙනසක්‌ දක්‌නට ලැබේ. සීලාදී මඟට පුරුදු වූ අයගේ වචනයේ සහ හැසිරීමේ පටන්ම පැවැත්ම සන්සුන්ය. කටයුතු නිරවුල්ය. එසේ නොවන අය බොහෝවිටෙක දඩබ්බර සහ හික්‌මීමකින් තොරව කටයුතු කරති. හැසිරෙති. සිල් සමාදන් වන සෑම අයෙක්‌ම මුqලුමනින්ම නිවැරැදි බවත්, එසේ නොවන සියලු දෙනා නොහික්‌මුණු අය බවත් මෙහිදී අදහස්‌ නොකෙරේ. යම් විටෙක නියම ආකාරයෙන් ප්‍රතිපදාවෙහි නොපිහිටා කටයුතු කරන අය නාමික සිල් සමාදන් වුවද අසංවර පැවැත්මෙහි අඩුවක්‌ නැත. එමෙන්ම ආරාමයකට ගොස්‌ සීලයෙහි පිහිටා කටයුතු නොකළද යහපත් හැසිරීම් ඇති බොහෝ පිරිස්‌ද සිටිති.

සාමාජික ජීවිතයේදී ඔබට බොහෝ නිරවද්‍ය කටයුතු වල නිරතවිය හැකිය. වර්තමානයේ බොහෝ ආගමික හා සමාජ සේවා සංවිධාන බිහිවී තිබේ. ඔබ පිරිසිදු සිතකින් මෙන්ම පරීක්‌ෂාකාරීව කටයුතු කරමින් යම් ආයතනයකට සම්බන්ධවී හෝ තමා තනිවම හෝ යම් පින් ලැබෙන ක්‍රියාවකට සම්බන්ධ විය හැකිය. පිරිසිදු සිතකින් සහ පරික්‌ෂාකාරීවම යහපත් දෙයකට එකතුවෙන්නට යෑයි ආරාධනා කළේ අර්ථයක්‌ ඇතිවමය. එනම් පින්කම් හෝ සමාජ සේවා කටයුතු කියමින් තමාට හෝ පිරිසකට මුදල් සොයන වැඩපිළිවෙළක්‌ හෝ කීර්ති ප්‍ර්‍රශංසා වෙනුවෙන් කටයුතු කරන හෝ තරහව, වෛරය මගින් ගැටුම් ඇති කරන්නාවූ යම් ක්‍රියාදාමයක්‌ නොවිය යුතුය. පරික්‌ෂාකාරීව නම් තමා පිරිසිදු සිතින් යහපත් දේ සිදුකරනවා මෙන් තමා සමග සම්බන්ධ වන හෝ තමා එකතු වන පිරිසද පිරිසිදු සිතින් යුතු පිරිසක්‌දැයි කල්පනාකාරී වීමය. එසේ නොමැතිවුවහොත් අමාරුවකට පත්විය හැකිය.

ආරාමයක්‌ සෑදීමට උපකාරීවීම බලවත් කුසලයකි. චෛත්‍ය, බුදුමැදුර ආදී වශයෙනි. මෙවැනි පූජ්‍ය වස්‌තූන් සමීපයට පැමිණ සිත් සුවපත් කරගන්නා පිරිස දහස්‌ ගණනාවකි. ධර්ම ශාලාවක්‌ ඉදිකරදීම හෝ එවැනි අවස්‌ථාවකදී ගඩොලකින් හෝ උපකාර කිරීමද අඩුම තරමේ ශ්‍රමයෙන් හෝ උපකාර කිරීමද නිරවද්‍ය කර්මයකි. උතුම් පිංකමකි. දහම් පාසල් පැවැත්වීමද ඒවාට අවශ්‍ය උපකරණ හැකි අයුරින් ලබාදීමද එහි ඉගැන්වීමද යහපත් ක්‍රියාවන්ය.

එමෙන්ම පාසලකට උපකාර කිරීම, අවශ්‍යතා ඇති දරුවන්ට පොත්පත් ලබාදීම, ශිෂ්‍යත්ව පිරිනැමීම, ජලය සපයාදීම, පාසල් පරිසරය ශ්‍රමදාන ආදියෙන් පිරිසිදු කරදීම, නිවැරැදි පිං වැඩෙන ක්‍රියාවන්ය. මෙයට අමතරව රෝහල්වලට අවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය, ඇඳන්, පුටු ආදිය සපයාදීම හෝ පිරිසිදු කරදීමද අගනේය. වර්තමානයේ බොහෝ ආබාධිත අය සිටිති. ඒ අපේ රටේ පැවැති යුදමය තත්ත්වයේ ප්‍රතිඵලයක්‌ හැටියටය. එවැනි ආබාධිත අයට කිහිලිකරු, රෝද පුටු, කෘතිම අත් පා ලබාදීමට දායක විය හැකි නම් පිං වැඩෙන ක්‍රියාවන් ලෙස හැඳින්විය හැකිය.

මේවාට අමතරව දෙමාපිය උපස්‌ථානය, ඒ පිරිස්‌ වෙනුවෙන් දන්දීම, පිංකම්වලට යෙදවීම් ආදියද වැඩිහිටියන් ගුරු උතුමන්, අසරණ අය වෙනුවෙන් සිදුකරන පිහිටවීම්ද නිරවද්‍ය කර්මයෝය. ඔබගේ ඥතීන් එකතුවීමෙන් හෝ ඔබගේ සමීප හිතවතුන් එකතුවීමෙන් හෝ ඔබගේ පාසලෙන් හෝ ඔබගේ රැකියා ආයතනයෙන් හෝ ආරාමය හෝ පූජ්‍ය ස්‌ථානය මුල්කරගෙන යම් ඉහත සඳහන් කළ ආකාරයේ අධ්‍යාත්මික ආගමික හෝ පිං වැඩෙන සමාජ සේවා කටයුත්තක නිරතවිය හැකි දැයි සිතා බලන්න මම ඔබට ආරාධනා කරමි. අසරණ අයකුට හෝ පවුලකට නිවසක්‌ තනා ගැනීමට සුළුවෙන් හෝ උපකාරීවීමද, පාරතොට සහ අවට පරිසරය කැලිකසලවලින් තොරව පිරිසිදුව තබා ගැනීමට උපකාරීවීමද වත්මන් පරිසරයෙහි කාලීන අවශ්‍යතාවන්ය.

'තං ච කම්මං කතං සාධු

යං කත්වා නානු තප්පතී

යස්‌ස පතීතෝ සුමනෝ

විපාකං පටිසේවතී' (ධම්ම පදය)

'යම් ක්‍රියාවක්‌ සිදුකොට එය මතක්‌වන විට නොහඬා සතුටු විය හැකි නම්, ක්‍රියාවේ විපාකය ලැබෙන විට පසුතැවෙන්නට නොවී සිත සතුටට පත්වන්නේ නම් එවැනි ක්‍රියාවක්‌ම සිදුකළ යුතුය.

ජීවිත භක්‍ෂණයෙන් වැළකිය යුත්තේ ඇයි?

පූජ්‍යණෝපාද ආචාර්ය බුද්ධගයාවේ සිසිලචන්ද්‍ර මෛත්‍රිය හිමි
සභාපති - ශ්‍රී ලංකා අහිංසාවාදී භික්‍ෂු මහ සභාව

බෞද්ධාගම්කාරයින් වශයෙන් අප දැනගත යුතු, මෙනෙහි කළ යුතු කරුණු කාරණා කිහිපයක්‌ මෙසේ සැකෙවින් පෙන්වා දෙමු.

මෙම අතිභයන්කාර අගක්‌ මුලක්‌ මැදක්‌ නොමැති දිගු සංසාරය සසර කතරකි. අසංඛෙය යනු අංක එක සහ බිංදු එකසිය හැටක්‌ වැනි ගණනය කිරීමට පවා අපහසු සංඛ්‍යාවකි. ගෞතම සම්බුදුරදුන් නියත විවරණ ලබා බුද්ධත්වයට පත්වීමට පෙරුම් පිරීමට බුදුවරුන් විසිහතර නමක්‌ පහලවීමට එකී සංඛ්‍ය කල්ප ලක්‍ෂ හතරක්‌ ගත වී ඇත. මෙවන් කාලයක්‌ ගත වූයේ නියත විවරණ ලබාගැනුමෙන් පසුව පමණි. 

බුදුවරුන් පන් ලක්‍ෂ දොළොස්‌ දහස්‌ තුන් නමකගෙන් අප මහා බුදුපියාණෝ බෝධි සත්ත්වයෙකු වශයෙන් අනියත විවරණ ලබා ඇති බවද දහමේ කියෑවේ. එසේ නම් සුදනනි, සංසාරය කෙබඳු ඈත අතීතයක්‌ද ප්‍රථම අනියත විවරණයද මුලාරම්භයක්‌ නොවේ. එයට මත්තෙන්ද කිව නොහැකි තරමේ ඈත භව අතීතයක සාමාන්‍ය පෘථග්ජනයෙකු හෝ යම් සත්ත්වයෙකු දෙව් බඹුකු හෝ සතර අපාය ගාමියකු හෝ වශයෙන් ඔබ පමණක්‌ නොව මේ ලියන අපද එවැනිම බුදුන් වහන්සේද භව චක්‍රයේ ගමන් කරන්නට ඇත.

කරුණු කාරණා එසේ නම් මෙලොව වාසය කරන සියලුම සත්ත්වයින් එනම් අපගේ ගුරුවර දෙමාපියන්, සහෝදරයින්, අඹුදරුවන් ආදි වශයෙන් නොවුණු කිසිවකු නොසිටින බවද දහම අනුව අප පසක්‌ කර ගත යුතුය.

මෙතුන් ලොවේ යම් සත්ත්වයෙක්‌ තවත් සත්ත්වයෙකුගේ මව්නොවූ පියනොවූ අඹු ස්‌වාමි නොවූ සහෝදර සහෝදරියක නොවූ එකදු සත්ත්වයෙකු පහල නොවනු ඇති බවද දහමෙහි සඳහන් වේ. එසේ නම් සුදන සැදැහැවතුනි( අප දැන් අනුභව කරනුයේ අතීත භවවලදී අපගේම ලේ ඥාතීන් නොවන්නේද මේ අනුව සියලු සත්ත්වයිනට කෙසේ මෛත්‍රිය වඩන්නද?.

එසේ නම් දැල් දමා බුරුතු පිටින් මරාදමා අල්ලා ගන්නා මසුන්, හරකුන්, එලුවන්, කුකුළන් ආදී සතුන් එකම පවුලක අයවලුන් නොවිය හැකි යෑයි කෙසේ තර්ක කරන්නද? සැබවින්ම ඔවුන් අප සමග එක කුස උපන් අතීතයේදී අපගේම අය බව නිසැක වේ. එසේ නම් කථාකළ නොහැකි ඔවුන්ව නොකළ වරදකට මරණ දඬුවම විඳින නිරා දුකින් පෙළෙණ එම සත්ත්වයින්ගේ සෝ සුසුම් හඬ වේදනාව කම්පාව දුක අපගේම නොවන්නේද?

සම්බුදුරදුන්ම පවසන පරිදි මේ සියල්ල තමුන්ට වනවා යෑයි අනුරූපව තමන් සිතන්නේ නම් අප ශරීරයේ ඇති වන සුළු තුවාලයකට කැළඹෙන, කම්පාව න බෙරිහන් දෙන අපට සත්ත්වයින්ගේ මරණ වේදනාව කෙතරම් දැන ගත යුතු ද. අපගේ දරු පවුලට තවත් අයගෙන් එසේ විපතක්‌ සිදු වුවහොත් ඇතිවන කම්පාව, දුක, කලකිරීම භය කෙබඳුවේදැයි මෙනෙහි කරන්න.

මරණින් මතු අප යන දිසාව ඔබ දන්නේද නැතහොත් මා දන්නේද? මාංශ සඳහා මරණයට පත්කරන සත්aත්වයින් දන්නේද නැත. එහෙත් එය චුති චිත්තය අනුවත් පින් පව් අනුවත් සිදු විය හැකිය. වේදනාවෙන් භයෙන් නිරතුරුව රුදුරු මරණයට පත්වන සත්ත්වයා යහපත් භවයක්‌ ගොඩනගාගත හැකි තත්ත්වයට පත්වේද? පිළිතුරු ඔබම සොයන්න. එහෙත් සිතන්න වෛරය, ක්‍රෝධය පසුතලය වී ඇති තත්ත්වයක ඔවුන් සුගති ලෝකවලට ස්‌ථීර වශයෙන් නොයන බව කර්ම විෂය අනිත්‍යය (මෙසේ සිදුවේ යෑයි නිර්ණය කළ නොහැකි) බව පමණක්‌ ආවර්ජනය කරගන්න.

මාංශ භක්‍ෂණය යනු නිමේෂයක අඟල් තුනක දිව කොටස පිනවන විශාල වරදකට ඔබ යොමුවීම සහ අනුබල දීම නොවන්නේද? සත්ත්වයාගේ දිව මෙන්ම අපගේ දිව යන දෙතිස්‌ කුණු අවයවයන් යම්කිසි දිනක මහ පොළොවට පස්‌වන බව මෙනෙහි කරනු වටී. වෙහෙර විහාර අසුහාර දහසක්‌ කරවා තම දරුවන්ද මාර්ග ඵලවලට යොමු කරවු ධර්මාශෝක මහරජතුමාද චුති චිත්තය ක්‍රෝධ සහිත වූ නිසා එතුමාගේ නාමයද හිමාලයේ විශාල පිඹුරකුව ඕපපාතිකව ඉපදුන බව බණ කථාවල සඳහන්ය.

ඉතා කුඩා අකුසලයක්‌ වුවද විපාකය බලවත් බව පසක්‌කර ගන්න. කරන කලට පව් මීරිය මී සේ විඳින කලට දුක්‌ දැඩි වෙයි ගිනි සේ." යන ලෝවැඩ සඟරාවේ කවි පදය නිතර සිතින් මුමුණන්න. දෙඇස්‌ පෑදීමටද අඳුරින් එළියට ඒමටද එයම ප්‍රමාණවත්ය. පව් කිරීමට සහ පවට අනුබල දීමටද වඩා බෙහෙවින් විශාල අකුසලයක්‌ වන්නේ දිනපතා සිල්පද බොරුවට මුමුණමින් වරදින් වළකින බවට පොරොන්දු වෙමින්ම නැවත නැවත එම අකුසලයෙහිම නිරත වීමය.

ඉතා සුළු ජීවිත කාලයක්‌ මෙම අස්‌ථීර ජීවිතයේ ආයු ගෙවන සත්ත්වයින්ද ඒ හා සමානව සංසන්දනාත්මකව ඉතා කෙටි අනිත්‍ය අස්‌ථීර ජීවිත ගත කරන අපටද සත්ත්ව හිංසාවට අනුබලදීම කවරාකාරයෙන් යුක්‌ති යුක්‌ත වන්නේදැයි සිතා බලන්න. මෛත්‍රියෙන් තොර නිවනක්‌ කිසිසේත් නොමැත. දැන් නොකරන මෛත්‍රීය කවදා වඩන්නද ඔබලා. මෛත්‍රි බුද්ධ ශාසනයට අවතීර්ණ වීමක්‌ද නොමැත. ඉතා කුඩා කෘමියාද සිය දිවියට අපමණ ආදරේය. දිනපතාම මෙවන් කෘමියකු හෝ මරණයෙන් මුදවන්න. ජීවිත දානය ඔබ ජීවිතයේ එකම විනෝදාංශය කරගන්න. තිසරණ සරණයි.

පිළිවෙතින් කරන පින්කමෙන් ලැබෙන කුසල් අපමණයි

අප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුකින් අත් මිදීම පිණිස උතුම් සදහම් දේශනා වදාළ සේක.අපගේ විමුක්ති මාර්ගය සලසා ගන්නා ආකාරය පිළිබඳව බුදුපියාණන් වහන්සේ අපට දේශනා කළ සේක. අප ඒ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම උදෙසා උත්සුක වන ආකාරය පිළිබඳව ගැඹුරින් විමර්ශනය කිරීම ඉතාමත් වටිනවා. විශේෂයෙන්ම පින්කම් සිදු කිරීමේදී අනවබෝධය නිසා නැවත නැවතත් සසරට ඇලෙන බැඳෙන ආකාරයෙන් පින්කම් කිරීමත්, පින්කම තුළ සැබෑ ලෙස සතුටුවීමට නොහැකි වීමත් අපට තිබෙන ප්‍රධානම අඩුපාඩු ලෙස පෙනී යනවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හෙවත් දාන, ශීල ,භාවනා සිදු කිරීමේදී බොහෝ විට ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරව කටයුතු කරන ආකාරය අපට දැක ගන්නට ලැබෙනවා. මේ කරුණු ඉතාමත් සරල කරුණු කියල කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒත් මේවා වරද්දා ගැනීම තුළින් අපට නිවන් මඟ අහිමි වෙනවා. සුගතිය අහිමි වෙනවා.
අප දානමය පින්කම් කරන අවස්ථාවලදී වරද්දා ගන්නා ආකාරය ටිකක් විමසල බලමු. අපි හිතමු යම් පින්වතෙක් පින්වතියක් සාංඝික දානමය පින්කමක් කරනව කියලා . ඉතින් මහා සංඝරත්නයට දානය පිරි නමනව. සමහරු මහා සංඝරත්නයට දානය පිරිනමල උන්වහන්සේලාට නිදහසේ දානය වළඳන්න ඉඩදෙන්නෙ නෑ. උන්වහන්සේලාගෙන් විවිධ දේවල් අහනව. උන්වහන්සේලා සමඟ සාකච්ඡා කරනව. සමහර විට උන්වහන්සේට ආහාර වළඳන ගමන් කථාකරන්න සිදුවෙනව. අපට විනයානුකූලව දානය වළඳනකොට කථා කරන්න සුදුසු නෑ කියල අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව. ඒත් මේ පින්කම කරන දායක පින්වතුන්ම ඒ විනය කඩ කිරීමට කටයුතු කරනවා. ඒ වගේම සමහර විට වගේම බොහෝ විට විකාලයේ දානය පූජා කරනව. එතකොට අපේ සාංඝික දානයෙන් ලබා ගත හැකි නියම ආනිශංස ලැබෙන්නෙ නෑ .බොහෝ විට මහා සංඝ රත්නයට ශික්ෂාපද රැක ගැනීමට බාධා කිරීම නිසා අකුසල් රැස් වෙනව.ඉතිං බලන්න. අප සිදු කරන්නෙ උතුම් පින්කමක්. නමුත් එය සිදු කරන ආකාරය අනුව අපට අකුසල රැස් වෙනව.
ඒ වගේම බොහෝ නිවෙස්වල පින්කම් සිද්ධ වෙනකොට අද අනිවාර්ය අංගයක් වෙලා තියෙනව මත්ද්‍රව්‍ය, මත්වතුර, දානමය පින්කමකදී ඒ ගෙදර ස්වාමියා හෝ සහෝදරයෙක් හෝ වෙනයම්ම කෙනෙක් මත්ද්‍රව්‍ය මත්වතුරට ඇබ්බැහි වෙලා ඉන්නව නම් අනිවාර්යයෙන්ම මේ පාපකාරී කාරණාව සිදු කරනව. සමහර විට ධර්මය අහන්නෙත් මත්වතුර පානය කරල. දානෙ බෙදන්න එන්නෙත් මත්වතුර පානය කරල. දානෙට පන්සලෙන් ගෙනාපු පිඟන් බඩු ටික භාරදෙන්න එන්නෙත් මත්ද්‍රව්‍ය පානය කරල. පිරිත් ගෙදරත් මත්වතුර, මල ගෙදරත් මත්වතුර, සමහර විට මළගෙවල්වල රෑ එළිවෙනකම් නිදිවරන පුද්ගලයන්ට දිගටම මත්වතුර, මත්ද්‍රව්‍ය දෙනව. සම්පූර්ණයෙන්ම රැස්වෙන්නෙ අකුසල්. හැබැයි පින්කම අවසන් වුණහම පුදුම විදියට සතුටු වෙනව අපි අංග සම්පූර්ණව පින්කම කළා කියල. ඒත් පින්කමට වඩා කරගෙන තියෙන්නෙ පව්කම්.
ඊළඟට පිරිකර පූජා කරන අවස්ථාවෙදී සමහර උපාසක උපාසිකාවො කලින්ම තීරණය කරනව අහවල් හාමුදුරුවන්ට මම පිරිකර පූජා කරනව කියල. ඒත් තමන්ට කලින් වෙන කෙනෙක් ඒ ස්වාමින් වහන්සේට පිරිකර පූජා කළොත්. මේ කෙනාගේ හිතට අමාරු වෙනව. සමහර විට තමන්ට කලින් අර පිරිකර පූජා කරපු කෙනා පිළිබඳව ද්වේෂයක් ඇති කරගන්නව. පින්කමක් කරන්නෙ. ඒත් ද්වේශය ඇති කර ගන්නව. බලනකොට ව්‍යාපාද සංකල්පනාව තුළ ඉන්නෙ. මෛත්‍රියක් නෑ. දන්නෙම නැතිව අකුසල් රැස් කර ගන්නවා. ඒ වගේම දන් වැළඳූ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරන අවස්ථාවේදී සමහර විට තමන් අර දානයට සකස්කළ ආහාරපාන පිළිබඳව තෘෂ්ණාවක් ඇති වෙනව. තමන් ඒව බෙදා දෙන්න පෙර වෙන කෙනෙක් ඒව අරගෙන පරිහරණය කරල තිබුණොත් අන්න තමන්ට සමහර විට ද්වේෂය හට ගන්නව. මේ වගේ සිදුවීම් අනන්තවත් සිදුවෙනව. එතකොට අත්හැරීම කියන එක හරියට සිදුවෙන්නෙ නෑ. පින්කම අතරතුරේදී ලෝභය ඉස්මතුවෙලා එනව. ඒ කියන්නෙ නෙක්ඛම්ම සංකල්පනාව ඇතිවෙන්නෙ නෑ. සමහර විට දානය අවසන් වුණාට පස්සෙත් අර මහා පින්කම ගැන හිතල සතුටුවෙන්නෙ නෑ. පින්කමේදී වෙච්ච අඩුපාඩු ගැන තමයි කල්පනා කර කර ඉන්නෙ.
ඊළඟට පින්වතුන් සීලය පිළිබඳව විමසල බලන්න ඕනෑ. සමහර විට සිල් රැක ගැනීමට පෝය දිනවල විහාරස්ථානයට යනව. ඒත් නෙක්ඛම්ම සංකල්පනාව නෑ. ධර්මශාලාවෙ නිරතුරුවම ඉඳගන්න තැනක් තියෙනව නම් හැම පොහෝ දිනකම ඒ උපාසක මහත්මා හෝ උපාසිකාව එතනම තමයි ඉඳගන්න කැමැති වෙන්නෙ. බැරි වෙලාවත් එතන වෙන කෙනෙක් ඉඳගෙන හිටියොත් අදාළ කෙනාට ඒ පිළිබඳව අමනාපයක් ඇති වෙනව. සමහර විට එතන ඉඳගෙන ඉන්න කෙනා එක්ක කේන්ති යනව. එතකොට ඇතිවෙන්නෙ ව්‍යාපාද සංකල්පනාව අර බිත්තිය අතහැර ගන්න බැරි වෙනකොට ඇතිවෙන්නෙ ලෝභ චේතනාවක්. කාය සංකල්පනාව, නෙක්ඛම්ම සංකල්පනාව නෙවෙයි.
ඒ වගේම භාවනාවෙදිත් අපේ පින්වතුන් මිථ්‍යා සංකල්පනාව තුළ ඉඳගෙන කටයුතු කරනව. විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව කරන්නට කියල අපි හිතමු. සමහර විට නිදිමත දැනෙන කොට ශරීරයට නොයෙක් වේදනා එනකොට ව්‍යාපාදය හටගන්නවා. එතෙන්දි අපි කරන්න ඕන මෛත්‍රි ඇති කරගැනීම. ඒ වගේම අපි හිතමු අපි භාවනා කරනකොට බල්ලො බුරනව කියල. එතකොට සමහරුන්ට බල්ලොත් එක්ක කේන්ති යනව. ළමයි කෑගහනකොට ළමයි එක්ක කේන්ති යනව. ඉතිං බලන්න පින්වතුනි කරන්නෙ මෛත්‍රී භාවනාව. හැබැයි ඉන්නෙ ව්‍යාපාදය තුළ. ඉතිං ඒ නිසා පින්වතුනි, අපි පින්කම් කරනකොට මේ අවබෝධය ඇති කරගෙන සම්මා සංකප්ප තුළ ඉඳගෙන කටයුතු කරන්න ඕන. එතකොට අපිට සැබෑ ලෙස පින්කම් කරන්න පුළුවන්.
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X