වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මෙත් සිත වඩමින් රැකගත යුතු පින

අපගේ ජීවිතයට සැපය, සතුට, සොම්නස, ලබා දෙන්නේ අප රැස්කරන පිනෙන්. දීර්ඝ ආයුෂ, නිරෝගී බව, ලස්සන හැඩරුව, ධනය, භෝග සම්පත්, දෙව්ලොව ඉපදීම, ආදී ලෞකික සැප සම්පත් පමණක් නොව කලණ මිතුරන්ගේ ආශ්‍රය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, පතිරූප දේස වාසය, සිත. දියුණු කිරීමේ හැකියාව, ප්‍රඥාව ආදී නිර්වාණාවබෝධයට උපකාර වන සියලු දේත් අපට ලැබෙන්නේ පිනෙන්. මනුස්ස ලෝකයේ ඉපදුනු අපට පින් රැස් කිරීමට පුළුවන් අවස්ථා බොහෝ තිබෙනවා.
සංඝයා උදෙසා දන්පැන් පූජා කිරීම, නැතිබැරි අයට උදව් උපකාර, කිරීම, සිල්වත් ජීවිතයක් ගත කිරීම, සතර පෝයට උපෝසථ සිල් රැකීම, මෛත්‍රිය, බුද්ධානුස්සතිය ආදී භාවනාවන් වැඩීම, මව්පියන්ට උපස්ථාන කිරීම, ආගන්තුක සත්කාර, තුන් ලෝකයේම අග්‍ර වූ උත්තමයන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ උදෙසා පුදපූජා පැවැත්වීම ආදී පින් රැස් කරගන්න පුළුවන් ක්‍රම බොහෝ තිබෙනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ වදාළේ මිනිස් ලොව ඉපදුනු පුද්ගලයා විසින් දක්ෂ මල් කරුවෙක් මල් ගොඩකින් බොහෝ ලස්සන මල්මාලා ගොතනවා වගේ බොහෝ පින් කුසල් රැස්කර ගන්න කියා.
බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය කියා දීලා= ලෝක සත්ත්වයා සසරින් එතෙර කරන්නයි. ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීම අප හිතන තරම් ලේසි දෙයක් නොවේ. ඒකට විශාල පිනක් අවශ්‍යයි. මහා බලගතු පින් තිබුණ උත්තමයන් ඒ ධර්මය අවබෝධ කර මේ සසරින් නිදහස් වුණා. තවත් බොහෝ පිරිසක් ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, චාග, ප්‍රඥා වන සේඛබල ධර්ම වඩා මරණින් මතු දෙවියන් අතර ඉපදුණා. ඒ අය ඒ දිව්‍ය ලෝකය තුළදී ඒ ධර්මය අවබෝධ කරන්න, මාර්ගඵල ලබන්න නැවතත් අවස්ථාවක් ලැබෙනවා.එහෙමත් බැරිවුණ සමහර අය බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන, රහතන් වහන්සේලා පිඬුසිඟා යද්දී සිත පහදවාගෙන ඉතා සුළු දෙයක් පූජා කරගෙන මරණින් මතු දෙවියන් අතර ඉපදුණා. අපේ පින්වල අඩුවක් නිසා අපට ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ ජීවමානව වැඩසිටි අවුරුදු හතළිස් පහක කාලය තුළවත්, උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මාර්ගඵල ලාභී ශ්‍රාවකයන්ගෙන් බුදු සසුන බැබළෙමින් තිබුණු අවුරුදු දාහක කාලය තුළවත් බුදු සසුනේ ඵලනෙලා ගන්නට බැරිවුණා.
කුමක් හෝ පිනක් නිසා අපට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා අවුරුදු 2555 කටත් වඩා දීර්ඝ කාලයක් ගතවෙලා තිබෙන මේ යුගයේදී නැවත වතාවක් ඒ චතුරාර්ය සත්‍යය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මය පැහැදිලිව පිරිසුදුව අසන්න ලැබී තිබෙනවා. ප්‍රමාද වෙලා මේ අවස්ථාව මඟහැර ගත්තොත් අපට නැවත සතර අපායට වැටෙන්න වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි කරගෙනයි. ඒ නිසා අපේ ඉලක්කය විය යුත්තේ මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගන්නයි. අප කරන හැම පිනක්ම “මේ පින මට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමට උපකාර වේවා”! කියන අදහසින්ම කරන්න ඕන.
ඒ වගේම අප මේ මනුෂ්‍ය ලෝකය ගැන තිබෙන ඇල්ම නැති කරගන්නත් ඕන. මැරුණට පස්සේ නැවතත් මේ මනුස්ස ලෝකෙම, මේ රටේම, මේ දරුවෝම දරුවෝ වෙලා, මේ දෙමව්පියෝම දෙමව්පියෝ වෙලා, මේ බිරිඳම බිරිඳ වෙලා, මේ ස්වාමියාම ස්වාමියා වෙලා උපදින්න ඕන කියන අදහස අත්හැර ගන්න ඕන. මොකද ඒ? මේ මනුෂ්‍ය ලෝකයේ තත්ත්වය එන්න එන්නම බරපතලයි. සංකීර්ණයි. ධර්මයට පිනට කුසලයට අවස්ථාව අඩුවෙනවා. මිනිසුන් තුළ ගුණධර්ම පිරිහිලා අකුසල් බලවත් වෙනවා. සමහර විට ඊළඟ ජීවිතේ මනුෂ්‍ය ලෝකයට එනවිට මිථ්‍යා දෘෂ්ඨික පවුලක ඉපදුණොත් සියල්ලම අවසන් වෙනවා.
බුදුරජාණන් වහසේගේ කාලයේ එක ස්වාමින් වහන්සේ නමකට සිවුරකට වස්ත්‍රයක් සැදැහැවතුන් පූජා කළා. ඒක උන්වහන්සේ තමන්ගේ අක්කට දුන්නා “මේක අරන් තියන්න පස්සේ සිවුරක් අවශ්‍ය වූ විට මම ඉල්ලා ගන්නම්” කියා.
ඉතින් අක්කා ඒ වස්ත්‍රය ගෝරොසු වැඩි නිසා කෑලි කෑලි වලට කපා වංගෙඩියේ දා කොටා පුළුන් කළා. ඒ පුළුන් වලින් නූල් වියා නැවතත් බර අඩු සිනිඳු වස්ත්‍රයක් සකස් කළා. දිනක් අර ස්වාමින් වහන්සේ ඉදිකටු නූල් අරගෙන සිවුරක් මහන්න අර වස්ත්‍රය ඉල්ල ගන්න ආවා. අක්කා සියලුම විස්තරය කියා තමන් හදපු වස්ත්‍රය පූජා කළා. මේ ස්වාමින් වහන්සේ එයින් අලුත් සිවුරක් මහලා පඬු ගහලා නමලා “මම මේක හෙටම පොරවනවා” කියා අරන් තිබ්බා. රාත්‍රියේ වාත රෝගයක් නිසා මේ හිමියන් අපවත් වුණා. මේ සිවුරට අයිතිකාරයෙක් නැති නිසා අනෙක් හිමිවරු මේ සිවුර සංඝයාට දෙන්න සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් එව්වා “මේ සිවුර දවස් හතක් යනතුරු එතැනම තියන්න කාටවත් දෙන්න එපා” කියා.
ඉතින් දවස් හතකට පස්සේ භික්ෂූන් වහන්සේලා පැමිණ බුදුරජාණන් වහන්සේගෙන් මේ කාරණාව ගැන විමසුවා. එවිට උන්වහන්සේ වදාළා “මහණෙනි, ඔබ සිවුරේ අයිතිකාර භික්ෂුව සිවුරට තිබුණ ආශාව නිසා අපවත් වෙලා ඒ සිවුරේම කාවෙක් වෙලා ඉපදුණා. ඔබලා ඒ සිවුර අරගෙන සංඝයාට දෙන්න සූදානම් වූ විට මේ කාවා “මා සතු දේ පැහැර ගන්නවා. . . මා සතු දේ පැහැර ගන්නවා” කියා කෑගසමින් එහාට මෙහාට දුවන්න ගත්තා.
ඒ සිවුර සංඝයාට දුන්නානම් ලැබෙන්න තිබුණේ රහතන් වහන්සේලාට යි. එවිට අර කාවා ඒ රහතන් වහන්සේලා ගැන හිත දූෂිත කරගෙන මැරිලා නිරයට යන්න තිබුණා. නමුත් දවස් හතක් යනතුරු සිවුරට මුකුªත් කළේ නැති නිසා ඒ කාවා ආයුෂ අවසන් වෙලා දැන් දිව්‍ය ලෝකයේ ඉපදී ඉන්නවා කියා වදාළා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය නිසා ඒ භික්ෂුව බේරුණා. ඒ භික්ෂුව හොඳට සිල්ගුණදම් රැකපු කෙනෙක්. නමුත් අර පොඩි දෙයටත් තිබුණ ආශාව නිසා දුගතියට වැටුණා.
ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක ගෙදරක නැන්දම්මා හා ලේලිය වාසය කළා. දවසක් මේ නැන්දම්මා කැවුමක් මේසය උඩ තිබ්බා. එදා රහතන් වහන්සේ නමක් ඒ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ලේලි මේ රහතන් වහන්සේ දැක හිත පැහැදී පූජා කරගන්න දෙයක් බලද්දී අර කැවුම දැක බොහෝම ශ්‍රද්ධාවෙන් රහතන් වහන්සේට එය පූජා කළා. නැන්දම්මා හවස ගෙදර ඇවිත් කැවුම කෝ කියා ලේලිගෙන් ඇසුවා. 'අනේ නැන්දේ අද ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩියා. මම උන්වහන්සේට ඒ කැවුම පූජා කළා. නැන්දත් ඒ පින අනුමෝදන් වෙන්න' කිව්වා.
නැන්දම්මට හොඳටම තරහ ගියා. “නුඹ මම ගෙනා කැවුම කොහේවත් යන මුඬු මහණෙකුට දුන්නාද? කියා ළඟ තිබුණ මෝල් ගහ අරගෙන ඔළුවට ගැහුවා. ඇය ඔළුව පැලී මියගොස් තව් තිසා දෙව්ලොව දිව්‍යාංගනාවක් වී උපන්නා. මේ ලේලිය නැන්දම්මා කෙරෙහි තරහක් ඇති නොකරගෙන තමන් කළ පින ගැනම සිහි කරමින් මෙත් සිත රැකගත් නිසා සුගතියේ ඉපදුනා.
නමුත් ධර්මාශෝක රජතුමා එසේ නොවේ එතුමාගේ පුතා රහතන් වහන්සේ නමක්. දුවත් රහත් මෙහෙණින් වහන්සේ නමක්. වුණා. මුණුපුරත් රහත් වුණා. ජම්බුද්වීපයේ යොදු නෙන් යොදුන විහාර හැදුවා. තුන්වන ධර්ම සංඝායනාවට අනුග්‍රහ කළා. දඹදිව අවට රටවල්වලට ධර්ම දූතයන් පිටත් කළා. බුද්ධ ශාසනය බැබළෙව්වා. නමුත් මරණාසන්න මොහොතේ දාසියක් වටාපතින් පවන් සලද්දී වටාපත මුහුණේ වැදීම හේතුවෙන් තරහ සිතක් ඇතිව මරණයට පත්වෙලා පිඹුරෙක් වී ඉපදුනා. එතරම් මහ පින් කළ ධර්මාශෝක රජතුමාට එසේ වෙන්නත්, කැවුමක් පූජා කළ තරුණිය සුගතියේ උපදින්නත් හේතුව මොකක්ද? ඒ තමා ධර්මාශෝක රජතුමාට මෙත් සිත රැකගන්න බැරි වීම.
ඒ නිසා අර පින්වල විපාක යටපත් කරගෙන අකුසල් විපාක ඉදිරියට ආවා. නමුත් අර ලේලිය මෙත් සිත රැකගත්තා. ඒ නිසා පින්වල විපාක ඉදිරියට ආවා. නමුත් පස්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ උපායෙන් අර පිඹුරෙක් වුණ ධර්මාශෝක රජුු නැවැත මිනිස් ආත්මභාවයක් ලැබ ඉපදී පැවිදිවී රහත්වෙලා පිරිනිවන් පෑවා.
මේ සිදුවීම් දෙක අපේ ජීවිතවලට ලොකු පාඩමක්. එහෙනම් අපටත් රැස්කරගත් පින රැක දෙන්නේ මෙත් සිතෙන්. ඒ නිසා නිතරම පින් රැස් කරමින් මෙත් සිත රැකගෙන කටයුතු කරන්න අප උත්සාහ කරන්න ඕන.
නයනා නිල්මිණි

නිමි මහ රජු දුටු නිරය හා එහි යාමට හේතුවන කර්ම

අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ නිමි මහ රජුව ඉපිද සිටියදී මාතලී දෙව්පුත් පැමිණ සක් දෙවිඳුගේ අණින් නිමි මහරජු වෛජයන්ත නම් රථයෙහි නංවා ගෙන දෙව්ලොව බලා යන්නට වුණා. ඒ යන ගමනේදී අපායේ දුක් විඳින සත්වයන් ද දෙව්ලොව දෙව් විමන්වල සැප විඳින සත්වයන් ද මාතලී නම් දිව්‍ය රථාචාර්යා විසින් නිමි මහ රජතුමාට පෙන්නුවේ ය. ඒ අතර මුලින්ම පෙන් වූ යේ අපායේ දුක් විඳින සත්වයෝ ය. එම නිරයන් අතරින් ද මුලින්ම පෙන් වූ යේ වේතරණි නම් ඔසුපත් නරකය යි. කැකෑරෙමින් පැසෙන රත් වූ ගිනිසිළු බඳු පැහැ ඇති යා නොහැකි ලෝදියෙහි පැසෙන නිරි සතුන් දැක බියට තැති ගැනීමට පත් නිමි මහ රජතුමා කුමන පව්කම් කළවුන් වේතරණි නරකයෙහි වැටෙත් දැයි මාතලී දිව්‍ය පුත‍්‍රයාගෙන් ඇසුවේ ය. එවිට මාතලී දිව්‍ය පුත‍්‍රයා මෙසේ කීවේ ය.


මේ ලෝකයෙහි බැනීමෙන් හා අත්පා වලින් පහර දීමෙන් ද අක්‍රෝෂ පරිභව කිරීමෙන් ද දුබලයන්ට හිංසා කරන්නා වූ බලවත් හු ඒ පව් සාහසික ක‍්‍රියා හේතුවෙන් ඒකාන්තයෙන් ම වේතරණි නම් නරකයට පැමිණෙන්නේ යැ යි මාතලී දෙව්පුත් තෙමේ කීවේ ය. ඉක්බිති මාතලී දෙව්පුත් වෙන නරකයක් කරා රථය පදවා එහි දුක් විඳින නිරි සතුන් නිමි රජතුමාට පෙන්වී ය. එහි ගව් තුනක් පමණ ශරීර ඇත්තා වූ නිරි සතුන් මහ ඇතුන් පමණ විශාල රතු වර්ණ හා කබර වර්ණ ඇති බල්ලන් විසින් එළවාගෙන ගොස් කෙණ්ඩා මාංසය හපා යම පොළොවේ පෙරලා ඇට පමණක් ඉතිිරි වන සේ මස් ඉර ඉරා කනු ලැබේ. තව ද කරත්ත පමණ ශරීර ඇති ලෝහ තුඩු ඇති ගිජුලිහිණියෝ ඒ ලෝහ තුඩු වලින් නිරි සතුන් ගේ ඇට බිඳ ඇට මිදුළු කති. තව ද ලෝහ තුඩු ඇති අතිශයින් ම භායානක කපුටන් දුටු දුටු තැන එළව එළවා කොටා කති. මේ විඳින දුක් දුටු නිමි රජතුමා කුමන පව් කළ හු මේ නරකයෙ හි වැටේ දැ යි මාතලී දිව්‍ය පුත‍්‍රයාගෙන් ඇසු විට හෙතෙම මෙසේ පිළිතුරු දුන්නේ ය. මේ අනුව යම් කිසිවෙක් මසුරුකමින් අනුන්ට කිසිවක් නොදෙන්නා හු ද අනුන්ට දෙන දෙත් වළක්වන ක‍්‍රියා ස්වභාව ඇත්තෝ ද මහණ බමුණන්ට නින්දා කරත් ද හිංසා ආක්‍රෝෂ කෙරෙත් ද ඔවුහු පව් රැස්කොට නිරයට යති. ඒ මේ නිරි සතුන් ගේ මස් කවුඩෝ අනුභව කරති යි මාතලී දෙව්පුත් කිවේ ය. ඉන්පසු වෙනත් නරකයක් කරා රථය පදවා එහි දුක් විඳින සත්වයන් නිමි මහ රජතුමාට දැක්වී ය. ඒ නරකයේ භයංකාර මුහුණු ඇති යමපල්ලන් විසින් තල් කඳන් පමණ ප‍්‍රමාණ ඇති දැවෙන යකඩ කඳන් වලින් නිරි සතුන් ගේ කකුල්වලට පහරදී ගිනියම් වූ යම පොළොවේ හෙළා එම දැල්වෙන යකඩ කඳන්වලින් නිරි සතුන් ගේ ඇඟ සුනු විසනු කරති. මෙය දුටු නිමි මහ රජතුමා බියට පත් වී කුමන පව් කළවුන් මේ නිරයෙහි වැටේ දැයි මාතලී දිව්‍ය පුත‍්‍රයාගෙන් ඇසී ය. ඔහු මෙසේ පැවසී ය. ඒ අනුව මිනිස් ලොව සීලාදී ගුණ සම්පන්න යහපත් ආචර්ය පැවතුම් ඇති නිවැරදි පුරුෂයෙකුට හෝ ස්ති‍්‍රයකට හිංසා කරන බණින පව්කාරයෝ අකුසල් රැස්කොට මේ නිරයට වැටෙන බව කියවේ.

ඉන්පසු මාතලී දෙව්පුත් අන් නිරයක් කරා රථය පදවාගෙන ගොස් එහි දුක් විඳින සත්වයන් නිමි රජුට දැක්වී ය. එහි යම පල්ලෝ වටකොට ගිනිගෙන දිලිසෙන ආයුධවලින් කොටමින් ගවයන් ගාලකට එළවන්නාක් මෙන් අඟුරු වළට පන්නති. එහි වැටුනා වූ නිරි සතුන් තුනටිය දක්වා ගිනි අඟුරු වළෙහි එරෙති. යම පල්ලෝ මහත් වූ කූඩා වලින් ගිනි අඟුරු ගෙන නිරි සතුන් ගේ මත්තෙහි හලති. නිිරි සතුන් වේදනාවෙන් විලාප දෙති. ඇතැම් නිරිසතුන් සිහිමුලාවෙන් තමාම දෝතින් ගිනි අඟුරු ගෙන හිස ලා ගනිති. මෙය දැක නිමි රජු බියට පත් වී මාතලී ය කිනම් පව් කළවුන් මේ නිරයෙහි වැටෙත් දැ යි ඇසු විට මාතලී තෙමේ මෙසේ කීවේ ය. අවස්ථාවක් ලද කල දානයක් හෝ දෙන්නෙමු, පූජාවක් හෝ පවත්වන්නෙමු, විහාරයක් හෝ කරවමු යැ යි පිරිස් එකතුව මහජනයාගෙන් මුදල් සම්මාදම් කොට සමූහයා ගේ ප‍්‍රධානියාට අල්ලස් දී අසවල් තැන වැඩ සඳහා මෙපමණ වියදම් ගියේ ය, අසවල් තැන කටයුතු සඳහා අප විසින් මෙපමණ දෙන ලද්දේ යැ යි බොරු සාක්ෂි දී, ඒ මුදල් කා දමා ජනයා රැවටූ හොර සම්මාදම් කාරයෝ මේ නිරයට වැටෙති. ඔහු අඟුරු වළට වැටීමෙන් කම්පාවෙති යැ යි, අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය. ඉක්බිති මාතලී තෙමේ රථය අන් නරකයක් වෙත පැදවී ය. එහි ඇවිල ගත් දිලිසෙන ගිනිදැල් සහිත මහත් ලෝහ සැළියක් පෙනේ. එහි ලෝ දිය පිරී පවති යි. එහි උපන් නිරි සත්වයෝ යමපල්ලන් විසින් අල්ලාගෙන පා උඩට හිස යටට කොට ඒ ලෝදිය සැළියට දමනු ලැබෙත්. නිරි සතුන් එහි පෙණ දම දමා පුපුර පුපුරා පැසෙති. මෙය දැක බිය පත් වූ නිමි මහ රජතුමා මාතලී ය, මොවුන් කුමන පව් කළාහු දැ යි විචාළේ ය. එහිදී මාතලී තෙමේ මෙසේ කීවේ ය.

සිිල්වත් වූ යහපත් වූ ආචාර ගුණ ඇති මහණ බමුණන්ට හිංසා කෙරෙත් ද එසේ කළ පාපකාරී හු හිස පහළට වැටෙන සේ මේ ලෝකුඹු නිරයෙහි වැටී පැසෙත් යැ යි, අටුවාවට ද අනුව සරලව තේරුම්ගත යුතු ය. ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ ඒ දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි යමපල්ලන් විසින් තුන් ගව් පමණ ශරීර ඇති නිරි සතුන් ගේ බෙල්ලට ගිනිගෙන දිලිසෙන ලෝහ යොත් දමා ඉදිරියට නමා හිස කපා ගිනියම් වූ ලෝහ දණ්ඩකින් ගෙන ගොස් ලෝකුඹු නිරයෙහි දමති. එය බලමින් යමපල්ලෝ සතුටු වෙති. කර්ම බලයෙන් ඒ නිරි සතුන්ට නැවත නැවත බෙල්ල සහිත හිස් පහළ වෙයි. යම පල්ලෝ ද නැවත නැවතත් පෙර සේ ම දුක් දෙති. මෙය දුටු නිමි රජු බියට පත්ව කිනම් පව් කළවුන් මෙහි ඉපදී මෙසේ දුක් විඳින්නා හු දැ යි මාතලීගෙන් ඇසී ය. එහිදී ඇසු විට හෙතෙම මෙසේ කීවේ ය. මහරජ, මේ ලෝකයෙහි යමෙක් පක්‍ෂීන් අල්ලාගෙන අත් තටු සිඳ පිහාටු ගලවා ගෙල සිඳ මරා කන්නේ හෝ වේ ද, විකුණන්නේ හෝ වේ ද ඔවුහුු මේ නරකයට වැටී සුන් වූ හිස් ඇතිව සයනය කෙරෙත් යැ යි, අටුවාවට ද අනුව අර්ථ තේරුම් ගත යුතු ය.

ඉක්බිති මාතලී දෙව්පුත් රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි නො ගැඹුරු කොට ඇති රමණීය ගංඟාවක් ගලා බසියි. ගින්නෙන් රත් වූ නිරිසතුන් ගිනි පොළොව පාගමින් පැන් බීමේ අදහසින් ඒ ගඟට බසින්නාහ. එකෙනෙහිම ගං ඉවුර ගිනි ගනී. එහි ගලාගිය වතුර ගිනියම් වූ බොල් වී බවට පත් වෙති. පිපාසය ඉවසාගත නො හැකි වූ නිරි සත්වයෝ ඒ ගිනිගත් බොල් වී කන්නා හ. ඒ ගිනියම් වූ බොල් වී ඔවුන් ගේ සකල ශරීරය ම දවාගෙන අධෝ මාර්ගයෙන් නික්මෙති. ඔවුහු දුක ඉවසා ගත නො හැකිව දෙඅත හිසේ බදාගෙන හඬති. මෙය දැක නිමි රජු කිනම් පව්කම් කළවුන් දැයි මාතලීගෙන් ඇසී ය. මාතලී තෙමේ මෙසේ කීවේ ය. ඒ අනුව වී ආදී සප්ත විධ ධාන්‍යයෙන් යම්කිසි ධාන්‍යයක් මිලයට ගන්නා තැනැත්තෙක් හට බොල් හා මිශ‍්‍ර කොට දෙයි ද, අර්ථයක් නැති දෙයක් හා මිශ‍්‍ර කොට දෙයි ද, වැලි මැටි ආදිය සමග මිශ‍්‍ර කොට දෙයි ද, මෙසේ ජනයා රවටා විකුණූ සොරු මෙහි ඉපදී ගිනියම් වූ බොල් ගිලින්නාහ යැ යි කීවේ ය. ඉක්බිති මාතලී දෙව්පුත් දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි රෞද්‍ර වූ යමපල්ලෝ දුනු ඊ ආදී නානා ආයුධ ගෙන වනයෙහි මුව වැද්දන් මෙන් නිරිසතුන් වට කොට දෙපසින් විදිති. ඒ නිරි සතුන්ගේ ශරීර හැම තැනම සිදුරු සිදුරු වී පණුවන් කෑ කොළ මෙන් වෙති. මෙය දුටු නිමි රජු මේ සතුන් පෙර මෙහි ඉපදීමට කිනම් පව් කළාහු දැයි ඇසු විට මාතලී රියදුරු තෙමේ මෙසේ කීවේ ය.

ඒ අනුව යමෙක් ධන, ධාන්‍ය, රන්, රිදී, එළු, බැටළු ගව ආදී හිමියන් විසින් නො දුන් අවිඤ්ඤාණක සවිඤ්ඤාණක යමක් සොර සිතින් ගෙන ජීවත් වෙද් ද, ගෙවල් බිඳීම් ආදිය කොට හෝ වංචා ප‍්‍රයෝගයකින් හෝ අනුන් සතු නො දුන් දෙය සොර සිතින් ගෙන දිවි පැවැත් වූ අය මෙහි ඉපිද ආයුධ වලින් නැසී දුක් විඳින්නේ යැ යි කී බව, අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය. ඉක්බිති මාතලී දෙව්පුත් දිව්‍ය රථය අන් නරකයක් කරා පදවන ලදී. එහි උපන් ඇතැම් නිරි සතුන් යමපල්ලන් විසින් කපා මස් ගොඩවල් බවට පත් කරති. එහි උපන් ඇතැම් නිරි සතුන් යමපල්ලන් විසින් බෙල්ලට ලෝහ කඹ දා ඇද යමපොළොව මත පෙරලා නානා ආයුධ වලින් කොටා කෑලි කෑලි වලට වෙන් කරන ලදි. මෙය දුටු නිමි රජු බිය පත් ව මොවුන් පෙර කුමන පව්කම් කළාහු දැ යි මාතලී රියදුරාගෙන් ඇසු විට මාතලී දෙව්පුත් තෙමේ මෙසේ කීවේ ය. ඒ අනුව මිනිස්ලොව ගවයන්, මීහරකුන්, එළුවන්, බැටළුවන්, ඌරන් මරා මස්කොට ජීවත් වන්නෝ ද මසුන් මැරුවෝ ද මොවුන්ගේ මස් මස්ලොඹු වල (මස් විකුණන ලෑලි වල) විකිණීමට කොටස් වශයෙන් තැබුවාහු ද තවත් නොයෙක් සතුන් මරා මස් විකුණා දිවි පවත්වන්නෝ ද මේ නිරයේ ඉපිද නිරි පල්ලන් විසින් කොටස් කළ මස් ගොඩවල් බවට පත්ව දුක් විඳින්නේ යැ යි මාතලී දෙව්පුත් කී බව, අටුවා විස්තරයට අනුව අර්ථ දත යුතු ය.

ඉක්බිති මාතලී දෙව්පුත් නිමි මහ රජතුමාට අන් නරකයක් දක්වන ලදී. එහි ඇති මළ මූත‍්‍රා පිරුණු අතිශයින් දුර්ගන්ධ වූ අසූචි විල ගිනිගෙන දුම් දමමින් පැසෙන්නේ ය. සාදුකින් පෙලෙන නිරි සත්වයෝ ඒ කුසගිනි වේදනා ඉවසාගත නො හැකිව දුම් දමමින් පැසෙන ඒ අසූචි ගුලි ලෙස පිඬුකොට ගෙන අනුභව කරති. මෙය දුටු නිමි රජු මේ සත්වයන් මනුලොව දී කිනම් පව් කළාහු දැ යි මාතලී දිව්‍ය රියදුරුගෙන් ඇසු විට හෙතෙම මෙසේ කීවේ ය. ඒ අනුව යම් සත්වයෙක් අත්පා කැපීම් ආදී වශයෙන් මිනිසුන්ට දරුණු වධ දෙන්නෝ ද මිතුරන් වෙහෙසන්නෝ ද අනුන්ට හිංසා පීඩා කරන්නෝ ද අනුන්ගේ ගෙයි ආහාර පාන අනුභව කොට පනවන ලද අසුන්වල ම නිදා පසුව ඒ උපකාර කළ මිතුරන් ගේ ධනය පැහැර ගන්නා වූ ඔවුන්ගෙන් අල්ලස් ගන්නා වූ මිත‍්‍ර ද්‍රෝහිහු ද මේ නිරයෙහි ඉපිද ගිනියම් වූ අසූචි අනුභව කරත් යැ යි මාතලී දෙව්පුත් කියා ඇති බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය. ඉක්බිති නිමි රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි කුණු වූ ලේ සැරව පිරුණු අතිශයින් දුර්ගන්ධ වහනය වන අපවිත‍්‍ර විලක් ඇත. ගිනි රශ්මියෙන් අතිශයින් ම පෙලෙන නිරි සතුන් ඉන් පිපාසිතව බීමට පැන් නැතිව මේ කුණු වූ අපවිත‍්‍ර ලේ සැරව පානය කරති. මෙය දුටු නිමි රජු ඔවුන් කිනම් පව්කම් කළාහු දැ යි විමසී ය. එහිදී මාතලී දෙව්පුත් ඒ කරුණ මෙසේ පහදා දෙන ලදී.

ඒ අනුව යමෙක් මව හෝ පියා හෝ රහතුන් හෝ මරා ගිහිි පරාජිකාවන්ට පත්වූවෝ ද පූජා සත්කාරයට සුදුසු වූ සිල්වත් ගුණවත් බුද්ධ ශ‍්‍රාවකයෝ නැසූ පව්කාරයෝ ද මෙහි ඉපිද ලේ සැරව අනුභව කරන්නෝ වෙති යැ යි මාතලී දෙව්පුත් කී බව අටුවාවට ද අනුව අර්ථ දත යුතූ ය. ඉක්බිති නිමි මහ රජතුමාට අනු නරකයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් උපන් නිරිසතුන් ගේ දිව ගිනියම් වූ බිලී කොකු වලින් අමුණා ඇද ගිනියම් වූ යම පොළොවෙ හි හෙලා ගව හමක් ඇද උල් ගහන්නාක් මෙන් උල් ගසත් නිරි සත්වයෝ ගොඩ දැමූ මසුන් මෙන් දුක් ඉවසා ගත නො හැකිව හඬමින් කෙළ වඟුරවත්. මෙය දුටු නිමි රජු බියපත් වී කිනම් පව් කළාහු මෙහි වැටී දුක්විඳිත් දැයි මාතලී රියදුරු ගෙන් අසන ලදී. එහිදී මාතලී දෙව්පුත් මෙසේ කීවේ ය. ඒ අනුව බඩු මිල නියම කරන ස්ථානයෙ හි ඒ ඒ භාණ්ඩයේ අගය නියම කිරීම් වශයෙන් හෙවත් මිල ප‍්‍රමාණ කිරිම් වශයෙන් නියුතුව සිටින පුද්ගලයෙක් භාණ්ඩ ගන්නට සිටින පුද්ගලයන්ගෙන් අල්ලස් ගෙන වටිනා භාණ්ඩයේ මිල පහත හෙලන කෛරාටිකයෝ ද ඇමෙන් වැසූ බිලීකොක්ක රැුගෙන මසකු මරන්නා සේ හොර කිරුම් මිණුම් ආදී කූඨ ක‍්‍රියා කරන නීච වෙළෙන්දෝ ද මෙහි ඉපිද ගිනියම් වූ බිලි අමුණන ලදුව ගිනියම් වූ යම පොළොවෙහි නිදත් යැ යි පවසන ලද බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය.

ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ නිමි මහ රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි යමපල්ලන් විසින් කැපූ ශරීර ඇති පිළිකුල් ස්ත‍්‍රී හු හිස අත බැඳගෙන හඬති. ගෙල සිඳි ගවයන් මෙන් ලේ සැරව තැවරුණු ශරීර ඇතිව ගිනියම් වූ යම පොළොවෙ හි ඉඟටිය තෙක් එරී සිටුවන ලද කණු මෙන් සිටිති. එහිදී එක් එක් දිශාවලින් ගිනියම් වූ යකඩ පර්වත, හෙන ගහන්නාක් මෙන් ශබ්ද නංවමින් නැගී අවුත් ඔවුන් ගේ ශරීර සුණු විසුණු වී එකෙනෙහි ම කර්ම බලයෙන් නැවතත් ශරීරය තිබූ අයුරින්ම පහළ වෙති. ගිනියම් වූ පර්වත ද නැවත නැවත ඔවුන්ගේ ශරීර සුණු විසුණු කරත් ම ය. විටක ගිනියම් වූ පර්වත දෙකක් දෙපසින් විත් උක්ගස් අඹරන්නාක් මෙන් පෙලත් ඉතා රත් වූ ලේ වැගිරෙති. කිසියම් විටක පර්වත තුන හතරක් ද විත් මෙසේ ම පෙලති. මෙය දුටු නිමි රජු බියපත්ව මාතලීය, මොවුන් කිනම් පව් කළාහු දැ යි විචාළේ ය. එහි දී මාතලී දෙව්පුත් තෙමේ මෙසේ කීවේ ය.

ඒ අනුව අපිරිසිදු ක‍්‍රියා ඇති සමහර කුල ස්තී‍්‍ර හු අසංයත ධූර්තිකාවන් මෙන් ආහාර පාන වස්ත‍්‍රාභරණ සපයා දීමෙන් තමන් පෝෂණය කරන හිමියන් හැර පර පුරුෂයන් සතුටු කරවන්නා වූ ඔවුන් හා සිත් පරිදි කම්රතියෙහි හැසිරෙන පාප ස්ත‍්‍රී හු මේ නිරයට පැමිණ ගිනියම් වූ යම පොළොවෙහි ගිනිදැල් සහිත පර්වතවලින් ඇඹරෙති යැ යි කියා ඇති බව අටුවාවට ද අනුව අර්ථ දත යුතු ය. ඉක්බිති මාතලී දෙව්පුත් තෙමේ නිමි මහ රජතුමාට අන් නරකයක් පෙන්වන ලදී. එහි දිලිසෙන බියකරු ගිනි අඟුරු පිරුණු මහ නරා වලකි. එය දැක නිරි සතුන් එහි පිවිසීමට බියව සිටින විට ගාලට නො පිවිසෙන හරකුන්ට මෙන් යමපල්ලන් විසින් නොයෙක් ආයුධ ගෙන විදිමින් තලමින් ඒ අඟුරු වල කරා ගෙන ගොස් නිරි සතුන් ගේ පා වලින් ගෙන හිස යටිකුරුව සිටින සේ ඒ බියකරු ගිනි අඟුරු වලේ හෙලත්, එහි ගිලෙන්නා වූ නිරි සතුන් දුටු නිමි මහ රජතුමා බියපත්ව මොවුන් මේ තාක් මහත් දුකට පත්වන්නට කිනම් පව්කම් කළා හු දැ යි විචාළේ ය. එහි දී මාතලී තෙමේ මෙසේ කීවේ ය. ඒ් අනුව මිනිස්ලොව මිනිසුන් ගේ උත්තම භාණ්ඩයන් වූ ඉතාම ඇලූම් කරන ප‍්‍රිය භාර්යාවන් හා යම් පුරුෂයෙක් පරදාර සේවනයේ යෙදෙද් ද ඒ පාපී පුරුෂයෝ මෙහිදී දෙපාවලින් ගෙන හිස පහළට සිටින සේ අඟුරු වළට හෙලනු ලැබෙත් යැ යි කී බව කෙටියෙන් දත යුතු ය.

ඉක්බිති නිමි මහ රජතුමාට මාතලී දෙව්පුත් විසින් අන් නරකයක් පෙන්වන ලදී. ඒ නිරයෙහි කුඩා මහත් දුක්ගැහැට ඇති අතර යමපල්ලන් බිම පෙරලා උල් ගැසීම, හරස් කියතින් ශරීරය කැපීම, වෑයෙන් කැපීම, ලෝ දිය පෙවීම, ලෝහ ගුළි කැවීම, ආදී අනේක දුක් දෙයි. මෙහි නිරි සතුන් තියුණු රළු කටුක දුක් වේදනා විඳිති. නිමි රජු මෙය දැක බියට පත්ව මොවුහු කිනම් පව් කළාහු දැ යි මාතලී රියදුරුගෙන් විමසී ය. හෙතෙම මෙසේ කීවේ ය. ඒ අනුව මෙලොවක් නැත, පරලොවක් නැත, දී මෙහි විපාක නැත, මව්පියන්ට උපස්ථාන කළාට වැඩක් නැත, යනාදී ලෙස කර්ම ඵල විශ්වාස නො කරමින් මිසදිටු ගෙන තමාද මෝහයෙන් නොයෙක් පව්කම් කොට අන්‍යයන්ට ද මිසදිටු අදහස් දී ඔවුන් ද මුලා කරන අධම පව්කාරයන් මෙහි ඉපිද තියුණු රළු කටුක දුක් වේදනා විඳිත් යැ යි කියා ඇති බව දත යුතු ය. මේ අතර දෙව්ලොව දෙවියෝ ද සුධර්මා දෙව් සභාවේ රැුස්ව නිමි මහ රජ මාතලී රථාචා්‍ය_යා හා පැමිණෙන තුරු මඟ බලා සිටිති. සක් දෙවිඳු මාතලී දෙව්පුත් ප‍්‍රමාද කුමක් නිසා ද කියා බලනුයේ මේ කරුණ දැක මෙසේ සිතුවේ ය. මාතලී දෙව්පුත් නිමි රජුට අසවල් කර්මය කොට අසවල් නිරයෙහි පැසෙත් යැ යි කියමින් නරකයන් දක්වමින් හැසිරෙ යි. ”නිමි රඤ්ඤෝ පණ ආයු ඛියේථනනිරය දස්සනස්ස පරියන්තං ගව්ජෙය්‍යාති” ඉදින් නිමි රජුගේ ආයුෂ ගෙවුනේ නමුදු නිරයන් දැකීම කෙළවරකට නම් නො යන්නේ යැයි රජුන් සමඟ වහා එන්න යැයි දිව්‍ය පුත‍්‍රයෙක් අත පණිවිඩයක් යැවී ය. එය ඇසූ මාතලී දෙව්පුත් (ගුවනට නැංවූ අහස් යානයක සිට නගරයක සිරි නරඹන්නාක් මෙන්) එකපාරටම සතර දිශාවල බොහෝ නිරයෝ දක්වා මෙසේ කීවේ ය.

මහරජ, පව්කම් කළ සතුන් වසන තැන් ද දරුණු පව්කම් කළ සතුන්ගේ උප්පත්ති ස්ථානයෝ ද දුශ්සීල සත්වයන් උපදනා ස්ථානයෝ ද ඔබ විසින් දක්නා ලදහ. දේවයන් වහන්ස ෟ දැන් සක් දෙව් රජුගේ දිව්‍ය සම්පත් දක්නා පිණිස යනු මැනවි යැ යි මාතලී දෙව් පුත් කීවේ ය. පසුව මෙසේම එහි දෙව් විමන් බලමින් ගිය බව නිමි ජාතකයේ දැක්වේ. මේ ඉහත දැක්වූ නිරයන්හි ඉපදීමට හේතුවන යම් පවක් කලේ නම් එය චුත වන මොහොතේ සිහි වුවහොත් එම නිරයන් හි ඉපිදී දුක් විඳීමට සිදුවේ. පසුව එයින් මිදී තිරිසන් සතුන් වී ඉපිද අපමණ දුක් ගැහැට විඳීමට සිදු වේ. තිරිසන් ලෝකයේ ඇති දුක ටිකක් හෝ ඔබට පෙනෙන බැවින් මෙහි එය විස්තර නො කරන්නෙමු. ඉන්පසු ශේෂ කර්ම විපාක ලෙස පේ‍්‍රත ලෝකවල ද ඉපදී අපමණ දුක් විඳීමට සිදු වේ.

කුසල් ලෙසින් පෙනෙන අකුසල්

නාවලපිටියේ අරියවංශ හිමි
ගරුසරු ඇතිව වාසය කරමින් සේඛ ධර්ම ඇතිකර ගන්නා ආකාරයයි මීට පෙර සාකච්ඡා කළේ. ඒ වගේම පිරිස සමග ගරුසරු ඇතිව වාසය කරන විට නුවණින් කල්පනා කළ යුතු තවත් කාරණාවක් තිබෙනවා. එකට වාසයට කරද්දි අපට සිහිනුවණ නැතිවුණොත් ඡන්දයෙන් අගතියට යන්න පුළුවන්. තමා එකිනෙකා ගැන හෝ යම් යම් වැඩ වලට හෝ විශේෂ කැමැත්තකින් අන්තයට යන්ට පුළුවන්. ඡන්දයෙන් අගතියට ගියවිට කරන කටයුතු වත් පිළිවෙත් වගේ පෙනෙයි. ගරුසරු කිරීමකුත් පෙනෙයි. ඒ අය දන්නේම නැතිව කම්මාරාමතාවට වැටෙනවා. නැත්නම් භස්සාරාමතාවට වැටෙනවා. එහෙම නැත්නම් නින්දට ඇලෙනවා. පිරිස එක්ක කතා කර කර ඉඳලා ඒ පිරිසට ඇලී වාසය කරනවා. ඒ නිසා සතර අගතියට නො වැටී කටයුතු කරන්ටත් පුරුදු වෙන්ට ඕන.
ඡන්දයෙන් අගතියට නො ගිහින් කටයුතු කරන්ට පුරුදු වෙන්ට ඕන. ඒ වගේම ද්වේශයෙන් අගතියට නො ගිහින් භයෙන් මෝහයෙන් අගතියට වැටෙන්නේ නැතිව කටයුතු කරන්ට ඕන. මේ ධර්මය පුුරුදු කරන්න ඉතාම අමාරුයි. සිහිනුවණ නැතිවුණොත් ඒක තුළින්ම ඔහු මුලාවෙනවා. ආඩම්බරයක් එනවා “මට යමක් තිබෙන කෙනෙක්. මම වගකී-මක් දරන කෙනෙක් කියන හැගීමට එනවා. ඔහුට හොයා ගන්න බැහැ තමාට මොකද වුණේ කියල?. කලින් මෘදු, මොලො- ක් වචන තිබ්බ නම්, තනතුරක් ලැබුණහම වවන රළුවෙනවා. ගමන බිමන වෙනස් වෙලා යනවා. සිහි නුවණ නැතිවෙලා යනවා. ඡන්දයෙන් අගතියට යනවා. එහෙම නැත්නම් ද්වේශයෙන්, මෝහයෙන් භයෙන් අගතියට යනවා. ඒ නිසායි ඔහුගේ ස ්වභා-වය වෙනස් වෙලා යන්නේ.
අපි එකිනෙකාට උපකාර කරනවා කියා කියන්නේ වත් පිළිවෙත් කිරීම යි. එතකොට ඒ විදියට වත් පිළිවෙත් කරන විට කෙනෙකුගේ හිත ඡන්දයෙන් අගතියට යන්ට පුළුවන්. නැත්නම් ද්වේශයෙන් අගතියට යන්ට පුළුවන්. නැත්නම් භයෙන් අගති-යට යන්ට පුළුවන්. අප ඒවා තේරුම් ගන්ට දක්ෂ වෙන්ට ඕන. අප හිතමු, යම් ආහාරයක් පොදුවේ බෙදන්ට යම් කෙනෙකුට පවරනවා. මෙන්න මේ ආහාර ටික ඔක්කෝටම බෙදන්ට කියල. අපි හිතමු ඒ ආහාර බෙදන කෙනාගේ විශේෂ හිතවත් කෙනෙක් ඉන්ට පුළුවන්. එවිට ඔහුට හොඳ ආහාර ටික දෙන්ට හිතෙන්න පුළුවන්. වැඩිපුර දෙන්න හිතෙන්න පුළුවන්. එහෙම හැඟීමක් එයිද නැද්ද? එන්න පුළුවන්. ඒ ලෝක ස්වභාවයක්. මේවා ගෙවල් දොරවල් වලත් තියෙනවා. මේ සමාජයේ තිබෙන ස්වභාවයක්. එබඳු ස්වභාවයන්ට කියනවා අගතියට යනවා කියා.
අප හිතමු යමෙකුට යම් පිරිසක් රැකබලා ගන්න ලැබෙනවා. ඔහුට විශේෂයෙන් අකැමැති කෙනෙක් ඉන්ට පුළුවන්. එවිට ඔහු සතර අගතිය තුළ කටයුතු කළොත්, ඒ තමාට අකැමැති පුද්ගලයාට පහසුවක් සලසා දෙයිද? නැහැ. අහිතවත් පුද්ගල-යාට අපහසුතා ඇති කරන්ට පුලුවන්. එතනදී අප සතර අගතියට වැටිල කටයුතු කරනවා කියා අඳුනා ගන්ට බැහැ.
අප පිළිගන්ට ඕන මෙබඳු අකුසල් අප තුළ හට ගන්ට පුළුවන් කියා. ඇයි එහෙම පිළිගන්නේ? අප සංසාරේ බොහෝ කල් ගියේ මෙබඳු අකුසල් තිබුණ නිසා. මේ අකුසල් අප තුළ තිබුණේ නැත්නම් සංසාරේ මේ තාක් කාලයක් එයිද? එන්නේ නැහැ. එහෙනම් අප අවංක භාවයෙන් පිළිගන්ට ඕන අප ළඟ මේ නොයෙකුත් අකුසල් තිබිල ඇති. හැංගිලා වගේ මේවා තිබුණට මේවා මතුවෙලා එන්ට පුළුවන්. ඒ අකුසල් හැංගිලා තියෙන්නේ. අර 'තුඹස අස්සේ ඉන්න නයා'වගේ අකුසලය හිත ඇතුලේ හැංගිලා තියෙන්නේ. මේ හිත හරියට 'නිදියන් ඉන්ට කොටිය'වගේ. නිදාගෙන ඉන්නවිට නම් හරිම ලස්සනයි. ගිහින් අත ගාන්ට හිතෙනවා. නමුත් මොහොත-කින් ඔහුගේ නියම ස්වභාවය මතු වෙලා එනවා.
මේ සියලු අකුසල් ස්වභාවයන් මතුවෙලා එන්නේ පිරිස සමඟ එකට වාසය කරන විටයි. තමන්ම තමන් ගැන හොඳට සිහියෙන් කල්පනා කර බැලුවොත් සිහියෙන් වාසය කළොත-් “මගේ හිත ඡන්දයෙන් අගතියට යනවා, ද්වේෂයෙන් අගතියට යනවා, මෝහයෙන් අගතියට යනවා භයෙන් අගතියට යනවා නේද කියන කාරණාව තමා තුළම දැක ගන්ට පුළුවන්.
එවිට අප ඉගෙන ගන්ට ඕන. සතර අගතිය කියා දෙයක් තියෙනවා. ඒක කුසල් වේශයෙන් එන අකුසලයක් කියල. කුසල් වේශයෙන් අකුසල් ඇවිත් අපට ඒවා දුරුකර ගන්ට බැරිව යනවා. කුසල් වේශයෙන් එන කාරණය නිසා දන්නේම නැතිව හිත ද්වේෂයට හැරෙනවා. ද්වේෂයෙන් අගතියට යන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ අකුසලය හොයන්න බැහැ.
අපට තේරුම් ගන්ට බැහැ අකුසල් වලින් මේ හිත ගිලිල තියෙනවා කියා. ඒවා අප තේරුම් නො ගත්තොත් සිත අනතුරට පත්වෙනවා කියන එක වළක්වන්ට බැහැ. දන්නේම නැතිව හිතේ නො සන්සුන්තාවයන් හටගෙන , හිත විනාශ වෙලා යනවා. එහෙම වෙනකොට ඔහු දස කතාව හුරු වෙන්නේ නැහැ ඒ හිත ඡන්දයෙන් දේව්ෂයෙන්, මෝහයෙන්, භයෙන් අගතියට ගිය නිසායි. ඒ වගේම ඔහුට අවවාදයක් කළොත් ඒක හිතට යන්නේ නැහැ. ඔහු මෝහ-යෙන් මුලාවෙලා දුකට පත්වෙලා. ඊළඟට භයෙන් අගතියට යනවා. මොනව හරි ගැටලුවක් ඇති වුණානම් මට බැනුම් අහන්ට වෙයිද දන්නේ නැහැ. මාව ලජ්ජාවට පත්වෙයිද දන්නේ නැහැ කියා ඔහු භයෙන් අගතියට යනවා. අප හිතමු තමා අතින් සිල් පදයක් පළුදු වුනා කියා. මේ ගැන කාගෙන්වත් අහන්ට බැහැ. ඇහුවොත් මං ලජ්ජාවට පත්වෙයි කියා .ඔහු භයෙන් අගතියට ගිහිල්ල වාසය කරනවා.
ඒ නිසා මේ සතර අගතිය හඳුනාගෙන අපට එය දුරු කරන්ට නොහැකි වුණොත් වත් පිළිවෙත් කළ පමණින්ම ගරුසරු තිබූ පමණින්ම මේ අකුසල ස්වභාවයන් හඳුනා නො ගත්තොත් අපට එකිනෙකා කෙරෙහි ගරුසරු ඇතිව වාසය කරන ඒ හැඟීම සාර්ථක කරගන්ට බැරිව යනවා. ඊළඟට ඒ වත්පිළිවෙත් කිරී-මෙන් අප තුළ දියුණුකර ගැනීමට අපේක්ෂා කරන ඒ සංවරය අපට අත්කර ගන්ට බැරුව යනවා.
ඒ නිසා අප ඒ කාරණාව හොඳින් තේරුම්ගන්ට ඕන. ඒ වගේම අප පිළිගන්ට ඕන අප තුළ මේ අකුසල් හට ගන්ට ඉඩ කඩක් තියෙනවා කියා. ඇයි අප සංසාරේ යමින් ඉන්න අයනේ. සංසාරේ යන අප තුළ අකුසල් තිබිය යුතුයි නේද? එහෙනම් අප අවංකව පිළිගන්ට ඕනැ මේවා අප ළඟ තියෙන්ට පුළුවන් කියා. මේ අකුසල් හැංගිලා තිබිලා අවස්ථාවකදී මතුවෙන්ට පුළුවන් කියා.
ඉතින් පිරිස සමඟ එකිනෙකාට උපකාර කරමින්, සමඟිව වාසය කරණකොට සිහියෙන් යුක්තව වාසය කිරීමේදී තමයි මේ අකුසල් හඳුනගන්ට තියෙන්නේ. ඒකට ඕන සිහියත්, නුවණත් .නුවණ කියල කියන්නේ ධර්මයේ තියෙන දේ විශ්වාස කිරීමයි. ධර්මය පිළිගැනීමයි. දැන් සතර අගතිය ගැන අප කලින් දැනගෙන හිටියෙ නැහැ. ධර්මයෙන් අපි ඒ කාරණා ඉගෙන ගත්තා. අන්න ඒ ධර්මය තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය වන්නේ. අප ඒක ඉගෙනගෙන පිළිගත්ත ගමන් අපේ දැනුම උපදිනවා. අන්න ඒකයි ඔහුගේ නුවණ වෙන්නෙ. ඊට පස්සෙ ධර්ම කාරණා නුව-ණින් කල්පනා කරනවා. මෙන්න මෙබඳු අකුසලයක් මනුස්සයාගේ හිත තුළ හට ගන්ට පුළුවන්ම කියල. එහෙනම් ඒක මගේ හිතෙත් හටගන්ට පුළුවන් කියල ඔහු කල්පනා කරනවා.
මේ ධර්මය තුළ ඡන්දයෙන් අගතියට යාම කියා අකුසලයක් තිබෙනවා. ඒක භාග්‍යවතුන් වහන්සේ අවබෝධය , එහෙනම් ඒක මගේ හිතෙත් හට ගන්ට පුළුවන් කියල පිළිගන්නවා. ඒක ඔහුගේ නුවණයි. ඒක විශ්වාස කරමින් ඔහු ජීවිතය ගැන නුවණින් කල්පනා කරනවා. ඊට පස්සේ ඔහු හොඳට සිහියෙන් ඉන්නවා. එවිට තේරෙනවා. තමා තුළම ඡන්දයෙන්, දේවේශයෙන්, භයෙන්, මෝහයෙන් අගතියට යෑම තිබෙනවා කියා. එහෙම හඳුනාගන්ට පුළුවන් වෙන්නේ ධර්මය දැනගෙන සිහියෙන් හිඳිමින් තමා තුළ මේ අකුසල් හටගැනීම දකින්ට වෑයම් කිරීම නිසායි. ඔහු ධර්මය දකින කෙනා වෙනවා. ඉලක්කයක් තියෙන්නේ පිරිසුදු වීම පිණිස, ඒ නිසා ඒ අකුසලය බැහැර කරනවා. හිතේ පවත්වන්ට කැමැති වෙන්නේ නැහැ. ඒ ආකාරයට කටයුතු කළවිට සතර අගතිය නිසා උපදින අකුසල් වලින් නිදහස් වෙන්ට අවස්ථාව තියෙනවා. එබඳු සිතකින් වාසය කරන පිරිසට අන් අය උදෙසාම මෙත් සිත ඇති කර ගන්ට පුළුවන්. කරුණාව, මුදිතාව, උපේක්ෂාවෙන් යුක්තව වාසය කරන්ට පුළුවන් . ඒ පිරිස දවසක් සතියක් නොවෙයි. අවුුරුද්දක් නොවේ දිවි ඇති තුරා එකිනෙකාට උපකාර කරයි. ඒ පිරිසගේ සිත් කැලඹිලා යන්නේ නැහැ. ඒ පිරිසගේ හිතට දස කතාව පි‍්‍රයයි. දස කතාව ජීවිතයට හුරු වෙනවා. එවිට හිත වැඩෙනවා. හිත වැඩෙනවා කියා කියන්නේ නීවරණ වලට ආහාර නැති වෙලා යනවා. නීවරණ දුබල වෙන්ට පටන් ගන්නවා. ඔහුට ඒ දස කතාව තුළ හික්මෙන්ට පුළුවන්කම තිබෙනවා. තෙරුවන් කෙරෙහි පැහැදීම ඇතිකර ගන්ට පුළුවන්. ශ්‍රද්ධාව උපදවා ගන්ට පුළුවන් .ඔහුට සේඛ ධර්ම ඇති කර ගන්ට අවස්ථාව තිබෙනවා. ඔහු තුළ සීලය ටිකෙන් ටික පිරිසුදු වෙන්න පටන් ගන්නවා. එනිසාම ඔහුට “සීල විසුද්ධිය” ඇතිකර ගන්ට භාග්‍යය උදාවෙනවා.
නයනා නිල්මිණි

ජීවමාන බුදුරදුන්ට දක්වන ගෞරවයක් සේ සිතා බෝධි වන්දනාව කරමු

බෝධි වන්දනාවේ ආරම්භය මෙන්ම එහි ඇති වැදගත්කම ගැනත් අප පසුගිය කලාපයකදී කතා කළා. අතීතයේ සිටම බෞද්ධයන් චෛත්‍යය වන්දනාවට මෙන්ම බෝධි වන්දනාවට ඉමහත් ශ්‍රද්ධාවක් දැක්වූ බවද අප හොඳින් දන්නවා. එසේ වුවත් වර්තමානයේ ඇතැම් උපදේශකවරුන් යැයි කියා ගන්නා පිරිස් තරුණ දරු දැරියන්ට බෝ ගස සම්බන්ධව වැරැදි අර්ථකතන ලබා දෙන බව පෙනෙනවා. ‘බෝ ගස තවත් එක් වෘක්ෂයක් බවත් එසේ බෝ ගසට වන්දනා මාන කරනවානම් බුදුරජාණන් වහන්සේ පාගමන් කළ පස්වලටත් වන්දනා මාන කළ යුතු බවට ඉතාම වැරැදි මති මතාන්තර මේ පිරිස් විසින් සමාජ ගත කිරීමට උත්සාහ දරන බවක් පෙනෙනවා.
ඒ සම්බන්ධව නිවැරැදි කරුණු නොදත් බොහෝ තරුණ පිරිස් මෙන්ම ඇතැම් වැඩිහිටියන් පවා මුළා වන බව පෙනෙන්නට තිබෙනවා. අද අන්තර්ජාලයේ බෝ ගස සම්බන්ධව විස්තර සොයා බැලුවහොත් වර්තමාන විද්‍යාත්මක පර්යේෂණ ප්‍රතිඵල දැන ගන්නට පුළුවන්. අනෙක් සෑම වෘක්ෂයකටම වඩා ලොව පවතින අනෙක් ශාකවලට වඩා පිරිසුදු කිරණ පිටකරන ශාකය බෝගස බව අපට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසුදු දේ සිඳ දමා පිරිසුදු දේ වර්ධනය කළ හැකි ශක්තියක් බෝ වෘක්ෂයට තිබෙනවා. ග්‍රහ අපල හෝ වේවා එදිනෙදා ඇතිවන භෞතික රෝග හෝ වේවා ඇස්වහ හෝ වහ කටවහ සිත්වහ ආදිය හෝ වේවා මේ සියල්ලටම ආශිර්වාදය ලබා දිය හැකි බලයක් බෝ සමිඳුන් සතු වනවා.
එවන් ශක්තියක් ඇති බෝ සමිඳුන්ට බුදුරජාණන් වහන්සේගේ බලයත් එයට එක් වූ විට, එමෙන්ම පසේ බුදුවරුන්ගේ බලයත් ඒ සඳහා එක් වූ විට එමෙන්ම අර්හත් බලයත් ඒ සඳහා එක් වූ විට ලැබෙන්නා වූ ආශිර්වාදය කෙතරම් බලසම්පන්නදැයි අපට සිතා ගැනීමට පුළුවන්. එසේම එම බෝ සමිඳුන්ට දෙවියන්ගේ බලයත් ලැබෙන බව අප අමතක නොකළ යුතු වනවා.
බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදීම බෝ සමිඳුන්ට පුද පූජා පැවැත්වූ බව අප හොඳින්ම දන්නවා. ආනන්ද බෝධි රෝපණය බුදු රජාණන් වහන්සේ අනුදැන වදාළා.
ධර්මාශෝක රජතුමා විසින්ම ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට දිනපතාම බෝධි පූජා පැවැත්වූවා. රජතුමාගේ බිසවක වූ අසන්දිමිත්තාට වැටහුණේ තමන්ට වඩා රජතුමා බෝධියට ආදරේ බවයි. මේ නිසා එම බිසව බෝධින් වහන්සේ විනාශ කරන්න කටයුතු කළ බව ඉතිහාසයේ දැක්වෙනවා. මේ සිදුවීම් බොහෝ බෞද්ධයන් දන්නෙ නැහැ. හෙළ රජ දවසින් පවා අපට වටහා ගත හැකි බොහෝ දේ තිබෙනවා. දේවානම්පියතිස්ස රජතුමා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරාධපුරයේ රෝපණය කර යළි මාලිගයට ගියේ නැහැ. රජතුමා සත් දිනක් යනතුරු රජ ඔටුන්න බෝ සමිඳුන් ළඟ තබා දොරටුපාලකයෙක් ලෙස බෝධින් වහන්සේ උදෙසා කටයුතු කළා.
එමෙන්ම ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සියලු ප්‍රදේශවල නායකයන් ප්‍රාදේශීය නායකයන් වගේම සියලු ප්‍රභූන් එක්වර රැස්වුණේ ශ්‍රී මහා බෝධි රෝපණ උත්සවයට බව ඉතිහාසයේ දැක්වෙනවා. චන්දන ග්‍රාමයේ චන්දන බමුණා මෙන්ම දෙරමඩලාව ප්‍රදේශයේ නායකයන් වගේම රෝහණයේ නායකයන් ඇතුළු සියලුම නායකයන් මෙන්ම ජනතාව මේ සඳහා එක් රැස් වුණා.
ලංකා ඉතිහාසයේ රජදරුවන් විසින් 14 වතාවකට වඩා රාජ්‍යය බෝ සමිඳුන්ට පුදා තිබෙනවා. ඒ රටේ ආරක්ෂාව උදෙසායි. රටට බෝ සමිඳුන්ගේ ආරක්ෂාව සැලසෙන බව දන්නා නිසයි. ආරක්ෂා සම්පත්තිය බෙහෙවින් වැදගත් බව අතීතයේ සිට රජදරුවන් දැන සිටියා. ඒ බව රටවැසියන්ට මනාව අවබෝධ වුණා. එම නිසා වර්තමානයේ මෙන් මිථ්‍යා දෘෂ්ටික අදහස් රෝපණයට ඉඩක් ලැබුණේ නැහැ. බෝ සමිඳුන්ට සියලු පුද සත්කාර කරන්නේ අපේ බුදු හාමුදුරුවන් යන අදහසින්. සියලු ජනයාට එක හා සමාන අවස්ථාව ලබා දීමට බුදුරජාණන් වහන්සේ එදා කටයුතු කළත් අද අපේ ඇතැම් පිරිස් බුදු දහමට පවා විවිධ අර්ථකතන එකතු කර බෝධීන් වහන්සේ නැහැවීම කාන්තාවන්ට සුදුසු නොවන බව පවසනවා. මේ කතාවන් බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගේ ඉල්ලීම අනුව ඇති කළ කාන්තාවන්ට පැවිදිවීමේ අයිතිය ලබා දීමේ සිට කාන්තා විමුක්තිය ලබා දීම දක්වා වූ සියල්ල ලඝු කොට දැක්වීමක් බව පැවසිය යුතුයි.
බුදුරජාණන් වහන්සේ විසින් නොපනවන ලද කරුණු එකතු කර දහම විකෘති නොකර අනාගත පරපුරට උරුම කර දීමත් ඉතාම වැදගත් වනවා. ඇතැමුන් පවසන්නේ කාන්තාවන් බෝ සමිඳුන් අසලට යාමෙන් ‘කිල්ල’ට හසුවන බවයි.
මඳක් සිතන්න බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ ඕනෑම අයකුට උන්වහන්සේ හමුවට යාමට හැකියාව තිබුණා නම් අපේ මුදුන් මල් කඩවන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ විසින් නම් කාන්තාවන්ට බෝ සමිඳුන් අභියසට යාමට නොහැකි බව විවිධ අර්ථකතන මඟින් ගෙන හැර දක්වන්නේ බුදු දහම විකෘති කරන්නන් හා බුදු දහම නිසි ලෙසින් නොදන්නා අය බවත් කිව යුතු වෙනවා. එය බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට කරනු ලබන මහත් අපහාසයක් බවද පෙන්වා දිය යුතුයි.
යම් කාර්යයක් ආරම්භ කිරීමට පළමුව බොහෝ දෙනා අද බෝධි පූජා තබන්නේ එහි ඇති වැදගත්කම දන්නා නිසයි. මනස ඒකාකාරීව තබා ගෙන සන්සුන් සිතින් යම් කාර්යයක් ආරම්භ කරන්න එය ඉවහල් වනවා. බෝගස අපට මනා ආදර්ශයන්ද දෙන බව අපට පැහැදිලිව පෙනෙන දර්ශනයක්. කිසි විටක මුල අමතක නොකරන ලෙසින් යළි මුල් දෙසටම නැමී බර වන බෝගස මල් නොපෙන්වා ඵලය පමණක් පෙන්වා දීමෙන් අපට පෙන්වන්නේ බාහිර අලංකාරයට වඩා සෑම විටම යහපත් ප්‍රතිඵලය වැදගත් වන බවයි.
බෝ සෙවණේ හැදෙන වැඩෙන ඕනෑම අයකුට දීර්ඝායුෂ තිබෙනවා. හොඳින් සිතා බලන්න ස්වාමින් වහන්සේ නමක් බොහෝ විටම අපවත් වන්නේ වයෝවෘද්ධ වීමෙන් පසුවයි. කලාතුරකින් වෙනත් හේතුන් මත යම් ආකාරයක හදිසි ආපදාවක් වන්නට පුළුවන්. ඒ වගේම විහාරස්ථානයේ සිටින සුනඛ බළල් ඇතුළු වෙනත් සත්ත්වයන්ද දීර්ඝායුෂ ගෙවනු ලබන බව ඔබට පෙනෙනවා ඇති. ඉතාම කලාතුරකින් හැරෙන්නට බොහෝ විට එම තිරිසන් සතුන් පවා දීර්ඝායුෂ ලබනවා. කිසිවෙක් මේ සඳහා බලපවත්වන හේතුන් විද්‍යාත්මකව හෝ ප්‍රායෝගිකව හෝ ඔප්පු කර නැහැ. නමුත් ඒ සඳහා එකම හේතුව බෝ සෙවණේ සිටීම බව ඉතාම පැහැදිලියි. නිතර බෝ සෙවණේ වැඩ සිටින නිතරම බෝ මළුව අමදින ස්වාමින් වහන්සේ මෙන්ම විහාරස්ථානයේ ඇප උපස්ථාන කරනු ලබන අය දෙස බලන්න. ඔවුන් නිරෝගි සුව විඳිමින් දීර්ඝායුෂ ලබනවා. වර්තමාන ක්ෂණික ආහාර රටාව අනුව යම් ආකාරයක රෝගී තත්ත්වයන් ඇති වීමට පුළුවන්. නමුත් පොදුවේ ගත් කළ බෝ සමිඳුන් වෙතින් ලබන්නා වූ ආශිර්වාදය මේ අනුව අපට සිතා ගන්නට පුළුවන්. එපමණක් නොවේ මවු කුසක හට ගන්නා කළලයේ ස්වභාවය පවා යම් දුරකට වෙනස් කිරීමේ බලයක් බෝ සමිඳුන්ට තිබෙන බව බෞද්ධයන් ලෙසින් අප විශ්වාස කරනවා. යම් ආකාරයක හෝ අපහසුතාවයන්ට පත්වන ගැබිනි මවුවරුන් බෝධි පූජාවන්ගෙන් සුවය ලබන්නේත් රෝගී බව පවසන නූපන් දරුවන් නිරෝගී වී පරිපූර්ණ ලෙසින් බිහිවන්නේත් එම නිසයි.
ලේ ධාතුව පවා බෝ සමිඳු සෙවෙණ් සිටීමෙන් පිරිසුදු වනවා. කලින් කීවාක් මෙන් ආශිර්වාදය මෙන්ම කායික ශක්තියක්ද අපට බෝ සමිඳුන්ගෙන් ලැබෙන නිසයි අප විවිධ රෝගී තත්ත්වයන් ඇති වූ විට බෝධි පූජා පවත්වන්නේ. මේ කරුණූ දෙස විමසුම් ඇසින් බැලීමෙන් අපට ඉතාමත් පැහැදිලියි. බෝ සමිඳුන් වහන්සේ අපේ දිවිය සමඟ කෙතරම් සමීප වී ඇත්ද යන්න සම්බන්ධව. එම නිසා කවුරුන් කෙසේ කීවත් අප සැබෑ බෞද්ධයන් ලෙසින් කටයුතු කරනවා නම් බෝධි පූජාව නිසි අයුරින් ජීවමාන බුදුරජාණන් වහන්සේට කරනු ලබන ගෞරවයෙන් කළ යුතු වෙනවා.

ඇස් පිදීමක් වන වූ පහන් පූජාවේ අනුසස්

“දීපදෝ හෝති චක්ඛුදෝ” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින් කමකි. සෑම පිනකින්ම දෙවිමිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම් වලින් විශේෂයෙන් ලැබෙන අනුසස්ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. උපනුපන් තැන හොද ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමටද මෙය විශේෂ පින්කමකි.
අප බුදු සස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන්පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේ දී ධනවත් මනුෂයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහාසංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍රද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහාසංඝයා වහන්සේ වෙත එළඹ දිවැස් ලැබීමට කළයුත්තේ කිමදැයි ඇසීය. “උපාසකය! එය සදහා ප්‍රදීපදානය දෙන්නට වටනේය”යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැයි ගිවිස පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ධතු පිහිටවා කළ සත්යොදුන් ස්වර්ණ චෛතයය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන්ගස් දහසක් කරවීය. ඒවා ළගට කුඩා වූ ද ඒවා ළගට තවත් කුඩා වූද දහස් ගනන් පහන්ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කෙලේය.
ඉන් කල්ප ලක්ෂයකට පසු නැවතද හෙතෙමේ කාශයප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපිද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින්ද තබා දල්වා හිසමත තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශයප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛතයය වටා තබා විශාල රන් තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛතය වටා සර්වරාත්‍රීයෙහිම ඇවිදිමින් මහා පහන් පූජාවක් කලේය.
එම පින්කම් වල ප්‍රතිඵලය ලෙස අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ අප බුදු සස්නෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් තනතුර ලදහ.
පඤ්චදීපිකා භික්ෂුණීන් වහන්සේ,
කල්ප ල්ක්ෂයකට පෙර අතීතයේ එක් කපෙක හංසවතී නගරයේ ආරාමයෙන් ආරාමයට වන්දනාවේ ඇවිදින කාන්තාවක් වූවාය. ඕ එක් මාසේපෝය දිනයක එක් බෝධිවුක්ෂයක් වෙතට පැමිණ එහි සිත පහදා බෝධිමූලයෙහි හිදගත්තාය. ඕ ඉතා ගෞරවයෙන් දොහොත් මුදුනේ තබා බෝරුකට වැදගෙන මහත් සොම්නසින් “ඉදින් බුදුරජානන් වහන්සේ අනන්ත ගුණ ඇති සේක නම්, අසම අප්‍රතිපුද්ගල වූ සේක් නම්, මේ බෝධින් වහන්සේ ප්‍රාතිහරයයක් දක්වන සේක්වා, මේ බෝධීන් වහන්සේ දිලිසෙත්වා” යි සිතූවාය.
එකෙණෙහිම බෝරුක දිලිසුණි. සියලු බෝරුක ස්වර්ණ වර්ණ විය. සෑම තැනම ආලෝකය පැතිරිණි. ඒ ප්‍රාතිහාර්යයෙන් අතිශයින් සොම්නසට පත් ඕ තොමෝ සතියක්ම බෝරුක මුල විසුවාය. සත්වන දින රාත්‍රීයෙහි පූජාසනය මත පහන් පසක් දැල්වූවාය. ඒ පහන් පසුදින හිර උදාවන තෙක් ම දැල්විණ.
පසු කාළයේ ඕ කළු්‍රිය කොට තව්තිසා දෙව්ලොව උපන්නාය. ඈට එහි සැටයොදුන් උස තිස්යොදුන් පළල පඤ්චදීපිකා නම් විමානයක් පහළ විය. එහි ගනනක් නැති පහන් දැල්වෙන්නේය. ඇයට දක්නට කැමති උඩ යට සරසා ඇති සියල්ල ඇසට පෙනෙන්නේය.
ඒ පිනෙන් ඕ අසූවරක දෙව් රදුන්ගේ බිසව වූවාය. සියවරෙක සක්විති රජුන්ගේ මෙහෙසිය වූවාය. උපනුපන් සෑම තැනම ඇය පිණිස දහස් ගණන් පහන් දැල්විණි. ඕ මෙසේ දෙව්මිනිස් දෙගතියෙහි කල්ප ලක්ෂයක් සම්පත් විද අන්තිම ජාතියේ අප බුදුරජානන් වහන්සේගේ සස්නෙහි පැවිදිව සත් අවුරුදු වියෙහිම සව් කෙලෙසුන් නසා රහත් වූවාය. සත් හවුරුදු වියෙහිම ඕ උපසම්පදාවද ලැබුවාය. ඇය වසන සෑම තැනම ඇය උදෙසා පහන් පසක් දැල්විණ.

සතයහස්සිතො කප්පෙ යං දිපමදදිං තදා,
දුග්ගතිං නාභිජානාමි පඤ්චදීපානිදං ඵලං.

මේ පඤ්චදීපිකා ස්ථවිරියගේ ප්‍රකාශනයකි.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර ඒ කාලයේ මම යම් ප්‍රදීප දානයක් දුන්නෙම්ද එතැන් පටන් මේ වනතුරු දුර්ගතියට නොපැමිණියෙමි, මේ ප්‍රදීප පස පිදීමේ අනුසසය යනු එහි තෙරුමය.
(ආපදානපාළියෙන්)
(උපුටාගැනීම :- පුණෙයෝපදේශය පුස්තකය / රේරුකානේ චන්දවිමල මහානායක ස්ථවිරයන් )
Path to Nirvana

උසස්‌ අනුසස්‌ ලැබෙන ඉල්ලීම් අටක උපත

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ඡේතවනාරාම නම් අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වෙසෙති. එකල වූ මෙම සිදුවීම ශාසනයේ සංවර්ධනය සඳහා හේතු වූවකි. තවද උසස්‌ අනුසස්‌ ලබාගත හැකි කුසලයක්‌ද අත්පත්කරගත් පුවතකි.
දිනක්‌ බුදුසසුනේ අග්‍රදායිකා වූ විශාඛා තොමෝ බුදුරදුන් දක්‌නට පැමිණියාය. බුදුරදුන් වැඳ එකත්පස්‌ව සිටියාය. බුදුරදුන් දැහැමි කතාවෙන් කතාකොට කරුණු දක්‌වා එහි සමාදන් කරවා සතුටු කරවූහ. සතුටට පත් විශාඛාවෝ පසුදින භික්‌ෂු සංඝයා සමග සිය නිවසට වැඩම කරන්නැයි ආරාධනා කළහ. පසුදා උදෑසන මහා වර්ෂාවක්‌ ඇදහැළිණි. බුදුරදුන් භික්‌ෂුන් අමතා මේ සිවු දිවයිනට එකපැහැර වසින්නාවූ අන්තිම මේඝයයි. මහණෙනි, කය තෙමවු කීහ. භික්‌ෂුන්ද සිවුරු ගලවා තබා සිරුරු වැස්‌සෙන් තෙමන්නේය. මේ අතර විශාඛාවන්ද දහවල් දානය පිළියෙළ කරන්නේ සේවිකාවක කැඳවා කියන්නේ විහාරස්‌ථානයට ගොස්‌ දහවල් බත සූදානම් යෑයි දන්වන්න කියාය. ඇය විහාරස්‌ථානයට යන විට සිවුරු නොමැතිව භික්‌ෂුන් නානු දැක වහා දිවගොස්‌ විශාඛාවට දන්වන්නේ භික්‌ෂුන් නැති බවත්, ආජීවකයන් ඇතිබවත්ය. නුවණැති විශාඛාව නැවතද සේවිකාව යවයි. නැවත ගොස්‌ බලන විට එක්‌ අයකුදු පෙනෙන්නට නැත. ඒ වනවිට භික්‌ෂුන් නා පිරිසිදුව තම කුටිවලට ගොස්‌ සිටියේය. නැවතද සේවිකාව ගොස්‌ කියන්නේ කිසිවකු විහාරස්‌ථානයේ නොමැති බවයි. මෙය නුවණින් විමසා බලා එම සේවිකාව නැවත ද යවයි.
අනතුරුව බුදුරදුන් දහවල් දානයට වේලාව පැමිණි පසුව භික්‌ෂුන් අමතා බතට කල් යෑයි දැන්වූහ. ඒ සියලු දෙනා වහන්සේම හැඳ පොරවා පාත්‍රා ගෙන සෘද්ධියෙන් විශාඛාවගේ නිවසට වැඩම කළහ. විශාඛාවද මහ වැසි වැස ගංගා උතුරා ගියද පා නොතෙමීම මහත් ආනුභාවයෙන් සියලු දෙනා වහන්සේ වැඩම වූ බව දැන සතුටු වී එයින් ඔද වැඩී ගියෙන් කෑ යුතු දෙයින් බිඳිය යුතු දෙයින් සියතින් දන්දී පූජාකොට දානාවනාසනයෙහි බුදුරදුන් වැඳ වර අටක්‌ දෙන්නැයි ඉල්ලීය. තථාගතයෝ ස්‌ත්‍රීන්ට වර නොදෙතියි බුදුහිමි දැන්වූහ. එවිට යමක්‌ කැපද නිදොස්‌ද එබඳු ඉල්ලීම් අටක්‌ බව දැන්වූයෙන් බුqදුරදුන් මෙකරුණ විමසූහ.

එවිට විශාඛාව මෙම කරුණු අට ඉදිරිපත් කළාය.

1. දිවි ඇතිතෙක්‌ සංඝයාට වැසිසළු දීමට

2. දිවි ඇතිතෙක්‌ සංඝයාට ආගන්තුක බත් දීමට

3. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගමිකබත් දීමට

4. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගිලන්බත් දීමට

5. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගිලානෝපස්‌ථායක බත්දීමට

6. දිවි ඇතිතෙක්‌ සංඝයාට ගිලන් බෙහෙත් දීමට

7. දිවි ඇතිතෙක්‌ සංඝයාට නිති කැඳ දීමට

8. දිවි ඇතිතෙක්‌ මෙහෙණ සඟනට දියසළු දීමට

එවිට බුදුරදුන් මෙම කරුණු ඉල්ලීම් කළේ ඇයිදැයි මෙහි නිධානය විමසූහ. විශාඛාව ඉල්ලීම් කරන්නට හේතු ඉදිරිපත් කළාය. පළමු ඉල්ලීමට හේතු ව නම් අද දිනයේ දහවල් දානයට භික්‌ෂුන්ට දැන්වීමට සේවිකාවක විහාරස්‌ථානයට යෑවූ බවත් එහිදී භික්‌ෂුන් සිවුරු නොමැතිව වැසි දියෙන් නාමින් සිටි බවත්, එය භික්‌ෂුන් නොගැළපෙන බැවින් පළමු ඉල්ලීම කළ බවත් දැන්වීය. දෙවැනි ඉල්ලීම නම් ආගන්තුක භික්‌ෂුන් වීථියෙහි දක්‌ෂ නොවූයේ ගෝචර ස්‌ථාන නොදන්නේ විඩාපත්ව පිඬුපිණිස හැසිරෙන බැවින් දන් පිළිගැන්වීමට අවසර ඉල්ලීය. තුන්වැනි කාරණාවට හේතු කියන්නේ ගමික භික්‌ෂුන් තම පිණ්‌පාතය සොයා යන්නේ තම පිරිසෙන් මඟහැරෙන්නේය. යම් තැනකට යනු කැමැත්තේද එතැනට නොකල්හිම පැමිණෙන්නේය. එම නිසා ගමික බත්දීමට අවසර ඉල්ලීය. සිවුවැනි කාරණාවට හේතු දක්‌වන්නේ ගිලන් භික්‌ෂුන්ට හිතවූ බොජුන් නොලැබීමෙන් ආබාධ වැඩෙන්නේය. කලුරිය කිරීම හෝ වන බැවින් ගිලන්බත් සැපයීමට අවසර ඉල්ලීය. පස්‌වැනි කරුණට හේතු දක්‌වන්නේ ගිලානෝපස්‌ථායක භික්‌ෂුන් තමාගේ දානය ලැබ පසුව ඉරු නැඟී ගිය කල්හිත් දානය ගෙනයන බැවින් බත් විසිකරන බවත්, ගිලානෝපස්‌ථායක භික්‌ෂුන්ට සුදුසු කාලයෙහි දානය දීමට අවසර ඉල්ලීය. සයවැනි කරුණට හේතු දක්‌වමින් ගිලන් භික්‌ෂුන්ට හිතවූ බෙහෙත් නොලැබීමෙන් ආබාධ වැඩිවන බවත්, කලුරිය කරන බවත් දන්වා එය නොවන්නට ගිලන් බෙහෙත් සපයාදීමට අවසර ඉල්ලීය. සත්වැනි ඉල්ලීමට හේතුව නම් භාග්‍යවතුන් වහන්සේ අන්ධක වින්ද නගරයේදී කැඳ පිදීමේ අනුසස්‌ දහයක්‌ දැක්‌වූ බවත් එම අනුසස්‌ දැන නිති කැඳ පූජා කිරීමට අවසර ඉල්ලීය. කැඳ පිදීමෙන් ලැබෙන අනුසස්‌ මහාවග්ග පාලියේ භේඝඡ්ජක්‌ඛන්ධකයේ දක්‌වා ඇත්තේ මෙසේය. ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණ යන අනුසස්‌ පහක්‌ද සාගින්න සන්සිඳීම, පිපාසාව සන්සිඳීම, වාතය අනුලෝම වීම, ආමාශය පිරිසිදු වීම, නොපැසී ඉතිරි වූ ආහාර පැසීම යන අනුසස්‌ පහක්‌ද ලැබේ. අටවැනි ඉල්ලීමට හේතු දක්‌වන්නේ මෙහෙණින් වහන්සේලා අචිරවතී නදියෙහි වෙසඟනන් සමග නග්නව ස්‌නානය කළ බවත්, එහිදී වෙසඟනක්‌ තරුණ කාලයෙහි කාමභෝගී වී වසයට ගිය කල්හි බඹසර වසන්නැයි ඔවුන්ට කියා ඇති බවත් එයින් වෙසඟනන් ගේ වෙහෙසීමට පත්වූ බවද, මෙහෙණන් නග්නව දියනෑම නුසුදුසු බවද පෙන්වා දෙමින් ඊට අවසර ඉල්ලීය.
එවිට ඔබ කිනම් අනුසස්‌ දැන මෙම ඉල්ලීම් කරන්නේදැයි විශාඛාවගෙන් ඇසීය. එවිට ඇය කියන්නේ ස්‌වාමීනි බොහෝ භික්‌ෂුන් සැවැතට පැමිණෙති. තවද සමහරෙක්‌ කලුරිය කෙරෙති. එවිට බුදුරදුන් ඔවුන්ගේ ගති විචාරා ඔවුහු සේවාන් වූහ. සකෘදාගාමී වූහ. අනාගාමී වූහයි කියති. ඉදින් එවන් භික්‌ෂුන්ට බතින් බෙහෙතින් සංග්‍රහ කළ බව සිහිවීමෙන් මට ප්‍රමෝදය උපදින්නේය. ප්‍රමුදිත වූ මට ප්‍රීතිය උපදින්නේය. ප්‍රීති සිත් ඇති මාගේ කය සන්සිඳෙන්නේය. සන්සිඳුණු කය ඇත්තී සුව විඳින්නෙමි. සුව ඇත්තාවූ මාගේ සිත එකඟ වන්නේය. එය මට ඉන්ද්‍රිය භාවනාව, බල භාවනාව, බොඡ්Cධංග භාවනාව වන්නේය. ස්‌වාමීනි මේ අනුසස්‌ දන්නා මම තථාගතයන් වහන්සේගෙන් මේ වර අට ඉල්ලමි. එවිට බුදුරජාණන් වහන්සේ, විශාඛාව ඉතා යහපති කියා එම වර අට ලබාදුන් සේක.
ඉන්පසුව විශාඛාවට අනුමෝදනා පිණිස මෙසේ දේශනා කළ සේක. 'සුගතයන් වහන්සේගේ සීල සම්පන්න වූ යම් ශ්‍රාවිකාවක්‌ ප්‍රමුදිත වූවා ආහාර පාන දේද, මසුරු මළ මැඩ ස්‌වර්ගයට හිතවූ ශෝක දුරුකරන්නා වූ සුව එළවා දන්දෙන්නේද, ඕ තොමෝ දිව්‍යමය වූ ආයුෂ ලබයි. ප්‍රහීණ වූ රාගාදී රජස්‌ ඇති පව් නැති මාර්ගයට පැමිණ පින් කැමැති ඕ තොමෝ සුවපත්ව රෝග රහිතව ස්‌වර්ග ලෝකයෙහි බොහෝ කල් සතුටු වෙයි.'
මෙම දේශනාවෙන් අනතුරුව බුදුරජාණන් වහන්සේ නැගිට විහාරස්‌ථානය කරා වැඩම කළ අතර එහිදී භික්‌ෂුන් අමතා මහණෙනි, වැසිසළු, ආගන්තුක බත, ගමික බත, ගිලන් බත, ගිලානෝපස්‌ථායක බත, ගිලන් බෙහෙත්, නිති කැඳ, මෙහෙණ සඟනට දියසළු අනුදනිමි' යි වදාළ සේක.
මෙයින් බුදු සසුනට ලැදි ශ්‍රද්ධා සම්පන්න උපාසිකාවන් විසින් පෙර සිට බුදුසසුනත් සඟ සසුනත් ආරක්‌ෂා කොට, සංවර්ධනය පිණිස තම දායකත්වය ලබාදුන් සැටි පෙනේ. උවසු උවැසියන්ගේ ශ්‍රද්ධා මහිමය කැපී පෙනෙන්නේ සම්මාසම්බුද්ධ ශාසනය කෙරෙහි ළැදියාවෙන් සුරක්‌ෂිත කිරීම මිස විවේචනය නොවේ. තවද භික්‌ෂු, භික්‌ෂුණීන්ගේ දියසළු පිළිබඳ සිදුවීම ඊට හොඳම උදාහරණය වේ. මෙතෙක්‌ සම්බුදු සසුන සුරක්‌ෂිත වූයේද අචල ශ්‍රදධාවන්ත උපාසක උපාසිකාවන්ගේ නොමඳ දායකත්වය මතය. එබැවින් විශාඛා උපාසිකා චරිතය නූතනයට මහත් ආදර්ශ සම්පන්න චරිතයකි. (මහා වග්ග පාලිය ඇසුරිණි.)
හොරණ රාජකීය විද්‍යාලයේ ආචාර්ය, 
ශාස්‌ත්‍රපති පූජ්‍ය ගයිරෑනගම විනීත හිමි
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X