වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

බොදු දන නිති - වැඳ ගත යුතු දිවාගුහාව



පාෂාණ යුගයෙන් ආරම්භ වූවේ යෑයි සැලකෙන පාරම්පරික දායාදයක්‌ වශයෙන් දරු මුණුපුරන්ට පාරම්පරිකව හමුවූ ගල්ලෙන්, ගල්ගුහා ලක්‌දිව බුදුසසුන පිහිටුවීමෙන් පසු සඟසතුකොට පූජාකළ බව ශිලා ලිපිවල සඳහන් වේ.

මේ සිරිත අනුව ශ්‍රී ලංකාද්වීපයේ පළමු ගල්ලෙන් පූජාව සිදුකොට ඇති තැනැත්තා සමන්ත පර්වතාධීෂ්වර මහා සුමන සමන් විය හැකිය. ස්‌වකීය ආරාධනයෙන් බුදුරජාණන් වහන්සේ ඇතුළු 500 ක්‌ මහරහතුන් සුන්දර සමන්ත කූඨ පර්වතය මුදුනට වැඩමවා ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීමෙන් පසු දිවා විහරණය සඳහා මඳක්‌ විවේකී සුවෙන් වැඩ සිටීම සඳහා තමා සතු පාරම්පරික ගල්ගුහාව බුදුන් වහන්සේ ඇතුළු මහාරහතන් වහන්සේට පූජා කරමින් ශ්‍රී ලංකාද්වීපයේ පළමු ගල්ලෙන් හා ගල්ගුහා පූජාව ආරම්භ කර ඇත.

බුදුන්වහන්සේ ඇතුළු 500 ක්‌ මහරහතුන් වහන්සේ දිවා විහරණය කළ ලෙන දිවාගුහාව නම් විය. පුරාණ ලෙන් විහාරය හෙවත් බටතොට ලෙන දිවාගුහාම ලෙස දැකිය හැක්‌කේ එලෙසිනි.

තිලෝගුරු සම්බුqදුරජාණන්වහන්සේගේ බුද්ධත්වයෙන් අටවන වසරේ 500 ක්‌ මහරහතුන් වහන්සේ සමග ශ්‍රී ලංකාද්වීපයේ මණිඅක්‌ත නාරජුගේ මාලිගාවට වැඩම කළ බව අපගේ වංශකථාවල සඳහන් වේ.

මෙම තෙවැනි බුද්ධාගමනයෙන් පසු ශ්‍රී ලංකාවේ සිද්ධිදාමයන් අතර බෞද්ධයන්ට ඉතා වැදගත් කරුණු කිහිපයක්‌ පිළිබඳව මහා වංශයේ මෙසේ සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ උදෙසා මණිඅක්‌ත රාජ භවනේ ස්‌වර්ණමය වේදිකාවන් ඉදි කෙරුණු බවත් පසුව එම ස්‌ථානයේ කැලණි මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමත්, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමන්ත කූඨ පර්වතයේ ශ්‍රීපාද ලාංඡනය පිහිටුවීම, හා එම ගමනේදී සිරිපා අඩවියේ පිහිටි සඟවා ලෙන හෙවත් දිවා ගුහාවේ ලෙනක සම්බුදුරජාණන් වහන්සේ 500 ක්‌ මහරතුන් වහන්සේ සමග දිවා විහරණය කළ බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ තවත් ස්‌ථාන 11 කට බුදුරජාණන් වහන්සේ වැඩම කර මදවෙලාවක්‌ එම ස්‌ථානවල වැඩ සිටිමින් සොලොස්‌මස්‌ථානයන් පූජනීයත්වයට පත්කළ බව මහා වංශය හුවා දක්‌වයි.

සෑම වසරකම දෙසැම්බර් පුන්පොහෝදිනයෙන් ආරම්භව මැයි මස පුන්පොහෝ දින දක්‌වා බැතිමතුන් සිරිපා කරුණා කරති.

මෙම සිරිපා කරුණාවත් සමගම දස දහස්‌ සංඛ්‍යාත බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාමානයට භගවා ලෙන හෙවත් දිවා ගුහාව වන්දනා මානයට ලක්‌ වන්නේ වර්තමානයේ සිටය.

මෙලෙස වසර 700 කට අධික කාලයක්‌ බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක්‌නොවී දිවාගුහාව අතුරුදන්ව පැවතියේ කෙසේද යන්න බෞද්ධයන් වන අප දැනගත යුතුව ඇත.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කුරුවිට එරත්න සිරිපා මාර්ගයේ කිලෝමීටර් 07 ක්‌ (කි.මී.07) ගිය තැන බටතොට හංදිය හමුවේ. එතැනින් වමට හැරී නන්ද එල්ලාවල මාර්ගයේ කිලෝමීටර් 03 ක්‌ යනවිට ඉහළින් දිස්‌වන මහා ගල්පර්වත රාශියක්‌ තිබෙන අතර ඊට මැදි වූ විශාල ගල් පර්වතයක්‌ තුළ දිවාගුහාව හෙවත් බටතොට ලෙන් විහාරය පිහිටා ඇත.

දිගින් අඩි 150 ක්‌ද පළලින් අඩි 70 ක්‌ද උසින් අඩි 50 කින්ද සමන්විත ඓතිහාසික මෙම ලෙන නැගෙනහිර දිසාවට මුහුණලා පිහිටා ඇත. මෙම ස්‌වභාවික පිහිටීම නිසාම හිරු පායා බැසයන තුරුම ඉතාමත් හොඳින් ලෙන තුළට සූර්යාලෝකය ගලාඒම නිසා දහවල් කාලය පුරා ඉතාමත් හොඳ ආලෝකයක්‌ පවතී. ගුහාවක්‌ යනු අර්ථයෙන්ම අඳුරු ස්‌වභාවයක්‌ පවතින අතර, දිවාකාලයේ ඉතා හොඳින් හිරු එළියත් රාත්‍රිකාලයේ හඳ එළියත් වැටීම නිසාත්, බුදුන්වහන්සේ ඇතුළු 500 ක්‌ මහරතුන් වහන්සේ දිවා විහරණය කළ ස්‌ථානය "දිවාගුහාව" නම් විය හැකිය.

මෙම ලෙනෙහි පිහිටා ඇති ප්‍රතිමා හා සිතුවම් ඉතා පැරණි ඒවාය. ලෙන තුළ ශ්‍රීපාදස්‌ථානය දෙසට සිරිපතුල් පිහිටා ඇත. ඉතාමත් පැරණි වැලිමැටිවලින් නිර්මාණය කරන ලද විසිඑක්‌රියන් (21) සැතපි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙහි පෞරාණිකත්වය මොනවට පැහැදිලි කරන බව කැලණි විශ්වවිද්‍යාලයේ මූර්ති කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඩී. පී. ෙ-. ජයදේව මහතා මෙම ප්‍රතිමාව පස්‌වන වරටත් පිළිසකර කරන අවස්‌ථාවේ ප්‍රකාශ කර ඇත.

මහාචාර්ය ජයදේව මහතාගේ නිගමනයකට අනුව මෙම පිළිමවහන්සේ අවුරුදු 700 කට වඩා ඉපැරණි බව පෙනේ. මේ අනුව නිස්‌සංකමල්ල යුගය දක්‌වා ඈතට මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ හා බිතු සිතුවම් දිවෙන බව තහවුරු කළ හැක.

රාත්‍රි කාලයේ මෙම ලෙනේ සිට ශ්‍රීපාදස්‌ථානය දෙස බලනකල එහි පහන් එළි ගල්ලෙනටත් ගල්ලෙනේ පහන්එළිය ශ්‍රීපාදස්‌ථානයටත් පෙනීම විශේෂත්වයකි. දිවා කාලයේ දුරදක්‌නයකින් බලනවිට සිරිපා මළුවේ බෞද්ධ ධජ පවා ඉතා හොඳින් නිරීක්‌ෂණය කළ හැක.

දිවා ගුහාව වන්දනා ගාථාවේ දැක්‌වෙන පරිදි මෙම භූමිය සාල වෘක්‌ෂ පිහිටි ස්‌ථානයක්‌ බව සනාථකර ඇති අතර වසරේ දින 365 ම මල් හටගන්නා විශාල සල්ගසක්‌ අදටත් අපට දැකගත හැක.

දහසකට අධික පිරිසකට එහි පහසුවෙන් රැස්‌විය හැකි අතර බීමට ඉතා පිරිසිදු ජලය ලෙන තුළම නිරතුරුව පවතින අතර ඉතාමත් සිසිල් පරිසරය විවේකීව ගත කිරීමට අවශ්‍ය සියලුම පහසුකම් නිරතුරුවම මෙම ස්‌ථානයේ පිහිටීම පුදුම සහගතය.

අවට ගල්ලෙන්වල වවුලන් දහස්‌ ගණනක්‌ වෙසෙන අතර දිවාගුහාවට එකම වවුලකු හෝ වෙනත් සතෙකු නොගැවසීම පුදුමයකි.

මෙලෙස මෙම ස්‌ථානය තුළ පිහිටි සෞන්දර්යාත්මක පිහිටීම මෙන්ම බුදුහිමි පහස ලදැයි සැලකෙන පූජනීයත්වයට පත් මෙම ස්‌ථානය වරක්‌ හෝ නරඹා වන්දනා මාන කිරීම බෞද්ධයන් වන සැමට වටනේය.

දිවා ගුහාව ජනතාවගෙන් අතුරුදන් වූයේ ඇයි?

වර්ෂ 1178 සිට 1207 දක්‌වා ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයට පත් නිස්‌සංකමල්ල රජු ශ්‍රී පාදය සොයා යන ගමනේදී බටතොට ගමේ පිහිටි ගල්ලෙනක දින කිහිපයක්‌ ගත කළ බව ජනප්‍රවාදයකි. මෙම ලෙනේ සිට බැලූවිට ශ්‍රී පාදස්‌ථානයත් එහි ආලෝකයත් මෙම ලෙනට මනාව දිස්‌වෙන හෙයින් මෙය දිවාගුහාව විය යුතු බව තීරණය කළ රජතුමා මෙම ස්‌ථානයේ විහාරයක්‌ කරවිය යුතු යෑයි සිතා ඒ සඳහා ඔහුගේ ඥතිවරයකු සමග අවශ්‍ය පිරිස්‌ ඒ සඳහා පිටත්කර එවා ඇත.

මේ අනුව විහාර කර්මාන්තය සිදුවන අතරතුර එම රාජකීයයා විසින් අත්තඃපුර කුමාරිකාවක්‌ බලහත්කාරයෙන් දූෂණය කර ඇයව ජීවිතක්‌ෂයට පත්කර ඇත. ඔහු සමග බද්ධ වෛරයෙන් මරණයට පත් රත්නමාලි නම් කුමාරිකාව කණ්‌ඨමාරි නමින් යක්‌ෂණියක්‌ව ඉපිද අවුරුදු 712 ක්‌ වැනි දීර්ඝ කාලයක්‌ එම ගුහාවට අරක්‌ ගෙන සිට එහි පැමිණි ගිහි පැවිදි සියල්ලන්ම ඇගේ ගොදුරු බවට පත්වුණ බව භූත ආත්මයක්‌ තුළින්ම එළි වී ඇත.

නිස්‌සංක මල්ල රජු සමයේ මෙම ලෙන තුළ විහාර කර්මාන්තයක්‌ ආරම්භ කළ බවට එහි ඇති ප්‍රතිමා හා බිතු සිතුවම් සාක්‌ෂි දරයි. වැලි මැටි බදාමෙන් කර ඇති පිළිම මකර තොරණ දේවාල ආදියෙන් යුග පහකට අදාළ ඒවා බව මනාව තහවුරු වනු ඇත.

මෙවැනි බාධක හමුවේ වසර 712 ට අධික කාලයක්‌ වන ගහනයෙන් වැසීගිය මෙම ඓතිහාසික පුදබිම සුරක්‌ෂිත කර ආරක්‌ෂා කිරීමට අප්‍රතිහත ධෛර්යයක්‌ යොදමින් කටයුතු කරන වර්තමාන දිවා ගුහාව විහාරාධිපති එක්‌නැලිගොඩ විහාරපාර්ශ්වයේ අනුනායක කෑගලු දිසාවේ අධිකරණ සංඝනායක පූජ්‍ය මෙනේරිපිටියේ චන්ද්‍රරතන නාහිමියන් වහන්සේ මෙසේ සඳහන් කළහ.

අතිපූජ්‍ය අග්ගමහා පණ්‌ඩිත බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් 1995 ඔක්‌තෝම්බර් 14, 15 දෙදින මෙම දිවාගුහාවට වැඩම කළා. මෙම ස්‌ථානය දිවාගුහාව බවට ඉතිහාසයේ තොරතුරු අනුව සාක්‌ෂි පවතින බවත් ආගමික අතින් ඉතාමත් වටිනාකමක්‌ මෙහි පවතින බවත් සඳහන් කළා.

ඩබ්ලිව්. කේ. වැලිකල මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවාගෙන තිබෙන විහාර ප්‍රතිසංස්‌කරණය වැඩපිළිවෙළ උන්වහන්සේගේ ප්‍රසංශාවට ලක්‌වුණා. මේ සියලු දෙනාගේ කැපවීම මත යළිත් බෞද්ධ ජනතාවට දිවා ගුහාව දැකබලා වන්දනාමාන කිරීමට හැකියාව උදාවුණා. මේක මහා හාස්‌කමක්‌.

මේක සිරිපාද සමය අවුරුදු දහස්‌ ගණනක්‌ ඉපැරණි පාර කුරුවිට එරත්න පාර වන අසිරිය ගිරි දුර්ග පසු කරමින් සීත දියඋල්පත්වල පැන්පහස ලබමින් වනාන්තරය අතුරින් සිරිපාදය වන්දනාවට යන ගමන ඉතාම සුන්දරයි. අපේ බෞද්ධ ජනතාවට සිරිපා වන්දනාවේ යන ගමන් මේ දිවාගුහාව නරඹලා හොඳ විවේකයක්‌ ලබාගන්න. ඉතාම හොඳ ස්‌ථානයක්‌ මේක. බුදුහිමියන්ගේ පහස ලද ඓතිහාසික පූජනීය භූමියක්‌ බව උන්වහන්සේ පැවැසූහ.


විහාරාධිපති එක්‌නැලිගොඩ විහාර පාර්ශ්වයේ අනුනායක 
කෑගලු දිසාවේ අධිකරණ සංඝනායක පූජ්‍ය 
මෙනේරි පිටියේ චන්ද්‍රරතන හිමි

සෝමචන්ද්‍ර යකන්දාවල

පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X