වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මිනිස් සිත


බුදුරජාණන් වහන්සේ ධර්මය ලෝක සත්ත්වයා හට දේශනා කිරීමේදී විශේෂයෙන් අවධාරණය කොට ඇත්තේ මිනිස් සිත පිළිබඳවයි. සාමාන්‍යයෙන් මිනිස් ශරීරයක සිත කය වශයෙන් කොටස් දෙකක් පවතී. කය දෘෂ්‍යමානය. සිත එසේ නොවේ. සිත දෘෂ්‍යමානය නොවේ. තියෙන තැනක් නිවැරදිව සොයා ගැනීමද අපහසුයි. සිත නිවැරදිව තේරුම් බේරුම් කර ගැනීමද සාමාන්‍ය කෙනෙකුට කළහැකි පහසු ක්‍රියාවක් නොවේ.
බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දක්වා ඇත්තේ දෘෂ්‍යමාන කයට වඩා අදෘශ්‍යමාන සිත ප්‍රබල බවයි. මිනිසා කරන කියන සෑම කටයුත්තකදීම ප්‍රබල වන්නේද ප්‍රධාන වන්නේ ද මිනිසාගේ සිතය. සිත මෙහෙයවා කයින්ද වචනයෙන්ද පුද්ගලයා කරනු ලබන ක්‍රියා රාශියකි. සිතෙහි ප්‍රබල බව පිළිබඳව බුදුරදුන් කරුණු කාරණා දැක්වීමේදී වැඩි අවධානය ඒ කෙරෙහි දක්වා ඇත්තේ මෙසේය.
මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා
මනසා චේ පදුට්ඨෙ න
භාසතී වා කරෝති වා
තතෝනං දුක්ඛ මං වේති
චක්ඛංච වහතෝ පදං’

සියලු ක්‍රියාවලට සිත පෙරටු වෙයි. සිත එම ක්‍රියාවන්ගේ ශ්‍රේෂ්ඨයාද මනස වන නිසා එය මනෝමය වේ. සිත නරකට යොදමින් යම් වචනයක් කියන්නේ ද ක්‍රියාවක් කරන්නේ ද එහි ප්‍රතිඵලයද අයහපත පිණිසම වේ. අයහපත් ප්‍රතිඵලය කළ පුද්ගලයා පසුපස එමින් දුක් විපාක දේ. එය හරියට ගොනුට වේදනාව දෙමින් හැර නොයා පසුපසම එන කරත්තය මෙනි.
මෙහිදී දක්වා තිබෙන උපමාව කරත්තය සහ ගොනා යන්නයි. ගොනාට දුකද වේදනාවද දෙමින් ඌ ලුහුබැඳ එන්නේ කරත්තයයි. ගොනා එහි රැගෙන යන දෙයින් වෙනත් කෙනෙකුගේ හිතසුව පිණිස කිසිවක් සිදු වුවද ගොනාට අත්වන යහපතක් නැත. බුදුරදුන් මෙහිදී දක්වන්නේ නරක මිනිසකු ගේ සිතෙහි හටගන්නා නරක සිතිවිල්ල ගවයා මෙන් වන බවයි. ඒ සිතිවිල්ල පෙරදැරිව ඔහු කරනු ලබන ක්‍රියාව ගවයාට වේදනාව කැඳවන කරත්තය හෙවත් ගැල යනුවෙනි.

සාමාන්‍ය ජීවිතයේදී මිනිසා කරන ක්‍රියාවන් මූලික වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. එනම් 1. යහපත් ක්‍රියාවන්, 2. අයහපත් ක්‍රියාවන් වශයෙනි. මිනිසා කරනු ලබන එම ක්‍රියා වර්ග දෙකටම පෙරටු වන්නේ ද ප්‍රධාන වන්නේ ද සිතය. නමුත් සිතෙහි ප්‍රධානත්වයෙන් කරන යහපත් වැඩ සඳහා සහ අයහපත් ක්‍රියා සඳහා මිනිසා ලබන ප්‍රතිඵලය දෙ ආකාරය. මෙහිදී අවධාරණය වන්නේ නරක ක්‍රියාව නිසා එහි ඒ සඳහා ගැල යන ගොනා යන උපමාව භාවිතයේ තිබේ. ‘’පදුට්ඨෙන මනසා’’ ඉතා නරක ගතිවලින් කැළඹුණු සිතින් ඒ සිත පෙරටුව කියැවෙන වචන හෝ කරන වැඩ හෝ පව්ය. ‘’දුක්ඛං අන්චේති’’ අත්විඳින සිත ආශා නොකරන ලැබීම් දුක් වශයෙන් දැක්විය හැකිය. මෙම පද දෙක මෙම ගාථාවෙහි අවධාරණය වෙයි. තමන් ලැබීමට අකැමැති දෙය ලබන්නේ් ලැබීමෙන් වේදනා විඳින්නේ තමන් කරනු ලැබූ නරක ක්‍රියාව නිසාය. එම ක්‍රියාව නරක සිතිවිල්ලෙන් යුක්ත වූ නිසාය. සාමාන්‍යයෙන් මිනිසා කරනු ලබන නරක ක්‍රියා වර්ග දෙකක්. එනම්
1. නරක සිතිවිලි වලින් යුක්තව කරනු ලබන නරක ක්‍රියා
2. හොඳ සිතිවිලිවලින් යුක්තව කරනු ලබන නරක ක්‍රියා.

මෙහිදී පැහැදිලිවම දක්වා තිබෙන්නේ මිනිසා නරක සිතිවිලිවලින් යුතුව කරනු ලබන තරක ක්‍රියාවන් පිළිබඳවය.
ලෝකයේ පවතින ආගම් අතර බුදුදහමෙහි පමණක් උගන්වන මෙම දහම තරමක් සංකීර්ණය. තේරුම් බේරුම් කර ගැනීමට ආපහසුය. මෙම දහම හැටියට අප දැක්වූයේ සිතෙහි මූලිකත්වය පෙරදැරිය කරන ක්‍රියාවෙහි ප්‍රතිපලය ගතට දැනෙන ආකාරයයි. මිනිස් සිතෙහි පවතින අසිරිමත් බව පිළිබඳව මෙම ඉගැන්වීම් සිතමින් නැවතද නැවතද සිතා නැවතද නැවතද විමසා බලා වටහා ගත යුත්තක් මිස ඉබේ වැටහෙන්නක් නොවේ. මෙම දහම කරුණ ඉගැන්වීම සඳහා මූලික වශයෙන් කරුණු කාරණා යෙදුනේ් බුද්ධ කාලයේම භික්ෂූන් වහන්සේ නමක් සම්බන්ධව සිදුවූ සිද්ධියකිනි. එම සිද්ධිය සැකවින් මෙසේය. එක්තරා හිමිනමක් උට්ඨාන වීර්යෙන් යුතුව බණ භාවනා කොට සිත දියුණු කර ගන්නට උත්සාහ ගත්හ. එහි ප්‍රතිඵල දෙකක් උන්වහන්සේට ලැබිණ. එනම්
1. උන්වහන්සේගේ ඇස් දෙකම අන්ධවීම
2. සුස්ක විදර්ශක භාවයෙන් රහත් වීම

(සුස්ක විදර්ශන රහත්බව පරචිත්ත විජානන ආදී ඥනයන් නැතිව ලබන රහත්භාවයයි) රහත්බව ලැබූ මෙම හිමියන් ඇස් අන්ධ නිසා ‘චක්ඛුපාල’ නමින් ප්‍රකට විය. රහත් වුවත් සක්මන් භාවනාවේ යෙදීම මුන්වහන්සේගේ සිරිතකි. ඇස් දෙක අන්ධ නිසාම සක්මන් කිරීමේදී පයට පෑගෙන කෘමි සතුන් පිළිබඳ අවධානයක් නැත. ‘චක්ඛුපාල’ රහතන් වහන්සේ වෙහෙර ඉදිරිපිට සක්මන් කරමින් සක්මන් භාවනාවේ නිරත වෙති. උන්වහන්සේගේ දෙපයට පෑගී කෘමි සතුන් විනාශ වෙති. සතුන් මැරීම භික්ෂුවකට සුදුසු නැති නිසා ‘චක්ඛුපාල’ හිමියන් අතින් සිදුවන්නේ බරපතල වරදක්බව භික්ෂූහු බුදුරජාණන් වහන්සේට පැමිණිලි කරති.
පෙර දක්වන ලද දහම් පැනය බුදුරජාණන්වහන්සේ දේශනා කරනු ලැබුයේ මෙම කාරණාව පදනම් කරගෙනය. උන්වහන්සේ දක්වනු ලැබුයේ ‘චක්ඛුපාල’ හිමියන්ගේ දෙපයට පෑගී කෘමි සතුන් විනාශ වී ගියද එය එසේ කිරීමේ චේතනාවක් උන්වහන්සේ සතුව නොමැති බවය. උන්වහන්සේගේ සිතෙහි ඇත්තේ සතුන් මැරීම පිළිබඳව වූ නරක සිතිවිල්ල නොව බවුන් වැඩීම පිළිබඳ ආරභත චිත්තනයයි. සිතිවිල්ල යහපත් නිසා ඒ යහපත් සිතිවිල්ල පෙරදැරි කරගෙන මිනිසා කරනු ලබන ක්‍රියාවක ප්‍රතිඵලය සමාජයට හානිදායක වුවද එම වරදෙහි වරද කරන්නාට නොවන බව මෙමගින් දහමෙහි උගන්වන ප්‍රබල සිද්ධියක් මතුකරගත හැකි වෙයි. මෙම අදහසම විනයෙහිද දක්වා තිබේ. එහි දක්වා ඇත්තේ ‘අජානන්තස්ස අනාපත්තී’ (නොදන්නාට වරද නොවෙයි) යනුවෙනි. මෙහිදී අවධාරණය කරන්නේ යම් වරදක් කළද එය වරදක් බව තමන් නොදන්නා තාක් එහි වගකීම තමන්ට නොයන බවයි. නමුත් බෞද්ධ පරිසරයෙහි මෙය අර්ථවත් වන්නේ් සුළු වැරැදි සඳහා පමණි. බරපතල වරදකදී මෙය ගත නොහැකි වන්නේ නොදන්නා බව ඉදිරිපත් කිරීමට කරුණු ගොනුකළ නොහැකි බැවිනි. රහතන් වහන්සේ අතින් පාපයක් සිදුවිය හැකිද යන ප්‍රශ්නය ‘නාගසේන’ හාමුදුරුවන්ට ‘මිළිඳු’ රජතුමා විසින් ඉදිරිපත් කරනු ලබයි. මේ සිද්ධිය දැක්වෙන්නේ මිළින්ද ප්‍රශ්නය නමැති ග්‍රන්ථයේය. එම අවස්ථාවෙහි ‘නාගසේන’ හිමියන් විසින් රජතුමාට පිළිතුරු දෙන්නේ මේ ආකාරයෙනි.
ද්වේමේ මහා රාජ ක්ලේසා
ලෝක වජ්ජං පඤ්ඤත්ති වජ්ජං’’

මහරජතුමනි, වරද කොටස් දෙකකි. එනම් ලෝක වජ්ජ සහ පඤ්ඤත්ති වජ්ජ යනුවෙනි. බුදුදහමෙහි වරද පිළිබඳ දක්වන සංකල්පය වර්ගකොට දක්වන මෙහි කවුරුත් පිළිගන්නා පොදු වැරැදි සහ ආයතනගත වැරදි වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වයි. ‘චක්ඛුපාල’ හිමියන් අතින් සිදුවූ වරද උන්වහන්සේ සැළසුම් සහගතව හානි කිරීමේ අදහසින් සිදුකොට නැති නිසා එය වරදක් වශයෙන් ගත නොහැකි බව බුදු සමයෙහි අදහසයි.
අපේ සමාජයෙහි මිනිසා විසින් සිදුකරනු ලබන බොහෝ ක්‍රියා කලාපයන් පිළිබඳව නිවැරැදි නිගමනයක් ඇතිකර ගැනීමට මෙම සිද්ධිය අපට ආලෝකයක් සපයයි. එනම් 1. මිනිසා වැරැදි කරනු ලබන්නේ වැරැදි කිරීමේ චේතනාවෙන්ම නොවන බවයි.
2. වැරැදි කිරීමේ මිනිසා වැරැදි කරනු ලබන බවයි. බුදුරජාණන් වහන්සේගේ අවධානය දක්වා ඇත්තේ චේතනා පූර්වාංගම වැරැදි සඳහාය. මිනිසා වැරැදි චේතනාවෙන් කරන හැම ක්‍රියාවකම ප්‍රතිඵලය තමාවෙත අහිතකර බලපෑම් ඇතිකරනු ලබන බව පැහැදිලිවම දක්වයි. හොඳ චේතනාවලින් සිදුකරනු සමාජ වැරැදිවල ප්‍රතිඵලයද ඇතැම්විට ඒ පුද්ගලයාටම බාරදීම සමාජයේ සිරිතය. පුද්ගලික කරුණු කාරණා පෙරදැරි කරගත් එබඳු නිගමන පවතින්නේ බුදුදහමට බොහෝ ඈතිනි.
බෞද්ධ සමාජයක් තුළ වරද නිවරද තෝරා ගැනීම පිණිස පවතින බෞද්ධ පසුබිම ඔස්සේ නිගමන ගැනීම වඩා වැදගත් බව පෙනේ. ‘චක්ඛුපාල’ හිමියන්ගේ සිද්ධිය අපේ සමාජයට ගෙන එන්නේ එක සිද්ධියක් හැටියට නොව සංකීර්ණ සමාජ අදහසක් හැටියට. ඉන් මූලික වශයෙන්ම සන්නිවේදනය කිරීමට බලාපොරොත්තු වන අදහස වන්නේ කර්ම සංකල්පයයි. මිනිසා ලුහුබැඳ මිනිසා පසුපසම එන කර්මය ගෙවා දැමීමට හෝ ඉන් මිදීමට සුවිශේෂ ක්‍රම නොමැති බවද අරහත් බවට පත්වුවද එහි විපාක විඳීමට තමාටම සිදුවන බවද බුදු දහමෙහි දක්වයි. කර්මයේ ස්වභාවය වන්නේද තමන් සමාජයට කළ වරද හා එහි ස්වභාව අනුවම විපාකය ලැබීමය. පෙර සංසාරයේ අක්ෂි වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කළ ‘චක්ඛුපාල’ හිමියන් කළ වරද වූයේ ඇස් පෙනීම පෑදීගෙන එන අගනකගේ ඇස් අන්ධවන ලෙස සිතාමතා කටයුතු කිරීමය. එහි විපාකය සංසාරය පුරා ලබමින්ද අවසානයේ රහත්බවට පත්වීමෙන් පසුවද විපාක දීමෙන් ද කර්මයේ ප්‍රබල බව වැටහේ. ඇසක් අන්ධ කළ නිසා එයට ලැබුණු විපාකය වූයේ දෑසම අන්ධවීමය. රහත් වීම පිණිස පුණ්‍ය ශක්තියක් තිබුණද කළ වරද වෙනුවෙන් ද විපාකය ලැබිණි. හොඳ සහ නරක වෙන වෙනම ගත නොහැකි ඒ දෙක අඩුවැඩි වශයෙන් සම්මිශ්‍රනය වනු මිනිසුන් සහ ක්‍රියාවන් ලෝකයේ පවතින බව මෙයින් පෙනේ.
ඇස අන්ධ කිරීමේ අදහසින්ම එසේ කටයුතු කිරීම අක්ෂි වෛද්‍යවරයා අතින් සිදුවූ බරපතල වරදකි. මෙහිදී දහමෙහි දක්වා ඇති චේතනා පූර්වාංගයම කර්මයෙහි විපාකය බරපතල බව හෙළිවේ.
රහත් බව ලැබීම හා එහි ස්වභාවය පිළිබඳ ක්‍රම දෙකක් බුදු දහමෙහි අවධාරණය වේ. මෙම කතාවෙහි දක්වන්නේ ඉන් එක අංශයක රහත් බව පිළිබඳවයි. එනම් ‘සුක්ඛ විපස්සක’ (සුස්ඛ විදර්ශක) රහත් බවයි. එහි ස්වභාවය වන්නේ රහත් බවට පත්වුවද විශිෂ්ට ඤාණ ඒ පුද්ගලයාට නොමැති බවයි. අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන ස්වභාවයද සහිතව රහත්වීම හඳුන්වන්නේ සිවු පිළිසිඹියා පත් යනු වචනයෙනි.
සුස්ක විදර්ශක රහත් බවෙහි එකී විශේෂ ඤාණයක් නොමැත. එසේම සුස්ක විදර්ශක රහත්බව ලැබූ උතුමකු සතුව අභිඤ්ඤාවන්ද ලබන්නේ නැත. අභිඤ්ඤා පහක් පිළිබඳ බුදු දහමෙහි උගන්වයි. අභිඤ්ඤාවල ස්වභාවය වන්නේ සාමාන්‍ය මිනිසෙකුට වඩා ඥානයෙන් සහ ක්‍රියාවෙන් පෙරට යාමය. අභිඤ්ඤා යන වචනයට කෝෂ ග්‍රන්ථ වල දී ඇති තේරුම වන්නේ විශිෂ්ට ප්‍රඥාව විශේෂ බලයෙන් යුක්ත වන බෝපාවචර පංච මධ්‍යාත සිත සෘද්ධි විධ ආදී වූත් ශ්‍රේෂ්ඨ ඥානය යනුවෙනි. අභිඤ්ඤා පහක් පිළිබඳව බුදු දහමෙහි දක්වා තිබේ. එනම්
1. සෘද්ධි විධ අභිඤ්ඤාව (සෘද්ධි ප්‍රතිහාර්යය දැක්විය හැකි)
2. දිබ්බ සෝත අභිඤ්ඤාව (දිව කන් ඇති බව)
3. පරචිත්ත විජාණන අභිඤ්ඤාව (අන් අයගේ සිත් දැනගන්න පුළුවන් වීම)
4. පුබ්බේ නිවාසානුස්සති අභිඤ්ඤාව (පෙර උත්පත්ති පිළිබඳව දැකීමට හැකිවීම)
5. දිබ්බ චක්ඛු අභිඤ්ඤාව (දිවැස් ඇතිබව) යනුවෙනි. සුස්ක විදර්ශක රහත් බව ලැබූ උතුමන්ට මෙම විශිෂ්ට අභිඤ්ඤාවන් නොලැබෙන බව දහමෙහි දක්වා තිබේ.
මෙහිදී අවධාරණය කෙරෙනුයේ සුස්ක විදර්ශක රහත් බවේ පවතින ස්වභාවය පිළිබඳවයි. එබඳු රහත් උතුමකු සතුව සිව් පිළිසිඹියා පත් බව නොමැති වීම සහ පංච අභිඤ්ඤාවන් විරහිත බව දැක්විය හැකිය..
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X