වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

සාංඝික දානයක් නිවැරදිව පිරිනැමෙන්නේ කෙසේද?


බියගම කොට්ටුන්න
ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක,
ත්‍රිපිටකාචාර්ය සද්ධර් ම කීර් ති ශ්‍රී
දොළොස්වල උදිතධීර හිමි

මේ තරම් වටිනා ක්‍රියාවක් වන දානයක් ‘මහත්පල මහානිශංස’ වන්න නම් සම්පූර්ණ විය යුතු කාරණා රාශියක්ම ධර්මයේ සඳහන්ව තිබෙනවා. මේ සිදුවීම බලන්න: අතීතයේ හිටියා මසුන් මරමින් ජීවිකාව සරි කරගත් කෙනෙක්. ඔහු මරණාසන්න වූ අවස්ථාවේ නිවැසියන් සියලු දෙනා බියට පත් වුණා. එවිට ඔහු නිවැසියන් අමතලා මෙහෙම අහනවා: “ඔබ සියලු දෙනා මම මරණින් පසු අගතිගාමි වෙතැයි යන බියෙන් නොවෙද පසුවෙන්නේ?’’ නිවැසියන් හිස සලා ‘ඔව්’ කියා පිළිතුරු දෙනවා. එවිට ඔහු: “බියට පත් වන්න කාරණාවක් නැහැ. මම මරණ
යෙන් පසු අගතිගාමි වන්නේ නැහැ. ඒ පිළිබඳ සැකයක් සිතේ තබාගන්න එපා. ශක්තිසම්පන්න කාලේ මා ‘දීඝසුධම්ම’ කියන ස්වාමීන් වහන්සේට තුන්වතාවක්ම පිණ්ඩපාත දානය පූජා කර තිබෙනවා. ඒ ස්වාමීන් වහන්සේ බොහොම සීලවන්තයි; ගුණවන්තයි. ඒ නිසා මා දුන් ඒ දානත් මහත්පල මහානිශංසයි. මේ දානමය පුණ්යකර්මයන් නිසාම මා මරණින් පසු දෙව්ලොව උපදිනවා,’’ කියා නිවැසියන්ගේ කනස්සල්ල දුරු කළා.
ඒ කතාවෙන් අපට වටහාගන්න බොහෝ දේ තිබෙනවා. මේ දානය පූජා කළ තැනැත්තා සිලවත් කෙනකු නොවූවත්, දානය ලැබූ දීඝසුධම්ම හිමිනම බොහෝම සීලවන්තයි, ගුණවන්තයි. දුස්සීලව සිට සිල්වත් ගුණවත් කෙනකු‍‍ට දානයක් පූජා කළද, ඒ පිරිනමන ලද දානය මහත්පල මහානිශංස වෙනවා. එසේ වන්නේ දානය පිළගන්නා කෙනාගේ සීලවන්ත ගුණවන්ත භාවය හේතුවෙනුයි. අප මහබෝසතාණන් වහසේ වෙස්සන්තර රජු ලෙස පාරමී පුරන කාලයේ සියල්ල අතහැර වංකගිරියට ගියා. එහි වාසය කරන කාලයේ ජූජක නම් බමුණකු දරුවන් ඉල්ලාගෙන ආවා. වෙස්සන්තර රජු ඒ වෙලාවේ මෙහෙම කියනවා තම දරුවන් දෙදෙනාට: ‘ඔබලා නෞකාවක් කොටගෙන මා සසර නමැති සාගරයෙන් එතෙරට ගිහින් සම්මා සම්බුදු රාජ්යයට පත් වනවා; සූවිසි අසංඛ්යෙ සත්ත්වයන් අමාමහ නිවනෙහි පිහිටුවනවා. ජාලිය පියාණෙනි, ක්‍රිෂ්ණජිනා මෑණියනි, ඔබ දෙපළ මට පිහිට වන්න!’ ඔහු එසේ කියා දරුවන් දන් දුන්නා. ඒ වෙලාවේ මහ පොළොව ගුගුර ගුගුරා ගිගුම් දුන්නා; දෙවියන් බ්‍රහ්මයන් සාදු නාද දුන්නා.
මෙහිදී අප මහබෝසතාණන් වහන්සේ සීලවන්තයි. ඒත් දානය ලැබුවේ දුස්සීලයෙක්. මෙහිදී බෝසතුන්ගේ සීලය නිසා එතුමන්ට හැකි වුණා මහත්පල මහානිශංස අත් කරගන්න. ඔබ දානයක් දෙනවා නම් සිත සීලය මත පිහිටුවාගෙන සිටින්න ඕනෑ. සිලවත්බව මත පිහිටලා දානයක් දෙනවා නම් ඔබට හැකි වනවා මහත් පල මහානිශංස ලබා ගන්න.
සිල්වත් කෙනකු තවත් සිල්වත් කෙනකුට දානයක් දෙනවා; දන් දෙන කෙනාත්, ලබන කෙනාත් දෙදෙනාම සීලවන්ත නිසා, ඒ දානයයි උසස්ම දානය කියා හඳුන්වනු ලබන්නේ. අනෙක් අතට දානය දෙන කෙනාත්, දානය ලබන කෙනාත් දෙදෙනාම දුස්සීල නම් ඒ දානය මහත්පල මහානිශංස නැහැ; පින් ලැබෙන්නේ නැහැමයි කියන්න බැරි වුවත් මිය ගිය කෙනකුට අනුමෝදන් කරවීමට තරම් ප්‍රමාණවත් නැහැ.
මෙලෙස දානයක් මහත්පල මහානිශංස වීමට බලපාන කාරණා කිහිපයක්ම බුද්ධ දේශනාවේ දැක්වෙනවා.
01. දන් දෙන තැනැත්තා සිල්වත් වීම
02. දානවස්තුව ධාර්මිකව උපයාගත් දෙයක් වීම
03. පැහැදුණු සිතින් සිතින් යුතුව දීම
04. කර්මඵලය විස්වාශ කිරීම
මෙයින් වැටහෙන්නේ අප දානයක් දෙනවා නම් මනා වැටහීමක් ඇතිවම එය කළ යුතු බවයි. තම පින්කම පිළිබඳ අවබෝධයයි ප්‍රඥාව. ඒ ප්‍රඥාව බලවත් පමණටයි දානය මහත්පල මහානිශංස වන්නේ. ඒත් අප කිසිම වේලාවක නිසි ලෙස දන් දෙන්නේ කොහොමද? ඇයි අප මේ දන් දෙන්නේ කියලා කවදාවත් හිතලා තිබෙනවාද? ස්වාමීන් වහන්සේ ගෙට වඩින කොට උන් වහන්සේ පිළිගන්නේ කොහොමද? වැඩසිටියාම දානය පිළිගන්වන්නේ කොහොමද? දානයෙන් ලැබෙන ආනිශංස මොනවාද? පිරිකර පූජා කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳ බොහෝ දෙනකුට නිසි අවබෝධයක් නැහැ. දානය දෙන්න ආධ්‍යාත්මිකව කිසිම සූදානමක් නැහැ. ආධ්‍යාත්මිකව සූදානම් වුණා නම් දානය දෙන කෙනාට එහි ආනිශංස මහත්පලයි; මහානිශංසයි.
අද කාලේ ඉතා ප්‍රසිද්ධ දානයක් තමයි ‘සඟ සතු දානය’, නැති නම්: සාංඝික දානය - සංඝගත දක්ෂිණාව. එවැනි දානයක් දෙන්නේ කොහොමද කියලා බොහෝ පින්වතුන් දන්නේ නැහැ. ඒ නිසා සඟ සතු දානයක් දෙන්නේ කොහොමද කියලා මුලින්ම ඔබට පැහැදිලි කරලා දෙන්නම්.
සඟ සතු දානයක් දෙන අවස්ථාවක මුලින්ම කළ යුතු දෙයක් තමයි ආරාධනා කිරීම. එහිදී දානය පිළිගැන්වීමට අපේක්ෂා කරන ස්වාමීන් වහන්සේ මුණගැහිලා ආරාධනා කරන්න අවශ්යයි. ඒ අවස්ථාවේ අතීත, වර්තමාන, අනාගත යන තුන්කල්හි වැඩ-වසන සංඝයා වහන්සේට ආරාධනා කිරීම මිස, දන්නා-හඳුනන හාමුදුරුවන්ට ආරාධනා කළ යුතු නැහැ. ස්වාමීන් වහන්සේ නිවෙසට වැඩම කරන අවස්ථාවේ රහතන් වහන්සේ නමක් වඩින විට මෙන් තම ශක්ති ප්‍රමාණයෙන් සැරසිය යුතුයි; පෙර-ගමන් කළ යුතුයි. ගෙදරට වැඩම කළ විට අත් දෙක එකතු කර වඳින්න ඕනෑ. පසඟ පිහිටුවා වන්දනා කරන්න ඕනෑ. තුන්කල්හි වැඩ-වසන අර්හත් භික්ෂූන්ට වන්දනා කරන ආකාරයට භක්තියෙන් එලෙස කළ යුතුයි. සාංඝික කරන වෙලාවේද තුන්කල්හි වැඩ-වසන ආර්ය සංඝයාට මේ දානය පූජා කරමියි සාංඝික කළ යුතුයි. පිරිකර ගැන කියන්වා නම්: ස්වාමීන් වහන්සේ වැඩ සිටින්නේ පස් නමක් යැයි සිතමු. මෙහිදී හරියටම පිරිකර පහක්ම සූදානම් කළ යුතු නැහැ. තමන්ට හැකි පමණින් පිරිකර පූජා කළ යුතුයි. දහයක්ද පහළොවක්ද එක පිරිකරක්ද, තමන්ට හැකි ප්‍රමාණයට පූජා කළ යුතුයි. අතීත, වර්තමාන, අනාගත යන තුන්කල්හි වැඩ-වසන සියලු ආර්ය සංඝ රත්නයට මේ පිරිකර පූජා කරමියි සිතාගෙනයි පූජා කළ යුතු වන්නේ.
ඒ වගේම වර්තමානයේ දකින්න ලැබෙන කාරණයක් තමයි: හාමුදුරුවරු දන් වළඳන අතරවාරයේම ගෙදර සමහර අය කෑමබීම අනුභව කරනවා; පාර්සල් කරලා ගර්භිණී මවුවරුන්ට යවනවා; පුංචි දරුවන්ට දෙනවා... ඒ දේ කරන්න එපා කවදාවත්. මේ තාක් කල් ඒ පිළිබඳ දැනුමක් නැතුව හිටියා නම් අදින් පසුවවත් නිවැරදි කරගන්න.
හොඳයි, දානයක් සාංඝික කර පූජා කළාට පස්සේ ඉතිරි වන ආහාරපානවලට මොකද කරන්නේ? ඉතිරි වන ආහාරපාන කෙනකුට අනුභව කරන්න පුළුවන් ක්රම දෙකයි තිබෙන්නේ. සංඝයාගෙන් අවසර ලැබුණොත් අනුභව කරන්න පුළුවන්. එසේ නැති නම්: ඉර අවරට ගියාට පසු සාංඝික භාවය නැති වෙලා යනවා, ඉන් පස්සේ අනුභව කළාට කිසිදු ගැටලුවක් නැහැ. සාංඝික කර තිබෙන අවස්ථාවේදී අනුභව නොකළ යුතුයි.
ඵුස්ස බුදු හාමුදුරුවන්ගේ කාලයේ එක්තරා පිරිසක් ස්වාමීන් වහන්සේ දහස් ගණනකට විශාල දානයක් දුන්නා. ඒත් දානයේ වත්පිළිවෙත් ටික කරන්න කලින් මේ දානය පිළියෙල කළ පිරිස මේ දානය අනුභව කළා. ඉන් පසු මේ අය මැරිලා නිරයේ ඉපදුණා. නිරයේ දුක් විඳලා-විඳලා කෝණාගමන බුදුන් වහන්සේගේ කාලයෙදි නිරයෙන් මිදිලා පෙරේත ආත්මයකට අාවා. මේ අය උන් වහන්සේගෙන් ගිහින් ඇහුවා මේ පෙරේත ආත්මයෙන් මිදෙන්නේ කොහොමද කියලා.
මේ බුද්ධ සාසනේ නම් පින් දෙන්න කෙනෙක් නැහැ, ඒත් ඕගොල්ලන්ගේ ආයුෂ බොහෝයි, ඊළඟ බුදුන්ගේ කාලයේ ඔය ආත්මයෙන් මිදෙන්න බලන්න කියලා කෝණාගමන බුදුන් වහන්සේ සඳහන් කළා. කස්සප බුදුන්ගේ කාලයේදීත් මේ ආකාරයටම ගිහින් ඇහුවා. උන් වහන්සේ මේ අයට දේශනා කළා මේ බුද්ධ සාසනේදිත් ඔබට ප්රේත ආත්මෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ කියලා. අන්තිමේ ගෞතම බුදුන් වහන්සේගේ කාලයේදී බිම්බිසාර රජතුමා විසින් ඒ ‍ප්‍රේතයන්ට දානය දීලා තමයි ඔවුන් ප්‍රේත ආත්මයෙන් මුදාගත්තේ. අන්න බලන්න: සාංඝික දෙයක් කැප වන්න කලින් අනුභව කිරීමෙන් සිදු වන අකුසලය.
සාංඝික දානයට භික්ෂූන් කී නමක් ඕනෑද කියන කාරණාවත් හුඟක් අයට තියන ගැටලුවක්. එක එක පළාත්වල පින්වතුන් එක එක ආකාරයේ පිළිතුරු දෙනවා මේ පිළිබඳව. සමහරු කියනවා උපසම්පදා වූ හතර නමක්, සමහරු කියනව උපසම්පදා භික්ෂුවක් ඇතුළු තවත් ස්වාමීන් වහන්සේ හතර නමක් කියලා. තව සමහරු කියනවා උපසම්පදා පස් නමක් කියලා, සමහරු කියනවා අඩුම ගණන දහ නමක් වෙන්න ඕනෑ කියලා.
මේ වගේ වැරදි මතවාද නිසා මේ ගැන කතා කරන්න අදහස් කළේ.
සාංඝික දානයකට අවශ්ය භික්ෂු ගණන කීයද කිව හොත්: අවශ්ය වන්නේ එක නමයි. උන් වහන්සේ උපසම්පදා වුණත් නැතත් කමක් නැහැ. කෙටියෙන්ම කිවහොත් තුන් කල්හිම වැඩ-වසන ආර්ය මහා සංඝ රත්නය උදෙසා සැදැහැ සිතින් එක නමකට වුවත් දෙනු ලබන දානය සාංඝිකයි. උපසම්පදාවේ විනයකර්මවලදි පමණයි ස්වාමීන් වහන්සේ හතර නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අවශ්ය වන්නේ. තුන් කාලයට අයත් සංඝයාටයි අප දානයක් පිරිනමන්නේ. විනයකර්මය කරන්නේ තුන් කාලයට අයත් සංඝයාට නෙමෙයි, වර්තමාන සංඝයාට පමණයි. ඒ නිසයි විනයකර්මයකදී සංඝයා හතර නමක් අවශ්ය වන්නේ. දානයකට මෙච්චර මෙච්චර භික්ෂු පිරිසක් අවශ්යයි කියා පවසන වැරදි මත දුරින් දුරු කළ යුතුයි. පුළුවන්කම තිබෙනවා නම් භික්ෂූන් විශාල ප්‍රමාණයක් හිටියාට කමක් නැහැ. ඒත් පුළුවන් හැටියට එක් නමකට වුණත් කමක් නැහැ.
ඉතින් මෙහෙම අවබෝධයෙන් පිරිනමනු ලබන සඟ සතු දානයෙහි පින ප්රමාණ කරන්නට බැහැ කප්පානි සතසහස්සානී-සංඝේධින්නා නැනස්සතී බව (කල්ප සහස් ගණනක් ගියත් දානයේ පින පවතිනව). ‘අසංඛ්යෙයං අප්පමෙය්යං වදාමි’ කියලා බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. මහ මුහුදේ ජලය නැළියකින් මනින්න නොහැකි සේ, මහ පොළොවේ වැලිකැට ගණන කියන්න නොහැකි සේ සාංඝික දානයේ ආනිසංස මෙපමණයි කියා කියන්න බැරි බව උන් වහන්සේ වදාළා.
රහත් භාවයට පත් වන කෙනකු මේ දාන පාරමිතාව මූලිකවම සපිරිය යුතුයි. ඒ නිසා සත්පුරුෂයෝ දානයේදී උත්සාහවත් වෙත්වා කියලා අප මෙහිදී ප්රාර්ථනා කළ යුතුයි.
තෙරුවන් සරණයි ..!
(උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න )
දාන පාරමිතා

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X