වන්දනාව සදහා විහාරස්ථානවලට පැමිණෙන පින්වතුන් ඒ ස්ථාන අපවිත්‍රව තිබෙනු දැක දැක නොසලකා නොයා යුතුය. සිද්ධස්ථාන ඇමද පිරිසිදු කිරීම උසස් පින්කමකි. එහි අනුසස් බොහෝ ය. එය ශ්‍රද්ධාව ඇති නම් වියදමක් නැතිව කා හටත් පහසුවෙන් කර ගත හැකි පින්කමකි.

ඔබේ ජීවිත පහන නිවෙන්නට පෙර ධර්මය දකින්න.

මහත්ඵල මහානිසංස ගෙනදෙන විවිධාකාර වූ පූජාවන් බොහෝමයක ආනිසංස.

බුදුරදුන් පැහැදිලි කර දී ඇත්තේ - චිත්තං පුනාතීතී පුණ්ණං-යනුවෙනි. එහි තෙරුම සිත පිනා යාම හෙවත් සතුටු වීම පින වන බවය. එසේ සතුටු විය යුත්තේ යහපත් ක්‍රියාවකින් මිස අන් දෙයකින් නොවේ. අප මියපරලොව ගිය කල අපේ පිළිසරණ සඳහා සිටින්නේ පින්කම් පමණක් බවද බුදුහිමියන් පෙන්වා දී ඇත. එවැනි පුණ්‍ය ශත්තියක් ලබා ගැනීම සඳහා අප විසින් නිතර කරන විවිධ පූජාවන්ගේ ආනිශංස දැන සිටීම ඉතා වැදගත්ය.

(මෙම විවිධ පූජාවන්ගේ අනුසස් ඉතා බොහෝ බැවින්, සංක්ෂිප්ත ලෙස ලෙස දක්වා ඇත)
මල් පූජාවේ අනුසස් -
සුගති භවයන්ගේ උත්පත්තියට හේතු වීම.
බොහෝ දෙනාට ප්‍රිය අයෙකු වීම.
දුටුවන් වශී වන රූප සොභාවෙන් යුක්ත වීම.
සිත එකග කරගැනීමට හැකි විම.
ප්‍රාර්ථනා පරිදි නිවනට හේතු විම.
ලෙඩ රෝගවලින් වැලකිම.
අන්‍යන්ට වඩා බලගතු විදසුන් ප්‍රඥාවක් ලැබීම.
වචනය බොහෝ දෙනා ප්‍රිය භාවයෙන් පිලිගැනීම.

පහන් පූජාවේ අනුසස් -
ප්‍රඥාව ලැබීමට හේතු වීම.
හො‍ඳ ඇස් ලැබීමට හේතු වීම.
දිවැස් ලැබීමට හේතු වීම.
පතන බෝධියකින් නිවන් දැකීමට හේතු විම.
ඍධිමය හැකියා පහළ වීම.
ධ්‍යානයන් හා විදර්ශනා ඥානය ලැබීමට හේතු වීම.
ඇස් රෝග නොවැලදීම.
දිබ්බ චක්කු, දිබ්බ සෝත, පරචිත්ත විජානන, 
පුබ්බේ නිවාසානුස්සති ඥානයන් ලැබීමට හේතු වීම.
ශිල්ප ශාස්ත්‍ර වහා අවබෝධ වීම

සුවඳ පූජාවේ අනුසස් -
උපනූපන් ජාතියේ සැමට ප්‍රිය අයෙකු වීම.
වහා අවබෝධ වන නුවණ ඇත්තෙක් වීම.
සුගති භවයන්හි උත්පත්තියට හේතු වීම.
වහා චිත්ත සමාධිය ඇති වේ.
සුවඳවත් සිරුරක් ලැබීම.
නිවන සඳහා හේතු වීම.

පැන් පිදීමේ අනුසස් -
ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, පිරිවරින්, 
ආධිපත්‍යයෙන්, රෑපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, 
රසයෙන්, ස්පර්ශය යන කරුණු වලින් 
දෙව්ලොවදී අන් දෙවගනන් ඉක්මවා සිටීම යන අනුසස් ලැබීම.

ආහාරපාන පිදීමේ අනුසස් -
බොහෝ ආයුෂ ඇත්තේ වීම.
බලවත් වීම.
ධෛර්ය ඇත්තේ වීම.
වර්ණ ඇත්තේ වීම.
යසස් ඇත්තේ වීම.
සුව ඇත්තේ වීම.
ආහාර පාන ලැබීම.
ශූර වීම.
නුවණැති වීම.

ගිලන්පස පිදිමේ අනුසස් දසය -
ආයුෂය, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය, පිරිවර,
සැපය, උපද්‍රව නැතිබව, ගොවිතැන් පාලු වීම ආදී ව්‍යසන නොමැති
බව, ගරු බුහුමන් ලැබිම, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක් නොවීම
යන අනුසස් ලැබීම.

අටපිරිකරට අනුව මෙතැන් සිට සදහන් වන පූජා සයෙහි අනුසස් පෙළ ගස්වා ඇත.

වස්ත්‍ර පිදීමේ අනුසස් -
රන්වන් සිරුරු ඇත්තෙක් විම.
ශරීරයේ කුණු දූවිලි නැත්තෙක් වීම.
රැස් විහිදෙන ශරීර ඇත්තේ වීම.
ප්‍රතාප ඇත්තේ විම.
සිනිදු සිරුරක් ඇත්තේ වීම.
හිස මස්තකයෙහි සුදු, කහ, රතු පැහැ ඇත්තා වූ 
ලක්ෂ ගණනින් වස්ත්‍ර දරා සිටීම.

පාත්‍ර පිදීමේ අනුසස් -
රන්, මැණික්, රිදී සෑම කල්හි පරිහරණය‍ට ලැබීම.
උපද්‍රව අනතුරු නැත්තේ වීම.
සෑම කල්හි සියල්ලන් විසින් ගරු කරන අයෙකු වීම.
ආහාරපාන, වස්ත්‍ර, සයනාසන ලබන්නේ විම.
බෝග විනාශයට පත් නොවීම.
ස්ථිර සිත් ඇත්තෙකු වීම.
හැම කල්හි ධර්මය කැමැත්තෙක් වීම.
මද කෙලෙස් ඇත්තෙක් වීම.
ආශ්‍රව රහිත විම.
මෙම සියල්ල දෙව් මිනිස් භවයන්හි අත් නොහැර යන
සෙවණැල්ලක් සේ ලැබීම.

දැළිපිහියා පිදීමේ අනුසස් -
හැම කල්හි ශූර වීම.
නොවිසිරි සිත් ඇත්තෙක් වීම.
වෛශාරද්‍යයෙහි පරතෙරට පැමිණීම.
ධෛර්ය ඇත්තේ වීම.
වීර්ය ඇත්තේ විම.
කෙලෙස් වසගයට යා නොදී රැකගත් සිත් ඇත්තෙක් විම.
කෙලෙස් සිදින්නා වූ සියුම් ශුද්ධ වූ ඥානය සැම කල්හි ලැබීම.

ඉදිකටු පිදිමේ අනුසස් -
සැක නැත්තේ වීම.
සැක සිදින්නේ වීම.
රූ ඇත්තේ වීම.
භෝග ඇත්තේ වීම.
තියුණු වූ නුවණ ඇත්තේ වීම.
ගම්භීර වූද සියුම් වූද ස්ථාන වූද අර්ථයෙන් ඥානයෙන් දැකීමට සමත් වීම
මොහදුර නසන්නා වූ වජ්‍රායුධාග්‍රයට සම වූ ඥානයක් ඇත්තේ වීම.

පටි පිදීමේ අනුසස් -
සමාධීන්හි කම්පා නොවීම.
සමාධියෙහි වශී භාවය ඇත්තේ වීම.
නොබිදෙන පිරිස් ඇත්තේ විම.
හැම කල්හි අනුන් පිලිගන්නා වචන ඇත්තෙකු වීම.
එළඹ සිටි සිහි ඇත්තෙකු විම.
බියක් හට නොගැනීම.

පෙරහන්කඩ පිදීමේ අනුසස් -
සෑම දෙන ඉක්මවා දිව්‍යායුෂ ලැබීම.
සොර සතුරන්ට කිසිදා හිංසා නොකල හැකි වීම.
ආයුධ වලින්ද, වස විසෙන්ද හිංසාවක් නොවීම.
නියමිත ආයුෂ ගෙවන තුරු අකල් මරණයට පත් නොවිම.

-----------------------------------------------------------------
ඡත්‍ර දානයේ අනුසස් -
ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම.
ශරීරයේ කුණු නොඇලීම.
උපද්‍රව නොමැති වීම.
අන්තරාය නොමැති වීම.
හැම කල්හි අන්‍යයන් ගරු කිරීම.
සියුම් සම ඇත්තේ වීම.
සිත පිරිසිදු බවින් යුක්ත වීම.
සසර සැරිසරණ කල්හි විචිත්‍ර ඡත්‍ර ලක්ෂණයක් හිස මස්තකයේ පිහිටිම.

පවන්අතු දානයේ අනුසස් -
ශීත හා උෂ්ණ යන දෙකෙන් පීඩා නොවීම.
ශරීරයේ දාහය නොමැතිවීම.
සිත තවන දාහයක් නොමැති වීම.
රාග ගිනි, ද්වේෂ ගිනි, මෝහ ගිනි, මාන ගිනි, දෘෂ්ටි ගිනි යන සියලු
ගිනි නිවීම.

පාවහන් දානයේ අනුසස් -
හස්ති, අශ්ව සිවි, රථ ද සැට ලක්ෂයක් සැම කල්හි තමා පිරිවරා සිටීම.
මැණිකෙන්ද, කම්බිලියෙන්ද, රනින්ද, රිදියෙන්ද පාදුකාවෝ පා ඔසවන කල පහළ විම.
ඍධිමය මිරිවැඩිට නැගී සිටීමට හැකි විම.

තෙල් පිදීමට තැබීමට බදුන් පිදීමේ අනුසස් -
නිරෝගී සැප ලැබීම.
රූප සම්පත්තිය ලැබීම.
ප්‍රිය වචන ඇත්තෙකු වීම.
කැළඹුනු සිතින් තොර කෙනෙකු විම.
ආරක්ෂා ඇත්තෙකු වීම.

අංසකඩ පිදීමේ අනුසස් -
අන් අයගේ සිත් දිනාගන්නා නුවණ ඇතිවිම.
පෙර ආත්ම සිහිකිරිමේ නුවණ ඇතිවීම.
පැහැපත් ශරීර වර්ණයක් ඇති වීම.

සැරයටි,කිහිලිකරු හා රෝදපුටු පූජාවේ ආනිශංසය -
තම දරුවන්, බිරිද,සහෝදර සහෝදරියන් මවිපියන් අකාලයේ
මරණයට පත්නොවීම හා එවැනි ප්‍රිය විප්පයෝග දුකකට පත් නොවිම.

ඉන බදින පටි පූජා කිරිමේ ආනිශංස -
සිත සමාධි කර ගැනීමට හැකිවීම.
කරදර වලදී කම්පා නොවන සිතක් ඇතිවීම.
තමා වෙත බැදුණු පිරිසක් ඇති විම.
අන් අය පිලිගන්නා සත්‍ය වචන ඇති බව.
පැහැදිලි මතක ශක්තියක් ඇති බව.
නිර්භය බව.

අනුසස් එකක් ගෙන දුන් පූජා -
ප්‍රාතාදිය තබන ආධාර පිදීම.
කුඩා පිහිද, ලොම් උදුරන අඩු පිදීම.

අනුසස් දෙකක් ගෙන දුන් පූජා -
පිදුරු බිසි පිදීම.
යතුරු පිදීම හා පා පුටු පිදීම.

අනුසස් තුනක් ගෙන දුන් පූජා -
ඉදිකටු, අසංකඩ, භාජන හා තලි පිදිම.

අනුසස් පසක් ගෙන දුන් පූජා -
පිහි, නිය කපන, තෙල් කල් තබා ගන්නා භාජන, 
අදුන් නල, ඇග ගල්වන තෙල්, 
තෙල් ගිතෙල් පිදීම හා මුව පිරිසිදු කරන පිදීම.

අනුසස් සයක් ගෙන දුන් පූජා -
කොට්ට, දිය පිස්නා, පුටු හා මෙට්ට පිදීම.

අනුසස් අටක් ගෙන දුන් පූජා -
නස්‍ය කිරීමේ උපකරන පිදීම හා බෙහෙත් අදුන් පිදිම.

අනුසස් දසයක් ගෙන දුන් පූජා -
මහා සැළි හා කරඩු පිදීම.
ආහාරපාන පිදීම.
බෙහෙත් පිදීම.
සුවඳ දුම් පිදීම.

(මෙම පූජාවෙන්ගේ අනුසස් දැන ගැනීම සදහා ත්‍රිපිටකයේ ආපදාන පාලිය, පාරමිතා ප්‍රකරණය නැමැති ග්‍රන්ථ බලන්න)

ඇමදීමේ ආනිශංස -
තමාගේ සිත ප්‍රසාදයට පත් වේ.
අනුන්ගේ සිත ප්‍රසාදයට පත් වේ.
දෙවියන් සතුටු වෙති.
රූප ශෝභාව දෙන පිනක් රැස් කරයි.
මරණින් මතු ස්වර්ගයේ උපදී.

වැදීමේ පිදිමේ ආනිශංස -
ආයු, වණ්න, සැප, බල වැඩිවිම.
උසස් කුලවල උප්පත්තිය ලැබීම.
මාහානුභාව සම්පන්න වීම.
සියල්ලන්ගේම ගරු බුහුමන් ලැබීම.

කොඩි පූජාවෙන් ලැබෙන ආනිශංස -
උපනුපන් තැන්වල ජනප්‍රිය පුද්ගලයෙකු වීම.
උසස් පුද්ගලයෙකු වීම.
සැමගේ ගරු බුහුමනට ලක්වීම.
සියලු සැප සම්පත් ලැබීම.

සේනාසන පූජාවේ ආනිශංස -
විෂෙන් ආරක්ෂා වීම.
අවි ආයුධවලින් ආරක්ෂා වීම.
දියෙන් ආරක්ෂා වීම.
කලට වැසි ලැබීම.
දෙවියන්ගේ ප්‍රියභාවයට පත්වීම.
නො අඩුව සියලු සැප සම්පත් ලැබීම

සැලකිය යුතුයි - පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පදුමුත්තර බුදුන්
වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජාකළ මහා දානයන්ගෙන්
ලැබූ අනුසස් ධර්මය අවබෝධ කළ අප බුදුරජාණන් වහන්සේගේ
ශාසනයේදී ප්‍රකාශ කල අයුරු මෙහි බොහොමයක දක්වා ඇත.
අනුසස් දැක්වීම කාණ්ඩ කොට දක්වා ඇත්තේ පින්කම් සිදුකරන
විට අනුසස් මතකයේ තබා ගැනිම පිණිස මිස අන් විශේෂ කරුණක් මත නොවේ.

විශේෂ කරුණු -
පින්කම් තුළින් ලැබෙන අනුසස් අඩු වැඩි විම දායක-ප්‍රතිග්‍රාහක දෙපක්ෂයේ සිල්වත් බවත්, පූජා වස්තුව උපයා
ගැනීමේ ධාර්මික බවත්, පූජාව සිදුකරන දායකයා එහි අනුසස් දැක සිත පහදවා ගන්නා ආකාරය අනුව සිදුවන බව විශේෂ කරුණකි.

හේතු-ඵල ධර්මය දැන ඒ ගැන විශ්වාසය ඇති කරගෙන සිදුකරන
සියලු පින්කම් මහත්ඵල මහානිශංස වීමට (ත්‍රි හේතුක කුසල් වීමට)
ප්‍රධාන හේතුව වන බැවින් ඒ අනුව පින්කම් සිදුකිරීමට පුරුදු
පුහුණු කල යුතුය


මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා!!!

තෙරුවන් සරණයි…!!!!
ශ්‍රද්ධා
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු

මාවුස්සාගොල්ලේ මුදිත හිමි
බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද වස්තු සම්පත් නැත්තෝ ද වෙති. පහත් කුල ඇත්තෝ ද, අඥානයෝ ද වෙති. මේ අයුරින් සත්ත්වයාගේ උස් පහත් භේදයට හේතුව නම් කුමක්ද? “
එවිට බුදු රජාණන් වහන්සේ විසින් කර්මයම සත්ත්වයාගේ උස් පහත් බවට හේතු වන්නේ යැයි දක්වමින් කර්මය අනුව සත්ත්වයා ආකාර දහ හතරකට බෙදා වඳාළ සේක.
සත්ත්වයා ආයුෂ අඩුවෙන් උපත ලබන්නට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රීයක් හෝ පුරුෂයෙක් කිසිදු අනුකම්පාවක් දයාවක් නැතිව සත්ත්ව ඝාතනය සිදු කරන්නේ ද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණිය ද අඩු ආයුෂ ඇත්තෙක් වන්නේය.
සත්ත්වයා දීර්ඝායුෂ ලැබීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් සත්ත්ව ඝාතනයෙන් වළකින්නේ ද, සියලු සතුන් කෙරෙහි දයාව අනුකම්පාව දක්වයි ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියෙහි නම් උපදින උපදින සෑම භවයක දීම දීර්ඝායුෂ ඇත්තෙක් වන්නේය.
සත්ත්වයා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා කරන්නේ ද හෙතෙම අකුසල කර්මය බලයෙන් අපායෙහි උපත ලබා දුක් විඳින්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියහොත් උපදින උපදින භවයක් පාසා බොහෝ ලෙඩ රෝග ඇත්තෙක් වන්නේය.
සත්ත්වයා නිරෝගී වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අතින් පයින් හෝ දඩු මුගුරු වලින් හෝ ආයුධ වලින් හෝ සත්ත්වයන්ට හිංසා පීඩා නොකරන්නේ ද ඒ තැනැත්තා ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ ද උප නුපන් භවයන්හි නීරෝගි වූවෙක් වන්නේය.
සත්ත්වයා දුර්වර්ණ වීමට හේතුව
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ක්‍රෝධ කරන්නේ වේද, බලවත් සිත් තැවුලෙන් පෙලෙන්නේ වේද, සුළු වරදක් පෙන්වා දුන් විට පවා කිපෙන්නේ වේද, තරහව උපදවන්නේ ද, කෝපය, ද්වේශය, නොසතුටු බව ප්‍රකාශ කරන්නේ වේද ඒ තැනැත්තා ඒ අකුසල කර්මයෙහි බලයෙන් මරණින් මතු අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයෙහි උපදින්නේ නම් උපදින උපදින භවයක් පාසා විරූප වූයේ වෙති.
සත්ත්වයා ලස්සන වීමට හේතුව
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ක්‍රෝධ නොකරන්නේ වේද, සිත් තැවුලෙන් යුක්ත නො වන්නේද, වරද පෙන්වා දුන් විට නො කිපෙන්නේ වේද, කෝපය, ද්වේශය, නොසතුට බව ප්‍රකාශ නො කරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දෙව්ලොව උපත ලබන්නේ ය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා ලස්සන වන්නේය. රූප සම්පත්තියෙන් යුක්ත වන්නේය.
සත්ත්වයා අල්පේ ශාක්‍ය වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා කරන්නේ වේද, අන්‍යයන්ගේ ලාභ සත්කාර, ගරු කිරීම්, වැදීම්, පිදීම් ආදීන් හි ඊර්ෂ්‍යා කරන්නේ වේද හෙතෙම ඒ අකුසල කර්මයේ බලයෙන් අපායෙහි උපදින්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින උපදින භවයක් පාසා අල්පේ ශාක්‍ය වන්නේය. පිරිවර ජනයා නොමැත්තෙක් වන්නේය.
සත්ත්වයා මහේ ශාක්‍ය වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඊර්ෂ්‍යා නොකරන්නේ වේද, එසේම අනුන්ගේ ලාභ සත්කාර, ගරු සත්කාර, වැඳීම් පිදීම්, ආදීන්හි ඊර්ෂ්‍යා නොකරන්නේ වේද හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා මහේ ශාක්‍ය වන්නේය. බොහෝ පිරිවර ඇත්තෙක් ද වන්නේය.
සත්ත්වයා මහා භෝග සම්පත් ඇත්තෙක් ව උපත ලබන්නට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන්ට දස දාන වස්තුවෙන් සංග්‍රහ කරන්නේ වේද ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් හෙතෙම මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවේ නම් උපනුපන් හැම භවයකදීම මහා භෝග සම්පත් ඇත්තෙක් වන්නේය. බොහෝ ධනයෙන් යුක්ත වූවෙක් වන්නේය.
සත්ත්වයා අඥාන වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි, කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් නොඅසන්නේ නම් හෙතෙම ඒ අකුසල කර්මයේ විපාකයෙන් මරණින් මතු දුගතියෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍යාත්ම භාවයකට පැමිණියේ නම් භවයක් භවයක් පාසා අඥානයෙක්ම වන්නේය. මෝඩ පුද්ගලයෙක් වන්නේය.
සත්ත්වයා ප්‍රඥාාවන්ත වීමට හේතු
මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මහණ බමුණන් වෙත පැමිණ ස්වාමීනි , කුසල් නම් කවරේද? අකුසල් නම් කවරේද? නිවැරදි දේ කවරේද? ඇසුරු කළ යුතු නොකළ යුතු අය කවරේද? මා හට බොහෝ කාලයක් හිත සුව පිණිස කළ යුතු දෑ කවරේද? ආදී වශයෙන් අසන්නේ නම් හෙතෙම ඒ කුසල කර්මයේ බලයෙන් මරණින් මතු දිව්‍ය ලෝකයෙහි උපත ලබන්නේය. යම් හෙයකින් මනුෂ්‍ය ආත්ම භවයකට පැමිණියේ නම් උපදින භවයක් භවයක් පාසා ප්‍රඥාවන්තයෙක්ම වන්නේය.
චුල්ල කම්ම විභංග සුත්‍රය - මඡ්ඣිම නිකාය
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමට ද කුසලට කම්මැලි වන්නේ
The Buddhist 
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

දන්නා පුජාවක නොදන්නා අනුසස් (පහන් පුජාව) නොදැන කරන පුජාවන්

ප්‍රිය මිතුරනේ, කුඩා කාලයේ සිටම අපි පන්සල් වල, මෙන්ම නිවසේ දීත්, මල්, පහන්, සුවඳදුමි ආදිය අනේක වාරක් පුජාකර ඇතිවාට සැක නෑ. ඇයි අපි මේ පුජා වස්තූන් පුජා කරන්නේ? මදකට ඔබ සිතුවාද? බොහෝ විට ඔබට ඒ සඳහා නිසි පිළිතුරක් නැතිවා වන්නට පුළුවනි. බොහෝ විට අපි යමක් කරණුයේ එහි නියම අර්ථය දනිමින් කරනවාට වඩා අන් අයෙක් හෝ පිරියක් කරනු ලබන ක්‍රියාවක් දෙස බලා එය අනුගමනය කිරිමක් වශයෙන්. එසේ කරණු ලබන ක්‍රියාවන්ගෙන් අපිට නිසි ප්‍රථිපල ලබන්නට වෙනේනේ නෑ. මිතුරනේ මේ සුදානමි වන්නේ මෙතෙක් දැන හෝ නොදැන කරන ලද ඒ පුජාවන්ගේ අනුසස් පිළිබඳව ඔබව දැනුවත් කිරිමටයි.
මේ සමිබන්ධයෙන් බණ කථා උපුටා දැක්විමට වඩා ත්‍රිපිටකයම උපුටා දැක්විම ප්‍රයෝජනවත් වේ යැයි සිතූ නිසා මෙම ලිපි පෙළ සමිපාදනය කිරිමේ දී බණ කථාවන්ගෙන් උපුටා ගැණිමි නොකලෙමි. ඉදින් ප්‍රිය මිතුරනේ මේ ලිපි පෙළ පරිශිලනය කිරිමේ දී මුල් ලිපියේ සිට පිළිවලින් කියවාගෙන යෑම වැඩ පිණිස වේ යැයි යන්නයි මාගේ අදහස.
මොනාද මේ පහන්
ඒ අනුව මේ මුලින්ම සැරසෙනුයේ පහන් පුජාවේ අනුසස් පිළිබඳව දැන ගැන්මටයි. පහන්, ඉටිපන්දම්, විදුලි ආලෝකය, වෙසක්කූඩු මේ සියල්ල එක හා සමාණයි. කර්ම ඵලය අදහමින් ආලොකය ලැබිම පිනිස ගිනිගොඩක් දැල්විම පවා පහන් පුජාවක්ම තමයි.
පහන සහ ඇස
බුදු පියාණන්වහන්සේ ම දේශිතයන්හි පහන් පුජාව ඇස් දිමක් හා සමාණ බව දක්වා තිබේ. මිනිසුන්ට මේ ශරිරයේ ඇති බොහොම වටිනා ඉන්ද්‍රියන්ගෙන් එකක තමයි ඇස කියන්නේ. නමුත් මේ ඇසට ආලොකය නොමැතිව රැප උපදවිමේ හැකියාවක් නෑ. පුන්‍යමය කයුත්තක් සඳහා ආලොකය දල්වා තැබිම තුලින් එකි කටයුත්තට සහභාගිවන්නන්ට මෙන්ම තමන්ටත්, එම පුන්‍ය කටයුත්ත දැක ගැණිම තුලින් කුසල චෛතසික රාශියක් උපදවා ගන්නට පුළුවන්. ඇස තිබුණාටම පළක් නැත. ඒ ඇසට පෙනිම ලැබුනේ ආලොකය නිසා. මේ හේතුවෙන් ප්‍රදිප පුජාව ඇස් දිමකටම සමාණ වනු ඇත. විශේෂයෙන් බොදු දර්ශනය තුල ආලෝක පුජාව දිබිබචක්කුව උපදවාගැනිමට හේතුවන (දිවැස්) මහා පුන්‍යකර්මයක් බව සඳහන්.
ගැටුළුවක්
දැන් මෙතන පොඩි ගැටළුවක් තියෙනවා. එක පහනක් දල්වලා ආලොකමත් කරනන පුළුන් වෙහෙර විහාර වල ඇයි මේ මිනිස්සු පහන් වැටවල් ගනන් පත්තු කරන්නේ? මේ තෙල් අපතේ යැවිමක් නේද? එහෙමත් නැතනමි බල ශක්තිය අපතේ යැවිමක් නේද කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒක මෙන්න මේ වගේ විසඳ ගන්න පුළුවන්. දැන් මේසයක් උඩ කැවිලි වර්ගයක් තිබෙනවාය කියලා හිතමු. කෙනෙක්ට එක කැවිල්ලක් කාල එකෙනේ සෑහිමකට පත් වෙන්න පුළුවන් තව කෙනෙක්, කැවිලි කිහිපයක් කාලා සෑහිමකට පත් වෙනවා. තවත් කෙනෙක් බඩ පිරෙනකන්ම ඒ කැවිලි වර්ගය කනවා. අපි දන්නවා ආහාර වලින් ශරිරයේ ශක්තිය, එහෙම නැත්නමි ජිවිතය පැවැත්විමට අවශ්‍ය රැප කොටස් නිපදවෙන බව. ඒ වගේ එක කැවිල්ලක් කාපු කෙනාගේ ශරිරයේ පැවැත්මට උපකාරි වන්නේ ඒ කැවිල්ල විතරයි. කැවිලි කිහිපයක් කාපු කෙනාට ඒ කැවිලි කිහිපයම උපකාරි වෙනවා. එතකොට බඩ පිරෙන්න කාපු කෙනාට ඒ සමිපුර්ණ ප්‍රමාණයම තියෙනවා. බඩ පිරැණාය කියන අදහසත් තියෙනවා.
අන්න ඒ වගේ එක පහනක් දල්වපු කෙනාට එක පිනයි. පහන් කිහිපයක් දල්වපු කෙනාට පින් කිහිපයයි. හිත පිරෙන්න පහන් ජුජාකල කෙනාට ඒ පුජා කල පහන් ගනනටම සිදුවන කුශලයන්ට අමතරව හිත පිරිම තුලින් මම මෙචිචර පහන් දැල්වුවාය කියලා ඇතිවන කුශල කර්මයත් තියෙනවා. දැන් ඒ ප්‍රශ්ණය විසදෙනනට ඇතැයි යන්නයි මාගේ අදහස. පහන් විතරක් නෙමෙයි අනිත් පුජාවනුත් එහෙමම තමයි. ඒ වගේම යමි පුජාවක් කර‍න්නෙකු දෙස බලා සිත නොසුතුටු කර ගන්නාද මෙපමණ යැයි කිව නොහැකි අකුසල කර්මයක් රැස්කර ගන්නා බැවි කිව යුතුය.
දැන් පහන් පුජාවේ අනුසස් ගැන සලකා බලමු.
පඤ්ඤච දීපිකාපදානය.
"මම එකල්හි හංසවතී නගරයෙහි සංචාරිකාවක් වීමි. පින් කැමැත්තාවූ මම ආරාමයෙන් ආරාමයට හැසිරෙමි. කාලපක්‍ෂයෙහි වූ අමාවක් දිනයෙහි උතුමිවූ බෝධියක් දිටිමි. මම එහි සිත පහදවන බෝමුලෙහි හුනිමි. එවිට (බර සිතක්) උපදවා සිරසෙහි ඇඟිලි බැඳ, එකෙණෙහි සොමිනස් උපදවා මෙසේ සිතීමි.

"ඉදින් බුදුරජතෙම අපමණ ගුණ ඇත්තේ වේනම්, අසමවූ, අප්‍රති පුද්ගල වේනමි මට ප්‍රාතිහාර්‍යක්යක් දක්වාවා. මේ බෝධිය ආලෝකවත් වේවා" යි කියායි "මාගේ මෙනෙහි කිරීම සමගම එකෙණෙහි බෝධිය දැල්විනි. එය සර්ව ස්වරණමය විය. සියඵ දිගින් බැබලුනි. මම දාවල් සතක් (සත් දිනක්) එහි බෝමුලෙහි හුනිමි. සත්වැනි දවස පැමිණි කල්හි මම පහන් පූජාවක් කෙළෙමි. ආසනය පිරිවරා වටකොට පහන් පසක් දැල්වීමි. හිරු උදාවන තුරු එකල්හි මාගේ ප්‍රදීපයෝ දැල්වුනහ.
"මැනවින් කරණ ලද එම කර්මය කරණ කොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණ කොට ගෙනද, මම මිනිස් නිරුර හැර තව්තිසා දෙව්ලොවට උත්පත්ති වශයෙන් ගියෙමි. එහි මට මැනවින් කරණ ලද පහළවූ විමානය "පඤ්චදීපී" යයි කියනු ලැබෙ. එය සියක් යොදුන් උසය. තිස් යොදුනක් පුඵල්ය. "අපමණ ප්‍රදීපයෝ මාගේ හාත්පස දැල්වෙත්. දිව්‍ය භවනය මුඵල්ලම ප්‍රදීපාලෝකයෙන් බැබලුණේය. ඉදින් අනභිමුඛයෙහි හිද යමක් (අසල නොසිට) බලන්නට කැමති වෙම්ද, එවිට: උඩද, යටද, සරසද සියල්ල ඇසින් දකිමි.
"යම්තාක් තන්හි සුගතිදුගති වල උපන් සත්ත්‍වයන් දකින්නට කැමති වෙම්ද, එහි වෘක්‍ෂයන්හි හෝ පර්වතයන්හි හෝ ඒ හේතුවෙන් සිදුවන: ආවරණයක් නැත. "අසූවක් දෙවි රජවරුන්ගේ මෙහෙසිබව කෙළෙමි. සියයක් සක්විති රජුන්ගේද මෙහෙසිබව කෙළෙමි. "දිව්‍යවූද, යලි මනුෂ්‍යවූද යම් යම් යෝනියක උපදිම් නම් සියක් දහසක් ප්‍රදීපයෝ මා පිරිවරා දැල්වෙත්. "දෙව්ලොවින් චුතව මව් කුසෙහි උපනිමි. මම කුසට පිළිසිඳ ගැනීම් වශයෙන් ගිය මාගේ ඇස් නොපියවෙ.
"කරණ ලද පුණ්‍යකර්මය හා යෙදුනාවූ සියක් දහසක් ප්‍රදීපයෝ තිඹිරිගෙහි දැල්වෙත්. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි. "අන්තිම භවය පැමිණි කල්හි තෘෂ්ණා සහිත සිත තෘෂ්ණාවෙන් ඉවතට පෙරළා දැමීමි. මම ජරාමරණ විරහිතවූ, සිසිල් බැව් ඇති නිවණ අවබෝධ කෙළෙමි. "උත්පත්තියෙන් සත් හැවිරිදිවූ මම රහත් බවට පැමිණියෙමි. ගෞතම බුදුරජතෙමේ මාගේ ගුණ දැන මා උපසම්පදා කරවූ සේක. මඩුවක හෝ, රුක්මුලක හෝ, ප්‍රසාදයන්හි හෝ, හිස් ගෙයක හෝ ධ්‍යන කරණ කල්හි මාගේ හාත්පස ප්‍රදීපයෝ දැල්වෙත්.
මාගේ දිවැස පිරිසිදු විය. මම සමාධියෙහි දක්‍ෂවූවා වෙමි. අභිඥාවන්හි තෙර පැමිණියාද වෙමි. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි. සියල්ල සම්පූර්ණ ලෙස අවසන් කළා, කොට නිම කරණ ලද කටයුතු ඇත්තී, ආශාව රහිත වූවාය. පසැස් ඇත්තාවූ මහා වීරයන් වහන්ස, පඤ්චදීපා තොමෝ ඔබ වහන්සේගේ පා වදියි. මින් පෙර සියක් දහස්වන කපෙහි වු එකල්හි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. පහන් පසක් පිදීමෙහි මේ විපාකයයි. 
(ඛුද්දකනිකාය, ථේරි අපදාන)

පංචදීපක ථෙරාපදානය.
"මම සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකමිපීවූ පදිමුත්තර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයෙහි මනාව පිහිටා ඍජුවූ දෘෂ්ටි ඇත්තේ වීමි. "බෝධිය වටකොට ප්‍රදීප දානයක් බුදුජාණන් වහන්සේ දිනිමි. පහන් පූජාවක් කෙළෙමි. කර්ම ඵල අදහසින් පහන් දැල්වීමි. කෙළෙමි. "මම දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, එවිට ඒ පුණ්‍ය කර්ම හේතුවෙන් අහසෙහි උල්කා දරත්. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.
"පර්වතද ඉක්මවා බිත්තියෙන් තාප්පයන්ගෙන් පිටද, ගල් තලාවකින් පිටතද ඇති හාත්පස යොදුන් සියයක් තැනවූ සියල්ල දර්ශනය කරමි. (බලමි.) "එම කර්මයාගේ අවශේෂ විපාකයෙන් ආශ්‍රවක්‍ෂයට පැමිණියේ වෙමි. සර්වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. අන්තිම ආත්මයයි.
(ඛුද්දකනිකාය, ථේර අපදාන, වීජනී වග්ගය)

එකදීපිය ථෙරාපදානය.
"පදුමුත්තර බුදුරජුන්ගේ සළල බෝරුකෙහි පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ මම එක් පහනක් පත්තු කළෙමි. භවයෙහි උපදනා කල්හි නිපදවූ පින් රැසෙහි විපාක වශයෙන් දුගතියක් නොදනිමි. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි. "මින් සොළොස්වන කපෙහි චන්‍ජ්භ නම් මහත් බල ඇති සිව් සක්විති රජකෙනෙක් වූහ. 
(ඛුද්දකනිකාය, ථේර අපදාන, කුමුද වග්ගය)

අපණ්ණදීපිය ථෙරාපදානය.
"එකල්හි දෙවියෙකු වූ මම පොළවට බැස (මිනිස් ලොවට අවුත්) පහන්වූයේ සියතින්ම පහන් පසක් පිදීමි. "මින් සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම්ද, ඒ හේතුවෙන් දුගතියක් නොදනිමි. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි. "පස් පණස්වන කපෙහි පෘථිවීශ්වරවූ සමන්තචක්ඛු නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි. 
(ඛුද්දකනිකාය, ථේර අපදාන, අකාසුක්ඛිපිය වග්ගය)

දිප විමාන වත්තුව
භාග්‍යවත් සමිමා සමිබුදු රජානන්වහන්සේ සැවැත් නුවර වැඩ වසන සමයක්හි එක්තරා පොහෝ දිනයක බොහෝ උපාසක වරැ පෙහෙවස් සමාදන්ව ඔවුනොවුන්ගේ ශක්ති පමනින් පෙරවරැවේ දන් දී ‍පෙරවරැ කාලයේම බත් අනුභව කොට, පස්වරැ භාගයේ සුදු පිළි හැද සුදු පිළි ඒකාංශ කොට, සදුන් තුවරලා ආදි සුවඳ ද්‍රව්‍යන් හා ගෙතු නොගෙතූ නොයෙක් සුවඳ මල් අතැතිව,ඔවුනොවන්ගේ අභිපාය වු භික්ෂුන් කරාගොස් සේවනය කොට, සවස ධර්ම ශාලාවේ බණ අසමින් සිටියදීම සුර්යයා අස්ථාන ගතවීම නිසා අන්ධකාර විය.
එකල්හි නාම ගෝත්‍රයෙන් අප්‍රසිද්ධ වු එක්තරා ස්ත්‍රීයක්, "දැන් ආලොකය අවශ්‍ය වන්නේය. මම දැන් පහනක් දැල්වුවහොත් එය ඉතා යහපත්වන්නේය, වැඩදායක වන්නේය "යැයි සිතා තම නිවසින් පහන් තෙල් ආදී උපකරණ ගෙන්වා ධර්මාසනය පෙරටුව පහනක් දල්වා තබන ලදි. ඉක්බිතිව බණ අසා තමා විසින් කරන ලද පහන් පුජාවද සිහිකොට ඇ විසින් නික්ම යන ලදි.ඉන් නොබෝ කලකින් ඈ කාල ක්‍රියා කොට, ඒ කුෂල කර්මය හේතුවෙන් තවිතිසා දෙවි භවනේ, හිරැවිමනක් සේ නොයෙක් රශ්මි ජාලාවන්ගෙන්, දිප්තිමත්ව බබලන්නාවු මහත් වු විමනක උපන්නිය. 
ඇගේ ශරිර වර්ණය අන් දෙවියන් යටපත් කරමිත්, තාරකා මධ්‍යයයේ දිලෙන පුර්ණ චන්ද්‍රයා මෙන් විය. මුගලන් මහතෙරැන්වහන්සේ විසින් දෙවි ලොවි චාරිකාවේ යෙදී සිටියදි ඇගේ විමානශ්‍රිය බලා එය එයට කාරණා විමසා සිටි විටදි දෙවිදුව විසින් ප්‍රඛාශ කරනු ලදුව මෙකි විමාන වත්ථුව විමාන වත්ථු ප්‍රකරනයේ අන්තර්ගතව ඇත.
(විමාන වත්තු ප්‍රකරණය, පිඨ වර්ගය, දිප විමාන වත්තුව)

ඉදින් ප්‍රිය මිතුරනේ එක් පහනක් පිදිමම දෙවිමිනිස් සැප ලබා නිවන සාක්ෂාත් කිරිමට හේතු පාදක වන කල්හි කර්ම ඵලය අදහමින් කරන්නාවු මහත පහන් පුජාවක ප්‍රථිඵලය කෙබදු වේ දැයි අනුමාන කල හැකිද?
.
සියළු සත්ත්වයෝ පහසුම ප්‍රථිපදාවෙන් නිවනටම පැමිනෙත්වා!!

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

චෛත්‍ය මළු ඇමදීමේ ආනිසංස


දස පින්

බලන්ගොඩ ආනන්ද මෛත්‍රිය මහ නාහිමි
සනීපය ආරක්ෂා කැරැගැන්මෙන් ඇඟ හොඳට වැඩෙයි. ඇඟේ හයි හත්තිය ඇති වෙයි. වැඩි කලක් සැප සේ ජීවත්විය හැකි වෙයි. එසේ ම හිතේ සනීප ගතිය රැක ගැන්මෙන් හිතේ සක්තිය, හිතේ හයිය වැඩි වෙයි, හිත දියුණු වෙයි.
හොඳ ගුණයට පැහැදීම, නරක ගතියෙක් තමා තුළ ඇති නො වන්නට පරිස්සම් වන ගතිය, නරක කැත ගතිවලට නො කැමති කම (හෙවත් පිළිකුල), ලෝභ නැති කම, තරහ නො වෙන ගතිය, ඇත්ත ඇති හැටියට දකින ගතිය යන ආදි ගති ලෙඩ නැති හිතේ ලකුණු ය. මේ හොඳ ගති හිතේ පුරුදු වීමෙන් සිත තුළ වැඩී යෑමෙන් හොඳ දෑ කිරීමට හිත නැමේ. මෙ සේ හොඳ හිතෙන් කරන ඒ හොඳ දෑවලට පින් ය කියා නෙමෙකි. ‘පින්’ යන වචනයේ මුල් තේරුම නම් “එය කරන්නහු ගේ හිත සුද්ද කරන දැ ය” යනුයි. හිතේ හොඳ ගති දියුණු වීමෙන් කරන හොඳ ක්‍රියා දහවගෙකි. ඒවාට දස පින් යැයි කියත්.
1. ඉන් පළමු වැන්න දීම යි.
අපට වැඩියෙන් හොඳ වු අය සිටිති. අපට වඩා හික්මීම ඇති, අපට වඩා කරුණාවන්ත, ලොව හැම දෙනා ම ගැන තමාට මෙන් ම ආදරය පවත්තන, අනුන් ගැහුවත් බැන්නත් තරහ නැති ව ම ඒ සියල්ල ඉවසන, මේ ආදි වශයෙන් හොඳ ගතිවලින් අපට වඩා දියුණු වුණු අය සිටිති. එබඳු හොඳ ගුණ, උසස් උතුම් දෑ හැටියට සලකන අප තුළ, එබඳු ගති ගුණ අපට වඩා දියුණු වී ඇති අය ගැන ද සැලකිල්ලත් ආදරයක් ඇති වේ. එබඳු අයට සැලකිලි දක්වන්නට, වඳින්නට පුදන්නට, අපේ හිත නැමෙයි. එහෙම ඇත්තනට එතුමන් පුරන ඒ ගුණ දහම් දියුණු කිරීමට උදව් දීමක් වශයෙන් සලකන්නට ද අපේ සිත නැමේ. අප සතු දෑ කෙරෙහි අප තුළ ඇති ඇල්ම පවා අත්හැරලා ඒ වා වියදම් කැරැ ඒ උතුමනට හොඳින් සලකන්නට අපට සිතෙයි. එබඳු උතුමනට කෑම පීම ආදිය දීමෙන් සැලැකිලි දැක්වීම එක් දීමෙකි.
අපට වඩා දුප්පත් අසරණ අය පෙනුණා ම අපේ හිතේ ඔවුන් විඳින දුක ගැන කනගාටු ගතියෙක්, කරුණාවෙක්, අනුකම්පාවෙක්, පපුව උණු වීමෙක් ඇති වේ. අප කොතරම් ආශාවකින් රැකගෙන තිබෙන දෑ වූවද ඔවුන් හට දී ඔවුන් සනසන්නට සිත් වෙයි. ඒ කරුණාව උඩ අසරණ අයට සංග්‍රහ කිරීමත් එක් දීමෙකි.
මෙසේ ගෞරවයෙන් දෙන දීමත්, කරුණාවෙන් දෙන දීමත් යන දෙක ම දාන (දීම) නමැති පින්කමයි.
2. දෙවෙනි පින්කම සිල් රැක්ම යි.
සිල් නම් හීලෑ ගුණය යි. සතුන් මැරුම්, අන්සතු දෑ අයුතු අන්දමින් ගැනුම්, නරක ආශාවෙන් නො හොබනාකම් කැරැම්, මත්පැන් බීම, බොරු කීම්, කේලාම් කීම්, නපුරු වචන කීම්, වැද ගැම්මකට නැති දෑ දෙඩීම්, අයුතු දෑ කිරීමෙන් ජීවිකාව කිරීම් යන මේවාහැඩි නො හීලෑ (දුස්සීල) කම් ය. ඒ නො හීලෑ කම්වලින් වැළැකී හෙවත් ඒවා අත්හැර හීලෑගතිය, ඛ්ඹ්ක්මුම්කම ඇති කැරැ ගත යුතු යි. මෙ සේ හික්මුම සීල (සිල්) නම්, මෙය ද හිතේ හොඳ ගති නිසා ම ඇති වන එකෙකි.
3. තෙ වෙනි පින් කම භාවනාව යි.
අපේ හිත ඒ මේ අතට දුවන්නට වුණා ම නොයෙක් නරක ගති හිතේ ම ඇති වන්නට ඉඩ තිබේ. ප්‍රිය නැති කෙනෙකු දුටුවා ම තරහ ඇති වේ. යමක් ලබා ගැන්මේ ආශාව නිසා හිත තුළ නොසන්සුන්කමද ඇති වේ. මෙසේ නොයෙක් අතට හිත යෑමෙන් හිතේ කලබල ගති හැදේ. ඒවායින් හිත වෙන් කැර ගෙන යම් කිසි හොඳ ගතියකට ම හිත නමා ගෙන, එහි ම හිත බැඳ තබන්නට පුරුදු වුණොත් නරක – ගතිවලට හිතේ ඉඩ නො ලැබේ. එබැවින් නරක අතට හිත නො නැමෙන්නටත්, හිතේ හොඳ ගුණ තහවුරු වෙන්නටත් අප විසින් පුරුදු කළ යුතු හොඳ වැඩෙක් තිබේ. එ නම් හොඳ අන්දමට හිත එකඟ කැරැ, හිත එක දැයකට ම නමා තබා ගෙන ඉඳීම යි – “මුළු ලෝකයේ හැම දෙනාට ම හොඳක් ම වෙච්චාවේ” කියා හිතින් කැමැති වෙමින්, ඔවුන් සැප සේ ඉන්ද යුතු අන්ද ම හිතෙන් දැක දැක එයට කැමැති කම දියුණු කරමින් අපට ඉන්නට පිළිවන. මේ ආදී යම් කිසි හැටියෙකින් හිතේ එකඟකම දියුණු කිරීමෙන් හිත වැඩෙයි. මෙ සේ හොඳ අතට හිතේ එකඟකම දියුණු කිරීම එක් භාවනාවෙකි.
අපේ ඇඟ වෙනස් වන හැටි, දිරන හැටි, හිත වෙනස් වන හැටි, හිතත් හිතේ ගතිත් ඇඟත් දුක් වන සැටි, ඒවායේ නො නැසෙන හර ගතියක් නැති සැටි හිතින් බලමින් ඒ ගැන දැනීම දියුණු කළ යුතු. මෙසේ ඒ දැනුම වැඩීමෙන් ඒ කිසිවක් ගැන ආශාවක් ලෝබයක් ඇති නො වේ. ඒ කිසිවකට අනුන් ගෙන් කරදරයක් වුණාට තරහවකුත් ඇති නො වේ. ඒ වා නිසරු බව දැනෙන බැවිනි. මෙසේ ජීවිතයට ඇති සැටි දන්නා නුවණ වැඩීම ද එක් භාවනාවෙකි.
මේ හිතේ එකඟකම වැඩීම සමාධි භාවනා නමි, නුවණ වැඩීම විපස්සනා භාවනාව නමි.
මෙය පුරුදු කිරීමෙන් හිතේ නරක ගති දුරු වේ. හොඳ ගති දියුණු වේ. නුවණ ද වැඩේ.
4. සිවුවන පින්කම නම් යටත් පහත් කම පෑම යි.
මා පියනට වැඩි හිටියනට ගුරුවරුනට ගුණවනයනට යටත් පහත් කම් දැක්වීම, ගරු බුහුමන් දැක්වීම, වැඳුම් පිදුම් යන මේ සියල්ල එයට ඇතුළති. මෙය පුරුදු කිරීමෙන් උඩගු කම් ආදී නරක ගති නැතිවී හිත ශුද්ධ වේ. පාලි භාෂාවෙන් මෙයට අපචායන යන නම බැවහර යි.
5. පස් වන පින්කම නම් මා පිය ආදීනට වතාවත් කිරීම යි.
ඔවුනට ලෙඩ දුකේ දී සාත්තු කිරීම, ඔවුනට කෑම් බීම් ආදිය පිළියෙල කරදීම, දර වතුර ගෙනවුත් දීම, අත් පා මිරිකීම, ගමන් බිමන්වල දී ඔවුන් හා යෑම් ආදියෙන් උපකාරී වීම යන ආදිය මෙයට ඇතුළත්ය. මෙය පුරුදු කරන්නා ද මෙයින් ලෝබ තරහ උඩගුකම් ආදි නරක ගති හිතින් දුරලයි. ඔහුගේ හිත හොඳ ගතිවලින් පිරෙයි. ශුද්ධ වෙයි. මෙයට පාලියෙන් වෙයියාවච්ච යන නම වැහැරැවේ.
6. හවන පින්කම නම් පින් දීම යි.
හොඳ දෑ කිරීමෙන් ගුණ නුවණ වැඩේ. කෙනෙකු කරන හොඳ දැයට සතුටු වීම ඒ හොඳ දෑ හිතින් පිළිගැනීමයි. අන් කෙනකු දන්දීම්, සිල් රැකීම් ආදි වශයෙන් හොඳ වැඩ කරනවා. දැක අප එයට සතුටු වෙනවා නම් එයින් අපේ සිතින් ඒ පින කළා නම් වේ. ඉතින් අපත් පිනක් කොට එයට අන් අය සතුටු කැරැවීමෙන් ඔවුන් තුළද හොඳ ගති ඇති වේ. එයින් අපට මෙන් ඔවුනට ද යහපතෙක් ම සැලැසේ. මෙසේ හෙයින් අප පිනක් කළා ම “මේ පින අන් සත්ත්වයනට ද සතුටට හේතු වේ වා. මේ පිනට සතුටු ව ඔහු ද සැප ලබත්වා’යි සිතින් සිතීම, වචනයෙනුත් කීම අනුන් හට උපකාර කිරීමෙකි. මෙ සේ කිරීමේදී මෙයට බලාපොරොත්තු වන සමහර දෙවිවරුද, අපේ අදහස්, අපේ වචන තේරුම් ගත හැකි අන් සත්ත්වයෝ ද අප කළ පිනට සතුටු වෙති. එයින් ඔහු තමන් තුළ ද හොඳ අදහස්, පින් සිත් ඇති කැර ගනිති. එයින් සැප ලබති. අපේ නැසී ගිය නෑදෑයන් ගෙන් යම් යම් අය එබඳු පින් ගන්නට හැකි පේ‍්‍රත ජන්මයෙක ඉපිද හිටියොත් අප පින්දීමේ දී ඒවා අනුමෝදන් කොට ගෙන හෙවත් ඒවාට සතුටුව කුසල් වඩා ගෙන සැපතට පැමිණෙති. එබැවින් අනුන් හට පින්දීම පින් අනුමෝදන් කැරැවීම හිතවත් කමින් කරන උපකාරයෙකි. උතුම් පිනෙකි. මෙයට පාලියෙන් පත්ති දාන යන නම වැහැරැවෙයි.
7. හත්වන පින නම් පින් ගැනීම යි.
උඩ කී පරිදි අප අනුනට පින් දෙන්නා සේ ම අන් අය අපට ද පින් දෙති. ඉතින් පින් කැමැති අප විසින් ඔවුන් හිතවත් කමින් අපට දෙන පින් සතුටින් ගත යුතු යි. හෙවත් ඔවුන් තමන් කළ පින් අපට අනුමෝදන් කරන විට අපත් ඒවා අප කළ දෑ සේ ම සිතා සතුටු විය යුතුයි. මේ අනුන් දෙන පින් ගැනීමට පාලි භාෂාවෙන් පත්තානුමෝදනා යැ යි කියනු ලැබේ.
8. අට වන පින්කම බණ කීම යි.
අනුන් නරක සිතුම් පැතුම්වලිනුත් නරක කියුම් කැරුම්වලිනුත් බේරා ගෙන හොඳ අතේ යවන අදහසින් උපදෙස් දීම, හොඳ දෑ කියා දීම බණ කීම නමි, ධර්ම දේශනා කියන්නේත් මෙයටම යි. අනුනට බණ කියන්නේ ඔවුනට හිතවත් බැවිනි. කරුණාවෙනි. එය කරන්නහු ගේ හිත එයින් වඩ වඩා පිරිසිදු වේ.
9. නව වන පින්කම නම් බණ ඇසීම යි.
අපට අපේ යහපත පිණිස හොඳ අය උපදෙස් දෙති. අපේ මවු, පියා, ගුරුවරු, සිල්වත් ගුණවත් හාමුදුරුවරු දැනුමැතිකම් දෙති. පින් පව් තෝරා කියා දෙති. ඒවා අසා තේරුම් ගැනීම අපේ යුතු කම යි. මෙ සේ බණ ඉගැන්මෙන් දැනීම ඇති වේ. එයින් හිත නරකින් ඉවත් ව හොඳ වේ. හෙවත් පිරිසිදු වේ. ධර්ම ශ්‍රවණය කියා බැවහැර වන්නේ බණ ඇසීමට යි.
10. දස වන පින්කම නම් නිවැරැදි දැකීම හෙවත් හරි නුවණ ඇති කැර ගැන්මයි.
සමහරු “සත්ත්වයා මෙයින් ම අවසන් වෙතැ”යි වරදවා සලකති. එය ඇදට දැකීමෙකි. තව කෙනෙක් “මෙහි අප තුළ වෙනස් නො වී එක ලෙස ම පවත්නා යම් කිසි හරයක්, ‘ආත්මය’ කියා එකක් ඇතැයි”යි ද “එය දිගින් දිගට අලුත් අලුත් ශරීරවලට එකතු වෙවී යතැ”යි ද වරදවා සිතති. මේ දෙක ම වක් වූ ඇද වූ දැකුම් ය. වැරැදි සැලැකුම් ය. බණ දහම් ඇසීමෙන් සත්පුරුෂයන් ආශ්‍රය කිරීමෙන් මේ වැරදි හැර දමත හැකි යි.
සත්ත්වයා යනු එක් අන්දමකට ම තිබෙන වෙනස් නො වී සිටින කිසියම් දැයක් නො වේ යැ යි ද, නිතර වෙනස් වෙවී යන ස්වභාව වැලක් යැයි ද දැනීම නිවැරැදි යි. එය හරි දැක්මෙකි.
තව ද හේතුවක් කාරණයක් නැති ව, ලොව යම් යම් දෑ ඉබේ ම ඇති වේ යැ යි සමහරු සලකති.
තව කෙනෙක් සියල්ල දන්නා දක්නා සියලු බලැති කෙනකු ගේ කැමැත්ත අනුව ලොවෙත් සත්ත්වයන්ගේත් පැවැත්ම වේ යැයි සලකති.
තවත් අයෙක් මේ අත්බැව්හි සිදුවන සියල්ල පෙර අත්බැව්හි කළ කර්ම නිසාම වේ යැ යි සලකති.
මේ හැම දැකුම් සැලැකුම් වැරැදි ය, ඇද ය.
හේතුවක් නැති ව කිසිවක් ඇති නො වේ. යමක් වීමට හේතුවක් තිබිය යුතු ය. සත්ත්වයා ගේ මෙහි සිදුවීම්වලින් ඇතැම් දෑ මෙ අත්බව්හි ම වු ඇතැම් කරුණින් වේ. ඇතැම් දෑ පෙර අත්බව්හි කළ කර්ම නිසා වේ. ඇතැම් දෑ මෙ අත් බව්හි කරන දෑ නිසාම සිදුවේ. ඇතැම් දෑ මෙ අත්බව්හි කරන දෑත් පෙර අත් බව්හි කළ කර්මත් යන දෙකෙන් ම සම්බන්ධයෙන් වේ. මේ හරි දැක්මයි, ඇද නැති දැක්ම යි. සෘජු දෘෂ්ටිය යි. සම්‍යක්දෘෂ්ටිය යනු ද මෙය යි. දස වන පින හැටියට දැක්වුණේ මේ සම්‍යක්දෘෂ්ටිය ඇති කැර ගැන්ම යි.
.
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

පිනත් සමඟ එක්වන කර්ම විපාක

කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී ඒ ශ්‍රාවකයාට හොඳින් කල්පනා කරන්නට පුළුවන් හැකියාවක් තිබිය යුතුයි. ඒ හැකියාව විශ්මිත දෙයක්. ඒ විශ්මිත දේ තුළිනුයි ඔහුට මේ ධර්මයේ තිබෙන නිවැරැදි දේ හමු වෙන්නේ. ඒ තුළින් ඔහුට මේ ධර්මයෙන් උපරිම දේ ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා.තමන්ගේ ජීවිතයේ කල්පනා කරන ශක්තිය තම තමාගේ ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙනයන ආකාරයට හදා ගන්න ඕන.
අප දන්නවා බොහෝ දෙනා කුසල් වඩනවාටත් වඩා පිනට මිනිසුන් කැමැතියි. මේ ලෝකයේ තිබෙන බලවත්ම කුසල් තමා සතර සතිපට්ඨානය වැඩීම, සිහිය ඉහළට දියුණු කිරීම, විදර්ශනා සමථය වැඩීම. නමුත් අද සමාජයේ ඒ බලවත් කුසල් වෙනුවට පළමුතැන දෙන්නේ පිනට. “පින” කියන්නේ අප මහත්ඵල මහානිසංස ලෙස දන් දෙනවා. පුදපූජා කරනවා, ධාතුන් වහන්සේ වඳිනවා, නොයෙක් ලෙස බුදුරජාණන් වහන්සේට උපහාර පූජා, මල් පූජා පවත්වනවා. ධර්මය පතුරුවන්නට උදව් වෙනවා. මේ සියලු පින් අප කරන්නේ කුසල උපදවා ගන්නවාට වඩා පින් රැස්කර ගැනීමට යි. මෙහෙම පින් කරනවා කියන මිනිසුන්ගේ ජීවිතේ ඔවුන්ටත් නො දැනීම ගොඩනැඟෙන කර්ම ශක්තියක් තිබෙනවා. එය අපට තේරෙන්නේ නැහැ. ඒ නිසා පින් කරන්නට ගිහින් පවු ගොඩක් ජීවිතවලට එකතු වෙනවා. ඒක මේ වගේ දෙයක්.
මීට කලින් බුද්ධ ශාසනයක රහතන් වහන්සේ කිහිප නමක් පිඬු පිණිස නිවසකට වඩිනවා. උන්වහන්සේලා මේ නිවසේ සිටි තරුණ යුවලක් ඉතාමත් ශ්‍රද්ධාවෙන් මුන්වහන්සේලාට දානය පූජා කළා. ඉතාමත් සංවර ඉරියව් තිබෙන උන්වහන්සේ දෙස බලලා සතුටු වුණා. මුනිවරු මෙතරම් ශාන්ත වුණේ යම් ධර්මයක් අවබෝධ කරලද? ඒ පරම ශාන්ත වූ අමා නිවන අපටත් අවබෝධ කරගන්න පුළුවන්නම් කියන අදහස තරුණ යුවලගේ සිතේ බලවත්ව පිහිටියා. මේ දෙදෙනා ඒ සිතිවිල්ලෙන්ම දන් පූජා කළා. දානය වැළඳු රහතන් වහන්සේ පිටත් වුණා. මොනම හරි හේතුවකට මුලින් සිටි හිමියන් පිටුපස හැරී පසුපස සිටි හිමියන් සමඟ සිනා වුණා. ඒ හිනාව දුටු කාන්තාව සැමියාට කියනවා හරියට “සර්කස් කාරයෙක්” වගේ නේද? කියා. ස්වාමියා හිස වනා එය ස්ථිර කළා.
ඒ අය මනුස්ස ලෝකයේ සැපවත්ව ගෙවා මරණින් මතු සුගතියේ උපන්නා. කර්ම විපාකය සඳහා ගෞතම බුද්ධ ශාසනයේදී අර කාන්තාව ඉපදුනා සර්කස් පවුලක. පිරිමියා උපන්නා ඒ ගමේම සිටු පවුලක. දැන් ඒ ගෑණු ළමයා ගමින් ගමට සර්කස් පෙන්වමින් යනවා. දිනක් මේ සිටුකුමාරයටත් මේ සර්කස් බලන්න ලැබුණා. සසරේ බැඳීම යළි මතු වුණා. දුටු සැණින් හිත ගියා. ඔහු තීරණය කළා මේ තරුණිය විවාහ කරන්න. කලින් ජීවිතයයි, කර්ම ශක්තිය එකට එකතු වුණා. මාපියන්ගේ විරුද්ධතා මැද අර තරුණිය විවාහ කරගත්තා. දැන් මේ කුමාරයාගේ රැකියාව සර්කර් පෙන්වන තැන්වලට බඩු ඇඳීමයි. දිනක් මේ තරුණයා මමත් සර්කස් ඉගෙනගන්න ඕන කියා සිතා සර්කස් ඉගෙන ගත්තා. කෙතරම් දක්ෂද කියනවානම් රියන් අසූවක් උස උණ ගසක් උඩකට නඟිනවා. කය සැහැල්ලු කරගෙන සමබර කරගෙන මොහොතකින් ආකාසයට පැන නැඟ ආකාසයේ කරනම් දාහතර ක් ගසා නැවත අර අසූ රියන් උස උණ ගසේ මුදුනේම සිට ගන්නවා. මිනිසුන් බොහෝ දෙනා එනවා මේ සර්කස් එක බලන්න.
දිනක් තථාගතයන් වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස කරුණාවෙන් ලොව දෙස බැලුවා. උන්වහන්සේ පින තිබෙන කෙනා කෙතරම් ඈතක සිටියත් හොඳින් හඳුනනවා. හරියට මහමේරු පර්වතය වගේ. පින් නැති කෙනා ළඟ සිටියත් උන්වහන්සේට පෙනෙන්නේ නැහැ. හරියට රෑ කාලයේ ළඟට වැටුන ඉදිකටුවක් වගේ. බුදුරජාණන් වහන්සේ එදා සඟ පිරිසත් සමඟ සර්කස් පිට්ටනියට වඩිනවා. දැන් මිනිසුන් බුදුරජාණන් වහන්සේ දෙස බලනවා. අර පුද්ගලයා උණ ගහේ උඩ ඉන්නවා. ඔහු සිතනවා මම දැන් සර්කස් පෙන්වන්නට හදන්නේ. මේ ශ්‍රමණ පිරිසක් ඇයි මෙතැනට වැඩියේ? කියලා සිත වික්ෂිප්ත වුණා. බුදුන් වහන්සේ වදාළා පින්වත අපටත් පෙන්වන්න ඔබගේ සර්කස්. දැන් ඔහුට හරි සතුටුයි. උණ ගස මුදුනේ සිට සර්කස් වලට සූදානම්ව සිත එකඟ කරගත්තා. උණ ගසෙන් උඩට එසවුණා. බුදුරජාණන් වහන්සේ ඔහුට ඇසෙන සේ වදාළා “පින්වත, අතීතය අත්හරින්න. අනාගතය සිතින් පතන්නට එපා. වර්තමානයේ ස්වභාවය දකින්න. මේ පංච උපාධානස්කන්ධයට මුලාවෙන්න එපා” කියා. ඔහු ආකාසයේ සිටම ධර්මය අවබෝධ කරගෙන නැවත උණ ගස උඩ සිට ගත්තේ රහතන් වහන්සේ නමක් ලෙස. මේ නිසා කටින් පිටවන වචනය ගැන සැලකිලිමත්වීම වැදගත් වෙනවා.
ඔබට තව උදාහරණයක් කියන්නම්. එක සිටු නිවසකට පසේ බුදුරජාණන් වහන්සේ පිරිසක් දානයට වැඩියා. පාත්‍රා උණු වතුරෙන් සෝදන විට රස්නය නිසා උන්වහන්සේ ඒ පාත්‍රා බිම තිබ්බා. බිමතබා සෝදනවිට ඒ පාත්‍ර සෙලවෙනවා. එක් කුමාරිකාවක් මේක දැක තමාගේ අතේ තිබුණු ඇත් දළයෙන් කළ වළලු අට අර පාත්‍රා නොසෙල්වීමට ‘දරුණු’ ලෙස තිබ්බා. දැන් දානය පුජාකරගෙන සතුටු වුණා. ඒ පසේබුදුරජාණන් වහන්සේ අතර එක් නමක් සිටියා කුදුවෙලා යන. අර වළලු දුන් බිසව අනෙක් බිසෝවරුන්ට කියනවා අර අර බලන්න අර භික්ෂුව යන හැටි. අනෙක් අය අහනවා ඇයි මොකද? යන විදිහ. එවිට අරයා රඟපා පෙන්නුවා මෙහෙමයි ගියේ කියා. උපනුපන් ආත්මවල කුදුවෙලා ඉපදුණා. මේ බුද්ධ ශාසනයේ “කුජ්ජුත්තරා” ඇයයි. අර පාත්‍රාවලට දරුණු පූජාකළ පිනට වහා ධර්මය අවබෝධ වුණා. පසේබුදු කෙනෙකුට නින්දා කළ නිසා කුදු වුණා. එනිසා අපේ සසරේ සැරිසරන නජීවිත සකස් වෙලා තිබෙන විදිහ රෝම කූපයක, ඇහි බැමක, බලන බැල්මක, කථා කරන වචනයක, යම් ඉරියව්වක කර්මය සකස්වෙලා තිබෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කය කියන්නේ සසරේ කරන ලද පැරැණි කර්මයක් ලෙස. ඒවා මේ ජීවිතයේදී ලැබෙනවා. අප මුහුණේ එක එක ඉරියව් වෙනස් කළොත් අපේ මුහුණ එක එක ආකාරයට පෙනෙනවා. මේ ආකාරයට අපට කයක් හදලා දුන්නේ කර්මය විසින්. තවත් කෙනෙකුට හදාදුන් ශරීරයට හිනාවෙලා අපත් කර්ම රැස්කර ගන්නවා.
එහෙමනම් අප නොදැනීම පිනත් සමඟ කර්මය මිශ්‍ර වෙනවා. කෙනෙක් උඩුඟු සිතින් දන්පැන් දුන්නානම් ඒ දානය උඩුඟු සිත සමඟ එකතු වෙනවා. සමහර අය දන් දෙනවා. නමුත් කායික ජීවිතය සංවර නැහැ. දන් දෙන සමහරු හරි පරුෂයි. ඒ අය දානය නිසා බලවත් වෙනවා. නමුත් සැර පරුෂ යක්ෂයන් වෙනවා. තමන්ගේ ඊළඟ ජීවිතය දැන් ගතකරන ජීවිතය අනුවයි සකස් වෙන්නේ. තමන් දන්පැන් දෙනවිට, සිනාසෙනවිට, කථාකරනවිට එයින් කර්මයක් සකස් වෙනවා. බොහෝ දෙනා දන් දෙනවා. නමුත් අත් හැර දන් නොදුන්නේ නිසා දුන් දේ පමණක් ලැබෙනවා. තමන්ගේ දේ භුක්ති විඳින්න හිත නැමෙන්නේ නැහැ. තමන් කරන කියන දේ තමන්ගේ පිටු පස්සෙන් එනවා. එනිසා නිතරම අප දන් දීලා හිත පහදවා ගන්නට ඕන.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ ධර්මය මුල්කරගෙන විහිළු කළොත් එය විශාල පාපයක් වෙනවා. උප උපන් ආත්මවල විහිළුවට කිවුවත් එය අපට ගෙවන්නට සිදුවෙනවා. මිනිසුන් මේ සියලුම පාපයන් කර ගන්නේ ධර්මය නො දන්නාකම නිසයි. සමහර අය බුදුරජාණන් වහන්සේ විවිධ කුසලතාවලට විවිධ විශේෂ දක්ෂතාවලට නින්දා අපහාස කරනවා. ගරහනවා. එහෙම වෙන්න පුළුවන්ද කියා අහනවා. නමුත් ඒ අය දන්නේ නැහැ උන්වහන්සේගේ අසීමිත ප්‍රඥා ගුණය ගැන. ඒ නිසාම ශ්‍රද්ධාවක් නැති අය වචනය නිසා බොහෝ පවුකර ගන්නවා. බුදුරජාණන් වහන්සේ, ධර්මය, සංඝයා මුල්කරගෙන කියන කරන දේ පිළිබඳව අප විශේෂයෙන් පරිස්සම් විය යුතුයි . තමන්ගේ සිත, කය, වචනය හික්මීමෙන් ඔබටමයි යහපත සැලසෙන්නේ. ඔබ යමක් දෙන ආකාරයටයි නැවත ලැබෙන්නේ. තමන් ඉතුරු කරගෙන ඉතුරු කරගෙන නම් දන් දෙන්නේ සසරෙදී තමන්ට ලැබෙන විටත් ටික ටික තමා ලැබෙන්නේ. ඒ නිසා තමාට කර්මය ගැන හැඟීමක් තිබෙන්න ඕන. බුදුරජාණන් වහන්සෙගේ ශාසනයේ සිතින්, කයින්, වචනයෙන් මොනවාහරි දෙයක් කළොත් ලැබෙන්නේ ඒ ආකාරයට ය. ශාසනය කියන්නේ සරුසාර කුඹුරක්. ඒ කුඹුරේ මොන දේ වැපුරවත් එහි බීජ හට ගන්නවා. කොහොඹ වැපුරුවොත් කොහොඹ හට ගන්නවා. වී වැපුරුවොත් වී හට ගන්නවා. බුද්ධ ශාසනය ගැන අප සතුටින් නම් කථා කරන්නේ පුණ්‍ය සංස්කාර හට ගන්නවා. බුද්ධ ශාසනය ගැන අපැහැදීමෙන් නම් කටයුතු කරන්නේ පාපි කර්ම සකස් වෙනවා. ඒ නිසා අද කාලයේ මැරෙන බොහෝ දෙනා දුගති ලෝකවල යනවා.
සීලය ගැන, දානය ගැන, භාවනාව ගැන තේරුමක් නැහැ. ඒ නිසාම භාවනා කරන අයට ගරහනවා. භාවනාවක් කරන කෙනායි දන්නේ භාවනා කරන එක කෙතරම් අමාරුද කියා. භාවනා කරන අයට අප ගැරහුම් කළොත් එහි විපාක ලැබෙන්නේ අප භාවනාට වාඩිවුණාට පස්සේයි. සිල් රකින කෙනාට අපෙන් වරදක් වුණොත් යම් දවසක අප සිල් රකින්න උත්සාහ කරද්දී එහි විපාක අපට ලැබෙනවා. ඒනිසා තේරුම්ගන්න සිතින්, කයෙන්, වචනයෙන් නිරන්තරයෙන් කර්ම සකස් වෙනවා. පිනක් හෝ පවක් අපේ අතින් සිදුවෙනවිට තමන්ගේ හැසිරීම් රටාව, සිතේ ස්වභාවය කර්මයත් සමඟ එකතු වෙනවා. විපාක දෙනකොට ඒ සියලුම දේ එකතුවෙලා විපාක දෙනවා.
ඒ නිසා අප ඒ ගැන සිහියෙන්, බුද්ධියෙන්, විමසීමෙන් මේ ධර්ම මාර්ගයේ ගමන්කිරීම වැදගත් වෙනවා.
තෙරුවන් සරණයි!
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

අතේ ඇති බත්පතින් කුස පුරවා නොගෙන සිතේ ඇති දේවලින් දුක් විඳින්නේ ඇයි?

බත්තරමුල්ල සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක 
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි

“දත්වාච භුත්වාච යත්ථානුභාවං
අනින්දිතෝ සග්ග මුපේති ඨානං”

ධර්මානුකූලව උපයා, සපයා ගත්ත දේ තමන්ට අවශ්‍ය පරිදි පරිභෝග කොට, අවශ්‍ය විටක දී අනුන්ටත් උදව්වක්, උපකාරයක් හැටියට දී නිවැරැදි ආකාරයෙන් තමනුත් පරිහරණය කොට සියලු දෙනාගේ ම ප්‍රශංසාවට ලක්ව මරණින් මතු සුගතියට යායුතු බවයි, ධර්මයේ පැහැදිලි කළේ.
ඒ වගේ ම මේ විෂම වූ ලෝභයේ අනෙක් ස්වභාවය නම් අන්සතු වස්තූන් කෙරෙහි පවා ආශාවක් ඇති කර ගැනීමයි. තමාගේ අතේ පවතින බත්පත අතේ තබාගෙන ඒ රසය දැක ගනිමින් කුසට දැනෙන ආකාරයෙන් ආහාර ගන්නේ නැතිව, තමාට නැති දේවල් ගැන සිත සිතා දුකට පත්ව සිටින්නේ ඇයි? තමාගේ අසල්වැසි ගෙදර අයගේ ගේ - දොර ස්වභාවය, ඔවුන්ගේ බඩු මුට්ටු පිළිබඳව හෝ ඔවුන්ගේ ඇඳුම් – පැළඳුම් හෝ ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳව සොයමින් තමන්ට නැති දේවල් ගැන සිතමින් හෝ ඔවුන්ගේ දේවල් පිළිබඳව ලෝභයක් ඇතිකරගෙන කටයුතු කිරීමෙන් විපත් වන්නේ කාටද? විපත්ති වන්නේ තමාටමයි. යම් වූ දෙයක් තමාට නැතිනම් පසුගිය පොහොය දිනයන්හි ලිපි මගින් කතා කළාක් මෙන් “උට්ඨාන වීර්යයෙන් දෑතේ බාහු බලයෙන්, දහඩිය මුගුරු වගුරුවා” ධර්මානුකූලව ම ඒ භෝග සපයා ගැනීමට උත්සාහ කළ යුතුයි.
මී කුණක් පොහෝ දිනක විකුණා ධනවත් වූ පුද්ගලයෙක් පිළිබඳව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. උත්සාහයයි, ධෛර්යයි, පරික්ෂාකාරී නුවණයි පවතින්නේ නම් අබ ඇට මිටකින්, නමුත්, සුනු සහල් මිටකින් නමුත්, තණකොළ මිටකින් නමුත් අනාගත අභිවෘද්ධියක් ඇති කර ගත හැකි බව මේ ධර්ම කතාවන්ගෙන් මනාව පැහැදිලි කොට දෙනවා. දැහැමි ව යමක් ලබන්නට අවශ්‍ය නම් ධර්මානුකූලව ලැබිය යුතුයි. අනුන්ගේ වස්තූන් කෙරෙහි ඊර්ෂ්‍යා නොකොට, ඒ ඊර්ෂ්‍යාව, වෛරයක්, ක්‍රෝධයක් බවට පත්කොටගෙන තමා ම දුක්විඳීමට වඩා ධර්මානුකූලව වෙහෙස මහන්සි වී ධනයක් ලැබීමට උත්සාහ කිරීමත්, ඒ වගේ ම ‘යථා ලාභ සන්තුට්ඨි’ එනම් ලද දෙයින් සතුටු වෙනවා කියන අදහසින් තෘප්තිමත් භාවයට පත්වීමත් අවශ්‍යයයි.
විෂම වූ ලෝභයෙන් යුතු පුද්ගලයා නිරන්තරයෙන් ම උත්සාහ කරන්නේ එක රැයකින් පොහොසත්වීමටයි. අර අයට මේ තරම් ධනයක් තිබෙයි; ඒ අය මෙවැනි ගෙයක් හදාගෙන තිබෙයි. මේ වගේ යාන – වාහන රැගෙන තිබෙයි. ඒ අයගේ දරුවන් යන්නේ ඉහළ පාසල්වලටය. ඔවුන්ට විදේශ ගමන් පවා තිබේ. මට ඒ කිසිවක් නැත. මා මොනවා කළත් හරියන්නේ නැත. මේ ආකාරයෙන් සිතමින් පවසමින් ඒ පුද්ගලයා ම මනසින් දුක්විඳින අතර, කෙලෙස් ද රැස් කරගන්නා අතර පව් ද සිදුකර ගනී. අනුන්ගේ දේවල් ගැන සිතා ඔවුන්ට ඊර්ෂ්‍යා කරමින්, වෛර කරමින් සිටීමෙන් තමාට කිසිදු ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත. යම් විටක යම් පුද්ගලයෙක් ධනයෙන් ආඪ්‍යව ඇත්තේ ඔවුන්ගේ ධර්මානුකූල භාවය හා කැපවීම, ධෛර්යවන්ත භාවය නිසා විය හැකිය. එවැනි පුද්ගලයකුට වෛර කිරීමෙන්, ඊර්ෂ්‍යා කිරීමෙන් රහසේ හෝ කරදර කිරීමෙන් තමා විසින් බලවත් වූ පාපයක් සිදු කරගන්නා බව අමතක නොකළ යුතුය. ධර්මයේ සඳහන් කළේ, නිවැරැදි ගුණ යහපත් වූ අයකුට සිත, කය, වචනය නම් වූ තුන් දොරින් යම් විපතක් සිදු කරන්නේ නම්, උඩු සුළඟට දමන ලද දූවිලි තමාගේ හිසමතට ම වැටෙන්නා සේ තමා තමා විසින් කරන්නා වූ අයහපත තමා වෙතට ම නැවත පැමිණෙනවා.
‘අභූතවාදී නිරයන් උපේති’ විෂම වූ ලෝභය නිසා අන්‍යයන්ට අභූත චෝදනාවක් කරන්නේ නම්, ඒ පුද්ගලයා පැහැදිලිවම නිරයට යන බව, අපායේ උපදින බව භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කර ඇත. ඒ නිසා සද්පුරුෂ මනුෂ්‍යයෝ තමාගේ ම වස්තුව කෙරෙහි දැඩි වූ ලෝභයක් නැතිව පරිහරණය කරමින් ස්වාමි – භාර්යා, දෙමව්පියන්, දරුවන්, ඥාති, හිතමිත්‍රාදීන්ට ද යුතුකම් කරමින් දනට, පිනට යොදමින් පරිත්‍යාග කරමින්, මලගිය ඥාතීන් වෙනුවෙන් පින්පෙත් අනුමෝදන් කරමින් සුවපත් වූ ජීවිත ගත කරනවා. එයට හේතුව අනිත්‍ය වූ ලොවක් තුළ මොනවා නමුත් මගේ යැයි ගොඩගසා ගත්තත්, එකතු කර ගත්තත් එය තමාට ඕනෑ විදිහට නොපවත්නා නිසා ය. එනම් සදාකාලික නොවන නිසාය. එනම් සදාකාලික කිසිවක් නොවන නිසාය.
මේ ලෝකයේ උපදින විට ලෞකික කිසිදු වස්තුවක් අතට හසුවන දේවල් අපි රැගෙන ආවේ නැතුවා සේ යන විට ද අතට හසු වූ දේ පමණක් නොව ජීවිත කාලය පුරාම පෝෂණය කරගත් අපහසුවෙන් රැකගත්, ශරීර කූඩුව ද මෙලොව තබා යන බව ඔබ සියලු දෙනා දන්නා කරුණකි. ඒ නිසා තමා සතු වස්තුව, ධර්මානුකූලව උපයාගෙන නිවැරැදි ලෙස සතුටින් පරිහරණය කළ යුතු අතර කිසිවිටකවත් අනුන්ගේ වස්තුව කෙරෙහි තෘෂ්ණා අධික පුද්ගලයෙක් නොවිය යුතුය. අන්‍යයන්ගේ දියුණුව දැක ඔබට ආදර්ශයක් ගත හැකිය. එය වරදක් නොවේ. ඔවුන් එතැනට පැමිණෙන්නට කළ කී දෑ නුවණින් දැක හෝ ඒ අයගෙන් දැන හෝ සාකච්ඡා කොට ඔබට ද ඒ මාර්ගයට පැමිණීමට කටයුතු කළ හැකිය.
එලෙසම මතක තබාගත යුතු කරුණක් තිබෙන්නේය, එනම් ප්‍රාණඝාත, සොරකම, කාමමිච්ඡාචාරය, බොරුව, මත්වතුර ආදී පස්පව්වලින් වැළකිය යුතු අතර දියුණු වූ අයට ඊර්ෂ්‍යා කිරීම, වෛරකිරීම, තරහ ඇති කර ගැනීම හා රහසේ හෝ ඔවුන්ට කරදර කිරීම් ආදී බලවත් වූ දුර්ගුණවලින් ද වැළකිය යුතු බව සිත්හි තබාගත යුතුය. එවන් වූ දුර්ගුණවලින් ආඪ්‍ය වන්නට උත්සාහ කළොත් ඔබ ආඪ්‍ය වන්නේ ලෞකික ධනයට වඩා දුෂ්චරිත ධනයකින් බව ඔබ මතක තබාගත යුතුය. මේ අභිජ්ඣා නම් විෂම වූ ලෝභය නම් වූ දුර්ගුණය යහපත් වූ සැපවත් වූ ජීවිතයක් ගත කරන්න කැමැති හැම කෙනෙකුගේ ම ජීවිතයකට ම බලවත් වූ පීඩාවක් බව පැහැදිලියි. දස අකුසල් අතර සිතින් සිදුවන අකුසල් තුන විස්තර කළේ අභිජ්ඣා, ව්‍යාපාද, මිථ්‍යාදිට්ඨි යනුවෙනි. එනම් එහි සිතින් සිදුවන පළමු වැනි බලවත් වූ අකුසලය මේ විෂම වූ ලෝභය පෙන්වා දී තිබේ.
ඒ නිසා අප සෑම කෙනෙක් ම ‘පුබ්බේච කත පුඤ්ඤතා’ පෙර කරන ලද පින් ඇතිව අප මනුෂ්‍ය ජීවිත ලබා තිබේ. මනුෂ්‍ය ජීවිතයක් ලබන්නට බලවත් වූ කුසල් සිදුකරගෙන ඇත්තේ නම් මෙලොව ජීවිතයත්, සුවපත්ව ගත කරන්න තරම් අපට වාසනා ගුණය, කුසල ශක්ති මාර්ගය තනා දී තිබේ. සංසාර ගමනේ රැස්කරගත් පුණ්‍ය ධර්මවල උස් පහත් භේදයක් තිබේ. ඒ පුද්ගලයන්ට ලෞකික ධනය හා පැවැත්මේ දී උස් පහත්කම්වලට මුහුණ පෑමට සිදුවේ. එහෙත් මෙතෙක් විස්තර කළා සේ අභිජ්ඣාව හෙවත් විෂම වූ ලෝභයෙන් තොරව උත්සාහයෙන්, ධෛර්යයෙන්, පරික්ෂාකාරී නුවණින් යුක්තව කටයුතු කරන්න පුළුවන් නම් මෙලොව ජීවිතයේ පුණ්‍ය ධර්මයන් බලවත් කරගෙන තමාට සැපවත් වූ ම ධර්මානුකූල ධනයක ආඪ්‍යත්වයට පැමිණ කටයුතු කළ හැකිය.
ධර්මානුකූල අදහස නම් සිතේ සතුට පවතින්නේ ලැබූ වස්තුවේ ප්‍රමාණයට නොව ඒ ධනය ලැබූ ආකාරය හා පරිහරණය කරන ආකාරය අනුවයි. බොහෝ ධනයක් අධාර්මිකව ලබා විෂම වූ ලෝභයෙන් යුක්තව සිටින්නේ නම් ඔහුට හෝ ඇයට පවතින සැපයක් නැත. එහෙත් ස්වල්ප වූ ධනයක් නමුත් විෂම වූ ලෝභයෙන් තොරව පරිහරණය කරන්නේ නම්, ස්වල්ප වූ ධනය නමුත් ධර්මානුකූලව උපයන්නේ නම් ඔහු මෙලොව සුවසේ නිදාගන්නා අයෙක් බවට පත්වෙනවා. ඔහුගේ මුහුණ ප්‍රසන්න, මුහුණක් ඇති අයෙක් බවට පත්වෙනවා. නිරවුල් පරිසරය තුළ ස්වාමියා බිරිඳ දිව්‍යාංගනාවක් හැටියටත්, දෙමාපියන් දරුවන්, බුදු නොවුනත්, රහත් නොවුනත්, බුදු අම්මා අප්පච්චී කිව හැකි තරමට ගුණයහපත් සද්පුරුෂ පවුල් පරිසරයක් ඇතිවෙනවා නො අනුමානයි. සමාජ පරිසරය තුළ මනුෂ්‍ය ජීවිතයක් ලැබිය යුතු නම් ඒ යහපත්වූ ම මනුෂ්‍ය ජීවිතයක් ලැබූ සද්පුරුෂ මනුෂ්‍යයෙකුගේ චරිත ස්වභාවය ඇති කරගත යුතුය.
ඔබට අවබෝධ වන ආකාරයෙන් මේ කතා කළ දහම් කතාව අවසන් කළ යුතුයි. එනම් එක රැයකින් හිරු සඳු නො ඇල්ලුවත් සද්පුරුෂ මනුෂයෙක් ලෙස මේ මහපොළවේ පය තබා ජීවත්වී, මම නිවැරැදියි සිතමින් කල්‍යාණවන්ත මනුෂ්‍යයෙක් ලෙස ම ඇස් පියාගන්න හැකි නම් ලෞකික වශයෙනුත්, ලෝකෝත්තර වශයෙනුත් ඔබ උතුම් ම ඵලයක් සැපතක් ලැබූ සුපසන් මනුෂ්‍යයෙක් බවට පත්වන්නේ ය.

¤☸¤══════¤☸¤☸¤══════¤☸¤

උපෝසථ සීලයේ ආනිශංස

කාම අරමුණු ඔස්සේ දුවලා, මුදල් වස්තු පිටුපස දුවල හති වැටුණ, පීඩාවන්ට ගොදුරු වුණු ජනයාට, හිතට කයට විවේකයක් ලබා ගන්නා සුදුසුම ක‍්‍රමය පෙන්වා දුන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ පමණයි. කායික මානසික විවේකය සඳහා අදටත් නොයෙකුත් දේවල් කරමින්, තව තවත් උගුලේ වැටෙන ජනයාට සැබෑම විසඳුමක් පෙන්වා දුන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ පමණයි. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් ක‍්‍රමයෙන්, කෙනෙක් කිසිම අයුරකින් නැවත පීඩාවට පත් වෙන්නේ නෑ. සැබෑ කායික මානසික විවේකයක් සහිතවයි ඔහු නැවත පැමිණෙන්නේ. ඒ විසඳුම තමයි, අප බොහෝ දෙනෙක් දන්නා, නමුත් අඩුවෙන්ම ප‍්‍රයෝජනයට ගන්නා, පොහොය දිනවල උපෝසථ ශීලය සමාදන් වීම හා ඊට අනුකූලව දවස පුරා ගත කිරීම.
කාම අරමුණු වලින් තොරව, නෛෂ්කර්මයෙන් යුතුව (නිශ්කාමී) වාසය කරන්නට නම්, හෝටල් ගානේ බඩගාන්නට ඕනේ නෑ. මුදලූත් කාලයත් කැප කරමින් නැති ප‍්‍රශ්න හදාගන්නට ඕන නෑ. විනෝද ගමන් යන්ට ඕන නෑ මුදල් නාස්ති කරගෙන. කිසි වියදමක් නැතිව බලවත් ලෙස කායික මානසික විවේකය ලබා ගන්නට, උපෝසථ දවස ඉතා වටිනා මෙහෙයක් ඉටු කරන බව බොහෝ දෙනෙකුට තවමත් අවබෝධ කරගන්නට බැරිවෙලා. ඒ නිසා තමයි විශ‍්‍රාම ගන්නකම් බලාගෙන ඉන්නේ. දරුවන්ගෙ වැඩ ඉවර වෙනකම් බලාගෙන ඉන්නෙ. කායික මානසික පීඩනයෙන් මිදෙන්න ක‍්‍රමය, සැබෑ විසඳුම අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වාදී තිබියදීත්, අඩුම ගානෙ මාසෙකට එක දවසක් මේ කැපවීම කරල සැබෑ උපෝසථ දිනයක් ගත කරන්නට හැකි නම් මොන තරම් අගෙයිද?
හොඳට හිතල බලන්න. නුවණින් සලකලා බලන්න. උපෝසථ දවසට, ඔබ අතින් වචන වැරදිලා සිත් තැවුල් පීඩා ඇතිවෙන්නට විදියක් නෑ. කි‍්‍රයාව වැරදිලා ඔබ අතින් පීඩාවක් ඔබටවත් අනුන්ටවත් ඇතිවෙන්නට විදියක් නෑ. හිත කිළිටි කරන දේ සිතෙන්නෙත් නෑ. ඔබ එදාට වෙහෙසෙන්නේ සිත පිරිසිදු කර ගන්නයි. සිත පිරිසිදු වස්ත‍්‍රයක් වගේ තබා ගන්නයි. හිතත් පිරිසිදුයි. ගතට වෙහෙසකුත් නෑ. හිතට ගලාගෙන එන කෙලෙස් පිරිසිදු කරගන්නට අවස්ථාවක් උදාවෙනවා. මානසික ආතතිය ලිහිල් කර ගන්නට අවස්ථාවක් ලැබෙනවා. පීඩනයෙන් මිදෙන්නට හැකිවෙනවා. හිතත් ගතත් දෙකම සැහැල්ලූ වෙනකොට ඒ සැහැල්ලූ වූ සිතෙන් මොන තරම් යහපත් දේවල් සිතන්නට ලැබෙනවාද? පිරිසිදු සිතෙන් හිතලා යහපත් වචනම කථා කරන්නට ලැබෙනවා. යහපත් කි‍්‍රයාම සිදු කරන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ විතරක්ද? එදාට ධර්මය ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙනවා. දහම් පිළිසඳරේ යෙදෙන්නට ඉඩක් ලැබෙනවා. හිතේ සමාධියක් ඇති කර ගන්නට පුළුවන්. පින වැඩි කර ගන්නට අවස්ථාවක් උදා වෙනවා. සකස් කර ගත්ත වචනයෙන් යුක්තව, සකස් කර ගත් කයින් යුක්තව ඔහුට කුසල් වඩන්නට ඉඩ කඩක් ලැබෙනවා. බලන්න, මේ එක දවසක් තුළ එකතු කරගන්නට ලැබෙන මහා ධන නිධානය, වටිනාකම, මුදල් දහස් ගාණක් වියදම් කරලා යන විනෝද ගමනකින් ලැබෙනවාද? කන්දක් නැග්ගට ලැබෙනවාද? හෝටලයකට ගිහින් සති අග සාද පැවැත්තුවාට ලැබෙනවාද? යහළුවො එකතු කරගෙන ‘‘සාද නාද’’ පැවැත්වූවට ලැබෙනවාද? බලන්න, අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා දුන්, මෙවැනි උපක‍්‍රමයක්, කායික මානසික විවේකය උදෙසා, වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ ඉදිරිපත් කර නෑ. ඔබ මොන තරම් වාසනාවන්තද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ඒ මග අනුගමනය කරන්නෙක් බවට පත්වෙනවා නම්?
උපෝසථය අගය කළ ශක‍්‍ර දෙවියෝ________________
බුදුරජාණන් වහන්සේ ශ‍්‍රාවකයින්ට උපදෙස් දුන්නේ අඩුම වශයෙන් මාසෙකට දින හතරක් උපෝසථය සමාදන් වන ලෙසටයි. පසළොස්වක දවසෙත්, මාසෙ පෝය දවසෙත්, අව අටවක දවසෙත්, පුර අටවක දවසෙත් උපෝසථය සමාදන් වීමට බුදුරජාණන් වහන්සේ විසින් ශ‍්‍රාවකයන්ට අනුශාසනා කොට වදාළා. ඉස්සර කාලෙ බෞද්ධ ජනතාව හතරපෝයට නොවැරදීම විහාරස්ථානවලට එකතු වෙලා දවසේ පැය 24 පුරාවටම උපෝසථය සමාදන් වෙලා කාලය ගත කළා. අද කාලේ බෞද්ධයන්ට අඩුම ගානෙ පසළොස්වක දවසටවත් උපෝසථය සමාදන් වෙන්න කාලය හොයා ගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේ මේ සිල්වත්ව ගත කරන එක මොන තරම් ඇගයීමට ලක් කළාද?
යෝ චෙ වස්සසතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
සීල වන්තස්ස ඣායිනෝ

‘‘දුශ්ශීලයෙක් විදියට, එකඟ වූ සිත් නැත්තෙක් විදිහට අවුරුදු සීයක් ජීවත් වෙනවට වඩා,
සිල්වතෙක් විදිහට එක දවසක් ජීවත් වෙන එක ශ්‍රේෂ්ඨයි’’
(සහස්ස වර්ගය – ධම්ම පදය)

දවසක් තව්තිසා දෙව්ලොව දෙවියන්ට සිල් සමාදන් වීමේ අගය පහදා දුන්නා දෙදෙව් ලොවට අධිපති ශක‍්‍ර දේවේන්ද්‍රයා විසින්,
චාතුද්දසිං පඤ්චදසිං – යා ච පක්ඛස්ස අට්ඨමී
පාටිහාරියපක්ඛං ච – අට්ඨංගසුසමාහිතං
උපෝසථං උපවසෙය්‍ය – යො පස්ස මාදිසො නරෝ ’ති

‘‘යම් කෙනෙක් මං වගේ වෙන්ට කැමති නම් (ශක‍්‍ර දේවේන්ද්‍රයා වගේ), ඔහු මාසෙ පෝය දවසටත් (චාතුද්දසිං) පසළොස්වක දවසටත් (පඤ්චදසිං) පක්‍ෂයෙහි අටවක දවසටත් (පක්ඛස්ස අට්ඨමී) පාටිහාර්ය දවසෙදිත් 
(පාටිහාරියපක්ඛං ච) විශේෂයෙන් යොදා ගත් සිල් දවසකදී අංග අටකින් යුක්ත උපෝසථය සමාදන් වෙන්ට ඕනේ’’

(3.1.4.8 උපෝසථ සූත‍්‍රය – අංගුත්තර නිකාය- 01)
උපෝසථ සීලයේ ආනිශංස වටහා දුන් ශාස්තෘන් වහන්සේ__
එදා පොහොය දවසක්. උපෝසථ දවසක්. භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයේ කපිලවස්තු පුරයේ පිහිටි නිග්‍රෝධාරාමයේ තමයි එදා වැඩ වාසය කළේ. ඒ පොහොය දවසේ, භාග්‍යවතුන් වහන්සේව මුණ ගැහෙන්ට ශාක්‍ය වංශික පිරිසක් පැමිණියා. ඒ පිරිසත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවූ මෙම සංවාදය උපෝසථයේ අගය වටහාගැනීමට කදිම උදාහරණයක්.
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔබලා උපෝසථ ශිලය සමාදන් වෙලා ආරක්‍ෂා කරනවද?
(අපි නු ඛෝ තුම්හේ සක්‍යා අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසථා’ති?)’’
‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අපට උපෝසථ ශීලය ආරක්‍ෂා කරගන්නට අවස්ථාවක් ලැබුණෙ නැහැනෙ. ගෙවල් දොරවල්වල, අඹුදරුවන්ගෙ වැඩ කටයුතු හින්ද, අපට මේ උපෝසථය රැක ගන්න අවස්ථාවක් ලැබෙන්නෙ බොහොම කළාතුරකින්නෙ.’’

‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔබලා මේ ශෝකයෙන් පිරුණු, මරණ බියෙන් පිරුණු මේ ජීවිත ගත කරමින්, කිසිම දවසක අංග අටකින් යුක්ත උපෝසථ ශීලය සමාදන් වෙලා එය ආරක්‍ෂා කරන්නේ නැතිනම්, එය ඔබට විශාල පාඩුවක්. එය ඔබට විශාල අලාභයක්මයි. නපුරක්මයි. පින්වත් ශාක්‍යවරුනි, ඔබලා මේ ගැන හිතන්නේ කුමක්ද? යම් කෙනෙක් ධාර්මිකව යම් රැකියාවක් කරලා දිනක වැටුප විදිහට කහවණු භාගයක් ලබනවා නම්, ඔහු දක්‍ෂ පුරුෂයෙක් කියලා, උට්ඨානවීර්යයෙන් යුක්ත පුරුෂයෙක් කියලා ඔබලා කියනවාද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒක එහෙම තමයි. ඔහුට එය ලොකු වැටුපක්. ඔහු දක්‍ෂ කෙනෙක්. (ඒ කාලෙ හැටියට කහවණු භාගයක් කියන්නෙ ලොකු වැටුපක්)’’
‘‘හොඳයි, පින්වත් ශාක්‍යවරුනි, ඔහු දවසක් රැකියාව කරලා කහවණුවක් ලබනවා නම්, ඔහු දක්‍ෂ පුද්ගලයෙක්ද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔහුට ඒක ලොකු වැටුපක්. ඔහු දක්ෂ කෙනෙක්.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, එහෙම නම් ඔහු දවසක් රැකියාව කරලා කහවණු දෙකක්.. කහවණු තුනක්.. කහවණු පහක්.. කහවණු දහයක්..කහවණු විස්සක්.. කහවණු පනහක්.. කහවණු සියයක්.. කහවණු දහසක්.. කහවණු දසදහසක්.. ආදී වශයෙන් උපයන්නේ නම්, ඔහු දක්‍ෂ පුද්ගලයෙක් කියලා ඔබලා හිතනවාද?
‘‘ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඒ වැටුප නම් බොහොම ලොකු එකක්. ඔහු දක්‍ෂ පුද්ගලයෙක්.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔහු දවසක් රැකියාව කරලා කහවණු ලක්‍ෂයක් උපයා ගත්තොත් ඒක ලොකු වැටුපක් නේද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දවසක වැටුප විදියට කහවණු ලක්‍ෂයක් ගන්නවානම්, එයා මහා ධනයකට හිමිකාරයෙක් වෙනවා.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔහු දවසට කහවණු ලක්‍ෂය ගානේ උපයමින් අවුරුදු 100ක් රැකියාව කළොත් එයා කොයි තරම් ධනයක් උපයා ගනියිද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔහු කියන්න බැරි තරම් මහා ධනස්කන්ධයකට හිමිකාරයෙක් වෙනවා.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඔබලා මේ ගැන හිතන්නේ කුමක්ද? ඒ පුද්ගලයා අර මහා ධනස්කන්ධය හේතු කොට ගෙන, එක දවසක් හෝ එක රාති‍්‍රයක් හෝ හිතේ සංතෝසයෙන් වාසය කරයිද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, එහෙම වෙන්නෙ නෑ.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, ඒකට හේතුව කුමක්ද?’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මේ කාමයන් සියල්ල අනිත්‍යයි. ඉතා පහත් තූච්ඡුයි. ඒ නිසයි.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, එහෙම නම් ඔබ දැන ගන්න. මාගේ ශ‍්‍රාවකයෙක් අප‍්‍රමාදීව, කෙලෙස් තවන වීරිය ඇතිව, මා විසින් අනුශාසනා කරන පරිදි අවුරුදු දහයක් වාසය කරනවා නම්, ඔහු අවුරුදු සිය ගණනක්, අවුරුදු දහස් ගණනාවක්, අවුරුදු ලක්ෂ ගණනාවක්, ඒකාන්ත සැපයෙන් වාසය කරනවා. ඒ වාගේම සකදාගාමී හෝ අනාගාමී හෝ අඩුම තරමින් සෝවාන් ඵලයට හෝ පත්වෙන්නටත් පුළුවන්.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, අවුරුදු දහයක් නෙමේ. අවුරුදු පහක්.. අවුරුදු එකක්.. මාස පහක්.. එක දවසක්.. මාගේ අනුශාසනයට අනුව වාසය කරයි නම්, ඔහු හැමදාම හිතේ සතුටෙන් වාසය කරන්නෙ.’’
‘‘පින්වත් ශාක්‍යවරුනි, එහෙව් එකේ ඔබ මේ ශෝකයෙන් පිරුණු, මරණ බියෙන් යුක්ත වූ මේ ජීවිතයේ කිසිදවසක් අංග අටකින් යුක්ත උපෝසථය සමාදන් වෙලා වාසය කරන්නේ නැත්නම්, ඒ ඔබට මහත් අලාභයක්මයි. මහත් නපුරක්මයි ශාක්‍යවරුනි, අර පුද්ගලයා විසින් උපයාගන්නා ඔක්කෝම ධනයට වඩා වටිනවා, ඔබලා එක දවසක් අෂ්ටාංග උපෝසථශීලය සමාදන් වෙලා උපයා ගන්නා දේ.’’
‘‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි දැනගෙන හිටියෙ නෑ උපෝසථ ශීලයේ මේ තරම් ආනිශංස තියෙනවා කියලා. අපි අද ඉඳලා පුළුවන් තරම්, උපෝසථ ශීලය ආරක්‍ෂා කරනවා. (ඒතේ මයං භන්තේ අජ්ජතග්ගේ අට්ඨංගසමන්නාගතං උපෝසථං උපවසිස්සාමාති)
(සකක්‍ය සූත්‍ය – අක්කොස වර්ගය අංගුත්තර නිකාය – 06)
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤
පින ද පව ද රැස්කරන්නේ ඔබේ ම සිතයි.
X