

සෝවාන් ඵලය අත්කැර ගනු වස් සෝවාන් මාර්ගයට පැමිණ ගත යුතු වෙයි. සෝවාන් මාර්ගය නම් සෝවාන් ඵලය පිණිස පිරිය යුතු ප්‍රතිපදාවයි. සෝවාන් මාර්ග ලාභීSS උතුමාට දෙනු ලබන දානයෙහි ආනිශංස ද, දක්‌ෂිණා විභංග සුත්‍රයෙහි දැක්‌වේ. තවද දැක මුණ ගැසී කථා කළ යුතු පිරිස් අතරට ද සෝවාන් මාර්ග ලාභී උතුමා ඇතුළත් කොට ඇත. සෝවාන් මාර්ගලාභියා යනු පෘථග්ජනයකු නොවේ. හෙතෙම අෂ්ඨ පුද්ගල අර්යයන්ට අයත් වූවෙකි.
සෝවාන් මාර්ගය අනුයාත අංග හතරකින් සමන්විත වෙයි. සත්පුරුස සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව යනුවෙනි. එනම්, සත්පුරුසයකුගේ පෙළඹවීම මත ධර්මය ශ්‍රවණය කරන අයෙකු එම දහම් කරුණු සියුම්ම විමසුමට ලක් කරයි. අනතුරුව හෙතෙම ඒ කෙරෙහි පැහැදී ධර්මයට අනුවමට හැසිරෙයි. මෙය බුද්ධභාෂිතය ප්‍රකාර වූ නියම සෝවාන් මාර්ගයයි.
සෝවාන් මාර්ගයට පිළිපන් උතුමෝ සද්ධානුසාරී හා ධම්මානුසාරී යනුවෙන් දෙයාකාර ය. සද්ධානුසාරියා යනු තථාගතයන් වහන්සේ කෙරෙහි පැහැදීම පෙරටු කරනෙ ආර්යය මාර්ගයට පිළිපන් උතුමා ය. ධම්මානුසාරියා යනු දහම හා සබැඳි මැනවින් විමර්ශනයට ලක්‌කොට දහමෙහි යථාව දැක ආර්ය මාර්ගයට පිළිපන් උතුමා ය. සද්ධානුසාරියා ''ශ්‍රද්ධා විමුක්‌ත'' නම් සෝවාන් ඵල ලාභියෙකු බවට පත්වෙයි. ධම්මානුසාරියා ''දිට්‌ඨිපත්ථ'' නම් සෝවාන් ඵල ලාභියෙකු බවට පත් වෙයි. වීර්යය අත් නොහැර එක දිගටම මාර්ගය වැඩුවහොත් මරණයට පෙරාතුව ඵල ලාභය අත්කැර ගන්නා බව ධර්මයෙහි කියෑවේ. ඒ කරුණ කෙතරම් නිශ්චිතද යත් සෝවාන් මාර්ග ලාභී උතුමෙකු ඵල ලාභයට නියතව සිටියදී කල්ප විනාශය එළැඹ තිබුණහොත් ඔහු/ඇය සෝවාන් වන තුරු කල්ප විනාශය කල් යයි. එබැවින් ඔහු / ඇය ''ඨිත කප්ප'' යනුවෙන් පුද්ගලපඤ්ඤත්තිප්ප්‍රකරණයෙහි සඳහන් වේ. සෝවාන් මාර්ග ලාභියා යනු එතරම් ම බලවතෙකි.
සත්ත්වයා සසරට බැඳ තබන බැමි දහයෙකි. සක්‌කාය දිට්‌ඨි, විචිකිච්ජා, ශීලබ්බත පරාමාශ, කාමරාග, පටිඝ, රූපාරාග, අරූපරාග, මාන, උද්ධච්ජ, අවි-ජා යන මේවා දස සංයෝජන නම් වෙයි. සෝවාන් වීමෙන් මින් පළමු බැමි තුන සදහටම ගිලිහී යයි. ''සක්‌කාය දිට්‌ඨිය'' යනු ස්‌කන්ධ පංචකය ආත්ම කොට දැකීමයි. සතර මහා භූතයන්ගෙන් හටගත් හුදු චිත්‍ර සටහනක් බඳු උපාදාය රූපය මෙය මාගේය යනුවෙන් දැඩිව උපාදානය කර ගැන්මයි. ''විචිකිච්ඡාව'' යනු බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, පූර්වෘත්තය, අපරාන්තය, පූවාර්න්ත අපරාන්තය, ශික්‌ෂා, පටිච්චසමුප්පාදය යන අට තැන් පිළිබඳ සැකයයි. ''ශිලබ්බත පරාමාශය'' යනු අජ ව්‍රත, ගෝ ව්‍රත, කුක්‌කුර ව්‍රත ආදී කොටගත් ලෝභ - ද්වේශ - මෝහ යන අකුශල මූලයන් පදනම් කොටගත් හර විරහිත සිල් රැක්‌මයි.
සෝවාන් උතුමනට අටවැනි අත්බවෙක් ඇත්තේ ම නැත. (නතේ භවං අට්‌ඨමං ආදියන්ති) ඔවුහු නිරය, තිරච්ඡාන යෝනිය, ප්‍රේත නිකාය, දුර්ගති විනිර්පාත අසුර නිකාය යන අපාය භූමි සතරෙන් සදහටම නිදහස් වූවෝ වෙත්. එනමුදු සුගති විනිර්පාන අසුර නිකාය ඔවුනට තවදුරටත් සාධාරණය.
සෝවාන් උතුමෙකු බාහිර පෙනුමෙන් හෝ ක්‍රියා විලාශයෙන් හඳුනාගැන්ම අසීරුය. (you can not judge a person by external appearance යන ඉංගී්‍රසි කියමන ද මෙයට මනාව ගැළපේ.) හෙතෙම බයාදු හෙමි-ජෙකු යෑයි සැලකීමද උචිත නොවේ. ශරකානි ශාක්‍යයාගේ කථාව මෙයට කදිම නිදසුනකි. උග්‍ර මත් ලෝලියෙකු වූ ශාක්‍ය වංශික ශරකානි මතට සමුදුන්නේ දිවියෙහි සැඳෑ සමයේ දී ය. ඔහු මියගිය පසු ඔහුගේ ඥතිවරුන්ගේ විමසුමකට පිළිවදන් දුන් තථාගතයන් වහන්සේ ශරකානි සෝවාන් ව දෙව්ලොව උපන් බව වදාළහ. මෙයින් ශාක්‍ය වංශය කැළඹිණි. ''අර මත්ලෝලී ශරකානියා සෝවාන්ව සිට දෙව්ලොව උපන් මග බුදුරජාණන් වහන්සේ වදාරති. උන්වහන්සේ යළි මෙවැනි ප්‍රකාශයක් නොකරන තැනට වැඩ සලසමු.'' යනුවෙන කථිකා කරගත් ශාක්‍යයෝ බුදුහු බැහැ දැක්‌මට ආහ. එයට පිළිවදන් දෙමින් උන්වහන්සේ ''සෝතාපන්නයා යනු සිවු විධි වූ සෝතාපන්න අංගයන්ගෙන් යුක්‌ත වූවකි. ඒ හැර අන් වෙසෙසක් නැත. අර පෙනෙන අජීවී සල්ගස් වෙත නෙත් යොමු වේ. ඒ අජීවී ශාකයන්ට ද සෝතාපන්න අංග වී නම් ඒවාද සෝවාන් යෑයි කීමට මම නොපැකිළෙමි'' යනුවෙන් වදාළහ.
අනවරාග්‍ර සසර අතිශයින් බිය ජනක ය. ඒ කරුණ සාධාරණිකෘත කිරීමට අවැසි තතුද අප වටා නිතොර සැරි සරති. එකී යථාව අභිමුව සෝවාන් ඵලය අමිල වූ ලාභයකි. බොදුනුවන් වන අප එකී ලාභය පසුපස විදුලි වේගයෙන් ලුහු බැඳ යා යුත්තෝ වෙමු.
යසස් නිවන්තක සිල්වා
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
¤☸¤══════¤☸¤☸¤══════¤☸¤